එකම එක යාළුවෙක්වත් නැති නිසා නපුරු නරියට ගොඩක් පාළුයි. ‘මං ගොඩක් ලොකුයි ඒ මදිවට මට තියෙන්නෙත් භයානක පෙනුමක්.. ඒක නිසා වෙන්නැති මට කිසිම යාළුවෙක් නැත්තෙ.. ’ නරියා එයාටම කියා ගත්තා. ‘සමහරවිට ඒ මං නරක නිසා වෙන්නත් පුළුවන්.. ඔව්.. ගොඩක් නරක නිසා..... ’ නපුරු නරියා තනියම හිතුවා.

‘හරි මං දන්නවා.. මං නරක වැඩ අත්හරිනවා.. ඒකරලා කරුණාවන්ත නරියෙක් වෙනවා.. එතකොට මටත් ගොඩක් යාළුවෝ ලැබේවි.. ’ එහෙම හිතුව නපුරු නරියා ගමේ ටිකක් ඇවිදින්න පටන් ගත්තා.

"බුදු අම්මෝ.... මෙන්න නපුරු නරියා එනවෝ.." නරියව දැක්ක සුදු හංසිනී, හංස පැටව් හත්දෙනා එක්ක ගේ ඇතුළට දිව්වා.

"ඩාං...." ඊටපස්සෙ ඇහුණෙ හයියෙන් දොර වැහුණ සද්දෙ.

"හංසිනී.." නපුරු නරියා ආදරණීය කටහඬකින් කතා කළා. "දොර ටිකක් අරින්න පුළුවන්ද.. ? මම දැන් කරුණාවන්ත නරියෙක්.. මට පුළුවන්ද ඔයාගෙ ළමයි එක්ක සෙල්ලම් කරන්න.. ?"

ඒත් හංසිනී නෙමෙයි වැරදිලාවත් නම් දොර ඇරියෙ.

"යනව යන්න නපුරු නරියා.. යනව යන්න.. ආයෙමත් මෙහාට කවදාවත් එන්න එපා.." ගේ ඇතුළෙ ඉඳන් කෑ ගැහන්න ගත්ත හංස පැටව්, ජනේලය ළඟට ගිහින් නපුරු නරියට ඇස් වපර කරලා ඇද කරන්න පටන් ගත්තා.

නපුරු නරියා දැන් හොඳ නරියෙක් බව හංසයෝ අඳුන ගත්තෙ නැති නිසා නරියට දුක හිතුණා.


‘හරි මං දන්නවා.. කරුණාවන්ත වෙලා විතරක් මදි.. මම උදව් කරන්න පටන් ගන්නත් ඕනෑ.. එතකොට මටත් හම්බවේවි යාළුවෝ. ’ එහෙම හිතුව නපුරු නරියා ආයෙමත් ඇවිදින්න යන්න පටන් ගත්තා.

කිකිළි හාමිනේ ගමනක් යන්න ලක ලෑස්ති වෙලා මග බලාගෙන ඉන්නවා.

"කීයට එයිද මන්ද මේ උදව්කාරයා.."

කුකුළු පැටව් බලාගන්න එනවයි කීව උදව්කාරයා තාමත් නැති නිසා කිකිළි හාමිනේගේ හිත ටිකක් කලබලයි.

කුකුළු කූඩුව ළඟට ගිය නපුරු නරියා උගුර පෑදුවා.

"කිකිළි හාමිනේ මට පුළුවන් ඔයාගේ ළමයි ටික හොඳින් බලාගන්න.."

"නපුරු නරියා ඇවිල්ලෝ.. ළමයිනේ.. දුවපල්ලා.. දුවපල්ලා.. විගහට දුවපල්ලා.." හැමෝම ඉක්මණට දුවල ගිහින් දොර වහගත්තා..

"කිකිළි හාමිනේ.. මම දැන් කරුණාවන්ත හැමෝටම උදව් කරන නරියෙක්.. කමක් නැද්ද මම අද කුකුළු පැටව් බලාගත්තට.. ?"

ඒත් කිකිළි හාමිනේ කීයටවත් දොර නම් අරින්න ගියේ නෑ.

"යනව යන්න නපුරු නරියා.. යනව යන්න.. ආයෙත් මේ පැත්ත පළාතටවත් එන්න එපා.." ගේ ඇතුළෙ ඉඳන් කෑ ගහන්න ගත්ත කුකුළු පැටව් ටිකත්, නරියට ඇද කරන්න පටන් ගත්තා.

නපුරු නරියා දැන් කරුණාවන්ත හැමෝටම උදව් කරන නරියෙක් බව කුකුළොත් තේරුම් ගත්තෙ නෑ. ඒ හින්ද නරියට ආයෙමත් ගොඩක් දුක හිතුණා.

ඉතින් නපුරු නරියා ආයෙමත් හිතන්න පටන් ගත්තා.

‘හරි මං දන්නවා. උදව් කරන කරුණාවන්ත නරියෙක් වෙලා මදි.. මං මොනව හරි හොඳ යහපත් වැඩක් කරන්නත් ඕනෙ.. එතකොට නම් මට කොහාම හරි යාළුවො ලැබේවි.. ’ නරියා හිතුවා.

ඉතින් හොඳ යහපත් දෙයක් කරන අදහසින් නපුරු නරියා ආයෙමත් ගමේ ගොඬේ ඇවිදින්න යන්න පටන් ගත්තා.

තාර හාමිනේ තාර කූඩුව ළඟ ඉඳගෙන කෑ ගහනවා නපුරු නරියා දැක්කා.

"පස්වැනියා.. පස්වැනියා.. කෝ.. කොහෙද මේ පස්වැනියා.."

"ඇයුබෝවන්! තාරාවි.. මොකද්ද ප‍්‍රශ්නෙ.. කමක් නැද්ද මං උදව් කරාට.. ?"

නපුරු නරියව දැක්ක තාරාවිට හොඳටම තරහ ගියා.

"නපුරු නරි තඩියා.." තාරාවි කේන්තියෙන් පුපුරමින් කෑ ගැහුවා. "කොහොම හරි ඔහේ මගේ පස්වැනි තාර බබාව කෑවා නේද.. ?" තාරාවි කූඩුව ඇතුළට ගිහින් හයියෙන් දොර වහගත්තා.

නපුරු නරියට තාරාවිගෙ වචන හිතාගන්නවත් බැරි වුණා. නරියා කූඩුවෙ දොරට තට්ටු කරන්න පටන් ගත්තා.

"තාරාවී.. මට ඇතුළට එන්න ඉඩදෙන්න.. මං කිසිම කෙනෙක්ව කෑවෙ නෑ.."

ඒත් තාරාවි එහෙම නෙමෙයි වැරදිලාවත් නම් දොර ඇරියෙ..

"යනව යන්න නපුරු නරියා.. ඈතටම යනව යන්න.. ආයෙත් කවදාවත් කොහෙට ගියත් මෙහාට නම් එන්න එපා.. " ඉතුරු තාර පැටව් හතරදෙනා කෑ ගහන ගමන් නපුරු නරියා දිහා කැත විදිහට බැලුවා.

"හා.. එහෙනම් මමයි පස්වැනියව කෑවෙ.. උගන්වන්නම්කො මං හොඳ පාඩමක්.. මීට කළින් මම නරකම නරක නරියෙක්." නපුරු නරියා තනියෙන් කියව කියව කැලෑවෙ එහාට මෙහාට ඇවිද්දා.

ටික වෙලාවකට පස්සෙ නරියට ඇහුණා කටහඬක්.

"ක්වෑක්.... ක්වෑක්.. අනේ! මට පාර වැරදිලා.." කටහඬ කියනවා ඇහුණා.

ගහක් පිටිපස්සෙ හිටිය නරියා එළියට මතු වුණා.

"මෙන්න නපුරු නරියා මාව කන්න යනවෝ.. අනේ මාව බේරගන්ඩෝ...." නරියව දැක්ක පස්වැනියා පුළුවන් තරම් හයියෙන් කෑගහන්න පටන් ගත්තා.

බයෙන් කෑ ගහන තාර පැටියා ගැන නපුරු නරියට දුක හිතුණා. කේන්ති යනව වෙනුවට හිත උණු වුණා. ඒත් ඒ බව නොපෙන්වා පස්වැනියට සැරෙන් කතා කළා.

"ඔය මෝඩ කෑගැහිල්ලයි ඇඬිල්ලයි නැවැත්තුවේ නැත්නම්, මම දැන් ඔයාව ඇත්තටම කනවා.. තේරුණාද.. ?"

පස්වැනියා නපුරු නරියා දිහා බැලුවා. ජිල්බෝල වගේ කඳුළු බෝල, තාරහොට දිගේ ගලන්න ගත්තා.

"මට අම්මා ළඟට යන්න ඕනෙ.. " පස්වැනියා අඬ අඬාම නරියට කීවා.

"හොඳයි.. දැන් එහෙනම් හොඳ තාර බබා වගේ නාඬා ඉන්නකෝ.. අපි දැන් යන්නෙ ඔයාගෙ අම්ම ළඟට තමයි.. "


නපුරු නරියා පස්වැනියව එයාගෙ ලොකු කලිසම් සාක්කුවේ දාගත්තා.

ආයෙමත් තාරාවිගේ කූඩුව ළඟට ගිය නරියා දොරට තට්ටු කළා.

"තාරාවී... තාරාවී... මේ බලන්නකෝ මට පස්වැනියව හම්බවුණා.. දැන්වත් ටිකක් දොර අරිනවද.... ?" ආදරණීය කටහඬකින් නපුරු නරියා තාරාවිට කීවා.

තාර කූඩුවේ දොර හිමින් සීරුවේ ටිකක් ඇරුණා.

"ඔය ඇත්තමද.. ?" දොරට මුවාවෙලා තාරාවී නපුරු නරියගෙන් ඇහුවා.

"සත්තම සත්තයි.. ඇත්තමයි මේ කියන්නේ.." නරියා උත්තර දුන්නා.

"එතකොට ඔයා එහෙනම් ඔයා පස්වැනියව කෑවෙ නෑ.. ! ?" තාරාවී ආයෙමත් ඇහුවා.

"පුංචිම පුංචි කෑල්ලක්වත් කෑවෙ නෑ.." නරියා උත්තර දුන්නා.

දොරෙන් එළියට අත දැම්ම තාරාවී ඉක්මණට පස්වැනියව ඇතුළට ඇදල ගත්තා.

"ඩාං....." ඊටපස්සෙ ඇහුණෙ දොර වැහෙන සද්දෙ.

නපුරු නරියා දුකින් තාරාවිගෙ කූඩුව ළඟින් යන්න ගියා. නපුරු නරියා හොඳ කරුණාවන්ත කෙනෙක් වුණා. යහපත් වැඩකුත් කළා. ඒත් තවමත් කවුරුත් කැමති නෑ එයාගෙ යාළුවෙක් වෙන්න. නපුරු නරියට ඇඬුනා. ලොකු කඳුළු බිංඳු දිග නහය දිගේ ගලන්න පටන් ගත්තා.

"මේ ඒක නෙමෙයි නපුරු නරියෝ.." කූඩුවේ දොර ඇරිය තාරාවි නපුරු නරියට කතා කළා.

තාරාවිගෙ කටහඬ ඇහුණ නරියා හිටිතැනම ගල් ගැහුණා.

"ඔයාට වෙලා තියෙනවනම් තේ එකක් බීලා යන්න ඉන්න පුළුවන්ද.."

"ඔව් පුළුවන්.. ඇත්තටම පුළුවන්.." නපුරු නරියා උත්තර දුන්නා.

තාරාවිගෙ ගෙදර ගතකරපු මොහාත බෙහෙවින් සතුටුදායක මොහොතක් වුණා. නපුරු නරියා තේ කෝප්ප තුනක් බීවා. විස්කෝතු එකොළහක්ම කෑවා. තාර පැටව් එක්ක හිතේ හැටියට සෙල්ලම් කළා.

"ස්තූතියි! තාරාවී...." ගෙදර යන්න වෙලාව ආවාම නපුරු නරියා හැමෝගෙන්ම සමුගත්තා.

"නෑ.. නෑ.. නපුරු නරියෝ මමයි ඔයාට ස්තූති කරන්න ඕනෑ.." තාරාවි කීවා. "ඔයා මට පස්වැනියව හොයල දුන්නා.. ඒ නිසා ඔයා වීරයෙක්.."

"තාරාවී.." නපුරු නරියා ලැජ්ජාවෙන් තාරාවිට කතා කළා. "ඔයාට පුළුවන්ද අද ඉඳලා මට ආදරණීය නරියා කියලා කතා කරන්න.."


තාරාවි හිනා වුණා. "එහෙම දෙයක් කරන්න ඕනෙ නෑ නරියෝ.." තාරාවි නරියව ආදරෙන් බදාගත්තා.

"ඔයා හැමදාම හිටිය නපුරු නරියමයි. හැබැයි අපේ නපුරු නරියා හරි කරුණාවන්තයි.. !"

[පින්තූර : ලීන් චැප්මෑන් | Lynne Chapman]
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ඔන්න එකෝමත් එක කාලෙක සහෝදරයෝ දෙදෙනෙක් ජීවත් වුණා. එක්කෙනෙක් බොහෝම දුප්පත්. අනිත් කෙනා බොහෝම පොහොසත්. මේ පොහොසත් සහෝදරයා ඔහුගේ අසල්වාසීන් හා බොහෝම මිතුරුයි. ඒත් තමන්ගේ සහෝදරයා සමග හොඳින් ඉන්ට ඔහු අකමැති වුණා. හරියටම ඔහුව අඳුනන්නෙ නැති කෙනෙකු ගානටයි ඔහු ජීවත් වුණේ. ඒ මොකද, දුප්පත් සහෝදරයා කිසියම් මොහොතක ඇවිත් ඔහුගේ ධනයෙන් කොටසක් ඉල්ලාවි යයි ඔහු බයවුණු හන්දා.

ඒත් දුප්පත් සහෝදරයා ඔහුගෙන් කිසිවක් ඉල්ලන්ට ගියේ නෑ. ඔහුට බොහෝම අමාරුකම් වලට මුහුණ දෙන්ට සිදුවුණත් කිසි වෙලාවක් ඔහු පොහොසත් සහෝදරයා ළඟට ගියේ නෑ.

ඔන්න එකදවසක් හැන්දෑවක දුප්පත් සහෝදරයාගේ බිරිඳ ඔහුව අමතලා මෙහෙම කිවුවා.

"අපි අද දවස ගෙවාගන්නෙ කොහොමද කියලා වත් මට හිතාගන්ට අමාරුයි. කෑමට ගන්ට කියලා කිසිම දෙයක් ගේ හරියේ ඇත්තේ නෑ. අයියා ළඟට ගියොත් මොකවත් ඉල්ලා ගන්ට බැරි වෙන එකක් නෑ. ඔහු ඊයෙත් ධාන්‍ය අරගෙන යනවා මම දැක්කා."


දුප්පත් සහෝදරයා තමන්ගේ පොහොසත් සහෝදරයා වෙතට යන්ට කොහෙත්ම කැමති වුණේ නෑ. ඒත් ඒ වෙලාවේ ඔවුන්ට උදව් කළ හැකි කිසිවෙක් හිටියේ නැති නිසා ඔහු පොහොසත් සහෝදරයා ළඟට ගිහින් මෙන්න මෙහෙම කිවුවා.

"මගේ ආදරණීය අයියේ, කෑමට ගත හැකි කිසිවක් ගේ හරියේ ඇත්තේ නෑ. නුඹට පුළුවන් නම් මට ධාන්‍ය ස්වල්පයක් ණයට දීපන්."

දුප්පත් සහෝදරයා වෙතට හරක් කුරයක් වීසි කළ පොහොසතා මෙහෙම කිවුවා.

"නුඹට හැකි නම් මෙන්න මේක ගිහින් හයිෂි රාස්සයට දීපන්, පලයන්." එහෙම කියලා ඔහු මල්ලීව එළවා ගත්තා.

"ඔහු මේ කුරය දුන්නේත් කැළේ රාස්සයාටයි. මා වෙනුවෙන් යමක් දෙන්ට තරම් ඔහු කාරුණික වුණේ නෑ. මෙහෙම නින්දා විඳිනවාට වඩා මේක අරන් රාස්සයා ළඟට යන එක හොඳයි." එහෙම කියලා දුප්පත් සහෝදරයා කැලෑවට යන්ට පිටත් වුණා.

රාස්සයා ළඟට යන පාර ඔහු දැන සිටියේ නෑ. මග ගෙවාගෙන යද්දි, ඔහුට හමුවුණා දර කපන්නන් කණ්ඩායමක්.

"නුඹ මේ කොහෙ යනවද?" දර කපන්නන් ඇසුවා.

"හයිෂි රාස්සයා ඉන්න තැනට, මෙන්න මේ හරක් කුරය දෙන්ට. කරුණාකරලා නුඹලාට හැකිද මට පාර කියාදෙන්ට?" මල්ලි ඉල්ලා සිටියා.

"ඔය ඉස්සරහට පෙනෙන පාර දිගේම නුඹ යා යුතුයි. හැබැයි කිසිම වෙලාවක ආපහු නොබලන්ට නුඹ මතක තබා ගනින්. රාස්සයා මුණගැහෙන්ට එතැනදි පුළුවනි. හරක් කුරයට රිදී කාසි දෙන්ට අහවි. එය ගන්ට එපා. ඊළඟට රත්තරන් කාසි දෙන්ට අහවි. ඒකත් ගන්ට එපා. ඒ වෙනුවට රාස්සයාගේ වංගෙඩිය ඉල්ලාපන්. වෙන මොකුත් ඉල්ලන්ට එපා." දර කපන්නන් කියා සිටියා.

දුප්පත් සහෝදරයා ඔවුන්ට ස්තුති කරලා යන්ට පිටත් වුණා.

ඔන්න ඔහොම බොහොම දුරක් ගෙවාගෙන දන්නා අඳුනන කෙනෙක් නැතිව ඇවිදගෙන ඇවිදගෙන යද්දි ඔහු දුටුවා කුඩා ගෙයක්. ඔහු ගෙට ඇතුලු වුණා. ඒ ගෙදර රාස්සයා ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ.

"මිනිස්සු මට එක එක විදියේ තෑගි බෝග කොයිතරම් ගෙනෙන්ට පොරොන්දු වෙලා ගියත්, තෑගි ගෙනෙන්නෙ බොහොම කලාතුරකින්. කියාපන්, නුඹ මට ගෙනාවේ මොනවාද?"

"හරක් කුරයක්"

හයිෂිට බොහොම සතුටු හිතුණා.

"අවුරුදු තිහකින් මං මොනම මස් වර්ගයක් වත් කාලා නෑ. ඔය හරක් කුරය ඉක්මනට මෙහාට දීපන්" රාස්සයා කිවුවා.

එසැණින් හරක් කුරය අතට ගත්තු රාස්සයා එය ගිල දැමුවා.

"නුඹ මේ හරක් කුරය තෑගි කලා. ඒ වෙනුවෙන් යමක් මම නුඹට දෙන්නට කැමතියි. මෙන්න මේ රිදී කාසි අහුර නුඹට මං තෑගි කරනවා."

"මට රිදී ඕනෑ නෑ"
දුප්පත් මිනිහා කිවුවා.

"එහෙනං මේ රන් කාසි අරගනින්" රාස්සයා කිවුවා.

"මට රත්තරං ඕනෑ නෑ" දුප්පත් මිනිහා කීවා.

"නුඹට ඕනෑ මොනවද එහෙනං?"

"නුඹට ඒක කොහෙත්ම දෙන්ට බෑ. ඒ වෙනුවට ඕනෑ තරම් කාසි ගන්ට නුඹට පුළුවනි."


"එපා. මට වංගෙඩියයි ඕනෑ." දුප්පත් මිනිහා දිගින් දිගටම කියා සිටියා.

"හ්ම්. මං දැං හරක් කුරය කාලා ඉවරයි. ඒ නිසා නුඹට මේ වංගෙඩිය දෙනවා හැර මට කළ හැකි කිසිවක් නෑ. එහෙනම් ගනින්" අන්තිමේදි රාස්සයා දුප්පත් මිනිහාට කිවුවා.

"නුඹ මෙයින් වැඩ ගන්නා සැටි දන්නවාද?" රාස්සයා ඇහුවා.

"මං දන්නෙ කොහොමද? මට කියා දීපන්" දුප්පත් මිනිහා කිවුවා.


"මේක නිකම්ම නිකං වගෙඩියක් නොවෙයි. මේකට පුළුවන් නුඹ ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්ට. නුඹට ඕනෑ දේ කියල' ආදරණීය වංගෙඩිය අඹරන්න, අඹරන්න කියූ සැනින් නුඹට ඕනෑ දේ ලබා දේවි. නුඹට නවත්වන්ට ඕනෑ විට 'ඇඹරුවා දැන් ඇති' කියා කියන්ට ඕනෑ. එවිට එය නවතිවී. නුඹට පුළුවනි දැන් වංගෙඩියත් අරන් පිට වෙන්ට." රාස්සයා කිවුවා.

දුප්පත් මිනිහා හයිෂි රාස්සයට ස්තුති කරලා වංගෙඩ්යත් අරන් ගෙදර යන්ට පිටත් වුණා. ඔහු කැලේ මැද්දෙන් ඇවිදගෙන ඇවිදගෙන ගියා. එකපාරටම එක පාරටම අහස කළු වෙලා මහ වැස්සක් ඇද වැටෙන්ට පටන් ගත්තා. හුළඟ හෝ හඬින් හමාගෙන ගියා. ගස් වල අතු ඉති දුප්පත් මිනිහගේ මුහුණේ හැපෙන්ට පටන් ගත්තා. මුළු රෑම ඇවිදලා උදේ පාන්දර වෙද්දි ඔහු ගෙදරට ලඟා වුණා.

"මං හිතුවේ ආයේ කවදාවත් ඔහේගේ මූණ දකින එකක් නෑ කියලා. දවල් රෑ නොබලා ඔහේ කොහේ ගිහින් හිටියද?" ඔහුගේ බිරිඳ ප්‍රශ්න කළා.

"මං හිටියේ හයිෂි රාස්සයාගේ මාළිගාවේ. මේ බලාපල්ලා රාස්සයගෙන් මට ලැබුණේ මොනවද කියල?" දුප්පත් මිනිහා ඔහුගේ බිරිඳට කිවුවා.

එහෙම කියලා වංගෙඩිය මල්ලෙන් එළියට ගත්තා. අරගෙන මෙන්න මෙහෙම කිවුවා.

"ආදරණිය වංගෙඩිය අපට කන්ට රසම රස කෑම වර්ග ලබා දෙන්ට!"

ඔන්න එතකොටම වාගේ වංගෙඩිය වටේට කරකැවෙන්ට පටන් ගත්තා. එතකොට පිටි, සීනි, ධාන්‍ය, මස් වර්ග, මාළු වර්ග සහ කෙනෙක් කන්ට ආසාකරන බොහෝ රසවත් කෑම වර්ග වලින් මේසය පිරී යන්ට පටන් ගත්තා.

දුප්පත් සහෝදරයාගේ බිරිඳ ගෙදර තිබුණු සියළුම භාජන වලටත් මළු වලටත් ඒවා ඇති තරම් පුරවා ගත්තා.

ඊලඟට වංගෙඩිය ට හෙමින් ඇඟිල්ලේ තට්ටු කල දුප්පත් සහෝදරයා,

"දැන් ඇති. දැන් නවත්වන්න" කිවුවා. ඔන්න එතකොටම වංගෙඩිය එකපාරටම නිස්සද්ද වෙලා නැවතුනා.

ඔන්න එදා පටන් දුප්පත් සහෝදරයාට බොහොම යහපත් කාලයක් උදා වුණා. ඔවුන්ට කන්ට බොන්ට ඕනෑතරම් ආහාර පාන ලැබුණා. ඒ විතරක් නොවෙයි, අලංකාර ඇඳුම් ආයිත්තං සහ බොහෝ වටිනා පා වැසුම් පවා තිබුණා. කොටින්ම ඔවුන්ට නැහැයි කියලා කියන්ට කිසිම දෙයක් තිබුණේ නැති තරමට හැමදේම තිබුණා.

ඔන්න දවසක් දුප්පත් සහෝදරයා තමාගේ අස්සයින්ට කන්න දෙන්න ධාන්‍ය අඹරන්නට යයි වංගෙඩියෙන් ඉල්ලා සිටියා. වංගෙඩිය ධාන්‍ය ඇඹරුවා. ඔහුගේ අශ්වයෝ ඒවා කන්ට පටන් ගත්තා. ඒ අතරේ පොහොසත් සහෝදරයා ගේ අශ්වයින්ට වතුර පෙවීම සඳහා වැවට දක්කාගෙන යන්ට යයි යැයි අණ කොට සේවකයෙකු පිටත් කර හැරියා. දුප්පත් සහෝදරයාගේ ගෙදර පසු කර යමින් සිටින විට එක් වරම ඔහ්ගේ මිදුලේ නැවතුනු පොහොසත් සහෝදරයාගේ අශ්වයින් ධාන්‍ය කන්ට පටන් ගත්තා.

ඔන්න එතකොටම වාගේ දුප්පත් සහෝදරයාගේ මිදුලට ආපු පොහොසත් සහෝදරයා සේවකයාට මෙහෙම කිවුවා;

"වීසි කරපු රොඩු කනවා උන් නුඹට පෙනෙන්නේ නැති ද? වහාම අස්සයින් දක්කාපන්!"

සේවකයා අස්සයින් රැගෙන පිට වී ගියා.

"ඇත්තම කිවුවොත් ඒවා හොඳම වර්ගයේ ධාන්‍යයි. ඒවා අතුගාලා වීසි කරන රොඩු බොඩු නම් නෙමෙයි කොහෙත්ම. ඔබගේ සහෝදරයාට ඉස්තරම් වර්ගයේ ධාන්‍යත් අන් සියළු දේත් තියෙනවා." සේවකයා පොහොසත් සහෝදරයා ට කියා සිටියා.

පොහොසත් සහෝදරයාට ඒ ගැන සැකයක් පහළ වුණා.

"ඔහු මේ තරම් පොහොසත් වුණේ කොහොමදැයි සොයා බලන්ට ඕනෑ." එහෙම කියලා දුප්පත් සහෝදරයා වෙතට ගියා.

"මල්ලියේ , මල්ලියේ නුඹ මේ තරම් පොහොසත් වුණේ කොහොමද? මේ තරම් සම්පත් නුඹට ලැබුණේ කොහොමද?" ඔහු ඇහුවා.

දුප්පත් සහෝදරයා කිසිවක් පොහොසත් සහෝදරයාගෙන් වසන් කරන්ට ගියේ නෑ.

"හයිෂි රාස්සය නිසා" ඔහු උත්තර දුන්නා.

"මට පැහැදිලි වෙන්ට කියාපන්" වැඩිමහල් සහෝදරයා ඉල්ලා හිටියා.

"හයිෂි රාස්සයට දෙන්ටැයි කියා නුඹ මට හරක් කුරයක් දුන්නා මතකද? ඉතිං හැබෑවටම මං ඒ කුරය හයිෂි රාස්සයට ගිහින් දුන්නා. ඒ ගැන සතුටු වෙලා රාස්සයා මේ අරුම පුදුම වංගෙඩිය මට තෑගි කළා. මේ වංගෙඩියට හැකියි මා ඉල්ලන ඕනෑම දෙයක් මට ලබාදෙන්ට."

"අනේ මල්ලියේ, මට පෙන්නාපන් වංගෙඩිය"
වැඩිමහල් සහෝදරයා බැගෑපත් වුණා.

"ඕන් බලාපන්" එහෙම කියලා තමන්ගේ වැඩිමල් සහෝදරායට සංග්‍රහ කරන්ට ඉස්තරම්ම වර්ගයේ කැම වර්ග දෙන්නැයි අරුම පුදුම වංගෙඩියෙන් ඉල්ලා සිටියා. වංගෙඩිය කැරකි කැරකි මේසය පිරී ඉතිරෙන තෙක් කෑම වර්ග පිළිස්සූ මස් වර්ග, කේක් වර්ග සහ වෙනත් කැවිලි වර්ග ලබා දුන්නා.

ඒ දුටු වැඩිමහල් සහෝදරයා පුදුමයට පත් වුණා.

"මේ වංගෙඩිය මට විකුණාපන් මල්ලියේ" ඔහු කියා සිටියා.

"ඒක කොහෙත්ම කරන්ට බෑ." බාල සහෝදරයා කිවුවා.

වැඩිමහල් සහෝදරයා එතැනින් නැවතුණේ නෑ.

"නුඹ ඉල්ලන ඕනෑම ගණනක් දෙන්ට මා සූදානම්."

"මෙය විකුණන්නේ නැහැ මං කොහෙත්ම."


ඔන්න ඒ පාර පොහොසත් සහෝදරයා කතාව මාරු කළා.

"නුඹ තරම් ගුණමකුවෙකු මේ තුන් ලෝකෙම නැහැ. හරක් කුරේ නුඹට දුන්නේ මා නොවෙද?"

"ඔව්, නුඹ තමයි."


"ඉතිං ඒකම තමයි මං කියන්නේ. නුඹ් මේක විකුණන්නේ නැත්තං නුඹට පුළුවනි ටික කාලෙකට වංගෙඩිය මට ණයට දෙන්ට."

ඉතින් දුප්පත් සහෝදරයා ඊට එකඟ වුණා.

"මේක වැඩකරන්නේ මන්තරයකින්" දුප්පත් සහෝදරයා කිවුවා. ඒත් එය කියා නිමකරන්ටන් පෙර පොහොසත් සහෝදරයා වංගෙඩියත් අරන් යන්ට ගියා.

පොහොසත් සහෝදරයා පහුවෙනිදා උදේම වංගෙඩියත් අරන් බෝට්ටුවක නැගිලා මහ මූදට ගියා.

"මං ලුණු වෙළඳාම් කරනවා." එහෙම හිතලා වංගෙඩියට මෙහෙම කිවුවා.

"ආදරණීය වංගෙඩිය, මේ ලෝකේ තියෙන ඉස්තරම්ම ලුණු මට ඕනෑ." ඔන්න එතකොටම වාගේ වංගෙඩියත් කැරකි කැරකි ලුනු හදන්ට පටන් ගත්තා. ඉතා පිරිසිදු පළිඟු කැට වගේ ලුණු වංගෙඩියෙන් ඉහිරෙන්ට පටන් ගත්තා.

ඉන් සතුටට පත් වුණු පොහොසත් සහෝදරයා ඉන් ලබන ලාභය කොපමණදැයි ගණන් බලන්ට පටන් ගත්තා. ලුණු හැදි හැදි බෝට්ටුව පිරෙන්ට ආසන්න වුණත් ඔහුට එය නවත්වන්ට ඕනෑ කමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔහු, "තව හදන්න, නොනවත්වා තව හදන්න" යැයි කිවුවා.


ලුණු වල බරින් බෝට්ටුව මහ මූදේ ගිලෙන්ට පටන් ගත්තා. පොහොසත් සහෝදරයාට ඒ ගැන හිතන්ට කාලයක් තිබුනේ නෑ. ඒ වෙනුවට ඔහු කීවේ, "හදන්න , තව හදන්න " යන්න පමණි.

බෝට්ටුව ගිලිලා හතර වටින් ජලය බෝට්ටුවට ඇතුලු වෙන්ට පටන් ගත්තා. ඔන්න එවිට පොහොසත් සහෝදරයා බියට පත් වුණා. "නවත්වන්න, දැන් නවත්වන්න" ඔහු මහ හයියෙන් කෑ ගසා වංගෙඩියට කිවුවා. ඒත් වංගෙඩිය නොනැවතීම ලුණු හැදුවා. ඔහු ආයෙත් "නවත්වන්න, නවත්වන්න" යි කෑ ගැහුවා. එහෙත් වංගෙඩිය නොනැවති ලුනු හැදුවා.

අන්තිමේදි කිසිවක් කළ නොහැකි තැන ඔහු වංගෙඩිය ඔසවා මූදට වීසි කරන්ට හැදුවා. එහෙත් මුළු බෝට්ටුවම ලුණු වලින් පිරී තිබුණු නිසා එසේ කරන්ට නොහැකි වුණා.

අවසානයේ, "අනේ මා බේරාගන්ට, අනේ මා බේරාගන්ට" යි කියමින් කෑ ගැසුවත් ඔහුව බේරා ගන්ට තරම් කිසිවෙකු අහල පහළ සිටියේ නෑ.

බෝට්ටුව පොහොසතාත් සමග මහ මූදේ ගැඹුරෙහි ගිලි ගියා.

අරුම පුදුම වංගෙඩියට කුමන් වෙන්නට ඇද්ද? මූද පතුලේ දී වුණත් වංගෙඩිය ලුනු හදන එක නැවැත්තුවේ නෑලු. තාමත් වංගෙඩියනොනවත්වාම ලුණු හදනවාලු. ඉතිං අන්න ඒ නිසාලු මූදේ වතුර ඔය තරම් ලුණු රහට අපට දැනෙන්නේ.

[කැරලියානු ජනකතාවකි. ]
පරිවර්තනය - හිමේන්ද්‍රි කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 
Related Posts with Thumbnails