අඳුර වැටෙන්න ඔන්න මෙන්න තිබියදී ටීවෝස් රජතුමාට ඔහු සෙවූ දෙය හම්බ වුණා. ඒ තමයි නගරය කෙළවරේ පැරණි මහල් නිවාසයක තුන්වැනි තට්ටුවේ තිබුණ, හිස් නවාතැන.

අශ්වකරත්තය නවතා අශ්වයන්ට කන්න දීපු රජතුමා ඔහුගේ හා පැටියාව සහ පුංචි වයලට් මල් පැලයක් සිටවා තිබූ මල් පෝච්චිය, නවාතැනේ සඳැල්ලෙන් ගෙන ගොස් තබා, කරත්තය තුළ වූ බඩු නිවස තුළට අදින්නට පටන් ගත්තා.

පියගැටපෙළේ උඩ සිටි කාන්තාවක්, රජතුමා ඉදිරිපිට ගරු සරුව නැමී.... ” අනේ ! රජතුමනි.... කෝ ඔබේ සේවකයෝ” යි, ඇසුවා.

”එයාලා මෙහෙ නෑනේ....” සිනාසී පිළිතුරු දුන් රජතුමා, ”ඔයාට පුළුවන්ද මට මේ බුමුතුරණ උඩට ගිනියන්න උදව් වෙන්න”.... යැයි ඇගෙන් සුහදව ඇසුවා.

”පුළුවන් රජතුමනි....” යි කියා, කාන්තාව බුමුතුරණ ඉහල මාලයට ගෙන ගියා. රජතුමා ඇයට හදවතින්ම ස්තූති කරා.

රජතුමාගේ   දත් මද්දවන්න,     පිට අතුල්ලන්න    සේවකයින් හිටියෙ නෑ. අඩුමගානේ කොණ්ඩය   පීරන්නවත් සේවකයෙක්     හිටියේ නෑ.

තනියම නාන කාමරයට ගොස් සුද්ද පවිත‍්‍ර වුණ රජතුමා රාතී‍්‍ර ඇඳුම ඇඳ නිදහසේ ඇඳට ගියා.

පහුවෙනිදා රජතුමා පාරේ කොණක තිබුණ කඩයකට ගොස් කිරි පෙට්ටියක්, කේජු බනිස්, ඇපල්, හා පැටියට කැරට් වගේම මල් පැලේට වතුර දමන්නට පුංචි භාජනයක් රැගෙන සිවුරුහඬලමින් නිවසට පැමිණියා.

හිරු එළිය වැටිලා තිබුණ සැඳැල්ලට වෙලා රජතුමායි, එයාගේ හා පැටියයි ආහාර රසවින්ඳා. වතුරෙන් නෑවිලා තිබුණ මල පැලෙත් සැඳැල්ලෙ අයිනක තිබුණා.

නගරයේ සද්ද බද්ද යන්තමින් රජතුමාට ඇහුණා. වාහන වල, කෝච්චි වල රළු හඬ වගේම සෙල්ලම් කරන ළමයින්ගෙ හඬත් ඒ අතර  වුණා. උණුසුම් සුළං රැල්ලකට තම හිසකෙස් අතර හමන්න ඉඩ දුන්න රජතුමාට, ජීවිතය කොයිතරම් රසවත්ද කියා හිතුණා.

දවල් වරුව උදා වුණාම රජතුමා ”එන්න හා පැටියෝ.... අද ඇවිදින්න යන්න හොඳ දවසක්” කියා, හා පැටියව හීනී ලණුවකින් බැඳගෙන උයනට ගියා.

වයසක කාන්තාවක් රජතුමාව දැක.... ”අනේ ! රජතුමනි.... හා පැටියෙක්ව ඔහොම බැඳගෙන ඇවිදින්න බෑනේ”යි, රජතුමාට කීවා.

එතකොට හාවා දිහා බලපු රජතුමා.... ” ඇත්ත තමයි.. ඇත්තම තමයි” කියලා, හා පැටියගේ බෙල්ලෙන් ලණුව ගලවලා, ඉදිරියට ඇවිදගෙන ගියා. හා පැටියා රජතුමා පිටිපස්සෙන් පැන පැන ආවා.

ටීවෝස් රජතුමා ආයෙත් නවාතැනට එනකොට නගරාධිපති රජතුමාව මුණගැහෙන්න ඇවිත් හිටියා.

”අනේ රජතුමනි ඔබතුමාගේ වටිනා අශ්ව කරත්තය මේ වගේ පෙදෙසක තියන්නෙ ඇයි”.... කියා, ඔහු රජතුමාගෙන්න ඇහුවා.

එතකොට අශ්ව කරත්තය දෙස බලපු රජතුමා.... ”ඇත්ත තමයි. කරත්තය ඔහේ තියෙනවා... මට රාජකීය කරත්තයකින් වැඩකුත් නැහැ”යි, කියා.... කරත්තයේ බැඳ උන් අශ්වයින්ව ලිහා පිට්ටනියට ගෙන ගොස් දමා කරත්තය විකුණන්න දැම්මා.

ඊළඟ දවසෙ අගමැති රජතුමාගේ නවාතැනට ආවා. අගමැතිව දුටු රජතුමා පුදුම වී ” මම ඔබව මෙහෙදි දකින්නට බලාපොරොත්තු වුණේ නෑ”යි, කීවා.

”අපිට ඔබව නැති කරගන්න බෑ රජතුමනි”යි, ඇමතිතුමා කීවා... ”පාලනයේ වැඩකටයුතු පිළිවෙළට කරන්න එපැයි....” රජතුමනි.

ඇමතිතුමාගේ කතාව ඇහුණ රජතුමා, මද වෙලාවක් කල්පනාවක නියැලී හිඳ.... ”ඔබ කියන දේ හරි අගමැතිතුමනි.... රජතුමාගෙන් පස්සෙ අගමැතිතුමා තමා රට පාලනයට සුදුස්සා.... ඒක නිසා අදින් පස්ස පාලනයේ සියලුම වැඩ කටයුතු ඔබට බාරයි....”

ඒ වචන ඇහුව අගමැතිතුමා පුදුම වුණා. ඒත් රජතුමාගේ කතාවට එකඟ වී එතැනින් එන්න ආවා.


ටික වෙලාවකට පසු රජතුමාව මුණගැහෙන්න ආව රැජිණි ”ටීවෝස් ඔයා පුදුම දේවල් තමා කරන්නෙ”යි, මදක් කේන්තියෙන් පැවසුවා. ”අර තරම් විශාල මාලිගාවක මාව තනිකරල ආවම හරිද ?”

”ඔයා කියන එක ඇත්ත තමා.... ඒත් නවාතැනේ ගෙවන ම් ජීවිතය නිස්කලංකයි.... ඔයත් එන්න මා එක්ත මෙහෙ ජීවත් වෙන්න” යැයි රජතුමා රැජිණිට කීවා.

”මෙතැන ජීවත් වෙන්න ? ඒ දේ නම් කොහෙත්ම කරන්න බෑ”යි.... කීව රැජිණ, නැවතත් මාළිගාවට යන්න ගියා.

”අයියො ! ” රජතුමා දුක් වුණා. ”ඒත් ඉතින් තමන්නට කැමති දේ කරන්න තමන්ට පුළුවන්නෙ... ජීවිතය නිදහස් තැනක් නෙ....” රජතුමා එයාටම කියා ගත්තා.

සැඳල්ලට ගිය රජතුමා හා පැටියව බිම තබා මල් පැලේ හිරු දෙසට හැරෙව්වා. පහළ වීථීයෙන් සිනා හඬක් මතුවෙන්න පටන් ගත්ත නිසා රජතුමා එදෙස බැලුවා. ගම්වාසීන් රජතුමාට හිනා වෙන්න පටන්ගෙන....

”මෙයාටද මේ රජතුමා කියන්නෙ ? රජතුමෙක් වුණාට මෙයාට කිසිම දෙයක් නෑනේ. මාලිගාවක් නෑ.... සේවකයො නෑ.. රැජිණක් නෑ.. අඩුම ගානේ අශ්ව කරත්තයක්වත් නෑ.. මුකුත් නැති රජතුමා ! මුකුත් නැති රජතුමා !” ගම්මු හිනා වෙවී රජතුමාට අපහාස කරන්න පටන් ගත්තා. ඒ කතා සියල්ලම නිහඬව අසා  සිටිය රජතුමා අහස දෙස බැලුවා. හිරු එළිය රජතුමාගේ මුහුණට වැටුණා. හා පැටියා සහ මල් පැලය දෙසත් බලපු රජතුමා....

”මුකුත් නැති රජතුමා ?” යි කියාගෙන, මහා හඬින් හිනා වුණා. රජතුමා කොච්චර හයියෙන් හිනා වුණාද කියනවනම්, ඒ හිනා හඬ මුළු වීථීය පුරාම රැව් පිළිරැව් දුන්නා.


”මට හා පැටියෙක් ඉන්නවා.. මල් පැලයක් තියෙනවා.. හිරු එළිය විඳගන්න පුළුවන් සඳැල්ලක් තියෙනවා....”යි, රජතුමා හිනාවෙවී කීවා.

ඒ කතාව ඇහුණ ගම්මු කිසිවක් කියා ගත නොහැකිව සිය නිවෙස් බලා යන්න ගියා. ලොකු හුස්මක් ගත්ත රජතුමා හා පැටියට කැරට් අලයක් කන්න දී මල් පැලේටත් වතුර දා නිදහසේ කෑම කන්න පටන් ගත්තා.

කල්පනා කර බලා තීරණයක් ගත් රැජිණ කළුවර වැටෙන්නට පෙර රජතුමා එක්ක නවතින්නට නවාතැනට ආවා.









කතාව : එල් ෆන් ලීස්හවුට් සහ එරික් ෆන් ඔස්

සිතුවම් : පාවුලා ගෙරිට්සන්

පරිවර්තනය : මුතු පබා






මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ඔන්න එකෝමත් එක කාලෙක ඈත ගමක බොහොම කාරුණවන්ත ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ජීවත් වුණා.

"හාමිනේ, මං උඩහ කැලේට යනව, දර ඩිංගක් කපාගෙන එන්ට" ඔන්න දවසක් සීයා ආච්චිට කිව්වා. එහෙම කියලා ගේ පිටිපස්සෙ තියෙන කඳු මුදුනට යන්ට පිටත් වුණා.

සීයා කැලේට ගිහින් දර කප කපා ඉන්නකොට, එකපාරටම "දඩ්ස් - බඩස්, දඩස්- බඩස්" ගාන සද්දයක් ඇහෙන්ට පටන් ගත්තා. සද්දෙ ඇහුණේ කැලේ ඇතුළෙන්.

"මොකද්ද ඒ අමුතු සද්දෙ?" ඔන්න සීයා පුදුම වුණා. මේ අමුතු සද්දෙ මොකක්දැයි බලන්ට හිතපු සීයා පඳුරු අස්සෙන් රිංග රිංගා කැලේ ඇතුලට ඇවිදගෙන ඇවිදගෙන ගියා.

සීයා ඔහොම ඇවිදගෙන ඇවිදගෙන ගිහින් එළිමහන් බිමකට ආවා. ඒක නිකම්ම නිකං එළිමහන් බිමක් නෙමෙයි. සූමෝ ක්රීගඩා පිටියක්.සූමෝ පිට්ටනිය මැද හැඩි දැඩි මහත මී පැංචෙකුයි කෙට්ටු පොඩි මී පැංචෙකුයි සූමෝ සෙල්ලම් කරනවා.

"හහ්..හහ්...හා... මේක නම් හරිම අපූරුයි!"

එහෙම කියාපු සීයා ලඟ තිබුණු ගසකට මුවා වුනා.ඇස් දෙක අල්ලෙන් හොඳ හැටි පිස දමලා මී පැටවුන්ගේ සූමෝ සටන බලන්න ලැහැස්ති වුණා.

ඔන්න කෙට්ටු මීයා ඉන්නෙ සීයගෙ ගෙදර බව එතකොට සීය අඳුනා ගත්තා. මහත මීයා ගමේ බොහොම පොහොසත් ගෙදරක ඉන්නා මීයෙක් බවත් සීයා අඳුනා ගත්තා.

"අපේ පුංචී මී පැටියෝ, තව හයියෙන් , තව හයියෙන්!"

සීයා හැංගිලා ඉඳගෙන පුංචි මීයාව දිරිමත් කළා.ඒ වුණත් සීයාගෙ ගෙදර උන්නු මී පැංචා බොහොම දුර්වල කෙනෙක්.ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ඒ වෙලාවෙ තිබුණෙ නෑ.සටනට යන හැමවෙලාවෙම මහත මී පැංචා "දඩස්- බඩස්, දඩස්-බඩස්" ගාලා කෙට්ටු මී පැංචා ව වේගයෙන් පොළොවෙ ගැහුවා.

තමන්ගෙ ගෙදර ඉන්න කෙට්ටු පොඩි මී පැංචා ගැන සීයට බොහොම දුක හිතුණා.

ඔන්න ආපහු ගෙදර ආව සීයා ආච්චිට තමන් දැක්ක හැමදේම විස්තර ඇතිව කීවා.

"මට බොහොම කණගාටුයි. ඇත්තටම මට ඇඬෙන්ට ආවා. සෙල්ලම පටන් ගත්ත හැමවෙලාවෙම "දඩස්- බඩස්" "දඩස්-බඩස්" ගාල එහාටයි මෙහාටයි වැටිලා දූව්ලි නාපු හැටි. අපි එයාට කොහොමෙන් හරි උදවු කරන්ට ඕනෑ හාමිනේ. අපිත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන උදවිය නොවැ. ඉතින් හොඳ කෑමක් බීමක් කොහෙන්ද අපට?"

එහෙම කියලා සීයා දිග සුසුමක් හෙළුවා.

"මට පුළුවං අග්ගලා හදන්ට. අපි ඒවා කවමු මී පැංචට!" ඔන්න එතකොට ආච්චි පිළිතුරු දුන්නා.

අළුත් අවුරුද්දට ගන්ට කියලා ආච්චියි සීයයි දුම් මැස්සෙ හංගපු හාල් සුද්ද කරලා, කොටලා රසම රස අග්ගලා හැදුවා.

"වැඩියෙන් කෑවොත් වැඩි වැඩියෙන් දින්නන්න පුළුවන් නොවැ " එහෙම කිය කියා ආච්චියි සීයයි දෙන්නම එකතු වෙලා ඔන්න අග්ගලා ගුලි කරන්ට පටන් ගත්තා.

ඊට පස්සෙ මී පැංචා නිතර යන එන රාක්කයක් බලලා ඒක උඩින් අග්ගලා ගුලි කීපයක් තැබුවා.

පහුවෙනිද උදේ රාක්කය උඩ තියපු අග්ගලා ගුලි ඔක්කොම අතුරුදහන් වෙලා තිබුණා.

"අහා.. මී පැටියට අද නම් හොඳ හැටි සටන්කරන්ට පුළුවන් වෙයි හාමිනේ"

එහෙම කියාපු සීයා බොහොම සතුටින් කන්ද නැගලා කැලේට යන්ට පිටත් වුණා.

සීයා ආයෙමත් දර කපනවා. එතකොටම කලින් දවසෙ ඇහුණා වගේම "දඩස්-බඩස්" "දඩස්- බඩස්" සද්දය ඇහෙන්ට පටන් ගත්තා.

"ආහ්! අදත් සූමෝ සෙල්ලම් කරනවා වගෙයි" එහෙම කියාපු සීයා හිනා වෙවී හෙමි හෙමින් කැලේ ඇතුලට ඇවිදගෙන ඇවිදගෙන ගියා.

ඔන්න මහත මී පැංචා කකුළක් ඉහළට ඔසවලා වැරෙන් පහරක් ගහලා සටන් කරන වළල්ල මැදට ආවා.

"ඔහොම නවතිනවා!" එහෙම කියාගෙන කෙට්ටු මී පැංචත් වලල්ල මැදට ආවා.

ඔන්න දෙන්නම මැද්දට පැනලා පොරයට සූදානම් වුණා.මහා පුදුමයක් සිදුවෙමින් තිබුණා. මහත මී පැංචා වෙතට පැන්න කෙට්ටු මී පැංචා ඔහුව එක පහරින් ඔසවා "දඩස් -බඩස්" "දඩස්- බඩස්" හඬින් බිම පෙරළා දමන්ට වුණා.

"අපි ආයෙත් කරමු!" පැරදුනු මහත මී පැංචා කිව්වා. එවරත් මහත මී පැංචා ඔසවා පෙරලා දමන්ට කෙට්ටු මී පැංචාට හැකි වුණා. කොතෙක් වාරයක් තරඟ කළත් අවසානයේ දිනුම හිමි වුණේ කෙට්ටු මී පැංචට.

"පුදුමයක් නොවැ! කොහෙන්ද එකපාරටම මේ හැටි ශක්තියක් ඔහේට ලැබුණේ?" මහත මී පැංචා හිස දෙපසට වනමින් විමසා සිටියා.

"මං ඊයෙ රෑ බඩ පැලෙනකල් අග්ගලා කෑවා " දුප්පත් ගොවි ගෙදර ඉන්න කෙට්ටු මී පැංචා උත්තර දුන්නා.

"ඔහේ කොයිතරම් වාසනාවන්තද? ඒකට මං ඉන්න ගෙදර ඉන්න උදවිය? මහා ලෝබ මිනිස්සු ටිකක්. මුළු ජීවිතේටම අග්ගලා ගුලියක් වත් හදලා නැතුව ඇති. අපි මෙහෙම කරමු. අද රෑට මං එන්නම් ඔහේගෙ ගෙදරට. අනේ, යාළුවේ මටත් ආසයි අග්ගලා ගුලියක රස බලන්ට" පොහොසතාගේ ගෙදර ඉන්න මී පැංචා කිව්වා.

"ඒත්, මං ඉන්න ගෙදර උදවිය බොහොම දුප්පත්. ඔහේට පුළුවන් නම් සල්ලි ටිකක් අරන් එන්න, ඒක ලොකු උදව්වක් වෙයි" කෙට්ටු මී පැංචා කියා සිටියා.

" අපොයි, ඒක සුළු දෙයක්! මං ගේන්නම්, මං ගේන්නම්. සල්ලි නම් ඕනෑ තරමක් එහෙ තියෙනවා" මහත මී පැංචා කිව්වා.

"අවුරුද්දට තව බොහොම කල් තියෙනවා නොවැ. මේ හාල් ඔක්කොගෙම අග්ගලා හදලා ඇති තරමක් කන්ට දෙමු" යි කියලා මහළු ආච්චියි සීයයි ඔන්න ඒ අතරෙ කතා වුණා.

කලින් දවසෙ වගේම හාල් හෝදලා, සුද්ද කරලා, කොටලා අග්ගලා ගුලි හදලා රාක්කෙන් තිබ්බා.

ඒ විතරක් නෙමෙයි මේ කාරුණික ආච්චි රතුම රතු රෙදි කැබල්ලකින් හදාපු පුංචි රෙදිකඩවල් දෙකකුත් තැබුවා රාක්කෙන්, මී පැංචලා දෙන්නට ඇඳගන්ට.

ඔන්න පුරුදු විදියටම උදේම අවදි වෙලා බලද්දි අග්ගලා සියල්ලම අතුරුදන් වෙලා. පුංචි රෙදිකඩවල් දෙකත් අතුරුදන් වෙලා.

"හාමිනේ, හාමිනේ මං හිතන්නෙ පොහොසත් ගෙදර මී පැංචාත් මෙහේ ඇවිත් තියෙන හැඩයි" සීයා කිව්ව.

"අද කවුරු දිනයිද කියලා මට නම් හිතාගන්නවත් බෑ. බොහොම විනෝදජනක වෙයි අද නම්. හහ්...හහ්....හා!"

පුදුමයෙන් කියූ සීයා කැලේට යන්ට සූදානම් වුණා.

ඔන්න එතකොට සීයා දැක්ක ගොවි ගෙදර මුල්ලක රන් කාසි තුනක් වැටිලා තියෙන හැටි.

"හාමිනේ, හාමිනේ, පය ඉක්මන් කරලා මෙහෙ එන්ට. පොහොසත් ගෙදර මී පැංචා අපට හැබෑම වස්තුවක් ගෙනත් තියලා, මේ බලන්ට" සතුට ඉහවහා ගිය සීයා කෑගැහුවා.

ඉතිං මේ රන් කාසි දැකලා සතුටට පත් වුණු ආච්චියි සීයයි දෙන්නම හෙමි හෙමින් කන්ද නැගලා කැලෑවට ඇතුළු වුණා, මී පැංචලාගේ සූමො සටන නරඹන්ට.

වෙනදා වගේම ඔන්න සීයා දර කපන්ට පටන් ගත්තා. ආච්චි බලා හිටියා. කැළේ ඇතුලෙන් පුරුදු විදියටම "දඩස්-බඩස්, දඩස්-බඩස්" හඬ ඇහෙන්නට පටන් ගත්තා. හැබැයි ඒ හඬ වෙනදාට වඩා බොහොම වැඩියි.

"ආං..ආං ඇහෙනව සද්දෙ.පටන් අරගෙන වගෙයි. හනිකට යමු , හනිකට යමු, වෙන්නෙ මොකදැයි බලන්ට" මහළු ආච්චි අම්මාගේ අතින් අල්ලා ගත් සීයා කැළේ ඇතුළටම ඇවිදගෙන ගියා.

එතකොට ඒගොල්ලො දැක්කා, රතු පාට පුංචි රෙදිකඩවල් ඇඳගත් මී පැංචලා දෙන්නා සූමො පිට්ටනිය මැද සෙල්ලම් කරන අපූරුව. දෙන්නම කොයි තරම් ශක්තිවන්තද කියනවා නම් කවුද දිනුම් කියලා කියන්ට බැහැ. කොයිතරම් වාරගණනක් සෙල්ලම් කළත් ඒක එහෙමම තමයි.

එදා හවස් වෙනතුරුම ආච්චියි සීයයි මී පැංචලාගේ සූමෝ සෙල්ලම් බලා හිටියේ බොහොම සතුටින්.

ඔන්න ඉතිං එදා ඉඳලා පොහොසත් ගෙදර මී පැංචා ගෙනා රන් කාසි නිසා ආච්චියි සීයයි බොහොම සැපෙන් සතුටින් කල් ගෙවුවා.



ජපන් ජනකතාවක් ඇසුරිනි
ජපන් බසින් සිංහලට නැගුවේ - ප්‍රශංසනී පරණවිතාන


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ
සුදු වළා පාවෙනා

ළමයින් සුවඳයි
කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ
රන්මිණි පහනයි

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ

අනාථ දෑසේ
කෙම්බිම ඔබමයි
මිලාන ලෝකේ
හසරැලි උයනයි

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ
සුදු වළා පාවෙනා

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ



ගී පද : බන්දුල නානායක්කාරවසම්
ගීත මියැසිය : ආනන්ද ගමගේ
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ළමා පිරිසක්



සිංඳුව මෙතැනින් අහන්න....



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අපේ තාත්ගෙ වඩු මඩුවේ
මෙන්න බොලේ මං ලී කොටයක්
ඔන්න ඉතිං මං රූකඩ පැංචා
රැවුලෙන් අදිනවා තාත්තගේ



ටින් ටින් දුවගෙන දුවගෙන ආවා
පුදුම හීනයක් මං දැක්කා
හිම කුමාරිය නිදියන් උන්නා
මුතු කුමාරිය අඞ අඞ උන්නා
සින්ඩරෙල්ලත් පැත්තක උන්නා
අන්දරේ ඉඳගෙන සීනිත් කෑවා
පුදුම හීනයක් මං දැක්කා


අඟුටු මිට්ටො නට නට යනවා
මහ දැන මුත්තා මුට්ටි බිඳිනවා
කුමාරයෝ අශ්වයො පිට යනවා
අණබෙරකාරයො වීදියෙ යනවා
ඇතෙක් බරට මට වස්තු ලැබෙනවා
ගුවන් යානෙකින් පාසල් යනවා...

- කේ. කේ. සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

වැඩ බැරි දාස චිත්‍ර ඇඳීමට පටන් අරගෙන මුහුණ පෑ කරදරය ඔය ළමයින් දන්නවා නොවැ. ඔන්න ඉතින් ඉන් පසු ඔහු කවි ලියන්නට පටන් ගත්තා. ඔහු අඳුනන කවියෙක් හිටියා ඔදුවාන්චික් වීදියේ. එයාගේ හැබෑ නම පූදික්. නමුත් කවීන් ලස්සන නම් වලට කැමති බව ප්‍රසිද්ධ දෙයක්. ඉතින් පූදික් කවි ලියන්ට පටන් ගත්තයින් පස්සෙ එයා "කවි කුසුම්" යන නමින් ප්‍රසිද්ධ වුණා.

වැඩ බැරි දාස දවසක් දා කවි කුසුම් හමුවීමට ඇවිත් මෙහෙම කියුවා: "කවි කුසුම්,මාත් කැමතියි කවියකු වීමට. මට කවි හදන හැටි උගන්වන්න."

"කවි තැනීමට ඔයාට දක්සතාවක් තියෙනවද?" කවි කුසුම් ඇහුවා.

"අපොයි තියෙනවා. මම බොහොම දක්ස ළමයෙක්" වැඩ බැරියා පිළිතුරු දුන්නා.

"එය හොයා බලන්ට ඕන. ඔයා රිද්මය, එළිසමය වගේ දේ දන්නවද?"

"අපොයි, ඒවා දන්නේ නැහැ"

"වච එක විදියේ ශබ්දයකින් අවසන් වෙන විට ඒකට එළිසමය කියලා කියනවා. උදාහරණ මෙන්න: බස්සා -කුස්සා, මැස්සා-පිස්සා. දැන් ඔයාට තේරුම් ගන්ට පුළුවන්ද?"

"ඔව්, තේරුම් ගත්තා."

"එහෙනම් වත-ගොත නැමැති වචනයට සෑහෙන වචනයක් කියන්න" කවි කුසුම් ඉල්ලා හිටියා.

"ළපටි සිත" වැඩ බැරි දාස ගත් කටටම කියාපි.

"ඔතන එළි සමය හරි නැහැ. ඒ වචන වල ගැළපීම හරි නැහැ" කවි කුසුම් කියුවා.

"ඇයි නැත්තේ? වචන දෙකම ඉවර වෙන්නේ "ත" ශබ්දයෙන් නෙව"

"ඒ විතරක් මදි. වචන දෙක ශබ්දය අනුවත් සමාන වෙන්ට ඕන. ඔන්න අහගන්ට: වත-ගොත, සිත-මෙත, කැත - නැත, ගත -සිත"

"ඔව්! ඔව්! දැන් මට තේරුම් ගත හැකියි! පොල්ල -බෙල්ල, තල්ල -මල්ල, කොල්ලා -බල්ලා, ජුන්ටා-බන්ටා! හා-හා-හා!"

"හොඳයි, එහෙනම් "කිත්තම්" නැමැති වචනයට ගැළපෙන පදයක් හොයන්න." එහෙම කියුවේ කවි කුසුම්.

"ලත්තම්" වැඩ බැරි දාස ගත් කටටම පිළිතුරු දුන්නා.

"ලත්තම් කියන්නෙ මොනවටද?"

"එහෙම වචනයක් නැද්ද?"

"සත්තකින්ම නැහැ.."

"එහෙනම් ඉරුත්තම්"

"ඒ වචනයේ තේරුම මොකද්ද?" කවි කුසුම් පුදුම වෙලා ඇහුවා.

"ඉරනව කියන වචනයෙන්ම තමයි ඒ වචනය ඇවිත් තියෙන්නේ" වැඩ බැරියා විස්තර කළා.

"නුඹ බොරු ඇද බෑම නවත්වාපන්. වචන ගැළපෙනවා විතරක් නොවෙයි, කාව්‍යමය තේරුම් තියෙන්ටත් ඕන. නිකන් බොරුවට හිතෙන් මවා ගන්ට එපා. "

"වෙනින් වචනයක් මට හිතා ගැනීමට බැරි නම්?"

"එහෙනම් ඔයාට කවි පද බැඳීමට දක්සතාවයක් නැහැ"

"එහෙනම් කිත්තම් කියන වචනයට ගැලපෙන වචන නුඹම හදාපන්!" එහෙම කියුවේ වැඩ බැරිදාස.

" දැන්ම හදන්නම්!" කවි කුසුම් පිළිතුරු දුන්නා.

ඔහු කාමරය මැද සිටගෙන, දෑත බැඳගෙන, හිස පැත්තකට හරවාගෙන කල්පනා කරන්ට පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ කවි කුසුම් වහලේ සීලිම දෙස බලාගෙන කල්පනා කළා. එයා කාමරයේ එහාට මෙහාට ගමන් කරමින් තොල මතුරන්ට පටන් ගත්තා.

"කිත්තම්, ලත්තම්, බත්තම්, පත්තම්, නත්තම්" ඔහොම මතුරලා හිටි හැටියේම මෙහෙම කියුවා:

"මොන කාලකන්නි වචනයක්ද! ඒක කවියට ගලපන්ට බැහැ!"

"ඔන්න පේනවා නේද, නුඹ කවියෙක් වෙලත් එළිසමය නැති වචන මට දුන්නා, ඊට පස්සෙ කියනවා මම දක්සතාවත් නැති කෙනෙක් කියලා." වැඩ බැරි දාස කවි කුසුම්ට දොස් පැවරුවා.

"අපොයි නුඹට කවි හදන්ට දක්සතාවක් තියෙනවා. නුඹ දක්සයි, දක්සයි. මගේ හිස කකියනවා. නුඹට මම මෙහෙම කියන්නම්: එළිසමය තියෙන්නත් ඕන, කවි වල අදහසක් තියෙන්නත් ඕන. අන්න ඒ වගේ කවි ලියන්ට පුළුවන්නම් නුඹ කවියෙක්."

"ඒක ඒතරම්ම ලේසි වැඩක්ද?" වැඩ බැරිදාස මවිතයට පත් වුණා.

"සත්තකින්ම ලෙහෙසියි. ප්‍රධාන දේ සහජ දක්සතාවක් තියෙන්ට ඕන."

වැඩ බැරිදාස ගෙදර ඇවිත් මුළු දවස තිස්සේම කවි ගොතන්ට පටන් ගත්තා. කාමරය තුල ඇවිදිමින්, වරෙක බිම බලමින්, තවත් වරෙක සීලිම දෙස බලමින් දෑතින් නිකට අල්ලා ගනිමින් තොල මතුරන්ට වුණා.
ඔන්න අන්තිමේදි එයා කවියක් හැදුවා.

"සෝයුරනි! මම කවියක් පද බැන්දා. මෙන්න අහපල්ලා!"

"ඉතින්, ඉතින් කියාපන්කෝ!" හැමදෙනාම ඔහුගෙන් ඉල්ලා සිටියා.

"මම කවි හැදුවේ නුඹලා ගැනයි. පළමු වැනි කවිය දක්ස පාල ගැනයි. මෙන්න අහපල්ලා!-

දක්සපාල ගියේ ගඟට නාන්නට
එළුවට උඩින් පැනලා වැටුනා වලකට!"

"මොනවා? මම වලට වැටුනේ කවදාද?" දක්සපාල ඇහුවා.

"ඒක ඇත්ත තමයි, ඒ වුනාට මම එහෙම ලියුවේ එළිසමය ගලපා ගන්ට" වැඩ බැරියා විස්තර කළා.

"ඉතින් නුඹේ එළිසමය රැකගන්ට පට්ට පල් බොරුවක් ඇද බානවද?" දක්සපාල ඇහුවේ බොහොම කේන්තියෙන්.

"සත්තකින්ම, මම ඇත්ත සිද්දි ගැන් ලියන්නේ මොකටද? ඇත්ත ගැන කවි ලියන්ට ඕන නැහැ."

"නුඹ තවත් ඔය වගේ කවි ලියුවොත්, නුඹට වැඩ වරදීවි" දක්ස පාල තර්ජනය කරලා මෙලෙස ඇසුවා.: " ඉතින් නුඹ ලියාපු අනිත් කවි මොනවාද?"

"කඩිනම් රාළ ගැන ලියාපු කවිය අහපන්,-

හැදුනා කඩිනම් රාළට බඩගින්නක්
ගිල්ලා හීතල ඉස්තිරික්කයක්"

"සෝයුරනි! වැඩ බැරියා කියන මේ කවි මොනවද? මම කවදාවත් ඉස්තිරික්ක ගිලලා නැහැ" කඩිනම් රාළ වේගයෙන් කෑගැහුවා.

"නුඹ හෑගහන්ට එපා. මම කවිය ගෙතුවේ එළිසමය රැකගන්ට ඕම හන්දා. හීතල ඉස්තිරික්කයක් කියලා ලියුවේ බඩගින්නක් කියන වචනයට ගැළපෙන විදියට," වැඩ බැරි කවියා කිව්වා.

"මම හීතල ඉස්තිරික්කයක් හරි රස්නේ තියෙන ඉස්තිරික්කයක් හරි කවදාවත් ගිලලා නැහැ!"

"ඉතින් මම කියන්නේ නැහැ නෙව, ඔයා රස්නේ තියෙන ඉස්තිරික්කයක් ගිල්ලා කියලා." වැඩ බැරි කවියා කඩිනම් රාළව සනසලා, ඈනුමා ගැන ඔහු ලියාපු කවි ගැන මෙහෙම කියුවා: "ඈනුමා ගැන ලියාපු කවි අහපල්ලා!-


"ඈනුමාගේ කොට්ටය යට
සඟවා තලප රෑ කෑමට."

ඈනුමා දුවලා ගිහිල්ලා ඇඳේ තිබුණු කොට්ටය ඔසවා බැලුවා.

"හරිම බොරුවක්! මගේ කොට්ටය යට තලප නැහැ"

"අපේ ඈනුමාට කවි ගැන කිසිම දැනීමක් නැහැ. මම ඒ වචන ලියුවේ එළිසමය අනුව වචන ගලපා ගන්ට විතරයි. ඔන්න අහපල්ලා මම එඬරු තෙල් දොස්තර ගැන ලියාපු කවිය,"

"සෝයුරනි! වැඩ බැරියාගේ මේ විකාර වලට ඉඩ දියයුතුද? එයා හැම දෙනා ගැනම පට්ටපල් බොරු ලියා තියෙනවා. ඒවා අප ඇසිය යුතුද?"

"නවත්වාපන්! නුඹගේ ඔය පල් හෑලි අහන්ට අපි තව දුරටත් ලෑස්ති නැහැ. නුඹ ලියා තියෙන්නේ කවි නොවෙයි, මිනිස්සුන්ට නින්දා කරන බොරු කතා!"

එවිට දක්සපාලයි, කඩිනම් රාළයි, ඈනුමායි විතරක් ඒ අදහසට විරුද්ධ වෙලා කෑ ගැසුවා.

"අනිත් අය ගැන ලියාපු කවිත් කියවාපන්! අපි ඒවා අහන්ට කැමතියි. ඒ ගොල්ල අපි ගැන ලියාපු කවිත් ඇහැව්වා නොවේද?"

"නැහැ! ඕන නැහැ. අපි ඒවා අහන්ට කැමති නැහැ!" අනිත් කුරුමිට්ටෝ ළමයි සියළු දෙනාම එකවර කියුවා.

"නුඹලා කැමති නැතිනම් මම ඒ කවි අල්ලපු ගෙදර මිනිසුන්ට කියවන්නම්" වැඩ බැරි කවියා කිව්වා.

"මොනවා? නුඹ අල්ලපු ගෙදර මිනිසුන් ඉදිරියේ අපට අවමන් කරන්ට හදනවද? නුඹ එහෙම කළොත් ආපහු මේ ගෙදරට එන්නේ නැහැ!"

"සෝයුරනි! මම එහෙම කරන්නේ නැහැ. නුඹලා මා සමග තරහ වෙන්ට එපා." වැඩ බැරි දාස කියුවා.

ඔන්න ඉතින් එදා සිට කුසුම් පුරයේ වැඩ බැරිදාස කවි ලිවීම අතහැර දැම්මා.

නිකොලායි නෝසව්
අනුවාදය : දැදිගම වී රුද්‍රිගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

1 පිරිස
රාං රූං කුරුමිණියනි
කුනු මස් කන නිල මැස්සනි
කොහෙද කොහෙද කොහෙද කොහෙද
කොහෙද කොහෙද එක රෑනට
පෙරහැර වාගේ

2 පිරිස
සමණලයිනි මී මැස්සනි
මල්පැණි බොන සූටික්කනි

රාං රූං වන බඹරුනි
මල් ලෝකේ මල් කුමාරි

දොරට වඩිනවා

1 පිරිස
කවුද කවුද මල් කුමාරි
කවුද කවුද මල් කුමාරි

සත් ගව් දුර ගඳ ගසනා
මල් ලෝකේ මල් කුමාරි

2 පිරිස
නෑ නෑ නෑ හරි සුවඳයි

හරිම හැඩයි සිරියාවයි
දම් පාටින් සැරසීගෙන
කුමරි වඩිනවා

1 පිරිස

ගඳයි ගඳයි හරිම ගඳයි
සත් ගව් දුර ගඳයි ගඳයි
හරිම හැඩයි ඒත් ගඳයි
ගඳ වුනාට හරිම හැඩයි


2 පිරිස
කිඩාරං කුමරි පිපිලලු
හනි හනිකට පියඹා යමු
මල් ලෝකේ මගුල් ගෙදර
එන්න යන්න එන්න යන්න
එන්න එන්න යමුකො පෙරහැරේ













1 පිරිස -
(සමණලයින්, මී මැස්සන් සහ පැණි කුරුල්ලන්)

2 පිරිස - (කුරුමිණියන්, නිල මැස්සන් සහ හෝ හපුටුවන්)
- කේ.කේ.සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

එකොමත් එක රටෙක
වලස් අම්මා කෙනෙකි, කැලෑවෙක
දුඹුරු පාටින් හැඩකාර
වලස් පැටියෙකි දඟකාර.

හැමදා හවස ඇඳිරි වැටුනාම
ගසමුල ලගිති දෙදෙනාම.
විඩාව හින්දා අම්මා හතිලයි,
විනෝද වීමට පැංචා දඟලයි.

"අපොයි මගේ පොඩි පුතා බිම
වැටේවි මට බයයි!" –

පැංච නිසා මවුට දුකයි.
වලස් පැටියා කපටියා
කැලෑවේ දඟ රසිකයා.


හික්මීමක් නැත කොලුවට
කැමතිය ඔහු හුරතලේට
මී වදයක් දුටු හැටියෙම
අත් නොසෝදා කෑවා නෙව

අම්මා පුතුට කියයි මෙහෙම:
"නොකන් පුතේ කිළිට් අතින්!"
වලස් පැංචා උඩ පනිමින්
මී පැණි කයි තලු මරමින්.

දඟකාර පුතු නිසා
අම්මා අසතුටු වුණා.
පුතුට ඇති ආදරය
නිසා වැඩිවිය කෑදරය.


මව් පිය දෙදෙන දොඩන ව්ට
පොඩි එකා දමයි කට
කොල්ලො හිටපිය දඟ නොකර
පියා සැරවෙයි තරවටු කර.

පැංචා දුවයි වේගයෙන්
වැදෙයි ගුහාවට පළමුවෙන්-
බකල ගහන වලස් සීයට
ඉඩ නොදෙයි ඇතුළු වීමට.

ඊයේ පැංචාට පාර වැරදිලා
"සීයේ! දෙන්නකො පැටියව සොයලා!"
අම්මා කන්නලව් කළා.
වැටුණා පැංචා බඩ වලක
දෙපා එරිලා කුණු ගොඩක
"අම්මේ මගෙ හැටි බලන්න,
අපූරුවට මඩ නාගෙන!"

වලස් පැංචා පොඩි වුණාට
ගජ හපනෙකි ගොරවන්නට


හුරතලේට දඟ කරයි
අම්මට ඉන් කරදරයි.
අල්ලපු ගෙදරට ගිහිල්ල
පොඩි පැටවගේ වලිගෙ හපල.

අහල පහල පොඩි පැටවුන්
පැංචා දැක දුවති බියෙන්.
පොඩි පුතාගේ දඟ විසින්
අම්මා දුක්වෙයි සොවින්.

බැරිම තැන වලස් අම්ම
තාත්තාට පැමිණිලි කළා:
"බලන්නෙකො, පුතු ගේ හැටි
අවවාද දීම වටී!
ගෙදර ඇවිත් ගොරවනවා
කුරුල්ලන්ගේ තටු කඩනවා
පොඩි එවුන්ට ගුටි අනිනව
එක දිගටම දඟ කරනවා!"

"අනේ වලස් හාමිනේ
දූ දරුවන් හදන්නේ
තාත්තා නොව අම්මනේ
ඒ බව ඇයි නොදන්නේ!
මැසිවිලි නොකියා ඉන්නකො
පැංචට උපදෙස් දෙන්නකො."


දවස් මාස ගෙවී ගියා
පැංචා මෝරා වැඩුණා
මැරවර කම් පුරුදු වුණා
තාත්තටත් අත එසවුවා!

වලස් රාළ කෝප වුනා
මැරවරයට බැට දුන්නා
පුතා කියලා බැලුවේ නැහැ
දෑතේ හිරි ඇරගත්තා


අම්මා මුල්ලකට වෙලා
ඉකි බිඳිනවා මුමුණනවා
"පුතා ටිකක් දඟ කළාම
ඔහොමත් ගුටි බැට දෙනවද?"

පවුලේ නැත සමගියක්
පුතා දන්නගකාරෙය්ක්
නැත එයාට හික්මීමක්
අම්මට මෙය ලොකු දුකක්.

ඔවැනි දඟකාර කොල්ලන්
අතර වලස් පැටවුන්
පමණක් නොව, ළමයින් අතරත්
සිටින බව සමහරු කියත්.


අනුවාදය - දැදිගම වී රුද්‍රිගු
චිත්‍ර - වී. සුතේයෙව්

මේ කතන්දරය පුංචි ඔබ වෙනුවෙන් තිළිණ කළේ චතුරංග ජයවීර මාමා.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

කවදාහරි යනවා මං
සුදට සුදේ පුලුන් වගේ
හිම කැට වැටෙනා රටකට
දන්නවාද අනේ ඔයා
ඉර මට
දැං එපා වෙලා!


කබායකුත් ඇඟලාගෙන
ගෙල වටේට සළුවක් බැඳ
හිමෙන් මිදුනු වැවක් උඩින්
ආසයි ලිස්සා යන්නට
ඊටත් වැඩියෙන් ආසයි
හදන්න සුදු හිම මිනිහෙක්
කැරට් අලයකුත්
තියලා
නාස් පොඩිත්තක් විදියට !


සීත නිසා නිල් පැහැ වුණු
ගල් වුණු පොඩි ඇඟිලි තුඩින්
ආපහු මගෙ ගෙදර ඇවිත්
ගිණි මැලයක් ලඟින් ඉඳන්
උණුසුම් තේ කෝප්පයක
ආසයි මං රසබලන්ට!


ගිණි මැලයෙන් ඉහළ නගින
පොඩි ගිණි දළු දිහා බලන්
බටර් සුවඳ ඉහිරෙන උණු
පැණි ඉතිරෙන කැවිලි කටක
ආසයි
මං රස බලන්ට!

කවදාහරි යනවා මං
සුදට සුදේ පුලුන් වගේ
හිම කැට වැටෙනා රටකට
මුළු දවසෙම රෑ පුරාම
එපා වෙලා
ඉර දැං මට!


ඩොරති වයිට්ෆීල්ඩ් ලියූ "කැරිබියන් සුළඟ" ළමා කවි සංග්‍රහයෙනි.
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
මව සමග ජීවත් වුණු දුප්පත් වුණත් කීකරු යහපත් පුංචි ගෑණු ළමයෙක් සිටියා. ඇයට සහ ඇගේ මවට කන්නට කිසිම දෙයක් තිබුණෙ නෑ. දවසක් මේ පුංචි ගෑණු ළමයා කැලෑවට ගිය මොහොතක, ඇයට වයසක ආච්චි කෙනෙක්ව මුණගැහුණා. පුංචි ගෑණු ළමයා දෙස සැලකිල්ලෙන් බලා සිටිය මේ ආච්ච්ට ඇගේ දුක තේරුණා. එ්ක නිසා ආච්චි ඇයට අරුම පුදුම මුට්ටියක් තෑගි කරා.

”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කීවම, මේ අරුම පුදුම මුට්ටිය තලප හදනවා.

”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කීවම, මුට්ටිය තලප සෑදීම නතර කරනවා.

පුංචි ගෑණු ළමයා මුට්ටිය අරගෙන ගෙදර ගියා. මුට්ට්ය නිසා ඇයටයි ඇගේ අම්මටයි ඉන්පසු කවමදාවත් බඩගින්නෙ ඉන්න සිද්ද වුණේ නෑ. එයාලා ගොඩක් වෙලාවට කෑවෙත් තලප.

දවසක් මේ පුංචි ගෑණු ළමයා ගෙදරින් පිට ගිය වෙලාවක, ඇගේ අම්මා ”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කියලා මුට්ටියට කීවා. මුට්ටියත් සුපුරුදු පරිදි තලප හැදුවට පස්සෙ, අම්මා එයාට ඇති වෙනකල් තලප කෑවා.


ඒත් තලප සෑදීම නතර කිරීමට කිවයුතු වචන මව දැන නොසිටිය නිසා, මුට්ටිය නොනවත්වා තලප හැදුවා. මුට්ටිය පිරිල ඉතිරිලා, කුස්සියත්, මුළු ගෙදරමත් පිරෙනකල් මුට්ටිය තලප හැදුවා. අසල් වැසියන්ගේ ගෙවලූත් පිරෙනකල් මුට්ටිය නොනවත්වා තලප හැදුවා. හරියට මුළු ලෝකයේම බඩගින්න නැති කරන්නට වගෙයි, මුට්ටිය තලප හැදුවෙ. අරුම පුදුම මුට්ටිය මුළු ගමටම හිරිහැරයක් වුණත්, මුට්ටිය තලප හදනවා නතර කරන්න කාටවත්ම බැරි වුණා.

අවසානයේ එකම එක ගෙයක් පමණක් තලප වලින් නොපිරී බේරී තියෙද්දි, පුංචි ගෑණු ළමයා ඇවිත් ”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කියලා මුට්ටියට කීවා විතරයි, මුට්ටිය තලප සෑදීම නතර කරා.

ඉතින් ඊට පස්සෙ කාට හරි නගරයට යන්න ඕනෑ වුණා නම්, පාරෙ පිරිලා තිබුණ තලප කාලා තමයි නගරයට යන්න සිද්ද වුණේ.

ග්‍රිම් සොහොයුරන්ගේ කතාවක්
පරිවර්තනය: මුතු පබා නැන්දා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
කොරියාවේ හක් සොන්දේ පෙදෙසේ කිල්චූ නගරයේ මීට අවුරුදු බොහෝ ගණනකට ඉස්සෙල්ලා කොටි දඩයම් කරන පොහොසතුන්ගේ සංගමයක් තිබුණා. එක දුප්පත් තරුණයෙක් මේ සංගමයේ සාමාජිකත්වය ලබාගන්ට බොහොම උත්සහ ගත්තා.

"නුඹ කොහාට රිංගන්ට හදනවද? නුඹම දන්නවා නුඹ දුප්පත් මිනිහකු බව. දුප්පත් මිනිහෙක් මිනිහකු නොවෙයි. යන දිහාවෙක පලයන්". ඒ සංගමයේ සභාපති තරුණයාව පන්නා ගත්තා.

ඒ වුණාට ඒ තරුණයා කොටි දඩයමට කියාපු වානේ හෙල්ලක් සූදානම් කැරැගත්තා. ඒ හෙල්ල අනෙක් දඩයම් කරුවන්ගේ හෙල්ල වලට වඩා අගෙයි කියන්ට පුළුවනි.

ඔන්න ඉතින් දවසක් දා කොටි දඩයමට සංගමයේ සාමාජිකයෝ පිටත් වුණා. මේ තරුණයත් කොටි දඩයමට ගියා.

පොහොසත් දඩයක්කාරයෝ කාලා, බීලා ප්‍රීති වුණා. දුප්පතා දිහා බැලුවේ වත් නැහැ. ඔහු ආයෙමත් ඔවුන් ලඟට ආපු හැටියෙම ඔවුන් එයාව එළවා දැම්මේ අපහාස කරලා.

"එහෙනම් නුඹලා මෙතැන බීගෙන නටපල්ලා. මම තනියම යනවා කොටි දඩයමට" තරුණයා කිව්වා.

"නුඹට ඕන නම් කොටියෝ නුඹව මරලා කාලා දමන්න, නුඹ පලයන් පිස්සා" එහෙම කිව්වේ අර පොහොසත් දඩයක්කරයින්ය.

"කොටියෙකුගෙන් මැරුම් කන එක හොඳා. නුඹලාගේ අපහාස විඳිනවාට වැඩිය"

එහෙම කියලා ඔහු කැලෑව මැදට ගියා. ඔන්න එතන හිටියා මහ විසාල කොටියෙක්. කොටියා පූසෙකු වගේ මේ තරුණය සමග සෙල්ලම් කරන්ට පටන් ගත්තා. කොටියා වරෙක ඔහු ලඟටත් තවත් වරෙක ඔහුගෙන් ඈතටත් පැනලා සෙල්ලම් කළා. ඊටපස්සේ කොටියා හතරගාතෙන් බිම වැතිර දුප්පත් තරුණයා දෙස බලමින් වලිගය වනන්ට පටන් ගත්තා.

කොටියා මේ විදියට සෙල්ලම් කළේ තරුණ දඩයක්කාරයා නින්දා කරමින් කොටියාට කෑ ගහන තුරු විතරයි.

"ඔන්න තොපට මගෙන් හෙල්ල පහරක්!" කියලා දඩයක්කාරය හෙල්ල කොටියා දෙසට වීසිකළේ ඌව මරාදමන්ටයි.

එවිට වහාම කොටියා දඩයක්කාරයා දෙසට පැනලා හෙල්ලය දත් වලින් අල්ලා ගත්තා. දඩයක්කාරයා බොහොම ලොකු ශක්තියකින් ඒ හෙල්ලය දිගුකොට උගේ උරට ඇන්නා. කොටියා මැරිලා බිම වැටුණා.

ඒ කොටියා නොවෙයි, කොටි දෙන. ඇගේ මහ හඬ අහලා ඇයට උදව් කිරීමට පිරිමි කොටියා ආවා.

කොටියා මාරයකු වගේ එක පිම්මට දඩයක්කාරයා දෙසට කඩා පැන්නා.

ඒ වන විට කොටි දෙනගේ උගුරට ඇනපු හෙල්ලය අරගෙන දඩයක්කාරයා කොටියාගේ උගුරටත් ඇනලා ඌව මරා දැම්මා.
මැරිච්ච කොටියන්ගේ මළ කුණු ඔහු පඳුරු අස්සට ගෙන ගොස් හැංගුවා. උන්ගේ වලිග විතරක් පාරේ දැම්මා.

ඔන්න තින් ඉන්පසු තරුණ දඩයක්කාරයා ගියා කාලා බීලා සතුටු වෙවී ඉන්න පොහොසත් දඩයක්කාරයින් ලඟට.

"ආ, මොකද මහ ගොඩක් කොටින්ව දඩයම් කළාද?"

"මට කොටියන් දෙදෙනෙකු හමුවුණා. උන්ව දඩයක් කිරීමට බැරිවුනු හන්දා මම ඔහේලාගෙන් උදව් ඉල්ලන්ට ආවා." තරුණයා කියාපි.

"ආ ඒක වෙනම කාරනයක්. හොඳයි අපට පාර පෙන්නාපිය"

පොහොසත් දඩයක්කාරයෝ තරුණයාට විහිලු කලා. උපහාස කලා.

"නුඹ මොකද තනියම මැරෙන්න බය වුණාද? අපව හොයාගෙන ආවේ..."

"නිහඬව යමු. කොටියෝ මේ ලඟ" තරුණයා කීවා.

පොහොසත්තු නිහඬ වුණා. දැන් ඉතින් නඩේ ලොක්කා දුප්පත් තරුණයා.

"ඔන්න කොටියෙඔ!" කියලා තරුණයා කොටි වලිග පෙන්නුවා. එවිට පොහොසත් දඩයක්කාරයන් එකවර කෑගැහුවේ මහ හඬින්:

"මෙන්න මගේ හෙල්ල පහර!"

නමුත් මැරිච්ච සතුන් හෙළවුණේ වත් නැත.

දුප්පත් තරුණයා එතකොට මෙහෙම කියාපි:

"මේ කොටියන් දෙදෙනා මගේ හෙල්ල පහරින් මැරිලා, ඉතින් නුඹලාට තියෙන්නේ උන්ව නගරයට ඇදගෙන යන එක විතරයි"

නිකොලායි ගාරින්
අනුවාදය - දැදිගම වී. රුද්‍රිගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අපේ නිවෙස පිහිටියේ ගඟෙන් එගොඩ ය. නිවෙස අසල බොහෝ පලතුරු ගස් තිබුණා. ඒවායේ ගෙඩි කෑමට බොහෝ කුරුල්ලන් පැමිණෙනවා.

අපිත් පලතුරු කෑමට හරි කැමැති යි. අප සමහර දිනවල නටනවා, සින්දු කියනවා, කවි කියනවා, සෙල්ලම් කරනවා.

කුරුල්ලනේ - කුරුල්ලනේ
හනික එන්න කෝ
ජම්බු පේර වැළ වරකා
අරන් එන්න කෝ
කැදැල්ලෙ සිටිනා පැටියට
ගොස් කවන්න කෝ
ආයෙත් පියඹලා ඇවිත්
අපට දෙන්න කෝ

ඔහොම අප කාලයක් සින්දු කියනකොට, නටනකොට, සෙල්ලම් කරනකොට ලස්සන කුරුල්ලකු අසල ගසක වසා සිටියා.

කුරුල්ලා අපේ සින්දුවලට, කවිවලට ආසාවෙන් ඇහුම්කන් දුන්නා, ඔළුව හරව-හරවා තාලය ඇල්ලූවා. අප නටනකොට ඌත් අත්ත දිගේ එහාට මෙහාට පැන-පැන නැටුවා, අත්තටු ද සලමින් නැටුවා.

නිතර ම මේ ගස යට සෙල්ලම් කරන්න පුරුදු වුණු අප මිතුරන් හතර දෙනකු සිටියා. අප සියලූ දෙනා ම අසල නිවෙස්වලයි සිටියේ.

එක් කෙනකුගේ නම පාතිමා. අනෙකාගේ නම ජෝන්. තවත් කෙනෙකි ජයරානි. මම සංජන.

අප ඉතා සතුටින් සෙල්ලම් කළා, විහිළු කරගත්තා. අඬ-දබර කරගත්තත් සුළු මොහොතකදී නැවතත් යාළු වුණා.

මේ අප කරන සියලූ දේ අර කුරුල්ලාත් බලා සිටිනවා, අප කතා කරනකොට ඒවාට හොඳින් ඇහුම්කන් දෙනවා.

අප හතර දෙනා එක දවසක් ගසක් යටට වෙලා කතාවට වැටුණා.

''අපේ අම්මයි තාත්තයි කියනවා අපි දෙමළයි කියලා'' ජයරානි කිව්වා.

''අපේ අම්මයි තාත්තයි කියනවා අපි බර්ගර් කියලා'' ජෝන් කිව්වා.

''අපේ අම්මයි තාත්තයි කියනවා අපි මුස්ලිම් කියලා'' පාතිමා කිව්වා. මා කිව්වා, ''අපේ අම්මයි තාත්තයි කියනවා අපි සිංහල කියලා''.

එතකොට ම, ''මට නම් මේ ළමයින් ඔක්කෝ ම එක වාගෙයි පෙනෙන්නේ, කිසි ම වෙනසක් පෙනෙන්නේ නෑ'' කුරුල්ලා කියන්නට වුණා.

''අපටත් තේරෙන්නේ නෑ, කුරුල්ලෝ... මේ අම්මලා තාත්තලා කියන ඒවා නේ'' යැ යි අප කවුරුනුත් කීවා.

අප සෙල්ලම් කරලා වෙහෙස වුණා ම අවට ගස්වලින් වැටුණු පලතුරු අහුලන්න යෑම සිරිතක් ව තිබුණා. අඹ, දඹ, පේර, දං, වෙරළු, කජු පුහුලම් අප නිතර ම කනවා. ඒවා අප කෑවේ ඛෙදාගෙන.

කුරුල්ලා අපට කඩන්න බැරි ගස්වල පලතුරු හෙමින් කඩා බිම දානවා, අපට අහුලාගන්න. ඒ සියල්ල ම අප සමඟියෙන් ඛෙදාගෙන කෑවා.

කුරුල්ලාට හරි සන්තෝස යි, අපේ සමඟියට. ඌ සන්තෝසෙන් නැටුවා, අත්තටු සලමින් නැටුවා.
කුරුල්ලා ද අප ද ගී ගයන්නට පටන් ගත්තා:

සිඟිති සිනා රැළි
සතුට ගෙනෙනවා
අත්වැල් බැඳගෙන
ගීත ගයනවා
අද වාගෙම අප
හෙට නැගිටිනවා
ලස්සන රටකට
සිරිය ගෙනෙනවා

කතාව - ඩබ්ලිව්. ඕ. ටී. ප්‍රනාන්දු මාමා
සිතුවම - කේ. ඒ. පී. අබේසිංහ මාමා
පුංචි කාලයේ කියවූ කතාවක් පොඩිත්තන්ට ලියා එවන්නේ පියදසුන් මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
වසන්තයේ ලස්සන දවසක පොකුණෙ ඕලූ කොළයක් යට, ගෙඹි අම්මා බිත්තර ගොඩක් දැම්මා. මිදිපොකුරක මිදි වගේ එකට ඇලවිලා තිබුණ ගෙඹි බිත්තර, වතුරෙ පාවෙවී තිබුණා. ගෙඹිඅම්මා හැමදාම ගිහින් බලනවා, බිත්තර වලින් පැටව් එළියට ඇවිත් ද කියලා.

මඬේ එරී ඉන්න කෙනෙක් වගේ චූටි දිකී පැය ගාණක් තිස්සෙ බිත්තරෙන් එළියට එන්න දඟලන නිසා, බිත්තරෙත් හෙලවෙනවා. එකපාරටම බිත්තරෙ කැඩිලා චූටි දිකී බිත්තරෙන් එළියට ආවා. ඊට පස්සෙ වටපිට බැලූව දිකී දැක්කා එයා වගේම තව ගොඩක් ඉස්ගෙඩියො වතුරෙ පීනනවා. ඒ ඉස්ගෙඩියො එයාලගෙ වලිගෙ වතුරෙ නලව නලව පොකුණෙ හැම අස්සකටම මුල්ලකටම පීනනවා.

”ෂෝ....ක්” සන්තෝසෙන් කෑ ගැහුව චූටි දිකී, ගොඩක් උත්සහයෙන් අලූත් ලෝකයක් හොයන්න පටන් ගත්තා.

චූටි දිකීගෙ වලිගෙ එන්න එන්නම ලොකු වෙන නිසා, දිකීට වේගයෙන් පීනන්න පුළුවන්න වුණා. ගෙඹි අම්මා ඕලූ කොළයක් උඩට වෙලා චූටි දිකී දිහා ආඩම්බරෙන් බලන් ඉන්නවා. දිකී හරිම ආසයි පොකුණෙ පැලවල මුල් අතරින් වේගයෙන් පීනන්න. දිකී කොච්චර වේගයෙන් පීනනවද කියනවනම්, එයා පීනනකොට වතුර කැළඹිලා, පොකුණෙ ඉන්න අනික් ඉස්ගෙඩියන්ට ඉබේටම පිණුම් ගැහෙනවා.

පොකුණ ඉතාමත් කදිමයි. ඒ වගේම චූටි දිකීට සෙල්ලම් කරන්න ගොඩක් ඉස්ගෙඩියො පොකුණෙ ඉන්නවා. දිකී හරිම ආසයි දිය යට පාපන්දු සෙල්ලම් කරන්න.

ලෝකයේ හැම තැනකම වගේ පොකුණෙත්, අනවශ්‍ය විහිළු තහළු කරන අයගෙන් බේරිලා, ඉදිරියටම පීනන්න පුළුවන් වලිගයක් තමයි චූටි දිකීට තියෙන්න.

චූටි දිකී එයාගෙ ජීවිතය උපරිමයෙන් රස විඳිනවා. ඒ විදිහටම හැමදාම ජීවත් වෙන්නයි දිකීගේ බලාපොරොත්තුව.

ඒත් එක උදෑසනක භයානක දෙයක් සිද්ද වුණා. චූටි දිකීගෙ ඇඟෙන් අමුතුම දෙයක් එළියට එන්න පටන් ගත්තා. දිකී ඉස්සෙල්ලාම හිතුවෙ එයා හීනයක් දකිනවා කියලයි. ඒක නිසා ඇහැරෙන්නට දිකී එයාගේ ඔළුව වේගයෙන් හෙලෙව්වා. ඒත් දිකී ඒ වෙනකොටත් ඇහැරිලයි හිටියෙ.

”අම්.......මා” චූටි දිකී බයවෙලා අම්මට කෑ ගැහුවා. ”මෙතැන අමුතුම දෙයක් සිද්ද වෙනවා.... මම රාක්ෂයෙක් වෙලා....”

”නෑ.. නෑ.... දිකී....” අම්මා දිකීට හිනාවෙලා කීවා. ” ඒ තමා ඔයාගේ කකුල්.... තව ටික දවසක් ගියාම කකුල් ආවට ඔයා සන්තෝස වෙයි....”

අම්මා දිකීට කීව ඒ කතාව කටුසු නැන්දටත් ඇහුණා. ඒක නිසා.... ” ඕවත් ඇඟේ තියෙන්න ඕනෑ දේවල් දිකී.... ඔයා ටිකින් ටික ලොකු වෙනවා....” යි, කටුසු නැන්දා දිකීට කීවා.

”මට ලොකු වෙන්න ඕනේ නෑ” චූටි දිකී උත්තර දුන්නා. දිකීට එයාගේ කකුල් දෙක අමුතුම දෙයක් විදිහට දැණුනා. ඒ අමුතු බවට දිකී පුරුදු වෙන්නත් කලින්, තවත් කකුල් දෙකක් දිකීට ආවා.

”මේ.... දැන් නම් ඇති හරිද....” එතකොට දිකී එයාටම කියා ගත්තා.

ටික දවසකට පස්සෙ දිකීට තේරුණා, එයාගේ වලිගෙ එන්න එන්නම පුංචි වෙන බව.

”සී..යා....” දිකී බයෙන් කෑ ගැහුවා. ”මගෙ වලිගෙ නැති වෙනවා.... මම රාක්ෂයෙක් වෙන්නයි යන්නෙ....”

”නෑ නෑ, චූටි දිකී” සීයත් දිකීට හිනාවෙලා කීවා. ”ඔයා ලොකු වෙනවා.... ඒකයි එහෙම වෙන්නෙ....”

”වලිගයක් නැතුව මට මුකුත් කරන්න බෑ.... ඒක නිසා මට ලොකු වෙන්න ඕනෙම නෑ....” දිකී උත්තර දුන්නා.පොකුණෙ හිටිය හැමෝම චූටි දිකීව සනසන්න ගොඩක් දේවල් කීවා.

”ඔයා ලොකු වුණාම ඔයාට වලිගයක් ඕනෙ වෙන්නෙ නෑ....” කටුසු නැන්දා කීවා.

”කකුල් වලින් ඔයාට අලූත් දේවල් කරන්න පුළුවන්....” කියලා කීව ඉස්සා මාමා, ලස්සන නැටුමකුත් නටලා දිකීට පෙන්නුවා.

”අයියෝ.... ඔයාලට තේරෙන්නෙ නෑනේ” චූටි දිකී ගොඩක් දුකෙන් කීවා. ” මට ලොකු වෙන්න ඕනෙම නෑ....” ඒ පාර දිකී හයියෙන් අඬන්න පටන් ගත්තා. දිකී ගොඩක් දුකෙන් පොකුණ වටේට ඉබාගාතෙ ගියා. එතකොට පොකුණෙ සෙල්ලම් කර කර හිටිය පුංචි ඉස්ගෙඩියන්ගෙ වලිග දැක්ක දිකීට, එයාලා ගැන ඊර්ෂ්යා හිතුණා.

”ඔව්.... සෙල්ලම් කරන්න.... පුළුවන් කාලයක් සෙල්ලම් කරන්න....” කියලා, එයාටම කොඳුර ගත්ත දිකී, පුංචි කාලේ එයා කරපු සෙල්ලම් ගැන, අඳුරු හෙවනැල්ලක් යටට වෙලා දොම්නසින් හිතන්න පටන් ගත්තා.

එතකොට දිගම දිග නයෙක් දිකී ගාවට ඇවිත් ” කකුල්.... කකුල් වලින් කිසිම වැඩක් නෑ.... මං දිහා බලන්න.... මට කකුල් නෑ... මට වඩා හයියෙන් දුවන්න පුළුවන් කෙනෙක් ගැන මම දන්නෙත් නෑ” යි, දිකීට කීවා.

”මට මගේ වලිගෙ ආයෙත් ඕනෑ.... වලිගයක් නැතුව මට වේගයෙන් පීනන්න බෑ.... ඔයාට පුළුවන්ද මට උදව් කරන්න ?” කියලා, දිකී නයාගෙන් ඇහුවා.

”අනිවාර්යෙන්ම.... හැබැයි ඊට කලින් මට ඔයාට රහසක් කියන්න ඕනෑ.... ඒක නිසා ටිකක් මං ළඟට එන්නකො” කියලා, නයා දිකීට කීවා.

දිකී නයා ළඟට පීනන්න පටන් ගත්තා. එතකොටම නයා එයාගෙ කට ගොඩක් ලොකුවට ඇරියා. නයාගෙ උල් දත් දැක්ක දිකීට ගොඩක් බය හිතුණා. දිකීගෙ කකුල් වෙව්ලන්න පටන් ගත්තා. පපුවත් ගැහෙන්න පටන් ගත්තා.

කපටි නයා හැදුවෙ චූටි දිකීව ඩැහැගෙන ගිලින්නයි. ඒත් දිකී හරි වෙලාවටම වතුරෙන් එළියට පැන ගත්තා. ඊට පස්සෙ ලොකු අඩි වලින් පැන පැන ගිහින්, ආරක්ෂාව තියෙන ගොඩැල්ලක නතර වුණා.

හැමෝම සන්තෝසෙන් කෑ ගැහුවා.

”අපූරුයි.... කොච්චර ශක්තිමත් කකුල් ද මට තියෙන්නෙ” කියලා කීව දිකී, එයාගේ දිහා හොඳට බැලූවා.

ඊට පස්සෙ උඩටයි පහළටයි, නටන්නයි, පනින්නයි පටන් ගත්ත දිකී, ”ලොකු වෙන එක කොච්චර හොඳද” කියලා, සන්තෝසෙන් කීවා.

කතාව සහ සිතුවම් : ජුලියානො ෆෙරි
පරිවර්තනය : මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails