Showing posts with label පොඩ්ඩන්ට කවි. Show all posts
Showing posts with label පොඩ්ඩන්ට කවි. Show all posts


තුරු ලතා

            තුරු         ලතා
            ලොව       පුරා
            ඇති        නිසා
            දේ       සොබා

            එම         නිසා
            දින         පතා
            රැක        බලා
            ගමු         ඉතා

           කුස          පුරා
           ගිනි         නිවා
           ගස්         සිනා
           සෙයි      බලා

           කට          පුරා
           ගුණ        වයා
           කොළ     කඩා
           ලනු         එපා

           නිති         පතා
           බත්        කකා
           ගස්          දිහා
           ඇස්    නොලා

           නොව     වහා
           සිත්     යොමා
           ලොල්     වඩා
           ගනු        මනා

          රට           පුරා
          ගස්          වවා
          නෙත්      පියා
          ගනු      සොඳා

          තුරු        ලතා
          ලොව      පුරා
          ඇති        නිසා
          දේ      සොබා


ලිව්වේ : වීරයා මාමා       
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

දේදුන්නෙන් මන පාට ගෙනැල්ලා
හිනැහෙන්නට මල් සරසන්නා
සමනලයෝ පොඩි මෙහෙට වරෙල්ලා
රංචු පිටින් දැන් පියාඹලා

මල් වගෙ ලස්සන පුංචි ළමෝ
පිනවන්නයි ඉගිලෙන්නෙ බබෝ
මලින් මලට ගොස් රොන් ගන්නෝ
රංචු පිටින් දැන් ඉගිලෙන්නෝ

තුරුලිය මල්ගොමු මගෙ උයනේ
ලස්සන සිරියෙන් නැලවෙන්නේ
සමනලයෝ නුඹ නොදැක්ක සේ

අහක බලා කිම ඉගිලෙන්නේ

නෙක නෙක මල්ගොමු මං රසවිඳිනවා
මල්පොඩි නොතලා ඉන් පැණි උරනවා
පොඩි ළමයෝ නුඹ බලන්න එනවා
සිරිපා වඳින්න සමනල යනවා



මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අපේ තාත්ගෙ වඩු මඩුවේ
මෙන්න බොලේ මං ලී කොටයක්
ඔන්න ඉතිං මං රූකඩ පැංචා
රැවුලෙන් අදිනවා තාත්තගේ



ටින් ටින් දුවගෙන දුවගෙන ආවා
පුදුම හීනයක් මං දැක්කා
හිම කුමාරිය නිදියන් උන්නා
මුතු කුමාරිය අඞ අඞ උන්නා
සින්ඩරෙල්ලත් පැත්තක උන්නා
අන්දරේ ඉඳගෙන සීනිත් කෑවා
පුදුම හීනයක් මං දැක්කා


අඟුටු මිට්ටො නට නට යනවා
මහ දැන මුත්තා මුට්ටි බිඳිනවා
කුමාරයෝ අශ්වයො පිට යනවා
අණබෙරකාරයො වීදියෙ යනවා
ඇතෙක් බරට මට වස්තු ලැබෙනවා
ගුවන් යානෙකින් පාසල් යනවා...

- කේ. කේ. සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

1 පිරිස
රාං රූං කුරුමිණියනි
කුනු මස් කන නිල මැස්සනි
කොහෙද කොහෙද කොහෙද කොහෙද
කොහෙද කොහෙද එක රෑනට
පෙරහැර වාගේ

2 පිරිස
සමණලයිනි මී මැස්සනි
මල්පැණි බොන සූටික්කනි

රාං රූං වන බඹරුනි
මල් ලෝකේ මල් කුමාරි

දොරට වඩිනවා

1 පිරිස
කවුද කවුද මල් කුමාරි
කවුද කවුද මල් කුමාරි

සත් ගව් දුර ගඳ ගසනා
මල් ලෝකේ මල් කුමාරි

2 පිරිස
නෑ නෑ නෑ හරි සුවඳයි

හරිම හැඩයි සිරියාවයි
දම් පාටින් සැරසීගෙන
කුමරි වඩිනවා

1 පිරිස

ගඳයි ගඳයි හරිම ගඳයි
සත් ගව් දුර ගඳයි ගඳයි
හරිම හැඩයි ඒත් ගඳයි
ගඳ වුනාට හරිම හැඩයි


2 පිරිස
කිඩාරං කුමරි පිපිලලු
හනි හනිකට පියඹා යමු
මල් ලෝකේ මගුල් ගෙදර
එන්න යන්න එන්න යන්න
එන්න එන්න යමුකො පෙරහැරේ













1 පිරිස -
(සමණලයින්, මී මැස්සන් සහ පැණි කුරුල්ලන්)

2 පිරිස - (කුරුමිණියන්, නිල මැස්සන් සහ හෝ හපුටුවන්)
- කේ.කේ.සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

කවදාහරි යනවා මං
සුදට සුදේ පුලුන් වගේ
හිම කැට වැටෙනා රටකට
දන්නවාද අනේ ඔයා
ඉර මට
දැං එපා වෙලා!


කබායකුත් ඇඟලාගෙන
ගෙල වටේට සළුවක් බැඳ
හිමෙන් මිදුනු වැවක් උඩින්
ආසයි ලිස්සා යන්නට
ඊටත් වැඩියෙන් ආසයි
හදන්න සුදු හිම මිනිහෙක්
කැරට් අලයකුත්
තියලා
නාස් පොඩිත්තක් විදියට !


සීත නිසා නිල් පැහැ වුණු
ගල් වුණු පොඩි ඇඟිලි තුඩින්
ආපහු මගෙ ගෙදර ඇවිත්
ගිණි මැලයක් ලඟින් ඉඳන්
උණුසුම් තේ කෝප්පයක
ආසයි මං රසබලන්ට!


ගිණි මැලයෙන් ඉහළ නගින
පොඩි ගිණි දළු දිහා බලන්
බටර් සුවඳ ඉහිරෙන උණු
පැණි ඉතිරෙන කැවිලි කටක
ආසයි
මං රස බලන්ට!

කවදාහරි යනවා මං
සුදට සුදේ පුලුන් වගේ
හිම කැට වැටෙනා රටකට
මුළු දවසෙම රෑ පුරාම
එපා වෙලා
ඉර දැං මට!


ඩොරති වයිට්ෆීල්ඩ් ලියූ "කැරිබියන් සුළඟ" ළමා කවි සංග්‍රහයෙනි.
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ටික්කෝ ටික් ටික් ගාන්නේ ඇයිදෝ
වන්දෝ වඳින්නේ කාටද වන්දෝ
වත්ත පහළ අපෙ සත්තු ගොඩයි
මටයි නංගිටයි හරි පුදුමයි

කොහේ ඉඳලදෝ මෙයාලා ආවේ
මෙච්චර දවසක් කොහෙද හිටියේ
කවුරුද ඇත්තට මේ නම දැම්මේ
කාට බයේදෝ හැංගිලා ඉන්නේ


කකුල් පුච්චනා පුච්චෝ
පාත්ති අස්සේ උන්නෝ
කහ තිත් තියෙන කලු කුරුමිණියෙකි
පොල් ලෙලි අස්සෙයි ඉන්නේ
පුච්චලා දුවනවා දුමත් දානවා
පුච්චෝ කියලා උන්ට කියනවා

ටික්කෝ...


කෝටු කෑල්ලක් වගේ ඉන්නවා
කෝට්ටා කියලා නමක් කියනවා
පේර කොළයා යැයි නමක් තියෙනවා
පේර කොළේකැයි අපි රැවටෙනවා
රොඩු ගොඩ වාගේ හෙමිහිට යනවා
රොඩ්ඩා කියලා අපි එයාට කියනවා


-කේ.කේ. සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

පොටර් කියාලා එහෙ කියනවලු

රට ගිහිනුත් නුඹ වලංද හැදුවේ
කුඹලා හදන්නෙ වලංනේ කුඹලෝ
ඔයා හදන්නේ ගෙවල් නොවෙදෝ

හදන හදන ගේ කැඩුවට කුඹලෝ
තරහ වෙන්න නං ඔට්ටු නැතෝ
උලුවස්සේ යට ගෙවල් හැදුවහම
අපි දොර වහන්නෙ කොහොමද කුඹලෝ

පොටර් කියාලා එහෙ කියනවලු
රට ගිහිනුත් නුඹ වලංද හැදුවේ
කුඹලා හදන්නෙ වලංනේ කුඹලෝ
ඔයා හදන්නේ ගෙවල් නොවෙදෝ

රුං රුං ගාලා රේස් කරන්නේ
අයින් වෙන්නදෝ අපට කියන්නේ
මැටි ගුලි ගෙනල්ල අපෙ ගේ අස්සේ
ගෙවල් හැදුවහම අපි කොහෙ යන්නේ

පොටර් කියාලා එහෙ කියනවලු
රට ගිහිනුත් නුඹ වලංද හැදුවේ
කුඹලා හදන්නෙ වලංනේ කුඹලෝ
ඔයා හදන්නේ ගෙවල් නොවෙදෝ

හරි හරි කුඹලෝ ඔතනම මොටදෝ
ගෙයි පිළිකන්නේ ඉඩ ඇයි නැද්දෝ
පාඩුවෙ ඉන්නකො ගෙයක් හදාගෙන
ලියුං ආවොතින් දෙන්නට බැරුවෑ

පොටර් කියාලා එහෙ කියනවලු
රට ගිහිනුත් නුඹ වලංද හැදුවේ
කුඹලා හදන්නෙ වලංනේ කුඹලෝ
ඔයා හදන්නේ ගෙවල් නොවෙදෝ

-කේ.කේ. සමන් කුමාර මාමා -

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

"මං දවසක ලොකු උනාම
නැවියෙක් වෙනවා හනිකට"
ආඩම්බර පුංචි සෑම්
කිව්වා පොඩි කට හැඩකර
"අප්‍රිකාවටත් යනවා
එංගලන්තෙටත් යනවා
චීනයටත් ගිහින් ඔන්න
මෙක්සිකොවටත් යනවා"
"මං දවසක ලොකු උනාම
නැවියෙක් වෙනවා හනිකට"
ආඩම්බර පුංචි සෑම්
කිව්වා පොඩි කට හැඩකර


"මං දවසක ලොකු උනාම
ගගන ගාමීයෙක් වෙනවා"
ඩිංගිත්තක් වත් බය නැති
ලී කිව්වා කට හැඩකර
"අහස මැදින් ගමන් කරමි
තරු හැම එක වෙත ලංවෙමි
සිකුරු තරුව සෙනසුරු සහ
අඟහරු වෙත ගොසින් බලමි"
"මං දවසක ලොකු උනාම
ගගන ගාමීයෙක් වෙනවා"
ඩිංගිත්තක් වත් බය නැති
ලී කිව්වා කට හැඩකර


"දවසක මං ලොකු උනාම
නවතිනවා මේ රටේම "
එඩිතර හොඳ සවි බල ඇති
රේ කිව්වා
කට හැඩකර
"ආගන්තුක කිසිම තැනක
මං යන්නෑ
ඇවිදින්නට
හොඳ ගොවියෙක් වී දවසක
සරු අස්වනු විකුණාලා
සරු කරගෙන්නෙමි
අත මිට"


ඩොරති වයිට්ෆීල්ඩ් ලියූ "කැරිබියන් සුළඟ" කවි පොතෙනි.
අනුවාදය- ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ලෝකෙ වටේ අපි යන්නේ
එක පාරයි ගුටි කන්නේ
කකුල් නැතත් පොළව උඩින්
තටු නැති මුත් අහස මැදින්
වරල් නැතත් මුහුද උඩින්

ලෝකෙ වටේ අපි යන්නේ
එක පාරයි ගුටි කන්නේ


පාර වැරදුනොත් විතරයි
ගිය තැනටම අපි එන්නේ
ඒ නැත්තං කවදාවත්
ගිය තැනකින් නෑ එන්නේ
ලෝකෙ වටේ අපි යන්නේ
එක පාරයි ගුටි කන්නේ


අන්තිමේදී කුණු ගොඩටයි
වැඩි හරියක් අපි යන්නේ
පොත් පිටුවල අලවාලා
ඇල්බම්වල පුරවාලා
ටික දෙනෙකුට විතරයි නේ
කවුරුන් හරි රැකගන්නේ

ලෝකෙ වටේ අපි යන්නේ
එක පාරයි ගුටි කන්නේ

-කේ. කේ. සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
රිවි මිණි රැස් කිරණ බලා
උදය කුමරි සිනහා වෙලා
දවසට මුල පුරණ කුරුලු
ගායකයන් අවදි වෙලා

සමනළ බිඟු කැළ එනු දැක
කලබල වී හනික හනික
හිරුට හොරා උදා කුමරි
පැණිබර මල් පුබුදු කරයි

දෙගුරුන්ගේ ආදර බස
අසමින් දූ දරු සිසු රැස
අවදි උණෝ මේ අලුයම
පාසල් යන්නටය කියා

පාට පාට කොළ දළු මල්
ගස් වැල් වල හැඩ කරලා
ලස්සන ලෝකයක් හදන
උදා කුමරි කරුණාවයි

හුරතල් කිරි කැටි දරුවන්
මව් ඇකයෙන් අවදි කළා
චූටි මුවෙන් කිරි බොන තුරු
උදා කුමරි ළඟ හිටියා

කුසීත කම නැති කරවා
නිකමුන් හට ඔවදන් දී
නිසිමග යැවිමට දිරි දෙන
උදා කුමරි ඉටු දෙවියා

නිහිළුවේ, ආර්.කේ.ඒ.පියදාස මාමා

"මල් කැකුළු" - 1996 මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
කොක් කොක් කොකො කොක්
කුක් කුකු කුකු කුක්
කුක් කුක් කුකු කුක්
කොක් කොකො කොකො කොක්

කුකුළු හාමි අවදි වෙලා
ඉර දෙවියෝ මග එනවලු
කපුටු හාමි අවදි වෙලා
බඩගින්නේ ඉන්න බැහැලු

කොක් කොක්...

ටිං ටිං ටිටි ටිං
ටිරි ටිරි ටිරි ටිං
කිකි කී කිකි කී
කී කී කිකි කී

ඔරලෝසුව අවදි වෙලා
වෑන් එකත් මග එනවලු
අපි සේරම අවදි වෙලා
මූණ සෝද ගමුකො යාලු

පී පී පිපි පී
පොපො පෝ පොපො පෝ
පොපො පොප් පොපො පොප්
පොපො පෝ පොපො පෝ

වෑන් එකත් අවදි වෙලා
අපේ ගෙදර ළඟට ඇවිත්
ඉස්කෝලේ අවදි වුනොත්
ගේට්ටුවත් වහයි යාලු

ඩං ඩං ඩඩ ඩං
ඩිං ඩිං ඩිඩි ඩිං
ටං ටං ටට ටං
ටට ටට ටට ඩං

ඉස්කෝලේ අවදිවෙන්න
කලින් මෙන්න අපි ආවා
ඉස්කෝලේ තාමත් නිදි
අපි ආවේ ඇහැරවන්න.


- කේ.කේ. සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අකුරු මහිමය

පොරණ පඬින් කළ පත පොත
නුවණ ලැබෙයි කියැවුව හොත
නො දැන අකුරු කියවනු නැත
අකුරු තමා නැණ ගෙන  දෙත

නුවණ ලබා දෙන       දෙවියෝ
අකුරු ය ඉන් නො වනු   වියෝ
එ අකුරු මැනැවින්    සෙවියෝ
වෙති රට සලකන       කිවියෝ

නිවැරැදි හඬ නගා          කියව
හොඳ හැඩයට අකුරු      ලියව
ගී ද මිහිරි හඬින්            ගයව
ගිය ගිය තැන සැප       සපයව

පුරුදු නොකළ හොත්   දිනැ දින
නිසි පල නො ලැබෙයි   අකුරින
ආදරයෙන් බැතින්          එයින
අකුරු පුරුදු කරනු         නිතින


පළමුව ඔබගේ           සැලැකිලි
ලැබුණොත් අකුරට  නො පැකිලි
දෙවනු ව අකුරේ         සැලැකිලි
ලැබේ ය දුක් වී           වැලැකිලි



අකුරු ඔබට අහර           සොයා
ඔබ නම රට පුරා              කියා
මෙ ලොව එ ලොව සැප   සපයා
ජය දෙයි සැම තැන ම        සියා

කුමරුන් කුමරියන්          අමර
වැ නිය අකුරු ඔබ         පිරිවර
මුල දී නොගතොත්      තර කර
නො ලැබේ මතු කල      අවසර


උදයෙ ම නින්දෙන්   නැගෙන්නැ
පිරිසිදු වී තැනෙක           ඉන්නැ
අකුරට බුහුමන්           කරන්නැ
නුවණ වඩින දොර       හරින්නැ

ඉතින් ඇතැ යි පසු  නො බසිනු
නැවත නැවත පුරුදු        කරනු
බුරුලක් වෑයමට     නො දෙනු
බැරි ම තැනක් අසා       උගනු

පෙර කල ඔබ වැනි     දරුවෝ
ඉගෙන අකුරු මරු    මැරුවෝ
අලසව එ අකුරු       වැරුවෝ
නම ගම සමඟින්       දිරුවෝ

ළමා කලය අකුරට        හුරු
යන්නට එය නිකම් නො හරු
සොඳට පිහිට වෙති   ගුරුවරු
වන්නට බල උන් හට     ගුරු

ඉපිද මෙ ලොව කිම         වෙසෙසක්
නො කොට මළොත් නොවිඳ   සැපක්
වෙසෙසින් කරනට             කිසිවක්
අකුරිනි ලැබෙතොත්            පිහිටක්

ලොවට උපන්නේ පුත               ඔබ
යම් කිසිවක් පිණිස යැ                සුබ
එ සිදු කරන්නට ඉඩ                 ලැබ
ගත හැකි අකුරිනි සිත                තබ

ගුරු දෙ ගුරුන් ඈ හැය ‍          දෙන
ලවා දැන් ම හොඳ යැ           කියන
බස කියවා නොගත          හොතින
විපත පෙනේ මතුවට   මතුවට එන

අකුරට දැන් වන්න                 දාස
අකුරු පසු වැ වේ යැ               දාස
සිදු වෙයි ඔබ හැම                අදාස
පැමිණෙයි සැප දාස                දාස

මුනිදාස කුමාරතුංග
-අකුරු සැහැල්ල, 64-78 කවි මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අහස බලව්!
එහෙන් මෙහෙන්
නො එක් පාට
කොඩි ඇදිලා

පොළොව බලව්!
එහෙන් මෙහෙන්
නො එක් පාට
මල් ඉහිලා


අහසෙ පොළොවෙ
එහෙන් මෙහෙන්
නො එක් පාට
එළි වැටිලා

මේ උදයයි
මහ පුදුමයි
නැඟෙනහිරින්
හිරු නැඟිලා

-ආනන්ද රාජකරුණා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට


බකමූණෝ පියාඹතී
අනිත් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී


මගෙ හුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නෙ පිනි බින්දුත්
හදමු එකක් ඒ වාගේ

හඳහාමි අප දිහාව
එබී බලයි පා හිනාව
සිසිල් සුළං දැල් විඳින්ට
දොරට යන්ට හොඳ වෙලාව
අහසේ තරු වැල් පිරිලා
පොළොවේ සුදු මල් පිපිලා
මඟුල් ගෙවල් දෙකක් වගෙයි
මේ දෙපළම හැඩ ගැහිලා

-ඇස්. මහින්ද හිමි-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
රන් පිඟාන ලෙස වටකුරු
දිලිහි දිලිහි තිබෙන අපුරු

හඳ හාමියෙ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ!

එම පිඟාන මැද හිඳින්නෙ
හාවෙකි, කිරි පැණිද කන්නෙ

හඳ හාමියෙ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ!

අමාවකයි නුඹ නැතිදා
අටවක නැමි පනාවදා

හඳ හාමියෙ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ!

පසළොස්වක පිඟාන දා
නුඹට මගේ දෝත ඉඳා

හඳ හාමියෙ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ!


- ආනන්ද රාජකරුණා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

විස්කම්

සමනළයෙක් ඇවිදින්
තණකොළයක් සමඟින්
පුංචි කතාවක වාගේ
සීතල පිණි වැස්සේ

තණපත් හැඩ කරලා
කව්දෝ කවි ලියලා
තාලයකුත් රැඳිලා
ගැයුමට පද බැඳිලා

රෑ අහසට පායා
සඳ සාවී ගයනා
තරු රංචුත් එබිලා
සමනළයා දැකලා

පුංචි දරුවො පිපෙනා
මල් මෙන් ලොව සරසා
මේ විස්කම් කරනා
කව්දැයි පැණ නැගෙනා

ලොව ලස්සන කරනා
හැඩ රුව ගුණ වරුණා
සොඳුරුයි පිරි සොබනා
සොබා දමයි දිනනා..

-තුෂාරි ප්‍රියංගිකා නැන්දා-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අයිස්ක්‍රීම් කඳු උඩින් බලන් අර
අන්න බලන් සඳ පායනවා
කඳු මුදුනේ අර චෙරි ගෙඩි කන්නට
සූටික්කෝ අර පියඹනවා
ඉල්ල ඉල්ල අර අයිස්ක්‍රීම් තව
වලස් පැටවු හිම පොරකනවා
ඇස්කිමෝ සීයෙක් හැන්දක් අරගෙන
අයිස්ක්‍රීම් බෙද බෙද දෙනවා
අයිස්ක්‍රීම් හැදු ඉග්ලු ගෙවල් වල
ඇතුළේ ඇයි උණුසුම් සීයේ
මෙච්චර සීතල අයිස්ක්‍රීම් ඇයි
උෂ්ණයි කියන්නෙ ඇයි සීයේ
ඉග්ලු ගෙවල් වල අයිස් ගඩොල් බැඳි
බදාම අයිස් ද අපෙ සීයේ
මෙච්චර රස මේ අයිස්ක්‍රීම් වල
ඉතිහාසේ කොහෙන්දො සීයේ
රෝමය ගිනිගෙන වැටෙද්දි නීරෝ
අයිස්ක්‍රීම් කෑවලු ළමයෝ
චීන මාමලා ඊටත් කලිංලු
අයිස්ක්‍රීම් කෑවේ ළමයෝ
රාවණා සීයා හෝර්ටන් තැන්නෙදි
හිම කිරමක් කෑවා ළමයෝ
කියන්න හිතුණත් මම නෑ කියන්නේ
දන්නැති දේවල් හෙම ළමයෝ

කේ.කේ. සමන් කුමාර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


තැටි දෙකක් මැද්දේ
උඩ කටුවකි ඇත්තේ
කවදාවත් මිතුරේ
පැත්තක් නෑ ගත්තේ

උස් මිටිකම් අතරේ
බර වැඩි ගොඩ බරවේ
අනිත් පැත්ත ඔස්සේ
සමබර කොට හිනැහේ

පොළට ගියොත් දකිතේ
නැතිය කිසිත් සද්දේ
තමන් වැඩ් නිසිසේ
ඉටු කරලයි පෙරසේ

ලිව්වේ - වීරයා මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අලියා ගිලින ඇපල් ගෙඩිය මොකද්ද යාළු
කූඹි පිරුණු ඇපල් ගෙඩිය මොකද්ද යාළු
බිම හැදෙනා ඇපල් ගෙඩිය මොකද්ද යාළු
වෙදෙක් වගේ ඇපල් ගෙඩිය මොකද්ද යාළු

අලියා ගිලින ඇපල් ගෙඩිය මෙන්න තියෙන්නේ

දිවුල් ගෙඩිය අලියා ගිලියි
වුඩ් ඇපල්ය කියා කියයි
අලියා ගිල්ල ඇපල් ගෙඩියෙ
මදේ හිස් ලු දිවුල් ගෙඩියෙ

කූඹි පිරුණු ඇපල් ගෙඩිය මෙන්න තියෙන්නෙ

ජම්බු ගෙඩියෙ කූඹි ගුලයි
පිඹලා පිඹලා කූඹි අරියි
අපේ මිදුලෙ ජම්බු ගහයි
රෝස ඇපල් කියා කියයි

බිම හැදෙනා ඇපල් ගෙඩිය මෙන්න තියෙන්නේ

බිම හැදෙන්නෙ අන්නාසියි
බිත්තරෙ වගෙ දිගට දිගයි
පයිනැපල්ය කියා කියයි
ඔළුව කඩලා හම ගසතෙයි

වෙදෙක් වගේ ඇපල් ගෙඩිය මෙන්න තියෙන්නේ

වෙදා ඉතින් බෙලි ගෙඩියයි
බඩේ ලෙඩට හරිම ගුණයි
කටුව හරිම හරි සිනිඳුයි
ස්ලිම් ඇපල්ය කියා කියයි

අත්තක් උඩ බුම්මාගෙන
කටු රෙද්දක් පොරවාගෙන
තවත් එක්කෙනෙක් ඉන්නෙ
එයත් ඉතින් ඇපල් තමයි

වැල වාගෙ බෙරිම බෙරියි
මදුළු සුදුම සුදු පාටයි
ඇඟිලි අස්සෙ කිරි බේරෙයි
මෙයත් ඉතින් වෙදෙක් තමයි

කස්ටඩ් යයි මුලට තියෙන
ඇපල් ගෙඩිය මෙයා තමයි
කටු ආත්තා කියා කියයි
මෙයත් දක්ෂ වෙදෙක් තමයි
ලිව්වේ- කේ.කේ. සමන් කුමාර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails