බොහොම ඉස්සර කාලේ මේ කියන පැත්ත මහ මුකලානයක්. ඒකේ අලි, කොටි, වාගේ දරුණු සතුන් වාගේ ම හාවුන්, මුවන් වාගේ අහිංසක සතුනුත් හිටියා. ඒ එක්කම ඒකේ එක එක ජාතියේ පලතුරුත් තිබුණා. කැලේට ගිය කෙනෙකුට ඔය පලතුරු ඕනෑ තරම් බඩ පිරෙන්නට කන්ට පුළුවන්. හැබැයි ආය ගෙදරට ගෙනියන්ට බෑ. එහෙම කෙරුවොත් ඒවා ගෙදර යනකොට කුණුවෙලා. ඇයි, ඔය පලතුරු වාගේ ජාති හැදිලා තියෙන්නේ සත්තුන්ගේත්, මිනිසුන්ගේත් යහපතට, ඒවා පොදි ගහගෙන ඉන්ට නෙවෙයි.

ඔන්න එක දවසක් ඔය කැලේ කිට්ටුව හිටි ඉලන්දාරියෙක්, ‘කූඩයක් වියාගන්ට වේවැල් ටිකක් ඇදගන්ට ඕනෑ’ කියලා හිතාගෙන කැලේට කැත්තකුත් ඇන්න රිංගුවා. හැබැයි වැඩිය දුරක් එයාට යන්ට බැරිවුණා. ඔන්න ඉස්සරහට වල්අලියෙක් එනවා. එයා අලිමන්තර හොඳට දන්නවා. ඒකට මොකද ඒක එයාට කියාගන්ට බැරි වුණා. ඇයි පණ බය නේ. එයාට කියවුණේ ‘චික් ගෙරියා චික්’ කියන ටික විතරයි. එයා ආපහු හැරිලා දුවන්ට පටන්ගත්තා. ඔන්න එතකොට එයා ඒ ළඟ තරමක් ලොකු ගලක් දැක්කා. ඒකට නගිංට ඕනෑ කියලා හිතලා, ඒ ගල ළඟට ගොහින් ඒකට අත තිබ්බා විතරයි, අර පස්සෙන් එළවාගෙන ආපු වල්අලියා ආපහු හැරිලා දුවන්ට පටන්ගත්තා. ඒ ඉලන්දාරියත් අර ගලට නැංගා. තවම එයාගේ පපුව ටික් ටික් ගහලා ගැහෙනවා. ඒක හින්දා එයා ඒ ගලේ ඈඳිගෙන ටික වේලාවක් තමන්ට සිද්ද වෙච්ච ඇබැද්දිය ගැන හිතහිත හිටියා. ඔන්න ටික වෙලාවක් යනකොට මුවපැටියෙක් දුවගෙන එනවා, ඌ පස්සෙ කොටියෙක් පන්නාගෙනයි එන්නේ. ඔන්න මුවපැටියා ගල ළඟට ආවා විතරයි, අර ඌ පස්සෙ එළවාගෙන ආව කොටියා ආපහු හැරිලා දුවන්නට පටන්ගත්තා. දැන් මෙයාට හරි පුදුමයක්. ඔන්න ඕවා ගැන හිතහිත ඉන්නකොට, නයෙක් පස්සෙ මුගටියෙක් පන්නාගෙන එනවා. නයා ගල ළඟට ආවා විතරයි, මුගටියා ආපස්සට හැරිලා දුවන්ට පටන්ගත්තා.

ඉතින් අර විදියට ආපු සත්තුන් එහාට මෙහාට ගියාට පස්සෙ මේ ඉලන්දාරියාත් ආය වේවැල් කපන්ට යන්නේ නැතුව මේ පුදුයම ගැන හිතහිත එතැනින් එනකොට තාපසයෙක් ඉස්සරහට හම්බ වුණා. ඔන්න ඉතින් එයා දැක්ක දේ තාපසයාටත් කියාපි. "ඔව්, ඔව් පැංචෝ මේ ගලේ ඒ විදියේ බලයක් තියෙන එක මමත් දන්නවා. ඒ හින්දා ඔය ගල් ලෙනේ තමයි මාත් ඉන්නේ", කියලා විස්තර කරලා දුන්නා. මගේ නම සෙංඛණ්ඩ කියන එක හින්දා, ඔය පෙළක් ඇත්තන් මේකට සෙංඛණ්ඩ ලෙන කියලාත්, කියනවා කියලා තාපසයා කිව්වා. ඔන්න ඔය දවස්වල ගම්පොළ වික‍්‍රමබාහු රජ්ජුරුවන් නුවරක් හදන්ට හොඳ තැනක් හොය හොයා හිටියා. අර ඉලන්දාරියාට ඒක ආරංචි වෙලා , අන්න අර ජයබිම ගැන කියලා තියෙනවා. රජ්ජුරුවෝ ඇවිත්, අර තාපසයාත් හම්බවෙලා එතැන නුවරක් හදාගත්තා. එතැන තිබ්බ පොකුණේ කිරිඉබ්බෙකුත් හිටියා. ඒකත් හොඳ ලකුණක් ලු. ඉතින් පස්සෙ ඒකට සෙංකඩල නුවර කියලා කමක් දුන්නා කියලාත් කියනවා. ඔන්න ඔහොමයි ඔය නම ලැබිලා තියෙන්නේ. සේනාව කැඩුණු, බය වුණු ගල හිනදා හරි සෙංඛණ්ඩ තාපසයා හිටිය ගල හින්දා හරි සෙංකඩගල වෙන්ට පුළුවන්.

[උපුටනය: මැද රට ජනකතා 2 - නුවර වටා ගෙතුණු කතා]


එච්. එම්. එස්. තුන්දෙණිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


අවුරුදු ලක්ෂ ගණනක මිනිස් සිහින සැබෑ බවට පත්කරමින් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමී වීරයන් දෙදෙනා 1969 ජූලි 21 වැනි සඳු දින පෙරයම චන්ද්‍ර මණ්ඩලයට පා තැබූහ.

නිල් ආම්ස්ට්‍රෝං

නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් සහ එඩ්වඩ් ඕල්ඩ්‍රින් යන තිදෙනා මිනිස් ඉතිහාසයේ චන්ද්‍ර චාරිකා යුගයට මුල පුරමින් ඇපලෝ 11හේ යානයෙන් ගමන් ගත්හ.

අපගේ මානව සමාජයෙහි දීර්ඝ ඉතිහාසයෙහි මෙතෙක් නොවුවිරූ වීර වික්‍රමයක යෙදෙමින් මේ තිදෙනාගේ පළමු වන වරට සඳතලය මත පා තැබුවේ තිස්අට හැවිරිදි නීල් ආම්ස්ට්‍රෝං ය.

මේ තිදෙනාම 1930 හේ උපන් අයයි.

නීල් ආම්ස්ට්‍රෝං 1930 හේ අගෝස්තු පස්වන දා ඔහියෝ ජනපදයේ වැපකොනේටා නගරයේ උපන්නේය.

නීල් ආම්ස්ට්‍රෝං පැයට රුපියල් 72 පමණ මුදලක් ගෙවමින් ගගනයානා පැදවීම උගෙන ගන්නට පටන් ගත්තේ වයස පහළොවේ දීය.

ගගනගාමී බලපත්‍රය ඔහු ලබා ගත්තේ වයස දහසයේදීය. ඒ ශුභාරංචිය දෙමාපියන්ට ඔහු ගෙන ආයේ සයිකලයෙනි. මක්නිසාදයත් ඒ වනවිටත් ඔහු මොටෝරිය පදවන බලපත්‍රය ලබාගෙන තිබුනේ නැති නිසාය.

කොරියානු යුද්ධයේදී හෙතෙමේ ගගනගාමියෙක් වශයෙන් සේවයට බැඳී සටන් ගගන චාරිකා හැත්තෑ අටක යෙදුණේය.

කොරියාවේ සිට පෙරළා පැමිණි ඔහු වයස 25හේ දී උපාධි ලද්දේය. ඉන් වසකට පසුව හෙතෙමේ ජැනට් ෂියරොප් නම් කාන්තාව විවාහ කොටගත්තේය. ඈ වරක් විශ්වවිද්‍යාලයේ රූප රාජිණියක් වශයෙන් ද තේරුණ රූමතියකි.

මේ දෙදෙනාට පුතුන් දෙදෙනෙකි. වැඩිමාලු පුතා දොළොස් හැවිරිදි එරික් ය. දෙවැන්නාට වයස 6 යි. නම මාර්ක් ය.

අජටාකාශගාමියෙකු වශයෙන් ආම්ස්ට්‍රෝං තේරුණේ 1962කේය. 1966යේ මාර්තුවේදී හෙතෙමේ ජෙමිනි ද්වි පුද්ගල යානාවක යමින් පළමුවන වරට අජටාකාශයේදී යාත්‍රා පූට්ටුවක් සාර්ථක ලෙස කළේය.

ආම්ස්ට්‍රෝං කුළුපඟව දන්නා අය කියන්නේ බැලූ බැල්මට නම් ඔහුගේ කුළුණුබර ගතිය පැහැදිළිව නොපෙනෙන බවයි. එහෙත්, ආම්ස්ට්‍රෝං ඉතා සුහදතා සහිත කුළුණුබර හැඟීම් පිරි පුරුෂයෙකි.


එඩ්වින් ඕල්ඩ්රින්

නිව් ජර්සි නගරයේ මොක්ලෙයා නගරයේ 1930හේ ජනවාරි විසි වනදා උපන් එඩ්වින් ඕල්ඩ්රින් පාසලේදී ඉතා දක්ෂ ශිෂ්‍යයෙක් වූයේය.

ඔහු යුද නිලධාරින් පුහුණු කරන විද්‍යාලයේ උගෙන උපාධි ලැබ ඉන් බැහැරව ගුවන් හමුදාවට බැඳුනේය. ඔහුගේ පියා ද ගුවන් හමුදාවේ කර්නල් නිලය දැරුවේය. ඔහුද කොරියාවේ යුද සේවයේ යෙදෙමින් ගගන යානා පැදවූයේය.

අජටාකාශ චාරියෙකු වශයෙන් ඔහු බැඳුනේ 1963නේ දීය. ඔහුට දරුවෝ තුන් දෙනෙකි.

ඔහු විවේක සමය ගත කරනු කැමැත්තේ ජල ක්‍රීඩාවන් හි යෙදෙමින්ය.

ඔහු ජැන්ඩියට ඇඳුම් පැළඳුම් අඳින පළඳින කෙනෙකැයි ප්‍රසිද්ධය.


දිණමිණ- 1969 ජූලි මස 22 දා | විශාලිත දසුන බැලීම සඳහා මෙතන කොටන්න.

මයිකල් කොලින්ස්

මයිකල් කොලින්ස් 1930 හේ ඔක්තෝබර් මාසයේ තිස් එක්වනදා රෝමයේ උපන් ඇමෙරිකානු ජාතිකයෙකි.

මයිකල් කොලින්ස් ද වෙස්ට් පොයින්ට් යුද අභ්‍යාස විද්‍යාලයෙන් උපාධි ලද්දේය.

මයිකල් කොලින්ස්ට හා බිරිය වන පැට්රිෂියාටත් දරු තිදෙනෙකි. වැඩිමහළු දියණිය වන කැත්ලීන්ට වයස දහයකි. ඈන් දියණියට වයස හතකි. බාල පුතාවන මයිකල්ට වයස හයකි.

මයිකල් කොලින්ස් ප්‍රසිද්ධියට ආශා නැත. එහෙත් හෙතම අජටාකාශගාමීන් වෙසෙන ජන කණ්ඩායමේ ඉතා ම ජනප්‍රිය පුද්ගලයෙකි.

සිය සගයන් දෙන්නා සඳට බැස ආපසු එනතෙක් තනිවම සඳට ඉහළ අහසේ ඔහු රවුම් ගසයි.


අජටාකාශ යුගයේ නවතම පියවර

අවුරුදු පන්සිය කෝටියකටත් වඩා වයසැති පෘථීවි තලයෙහි මෙතෙක් විසූ මිනිසා, විද්‍යාවේ බලයෙන් පොළොව සීමාවන්ගෙන් මිදී, (-අකුරු නොපැහැදිලිය-) මහ සක්වළ ගමනේලා සිය පළමුවන පියවර සිඟිත්ත තබා ඇත්තේය.

මුළු මහත් විශ්වයෙහි සිදුවූ සිද්ධියක් වශයෙන් ගෙන සැළකීමේදී මේ අජටාකාශගාමීන් දෙදෙනා සඳතලයෙහි පා තැබීම හුදෙක් හිමාලය පර්වත පංක්තියෙහි අබැටක් හෙළාලීම වැනි සෙසු සිද්ධියකි.

එහෙත් පාථීවි තලයෙහි වෙසෙන තුන්සිය කෝටියක් පමණැති ජන සමූහයාට නම් මෙය මානව ඉතිහාසයෙහි රන'කුරෙන් ලියැවෙන අසහාය ජයග්‍රහණයක් වන්නේය.

මිහිතලයෙහි හටගත් මිනිසෙකු තබා කිසිම කිසි සත්වයෙක් වත් මෙතෙක් පෘථීවියෙන් මේ සා ඈත ගමනක යෙදී නැත. සඳ තලය මත පා තැබූ නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්රිං නම් අජටාකාශචාරීන් දෙදෙනා මෙතෙක් පාථීවියෙන් ඉතාම ඈත තැනකට ගිය පුද්ගලයන් දෙදෙනා වෙති.

මුළු මහත් මානව වර්ගයාගේම ප්‍රගතිය පිළිබඳ පෙරමුණ ගෙන අජටාකාශගත වූ මේ ඇමෙරිකානුවෝ, හොඳ අරමුණක් ඉටුකොට ගන්නා පිණිස සාමූහික ප්‍රයත්නයක යෙදීමේ විශිෂ්ටතම ප්‍රතිඵල පළකොට සිටිති.

මේ සාමූහික ප්‍රයත්නයේ තරම තේරුම් ගන්නට මේ විස්තර ටික මඳක් සළකා බලන්න. ඇපළෝ 11 හේ යානයේ කොටස් එක්ලක්ෂ පණස්දාහකි. ගමන සාර්ථක කොට ගන්නා පිණිස කළ යුතු ක්‍රියා සංඛ්‍යාව දස දහසකට අධිකය. ව්‍යාපාරයට සහභාගිවන ස්ත්‍රී- පුරුෂයන්ගේ සංඛ්‍යාව 400,000 කි. විද්‍යායතන පර්යේෂණාගාර 120 කි. කොන්ත්‍රාත්කාර කාර්මික ව්‍යාපාර සංගම් ගණන 20,000 කි. විවිධ කාර්මික විද්‍යාඥයන් හා ශිල්පීන් විසින් කළයුතු කුදු- මහත් රාජකාරි ගණන සටහන් කළ පොතේ පිටු ගණන 25,000 කි.

පාලනය හුදෙක් පෘථීවිය වටා පමණක් නොව අජටාකාශයේ සැතපුම් 240,000 ක් තැන් දක්වා විහිදේ.

එසේ යානය අභ්‍යවකාශයට යවන්නට පෙර කරන ලද ලක්ෂ සංඛ්‍යාත කුදු- මහත් පරීක්ෂණවලින් පස්සෙ යානය ගමනේ යෙදී සිටින විටද ගමන් පාලකයෝ යානයේ ක්‍රියාකාරීත්වය ඉතා තියුණු ලෙස විමසති.

මේ අජටාකාශගාමී යුගය ආරම්භ කොට මානව ඉතිහාසයේ මේ මහා හපන්කමට මුල් පියවර තැබුවෝ සෝවියට් රුසියානු විද්‍යාඥයෝ වෙති. ස්පුට්නික් එක දරණ යානය පෘථීවිය ඉහළ අහසට යැවූ ඔවුන් විසින් පටන්ගත් කාර්යය, අර්ථවත් තරඟයක යෙදී තවත් ඔබ්බට ගෙන ගොස්, ඇමෙරිකානු විද්‍යාඥයෝ මිනිසෙකු හඳට බැස්සූහ.

මිනිසෙකු අජටාකාශ චාරිකාවේ යැවීම ඉමහත් ජාතික වියදමකින් කෙරෙන්නකි. සැටර්න් 5 රොකට්ටුවේ එක් රාත්තලක් අහසට නඟින්නේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ හත්දහස් පන්සියයක වියදමෙනි. මේ රොකට්ටුවේ බර ටොන් 3100 ක් බව මෙහිදී සිතාගත යුතුවේ.



මා හිතන හැටියට මෙවැනි මහා වීර ක්‍රියාවකට පදනම වන මූලික අදහස නම් මිනිස්කම පළකොට සිටීමේ අදහස යැයි කියාය. සිය මිනිස්කමට තර්ජනයක්ව පැනනඟින හැම දෙයක්ම දිනාගන්නට මිනිසා ප්‍රයත්නයෙක යෙදෙන්නේය.

එවරස්ට් කූටය නඟින්නට ගිය වීරයෙකුගෙන් කෙනෙකු "ඔබ එවරස්ට් කූටය දිනන්නට අදහස් කරන්නේ මක්නිසාදැ" යි ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ එවරස්ට් කූටය (-අකුරු නොපැහැදිලිය-) කියාය.

එසේ එවැනි වීර කමකින් සිය මිනිස් බව පළකරන පුරෝගාමීන් නිසා අනුක්‍රමයෙන් මුළු මහත් මානව වර්ගයාටම සෙත සැලසෙන්නේය. අභීතව නොදන්නා අතුරු- ආන්තරායට මූණ පාමින් 1492කේදී සාගර තරණය කළ කොළොම්බස් නිසා එක් අතකින් මේ අජටාකාශගාමී වීර චාරිකාවන් පටන්ගත්තේ යැයි කිව හැකිය.

මේ සඳට යන්නවුන් විසින් ගෙනඑන පස් නිසා සිදු වියැකි සෙත සඳහන් කරමින් රොබට් පැස්ට්රෙප් නම් විද්‍යාඥයා කියන්නේ ජීවීන් විරහිත තැනක් ලෙස තකන මේ සඳේ සිට ගේන පස නිසා පෘථීවියේ ජීවීන් ප්‍රභවය වූ ආකාරය පවා දැනගත හැකිවේය කියාය. පෘථීවියේ ජීවය හටගත්තේ අප්‍රාණික ක්ෂුද්‍රාණු විශේෂයක් කාලාන්තරයක් තිස්සේ පෘථීවියේ සාගරයන්හි ඒ මේ අත හැප්පී සෙසු ක්ෂුද්‍රාණු හා එක්වීමෙනැයි විද්‍යාඥයෝ කියති.

සඳෙත් එක් කලක් සාගර තිබෙන්නට ඇත. එහිද මේ ක්ෂුද්‍රාණු ජීවය දෙසට යන ගමන අරඹන්නට ඇත. එහෙත් පෘථීවියේ මෙන් නොව සඳෙහි නම් සාගර වියලී ගියේය. ජීවය වෙත යන්නට සඳේ ක්ෂුද්‍රාණු විසින් අරඹන ලද ගමන අතරමඟ නතර වන්නේය. එහෙත් පෘථීවියේ ඒ මුල් යුගයේ ක්ෂුද්‍රාණු පිළිබඳ අංශු මාත්‍ර හෝ චිහ්නයක් පෘථීවියේ ඉතිරිවීලා නැත. අව්ව, වැස්ස, ගංගා, සාගර, කුණාටු ආදිය නිසා ඒවා අප්‍රභව ගිය හෙයිනි. එහෙත් (-අකුරු නොපැහැදිලිය-) වියලි, කුණාටු රහිත පසේ ඒ ක්ෂුද්‍රාණුවල ඡායාමාත්‍රමය නෂ්ටාවශේෂ තාමත් ඇත. එසේ නම් ඒ පස විග්‍රහ කොට බලා මිනිසුන්ට පෘථීවියේ ජීවය පටන් ගත් හැටි පවා උගෙනගත හැකි වේ.

මේ වනාහි සඳ ගමනේ සෙසු සෙතක් පමණි. එහෙත්, සඳ පෘථීවියේ ධනය යැයි ගන්නා දේ පිරි භාණ්ඩාගාරයක් වැනි විය හැකියැයිද ඇතැම් පෘථීවි විද්‍යාඥයෝ පවසති. සඳේ හවුරුදු 450 කෝටියක් ජීවන සමය තුල එහි පතිත වුණු උල්කාපාත විසින් වටනා ලෝහ වර්ග ටොන් සියක් කෝටි වශයෙන් තැන්පත් කොට ඇතැයි ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වේ.

අදත්, මේ අජටාකාශ චාරිකා පිළිබඳ පර්යේෂණ නිසා මිනිසාට ඉමහත් සෙත සැලසී ඇත්තේය. කාලගුණ පරීක්ෂක යානා විසින් කුණාටු, සුලි සුළං ආදිය කලින් දන්වා ජීවිත හා දේපොළත් රැකගත් වාර කිහිපයකි. ලෝකය එකට යා කරන සංඥා හාරක යානාවෝ මිනිස් සමාජය එක් පවුලක අය මෙන් එකට එක් කරති.

අජටාකාශ පර්යේෂණ නිසා වෛද්‍ය විද්‍යාවේ නව පියවරක් ඇරඹී ඇත්තේය. හුදෙක් ඇසේ ක්‍රියාකාරීත්වයෙන්ම ක්‍රියාකාරන ස්විච් යතුරක් අජටාකාශචාරී පර්යේෂකයෝ තනාලූහ. ඒ ස්විචය ලෙඩුන්ගේ රෝද පුටුවලට සවිකළාම අත් පා ක්‍රියාවේ යෙදවිය නොහෙන ලෙඩුන්ට හුදෙක් ඇස ක්‍රියාවේ යෙදවීමෙන් ම පමණක්, ඒ රෝද පුටු ගමන් කරවිය හැකි වන්නේය. පොතක පිටු පෙරලීම ආදී ක්‍රියා සඳහාද කය වෙහෙසිය නොහෙන ලෙඩුන්ට මේ ස්විචය භාවිත කළ හැක.

අජටාකාශ යානයේ මාණක යන්ත්‍ර පුවරුවලට සවිකරන්නට තැනූ සූක්ෂ්ම ලාම්පු විශේෂයක් ලෙඩුන්ගේ ආමාෂය පරික්ෂා කිරීම් වැනි කටයුතු සඳහාද යොදාගත හැකිවේ. මේ ලාම්පු, ඉඳිකටු සිදුරකින් යාහැකි තරම් සියුම්ය. එහෙත් ඉන් ඉතාම දීප්තිමත් ආලෝකයක් ලැබේ.

විද්‍යාවේ ඇසින් නැරඹීමේදී සඳතලය මත මිනිසා පා තැබීම කොයි ආකාරයෙක ප්‍රතිඵල ගෙන දෙන්නක්දැයි තාම කාටවත් කිව හැකි නොවේ. සඳ තලයේ තිබී කවර විද්‍යාත්මක ආශ්චර්යයන් විද්‍යාඥයන් විසින් අනාවරණය කොට ගනු ලැබේදැයි යන්න හුදෙක් ම අනාගතය විසින් ම අනාවරණය කළ යුත්තකි.

සිහිවන පුවරුව

මිනිසා හඳට ගොඩබැසීමෙන් ලබන ශ්‍රේෂ්ඨම ජයග්‍රහණය හඳේ සටහන් කර තබන ලද්දේ මේ ඡායාරූපයෙන් දැක්වෙන සිහිවටන පුවරුව මඟිනි. නීල් ආම්ස්ට්‍රෝං සහ මයිකල් කොලින්ස් (-මෙය ලියුම්කරුගේ දෝෂයක් විය හැකිය-) යන දෙදෙන, හඳේ පා තැබූ විගසම මෙම සිහිවටන පුවරුව එහි තැම්පත් කෙරිණි.



"ක්‍රිස්තු වර්ෂ 1969 ජුලි මාසයේ දි පෘථීවි ග්‍රහලෝකයෙන් පැමිණි මිනිසුන් මුලින්ම හඳේ පයතැබූ ස්ථානය මෙයයි. සමස්ත මිනිස් වර්ගයාගේම සාමය උදෙසා අපි මෙහි පැමිණියෙමු." යනුවෙන් සිහිවටන පුවරුවේ සටහන් කර ඇති පාඨයෙන් කියැවෙයි.

මුලින්ම හඳේ පා තබන නීල් ආම්ස්ට්‍රෝං සහ මයිකල් කොලින්ස් ගේත් ඔවුන් ආපසු ඇපලෝ 11 යානයට එන තුරු එය හඳ වටේ පදවමින් සිටින එඩ්වින් ඇල්ඩ්රින් ගේත් අත්සන සිහිවටන පුවරුවේ වැකියට පහළින් යොදා තිබේ. මෙහි පහතින් තිබෙන්නේ ඇමෙරිකාවේ ජනාධිපති රිචඩ් ඇම්. නික්සන් ගේ අත්සනයි.

සඳතලයට බැස්ස යානාව

මිනිසෙකු සඳතලයට බසින්නටත් පෙරම, සඳතලයට බැස්ස චන්ද්‍රචාරිකා යානය උසින් අඩි 23 ක් වූ යානයකි.

තට්ටු දෙකේ ගෙයක් තරම් වන මේ චන්ද්‍ර චාරිකා යානය බරින් ටොන් දහයකි.

පාද හතරක් සහිත මේ යානය බැලූ බැල්මට මකුළුවෙකු වැනියි.

ඇපොලෝ යාත්‍රිකයින්ගෙන් ඇතැම්මු මේ චන්ද්‍ර චාරිකා යානයට "මකුණා" යයි සුරතල් නම දුන්හ.

ඇපලෝ දහයේ ගිය යාත්‍රිකයින් විසින් චන්ද්‍ර චාරිකා යානයට දෙන ලද්දේ "ස්නූපි" යැයි කියන නමයි. නියමුව යානයට දෙන ලද සුරතල් නම "චාලි බ්‍රවුන්" ය.

වර්තමාන ඇපලෝ 11හේ සංචාරයකයන් චන්ද්‍ර චාරිකා යානයට දෙන්නේ "ඊගල්" (රාජාලියා) නම් සුරතල් නාමයයි. ඔවුන් විසින් නියමුව යානයට දෙනු ලබන සුරතල් නම "කලම්බියා" යි.

මේ චන්ද්‍ර චාරිකා යානය සායම්කොට තිබෙන්නේ කළු පැහැයෙන් සහ රන්වන් පැහැයෙනි. ඒ වර්ණ විසින් සූර්යාලෝකය හොඳින් පරාවර්තනය කරන නිසාය.

-එඩ්වින් ආරියදාස විසිනි.

(වර්ෂ 1969 ක් වූ ජූලි මස 22 වැනි අඟහරුවාදා දිණමිණ මුල්පිටුවෙන් උපුටා ගන්නා ලදී. පුවත්පත් පිටපතෙහි කාලය විසින් ඇති කරන ලද කියවා ගත නොහැකි ඇතැම් අපැහැදිලි තැන් තිබූ අතර ඒවා අදාළ තැන් හී දක්වා ඇත. බස සහ අක්ෂර වින්‍යාසය මුල් ලිපියේ පරිදිමය. මේ ලිපිය පිටපත් කොට බූන්දියට එවූ දමිත් වැලිකල සොයුරාට ස්තූතියි.)

එඩ්වින් ආරියදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


පහුගිය ග්‍රීස්මයේ පුරෝගාමි කඳවුරට ඇවිත් දින දෙකක් ගත වෙද්දි, අපේ පුරෝගාමී නායකයා-වීත්යා අපිට කිවුවේ අපි අපේම ගෙවත්තක් සාදන්නට යන බවයි. අපි හැමෝම එකතු වෙලා වැඩ කරන විදියයි, වවන්නෙ මොන වගේ එළවළු ද කියන එකයි ගැන සාකච්ඡා කළා. අපිට ලැබිලා තිබුණු බිම්කඩ කුඩා පාත්ති වලට වෙන් කරන බවත්, එක් එක් කුඩා පාත්තිය වෙනුවෙන් පුරෝගාමින් දෙදෙනෙකු බැගින් නම් කරන්නට යන බවත් වීත්යා අපට කිවුවා. ඒ වගේම හොඳම පාත්තිය නිර්මාණය සඳහා තරඟයක් පැවැත්වෙන බවත්, දිනන අයට තෑග්ගක් හිමි වෙන බවත් එයා පැහැදිලි කළා. තරඟයේ ඉදිරියෙන් ඉන්න අය හෙමින් වැඩ කරන අයට උදවු කළ යුතු බවත්, එතකොට පොළොව හොඳින් සකස් කරලා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවත් වීත්යා කිවුවා.

මාවයි මීෂ්කාවයි එකම කණ්ඩායමකට දමන්න කියලා අපි ඉල්ලා හිටියා. මොකද කඳවුරට එන්න කලින්ම අපි දෙන්නා එකඟ වෙලා හිටියා එකට ඉන්නත්, එකට මාළු බාන්නත්, කොටින්ම එකතු වෙලා හැමදේම කරනවා කියලත්.

ඉස්සෙල්ලාම බිම් කොටලා ඉවර වෙන කණ්ඩායමට අභියෝගතා පුවරුවක් දිය යුතුයැයි වාදික් සයිත්සේව් යෝජනා කළා. ඉන් පස්සෙ එම පුවරුව හොඳම වගා කරන්නාටත්, පසුව හොඳම වල් නෙළන්නන්ටත් හිමි විය යුතු බවට සියළු දෙනාම එකඟ වුණා. අවසානයේ දී හොඳම අස්වැන්න ලබන කණ්ඩායමට එම පුවරුව ආපසු නගරය තෙක් ගෙන යාමට අවස්ථාව ලැබෙන බවත් කියා සිටියා.

ඉතිං මීෂ්කයි මමයි තරඟය දිනන්න තීරණය කළා.

'අපි මේක ඉස්සෙල්ලම දිනා ගනිමු. ඊට පස්සේ ග්‍රීස්ම කාලේ ඉවර වෙනකල්ම මේක අපි ළඟම තියාගෙන ආපහු නගරෙට යනකොට ගෙනියමු' මීෂ්කා කිවුවා.

අපිට ලැබිලා තිබුනේ ගඟ අයිනේ තිබුණු කුඩා බිම් කොටසක්. පළමුවෙන්ම අපි කළේ බිම් තීරුව මනින එක. ඉන්පස්සෙ කුඩා පාත්ති වලට වෙන් කරලා ඒ එක එකක් අංක යෙදු ලී පුවරු සවි කරලා සකස් කලා. මීෂ්කටයි මටයි ලැබුණේ පාත්ති අංක දොළහ. මීෂ්කා ඒ ගැන හිටියේ අසතුටෙන්. එයා වීත්යා ළඟට ගිහින් අපිට ලැබුණු බිම් කට්ටිය අන්තිම නරක එකක් බවට නෝක්කාඩු කියන්ට පටන් ගත්තා.

'මොකද ඒක නරක වෙන්න හේතුව?' වීත්යා ඇහුවා.

'ඒක මැද්දේ මහ විසාල ගුලක් තියෙනවා.' මීෂ්කා උත්තර දුන්නා.

'ඉතිං ඒකට මොකද? අනික ඒක ගුලක් නෙවෙයි, සතෙකු ගේ කුර සටහනක්' වීත්යා මහ හයියෙන් හිනා වුණා.

'ඒ විතරක් නෙමෙයි ගස් කොටයකුත් තියෙනවා.' මීෂ්කා ආයෙත් කිව්වා.

'ඉතිං අනිත් බිම් කට්ටි වලත් තියෙන්නෙ ගස් කොටන්.'

ඒත් මිෂ්කා ඒකට ඇහුම් කන් දුන්නේ නෑ.

'ඒක එහෙම් පිටින්ම හාරලා දමන්න වෙයි.' මීෂ්කා චුරු චුරු ගෑවා.

'දැන් යන්න. ගිහින් හාරන්න පටන් ගන්න. උදවු ඕනෑ නම් අනිත් අය ඔබට උදවු දේවි.' වීත්යා කිවුවා.

'හුහ්...අපිට පුළුවන් අපේ වැඩේ කරන්න. ඔන්න බලන්න අපි තමයි අන්තිමේදි අනිත් අයට අත දෙන්නෙත්.' මීෂ්කා වීරයා වගේ කිවුවා.



'අන්න එහෙම තමා ඉන්න ඕනෑ.' වීත්යාත් කිවුවා.

හැමෝම බිම් කෙටිල්ල පටන් ගත්තා. අපිත් බිම් කෙටිල්ල පටන් ගත්තා. ඒත් හැම තත්පරේකටම සැරයක් මීෂ්කා කලේ බිම් කෙටිල්ල නවත්තලා අනෙක් අය කොපමණ කොටා ඇත්දැයි බලන්ට දුවන එකයි.

'ඔයා හරියට වැඩ කරන්න පටන් ගත්තේ නැත්තං ඔන්න අපිට ඉන්න වෙන්නේ අනිත් හැමෝටම වඩා පිටිපස්සෙන්.' අන්තිමේදි මං මීෂ්කාට කිවුවා.

'හරි, හරි. ඒ වුනාට මට පුළුවන් අල්ලන්න ඒගොල්ලන්ව.'

ඔන්න එතකොට මීෂ්කා බිම කොටන්න පටන් ගත්තා. ආයෙමත් ටික වෙලාවකින් එයා කලේ අනිත් අයගේ බිම් කට්ටි දිහා බල බල ඉන්න එකයි.

එදා අපිට ඒ හැටි තරමක් බිම් කොටන්න බැරි වුණා. මොකද රෑ කෑමට අපිට සීනුව නාද කළ නිසා. රෑ කෑමෙන් පස්සෙ අපි දෙන්නා පාත්තියට යන්න පිටත් වුණත් වීත්යා ඇවිත් අපිව නැවැත්තුවා.

'දවසකට ඔය වැඩ කළා හොඳටම ඇති. අපි වැඩ කරන්නේ උදේට විතරයි. රෑ කෑමෙන් පස්සේ අපි විවේක ගන්න ඕනෑ. නැත්තං වෙන්නෙ පළවෙනි දවසෙම ඕනෑවටත් වඩා වැඩ කරලා ඊළඟ දවසෙ වැඩ හරියට කරන්න බැරි වෙන එකයි.'

ඊළඟ දවසේ උදේ අපි හැමෝටම කලින් බිම් කොටන්න පටන් ගත්තා. ඔන්න ටික වෙලාවකින් වීත්යා ළඟට ගිය මීෂ්කා මිනුම් පටියක් ඉල්ලා හිටියා. ඉන්පස්සේ අපි කොපමණ කොටසක් කොටා ඇත්දැයි මැන්නා. තව කොපමණ කොටසක් කොටන්නට ඉතිරිව ඇතිදැයි මැන්නා. ටික වේලාවකින් මීෂ්කා ආයෙත් පොළොව කොටන්නට පටන් ගත්තා. ආයේ මොහොතකින් මනින්ට පටන් ගත්තා. ඒ මනින හැම වෙලාවකම එයා කිවුවේ අපි සෑහෙන තරමට පොළොව කොටා නැහැයි කියන එකයි.

'ඔවු, ඔවු. ඒක එහෙම තමයි. මොකද මේක කොටන්නෙ මං විතරක් නිසා. ඔයා කරන්නේ මැන මැන ඉන්නෙක විතරයි මීෂ්කා' අන්තිමේදි මං කිවුවා.

මිනුම් පටිය වීසි කරලා මීෂ්කා ආයෙත් කොටන්න පටන් ගත්තා. එයාට වැඩි දුරක් කොටාගෙන යන්නට ලැබුනේ නෑ. එයාගේ ඉස්කෝප්පේ විසාල ගස් මුලක පැටළුණා. අන්තිමේදි මුල උදුරලා දමන්න එයා උත්සහ කළත් ඒක අසාර්ථක වුණා. එයා මුළු බිම් කට්ටිය පුරාම හාරමින් මුල ගලවන්න හැදුවා.

'ඒක එහෙමම තියෙන්න දෙන්න! ඒක ගැන ඔය තරම කරදර වෙන්නේ මොන එහෙකටද?' මං කිවුවා.

'මේක හැතැක්ම බාගෙකටත් වඩා දිගයි කියලා මං දැනගන්නේ කොහොමද?' මීෂ්කා ඇහුවා.

'ඒක එහෙමම තියන්න.'

'ඒ වුණාට ඒක කොතනකින් හරි තැනකින් ඉවර වෙන්න ඕනෑ නේද?' මීෂ්කා ඇහුවා.

'ඉතිං එහෙම වුණා කියලා මොකද්ද ඇතිවෙන වෙනස?' මං කිවුවා.

'මං මොකක් හරි පටන් ගත්තොත් ඒක මොන විදියෙන් හරි ඉවර කරලා නවතින ජාතියේ කෙනෙක්.' මීෂ්කා උත්තර දුන්නා.

එහෙම කියලා මුල දෑතින්ම අල්ලලා අදින්න පටන් ගත්තා. මට තරහ ගියා. මං මුල තිබුණුතැනට ගිහින් ඒකට හයියෙන් ගහගෙන ගහගෙන ගියා. මීෂ්කා වගකට නැතුව දිගටම මැන මැන හිටියා.

'අර බලන්න, ඒක මීටර හයහමාරක් දිගයි! අපි දැන්ම කපලා අයින් කළේ නැත්තං මේක මීටර විස්සකටත් එහා දුර ගිය එකක් වෙයි'

'ඔයා වැඩ කරනවට වඩා මේ වගේ දේවල් වලට කාලේ කන කෙනෙක් කියල දන්නවා නම් මං කොහෙත්ම ඔයා එක්ක වැඩකරන්න එන්නේ නෑ මීෂ්කා.' මං කිවුවා.

'ඉතිං ඔයා මං එක්ක වැඩ කරන්න ඕනෑ කිවුවේ කවුද. ගිහින් තනියෙන් වැඩ කරන එකයි ඇත්තේ.'

'මං මෙච්චර ප්‍රමාණයක් තනියෙන්ම කොටලා ඉවර වුණාට පස්සෙත් ඔයා එහෙම කියනවද මීෂ්කා. කොහොම වුණත් අපි පළමුවෙනියා නොවෙන එක නම් ස්ථීරයි.'

'කවුද එහෙම කියන්නෙ? අර බලන්න වාන්යා ලොෂ්කින් ගෙයි සේන්යා බොබ්රොව් ගෙයි පාත්ති දිහා, ඒ ගොල්ලො අපිට වඩා කොච්චර ටිකයි ද කොටලා තියෙන්නේ.'

එහෙම කියලා වාන්යා ලොෂ්කින්ගේ පාත්තියට ගිහින් මීෂ්කා මෙහෙම කිවුවා.

'බිම් කොටන්නනි, ඉතා ඉක්මනින්ම ඔබ සියළු දෙනාට අත දීමට අපිට හැකිවෙනවා නිසැකයි!'

ඒගොල්ලො මීෂ්කාව එළවා ගත්තා.

'ඔයා හරිම පුදුම එක්කෙනෙක් තමයි මීෂ්කා. තමන් කිසිම දෙයක් මහන්සි වෙලා කරන්නෙ නැතුව අනිත් අයට ඔහොම විහිළු කර කර ඉන්න පුළුවන්ද? ඇත්තටම අපරාදේ මං ඔයා එක්ක වැඩ කරන්න එකතු වුණේ.' මං කිවුවා.

'දුක් වෙන්නෙපා. මං ළඟ තියෙනවා කදිම අදහසක්. ඔන්න බලන්නකො හෙට වෙද්දි පුවරුව තියෙයි අපේ පාත්තියේ.' මීෂ්කා කිවුවා.

'ඔයාට නම් පිස්සු මීෂ්කා. තව දවස් දෙකක් වත් කරන්න තරම් වැඩ තියෙනවා අපිට. ඒකටත් තව දවස් හතරක්වත් යයි ඔයා දිගටම මෙහෙම වැඩ කළොත්' මං කිවුවා.

'ඔයාට පස්සෙ තේරෙයි. මගේ සැලසුම දැනගත්තම' මීෂ්කා කිවුවා.

'හරි, හරි. දැන් වැඩ කරන්න. පොළොව ඉබේ කෙටෙන්නේ නැහැ.' මං කිවුවා.

මීෂ්කා පොළොව හාරන්න ඉස්කෝප්පෙ අතට ගත්තා විතරයි වීත්යා ඇවිත් කිවුවා රෑ කෑම සුදානම් බව. ඉස්කෝප්පේ පැත්තකට වීසි කරලා මීෂ්කා කෑම කාමරය පැත්තට ගියා.

රෑ කෑමෙන් පස්සෙ අපි හැමෝම එකතු වෙලා පුවරුව හදන්න වීත්යාට උදවු කළා. අපි ඊට හරියන ලී දෙකක් සොයා ගත්තා. රෙදි කැබැල්ලක් පමණට කපා මසා ගත්තා. ඊට පස්සේ වීත්යා 'හොඳම ගොවියා' කියලා රෙදි කැබැල්ල උඩ රිදී පාට තීන්තෙන් ලියුවා. ඒක බොහොම ආකර්ෂණීය පුවරුවක්.

'අපි පඹයෙකුත් හදමු. ඒකෙන් අපිට පුළුවන් කුරුල්ලො ගෙවත්තෙන් ඈත් කරලා තියන්න' මීෂ්කා යෝජනා කළා.

හැමෝම බොහොම සතුටින් ඒ අදහසට කැමති වුණා. අපි කණුවක් අරගෙන ඒකෙ හරහට හිටින්න පඹයායගේ අත් වලට තවත් පොල්ලක් බැඳගත්තා. පරණ ගෝනියකින් කමිසයක් හදලා අන්දලා මුට්ටියක් ඔලුවට තැබුවා. මීෂ්කා ගල් අඟුරු කෑල්ලකින් පඹයාගේ ඇසුත්, නහයත් කටත් ඇන්දා. ඇත්තෙන්ම ඌ බය හිතෙන පඹයෙක්. අපි එයාව ගෙවත්ත මැද්දේ හිටවලා හයියෙන් හිනා වුණා.

ඒ අතරෙ මාව පැත්තකට ඇදගෙන ගිය මීෂ්කා මට රහසක් කියුවා.

'මෙන්න මේකයි සැලසුම. අද රෑට හැමෝම නිදාගන්න ගියාම අපි පාත්තියට යන්න ඕනෑ. එහෙම වුණොත් අපිට පුළුවන් සෑහෙන්න බිම කොටලා ඉවර කරන්න. එතකොට අපිට හෙට කරන්න ඉතිරි වෙන්නෙ බොහොම ටිකයි. ඒ කියන්නෙ අපි පුවරුව දිනා ගන්න එක ස්ථීරයි' මීෂ්කා කිවුවා.

'හැබැයි ඒ ඔයත් වැඩ කළොත් විතරයි. ඔයා මුළු වෙලාවෙම කරන්නෙ මෝඩ වැඩ කර කර ඉන්න එකනේ.' මම උත්තර දුන්නා.

'ඔන්න බලන්න, ඔයාට පෙනෙයි, මේ වතාවේ මං කඩියෙක් වගේ වැඩ කරන්න්නයි යන්නේ'

'හරි. හැබැයි ඔයා වැඩ නොකලොත්, මං වැඩ කරන්නෙත් නෑ ඔන්න.'

අපි හැමෝම නින්දට ගියා. ඒත් අපි කලේ නිදි බව බොරුව්ට අඟවන එක. හැමදේම නිශ්ශබ්ද වුණු පළවෙනි මොහොතෙම මීෂ්කා මගේ ඇලපතට ඇන්නා. ඒක මට හරියට රිදුනා. 'නැගිටින්න' මීෂ්කා රහසෙන් කිවුවා.

'අපි දැන්ම යන්න ඕනෑ. එහෙම නොවුනොත් පුවරුව අපිට ලැබෙන්නෙ නම් නෑ කොහෙත්ම'

අපි නේවාසිකාගාරෙන් හෙමින් එළියට බඩ ගෑවා. ඊට පස්සෙ ඉස්කෝප්ප දෙකත් අරන් කෙළින්ම දිව්වෙ අපේ පාත්තියට. එදා බොහොම හොඳට හඳපායලා තිබුණු නිසා හැම දෙයක්ම බොහොම පැහැදිලිව අපිට පෙනුණා.

අපි වැඩ කරන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මීෂ්කා හැබෑවටම වැඩ කළා. ඒ නිසා බොහො වෙලාවක් යන්නට කලින් ගස් කොටය තිබුණු තැනට වෙනකල්ම කොටලා ඉවර කරන්න අපිට පුළුවන් වුණා. අන්තිමේදි ඒකත් ගලවලා දමන්න අපි තීරණය කළා.

අපි කොටයේ මුල් තිබුණු තැන වටේටම පස බුරුල් කලා. ඊටපස්ස පුලුවන් තරම් වීරිය දමලා ඒක ඇද්දා. ඒත් ඒක හෙලවුණේ වත් නෑ. කොටයේ මුල් ගිහින් තිබුණු හැමතැනක්ම සෝදිසි කරලා ඒවා උගුල්ලා දමන්න අපි හිතුවා. ඒක ඒ තරම් පහසු කටයුත්තක් වුණේ නැතත් අන්තිමේදි ගස් මුල ගලවාගන්න අපිට පුළුවන් වුණා. මීෂ්කා කලේ අපි උගුල්ලපු ගස් මුල අනෙක් අයගේ පාත්තියකට වීසි කල එකයි.

'ඒක හොඳ වැඩක් නෙමෙයි මීෂ්කා.' මං කිවුවා.
'එහෙමනම් මේක අපි වීසිකරන්නේ කොහාටද?'
'අපේ යාළුවන්ගේ පාත්තියකට නම් නෙමෙයි කොහෙත්ම'
'හරි. එහෙමනම් මේක ගඟට වීසි කරමු.'


ගස් මුල ඔසවාගෙන ගිහින් අපි ඒක ගඟට වීසි කලා. ඒක කොයිතරම් බරද කිවුවොත් ඒක ඔසවාගෙන යන්න අපිට ලොකු වෙහෙසක් දරන්නට වුණා. අන්තිමේදි අපි කොහොම හරි ඒක ගං ඉවුරට ඇදගෙන ගිහින් ගඟට තල්ලු කළා. හතර වටේටම මුල් විහිදිලා තිබුණු හස් කොටය වතුරේ පහළට පාවෙවි ගියේ හරියටම අඬු-පඬු විහිදා ගත්ත මහ විසාල බූවල්ලෙකු වගෙයි. ඒක ඈතට නොපෙනි ගියාම අපි ආයෙත් නේවාසිකාගාරෙට ගියා. ආයෙත් වෙන මොකුත් වැඩක් කරන්න බැරි තරම් අපි දෙන්නට හොඳටම මහන්සියි. අනිත් එක හෙට උදේට අපිට කොටන්නට ඉතිරි වෙලා තියෙන්නෙ පුංචිම පුංචි බිම් කොටසක් විතරයි.

පහුවෙනිදා උදේ අපි ඇහැරුණේ අනිත් හැමෝටම වඩා පරක්කු වෙලා.

හරියට ඇඟ රිදෙන්න පටන් ගත්තා. අත් උස්සන්නවත් බැහැ. කකුල් උස්සන්නත් බැහැ. ඇඟ හරියටම තලලා දමලා වගේ රිදෙන්න පටන් ගත්තා. කොන්ද කෙළින් කරගන්නටත් බැරි තරම් ඇඟ රිදෙන්න ගත්තා.

'අපිට මේ මොකද වෙලා තියෙන්නෙ?' මීෂ්කා ඇහුවා.

'පොඩි වෙලාවකින් මහ ගොඩක් වැඩ කළ හින්දා තමයි ඉතිං' මං කිවුවා.

අමාරුවෙන් නැගිටලා ටික වෙලාවක් යද්දි රිදිල්ල ටික ටික අඩු වෙලා යන්ට පටන් ගත්තා. උදේ කෑම වෙලාවෙදි අපි පුවරුව දිනාගන්නවාමයි කියලා මීෂ්කා පුරසාරම් කියන්ට පටන් ගත්තා.

උදේ කෑමෙන් පස්සෙ අපි ගියා ගෙවත්තට වැඩ කරන්න. මීෂ්කයි මම ඒ ගැන එතරම් කලබ වුණේ නෑ වැඩ කරන්න. මොකද අපිට හුඟ වෙලාවක් ඉතිරි වෙලා තිබුණු නිසා.

අපි ගෙවත්තට ළඟා වෙද්දි අනිත් අය හැමෝම බොහොම කඩිසරව පොළොව කොටමින් හිටියේ හරියටම බීවරයෝ වාගෙයි. ඒගොල්ලනට හිනා වෙවී අපි ඇවිදගෙන ගියා.



'ඔය තරම මහන්සි වුණාට වැඩක් නැහැ. මොකද දැනටමත් පුවරුව දිනා ගෙනයි ඉන්නෙ අපි' මමයි මීෂ්කයි අනෙක් අයට කිවුවා.

'අපි නෙමෙයි ඔයදෙන්නා ඉක්මනින් වැඩ කරන්න පටන් ගත්තොත් තමයි හොඳ..!' ඒගොල්ලො අපිට කිවුවා.

ඔන්න එතකොටම වාගේ මීෂ්කා මෙහෙම කිවුවා.

'මේ බලන්න! මේක කාගේ පාත්තියද? තවම හාරලා තියා හාරන්න හිතලා වත් නැති පාටයි. මේ ගොල්ලො ගෙවල්වලට වෙලා තාම හොඳට නිදිද කොහෙද?'

මම පාත්ති අංකය දිහා බැලුවා. ඇත්තටම ඒක පාත්ති අංක දොළහ.

'මේක අපේ පාත්තිය!' මං මීෂ්කාට කෑ ගැහුවා.

'ඒක වෙන්නෙ කොහොමද? අපි මීට වඩා හුඟක් බිම් කෙටුවා' මීෂ්කා ඇහුවා. ඇත්තටම මමත් හිතුවේ ඒකමයි.

'සමහරවිට කවුරුහරි පාත්ති නොම්මර වෙනස් කලා වෙන්න බැරිද?' මීෂ්කා ඇහුවා.

'නෑ. ඒක වෙන්න බැහැ, බලන්න මේ තියෙන්නෙ පාත්ති අංක එකොළහ. අරක දහතුන.'

අපි ආයත් හොඳට වට පිට බැලුවා. එතකොට අපි දැක්කා ගස් මුල පාත්තිය මැද්දේ එහෙමම තියෙනවා. ඒක අපිට අදහාගන්නත් බැරි වුණා.

'මේ අහන්න මීෂ්කා. මේක අපේ පාත්තිය නම් අර ගස් මුල මෙතනට ආයෙත් ආවේ කොහොමද? අපි ඒක ඊයේ ගලවලා ගඟට වීසිකළා නෙ'


'ඔවු. ඔවු. ඒක අපි ගලවලා වීසි කලා තමයි. අලුත් එකක් එක රෑකින් වැවෙන්න විදියක් නෑ කොහෙත්ම' මීෂ්කා කිවුවා.

ඔන්න එතකොටම වාගේ අපේ පාත්තියට අල්ලපු පාත්තියේ වාන්යා ලොෂ්කින් කතා කරලා මෙහෙම කිවුවා.

'බලන්න, පුදුමයකින් වගේ අපේ පාත්තියෙ ඊයෙ තිබුණු ගස් කොටේ අද වෙනකොට අතුරුදහන් වෙලා. ඇත්තටම ඒක කොහෙ ගියාද? පුදුමයක්.. හරිම පුදුමයක්!'

හැමෝම එතනට දුවලා ගියා පුදුමය බලන්න. ඉතිං අපි දෙන්නත් ගියා.

මොකද්ද මේ වෙලා තියෙන්නෙ? ඊයේ දවසෙ පාත්තියෙන් අඩකටවත් වඩා අඩුවෙන් කොටලා තිබුනු වාන්යා ලොෂ්කින්ගේ පාත්තිය අද උදේ වෙද්දි සම්පූර්ණයෙන්ම කොටලා ඉවරයි, එකමෙක පුංචි මුල්ලක් ඇරෙන්න.

'මීෂ්කා, දන්නවද මොකද වෙලා තියෙන්නෙ කියලා? ඊයේ රෑ අපි කොටලා තියෙන්නෙ වාන්යා ලොෂ්කින්ලගේ පාත්තිය. අර උගුල්ලලා දමාපු ගස් කොටේ ඒගොල්ලන්ගේ එකක්.' මං කිවුවා.

'ඒක වෙන්න බෑ'

'ඒත් ඒක එහෙම තමයි'

'කොයි තරම් මෝඩයො ද අපි. අපි දැන් මොකද කරන්නෙ? හරි විදියට නම් ඒගොල්ල අපේ පාත්තිය අරගෙන ඒ පාත්තිය අපිට දෙන්න ඕනෑ. අන්තිමේදි අපේ මහන්සිය වතුරේ ගියා'
මීෂ්කා චුරු චුරු ගෑවා.

'කටවහගන්න. ඔයාට ඕනෑ මේ කඳවුරේ ඉන්න හැමෝම අපිට හිනා වෙනවා බලන්නද?'

'එහෙමනං මොනවද අපි කරන්නේ?'

'කොටන එක. ආපහු යන්තර දෙකක් වගේ පොළොව කොටන එක.'
මං කිවුවා.

ඉස්කෝප්ප දෙකත් අරන් ආයෙත් අපි වැඩ කරන්න පටන් ගත්තා. කලින් දවසේ වැරදීමෙන් අල්ලපු පාත්තිය කොටපු හන්දා අපේ අත් කකුල් රිදෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒ හැටි තරමක් පොළොව කොටලා ඉවර කරගන්න අපිට බැරි වුණා.

වැඩි වෙලාවක් යන්න කලින් වාන්යා ලොෂ්කින් සහ සෙන්කා බොබ්රොව් ඒගොල්ලන්ගේ පාත්තිය කොටලා ඉවර කළා. වීත්යා ඒගොල්ලට සුබ පතලා පුවරුව තෑගි කළා. ඒගොල්ලෝ පුවරුව පාත්තිය මැද්දෙ හිටෙවුවා. හැමෝම වට වෙලා අත්පොළසන් දෙන්න පටන් ගත්තා.

ඒක මීෂ්කාට දරන්න බැරි වුණා.

එයා වීත්යා ළඟට ගිහින් මෙහෙම කිවුවා.

'ඒක හරිම අසාධාරණයි!'
'ඒ මොකද ඒක අසාධාරණ වෙන්නෙ?'
'ඒ ගොල්ලන්ගේ පාත්තියේ ගස් මුල ගලවලා තියෙන්නේ වෙනත් කෙනෙක්. එගොල්ලොම එහෙම කිවුවා.'
'ඒක ඉතිං අපේ වරදක් නෙමෙයි නේ. කාටහරි දරට කොටයක් ඕනෑ වෙන්නැති. ඉතිං අපෙ ගස් කොටේ ගලවාගෙන යන්නැති'
වාන්යා මැද්දට පැනලා කිවුවා.
'කවුරුහරි වැරදිලා ගැලෙවුවා වෙන්න බැරිද?' මීෂ්කා ඇහුවා.
'එහෙම කළා නම් ඉතින් මේ අහල පහළ කොටේ තියෙන්නෙ ඕනෑ නේ'
'කවුරුහරි ඒක ගඟට වීසිකළා වෙන්න බැරිද?'
ආයෙත් මීෂ්කා කිවුවා.

'මෙහෙම වෙන්නැති. එහෙම වෙන්නැති....' කතන්දර ගොඩක් මැද්දෙ මීෂ්කා නම් කතාව නැවැත්තුවෙම නැහැ.

'වෙන කෙනෙක් ඔයගොල්ලොට පාත්තිය කොටල දුන්නා' මීෂ්කා කිවුවා. එතකොට මං මීෂ්කට වැලමිටෙන් ඇන්නා.

'ඔවු කවුරුහරි කොටන්න ඇති සමහර විට. අපි මැන්නෙ නැහැ නෙ.' වාන්යා කිවුවා.

අපි ආපහු අපේ පාත්තියට ගිහින් කොටන්න පටන් ගත්තා. වාන්යාත් සෙන්කත් එකතු වෙලා අපට විහිළු කරන්ට පටන් ගත්තා.

'අර බලන්න. ඒ ගොල්ලො හරියටම කැස්බෑවෝ දෙන්නෙක් වාගෙයි. හරිම හෙමින් වැඩ' ඒගොල්ලො කිවුවා.

'අපි ඒ ගොල්ලන්ට උදවු දෙන්න ඕනෑ. මොකද ඒ ගොල්ල අනිත් හැමෝටම වඩා පිටිපස්සෙන් ඉන්නේ' වාන්යා කිවුවා.

ඉතිං ඒ ගොල්ලො අපිට උදවු කළා. පොළොව කොටන්නත් ගස් මුල ගලවා දමන්ටත් උදවු කළා. ඒත් අපි බිම් කොටලා අවසන් කළේ සියළු දෙනාටම පසුවයි.

අන්තිමට කෙටිල්ල ඉවර කළේ අපි හින්දා, පඹයා අපේ පාත්තියේ සිටුවිය යුතුයැයි කෙනෙක් යෝජනා කළා. හැමෝම ඒකට එකඟ වුණා. ඉතිං පඹයා අපේ පාත්තියට ආවා. මීෂ්කයි මමයි ඒ ගැන හිටියේ ලොකු හිත් රිදිල්ලකින්.

'අය්යෝ.. සතුටින් ඉන්න. ඔය ගොල්ලො පැල හිටවලා වල් ගලවන්න පටන් ගත්තාම අපි පඹයාව ගලවලා වෙනත් තැනකින් හිටවමු.' හැමෝම කිවුවා.

'දුර්වලම වැඩ පෙන්වන කණ්ඩායමට අපි පඹයාව දෙමු' යූරා කොස්ලොව් යෝජනා කළා.

'ඒක හොඳයි!' හැමෝම කෑ ගැහුවා.

'සරත් කාලෙදී අඩුම පලදාවක් තියෙන පාත්තියට ඒක තෑගි දෙමු' සෙන්කා බොබ්රොව් කිවුවා.

ඉතිං මීෂ්කයි මමයි මේ කැත පඹරාළගෙන් ගැලවෙන්න මහන්සි වෙලා වැඩ කරන්න තීරණය කළා. ඒත් ග්‍රීස්ම කාලේ ඉවර වෙනකල්ම පඹයා අපේ පාත්තියේම හිටියා. පැල හිටවන කාලේ ආවම මීෂ්කා කැරට් ඇට වලට උඩින් බීට් රූට් ඇට දමලා හැමදේම අවුල් කළා. වල් ගලවන කාලේ දී වල් පැල වෙනුවට පාස්ලි ගස් උදුරා දැමුවා.

පස්සෙ ඒ වෙනුවට ආයෙමත් රාබු හිටවන්න අපට සිද්ද වුණා. මේ වැඩේ කිහිපවතාවක්ම නවතා දමන්න ඕනෑ කියලා මට හිතුණත් එවැනි දෙයක් නිසා යාළුවෙක් අතැරලා දමන්න මට හිත දුන්නේම නෑ. ඉතිං අවසානය තෙක්ම මීෂ්කා එක්ක වැඩ කරන්න මං තීරණය කළා.

ඔබට හිතාගන්නට පුළුවන්ද මීෂ්කටත් මටත් අන්තිමේදි පුවරුව දිනාගන්නට හැකි වූ බව? හැමෝම පුදුමයට පත් වුණේ හොඳම තක්කාලි අස්වැන්නත් කැකිරි අස්වැන්නත් අපිට හිමි වුණු නිසා.



ඒ ගැන පුංචි පහේ කලබලයකුත් ඇති වුණා!

'ඒක හරිම අසාධාරණයි. ඒ ගොල්ලො අනිත් හැමෝටම වඩා පිටිපස්සෙන් ඉඳලත් හොඳම අස්වැන්න ඒගොල්ලන්ට ලැබුණේ කොහොමද?' හැමෝම ප්‍රශ්න කළා.

ඒත් වීත්යා මෙහෙම කියුවා.

'ඒක ඉතාම සාධාරණයි. ඔයගොල්ලො හැමෝටම වඩා හෙමින් ඒගොල්ලො වැඩ කළා වෙන්ට පුළුවන්. ඒත් ඒගොල්ලො හුඟක් හොඳින් පොලොව කොටලා පැල හිටවූ නිසයි ඉතා හොඳ අස්වැන්නක් ලැබුණේ.'

'හොඳම පාත්තිය ලැබුණේ ඒගොල්ලන්ටයි. ඒකයි හේතුව. මටයි සෙන්කටයි ලැබුණේ නරකම පාත්තිය. ඒකයි කොයි තරම් මහන්සි වුණත් අඩු අස්වැන්නක් අපිට ලැබුනේ. ඒගොල්ලන්ටම කියන්න මේ මෝඩ පඹයාව තියාගන්න කියලා, ඒක මුළු ග්‍රිස්ම කාලෙම ඒගොල්ලන්ගේ පාත්තියේ තිබුණ වගේම' වාන්යා ලොෂ්කින් කුරු කුරු ගෑවා.

'ඒකට කමක් නෑ. පඹරාලව අපි සතුටින් බාරගන්නවා' මීෂ්කා කිවුවා.

හැමෝම හයියෙන් හිනා වුණා.

'මේ පඹරාල නොහිටියා නම් අපි කීයටවත් මේ පුවරුව දිනා ගන්නේ නෑ!' මීෂ්කා කිවුවා.

'ඒ කොහොමද?' හැමෝම ඇහුවා.

'පඹරාලට බයේ එකමෙක කුරුල්ලෙක් වත් අපේ පාත්තියට ආවේ නෑ. ඒ නිසයි ලොකුම අස්වැන්න ලබා ගන්න අපිට පුළුවන් වුණේ. ඒ විතරක් නෙමෙයි, අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියන එක අපිට නිතර මතක් කළේ මේ පඹරාලයි.'

'ඉතිං මේ මෝඩ පඹරාලට අපි දැන් මොකද කරන්නෙ මීෂ්කා?' මං ඇහුවා.

අපි පඹරාලව ගඟ පහලට අරන් ගිහින් ගඟට වීසි කළා. පඹරාල අත් දෙක විහිදාගෙනම ගඟ පහළට ගහගෙන ගියා. එයා ඈතට නොපෙනී ගියාම අපි ආපහු කඳවුරට ආවා.

අල්යෝෂා කුරොච්කින් අභියෝගතා පුවරුව එක්ක මාවයි මීෂ්කවයි අපේ පාත්තියේ තියලා පිතූරයකුත් ගත්තා. ඇත්තෙන්ම ඔබ කැමති නම් ඒ පින්තූරය බලන්න, ඔබට ඒ පින්තූරය එවන්නට අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා.

නිකොලායි නෝසව්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


එක්තරා කාලයක මහලු මිනිසෙක් හිටියා. ඔහුගේ මුල් නම වුණේ සන්. තමාගේ මුළු ජීවිත කාලය පුරාමත්, කුලී වැඩ කරලයි ඔහු ජීවත් වුණේ. ඔහු බොහෝම දුක් වින්ද කෙනෙක්. ජෙන්ෂෙන් සහ ටියාන්මින් කියලා පුතුන් දෙදෙනෙක් ද ඔහුට හිටියා. දෙදෙනාගෙන් වැඩි මහල්ලා වුණු ජෙන්ෂෙන්, චාම්, මහන්සි වී වැඩ කරන පිටිසරබද කොලුවෙක්. ටියාන්මින්, කිසිවක් හොඳින් නොකරන; සූදුවට සහ සල්ලාලකමට ළැදියෙක්.

එක් දවසක් සන්, ඒ දෙදෙනාම ළඟට කැඳවමින් මෙහෙම කිව්වා. "දෙදෙනා ම දෑකැත්ත බැගින් අරගෙන මාත් එක්කලා එන්න."

ජෙන්ෂෙන්, ඔහුට කී ලෙසට කළා. ඒත් ටියාන්මින් මැසිවිලි නඟමින් මෙහෙම පැවසුවා. "ආයෙත් වැඩ කරන්න! මං නම් එන්නෙ නෑ!"

මහලු සන් බැණ වැදුණට පස්සෙයි ඔහු, ඔවුන් සමග ඒමට කැමැති වුණේ.

තිදෙනා බොහොම දුර ප‍්‍රමාණයක් ඇවිදගෙන ඇවිදගෙන ගියා. ඔවුන් කඳුගැට පනස් පහක් නැංගා. වියළුණු ගඟක වංගු අනූනවයක් පසු කළා. අන්තිමේ දී ඔවුන්, සුළං ආවරණය වුණු වංගුවක් වෙතට පැමිණියා.

ටියාන්මින් තමා අවට සෝදිසියෙන් බැලුවා. උසට වැඩුණු මානා පඳුරුත්, සක්ක ගල් විමානයකුත් දුටු ඔහු නැවතත් මැසිවිලි නැඟුවා, " හරිම තැනක්! අවතාරයක්වත් මෙතැන ජීවත්වෙන්නට කැමැති වෙන එකක් නෑ!"

මහලු සන් තමන්ගේ පුතුන්ට මෙහෙම කිව්වා, "මගේ ළමයිනේ, අපි පදිංචියට සූදානම් වන්නේ මෙතැන. අපි මෙතැන පුංචි පැළක් හදන්නට ඕනෑ. භූමිය සූදානම් කරලා, මෙතැන සතුටින් ජීවත්වෙන්ට ඕනෑ."



"එතකොට ඔහු හිතාන ඉඳලා තියෙන්නේ මේකයි." ජෙන්ෂන් තමාටම කියාගත්තා. ඔහු තමාගේ පියාගේ පස්සෙන් ආවාට, ඔහුට දැන් කාරණාව වැටහී ගිය හින්දා, තාත්තා ඔහුට කියන ඕනෑම දෙයක් කරන්නට ඔහු කැමති වුණා. මෙතැන ඔවුන් හට අයුතු බලපෑම් කරන්නට කවුරුත් නෑ; වටේටම ලොකු, එළිමහන් බිමක් ඔවුනට තිබුණා. ටික වේලාවකින් ඔහු භූමියට ආදරය කරන්නට වුණා. අනිත් අතට ටියාන්මින් මෙතැනට කොහෙත් ම අකමැති වූ අතර, නිරන්තර ව මැසිවිලි නඟන්නට ගත්තා.

ඔවුන් පැමිණියාට පස්සේ, ටික කාලෙකින් මහලු සන් රෝගී වෙමින් මිය පරලොව ගියා. ඔහු මරණයට පත් වීමට මොහොතකට පෙර, ඔහු ළඟ ජීවිතය පුරාම තබාගෙන සිටි රෙදි මල්ලක් එළියට ගනිමි න් මෙහෙම පැවසුවා, "මගේ ළමයිනේ, මෙතැන හණ ඇට මල්ලක් තියෙනවා. ඔබලාට දෙන්නට මට උරුම වෙලා තියෙන්නෙ එච්චරයි. නුඹලාට අවාහයක් කරලා දෙන්නට තරම් මට කවරදාකවත් වස්තුවක් තිබ්බෙ නෑ. නුඹලාට අදින් පස්සේ මේ ඇටවලින් නුඹලාගේ දිවි මඟ සකස් කර ගන්නට වෙනවා. ලෝකයේ තියෙන අගනා ම වස්තූන් වන්නේ; මිනිසුන් සහ ඇට වර්ග කියන එක කවරදාකවත් අමතක කරන්නට එපා. ඔබට මේවා තිබේනම් සියලු දෙය ම ලැබේ වි." මෙහෙම කිව්ව මහලු සන් මියැදුණා.

තම පියාගේ මලකඳ සීතල වීමටත් පෙරාතුව ටියාන්මින් මෙහෙම කිව්වා, "සහෝදරයා, පවුලේ වස්තුව අපි බෙදා ගමු. ඉතින් අපට තියෙන එකම වස්තුව හණ ඇට හින්ද, මගේ කොටස මට දෙන්න, අපි දැන් වෙන්වෙලා යමු!"

පුදුමයට පත්වුණු ජෙන්ෂෙන් මෙහෙම පැවසුවා, "ආ, සහෝදරයා, මේවා සිද්දවෙන්ට ඕනෑ මේ විදියට නෙවේ!"

ටියාන්මින් ඔහුට ඇහුම්කන් දුන්නෙ නෑ. ඔහු රෙදි මල්ල අතට ගනිමින්, මල්ලෙන් හණ ඇට භාගයක් ම තමාගේ මල්ලට හළාගෙන; වැඩිමහලු සහෝදරයාගෙන් සමුගෙන එතැනින් පිටවී යන්නට ගියා. එදා ඉඳන් ඔවුන් වෙන්වෙලා ජීවත් වුණා.

ඉස්සෙල්ලා අපි ටියාන්මින්ගේ කතාන්දරය කියමු:

විනාඩි කිහිපයකට පසුව ඔහු කඳුකරයෙන් පිටත් ව ගියා. ඔහු නැවතත් තමාගේ කිසිවක් හොඳින් නොකරන පුරුදු ජීවන මඟ ම ගමන් ගත්තා.

පළමු දවසේදී ම එක්තරා තානායමකට ඇතුලු වෙමින් ඔහු මේ ලෙසට ඇසුවා, "මුදලාලි ඔබගේ තානායමේ මීයෝ ඉන්නවා ද?"

"ටිකක් ඉන්නවා." තානායම්කරු උත්තර දුන්නා.

"මං ගාව හණ ඇට ටිකක් තියෙනවා, මං ඒවා කොහේ ද තියන්නේ?"

"ඔබ කැමති තැනක තියන්න." තානායම්කරු මිතුරු සිනාවකින් යුතුව කීවා.

" ඒක එහෙම ද?"

"ඔව් - ඔව්." තානායම්කරු පැවසුවා.

එදින රාත‍්‍රියේ දී ටියාන්මින් හිමින් සීරුවේ නැඟිටලා, හණ ඇට මල්ල මී ගුලක් ළඟ තිබ්බා. මීයෝ හණ ඇට සේරම ගිල දැම්මා. ඔහුට උවමනා කළෙත් ඒකමයි. පසුදා උදෑසන අවදිවුණ ඔහු තමාගේ තණ ඇට ‘දේවමය තණ ඇට’ බවත් ඒවා මීයන් විසින් ගිල දමා ඇති බවත් තානායම්කරුට පැවසුවා.

"මං ඔබට ඒවා ආපහු දෙන්නේ කොහොමද!" තානායම්කරු කියා සිටියා.

"ඒක එහෙමනම්," ටියාන්මින් කිව්වා "ඔබේ නිවස කඩලා මට මීයො අල්ලලා දෙන්න!"

තානායම්කරු අවංක මිනිහෙක්. ඉතින් ඔහු තමාගේ නිවස කඩලා, මීයෝ හොයන්නට බිම අඩි තුනක් විතර යටට හෑරුවා. ඊළඟට ටියාන්මින්ට රිදී කාසි හතරකුත් දුන්නා.

එක්තරා දිනක ටියාන්මින් තවත් තානායමක ඉඳිද්දී මෙහෙම කෑගෑවා, "මෙහෙ පූසෙක් ඉන්නවාද?" මං ගාව ‘රත්රන් ඇස් තියෙන’ මීයෙක් ඉන්නවා. ඌ මං තියන්නේ කොහේද?"

"ඔබට කැමති තැනක තියන්න." තානායම්කරු උත්තර දුන්නා.

" ඒක එහෙම ද?"

"ඔව්, ඔව්" තානායම්කරු සහතික වුණා. එදින රාත‍්‍රියේ දී ටියාන්මින්, පූසෙක් ළඟ මීයෙක් තිබ්බා. පූසා හනිකට මීයා ගිල දැම්මා. උදේ තානායමේ දරුණු හඬක් ඇසුණා. තමාගේ, ‘රත්රන්’ ඇස් තියෙන මීයා වෙනුවට, බළලාත් සමඟ රන්කාසි පනහක් දෙන ලෙසට ටියාන්මින්, තානායම්කරුට හඬ ගෑවා. තානායම්කරුට කරන්නට දෙයක් නැතිවුණා. ඔහු, ටියාන්මින් ඉල්ලූ මුදලත්, බළලාත් ඔහුට දුන්නා.

තවත් දිනෙක ඔහු තුන්වෙනි තානායමට ආවා. ඔහු එහි දොර අසල දී ම තානායම්කරුගෙන් මෙහෙම ඇසුවා. "මුදලාලි මෙහෙ බල්ලෙක් ඉන්නවාද?"

"ඔව්, ඒත් ඌට බයවෙන්ට එපා," තානායම්කරු උත්තර දුන්නා.

"මං ගාව ‘රත්රන් ඔළුවක්’ තියෙන පූසෙක් ඉන්නවා. ඔබේ බල්ලා ඌට කරදරයක් කරාවිද?" ටියාන්මින් ඇසුවා.

"එහෙම නෑ ඔබ බයවෙන්ට එපා." තානායම්කරු උත්තර දුන්නා.

" ඒක එහෙම ද?"

"ඔව්, ඔව්." තානායම්කරු පැවසුවා.

එදින රාත‍්‍රියේ දී ඔහු බල්ලාගේ හොම්බ ළඟ ම, පූසා තිබ්බා. ඊළඟ දින උදෑසන අවදි වුණු ඔහු, තමාගේ පූසා බල්ලා විසින් මරා දමා ඇතැයි මරහඬ දෙන්නට ගත්තා. ඒ වෙනුවට තානායම්කරුගේ බල්ලාත්, රිදී කාසි පනහකුත් දෙන ලෙසට ඔහු තානායම්කරුට කෑගෑවා. වෙන කරන්නට දෙයක් නැතිව ඔහු, ටියාන්මින් ඉල්ලූ මුදලත්, බල්ලාත් ඔහුට දුන්නා.



එක් දිනක් ඔහු තවත් තානායමක් වෙතට පැමිණියා. එහි ස්තාලයක් ද තිබුණා. ඔහු තානායමට ගොඩවෙද්දී තානායම්කරු ඇමතුවා.

"මුදලාලි, මං ළඟ බල්ලෙක් ඉන්නවා. උගේ නම වස්තුව. මං ඌ බඳින්නෙ කොහේ ද?"

"ඔබ කැමති තැනක බඳින්න."


එදින රාත‍්‍රියේ දී ටියාන්මින්, තමන්ගේ බල්ලා ඉස්තාලයේ හිටිය ලොකු අස්සය කුගේ වලිගයේ ගැට ගැසුවා. අස්සයා පා පහරක් එල්ල කරමින් බල්ලා එතැනම මරා දැම්මා.

තමාගේ බල්ලා වෙනුවට ටියාන්මින්ට ලොකු අස්සයෙක් ලැබුණා.

දිනක්, අස්සයා පිට නැගී ඔහු එක්තරා ගමකට ආවා. එහි අවමඟුල් උළෙලක්. උළෙලට පැමිණී අය අස්සයාගේ හඬ ඇසී බිය වැදී, මිනී පෙට්ටියත් එතැන ම දමා දුවන්නට ගත්තා. මිනී පෙට්ටිය අරිමින්, මිනිය එළියට ගත් ටියාන්මින් එය සැදෑලයේ තබාගෙන එතැනින් පිටවී ගියා.

එදින සවස ඔහු තවත් ගමකට ළංවෙද්දී, වතුර ගෙනයන තරුණ ළඳුන් දෙදෙනෙක් ඔහුට මඟදී හමුවුණා. ඔයු අස්සයගෙ පිටින් බැස, ගරු සරු ලෙසට ඔවුන්ට හිස පහත් කරමින් මෙලෙස කීවා.

"ආදරණීය කාන්තාවෙනි, මගේ තාත්තා ඉන්නේ හරිම පිපාසෙන්. කරුණාකරලා ඔහුට වතුර ටිකක් දෙන්න!"

දෙදෙනාගෙන් තරුණ කාන්තාව වඩාත් කාරුණික වුණා. ඇය විගසින් ගෙදරට දිවගොස් සුප් එකක් ගෙනැවිත් දුන්නා. ඔහු ඔවුනට පිටුපාගෙන, මලමිනියෙහි රැහැන් ලෙහමින්, මලමිනියෙහි කටට සුප් කෝප්පය හැලුවා. ඊළඟට කෝප්පය ආපසු දෙමින්, ඇයට ස්තූති කළා. නැවතත් ඔහු, ඔවුනට පිටුපා සිටිමින්, හදිසියේ ම අඬන්නට ගත්තා.

"අනේ! මගේ තාත්තා මැරිලා!"

තරුණ කාන්තාවන් දෙදෙනා මෙයින් හොඳටම තැති ගත්තා.

"අපි ඔය සුප් හැදුවෙ අපිට බොන්ට." දෙදෙනාගෙන් එකියක් කීවා. " ඒක ඔබේ තාත්තාට විස වුණේ කොහොම ?"

"ඔබලා ඒක කළේ හිතාමතාමයි!" ටියාන්මින් ඔවුන් බිය ගැන්නුවා. " මේක කළාට මං ඔබලා පොලීසියට ගෙනියනවා."



අස්සකයකු ද හිමි මොහු පොහොසත් අයකු විය හැකි බවත්, ඔහුගෙන් බේරීමට තමනට නොහැකි බවත්, කාන්තාවක් දෙදෙනාට ම වැටහුණා. ඔවුන්ගේ අසරණ තත්ත්වය ටියාන්මින් සැණෙකින් වටහා ගත්තා. "එහෙනම් මේක මෙතැනින් බේරාගන්ට ඕනෑනම්, ඔබලා දෙන්නාගෙන් එක්කෙනෙක් මාත් එක්කලා එන්නට ඕනෑ."

ඔහු ඔවුන් දෙස ඇස් කොනකින් බැලුවා. දෙදෙනාගෙන් බාලයා ලස්සන එකියක ලෙසට පෙනුණු හින්දා, ඔහු ඇයට මෙහෙම පැවසුවා, "ඔබ තමයි මට උවමනා කෙනා. මගේ අස්සයාගේ පිට උඩට නගින්න!" ඔහු කාන්තාව අස්සයාගේ පිට උඩට ඇද ගනිමින්, තමාගේ වැඩිමහලු සහෝදරයා බලන්නට ගියා.

ඔහු අස්සයාගේ පිට උඩ නැගගෙන යද්දී, මිනිස්සු එකිනෙකාට මෙහෙම කියාගත්තා, " අර බලන්න! ඒ නම් උසස් නිලධාරියෙක් වෙන්න ඇති!"

"ඔහුට ඉන්නේ කොච්චර ලස්සන බිරිඳක් ද?"


මෙයින් සතුටට පත්වුණු ටියාන්මින් ලස්සන ගීතයක් මුමුණන්නට වුණා.

"මම දර නො කපමි
වගාද නොකරමි
එහෙම වුණත් මගෙ මල්ලේ
රන් ද රිදී සල්ලී
වැපුරුවෙ නෑ කුඹුරක්
මැසුවේ නෑ ඇඳුමක්
එහෙම වුණත් මා පළඳින්නේ
සේද සළු පිළියි දැනගන්නේ!
හොඳ පත පොත නො කියමි කිසිදා
හොඳ කිසිවක් නො කරමි කිසිදා
එහෙම වුණත් මට ලස්සන බිරිඳක්
අස්සයෙකුත් ඇත දැනගන්නේ!"

"හා, හා, මගේ දුප්පත් සහෝදරයා! ඔහු දැන් වළ පල්ලට ගිහිල්ලත් ඇති! දැන් මං ගිහිල්ලා එයා බලලා එන්න ඕනෑ!"
ඔහු හිතුවා.

ගඟෙහි සෙවණැති නැම්ම වෙතට ටියාන්මින් පැමිණෙත් ම, තම පියා සැදූ, එතැන තිබුණු පැල දෙස ඔහු බැලුවා. පැල එතැන තිබුණත් එය දිරාපත්වෙමින් තිබුණා. එය වසා උස තණ පඳුරු වැඩිලා. ඔහු පොළොවට පයන් ගසත් ම, පරණ ඇට කටු ගොඩක් මතුවුණා.

"හෝ! මේවා වෙන්ට ඇති මගේ වැඩිමහලු සහෝදරයාගේ ඇටකටු!" ඔහු දුෂ්ට ලෙසට කියා සිටියා. ඔහු ගමන ඇරඹීමට සූදානම්වත්ම, ඈත කඳු මත දෝංකාරය දෙවන ගී හඬක් ඔහුට ඇසුණා. ඔහු ඇළ පාරක් දිගේ කන්ද දෙසට අසු පදවාගෙන ගියා. ඔහු අසු පදවාගෙන යත් ම, අවට ඇති දසුන එන්න එන්න ම ලස්සන වුණා. ජලය ගලා යන ‘සිලි - සිලි හඬ අතරින් ඔහුට කුරුල්ලන්ගේ ‘කිචි - බිචිය’ ඇසුණා. ගං ඉවුරෙහි පලුපල්ලව සහිත, තණ පඳුරු වැඩිලාය. එය තවත් ලෝකයක් ම විය. තවත් වංගුවක් හැරුණු ඔහු, තුන් පැත්තකින් කඳුවලින් වටවුණු තැනකට පැමිණියා. බෑවුම් පුරා හණ පඳුරු වැඩී තිබුණා. ඔහු මේ පාරාදීසියේ සිර නරඹමින් ඉදිරියට ගියා. ගොවියෝ ඉණ වටක් දියේ ගිලෙමින්, හණ පොඟවමින් සිටියා.



ඔහු මෙහෙම හිතුවා: "මං කොච්චර ඇවිදලා තිබුණත් මෙහෙම ලස්සන තැනක් දැකලාම නෑ! හරි! මං හිතන්නේ මේ සැඟවුණු මිටියාවත ගැන මේ පළාතේ නඩුකාරයා දන්නෙ නැතුව ඇති. මේ භූමිය බලෙන් ම මගේ අයිතියට අරගෙන, ඇයි බැරි මට මෙතැන රජ්ජුරුවෝ වෙන්ට?" ඔහු මෙසේ අහස් මාලිගා නගද්දී, විශාල ගලක් කන්ද පහළට පෙරළීගෙන ආවා. ඊළඟට කොහේදෝ සිට කුණාටුවක් හමාගෙන ඇවිදින්, ඔහු වටකරගෙන ගල් පෙරළුණා. මුළු අහසම අඳුරු වුණා. සුළඟ විසින් ටියාන්මින් සහ අස්වයා වලාකුළක් වෙතට විසිකරනු ලැබුවා. එහි දී මීයා ඔහුගේ ඇස් අන්ධ කළා; පූසා මූණ බරු ගැහුවා; බල්ලා, ඔහු සැදැල්ලෙන් බිමට ඇද දැම්මා. කිසියම් අවතාරයක් ඔහු අල්ලා ගත් කල්හි ඔහු යටිගිරියෙන් කෑගෑවා. අවතාරය ඔහු අල්ලාගෙන ඊ ළඟ ලොවට ගෙනගියා. තමා කළ පව්කම්වලට ඔහුට එහි දී නිසි දඬුවම් ලැබුණා. ඊ ළඟ මොහොතේ කුණාටුව පහව ගියා. රතු පාට ගිනි බෝලයක් අහසේ කැරකෙමින්, යළි මහ හඬින් ගඟ ළඟ මිටියාවත මතට වැටුණා. එය මොකක් කියලා ද ඔබ හිතන්නේ? ඒ තමයි ටියාන්මින්ගේ අස්සයා. උගේ පිට උඩ ලස්සන තරුණ ළඳක් ඉඳගෙන හිටියා.

ඇය සිහිනෙන් අවදි වූ එකියක ලෙසට වටපිට බලමින් තමාට ම මෙහෙම කියා ගත්තා; "මං මේ කොහේ ද ඉන්නේ? මගේ ගෙදර කෝ?" සෝකයත්, තනිකමත් ඉවසාගත නොහැකි වුණු ඇය අඬන්නට වුණා.



මේ වෙලාවේ දී ඉතාමත් තරුණ සක්තිවන්ත තරුණයෙක් එතැනට ආවා. "ඔබ කොහේ ඉඳන් ද ආවේ, ළමයෝ?" ඇය තමාට සිදු වූ දෙය පවසමින්, ටියාන්මින් කපටි ලෙසට තමා රැවටූ ආකාරය ද විස්තර කර සිටියා. "හිස් කාලකණ්ණියා! මං තමයි ඔහුගේ වැඩිමහලු සහෝදරයා!........" තමා සහ ටියාන්මින් පවුලේ වස්තුව බෙදාගත් පිළිවෙළ ගැන ඔහු, ඇයට විස්තර කර දුන්නා; ඔහු මෙම ගමට පැමිණ, දුප්පත් මිතුරන් කිහිප දෙනෙකු සමග ගම දියුණු කළ අන්දම ගැන ඇයට කියා දුන්නා. ඔවුන් කුඹුරුවලට දිය ගෙන ඒමට, ළිං හාරලා, කාණු කැපුවා; තමාට තිබ්බ හණ ඇට අවුරුදු පතා වගා කෙරුවා. මේ විදිහට එක හණ ඇටයක් දහයක් වුණා. දහයක් සියයක් වුණා. සියයක් හණ ඇට දහසක් වුණා. නිසරු කඳුවැටි මෙසේ සරුසාර පෙදෙසක් වුණා. සෑම අතම හණ පඳුරු දකින්නට ලැබුණා.

තරුණ ළඳ මේවා අසමින් සතුටට පත්වුණා. "ඔබ නියම මිනිසෙක්!" ඇය පැවසුවා.

"මෙතැන ලස්සන තැනක්. මං මෙහේ නැවතිලා, ඔබට උයා පිහා දෙන්නම්. තෙල් සින්දලා දෙන්නම් ඔබට ඇඳුම වියලා දෙන්නම්."

"නියම අදහසක්!"
වැඩිමහලු සහෝදරයා සතුටින් කෑගෑවා.



ඇය මේ විදියට එහි නතරවෙමින්, ජෙන්ෂෙන් කරකාර බැඳ ගත්තා. එදා ඉඳන් දෙදෙනා මහන්සි වෙමින් එතැන වැඩපොළ කළා. එකට සිංදු කියමින්, සතුටින් සාමයෙන් ජයට ජීවත් වුණා.

[චීන ජනකතා | 2008]
පරිවර්තනය - පරාක්‍රම ඇස්. විජේවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


මායාකාර පාත්තයා සහ චීනයේ රතු ලන්තෑරුම් උත්සවය

චීනයේ මිනිස්සුන්ගේ පාරම්පරික විශ්වාසයට අනුව මේ විශ්වයට අධිපතියා ලෙස සැලකෙන්නේ ජේඩ් අධිරාජයායි. ඔහු නිතර කිපෙන සුළු කෙනෙක්. ඒ වගේම හුදෙකලා වෙලා ඉන්න දුක්බර කෙනෙක්. දවසක් ඔහුට මහපොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සතුට ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඉතින් මහපොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් පළි ගන්නට හිතූ ජේඩ් අධිරාජයා එය විනාශ කරදමනු පණිස කටින් ගිනි පිඹින මායාකාර පාත්තයෙකු පෘථීවියට එව්වා.

මේ බව දැනගත් ජේඩ් අධිරාජයේ ජීවත් වුණු එක්තරා කාරුණික කන්‍යාවක්, මහපොළව වෙත පැමිණියා. පෘථීවියේ ජීවත් වුණු මිනිසුන් හමු වූ ඈ මායාකාර පාත්තයා පිළිබඳ තොරතුරු ඔවුන්ට දැන්වූවා. එපමණක් නොවෙයි, මායාකාර පාත්තයා කිසියම් උපක්‍රමයකින් අල්ලාගෙන සිරකිරීමට හැකි නම්, ගිනි පිඹීමට ඌට කිසි ලෙසකත් නොහැකි බව පවසා යන්නට ගියා.


ජේඩ් අධිරාජයා

තමන් ජීවත්වන මහපොළොව විනාශ කිරීමට එන පාත්තයා ගැන මිනිසුන් බොහොම යහපත් අවධානයෙන් සිටි නිසා ඌව ඉක්මනින්ම අල්ලා කූඩුවක සිරකරන්නට මිනිස්සුන්ට හැකි වුණා.

ඔන්න ඒ අතරේ මිනිස්සුන්ගෙන් කෙනෙකු යෝජනා කළා ඔවුන් සියලු දෙනාම රතු පාට ලන්තෑරුම් දැල්විය යුතු බව. එවිට දැල්වෙන රතු ලන්තෑරුම් වලින් නික්මෙන ආලෝකය නිසා මහපොළොව ගිනි ගන්නේ යයි ජේඩ් අධිරාජයාට පෙනෙන නිසා, තමාගේ උපක්‍රමය සාර්ථක වූ බව සිතා ඔහු සතුටු වනු ඇති බවත් ඔහු කිව්වා.

ඔන්න හරියටම එදා ඉඳලා මේ වෙනකල්, හැම කාලෙකම, පළමුවෙනි චන්ද්‍ර මාසයේ පහළොස් වෙනි දිනයේදී චීන වැසියෝ සියල්ලන්ම එකතු වෙලා රතු ලන්තෑරුම් උත්සවය පවත්වනවා.

ඉතින් මෙහෙම දිගින් දිගටම මේ දිහා බලාගෙන හිටපු ජේඩ් අධිරාජයාගේ ඊර්ෂ්‍යාව මැකිලා ගියාලු. ඉන් පස්සේ කවදාවත් ජේඩ් අධිරාජයාට පෘථීවියේ වැසියන් ගැන නපුරු හිතක් පහල වුණෙත් නෑලු. ඒ මොකද, පෘථීවියේ මිනිස්සුන්ට ඔහුගේ සිතේ වූ කාරුණික බව අවදි කරන්නට හැකි වූ නිසාලු.


රතු ලන්තෑරුම් උත්සවය

රන් මකරා සහ චීනයේ මකර-සිරස උත්සවය

බොහෝ කාලෙකට පෙර චීනයේ කහ නදිය අසල ප්‍රදේශයේ මහා නියඟයක් පැවතුණා. කහ නදියට ජලය ගෙන එන කුඩා ගංගා සියල්ල ඒ නියඟයෙන් වියළි ගියා. කිසිවෙකුට පිපාසයට බොන්නට දිය බිඳක් වත් සොයා ගන්නට නොහැකි වුණා. මේ කහ නදිය අසබඩ පිහිටා තිබූ 'මකර කෙටේරිය' නම් වූ කන්ද පාමුල ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා ජීවත් වුණා. අවසානයක් නැති නියං පීඩාවෙන් මිදෙන්නට මගක් සොයා ගන්නට සිතු ඔවුහු දිනක් ගමේ ජීවත් වූ මහල්ලෙකු වෙත ගොස් උපදෙස් ඉල්ලා සිටියා. නගරයට දිය ගෙනෙන්නට හැකි රහස ඇත්තේ 'ස්වර්ණ මකර පොකුණේ' පතුලේ බවත් එයා සොයා ගත හොත් දිය ලබා ගත හැකි බවත් මහල්ලා ඔවුන්ට කිව්වා.

ඉතින් 'ස්වර්ණ මකර පොකුණ' සොයා යන්නට තීරණය කල ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා බොහෝ දුරක් ඇවිදීමෙන් අනතුරුව පොකුණ ඇති ස්ථානයට පැමිනුනා. ඉන් පසු රහස සැඟවී ඇතැයි කියූ පොකුණු පතුල තෙක් ඔවුන් හෑරුවා. මෙහෙම හාරාගෙන හාරගෙන යන විට එක්වරම මතුවුණේ සුදුපැහැති පාෂාණයක්. එය එක්වණම සුදු පාට පරෙවියකු බවට පත් වුණා. අනතුරුව තටු ගසා අහසට නැග සැණෙන් සුදු රැවුලක් ඇති මහල්ලෙකු බවට පත් වුණා.

"දිය ලැබෙන තෙක් ඔබේ නිරුවත් දෑත් වලින් කන්ද හාරන්නට ඔබට කොහෙත්ම බෑ. ඒ නිසා ඔබ පළමුවෙන්ම කළ යුත්තේ 'මකර -කෙටේරිය' කඳු මුදුන තරණය කර එහි ඇති කෙටේරිය සොයා ගැනීමයි." පරෙවි-මහල්ලා ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා ට කිවුවා. ඒත් එක්කම වාගේ මහල්ලා සුදු පැහැ දුමක් බවට හැරී නොපෙනී ගියා.

මහල්ලා ගේ උපදෙස් අනුව ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා කන්ද තරණය කර අවසන් වත්ම, ඈතින් කුඩා පන්සලක් ඔවුන්ට දිස් වුණා. බොහෝ මහන්සි වී සිටි ඔවුන් දෙදෙනා පන්සලට ඇතුලු වත්ම එහි තබා තිබූ කෙටේරිය ඔවුන්ට හමුවුණා.


මකර-සිරස උත්සවය

කෙටේරිය රැගෙන ආපසු කඳු පාමුලට පැමිණි ඔවුන් දෙදෙනා කෙටේරියෙන් කඳු පාමුලට පහර දෙනවාත් සමගම රන්වන් දියදහරාවක් මතු වී ඉහළට නැගී රන් මකරා පෙනී සිටියා. ඒ රන් මකරා එසැණින් ගුවනට පැන එහි සරන්නට වත්ම අහස කළු වී මහ වැසි ඇද වැටෙන්නට වුණා.

ඉතින් එදා පටන් අද වනතුරු චීන වැසියෝ දෙවැනි චන්ද්‍ර මාසයේ දෙවැනි දිනයේදී එය සිහිපත් කරලා රන් මකරා වෙනුවෙන් 'මකර-සිරස උත්සවය' පවත්වනවලු.

නීල්යා කාරියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


එක්තරා කාලයක පොහොසත් මිනිහෙක් සිටියා. මිනිස්සු ඔහුට කීවේ පෙප-පීල් කියලා. ඔහුට තිබ්බේ දරුණු පෙනුමක්. දරුණු හදවතක්. ඔහුගේ කුලී කරුවන්ටත්, බදුකරුවන්ටත් ඔහු නපුරු විදිහටයි සැලකුවේ.

පෙප-පීල් ලඟ වෙන පළාතකින් ආව කුලී කරුවෙක් හිටියා ෂඔඩා කියලා. ඔහු අවුරුදු හතක් පෙප-පීල් ළඟ වැඩ කෙරුවා. ඔහු හදිසියේම දරුණු ලෙස ගිලන් වුනා. "දැන් ෂඔඩාට වැඩ කරන්න බැහැ. මට වෙන්නේ දැන් එයාට නිකන් කන්ට දෙන්ටයි." පෙප-පීල් හිතුවා. ඉතින් ඔහු කිසිම අනුකම්පාවක් නැතුව ෂඔඩාව ගෙදරින් එළවලා දැම්මා.

ෂඔඩා මෙච්චර කාලයක් පෙප-පීල් ට දර දිය ඇද්දා. ඒත් ඔහුට කන්න දුන්නේ අහක දාන කෑම. ඔහුට සතයක් වත් දුන්නේ නෑ. ඔහු බොහොම අමාරුවෙන් තමන්ගේ ගෙදරට ඇවිල්ලා ඔහුගේ අසල් වැසියන් එක්ක තමාට වෙච්ච වින්නැහිය ගැන කිවුවා. සියල්ලෝ පෙප-පීල්ගේ වැරැද්ද කියමින් ඔහුගෙන් පළිගන්ට තීරණය කළා. ඔවුන්ගෙන් එකෙක් මුදල් ටිකක් එකතු කරන ලෙසට යෝජනා කලා. ඒවායින් ටිකක් ෂඔඩාට සත්කාර කිරීමටත්, ඉතිරි මුදල ලස්සන රතුපාට හොටක් සහ කොළපාට පිහාටුවක් ඇති ගිරවෙකු නගරයෙන් මිලදී ගැනීමටත් ඔවුන් වියදම් කලා.

ඔවුන් ඒ ගිරවාට "ඇත්ත වශයෙන්ම.." යන්න පමණක් කීමට ඉගැන්විය යුතු බවත් ඔහු කියා සිටියා. මේ විදිහට පෙප-පීල් ට පාඩමක් ඉගැන්විය හැකි බවත් ඔහු කියා සිටියා. සියල්ලෝම අත්පොඩි ගසමින් ඔල්වරසන් නැගුවා.

වසරක් ගත වුණා. එක් දිනක් ෂඔඩා ඉස්තරම් ඇඳුමකින් සැරසී ගිරවා ද රැගෙන පොහොසත් මිනිහා හමුවීමට ගියා. තමාගේ පෙර සිටි ස්වාමියාට ගරු සරු දැක්වීමට තමා පැමිණි බව ඔහු දන්වා සිටියා. පෙප-පීල් ඔහු පොහොසත් මිනිසකු වී සිටි සැටි දැකීමෙන් පුදුමට පත් වුණා. ඔහු ඒ ගැන ඉක්මනින්ම විමසා බැලුවා.

"මෙච්චර කාලයක් ඔබ සිටියේ කොහේද? ඔබ දියුණු වෙලා වගේ පෙනෙනවා. ඔබ කොහොමද පොහොසත් මිනිසකු වුණේ? මට පේන හැටියට.. ?" ෂඔඩා මෙහිදී ඔහුට බාධා කලා. "මං පොහොසත් වුණා..." ෂඔඩා පොහොසත් වුණේ කොහොමදැයි කියන ලෙස ඔහු ඇවිටිලි කලා. ෂඔඩා තමාගේ කතන්දරය කිව්වා. එක්තරා රාත්‍රියකදී තමාට දෙවියන් හීනෙන් පෙනී පුදුමාකාර ගිරවකු හොයාගන්නා හැටි කී බවත්, ඌ රත්තරන් සහ රිදී වලලා තිබෙන තැන් පෙන්වීමට සමත් බවත් කියා සිටියා. තමා ඒ ගිරවා සොයා ගත් බවත් එදා පටන් ඔහු වෙත මුදල් ගලා ආ සැටිත් ඔහු විස්තර කළා. එසේම තමා යන යන තැනට කුරුල්ලා ගෙන යන බවත් ඔහු කියා සිටියා.

පෙප-පීල් ඔහුගේ කතාව විශ්වාස කලේ නෑ. කුරුල්ලාගේ සමත් කම ඔප්පු කරන ලෙස ඔහු කියා සිටියා. ෂඔඩා එයට එකඟ වුණා.

ඔහු ගිරවාත් රැගෙන පෙප-පීල් ළිඳක් ළඟට කැඳවාගෙන ගියා.
"ලස්සන පොලී...," ෂඔඩා කිව්වා."මෙහි රිදී වලලා තිබෙනවාද?"
"ඇත්ත වශයෙන්ම..!" ගිරවා පිළිතුරු දුන්නා.
ෂඔඩා එතැන හාරමින් පුංචි රත්තරන් පාර්සලයක් ගොඩට ගත්තා.

පෙප-පීල් කට අයාගෙන මේ දෙස බලා හිටියා. ඔහු කල්පනා කලේ මේ ගිරවා මිලදී ගන්නේ කොහොමද කියලයි.

පසුදින ඔහු තමාගේ නිවසේ උත්සවයක් පවත්වමින් ඒ සඳහා නගරයේ සිටින සියලුම පොහොසත් මිනිස්සුන්ට ඇරයුම් කළා. මෙවැනි උසස් මිනිසුන් ඉදිරියේ ෂඔඩා තමාගේ ගිරවා ලොකු මුදලකට විකිණීමට පසුබට නොවේයැයි ඔහු සිතුවා. මත් පැන් වීදුරු තුනක් හිස් කල පෙප-පීල් ෂඔඩාට මෙසේ පැවසුවා. "ඔබ ඔබේ ගිරවා මට විකුණන්න ඕනෑ. ගාන කීයද?" උත්තරයක් දීමට පෙර ෂඔඩා ටිකක් කල්පනා කළා.

"ඔබ අවුරුදු හයක් හතක් විතර මගේ ස්වාමියා වෙලා හිටියා. මට ඉතින් ඔබේ ඉල්ලීම අහක දමන්ට පුලුවන්යෑ? මෙච්චර උසස් පිරිසක් ඉදිරියේ? ඒත් මේ කුරුල්ලා නිධානයක්. මං මේ උසස් පිරිසගෙන් ඉල්ලා හිටිනවා මේ කුරුල්ලාට නියම මිලක් දෙන ලෙසට."

"ඒකට බය වෙන්ට එපා." අමුත්තෙක් සහතික වුණා.

"දෙදෙනාටම පාඩු නොවෙන්ට අපි ගනුදෙනුව බේරමු!" සාක්ෂි කරුවන් කිහිප දෙනෙක් ඉදිරියේ ඔවුන් ගනුදෙනුවට අත්සන් කළා. ගිරවා වෙනුවට ඔහුගේ මුළු දේපලම ෂඔඩාට හිමිවිය යුතු බවට පෙප-පීල් තම කැමැත්ත සහතික කොට තිබුණා.

ගිරවා තමාට හිමිවීම ගැන පෙප-පීල් හොඳටම සතුටු වුණා. ඔහු ගිරවා රැගෙන රත්‍රන් ලබා ගැනීම පිණිස මිතුරන් ද සමග යන්නට ගියා.

ඔවුන් එක්තරා වැවක ඉවුරක් වෙත පැමිණියා. පෙප-පීල් ගිරවාට කතා කෙරුවා. "ලස්සන පොලී, මෙතැන රිදී වලලා තිබෙනවාද?"

"ඇත්ත වශයෙන්ම!" ගිරවා උත්තර දුන්නා.

ඔවුන් එතැන හාරා බැලුවත් රිදී කලයක් වත් හොයා ගන්ට බැරි වුණා. ඊළඟට ඔවුන් කන්දක් ළඟට ඇවිදගෙන ගියා. පෙප-පීල් ගිරවාට කතා කලා.

"ලස්සන පොලී, මෙතැන රත්තරන් වලලා තිබෙනවාද?"

"ඇත්ත වශයෙන්ම!" ගිරවා උත්තර දුන්නා. ඔවුන් එතැන හාර බැලුවත් කිසිවක් සොයා ගන්ට බැරි වුනා. අන්තිමේදී තමා රැවටී ඇති බව පෙප-පීල්ට වැටහුණා.

ඔහු සෝකයෙන් මෙසේ පැවසුවා.

"ලස්සන පොලී, නුඹ මාව රැවැට්ටුවා නේද?"

"ඇත්ත වශයෙන්ම!" ගිරවා පිළිතුරු දුන්නා.

කෝපයට පත් පෙප-පීල් ගිරවා බිමට වීසි කළා.

"නුඹ මාව නැති බංග කෙරුවා. කාලකණ්ණි කුරුල්ලා!"

ගිරවා උඩට ඉගිලී අසල තිබූ අත්තක වසමින් මෙසේ කිවුවා.
"ඇත්ත වශයෙන්ම..!!"

[-චීන ජනකතාවක් ඇසුරිනි.]




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


හිතාගන්නවත් බැරි තරම් ගොඩක් ඉස්සර කාලෙක අහස අද වගේ ගොඩක් දුරින් තිබිල නෑ. කොටින්ම කීවොත් බංකුවක් හරි පුටුවක් හරි උඩට නැගලා, අත් අහසට ඉස්සුවොත්, අල්ලන්න පුළුවන් වෙන තරමට පහතින් තමයි අහස තිබිලා තියෙන්නෙ.

ඉතින් ඒ කාලේ කොහොමත් පහතින් පිහිටලා තියෙන සිතිජ මායිමේ ගමක් තිබුණා. ඒ ගමේ තිබුණා පිදුරු සෙවිලි කරපු පුංචි මැටිගෙයක්. වකුටු වෙච්ච ආච්චි කෙනෙක් තමයි ඒ ගෙදර ඉඳලා තියෙන්නෙ.

ගමේ හිටිය වයසම ගෑණුකෙනත් මේ ආච්චි. සමහරවිට ඒ කාලේ මුළු ලෝකයේම හිටිය වයසම ගෑනුකෙනත් මේ ආච්චි වෙන්න පුළුවන්. කිසිම නෑදෑයෙක්වත් යාළුවෙක්වත් හිටියෙ නැති නිසා මේ ආච්චි, ඒ ගෙදර ජීවත් වෙලා තියෙන්නෙ තනියම. වෙන යන්න එන්න තැනක්වත්, කතා කරන්න කවුරුත්වත් මේ ආච්චිට තිබුණෙවත් හිටියෙවත් නෑ. ඒ නිසා මුළු දවස පුරාවටම වකුටු ආච්චි කරේ, ගෙදර වටේ කැරකි කැරකී, ගෙදර හැම අස්සක් මුල්ලක්ම පිරිසිදු කරන එක. පස් හෑරෙන්න බිම පහුරු ගාන එක. පහුරු ගාපු තැන් ආයෙමත් අතුගාන එක. එහෙමත් නැත්නම් දූවිලි පිහිදාන එක. ඒ කොණෙන් මේ කොණට, මේ කොණෙන් ඒ කොණට ආයෙ ආයෙමත්, ආයෙ ආයෙමත් අතුගාන එක. කොටින්ම කීවොත් අතුගාන්නයි, පහුරුගාන්නයි අලුත් ක‍්‍රම ගැන හිතුවා ඇරෙන්න, මේ ආච්චි කරපු වෙන කිසිම දෙයක් නැති තරම්.

උදා වුණු එක් ගිම්හාන ඍතුවකදී; මේ මුළු ගම ම වතුර පොදක් නැතුව ලොකු පිපාසයකින් ගිලෙන්නට වුණා. බලන බලන හැම අතම දකින්න ලැබුණ එකම දේ සැර දූවිල්ල. ගස් වසාගත්ත දූවිල්ල. ගෙවල්වල, පැල්පත්වල, වහලවල් වසාගත්ත දූවිල්ල. මිනිසුන්ගේ උගුරු, ඇස් වලට වදයක් වුණු දූවිල්ල. කොටින්ම කීවොත් මුළු වාතයම දූවිල්ලෙන් වැසිලයි තිබුණෙ. මේ දුවිල්ල නිසා ගම්වාසීන් එන්න එන්නම දුර්වල වුණා. දකින දකින හැම තැනම, කවුරු හරි කෙනෙක් කහිනවා. එහෙමත් නැත්නම් කිඹුහුම් අරිනවා. අඩුම ගානේ අහසටවත් බැරිවුණා දූවිල්ලෙන් බේරිලා ඉන්න. අහස, පොළොවට ගොඩක් කිට්ටුවෙන් පිහිටල තිබුණ නිසා, හමා යන සිහින් සුළඟකට පවා; වේළිලා, කේඩෑරි වෙලා තිබුණ ගමෙන් එන දූවිලි හුළඟට, අහසත් කහින්න පටන්ගත්තා.

වකුටු ආච්චිගෙ මැටි ගෙදරත් සම්පූර්ණයෙන්ම දූවිල්ලෙන් වැසිලයි තිබුණෙ. ඉතින් ආච්චි ඉලපතෙන් එයාගේ පුංචි පැල්පත, අතුගෑවා, අතුගෑවා, අතුගෑවා, ඉවරයක් නැතුවම අතුගෑවා. ආච්චි එයාගේ ගේ ඇතුල අතුගෑවා. ගෙදරින් පිටත අතුගෑවා. ගේ පඩිය අතුගෑවා. ගෙමිදුල අතුගෑවා. ඉතින් දූවිල්ල මැකෙනවාට වැඩිය, එන්න එන්නම දූඹුරු ගැහිච්ච වළාකුළු වෙලා පොළොවෙන්, උඩට මතු වුණා.

ආච්චිගේ අතුගෑවිල්ල නිසා අලුතෙන් මතුවෙන දූවිල්ලට, අහස තව තවත් දුර්වල වෙන්න පටන් ගත්තා. සැර දූවිල්ල අහස් නහයට ගිය නිසා අහස කිඹුහුම් ඇරියා. ඒ ඇරියෙත් එසේ මෙසේ කිඹුහුම් නම් නෙමෙයි. මුළු ලෝකයම හෙල්ලෙන තරමේ ගිගුරුම් දෙන කිඹුහුම්. ඒ සද්දෙට බය වුණු මිනිස්සු අත්දෙකින්ම එයාලගෙ කන් වහගෙන ගෙවල් ඇතුළට දිව්වා. ඒත් වකුටු ආච්චිට විතරක් මුකුත් ඇහුණෙ නෑ. ඒ නිසා එයා දිගටම අතුගෑවා.



ඉතින් දූවිලි සැරට අහස තවත් කිඹුහුමක් ඇරියා. උහුලගන්නම බැරිවුණ තැන අහසෙ ඇස් වලින් කඳුළු බිඳු, වේලිල තිබුණ පොළොවට වැටෙන්න ගත්තා. වකුටු ආච්චි අතු ගගා හිටිය කොටසටත් විශාල ලපයක් තරම් වැහි කඳුළක් වැටෙනකල්ම, ආච්චිට කිසි දෙයක් දැණුනෙ නෑ. අහස දිහා රවලා බලපු ආච්චි ඒ ලොකු කඳුළු බිංඳුව මැකෙනකල්ම බිම පහුරු ගෑවා. අහසින් වැටෙන කඳුළු, වකුටු ආච්චිට උහුලගන්න බැරිවුණා. කෙළින් කරගන්න පුළුවන් තරම් කොන්ඳ කෙළින් කරගත්ත ආච්චි, එයාගෙ හැරමිටිය අහසට දික්කරලා, ගෙදර පඩිය උඩ වැහි කඳුළින් තෙමන්න එපා කියලා කෑ ගැහුවා. අහසට තර්ජනය කළා.

ඒත් වකුටු ආච්චිගේ අතුගෑවිල්ල නිසා, ඇවිස්සුණු දූවිල්ලෙන් වැහිල තිබුණ අහසෙ ඇස් වලට, කඳූළු නවත්ත ගන්න බැරිවුණා.
ඒ නිසා හොඳටම තරහ ගත්ත වකුටු ආච්චි, එයාගෙ ඉලපත ඇදල අරන්, අහසට හයියෙන් පහරක් ගැහුවා. එතකොට තවත් හයියෙන් කිඹුහුමක් ඇරිය අහස ටිකක් උඩට පැන්නා. ඒත් වකුටු ආච්චි එයාගෙ ඉලපතෙන් අහසට ගහන එක නතර කරන්නෙ නැතුව, තව තවත් හයියෙන්, අහසට ගහගෙන ගහගෙන ගියා.

වකුටු ආච්චිගෙ සැර වේගවත් පහරවලුත්, විශේෂයෙන් ආච්චිගෙ ඉලපතේ රැඳිලා තිබුණ දුහුවිල්ලත්, අහසට තවත් නම් උහුලගන්න බැරි වුණා. ඒ නිසා අහස එක දිගට කැස්සා, ගිගිරුම් දිදී කිඹුහුම් ඇරියා. නොනවත්තවා හොඳටම ඇඬුවා. බැරිම තැන කාටවත්ම කවදාවත් අල්ලන්න බැරි තරම් ගොඩාක් දුර ඈතට පියාඹලා ගියා.



ඉතින් ඔන්න ඔහොමලු අහස අද අපෙන් වෙන්වෙලා ගොඩක් දුර ඈත ඉන්නෙ. සිතිජය වුණත් පොළොවට ගෑවෙන්න වගේ තිබුණට, ඒකත් ඉතින් බොරු මායාවක් බව හැමෝම දන්න ප‍්‍රසිද්ධ රහසක්නෙ.

[බෙංගාලි ජන කතාවක් ඇසුරෙනි. ]
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 
Related Posts with Thumbnails