සත්ව විද්‍යාත්මකව Misumena vatia ලෙස හැඳින්වෙන මේ සුවිශේෂි මකුළු විශේෂය කකුළු මකුළු පවුලෙ සාමාජිකයෙක්. ඇත්තටම මේගොල්ලන්ගෙ ඉදිරි පාද යුගල කකුළුවෙකුගේ මෙන් ඉදිරියට නැඹුරු වූ ස්වරූපයක් ගන්නවා. ඒවගේම කකුළුවෙකු මෙන් පසුපසටත්, පැත්තෙන් පැත්තට පාර්ශ්වීය ලෙසත් චලනය වීමේ හැකියාව තිබෙනවා. වේශාන්තරණය මකුළු ලෝකය තුල දුලබ සිදුවීමක්. ඒත් මේ Misumena vatia අයත් මකුලුවන් සුවිශේෂි වන්නේ ඔවුන්ට වේශාන්තරණය වීමේ ඇති හැකියාව නිසයි. උතුරු අමෙරිකාවේ සුලබ මකුළු විශේෂයක් වෙන මොවුන් හඳුන් වන්නේ ගෝල්ඩන්රොඩ් මකුළුවන් ලෙසයි. ඒ ඔවුන් වැඩියෙන්ම ගැවසෙන්නේ ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයේ නිසයි.

මේ කකුළු මකුළු විශේෂය ගොදුරු අල්ලාගන්නට කිසි විටෙකත් දැල් උපයෝගී කරගන්නේ නෑ. ඔවුන් ප්‍රසිද්ධ සැඟවී සිට පහරදෙන දඩයක්කරුවන් ලෙසයි. ඒ කියන්නේ Misumena vatia විශේෂයේ මකුළුවන් ඉන්නා පෘෂ්ඨයට සමීප වර්ණයකින් සිරුර පවත්වා ගැනීමක් එහෙම නැතිනම් වේශාන්තරයක් සිදුකිරීමෙන් තමයි මෙය සිදු කරන්නේ. වේශාන්තරණය මකුළුවන් අතර දුලබ දෙයක් වුණත් Misumena vatia ට මේ හැකියාව තියෙනවා.

මේ මකුළුවන් ගේ පිරිමි සතුන් ප්‍රමාණයෙන් මි. මී.5ක් තරම් වන නමුත් ගැහැණු සතුන් මි. මී.10ක් පමණ වෙනවා. ශරීර වර්ණය ලා කහ පැහැයක් හෝ සුදු පැහැයක් ගන්නේ ඔවුන් දඩයන් කරන්නට යොදා ගන්නා පෘෂ්ඨය අනුවයි. ඩේසි සහ සූරියකාන්ත මල් වල සිටින නොමේරූ ගැහැණු සතුන්ට තමාගේ ශරීර වර්ණය තමා කැමති පරිදි වෙනස් කරගැනීමෙ හැකියාව තිබෙනනවා. මේරු ගැහැනු මකුළුවෙකුට ශරීර වර්ණය වෙනස් කරගැනීමට වර්ණක බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම එම කාර්යය සඳහා දීර්ඝ වේලාවක් ගතවෙනවා. ඒ නිසා ඔවුන් වැඩිපුර තොරා ගන්නේ තද කහ පැහැති ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයයි.

කයිනුරෙනීන් සහ 3-හයිඩ්රොක්සිකයිනුරෙනීන් නම් කහ පැහැති වර්ණක සහිත දියරයක් ශරීරයේ බාහිර සෛල ස්ථරයට නිකුත් කිරීමෙන් තමයි ඔවුන් පාට වෙනස් කරන්නේ. ඉන්පසු ශ්වේත වර්ණය මූලික කරගෙන එම කහ වර්ණය පහල ස්ථරයන් වෙත පරිවහනය කරනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල සුදු පැහැ ගැන්වීමෙන් අනතුරුව එය බාහිරයට පෙනෙන්නට පටන් ගන්නවා. මෙම මකුළුවන් දීර්ඝ වේලාවක් සුදු පැහැති පෘෂ්ඨයක රැඳි සිටින්නේ නම් කහ වර්ණක ශරීරයෙන් දිගින් දිගටම බහිස්‍රාවය කරනවා. එමගින් ශරීරය කහ පැහැවීම දිගු වේලාවකට ප්‍රමාද කරනවා. සාමාන්‍යයෙන් පැහැය සුදු වර්ණයයේ සිට කහ වර්ණය දක්වා වෙනස් වීමට දින 10-25 ත් අතර කාලයක් ගත වෙනවා. ඒ වගේම යථා තත්වයට පත් වෙන්න ගත් වෙන්නෙ දින 6ක් වගේ කාලයක්.

නීල්යා කාරියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


වසන්නතය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි පුංචිම පුංචි හරිත දම් ලපළු අතු ඉති වලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඬේසි මල් තණකොළ අතරින් පතර පීදෙද්දි, පුංචිම පුංචි කුරුමිණියො අවදි වෙනවා. උන් කෑම හොයන්නට කොළ අතරින් පතර එහෙට මෙහෙට යනවා. එහෙමත් නැතිනම් සෙල්ලම් කරනවා.

ඒත් එක කුරුමිණියෙක් විතරක් කොළයක් උඩට වී, හෙල්ලෙන්නෙවත් නැතුව නින්ද ගියා සේ ඉන්නවා. ඒත් ළං වෙලා හොඳ හැටි බැලුවොතින් නම් පෙනෙයි, පුංචි ඇස් ඇරිලා තියෙන ආකාරය. මිතුරු කුරුමිණියෝ සන්තෝසෙන් ඉපිලෙමින් හැංඟිමුත්තො කරනායුරු බලන් ඉන්නාකාරය.

"අයියෝ! මට එක ලපයක් තියෙන නිසා මෙයාලා විහිළු කරනවා...." කුරුමිණියෝ රංචුවක් එකතුවෙලා කණපිට හරවපු ඒ කුරුමිණියා, බොහොම අමාරුවෙන් කෙලින් වෙන ගමන් දුකෙන් කියන්නට වුණා.

"එක ලපයා අවාසනා.. එක ලපයා අවාසනා
හා.. හා.... හී.. හී..... හූ.. හූ...."

කුරුමිණි රංචුව එක ලපයක් තියෙන කුරුමිණියාට ඇහෙන්න හයියෙන් කවට ගීත කියන්න පටන් ගත්තා. ළඟට එන ලප හයක් තියෙන කුරුමිණියෙක් එක ලපයාව වේගයෙන් තල්ලු කරන්නෙ, කකුල් උඩට විහිදෙන ලෙස බිමට වැටෙන්නයි.

ආයෙමත් කෙලින් වෙන එක ලපයා පුංචි අත්තටු විහිදගෙන, විහිළු තහළු කරන කුරුමිණියන්ගෙන් ඈතට පියාඹනවා.


එක ලපයාට ඕනෑ වුණේ කුරුමිණි රජ්ජුරුවන් ගාවට යන්නයි. ගිහින් අනෙක් කුරුමිණියන්ට ලප කීපයක් තියෙද්දි, තමන්ට විතරක් එක ලපයක් තියෙන්නෙ ඇයි කියල අහන්නයි. අත්තටු තෙහෙට්ටුවට පත්වුණ නිසා එක ලපයා බිමට ඇවිත් වැහුවා. කුහුල් සිතින් අවට වට පිටාව නරඹන්නට වූ එක ලපයා දුටුවේ දිග ගැඩවිල් පණුවෙක්.

"ඔයා දන්නවද එක ලපයක් තියෙන තවත් කවුරු හරි?" කුරුමිණියා පණුවගෙන් ඇහුවා.

"මට එක ලපයක්වත් නෑ..."යි කීව පණුවා, ලස්සනට ඇකිලුණා."බොරුනම් බලන්නකෝ...."යි කීව ඌ, පස් ඇතුලේ අතුරුදහන් වෙන විදිහ එක ලපයා පුදුමයෙන් බලන් සිටියා.

ටිකෙන් ටික ඉදිරියට ඇදුණ කුරුමිණියා ඊළඟට දුටුවේ සුදුපාට බෝලයක් උස්සගෙන යන කූඹියෙක්ව.

"අනේ! ඔය සුදු ලපය මට දෙනවද?"එක ලපයා කූඹියාගෙන් ඇහුවා.


"අනේ.. පුංචි යාළුවේ, මේ කූඹි බිත්තරයක්නේ...."යි කියා සිනාසුණ කූඹියා, කඩිසරව ඉස්සරහට ගියා.

නොනැවතී ඉදිරියට ඇදුණ එක ලපයාට රෝස සුවඳ දැනෙන්නට වුණා.

‘ඔය සුවඳ එන්නෙ රෝස මාළිගාවෙන් වෙන්න ඕනෑ.... ’එක ලපයාට සිතුණා.

ලස්සනම ලස්සන රතුරෝස මලක් උඩයි වයසක රජතුමා ජීවත් වුණේ.. ගොඩක් ලප තිබුණ මේ රජතුමා හොඳට දන්නවා, මල්පැල වලට සාත්තු සප්පායම් කරනායුරු. රජතුමාගේ සේවක කුරුමිණියෝ ඒ සඳහා රජතුමාට උදව් පදව් කරනවා.

කොහොමහරි කටු වලින් පිරුණ ශක්තිමත් රෝසගහ ළඟට එක ලපයා සේන්දු වුණා. විශාල රෝසකටු අතරින් පරිස්සමට එක ලපයා ගහ මුදුණට නගින්නට වුණා. අතර මගදි තවත් කුරුමිණියො රාශියක් එක ලපයාට හමුවුණා. උන් එක ලපයා දිහා පුදුමයෙන් බැලුවා.

සෑහෙන වෙලාවකට පසු, සුවඳ හමන රතුරෝස මල ළඟට එක ලපයා පැමිණියා.

රජතුමා ඉදිරියට පැමිණි එක ලපයා ගරු සරුව නැමී: "රජතුමනි.... ඔබතුමා දන්නවද මට විතරක් ඇයි එක ලපයක් තියෙන්නෙ කියලා.... ?" යි ඇසුවා.

"එක ලපයක්? ඒක කොයි තරම් පුදුමයක්ද! ?" රජතුමා සන්තෝසෙන් උදම් වැනුවා."ඔයා විතරයි මුළු කුරුමිණි ලන්තයේම ඉන්න එක ලපයක් තියෙන කුරුමිණියා...." යි කීව රජතුමා, රෝස පඳුරේ සියලුම කුරුමිණියන්ට පෙනෙන්නට එක ලපයාව උඩට ඉස්සුවා.

එක ලපයාව දුටු කුරුමිණි සේවකයෝ තාලෙට ගයන්නට වුණා.

"එක ලපයක් එක ලපයක්
හරිම හැඩයි හරි පුදුමයි
එක ලපයා වාසනා
එක ලපයා වාසනා"


රජතුමා සහ එක ලපයා උන් තැනට කුරුමිණියෝ ඉක්මණින් පියාඹගෙනද, තවත් සමහරෙක් කඩිසරව ඇවිදගෙනද එන්න පටන් ගත්තා. එක ලපයා ඉදිරියේ බාගෙට නැමුණු ඒ කුරුමිණියෝ කකුලක් දී එක ලපයාට සුබ පතන්නට වූණා.

"එක ලපයක් තියෙන රතු කුරුමිණියෙක්.... හරි පුදුමයි...."උන් එකිනෙකාට මුමුණන්නට වුණා.

"එක ලපයා.... කොච්චර ලස්සන නමක්ද.. ?"

විහිළු තහළු කරමින් එක ලපයාව කොන් කරපු කුරුමිණි රංචුවටත් මේ පුවත ඉක්මණින් ආරංචි වුණා. රජතුමාගේ මාළිගාවේ සැඳෑ සාදයට ඒ කුරුමිණි රංචුවට ද ආරාධනා ලැබුණත්, ලැජ්ජාව නිසා උන් මාළිගාවට ගියේ නෑ. ලැජ්ජාව කොච්චරද කියනවනම් ඒ කුරුමිණි රංචුව මුළු දවස තිස්සෙම ඇවිද්දෙ රෝස කොළයක් යට හැංඟිලායි.


මාළිගාවේ සියලුම කුරුමිණියෝ ගී ගය ගයා රවුමට නැටුවා. එක ලපයාත් ගොඩක් සන්තෝසෙන් සහ ආඩම්බරෙන් අනෙකුත් කුරුමිණියන් හා නටන්නට ගයන්නට වූණා. ඒ විතරක් නෙමෙයි එක ලපයාව රජතුමාගේ සේවක කුරුමිණි හවුලටත් බඳව ගත්තා. රජතුමාට සේවය කිරීම ගරු නම්බුවක් විදිහටයි, කුරුමිණි ලන්තයේ හැමෝම සැලකුවේ.

එදා ඉඳන් රතුරෝස මාළිගාව තවත් දිලිසි දිලිසි සුවඳ හමන්නට රෝසපෙති සුද්ද පවිත‍්‍ර කරන අනෙක් සේවක කුරුමිණියන්ට, එක ලපයාත් උදව් කරනවා.

[සිතුවම්- ගෙර්දා වෙස්ටරින්ක්]

එවලින් ෆන් දොර්ත්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails