5. දෙවන මරණය

සොර මුල දිනක් කිරිහාමිත් ගෙන ගෙයක් බිඳින්නට ගියෝය. සොරු ගෙයි සන්ධි බල බිඳිති. කිරිහාමි ඔවුනට බැණ වදී. " තොප වගේ නපුරු අය තවත් ලෝකේ ඇද්ද? අනේ, කොතරම් වියදම් කොට, කොතරම් අමාරුවෙන් තනාපු ගෙයක්ද? බිඳිනවා නම් ගෙදර මිනිසුන් ගෙන් අසා බින්දා නම් නරකද?"

කිරිහාමි නවතා ගත නොහී සොරෙක් අතෙහි වූ යකඩ උල ඔසවා, "කට වසාගෙන නොසිටියහොත් මෙයින් ඇණ මෙතනම මරම්..." යි තරවටු කළේය. "තොපට හොඳ නම් බිඳිවු. මේ පවු කොට මට නරකාදි යන්නට බෑ..." යි කිරිහාමි ගෙදර කුස්සියට වැදුණේය.

කිරිහාමිට එදා බොහෝම බඩගිනි වීය. එහෙයින් දුම අතගා බැලීය.එහි මුං ඇට ටිකක් තිබී ඔහුට අසුවීය. හේ එය ගෙන ඇතිලියජ ලා ලිප තබා පිම්බේය. එයින් අලු යටව තිබුණු ගිහි අඟුරු මතු වීය. ලිප වටා තිබුණු සිහින් දර කැබලි හා කොළපු කැබැල්ලක් ද එක්කොට නැවතත් පිම්බේය. එයින් ගිණි ඇවිළුණේය.

කිරිහාමි මුං ඇට ටික බදින්නට වන්නේය. ලිප ළඟ ම ඉතා නාකි ගැහැනියක් උඩට කට ඇරගෙන නිදයි. කිරිහාමි බැදෙන මුං ඇට ටිකක් පොල් කටු හැන්දෙන් ගෙන, " අනේ ආතේ... මේ මුං ඇට බැදුණා ඇද්දැයි බලන්නැයි" කියමින් ඒ ගැහැණියගේ ලොඹු කටේ ලීය. අසරණ මැහැල්ල මර හඬ දෙමින් නැගිට දිව්වාය. ගෙදර මිනිස්සු පිබිද අවුත් කිරිහාමි අල්ලා ගසෙක බැඳ අතින් පයින් පහර දෙන්නට වන්හ.

"අනේ, මා මරන්නට එපා. එක වරක් මා මැරී ආයෙත් යන්තම් පණ ගත්තේ...." යි කිරිහාමි කන්නළවු කරන්නට වීය. "තා මෙහි සොරකමට ආවාදැයි" මිනිස්සු ඔහුට තමන්ගේ අත පයේ සවියම දක්වති. "මා හොර කමට ආවේ නෑ. සොරුන් සමග තමා ආවේ. උන් ගෙය බිඳින කළ මා උන්ට කීවා, ගේ මිඳින්නට එපා" ය කියා. බිඳිතත් ගෙදර මිනිස්සුන්ගෙන් අසා බිඳින්නෙයි කීවා. උන් ඇහුවේ නෑ. ඉතින් මා කුස්සියට ගොස් බඩ ගින්නට මුං ඇට ටිකක් බැද, බැදුණා ඇද්දැයි බලන්නට මේ ආතා ගේ කටේ ටිකක් දැමුවා. ආතාට මුං ඇට සියල්ලම නුදුන්නාට දෝ මර හඬ ලෑවා..." යි කිරි හාමි සියළු තොරතුරු කීයේය.


ගෙදර මිනිස්සු ඔහුගේ කථාව අසා, සිනා සී, ඔහු ගෙදරම නවතා ගත්තෝය. හේ ද ගෙදර ඉතා කීකරුව වැඩ පල කළේය.

දිනක් පනම් අටක් දී වලන් ගෙනෙන්නට කිරි හාමි යවන ලදී. කිරි හාමි කඩයට ගොස් වලන් ඉල්වීය. කඩ කාරයා වලන් ගොඩක් පෙන්වා, "එකක් තුට්ටු දහය" යි කීයේය. කිරි හාමි කිපුණේය. "මා නුපුරුදු නිසා රවටන්නට සිතුවාද? මේ වලඳ තුට්ටු දහයක්...? හැබෑවටම මෙය තුට්ටු දහයක් දී ගන්නා අයෙක් ඇද්ද? කැමති නම් මෙය පණම් අටකට දෙනවා. මා ළඟ ඇත්තේ එපමණයි". කිරි හාමි මෙසෙ කී කල, "එහෙනම් ඇරගෙන යනවා. ඉතින් එපමණ කියන කල නොදී පුළුවන්දැයි" කී කඩකාරය පණම් අට ගෙන වලඳ දුන්නේය.

කිරිහාමි වලඳත් රැගෙන ගෙදර එන අතර මග වැස්සක් ආයේය. එයින් හේ හොඳටම තෙමුණේය. ඇඟ සීතල විය. ගෙ මිදුලට එන විට මැරෙන දවස මතක් වී, වහා හිසත් පයත් අතගා බැලීය. දෙපළක ම එක සැටි සීතලය. "මා මළා, මා මළා..." යි හඳ නගමින් කිරි හාමි එතැනම පෙරලුණේය. වලඳ කුඩුව ගියේය. ගෙදර මිනිස්සු වහා දිව ආහ.

"නැගිටින් කිරි හාමි... නැගිටින්" යි මිනිස්සු කීවෝය. "අනේ මා මළා. හාමුදුරුවන් දිවැසින් බලා කීවේ, හිසත් පයත් එක සැටි සීතල වූදා මා මැරෙන බව. අනේ ඉතින් මා කුණු වන්නට නෑර ගෙන ගොස් වළලන්න..." යි කියමින් කිරිහාමි කෙඳිරි ගෑවේය. ඇස් පියා ගත්තේය. කට තද කැරැගත්තේය. දෑත ද දෙපයද එක් කළේය. මළාක් මෙන් ම හොත්තේය.

ගෙදර මිනිස්සු බියට පැමිණියෝය. මේ මරණයට අප හසු වුණොත් ගැළැවෙන්නේ කෙසේදැයි ඔහු සිතූහ."මේ බව එළි වන්නට කලින් මොහු කැලෑවට ගෙන ගොස් දමමු" යි එකෙක් කීය. සියල්ලෝම එයට කැමැති වූහ. එහෙයින් සතර දෙනෙක් කිරිහාමි ඔසවා ගෙන ගොස් කැලෑවෙහි ලා ආවෝය.

ඊළඟට....
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

දේදුන්නෙන් මන පාට ගෙනැල්ලා
හිනැහෙන්නට මල් සරසන්නා
සමනලයෝ පොඩි මෙහෙට වරෙල්ලා
රංචු පිටින් දැන් පියාඹලා

මල් වගෙ ලස්සන පුංචි ළමෝ
පිනවන්නයි ඉගිලෙන්නෙ බබෝ
මලින් මලට ගොස් රොන් ගන්නෝ
රංචු පිටින් දැන් ඉගිලෙන්නෝ

තුරුලිය මල්ගොමු මගෙ උයනේ
ලස්සන සිරියෙන් නැලවෙන්නේ
සමනලයෝ නුඹ නොදැක්ක සේ

අහක බලා කිම ඉගිලෙන්නේ

නෙක නෙක මල්ගොමු මං රසවිඳිනවා
මල්පොඩි නොතලා ඉන් පැණි උරනවා
පොඩි ළමයෝ නුඹ බලන්න එනවා
සිරිපා වඳින්න සමනල යනවා



මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
පස්ගම පන්සලේ අධිපති චෙන් යු ආන් හාමුදුරුවෝ තම ගෝලයන්ට පිරිත් කියා දෙමින් හිටියා. කෙටි චාරිකාවක් යාමට පන්සලෙන් පිටත් වන්නට ලැහැස්ති වූ චෙන් යූ ආන් හාමුදුරුවෝ සමීර සහ චන්ද්‍රාලෝක නමැති සාමණේර හිමිවරුන් අමතා මෙසේ කීවා: ''මගේ හොඳ යාළුවෙක් තව දවසකින් හෝ දෙකකින් මේ පැත්තෙන් ගමනක් යනවා. මතක් කරලා එතුමාට අමරණීය පළතුරු ගෙඩි දෙක තුනක් කඩලා දෙන්න.''

බෞද්ධ පොත් හොයන්නට තම ගෝලයන් තුන් දෙනාත් සමග බස්නාහිර දිසාව බලා වඩිමින් සිටි ශු ආන් චාං ස්ථවිරයන් වහන්සේ දීර්ඝායුෂ කන්දේ පිහිටි පස් ගම පන්සලට ළඟා වුණා. සුන්දර වට පිටාව දැක ප්‍රීතියෙන් පිනා ගිය හතර දෙනා පන්සලේ නැවතී විවේක ගන්නට තීරණය කළා.

ශු ආන් චාං පන්සලට ඇතුළු වී නායක හාමුදුරුවන් කොහිදැයි සමීර සහ චන්ද්‍රාලෝක හිමිවරුන්ගෙන් ඇසුවා.''පොඩි ගමනක් ගිහින්. ඔබවහන්සේ වැඩියාම එතුමා වෙනුවෙන් ඔබ වහන්සේ පිළිගන්න යයි එතුමා අපට කිවුවා''. ඒ දෙදෙනා සුදු ජේඩ් නමැති වටිනා ගලෙන් තැනු පිඟානක ඇතුරූ රතු සේද ලේන්සුවක් උඩ අමරණීය පළතුරු ගෙඩි දෙකක් තබා උන් වහන්සේට පූජා කළා. ඒ පළතුරු වල හැඩය චූටි බබාලා දෙදෙනකු වාගෙයි.''මේවා වළඳා මහන්සි අරිනු මැනවැ''යි දෙදෙනා ශු ආන් චාං හිමියන්ට කීවා. ශු ආන් චාං එපා කීවා. දවස් තුනක් වත් වයස නැති බබාලා මෙහෙම බිලිදීම නරක යැයි උන්වහන්සේ කීවා.


සමීර සහ චන්ද්‍ර්‍රාලෝක හිමිවරුන් මෙසේ කියා ගනිමින් ශාලාවෙන් පිට වුණා:''මේ නායක හාමුදුරුවන්ට හොඳ දෙයක් දුටුවාමත් හඳුනා ගන්ට බැහැ. අමරණීය ගහේ මල් පිපෙන්න අවුරුදු 3000 ක් යනවා. ගෙඩි හැදෙන්න තවත් අවුරුදු 3000 ක් යනවා. ගෙඩි ඉදෙන්න තවත් අවුරුදු 3000 ක් යනවා. අවුරුදු 10000 කදී හැදෙන්නෙ ගෙඩි 30ක් පමණයි. අඩු ගනනේ මේ ගෙඩිය සුවඳ විඳින්ට ලැබුණු වාසනා වන්තයෙකුට වුණක් අවුරුදු 360 ක් ජීවත්වෙන්න පුළුවන්. එතුමා වැළඳුවා නම් එතුමා අවුරුදු 47000 ක් ජීවත් වෙනවා. සමීරත් චන්ද්‍රාලෝකත් ඉක්මනින් නරක් වන්නට පුළුවන් අමරණීය පළතුරු ගෙඩිය කෑවා. සූකර පෝතක මේ කතාව අහගෙන හිටියා. ඒ නිසා දෙදෙනා ශාලාවෙන් ගිය පසු ඔහු ජනේලය වසා තිබුනු කඩදාසිය ඉරා එබී බැලුවා. පළතුරු ගෙඩියේ සුවඳ දැනී ඔහුගේ කටට කෙළ ඉනුවා. සූකර පෝතක මේ පුදුම ගෙඩිය ගැන වානර වික්‍රමට කියා හිටියා. වානර වික්‍රම කීවා ඔහු එවැනි දෙයක් ගැන දැන හිටියේ නැති බව. එවිට සූකරපෝතක වානර වික්‍රමගෙන් ඇහුවා:'' අපිත් කීපයක් කමුද?'' කියා.

එක්තරා රන්පොල්ලකින් පමණක් පළතුරු ගෙඩිය නෙලා ගැනීමට හැකි බව සූකර පෝතක කීවා. වානර වික්‍රමට කේන්ති ඇවිත් ඔහු කිසි කෙනෙකුටත් නොපෙනෙන වේශයක් මවා ගෙන සාමණේර හිමිවරුන්ගේ කාමරයට වැදුණා. මේ වෙලාවෙ සාමණේර හිමිවරු දෙදෙනා ශු ආං චාං හිමි සමග කාමරයක සතුටු සාමීචියේ යෙදී හිටියා. රන් මිටිය හොයා ගත් වානර වික්‍රම කාමරයෙන් පිටවුණා. වානර වික්‍රම පිටුපස උයනේ දොර ලට ආවිට එය ඉබේටම ඇරුනා. උයන ඉතා ලස්සනයි. දම් පාට මල් සෑදුනු පීච් ගස් වලිනුත් කොළ පාට විලෝ ගස් වලිනුත් උයන පිරී තිබුණා. දැන් වානර වික්‍රම අමරණීය ගස සොයනවා. තුරු වදුල අස්සේ කුඩා පර්වත බැද තවත් දොරටුවක් තිබුනා. එයින් තවත් ඇතුළු උයනකට යා හැකියි. වානර වික්‍රම දොරට තට්ටු කළ විට එයත් වහා ඇරුණා. එහි ගැට සහිත මුල් ඇදුණු විශාල කොල ඇති යෝධ ගසක් තිබුණා. මේ ගස පාට ආලෝක ධාරාවන් ගෙන් බැබැළුණා. ගසේ කොළ අතර තොටිල්ලක පැද්දෙන චූටි බබෙකු වැනි ලොකු පළතුරු ගෙඩියක් වානර වික්‍රම දුටුවා.

වානර වික්‍රම මිටියෙන් එම අත්තට ගැසුවාම එම පලතුරු ගෙඩිය ගිලිහී වැටුනා. ඔහුට එය අල්ලා ගන්නට බැරි වුණා. පළතුරු ගෙඩිය බිමත් පෙනෙන්නට නැහැ. ඔහු පුදුමයට පත් වුණා. ඒ සමගම පොළෝ දෙවියා උයනට පැමිණ මෙසේ කීවා: ''අමරණීය පළතුරු වැටෙන්නේ රන්වලින් ගැසුවාම. ලී වලින් එය කුණු වෙනව. වතුර වලින් එය දිය වෙනව. ගින්දරින් එය අඟුරු වෙනවා. පස් උඩ වැටුණු විට එය දිය වෙනවා. ගින්දරින් එය අඟුරු වෙනවා. පස් උඩ වැටුණු විට එය පොළව තුළට කා වැදී නැති වී යනවා. ඔබට එය හොයන්නට බැහැ. වානර වික්‍රම නැවතත් ගස ළඟට ගොස් තවත් අමරණීය පළතුරු ගෙඩි තුනක් කඩා ඒවා තදින් අල්ලා ගත්තා.ඔහු ඒවා සූකර තක සහ ශු ආන් චාං ගේ තුන්වැනි ගෝලයා වන වාලුකා වර්ණ වෙත ගෙන ගියා. සූකර පෝතක එයින් එකක් වානර වික්‍රමගෙන් උදුරාගෙන කට ඇර එය ගිල දැම්මා. ඔහු එය සැනෙන් ගිල්ල නිසා රසයක් දැනුනේ නැහැ. එයා වානර වික්‍රමගෙන් තවත් එකක් ඉල්ලා හිටියා. වානර වික්‍රම මෙසේ කීවා: ''සූකර පෝතක ඔබ ඔය තරම් කෑදර වීම වැරදියි. ගසේ අවුරුදු 10,000 කටම හැදෙන්නේ ගෙඩි 30 යි. අප තුන්දෙනා එක බැගින් කෑවා. අපි ඒ අතින් වාසනාවන්තයි.''


වානර වික්‍රම මිටිය ගෙන සුළඟට ගසා ''ආපසු යන්න'' කියා කීවා. අතරේ සමීර සහ චන්ද්‍රාලෝක අමරණීය පළතුරු ගෙඩි සොරකම ගැන දැන ගත්තා. ඔවුන් ශු ආන් චාං ට පැමිණිලි කලත් ඔහු සොරකම ගැන දැන සිටියේ නැහැ. ශු ආන් චාං ගෝලයන්ට කථා කළා: ''අමරණීය පළතුරු ගෙඩි කෑවේ කවුරුන්ද?'' එතුමා ඇසුවා. වානර වික්‍රම ඉදිරියට ඇවිත් ගසට පහර දුන් බව පිළිගත්තා. සමීර මෙසේ කීවා:''ඔබ හතරක් හොරකම් කරල තුනයි කියනවා. ඒක මරු ගණන් කිරිල්ලක්''.


චන්ද්‍රාලෝක ශු ආන් චාංට මෙසේ කීවා: ''අප ඔබ තුමාත් ගෝලයනුත් පිළිගත්තේ මිතුරන් හැටියටයි. කවුද හිතුවේ ඔබ තුමන්ලා සොරකම් කරයි කියලා. ඔයගොල්ල හොරුන් කණ්ඩායමක්''. වානර වික්‍රමට හරි කේන්තියි. ඒත් කිසිවක් කීවේ නැහැ. ඔහු ඔහුගේ කරෙන් කෙස් ගසක් ගලවා එයට පිඹ ඔහුගෙ ශරීරය ශාලාවේ තබා ආත්මය පසු පස උයනේ තුබූ අමරණීය ගසට පියාසර කෙරෙව්වා.


වානර වික්‍රම රන් පොල්ලෙන් ගසට වැරෙන් පහර දී තරහ පිරිමසා ගත්තා. ඔහු මෙසේ කියා දිවුරන්නට වුණා:'' අර පිටිසර කොල්ලන් හරි දරදඩුයි. මා උන්ට හොඳ පාඩමක් දෙකක් උගන්වන්නම්.'' ඔහු රන් පොල්ලෙන් ගස තදින් තල්ලු කළා. ගස ඉදිරී බිම වැටුණා. වානර වික්‍රම ආපසු යන්නට හැරෙන විටම සාමණේරවරුන් දෙදෙනා ඔහු නැවැත්තුවා. සමීර මෙසේ කෑ ගැසුවා.:'' උඹට කේන්ති ඇවිල්ලා වගෙයි. මගේ නායක හාමුදුරුවන් වඩින තුරු හිටපන්, එතුමා උඹගෙන් මේකට නිසි වන්දි ගනීවී''. වානර වික්‍රම තවත් කෙස් ගස් ගලවා ඒවාට පිඹ මෙහෙම කීවා: ''වෙනස් වෙයන්!'' ඒ සමගම කමි සතුන් රංචුවක් සමීර සහ චන්ද්‍රාලෝක වටකොට ගත්තා. සාමාණේරවරුන් දෙදෙනාම ඈනුම් ඇර නින්දට ගියා: '' හොඳට නිදා ගනිල්ලා. අපි ඈතට යනතෙක්, මාසයක් ගතවනතුරු නැගිටින්න එපා'' කියා වානර වික්‍රම කීවා.


එදා හවස ශු ආන් චාං ගේ කණ්ඩායම බටහිර ප්‍රදේශය බලා පස්ගම පන්සලෙන් පිටත් වුණා. වානර වික්‍රම ඇති කළ කලබලය ගැන ශු ආන් චාං දොස් කීවා:'' නුඹ ආයෙත් එය කළොත් මා නුඹට දඩුවම් කරනවා'' කීවා.පසුදා උදේ ආපසු පන්සට පැමිණි අමරණීය ච්න් යූ ආන් ඔහුගේ ගෝලයන්ට කතා කළා. එහෙත් සමීර සහ චන්ද්‍රාලෝක දකින්නට නැහැ. ඔහු ඒ ගැන කල්පනා කළා. පසුපස උයනට ගිය එතුමා අමරණීය ගස ඉදිරී, අතු ඉති කැඩී බිඳී, කොළ මැළවී, ගෙඩි එකකුත් නැතිව තිබෙනු දැක පුදුම වුණා. ඒ සමගම එතුමට ගොරවන හඩක් ඇසුනා. චෙන් යූ ආන් සමීරගේත් චන්ද්‍රාලෝකගේත් ඇඟට මැජික් වතුර ඉස්සා, ඔවුන් දෙදෙනා පිබිදුණා. සිදු වූ දේ ඇසූ චෙන් යූ ආන් හිනා වුණා:'' වානර වික්‍රම හරි සූරයෙක්. ඔහුට මැජික් බලයකුත් තිබෙනවා. අවුරුදු 500 කට ඉස්සරත් ඔහු දෙව්ලොව කලබල ඇති කළා.'' කියා එතුමා කීවා. චෙන් යූ ආන් සහ සාමණේර දෙනම මැජික් වළාකුළු රිය වල නැගී වානර වික්‍රම හොයාගෙන ගියා. මේ අතර වන්දනාකරුවන් හතර දෙනා යෝධ නුග ගසක් යට නැවතී විවේක ගනිමින් සිටියා. ශු ආන් චාං ගස යට භාවනා කරද්දී වාලුකාවර්ණ කිරා වැටෙනවා, සූකර පෝතක ගොරව ගොරවා නිදි, වානර වික්‍රම අශ්වයාට සාත්තු කරනවා. සූකර පෝතක අළුයම පිබිදුණා. ඔහුට බඩගිනියි. ඈණුමක් ඇරියා ඔහු වළාකුළු රිය එනුදැක මෙසේ කෑගැසුවා:''අවාසනාවක මහත! ඔවුන් අප සොයා එනවා.''

''ඔබ ආවේ දීර්ඝායුෂ කන්දේ පස්ගම පන්සලේ සිටද?'' කියා චෙන් යු ආන් ප්‍රශ්න කළා. වානර වික්‍රම මගාරින්න හදන කොට ''මට අරින්න ගියොත් උඹට හරියන්නෙ නැහැ'' කියා එතුමා කිව්වා. මෙය ගණන් නොගත් වානර වික්‍රම රන් පොල්ලෙන් පහර දෙන්නට වළාකුළට ගොඩ වුනා. චෙන් යූ ආන් පහසුවෙන්ම වානර වික්‍රමගේ පහරවල් වැලැක්වූවා. එවිට සූකර පෝතකත් සටනට එක් වුණා. ශු ආන් චාං ඔවුන් සටන් කිරීම ගැන විරුද්ධ වුණා. එහෙත් වානර වික්‍රම ඔහුගේ පොල්ලෙනුත්, සූකර පෝතක ඔහුගේ දැති පොරවෙනුත් වාලුකාවර්ණ ඔහුගේ අඩ හඳක හැඩය ඇති සවලෙනුත් හරඹ කරනවා. වට කිහිපයක්ම සටන් කළ නමුත් ඔවුන් සියළු දෙනා චෙන් යු ආන් පරදන්නට අසමත් වුනා. චෙන් යූ ආන් වටේ හිටි අයගෙන් ගැලවී පිටට පැනගත්තා. එතුමා යම් දෙයක් උරා ගන්නට සමත් තමාගේ ඇඳුමේ අත හෙල්ලුවා. එවිට එයින් රන්වන් රැස් දහරාවක් පිට වී වන්දනා කාරයන් හතර දෙනා ඒ තුලට උරා ගත්තා. ඔවුන් තමාගේ ඇඳුමේ අතට ඇදගෙන එතුමා ආපසු පන්සලට ගියා.


එහි දී චෙන් යූ ආන් ඔවුන්ගේ අත පය බැඳ පහර දීමට නියම කළා. ශු ආන් චාං ට තමාගේ තරු හතේ කසයෙන් තමාම පහරදෙන බව කීවා. වරද කළේ තමා නිසා අනෙකුත් අයට පහර දීම ගැන වානර වික්‍රම විරුද්ධ වුණා: ''පළතුරු ගෙඩි සොරකම් කොට ගස විනාශ කළේ මායි. මට ගහන්න. මගේ නායක හාමුදුරුවෝ මා හොඳින් හැදුවේ නැහැ. එහෙම වුණත් දඩුවම් ලැබිය යුත්තේ මා පමණයි.'' වානර වික්‍රම ගලෙන් හැදූ සිංහ රූපයට එයාගෙ මුහුණුවර දී දඩුවම ලබන්නට කැමැත්ත දුන් බව නොදත් චෙන් යූ ආන් කට කැමති වුණා. නියම වානරයා දැන් දකින්නට බැහැ. වානර වික්‍රම දඩුවම් දෙන හැටි බලන්නට පූජාසනයට නැග්ගා. වානරයට දෙන කස පහරින් ඔහුට නොරිදීම ගැන, ඔහු තවත් ප්‍රයෝගයක් කිරීම ගැන චෙන් යූ ආන්ට කේන්තියි. නියම වානරයා හිනාවෙනවා. මේ නඩුව කියන්නට වානර වික්‍රම ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ වෙත ගෙන යන්නට චෙන් යූ ආන් තීරණය කළා. ඔහු අමරණීය ගසට වන්දිත් ඉල්ලුවා.

වානර වික්‍රම වරද පිළිගෙන නායක හාමුදුරුවන් නිදහස් කරන ලෙස චෙන් යූ ආන්ට කියනවා. පෙරදිග මුහුදේ පිහිටි පෙංලායි, පුතුවෝ සහ යිංචුයි කියන අරුම පුදුම දිවයින්වලට ගොස් ගසට පණ දෙන්නට අමතය ගෙන එන්නට වානර වික්‍රම ලෑස්තියි. චෙන් යූ ආන්ට හරිම සංතෝෂයි: ''ඔබ එය කළොත් මා ඔබ සමග මිතුරු වෙනවා'' කියා කීවා. වලාකුළකට ගොඩ වැදුණු වානර වික්‍රම මොහොතකින් පෙංලායි දිවයිනේ සුදු වලා ගුහාවට ගියා. එහි සිටි දෙවිවරුන් තිදෙනාට උපහාර දැක් වූ ඔහු ගසට පණ දීමට උදවු ඉල්ලා සිටියා. ''කණගාටුයි, ඒ ගසට ආයෙත් පන දෙන්නට අපට පුළුවන් කමක් නැහැ'' දෙවිවරුන් කීවා. වානර වික්‍රම ඔවුන්ගෙන් සමුගෙන පිටත් වුණා.

ෆාංචාං කන්දට ගිය වානර වික්‍රම පෙරදිග දිව්‍යමය අධිරාජයාගෙන් ගසට පණ දෙන බේතක් ඉල්ලුවා. '' මා ළඟ අමා බෙහෙතක් තියෙනවා'' අධිරාජයා කීවා. ''එයින් පණ දිය හැක්කේ මිනිසුන්ට පමණයි. විනාශ වී ගිය අමරණීය ගසකට ඉන් කිසිවක් කරන්න බෑ.'' වානර වික්‍රම ඊලඟට වලාකුලේ නැගිලා යිංචව් දිවයිනට ගියා. එහි සිටින දෙවි වරු නව දෙන්නටත් කිසි දෙයක් කරන්නට බැහැ. ඒ නිසා වානර වික්‍රම එතැනිනුත් අවසර ගෙන වලාවක් පතින් පිටත් වුණා.


පෙරදිග මුහුද තරණය කල වානර වික්‍රම පුතුවෝ නමැති සුරංගනා දූපතට පැමිණ වළාකුලෙන් බිමට බැස්සා. එම දිවයිනට අධිපති කරුණාවේ දෙව්දුව නෙළුම් පොකුණේ නෙළුම් මලක් උඩ වැඩ හිටියා. මුචායි සහ ලොංනු නමැති මෙහෙකාරියන් දෙදෙනා දෙව්දුවගේ දෙපසින් සිටියා. තමාගේ නායක හාමුදුර්වන් මුදා ගනු පිණිස දිව්‍යමය ගසට පන දිය හැකි බේතක් වානර වික්‍රම දෙව්දුවගෙන් ඉල්ලා හිටියා. ඉන්පසු ඔවුන්ට බද්ධ පොත් පත් සොයා යා හැකි බවත් ඔහු කීවා.

දෙව්දුව වානර වික්‍රමට බැන්නා:'' දිව්‍යමය පළතුරු ගෙඩිය ලෝකයේ ඇති අගනාම වස්තුවයි. චෙන් යූ අන්න් සියළුම දෙවිවරුන්ගේ නායකයායි. සමහර වෙලාවට මාත් ඔහුට යටත් වෙනවා. ඔබ ඔය තරම් එඩිතර වුණේ කෙසේද?'' වානර වික්‍රම ඔහු කළ වරද පිළිගත්තා, දෙව්දුව ඔහුට බෝතලයක් දී කීවා: ''මේ අමෘතයට ගසට පණ දෙන්න පුළුවන්,'' වානර වික්‍රමගේ අත්ලට ඉන් ටිකක් වත් කළ දෙව්දුව තමා පසු පස පස්ගම විහාරයට එන ලෙස ඔහුට කීවා.

එහි දී චෙන් යූ ආන් දෙව් දුව පසු පස උයනට කැඳවා ගෙන ගිය අතර වානර වික්‍රම ගසේ මුලට අමතය වත් කළා. ඒ සමගම පොළොවෙන් ඉහළට දිලිහෙන උල්පත් වතුර විසිරෙන්න පටන් ගත්තා. වතුර දේදුණු පාටින් ඈතට විසිරුණා. මල් ගසේ අතු නාවන්නට පටන් ගත්තා. අතු කොළ පාට වී දළු, මල් දමන්න පටන් ගත්තා. ගසට යළි පණ ලැබුණා. හැම දෙනාටම දැන් හරි සන්තෝෂයි. සමීරත් චන්ද්‍රාලෝකත් ගසේ වැඩි පුර ගෙඩියක් තිබී පුදුම වුණා.: '' ඔබ කීවා මා ගෙඩි හතරක් ගත් බව. මා ගත්තේ තුනයි. අනෙක පොළොවේ අතුරුදහන් වී ගියා.'' චෙන් යූ ආන් ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වුණා. හැමදෙනාටම සංග්‍රහ කරන්නට ඇති තරම් පළතුරු ගෙඩි කඩන ලෙස සමීරටත් චන්ද්‍රාලෝකටත් නියම කළා. මහා ශාලාවේ සංග්‍රහයක් පැවැතුණා. කරුණාවේ දෙව්දුව මෙසේ කීවා:'' අද අප මෙහි මුණ ගැසීම වාසනාවක්. මේ මහ උත්සවයේදී අපි චෙන් යූ ආන් සහ වානර වික්‍රම අතර ඇති වූ මිතුරු දම ගැන ප්‍රීති වෙමු.''


පස්ගම පන්සල් මිදුලේදි චෙන් යූ අන්න් සහ එතුමගේ ගෝලවරු ශු ආන් චාංට වානර වික්‍රමට සහ අනෙකුත් අයට සුබ පැතුවා. සිවුරු පොරවා ගෙන සිටි ශු ආන් චාං වානර වික්‍රම ගේ මග පෙන්වීම උඩ සූකර පෝතක සහ වාලුකාවර්ණත් පසු පසින් කැඳවා ගෙන සුදු අශ්වයා පිට නැගී බස්නාහිර දිසාව බලා යන දීර්ඝ ගමන යළිත් ආරම්භ කළා.


චිත්‍ර සහ කථාව : මෙයි යිං
අනුවාදය : ආරියවංශ පතිරාජ
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
පරණ ගොවිපලක ජීවත් වුණ තාරා පවුලක තාර අම්මා, දවසක් බිත්තර රකිමින් හිටියා. එක ලස්සන උදෑසනක තාර බිත්තර දෙබෑ කරගෙන හුරතල් තාර පැටව් හයදෙනෙක් එළියට ආවා. ඒත් බිත්තර ගොඬේ තිබුණ එක ලොකු බිත්තරයක් විතරක් නොකැඞී තිබුණා. ඒ බිත්තරේ තවත් රකින්න නොසිතුව තාර අම්මා, බිත්තර ගොඩට එය කෙසේ පැමිණියාදැයි කල්පනා කරමින් පසුවෙද්දි, එක පාරටම බිත්තරේ කැඩිලා හිරවී හිටිය පුංචි සිරකරුවා එළියට ආවා.

”මම බිත්තර වැරදියටවත් ගණන් කෙරුවද....” තාරා අම්මා කනස්සල්ලෙන් සිතුවා. ඒත් ඒ ගැන කල්පනා කරන්නට පෙර, අන්තිමට කැඩුණු බිත්තරෙන් එළියට ආව, කහපාට පිහාටු වෙනුවට අළුපාට පිහාටු උරුමකරගත් පුංචි තාර පැටියා, අම්මා දිහා ඕනෑකමින් බලා සිටියා. තාර පැටව් ඉක්මණින් ලොකු වුණා. ඒත් තාර අම්මා රහසින් දුක් වුණා.

”මට හිතාගන්න බැහැ කොහොමද මේ වගේ අවලස්සන තාරාවෙක් මගේ දරුවෙක් වුණේ කියලා”.... තාරා අම්මා එයාටම කිය ගත්තා. කහ පැහැ තාරාවන් මෙන් හුරුබුහුටි නොවුණු අළු පැහැති තාරාවා, ආහාර වැඩිපුර ගත් නිසා සෙසු තාරාවන් අභිබවා වේගයෙන් වැඩුණා.

දවස් හිමින් ගත වෙනවාත් එක්කම අළු පැහැ තාරාවා වැඩියෙන් දුක් වුණා. ඔහුගේ සහෝදරයින් ඔහුව කිසිම සෙල්ලමකට එකතු නොකර ගත්තා පමණක් නොවේ, කිසිම හැඩක් නැති අසරණ තාරාවට ගොවිපළේ සියලුම ගොවි ගෙවිලියෝ ද හිණා වුණා.

වේදනාවෙන් තණිවුණ තාරාවා ව එයාගේ අම්මා සනසපු ආකාරයට, තාරාවගේ දුක තවත් වැඩි වුණා. ”අනේ අවලස්සන පුංචි තාර පැටියෝ.. ඇයි ඔයා මගේ අනෙක් දරුවන්ට වඩා වෙනස්”.... අම්මා තාර පැටියගෙන් ඇහුවා. ඉතින් දුක උහුලගන්න බැරි වුණ තාර පැටියා රෑට හොරෙන් හොරෙන් ඇඬුවා.


”කාටවත්ම මාව ඕනේ නෑ.... කවුරුත් මට ආදරේ නෑ.... හැමෝම මට විහිළු තහළු කරනවා.. ඇයි මම මගේ සහෝදරයින්ට වඩා වෙනස්..”.. තාර පැටියා ලතවෙමින් එයාගෙන්ම ප‍්‍රශ්න කළා.

දවසක් හිරු උදාවෙනවාත් එක්කම තාරා පැටියා හොරෙන් පැන ගොස්, පොකුණක් ළග නතර වෙලා, අනෙක් කුරුළු කිරිලියන්ගෙන් මේ විදිහට ඇහුවා....

”අනේ යාළුවනේ ඔයාලා දන්නවාද, මට වගේ අළුපාට පිහාටු තියෙන තාරාවෝ ගැන ? ”....

නැහැයි කියන්නට අවමානයෙන් හිස් සෙලවූ ඒ කුරුල්ලෝ.... ”අපි ඔයා වගේ අවලස්සන කිසිම කෙනෙක් දැකලා නෑ” යි තාරාවට කීවා.

ඒ කතාවෙන් හිත නොරිදවාගත් තාර පැටියා, දිගින් දිගටම විපරම් කරමින් පාත්තයෝ ජෝඩුවක් ඉන්න පොකුණක් ළගටවිත්, එකම ප්‍රශ්නය ආයෙමත් ඇහුවා....

කුරුල්ලන් දුන් පිළිතුරම තාරාවට දුන් පාත්තයෝ.... ”ඉතින් තවත් මොනවද ඔයාට දැනගන්න ඕනැ ? මෙහෙ ඉන්නෙ නැතුව යන දිහාවක යන්න ! තුවක්කු ගත්ත මිනිස්සු මේ හතර වටේටම ඉන්න නිසා මේ පැත්ත හරිම භයානකයි”.... තාරාවට කීවා....

ඒ කතාව ඇහුණට පස්සෙ ගොවිපළේ නොසිට හොරෙන් පැන ඒම ගැන තාරාවා කණගාටු වුණා. ඒත් විපරම් කරමින් ඉදිරියටම යෑම දිගටම සිදු කළ තාරාවා දවසක්, පිටිසර කාන්තාවකගේ කුඩා නිවසක් අසලට සේන්දු වුණා. පාර වැරදිලා ආපු පාත්තයෙක් යැයි සිතූ ඇස් පෙනීම දුර්වල ඒ කාන්තාව, තාරාවව අල්ලගෙන....

”මම මූව කූඩුවක දානවා. මම හිතන්නෙ මේ ගෑණු සතෙක්.. ඒක නිසා බිත්තර ගොඩක් දමාවි” යි, තමාටම කියා ගත්තා.

ඒත් තාරාවා එකම එක බිත්තරයක්වක් නොදමපු නිසා, කුකුළන් ඔහුව බය කරා....

”ඔයා බිත්තර දැම්මෙ නැතිනම් අර වයසක ගෑණුකෙනා ඔයාගෙ බෙල්ල මිරිකලා ඔයාව මරයි.. ඊටපස්සෙ මුට්ටියකට දමයි....”


ඒ කතාව ඇහිලා ආපු පූසා ”හී.. හී.... හී....” ගා හිනාවෙලා.... ”ගෑණුකෙනා ඔයාව ඉව්වොත් හොඳයි.. එතකොට මට පුළුවන් ඔයාගේ කටු හපන්න” යැයි තාරාවට කීවා.

ඒ කතාවට තාරාවා කොච්චර බය වුණාද කියනවනම්, එයාට තිබුණ බඩගින්නත් නැති වුණා. වයසක කාන්තාවත් තාරාවගේ අඩු වැඩිය සම්පූර්ණ කළේ.... ”බිත්තර දමන්න බැරිනම් අඩුම තරමේ ඉක්මණින් මහත් වෙන්න” යැයි කොඳුරමින්....

”අනේ ! අසරණ මම ! කවුරුත් මට ආදරේ නැති හැටියක්.... මම දැන් බයටම මැරෙනවා....” තාරාවට සිතුණා.

දවසක් රෑ, කූඩුවේ දොර අඩවල් කර තිබෙනවා දුටු තාරාවා ඉන් පැන බේරි ගියා. නැවතත් තනිවෙමින් යන්න පුළුවන් උපරිම දුරට ගිය තාරා පැටියට, තණ පඳුරු යායක් හම්බ වුණා.

”කාටවත්ම මාව ඕනෙ නැතිනම්, සදහටම මම මෙතැන හැංඟිලා ඉන්නවා....” තාරාවා එයාටම කියා ගත්තා. තනි වුණත් අලුත් නවාතැනේ කෑම බීම ඇති වෙන්න තිබුණ නිසා තාරාවට ටිකක් සන්තෝස හිතුණා.


දවසක් අරුණැල්ල වැටෙනකොට කහපාට හොටවල් සහ සිහින් බෙලි සහිත කුරුළු රෑනක්, දකුණ දිශාවට පියාඹා යන අයුරු දුටු තාරාවට.... ”අනේ ! දවසකටවත් මට එයාලා වගේ වෙන්න පුළුවන්නම්” යැයි, සිතුණා.

කෙමෙන් කෙමෙන් සීත ඍතුව පැමිණියා. ඒ නිසා තණ පඳුරු වැවී තිබුණ දිය සීරාව ගල් ගැහුණා. අසරණ තාරාවා හිම මැද්දෙම කෑම සොයාගෙන නවාතැන හැර දමා යන්න ගියා. ඒත් ආහාර සොයාගත නොහැකිව, සාගින්නෙන් බිම වැතිර සිටි තාර පැටියාව ගොවියෙක් සිය නිවසට රැගෙන ගියා.

”මම මූව ගෙදර අරන් යනවා.... පව් අසරණ සතා සීතලට ගල් ගැහිලා වගේ.... මගේ ළමයි මූව හොඳට බලාගනීවි” යි, ගෙදර යන ගමන් ගොවියට සිතුණා.

ගොවියගෙ අනුකම්පාව නිසා තද සීත සිසිරයේ, කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්නට තාරාවට හැකි වුණා.

ඒත් වසන්තය උදාවෙනකොට තාර පැටියා, සිතාගත නොහැකි තරම් සීඝ්‍රයෙන් වර්ධනය වී සිටි නිසා, ගොවියා ඔහුව පොකුණකට ගෙන ගොස් නිදහස් කෙරුවා. කාලාන්තරයකට පසු සිය ඡායාව ජලය තුළින් දුටු තාර පැටියා පුදුම වුණා.

”දෙයියනේ ! මම වෙනස් වෙලා තියෙන් තරම්.... මට මාවම අඳුනගන්න බෑනේ” .... තාර පැටියා එයාටම කියා ගත්තා.

එතකොටම හංස රෑනක් උතුරු දෙසින් පියාඹාවිත් පොකුණේ වැහුවා. හංසයින්ගේ හැඩරුව දැක තමාත් හංසයෙක් බව වහා වටහාගත් තාරාවා, ඔවුන් සමග සැණෙකින් මිතුදමින් බැඳුණා.

”අපිත් ඔයා වගේම හංසයෝ තමයි”.... හංස රංචුව ඔහුව ආදරෙන් පිළිගත්තා. ”කොහෙද ඔයා මෙච්චර දවසක් හැංඟිලා හිටියේ ?”

”ආ.... ඒක දිග කතාවක්”.... තවමත් මවිතයෙන් සිටි හංසයා පිළිතුරු දුන්නා.


ඉන්පසු කවදාවත් තනි නොවුණ හංසයා, දවසක් සිය මිතුරු හංසයින් හා ආඩම්බරෙන් දියේ පීනමින් සිටින විට, එතැනට පැමිණි ළමයින් පිරිසක්....

”අර බලන්න.. අර බලන්න.. අර හංසයා තමා, හංස රංචුවේ ඉන්න ලස්සනම හංසයා”යි පැවසුවා.

ඒ වචන ඇහුණ හංසයාට ඇතිවුණේ දරාගත නොහැකි සතුටක් !



පරිවර්තනය: මුතු පබා


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
එක්තරා දහවලකදී, සර්කස් සංදර්ශනය පැවැත්වෙන අතර තුරේ කවටයාට එකපාරටම මතක් වුණේ පුංචි කැළෑ මලයි.

ඒ, අප්‍රේල් මාසයේ එක් උදෑසනකදි එයාට මුණ ගැහුණු පුංචි කැළෑ මලේ දීප්තිමත් සුදු පැහැයෙන් කවටයා බොහෝ සතුටට පත් වුණු නිසයි.

ඇත්තටම එදා සෙනසුරාදා දවසක්. කවටයා හිටියෙ බොහොම දුකෙන්, පාළුවෙන්,කලකිරීමෙන්.ඉතින් එයා ඔහේ ඇවිදගෙන ඇවිදගෙන ගියා. මොන තරම් පුදුමයක්ද!! ඔහොම දිගටම ඇවිදගෙන යනකොට එයා දැක්කා තණ බිස්සක ඉහළට වැවුණු තනකොළ ගස් අතරින් ඉහළට එන්නට උත්සහ කරන පුංචි සුදු පාට මලක්.

" දෙයියනේ.. ඈ කොයිතරම් ලස්සනද?" කවටයා එයාටම මුමුණාගත්තා.

"උඩට වැවුණු මේ තණකොළ හින්දා එයාගේ ලස්සන හැංගිලා...හුස්ම හිර වෙන තරමටම තණකොළ වැවිලා...මල් පොඩිත්ත මැලවිලා ගිහින්!"

එහෙම කියාපු කවටයා මල් පොඩිත්ත වටේට වැවිලා තිබුනු තණකොල ගස් එකින් එක ගලවා දමන්ට පටන් ගත්තා.ඒත් ඒ විතරක් සෑහුනේ නෑ. මල් පොඩිත්ත හිටියෙ මැලවිලා.

"අහා... මං දන්නවා. එයාට හුළං ඩිංගක් ඕනෑ වගේ" එහෙම හිතාපු කවටයා හීන් සීරුවේ මල් පොඩිත්තට ලං වෙලා හෙමි හෙමින් උණුසුම් හුස්ම මලට පිඹින්නට පටන් ගත්තා. ම්හු...වැඩක් උනේ නෑ. ඒත් මල් පොඩිත්ත මැලවුනු ලීලාවෙන්ම හිටියා.

"එයාට වතුර ඕනෑ වගෙයි..!" ඔන්න කවටයා හිතුවා. ඊට පස්සෙ තමා ලඟ තිබුණු වතුර බෝතලය අතට ගත් කවටයා දෙවරක් නොහිතාම වතුර ඔක්කොම එකවර මල් පොඩිත්තට වත්කලා. මල් පොඩිත්ත උරාගන්න කලින්ම වතුර ඔක්කොම විසිරිලා අහල පහළ තණකොල වලට ගලාගෙන ගියා.

"මං මහ මෝඩයෙක්..!මට තිබුණා තව ඩිංගක් තණකොල ගලවලා දමන්න. ඊට පස්සෙ මල් පොඩිත්තට උරා ගන්න පුළුවන් තරමට හෙමින් වතුර දමන්න. වතුර ඔක්කොම එකපාරටම හලලා දැම්මා...හපොයි....දැන් වතුර බිඳිත්තක් වත් නෑ හොයගන්න!"

මල් පොඩිත්ත තවමත් මැලවිලා ඉන්නවා දැක්ක කවටයා කණගාටු වුණා.

"මං මොකද කරන්නේ දැං?" ඔන්න කවටයා ආයෙත් හිතන්න පටන් ගත්තා.

එතකොටම වාගේ එයාගේ සිහියට නැගුනා සර්කස් සංදර්ශන වලදී එයා අනිත් මිනිස්සුන්ව හිනස්සවන්නෙ, සතුටුකරන්නෙ කොහොමද කියලා. ඉතින් අන්තිමේදී කවටයා මල් පොඩිත්තට පෙනෙන්න විශේෂ සංදර්ශනයක් පැවැත්තුවා.

කවටයාගෙ අපූරු සංදර්ශනයෙන් සතුටට පත් වුණු පුංචි කැළෑ මල එකපාරටම අවදිවෙලා බොහොම ලස්සනට සිනාසෙන්න පටන් ගත්තා. හරියටම කවටයාගෙන් ලැබුණු උපකාර සියල්ල අගය කරනවා වගේ.

"ඔයාව බලාගන්න කෙනෙක් ඕනෙ වෙනවා. එහෙමයි මට හිතෙන්නෙ.!" කවටයා මල් පොඩිත්තට කිව්වා.

"මට ඔයාට කිසිදෙයක් පොරොන්දු වෙන්න බෑ.මොකද මට හුඟක් වැඩ රාජකාරි තියෙනව නෙ. ඒත් ඔයාව බලාගන්න කෙනෙක් නම් ඕනෑමයි. ඒ හින්දා හැම සතියකම මැද දවසක මං එනවා ඔයාව බලන්න, ඇති තරම් වතුරත් අරගෙන!"

ඔන්න ඉතින් දවස් ගෙවිලා ගෙවිලා හරියටම බදාදා දවස ආවම කවටයා ආවා මල් පොඩිත්ත බලන්න.

"කැළෑ මල් පොඩිත්තො, කැළෑ මල් පොඩිත්තො..." ඔන්න මල් පොඩිත්තාට පෙනෙන මානයට ආවම කවටයා අඬගහන්න පටන් ගත්තා.

මල් පොඩිත්තා ත් කවටයා දකින්නට බොහොම ආසාවෙන් හිටියේ. මල් පොඩිත්තාට තමාගේ ආදරය කොතෙක්දැයි පෙන්වීමට සිතූ කවටයා පුංචි මල් පෙති එක එක හෙමින් එයාගේ නහයෙන් පිරිමැද්දා. ඒ විතරක් නෙමෙයි බොහොම පරිස්සමෙන් හෙමින් වතුර ඩිංග ඩිංග දැම්මා.


බොහොම කාලෙකට පස්සෙ ලැබුණු ජලය ඉක්මනින් උරා ගත් මල් පොඩිත්ත තව තවත් හැඩ වෙන්නට පටන් ගත්තා.

"බලන්න, දැං ඔයා කොයිතරම් නම් හැඩයිද!"

"මේ පෙති ලා රෝස පාටයි, දිලිහෙනවා"

"මේ බලන්න!" එහෙම කියාපු කවටයා පුංචි කැළෑ මලට එයාව බලා ගන්න පුළුවන් විදියට කණ්ණාඩියක් ලං කලා.

" ඇත්තටම ඔයාට හුඟක් ස්තුතියි.. මාව මේ තරම් හැඩ කළාට!"

කණ්ණාඩියෙන් තමන් ගේ ලස්සන දැකලා සතුටට පත් වුනු මල් පොඩිත්ත කවටයාට කිව්වා.

"ඔයා හුඟක් ලස්සනයි මල් පොඩිත්තො. ඇත්තටම ඔයාව බලාගන්න කෙනෙක් තමයි ඕනෙ කරන්නෙ. කමක් නෑ, මං ම ඔයාව බලාගන්නම්" කවටයා පුංචි කැළෑ මලට කිව්වා.

කවටයා කැළෑ මල් පොඩිත්තට පොරොන්දු වෙච්ච විදියටම එයාව හොඳින් බලා ගත්තා. හැම සතියේ මැද දවසකම කවටයා ආවා මල් පොඩිත්ත බලන්න. හිස් අතින් නෙමෙයි, වතුරත් අරගෙන. ඇවිත් මල් පෙති එක එක හෙමින් කවටයාගේ නහයෙන් පිරිමැද්දා හුඟක් ආදරෙන්. උරා ගන්න පුළුවන් තරමට හෙමින් වතුර ඩිංග ඩිංග මල් පොඩිත්තාට වත්කලා. ඒ විතරක් නෙමෙයි, මල් පොඩිත්තා වටේට වැවෙන උස තණකොල ගස් ඔක්කොම ගලවලා දැම්මා, කැළෑ මල් පොඩිත්තාගෙ ලස්සන පෙනෙන විදියට. ඒ වගේම කවටයා කළ හැම උපකාරයක්ම වෙනුවෙන් කවටයා සතුටු කරන්න හිතූ මල් පොඩිත්ත එයාගෙ සුවඳ බිඳෙන් බිඳ හුළඟට මුදා හැරියා.

ඔහොම කාලය සතියෙන් සතිය මාසයෙන් මාසය ගෙවිලා ගියා. කවටයාගේ උපකාරයෙනුත්, නිමක් නැති ආදරයෙනුත් කැළෑමල් පොඩිත්ත හොඳින් වැඩුණා.ඉතින් හැම සතියකම මැද දවස එනකල් කැලෑ මල් පොඩිත්තා හිටියෙ පුදුම නො-ඉවසිල්ලකින්.

ඔන්න එක් බදාදාවක කැලෑ මල් පොඩිත්තාව බලන්න කවටයා ආවේ නෑ. මල් පොඩිත්තා ඒ ගැන හිටියේ බොහොම දුකින්.

"දෙයියනේ... කරදරයක් වත් ද?" සතිය තිස්සෙම කැළෑ මල් පොඩිත්තා එහෙම හිත හිතා හොඳටෝම දුක් වුණා.සතිය ගෙවිලා ගියා. ඒත් කවටයා ආවේ නෑ. කැලෑ මල් පොඩිත්තාට තේරුම් යන්න පටන් ගත්තා, කවටයා ආයෙත් නො-එන බව. එතකොටම වාගේ මල් පොඩිත්තාගේ ලස්සනම ලස්සන ඇස් දෙක අඳුරු වෙලා ලොකුම ලොකු කඳුළු බිංදු දෙකක් පහළට වැටුනා.

"කැළෑ මල් පොඩිත්තො, කැළෑ මල් පොඩිත්තො...!" ඔන්න එකපාරටම ඈතින් ඇහුනා කවටයාගෙ පුරුදු කටහඬ. ඔව්, ඒ නම් කවටයාම තමයි.

කැලෑ මල් පොඩිත්තාට කොච්චර සතුටු හිතුනාද කිව්වොත් එයාගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා.

ඒත් කවටයා බොහොම වෙනස්. මොකක්දො කරදරයක් හංගාගෙනයි එයා ඉන්නේ. වෙන කිසිම දවසක නැති තරම් මූණ පාට කරලා.නහය කවදාටත් වඩා රතුපාට වෙලා.

මල් පොඩිත්තාට ඕනෙ වුණා, කවටයා දුකින් ඉන්න කාරණාව දැනගන්න.වැඩියෙන්ම දැන ගන්න ඕනෙ වුණේ කවටයාගේ නහය මේ තරම් රතු වුන කාරනාවයි.

"වෙන පුංචි මලක් සිපගන්ට ඇතිද?" කැලෑ මල් පොඩිත්තා හිතුවා. ඒත් මල් පොඩිත්තාට වඩාත් ඕනෑ වුණේ කවටයාම ඒ ගැන කියන තුරු බලා ඉන්නයි.

කවටයා කතා කරන්නට පටන් ගත්තා. ඒත් ඒ හැම දේම බොහොම අපැහැදිලියි. කැළෑමල් පොඩිත්ත එයින් තවත් දුකට පත් වුණා.එකකට පස්සෙ තවත් එකක්, තවත් එකක්, තවත් එකක් විදියට කවටයා හැමකතන්දරයක්ම කැළෑ මල් පොඩිත්තාට කිව්වා, බොහොම කලකිරීමෙන්, දුකෙන්.මීට පෙර කිසිදාක කවටයා ඒ විදියට කතා කරලා නෑ. කැළෑ මල් පොඩිත්ත තව තවත් දුකෙන් දුකට පත් වුණා.


කවටයා වෙනදා වගේ එයාගෙ නහයෙන් සිනිඳු මල් පෙති එකක් වත් පිරි මැද්දෙ නෑ.වතුර වත් කළෙත් නෑ.

"අද වතුර ගෙනාවෙ නැද්ද?" බලාගෙන ඉඳ ලා බැරිම තැන කැළෑ මල් පොඩිත්ත කවටයාගෙන් ඇහැව්වා.

" ගෙනාවා. ඉන්න මං මේ දැන්ම දමන්නම්?" ඒත්, වතුර ඔක්කොම මල් පොඩිත්තට උරා ගන්න බැරි තරමට ඉක්මනින් විසිරිලා ගියා. හරියටම කවටයා ඉස්සෙල්ලාම දවසෙ වතුර වත් කළා වගේමයි. කවටයා එතැන හිටියාට එයාගේ හිත තිබුණේ වෙන මොකක්දෝ කල්පනාවක.ඉතිං වතුර ඉහිරුණු වගක් කවටයාට පෙනුණේ නෑ. ඊටපස්සෙ, හිටිහැටියෙම වෙන මොකුත්ම නොකියා මල් පොඩිත්තා දිහාව නොබලා කවටයා යන්න ගියා.

කවටයා ආයෙ කවදාව්ත් නො-එන බව ඒ වෙලාවේ කැළෑ මල් පොඩිත්තාට වැටහුණා. මල් පොඩිත්තා හිතූ දේ හරියටම හරි. ඉන් පස්සෙ කිසිම දවසක කවටයා එයාව බලන්න තණ බිමට ආවේ නෑ.

කැළෑ මල් පොඩිත්තාට බොහොම දුකයි. එයාට වැටහුනේ නෑ කවටයා මේ විදියට නෑවිත් ඉන්න තරම් කාරණාව මොකද්ද කියලා. මල් පොඩිත්තා කොයිතරම් දුක් වුණාද කියනවා නම් එයාගේ පෙති ඔක්කොම පාට අඩුවෙලා මැලවෙන්න පටන් ගත්තා.වට පිටාවේ තිබුණු උස් තණ කොළ සියල්ලම ඉහළට ඉහළට වැවිලා වැවිලා මල් පොඩිත්තා වසා ගත්තා.කාලය ගෙවී ගෙන ගෙවී ගෙන ගියා. අවසානයේදි මල් පොඩිත්තා දුකෙන්ම මිය යන්නට පටන් අරගෙනයි තිබුණේ.

කැළෑ මල් පොඩිත්තා මිය යන්න ආසන්නතම මොහොතක හිටියෙ. පෙති සියල්ලම මැලවිලා, වියළිලා ගිහින්. ඒත්, ඒ උදෑසනේ මහ පුදුමයක් සිදුවෙමින් තිබුණා. මල් පොඩිත්තාට ළඟින්ම තවත් පුංචිම පුංචි මල් පොහොට්ටුවක් පොළවෙන් ඉහලට මතු වෙමින් තිබුණා.ඇත්තෙන්ම ඒක දැකලා මල් පොඩිත්තා කොතරම් සතුටට පත් වුණාද කියනවානම් එයාට ආයෙත් අළුත් පණක් ලැබුණා.මල් පොඩිත්තාගේ හිත සතුටෙන් පිරිලා ඉතිරිලා ගියා. ඒ නිසා පෙති සියල්ලම දීප්තිමත්ව දිලිහෙන්න පටන් ගත්තා. එයා ආයෙත් බොහොම ලස්සන වුණා.ඇයි දන්නවද? මල් පොඩිත්තා දැන් තව දුරටත් තනියෙන් නෙමෙයි. බලා ගන්න, ආදරේ කරන්න, ලඟ ඉන්න පුංචිම පුංචි යාළුවෙක් එයාට මුණගැහිලයි තිබුණේ. ඉතිං පොඩිත්තනේ, එදා ඉඳලා අපේ මේ කැලෑ මල් පොඩිත්තා තරම් සතුටින් උන්නු මලක් මුළු ගම්මානයෙම කොතැනක වත් හිටියේ නෑ.

නෝරි රෝජාස් ලියූ :"ලිට්ල් වයිල්ඩ් ෆ්ලවර් ඇන්ඩ් එලාරු ද ක්ලවුන්" හි පරිවර්තනයකි.
පරිවර්තනය: ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


සුදු අරලිය මල් දෝතින් අරගෙන
කිරි බැබළෙන හඳපානේ
සුදුපිලි ඇඳගෙන
පන්සල් යමු අපි
හැම පුන් පෝයක් ගානේ

සිලි සිලි නද දෙන
බෝපත් අතරින්
හඳ මාමා හිනැහෙන්නේ
ඇයි මගෙ පුතුනේ
හැම පුන් පෝයම
සතුටින් පන්සල් එන්නේ


බෝපත් අතරින් 
හඳ හිනැහෙනකොට
බලාන ඉන්නට ආසයි
වෙනසක් දැනෙනවා
බුදු හාමුදුරුවො
ළඟින් ඉන්නවා වාගෙයි

වන මල් නෙළලා
පිණිපැන් දොවලා
මුණි සිරිපාද පුදන්නේ
බෝ මළු වේ හිඳ
බවුන් වඩන විට
මොනවද හිතට දැනෙන්නේ


තෙල් මල් සුවඳයි
ඝන්ටා නද මුසු
සාදුකාර නාදේ
හරි මිහිරියි මට
බුදු හාමුදුරුවො
දෙසු බණ පදයක් වාගෙයි 




ගී පද : ?
ගීත මියැසිය : ?
ගායනය : හර්ශණ දිසානායක සහ රෝහණ වීරසිංහ


සිංඳුව අහන්න මෙතැන ඔබන්න
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අනංසි කියන්නෙ ගුරුවරයෙක්. මේ ගුරුවරයා දවසක් කල්පනා කරා එයාට වඩා දක්ෂ කෙනෙක් මේ ලෝකෙ හිටියොත්, එයාට මොනවා වෙයිද කියලා. මොකද අනංසි කැමති වුණේ නෑ එයාට වඩා දක්ෂ කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා දකින්න. ඒකනිසා අනංසි හිතුවා, මුළු ලෝකෙම තියෙන නුවණ කොහොම හරි එයාගෙ අතට ගන්න ඕනැ කියලා.

ඉතින් ඔන්න අනංසි ලෝකෙ වටේම ගියා නුවණ හොයාගෙන. අනංසිට විවිධ පැති වලින් විශේෂ නුවණක් තියෙන ගොඩක් මිනිස්සු හම්බවුණා. ඒත් ඒ හැමෝම අනංසි ගේ නුවණට පරාද වුණා. අනංසි එයාට මුණගැහෙන මිනිස්සු එක්ක ගොඩක් හොඳින් සුහදව කතා කරලා, කොහොම හරි එයාලගේ නුවණ, එයා අතේ තිබුණ ලබු වර්ගයකින් හැදුව කූඩෙට දාලා වැහුවා.

ලෝකෙ වටේ ගිහින් ගෙදර ආව අනංසි ඊළගට හිතුවෙ, නුවණ පිරිල තියෙන මේ කූඩෙ හංඟන්න පුළුවන් තැනක් ගැන. අනංසිට කල්පනා වුණා, එයාගෙ ගෙදර ළඟම තියෙන කොට්ට පුළුං ගහේ කූඩෙ හැංඟුවොත් හොඳයි කියලා.

ඊටපස්සෙ ලණුවක ආධාරයෙන් කූඩෙ බෙල්ලෙ එල්ල ගත්ත අනංසි, ගහට නගින්න පටන් ගත්තා. ඒත් බෙල්ලෙ එල්ල ගත්ත කූඩෙ, ගහට නගින අතරවාරයේදී, අනංසිගෙ බඩ උඩ එහාට මෙහාට පැද්දෙන්න පටන් ගත්ත නිසා, අනංසිට ගහට නගින්න අපහසු වුණා. ඒකනිසා ගහේ මැද්දට ආව අනංසිව ඒ හැම වෙලේම ගහෙන් බිමට ලිස්සලා වැටුණා.

ඉතින් ගහේ මුලට වෙලා ගහ උඩටම නගින්න පුළුවන් විදිහක් ගැන, කල්පනා කරමින් හිටිය අනංසිට, එයාගේ සත්හැවිරිදි පුතා කතා කරලා මෙහෙම ඇහුවා....

”ඇයි තාත්තා ඔය කූඩෙ පිටේ එල්ල ගන්නෙ නැත්තෙ ? එහෙම එල්ල ගත්ත නම් තාත්තට විනාඩියෙන් ගහට නගින්න පුළුවන්නෙ ? ”

ඒ කතාව ඇහුණ අනංසි එයාගේ පුංචි පුතා දිහා පුදුමයෙන් බලලා මෙහෙම කීවා....

”මම මුළු ලෝකෙම වටේ ගියත් මගේ පුතාට මට වැඩිය මොළේ තියෙනවා.”

ඊටපස්සෙ අනංසි එයාගෙ බෙල්ලෙ එල්ලල තිබුණ නුවණින් පිරි කූඩෙ ගලවලා, තරහෙන් ඈතට විසික් කරා. බිමට වැටුණ කූඩෙ කෑලි වලට කැඩිලා ඒක ඇතුලෙ තිබුණ නුවණ ලෝකෙ වටේටම ඉගිලිලා ගියා.

දෙමව්පියන්ගෙ ගතිගුණ, හැකියාවන් වගේම නුවණත් දරුවන්ට පිහිටන බව අනංසිට අමතක වුණත්, ඔන්න පොඩිත්තනේ ඔයාලනම් ඒ බව අමතක කරන්න එපා.

පරිවර්තනය: මුතු පබා නැන්දා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද
නොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන
සිනාසෙමී


මිදුලේ වැලි මාලිගාවේ....

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග 

හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් 

පියාණනේ

මිදුලේ වැලි මාලිගාවේ....


ගී පද : කුමාරදාස සපුතන්ත‍්‍රී
ගීත මියැසිය : රෝහණ වීරසිංහ
ගායනය : පේෂලා මෙන්ඩිස්



සිංඳුව අහන්න මෙතැන ඔබන්න


 
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
හූඟක් ඉස්සර කාලේ බොහෝම ඈත එපිට රටක එක මහ රජ කෙනෙක් ජීවත් වුනා. මේ මහ රජතුමා ලෝකයේ ඇති අන් හැම දෙයටම වැඩියෙන් අගය කළේ අලුත් ඇඳුම් ඇඳීමටයි.

තමන්ගේ යටත් වැසියන්ටත් වැඩියෙන්, තමන්ගේ හමුදා සෙබළුන්ටත් වැඩියෙන්, පවුලේ උදවියටත් වැඩියෙන් තමන් අඳින ලස්සන අලුත් ඇඳුම් ගැන මේ මහරජතුමා පුදුම සැලකිල්ලක් දැක්වූවා.

නොබෝ දිනකින්ම තම රාජධානියේ මහා උත්සවයක් පැවැත්වෙන බව දැනුම් දී තිබුණා. ඉතින් මේ උත්සවයේ පෙරහැරට අඳින අලුත් ඇඳුම ගැන විතරයි මේ මහරජතුමා කල්පනා කලේ.

මෙතෙක් මසා ඇති ඉස්තරම් වූත්, බෙහෙවින් අලංකාරවූත් ඇඳුම සොයා එය ඇඳගෙන උත්සවයට සහභාගි වියයුතු යයි මහරජතුමා තීරණය කළා. එබඳු ඇඳුමක් වෙනුවෙන් ඕනෑම ප්රඑමාණයක මුදලක් වියදම් කිරීමට වුවත් තමන් කැමති බව මහ රජතුමා පල කළා. තවත් වටිනා වස්තු සම්භාරයක් වුවත් දීමට කැමති බව කියා සිටියා.

එම දේශයේ සිටි සෑම ඇඳුම් මසන්නෙක්ම මහරජ තුමාගේ මාලිගාවට පැමිණ පෙළ ගැසී සිටියේ මෙම කාර්යයට තමන්ව තෝරා ගනීවිය යන අදහසින්. ඉතින් ඇඳුම් මසන්නෝ පෙළ ගැසී මහරජතුමා හමිවීමට ගියා. එසේ හමුවී තමන් විසින් ගෙන එන ලද නොයෙකුත් වර්ගයේ ඇඳුම් මෝස්තර හා රෙදිපිළි වර්ග මහරජතුමාට පෙන්නුවා. ඒ ඇඳුම් මහන්නත් ලඟ විල්ලුද පටපිලි සහ රන්නූල් ආදිය තිබුණා. එහෙත් තමන් හිතන විදිහේ අලුත්ම ඇඳුමක් මසා දිය හැකි ඇඳුම් මහන්නෙකු තෝරා ගැනීමට මහරජතුමාට පුලුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා තව සතියකින් පමණ තීරණයක් ගෙන දන්වා යවන බව මහරජතුමා කියා සිටියා.

සති අන්තය ලඟාවෙත්ම රජවාසල කවටයා වෙනත් පළාතක ඇඳුම් මහන්නන් දෙදෙනෙකු කැටුව රජවාසලට පැමිණියා. විශේෂ මෝස්තරයකට අනුව අපූරු ආකාරයේ අලුත් පන්නයේ ඇඳුමක් මසාදීමට පුලුවන්කම තමන්ට ඇති බව ඒ ආගන්තුක ඇඳුම් මසන්නන් දෙදෙනා මහරජතුමාට කියා සිටියා.

සැබැවින්ම ඒ මිනිසුන් දෙදෙනා සැබෑ ඇඳුම් මහන්නන් නොවේ. ඒ මිනිසුන් දෙදෙනා වංචාකාරයෝ. ඔවුන්ට වුවමනා කලේ මහරජතුමා රවටා රන් රිදී සහ වෙනත් වස්තු සම්භාරයක් ඩැහැගෙන යාමටයි. ඉතින් ලෝකයේ අසමාන වර්ගයේ රෙදිපිලි ගෙන අලංකාර ඇඳුම් කට්ටලයක් මසා දෙන බවට ඒ මිනිසුන් දෙදෙනා පොරොන්දුවුනා. ඒ ඇඳුම කොතරම් අපූරු ඇඳුමක්ද කිවහොත් එහි කිසියම් විජ්ජා බලයක් ඇතැයි ද ඇඳුම් මහන්නන් දෙදෙනා දන්වා සිටියා. ඒ විජ්ජා බලයෙන් යුතු ඇඳුම් පෙනෙන්නේ හොඳින් වැඩ කටයුතු කරන නුවණක්කාර මිනිසුන්ට පමණක් බවත් ඔවුන් දෙදෙනා මහරජතුමාට කියාසිටියා.

මහරජතුමා සිය දියණියන් ඇමතිවරුන් දෙදෙනෙකුත් සමගම ඇඳුම් මසන්නන් සිටිය කාමරයට ගමන් කලා. වංචාකාර මිනිසුන් දෙදෙනා හිස් නූල් කටින රෝදයක් කරකවමින් සිටියා. ඇමතිවරුන් දෙදෙනාට කිසිම ඇඳුමක් පෙනුනේ නැහැ. එහෙත් තමන් මෝඩයන් යයි හැඟවීමට අකමැති වූ ඇමතිවරු මෙහෙම කිව්වා.

"අහා, කොච්චර ලස්සන ඇඳුමක්ද?"

මහරජතුමාත් කිසිම ඇඳුමක් දුටුවේ නැහැ. එහෙත් දුටු කෙනෙකු සේ මෙහෙම කිව්වා.

"ෂා, හරිම අපූරු ඇඳුමක් නොවැ, මට නම් මේ අලුත් ඇඳුම මහල ඉවර වෙනතුරු ඉවසිල්ලක් නැහැ."

අර ඇඳුම් මහන්නන් දෙදෙනා විජ්ජා බලයක් ඇතැයි කියූ පුදුම ඇඳුමක් මහන බව බොරුවට මවා පෑවා. දින පතාම වාගේ ඔවුන්ට මහරජතුමාගේ රන් රිදී හා තෑගි බෝග වැඩි වැඩියෙන් ලැබුණා.දිනපතාම මහරජතුමාත්, මැති ඇමතිවරුත් මෙම ඇඳුම් මහන්නන් දෙදෙනා බොරුවට ඇඳුම් මහන තැනට පැමිණ බලාගෙන සිටියා. ඒ කිසිම කෙනෙකුට විජ්ජා බලයෙන් යුතු පුදුම ඇඳුම පෙනුනේ නැහැ. එහෙත් ඒ බව කීවොත් තමන් මෝඩයෙකු ලෙස සලකතැයි යන බිය නිසා, ලෝකයේ ඉස්තරම්ම ඇඳුම පිළියෙල වන බව ඒ අය මහරජතුමාට වාර්තා කලා.

රාජකීය මහා උත්සව දිනය උදා වුණා. දැන් ඉතින් අලුත් ඇඳුම මසා පිලියෙල කොට අවසන් බව ඇඳුම් මසන්නන් දෙදෙනා රජතුමාට දන්වා සිටියා. මහරජතුමා එම ඇඳුම ඇඳගැනීමට සිතා යට ඇඳුම පමණක් ඇඳගෙන ඔවුන් සිටි තැනට පැමිණ සිට ගත්තා. අර මිනිසුන් දෙදෙනාත් මහරජතුමාට අලුත් ඇඳුමක් අන්දවන බව බොරුවට මවා පෑවා. ඔවුන් දෙදෙනා මුලින්ම මහරජතුමාගේ බඳ වටා පටියක් බඳින බව මවා පෑවා. ඉන්පසු උරිස්ස පැත්තට අත යවා අත් කොට කබායක් අන්දවන බව පෙන්නුම් කලා. ඊටත් පසුව ඔවුන් දෙදෙනා මඳක් අඩිය පස්සට ගෙන,

"අහා බලන්න දැන් කොච්චර අපූරු ඇඳුමක්ද මහරජතුමා ඇඳගෙන ඉන්නෙ." යි කීවා. එය අසා සිටි මහරජතුමාගේ ඇමතිවරු උස් හඬින් මෙහෙම කිව්වා.

"ෂහ්..කොයිතරම් අලංකාර ඇඬුමක්ද?"

"බොහොම ඉස්තරම් අලුත් ඇඳුමක්" කියූ මහරජතුමා, " හොඳයි, දැන් ඉතින් පෙරහැර පටන් ගත්තොත් හොඳයි" යි අණ දුන්නා.

මහරජතුමාගේ පවුලේ උදවියත් මැති ඇමතිවරුත් පෙරහැරේ ගමන් කිරීමට පෙළගැසුණා.

මහරජතුමා සිය අශ්වයා පිට නගිනවාත් සමගම, අර වංචාකාර මිනිසුන් දෙදෙනා සහ කවටයා රන් රිදී සහ වෙනත් වස්තු පොදි බැඳගත්තා. ඉන්පසුව හැකිතරම් වේගයෙන් නගර මැදින් පැන ගිහින් රාජධානියෙන් පිට වුණා.

නගරයේ දහස් ගනන් මිනිසුන් එක් රොක් වී පෙරහැර බලා සිටියා. වීදි දෙපස ගොඩනැගිලි අලංකාර ලෙස කොඩිවැල් වලින් සරසා තිබුණා. කඩ සාප්පු හා පාසල් සියල්ල වසා දමා තිබුණේ එදින කොයිකාටත් මහ රජතුමා පෙරහැරේ ගමන් ගන්නා හැටි බලාගැනීම සඳහායි.

මහරජතුමා ඉතා ආඩම්බර ලීලාවෙන් අශ්වයා පිටට නැග හිනාවෙමින්, ජනයාට අතවනමින් ගමන් කළා. මහරජතුමා අලුත් ඇඳුමක් ඇඳසිටි බවක් කිසිම කෙනෙකුට පෙනුනේ නැහැ.එහෙත් හැම දෙනාටම වුවමනා කළේ තමන් රජතුමා හමුවේ නුවණක්කාර අය බව පෙන්වීමයි. ඒ නිසා රජතුමා අලංකාර ඇඳුමක් ඇඳ සිටින බව හැම කෙනෙකුම වාගේ කියා සිටියා.

මේ අතර රැස්ව හුන් පිරිස අතරින් එක් කුඩා ළමයෙක් ඉදිරියට පැන්නා.

"අය්යෝ, මහ රජ්ජුරුවෝ ඇඳගෙන ඉන්නේ යට ඇඳුමක් විතරයි. කිසිම අලුත් ඇඳුමක් ඇඳලා නැහැ."

කුඩා පිරිමි ළමයා හඬ නැගුවා.

"මේ ළමයා කියන දේ කවුරුත් ගනන් ගන්ට එපා" යි ළමයාගේ තාත්තා කීවා. එහෙත් කුඩා පිරිමි ළමයා කී දේ හුඟ දෙනෙකුට ඇහුනා. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ඇති තතු හෙලි කලා.ඒ පුද්ගලයා තවත් කෙනෙකුට එයම කීවා. අන්තිමට හැමකෙනෙක්ම පිලිගත්තා මහරජතුමා කිසිම අලුත් ඇඳුමක් ඇඳගෙන නොසිටින විත්තිය.
කුඩා පිරිමි ළමයා කෑ ගසා කියූ දේ මහ රජ්ජුරුවන්ටද ඇහුණා.

ඒ ළමයා කියූ දේ ඇත්ත බව මහ රජ්ජුරුවන්ට ද වැටහුනා.

ලෝකයේ ඇති ඉතාමත්ම වැදගත් දේ අලුත් ඇඳුම් පමණක් නොවන බවත් තමන්ගේ මෝඩකම හා හිස්කම නිසා තමන් සන්තකව තිබූ වටිනා රන් රිදී ඇතුළු වස්තු සම්භාරය නැති වුනු බවත් එතැන් පටන් මහරජතුමා වටහා ගත්තා.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරඟන කතා එක්කොට සුනන්ද මහේන්ද්‍ර අනුවාදය කල "කෝකිලාව සහ වෙනත් කතා" ඇසුරිනි.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

වළි කුකුළෝ ඇයි නුඹ හඞලන්නේ
නා ගහ මුල ඇයි රැඟුම් රඟන්නේ
මානෙල් මල අර පෙති විහිදන්නේ
හිරු රැස් වැටිලා පිනි දිදුලන්නේ


නිදහස ලැබිලද ඔය හඞලන්නේ
නාමල් සුවඳට ඔමරි කරන්නේ
මානෙල් මල පිට බඹරු නටන්නේ
නිදහස් හිරු රැස් පොළව සිඹින්නේ


සතුන් හැමෝටම නිදහස ඕනෑ
ගස් වැල් වලටත් නිදහස ඕනෑ
මිනිසුන් හැමටම නිදහස් ඕනෑ
පුංචි ළමුන්ටත් නිදහස ඕනෑ

-කේ.කේ.සමන් කුමාර මාමා-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails