කෝච්චියේ කෝච්චියේ
සද්ද නැතුව මොකද අනේ
ගුචු ගුචු ගුචු සද්ද නැතුව
කඳු නගින්නෙ කොහොම අනේ

කෝච්චියේ කෝච්චියේ
රෝද නැතුව කොහොම අනේ
සිය ගාණක් කකුල් එකට
පැටලෙන්නෙ නැතිද අනේ

දුමකුත් නෑ ගුචු ගුචු නෑ
රෝදත් නෑ සිග්නල් නෑ
ගාඩ්ල නෑ ඩ්‍රැයිවර් නෑ
ස්ටේෂන් ඇත්තෙත් නෑ

කෝච්චියේ කෝච්චියේ
සද්ද නැතුව කොහොම අනේ
ගුචු ගුචු ගුචු දුමක් නැතුව
කඳු නගින්නෙ කොහොම අනේ

කේ.කේ. සමන් කුමාර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
උයන් වතුවල රත්තරන් පාට සූරියකාන්තා මල් පිපෙන්නට ගොඩක් ඉස්සර කොළම කොළපාට රටක් පාලනය කරපු රජතුමෙක් හිටියා. ඉතින් මේ රජතුමාට හිටියෙ එකම එක දියණියයි. වසන්ත කාලයට පිපෙන ලස්සනම ලස්සන මලක් වගේ මේ කුමාරිකාවත් බොහෝම ලස්සනයි. ඒත් මේ කුමාරිකාව කවමදාවත් කා එක්කවත් විවාහ වෙන්නට අකමැති නිසා පියරජතුමා හිටියෙ ගොඩක් දුකෙන්.

කුමාරිකාවට ගැලපෙන කුමාරයින් කොච්චර හිටියත් ඒ එක්කෙනෙක්ටවත් කැමති වුණෙ නෑ. ඒ විතරක් නෙමෙයි සුදු කළු දුප්පත් පොහොසත් වෙන කිසිම කෙනෙක්ට ඇය කැමති වුණෙ නෑ. පියරජතුමා ඇය එක්ක ඒ ගැන කතා කරන හැම වෙලේම ඇය කීවෙ, ”මම ආදරේ හිරුට විතරමයි” කියලා.

ඔන්න දවසක් පියරජතුමාට කුමාරිකාව එක්ක හොඳටම තරහ ගියා. තරහ ගිහින් කීවා ”එහෙනම් ගිහින් හිරුත් එක්කම විවාහ වෙන්න. හැබැයි මින් පස්සෙ මට පේන්න එන්න එපා ” කියලා.

ඉතින් පියරජතුමාගේ කතාවට දුක හිතුණ කුමාරිකාව, හිරු හොයන්න යන්න පටන් ගත්තා. කුමාරිකාව හිරුව හොයාගෙන හැම වෙලේම ගියේ හිරු නැගෙන පැත්තටමයි. වනාන්තර කාන්තාර දියඇලි කඳු පහුකරගෙන කුමාරිකාව ඉදිරියටම ගියා.

ඉතින් ඔන්න මෙහෙම ගොඩක් දුර ආව කුමාරිකාව අන්තිමට,උස කන්දක් මුදුනෙ හදල තිබුණ හිරුගෙ මාලිගාවට ආවා. ඒත් ඒ වෙලාවෙ මාලිගාවේ හිටියෙ හිරුගෙ අම්මා විතරයි.

කුමාරිකාව දැක්ක හිරුගෙ අම්මා ඇගෙන් මෙහෙම ඇහුවා ”දුවේ ඔයා මොනවද මෙහෙ කරන්නෙ” කියලා.
”මම හොයන්නෙ හිරුකුමාරයාව” කුමාරිකාව හෙමිහිට උත්තර දුන්නා.

”දුව එන්නෙ කොහෙ ඉඳලද” ආයෙමත් හිරුගෙ අම්මා කුමාරිකාවගෙන් ඇහුවා.

එතකොටම දුකින් බිම බලාගත්ත කුමාරිකාව පියරජතුමා ඇයව මාලිගාවෙන් පිටමං කරපු හැටි විස්තර කළා.
ඉතින් ඒ කතාව ඇහුව හිරුමව ට කුමාරිකාව ගැන ගොඩක් දුක හිතිලා මෙහෙම කීවා.

”දුවේ මම ඔයාට හිරුකුමාරයා එක්ක විවාහ වෙන්න අවසර දෙන්නම්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනි. හිරුකුමාරයා එක්ක සදහටම ජීවත් වෙන්න ඕනි නම් කවදාවත්ම හිරුකුමාරයා දිහා බලන්න එපා. එහෙම බැලූවොතින් දුවට නපුරක් වෙන්න ඉඩ තියෙනවා. ”

කුමාරිකාවත් හිරුගෙ අම්මා ට පොරොන්දු වුණා කවමදාවත් හිරු දිහා බලන්නෙ නෑ කියලා.

ඉතින් ඔන්න ටික කාලයක් කුමාරිකාව ගොඩක් සතුටින් හිරුත් එක්ක ජීවත් වුණා. හැබැයි කවමදාවත් හිරු දිහා බැලූවෙ නම් නෑ. ඒත් හිමීට හිමීට දවස් ගෙවෙනකොට කුමාරිකාවට එයා ගැනම දුක හිතුනා.

කුමාරිකාවගේ මේ වෙනස තේරුම් ගත්ත හිරුගෙ අම්මටත් ඇය ගැන ගොඩක් දුක හිතිලා දවසක් මෙහෙම කීවා.

”මම දන්නවා දුව ඉන්නෙ ගොඩාක් දුකින් කියලා. දුවට හිරුව බලන්නම ඕනි නම් වතුර වීදුරුවක් හොරෙන් ඔහු ඉදිරියෙන් තියලා ඒක ඇතුළෙන් ඔහුව බලාගන්න. හැබැයි දුවේ වැඩි වෙලා බලන් ඉන්න ගියොත් ඒ බව මගේ පුතාට දැනේවි. ඊට පස්සෙ දුවට නපුරක් වෙන්න බැරි නෑ. ”

ඉතින් ඔන්න කුමාරිකාව හිරුගෙ අම්මා කීව විදිහට සියල්ල කරන්න සුදානම් වුණා. ? වෙලා ගෙදර ආව හිරු ඉදිරියෙන් වතුර වීදුරුවක් තිබ්බ කුමාරිකාව ඔහු දෙස හොරෙන් බැලූවා.

හිරුගෙ ලස්සන මූණ දිහා බලන් හිටපු කුමාරිකාවට හිරුගෙ අම්ම දුන් අවවාදය අමතක වුණා. ඒ නිසා දිගින් දිගටම ඔහු දෙස බලාගෙනම හිටියා.
තමන් දිහා කුමාරිකාව හොරෙන් බලන් ඉන්න විදිහ දුටු හිරුට හොඳටම කේන්ති ගියා. හිරුට කොච්චර කේන්ති ගියාද කියනවනම් එයා කුමාරිකාවට කෑ ගහල බැන්නා.

”ඔයාට කීකරු වෙන්න බැරිනම් මම තවත් ඔයාව මේ ගෙදර තියාගන්න කැමති නෑ. ”

එහෙම කියපු හිරු කුමාරිකාව ගෙදරින් පිටමං කළා.

ඉතින් කුමාරිකාව ගොඩක් දුකින් හිරු මාලිගාවෙන් එන්න ආවා. ගස් ගල් පහු කරන් යන ඇගේ රෝසපාට කම්මුල් දිගේ කඳුළු පේළි ගලාගෙන ගියා.

හැබැයි ඔන්න කුමාරිකාවට වැඩිය දුර යන්න ලැබුණෙ නෑ. හිරුටත් කුමාරිකාව ගැන දුක හිතුණා. ඊටපස්සෙ හිරු කුමාරිකාව, ඇය හිටිය තැනම උස ගහක පිපුණු ලොකු කහපාට මලක් බවට පත්කළා.

ඉතින් එදා ඉඳල මේ ලොකු කහපාට මල හිරු පායනකොට ඔහු දිහා බලනවා. හිරු නිවෙනකොට ඇගේ මූණත් සඟව ගන්නවා. ඒක නිසා හැමෝම ඒ කහපාට මලට කීවෙ සූරියකාන්තා’ කියලයි.





පරිවර්තනය කලේ මුතු පබා නැන්දා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ඔන්න එකෝමත් එක කාලෙක දුර ඈත රටක හිටියා සාර් රාජකෙනෙක්. එයාට හිටියා අවිවාහක පුත්තු තුන්දෙනෙක්. ඉතින් මේ සාර් රජතුමාට ඕනෑ කලා එයාගේ පුතාලා තුන්දෙනාම විවාහ වෙනවා දකින්න. ඒ හන්දා එක දවසක් මේ රජ්ජුරුවෝ එයාගේ පුතාලා තුන්දෙනාව ළඟට කැඳවලා මෙන්න මෙහෙම කිවුවා.

”නුඹලා තුන්දෙනාම මේ රජමාළිගාවෙන් එපිට තියෙන එළිමහනට ගිහින් ඊතලය බැගින් අහසට මුදාහරින්න ඕනෑ. ඉන්පස්සෙ, මේ ඊතල ඉගිල්ලිලා ගිහින් මිබ වැටුන තැන ගමේ කෙල්ලක් නුඹලා විවාහයට තෝරා ගත යුතුයි”

තමන්ගේ පිය රජතුමා කියූ විදියටම කුමාරවරු තුන්දෙනා රජමාළිගාවට එපිටින් තියන භූමියට ගිහිල්ලා තමන්ගෙ උපරිම ශක්තිය යොදවලා ඊතල තුනක් මුදා හැරියා. පළවෙනි පුතාගේ ඊතලය ගිහින් වැටුණෙ වංශක්කාරයෙකුගේ ගෙමිදුලට. වංශක්කාරයගේ දුව ඒ ඊතලය අහුලා ගත්තා. දෙවැනි පුතාගේ ඊතලය ගිහින් වැටුණේ ධනවත් වෙළෙන්දෙකුගේ මිදුලට. වෙළෙන්දාගේ දුව විගහින් ඇවිත් ඒ හීය අහුල ගත්තා. බාලම පුතා, ඉවාන් කුමාරයාගේ ඊතලය වැටුණෙ මඩ වගුරකට. එයා ඊතලය හොයාගෙන මඩ වගුරෙ ඇවිදින අතරෙ එයා දැක්කා ඊතලය කටින් ගත්ත ගෙම්බියක්. තාත්තාගේ අණට කීකරු පුතෙක් වුණු ඉවාන්කුමාරයා තාත්තා කියූ ලෙසට ගෙම්බිය හා විවාහ වුණා. ඉතින් ඔන්න ඔය විදියට කුමාරවරු තුන්දෙනා ම විවාහ වෙලා තම තමන්ගෙ මනාලියෝ මාළිගාවට එක්ක ගෙන ආවා.

ඉවාන් කුමාරයයි එයාගෙ ගෙඹි- මනාලියයි ගැන නොයෙක් කතා කියමින් කොච්චර විහිළු කලත් වැඩිමහළු කුමාරවරු දෙන්නට හති වැටූනේ නැහැ. ඒ ගැන ඉවාන් කුමාරයා උන්නෙ හැම වෙලාවෙම කණස්සල්ලෙන්. ඒ ත් ඉවාන් කුමාරයා හැම වෙලාවෙම යුතුකම් දන්න යහපත් කෙනෙක් හන්දා ගෙම්බියත් රජ කුමරියක් විදියට සලකලා එයාට හුඟක් ආදරෙන් කරුණාවෙන් සංග්‍රහ කළා. මොන දේ උනත් ඇයට කතා කරන්න පුළුවන්. ඉවාන් කුමාරයා ඒ ගැන සතුටු වුනා.

එක දවසක් සාර් රජතුමා එයා පුතුන් තිදෙනාට කතා කරලා

” හෙට උදෑසන වෙද්දි නුඹලාගේ බිරින්දෑවරු තුන්දෙනාම මට ඉතාම අලංකාර කමිසය බැගින් මසාගෙන එන්ට ඕනෑ” යි කිවුවා.

වැඩිමහල් කුමාරවරු දෙන්නා සාර් රජතුමාගේ අණ පිළිබඳව තමන්ගේ බිරින්දෑවරුන්ට කියන්ට යද්දි ඉවාන් කුමාරය් දුකෙන් යන්ට ගියා. ඉවාන් කුමාරයා දුකෙන් ඉන්න බව දැක්ක ගෙම්බිය ඔහුගෙන් ඇහුවා දුක්වෙන්නට තරම් කාරණාව මොකද්ද කියලා. එතකොට ඉවාන් කුමාරයා කිවුවා,

”හෙට උදේ වෙද්දි මගේ තාත්තා වෙනුවෙන් ලස්සනම ලස්සන කමිසයක් ඔබ මසන්නට ඕනෑ ලූ”

”අපොයි, ඒ හැටි කණගාටු වෙන්න එපා ඉවාන් කුමරුවෙනි”

”ඔබ දැන් නින්දට යා යුතුයි. රාත්‍රියට වඩා උදෑසන නුවණක්කාරයි” ගෙම්බිය පිළිතුරු දුන්නා.

මැදියම් රාත්‍රියේ මාළිගාවෙ සියල්ලන්ම නින්දට වැටුණට පස්සේ එකපාරටම ගෙම්බිය ලස්සන කුමාරිකාවක් වුණා. එයාගෙ නම නුවණක්කාර වසීලීසා. එයා තමන්ගේ අත් පොඩි දෙක එකතු කරලා අත්පුඩියක් ගහලා මෙන්න මෙහෙම කිවුවා.

”මෙහෙකරුවෙනි මෙහාට එන්න. හරියටම මගේ තාත්තාට තිබුණා වගේ ඉතාම අලංකාර කමිසක් මට මසා දෙන්න”

පහුවෙනිදා උදෑසනින්ම ඉවාන් කුමාරයා අවදි වුණේ ඉතාම ලස්සන කමිසයක් පුටුවක් උඩ තියෙනවා දකින්න. ඒ වගේම ලස්සන කමිසක් තියෙනවා දැකලා කුමාරයා හුඟක් සන්තෝස වෙලා ඒක අරගෙන විගහින් මාළිගාවට දුවලා ගියා. තම ලේලියන් විසින් මසන ලද කමිස තුනම පරීක්ෂා කරලා බැලූව රජතුමා ඉවාන් කුමාරයා ගෙනාපු කමිසය ඉතා ආදරයෙන් තෝරා ගත්තා.

දින කීපයකට පස්සේ සාර් රජතුමා ආයෙත් සැරයක් එයාගේ පුතුන් තිදෙනා කැඳවලා කිවුවා

” නුඹලාගේ බිරින්දෑවරුන්ට කියපල්ලා හෙට උදේට මට රසම රස පාන් ගෙඩිය බැගින් පුළුස්සන්ට කියලා”

කලින් සිදු වුණා වගේම සාර් රජතුමා කැමතිම විදියේ රසවත් පාන් පුළුස්සන්ට ගෙම්බියට හැකි වුණා. ඊට පස්සෙ රජතුමා ආයෙත් එයාගේ පුතාලා තුන්දෙනාට කතා කරලා කිවුවා

”හෙට මම මාළිගාවේ සාදයක් පවත්වන්ට සූදානම් කරනවා. නුඹලා සමග නුඹලාගෙ බිරින්දෑ වරු තිබෙන වටිනාම අලංකාරම ඇඳුමින් සැරසිලා සාදයට එන්ට ඕනෑ”

ගෙදර ගිය ඉවාන් කුමාරයා ගෙම්බියට මේ බව කිවුවා.

”කණගාටු වෙන්න එපා කුමරුවෙණි. ඔබ තනිව සාදයට යා යුතුයි. මා පසුව එන්නම්” යි ගෙම්බිය පිළිතුරු දුන්නා.

ඉතින් ගෙම්බිය කියපු විදියටම ඉවාන් කුමාරයා තනියෙන් සාදයට ගියා. ඒ බව දැක්ක එයා ගෙ වැඩිමහල් කුමාරයෝ දෙන්නා නොයෙක් අපහාස කතා කියමින් විහිළු කරන්ට පටන් ගත්තා.

”කෝ අර ගෙඹි නෝනා”

එක පාරටම ගිගුරුම් හඩක් බඳු ශබ්දයක් මාළිගාව වෙත ළඟා වුණා. එසැණින් ඇතුළු වෙන දොරටුව ලඟින් මතු වුනේ රන් ආලේපිත අස්ස කරත්තයක්. එකපාරටම දොර විවර වෙලා නුවණක්කාර වසීලීසා එතැන පෙනී හිටියා. අමුත්තන් සියල්ලන්ම පුදුමයට පත් කරමින් වසීලීසා කුමරිය ඉවාන් කුමාරයාගෙ අතින් අල්ලාගෙන සාදය වෙත පා නගන්ට වුණා.

රාත්‍රි සාදයේ ආහාර සඳහා සකසා තිබූ පිළිස්සු හංස මස් වලින් ස්වල්පයක් කෑ වසිලීසා ඉන් කටු කිහිපයක් ගෙන තමන්ගේ හැට්ට අත අස්සේ සඟවා ගත්තා. ඊළඟට වයින් එයිනුත් ස්වල්පයක් පමණක් පානය කල ඈ ඉතිරි වයින් සියල්ල හැට්ටයේ අනෙක් අතට වක්කරගත්තා. මේ බව දැක්ක අනෙක් කුමාරව‍රුන් ගේ බිරින්දෑ වරු වසීලීසා කළ දේම කරන්ට පටන් ගත්තා. ඔන්න ආහාර ගැනීමෙන් පසු සියල්ලෝම නටන්ට පටන් ගත්තා. ඉවාන් කුමාරයාගේ අතින් අල්ලා ගෙන නටන අතරේ වසිලීසා එයාගෙ එක් අතක් ගසා දැමුවා. ඒ එක්කම ලස්සනම ලස්සන පොකුණක් මතු වුණා. ඊලඟට එයාගෙ අනෙක් අතත් ගැසුවා. එතකොට පොකුණේ පීනන සුදුම සුදු හංසයෝ කීපදෙනෙක් මැවුණා. උත්සවයට පැමිණි සිටි සියල්ලෝත් පිය රජතුමාත් බොහෝම ප්‍රීතියට පත්වුණා නුවණක්කාර වසිලීසාගෙ හැකියාව න් දැකලා. මේක බලාගෙන හිටපු වැඩිමහල් කුමාරවරුන්ගේ බිරින්දෑවරුත් ඒ විදියටම තමන් ගේ අත් ගසා දැමුවා. පොකුණක් සහ හංසයින් මැවෙනවා වෙනුවට නටමින් සිටින බිම මත වයින් සහ මස් කටු සියල්ල විසිරී ගියා.

මේ තරම් ලස්සන නුවණක්කාර බිරිඳක් තමාට ලැබුණු එක ගැන ඉවාන් කුමාරයා හුඟක් සතුටු වුණා. හැමෝම සාදයේ ඉන්න අතරේ කුමාරයා දුවලා ගියා එයාගෙ ගෙදරට. ගිහින් ගලවලා දමලා තිබුනු ගෙඹි හම හොයාගෙන ඒ ක ගින්දරට විසී කලා පිච්චෙන්න. එතකොට ඇය හැම දාම ලස්සනට ඉඳීවි කියල ඉවාන් කුමාරයා හිතුවා. සාදය නිමා වෙලා ගෙදර ආපු වසිලීසා එයාගෙ ගෙඹි හැව සොයන්ට පටන් ගත්තා. ඒ ක ඉවාන් කුමාරයා ගින්නට විසී කල බව දැන ගත්තු වසීලීසා දුකෙන් මෙහෙම කිවුවා.

” අනේ ඉවාන් කුමරුවනි ඔබ මේ මොකද කළේ ?තව දවස් තුනක් ගත වෙන්ට ඉඩ හැරියා නම් මට සදහටම ඔබේ බිරිඳ වන්ට ඉඩ තිබුණා. ඒත් දැන් මට වෙන්නෙ අර නපුරු කොසේයි ගේ වහලියක් වෙලා ජීවත් වෙන්ට”

එතකොටම වාගේ ඈ අතුරුදන් වුණා.

ඉවාන් කුමාරයා වැලපුණා. පස්සෙ එයා තීරණය කලා කුමරියව සොයා යන්නට. එයා එහෙම යන අතරේ මහළු මිනිහෙක් එයට මුණ ගැහුණා. ඉවාන් සිදු වෙච්ච දෙයක්ම මහළු මිනිහාට කිවුවා. ඔන්න එතකොට මහළු මිනිහා මෙන්න මෙහෙම කිවුවා.

” වසිලීසා ගෙ තාත්තා තමයි එයාව අවුරුදු තුනකට ගෙම්බියක් කෙරෙවුවෙ. මොකද මේ වසිලීසා එයාගෙ තාත්තටත් වඩා හුඟක් නුවණක්කාර කෙනෙක් වුණු හන්ද. ඔබට ඇත්තටම එයාව හොයාගන්ට ඕනෑ නම් මෙන්නෙ මේ නූල් බෝලය ගන්ට. ඒක පෙරළෙන දිසාවට ඔබට යන්ට පුළුවනි. මේ බෝලය ඔබට මග කියාවි”

මහළු මිනිසාට ස්තුති කල ඉවාන් කුමාරය නූල් බෝලය පෙරළුණු දිසාවට ගමන් කරන්ට වුණා. මහ කැළේ මැදින් ගමන් කරද්දි ඉවාන්ට තදින් බඩගින්නක් දැනෙන්නට වුණාම එයා ඈතින් යන වලහෙකුට විදින්න සූදානම වුනා. එතකොටම වලහා ඉවාන් කුමාරයට බැගෑපත් වෙලා

”අනේ මට විදින්න එපා. ඉදිරියේදි ඔබට මා ප්‍රයෝජනවත් වේවි” යී කිවුවා.

වලහව අත් හැරලා කුමාරය බඩගින්නෙම කැළේ ඇතුලට ගමන් කරන්නට වුණා. ඔන්න එතකොට එයා දැක්ක හාවෙක්. ඒ පාරනම් හාවාට විදින්නෙමියි කියල කුමාරයා දුන්න අතට ගත්තු ගමන්

”අනේ මාව මරන්නෙපා. අනාගතේ දි මා ඔබට ප්‍රයෝජනවත් වේවි”යි කියලා හාවා කිවුවා.

බඩගින්නෙම කුමාරයා කැළේ ඇතුළට ඇතුලට ඇවිද ගෙන ඇවිද ගෙන ගියා. ඔන්න එයා ආයෙත් දැක්ක තාරාවෙක්. ඊතලය දුන්නට තියලා විදින්න සූදානම් වෙනකොටම තාරාව කුමාරයට බැගෑපත් වෙලා කිවුවා

” අනේ මාව මරන්න එපා. ඉදිරියේදී ඔබට මා ප්‍රයෝජනවත්වේවි”යි කියල. ඉතිං කුමාරයා තාරාවා නිදහස් කරල යන්ට ගියා.

ඔන්න ඉතින් කුමාරයා තාරාවා අත් ඇරලා මූදු වෙරලට ආවා. මූදු වෙරළෙදි එයා දැක්කා දියෙන් ගොඩට විසිවෙච්ච මාළුවෙක් දඟල දඟල ඉන්නව. ඉවාන් කුමාරයාව දැක්ක මාළුවා

”අනේ මාව අල්ලලා මූදට දමන්ට. දවසක ඔබට මා ප්‍රයෝජනවත් වේවි” යි කිවුවා.

දුක හිතුණු කුමාරයා මාළුවාව අල්ලලා මූදට වීසි කළා.

වැඩි වේලාවක් ගත වෙන්ට කලින් කුකුල් කකුල් උඩ හදාපු බබායිගා මැහැල්ලගේ කුඩා නිවසට ලඟාවෙන්ට ඉවාන්ට පුළුවන් වුණා. බබායිගා මැහැල්ල ලඟට ගිය ඉවාන් කුමාරයා සිදුවුණු හැම දෙයක්ම කියා සිටියා.

”වසිලීසා ඉන්නේ කොසේයි ලඟ. කොසේයි ව පරද්දන එක ලේසි නැහැ. එයාගේ පණ තියෙන්නෙ ඉඳිකඩු තුඩක. ඒ ඉඳිකටුව තියෙන්නෙ බිත්තරයක් ඇතුළෙ. බිත්තරේ තියෙන්නෙ තාරාවියෙක් ඇතුළේ, තාරාවි ඉන්නෙ හාවෙක් ඇතුලේ. මේ හාවා ඉන්නෙ ගල් වලින් හදාපු පෙට්ටියක, ඒ පෙට්ටිය තියෙන්නෙ උසම උස ඕක් ගහක මුදුනෙ ” කියල බබායිගා මැහැල්ල කිවුවා. ඉවාන් කුමාරයා බබායිගා මැහැල්ලට ස්තුති කරලා උසම උස ඕක් ගහ සොයන්ට පිටත් වුණා.

එයා ඇවිද ගෙන ඇවිදගෙන යනකොට දැක්කා විශාල ඕක් ගසක්, නඟින්ට බැරි තරම් උස කපන්ට නොහැකි තරම් ශක්තිමත්. එකපාරටම උදව් ලබාපු වලහා පෙනී සිටියා ඉවාන් කුමාරයා ඉදිරියේ. වලහා එක් පහරකින් ඕක් ගස බිම පෙරලන්ට සමත් වුනා. බිමට වැටුණු ගල් පෙට්ටිය බිඳිලා හාවා පැනලා දුවන්ට හදද්දිම ඉවාන් කුමාරයාගෙන් උදව් ලබාපු හාවා ඇවිත් ඌ මරා දැමුවා. හාවාගේ බඩ ඇතුලෙ උන්න තාරාවා අහසට නැගල පියාඹන්ට උනා. එතකොටම වාගේ ඉවාන් කුමාරයෙන් උදවු ලබාපු තාරාවා ඇවිත් ඌ මරා දැමුවා. උගේ බඩ ඇතුලෙ තිබුණු බිත්තර ගිලිහිලා මහ මූදට වැටුණා. කරකියාගන්ට දෙයක් නැතුව කුමාරයා මූද අයිනට වෙලා අඩ අඩා ඉන්නකොටම කුමාරයාගෙන් උදවු ලබාපු මාළුවා මූදු පතුලෙන් බිත්තරය ගෙනවිත් කුමාරයාට දුන්නා. බිත්තර විවර කල කුමාරයා ඉක්මනින්ම ඉඳිකටුව අතට අරගෙන ඒකෙ තුඩ කඩා දැමුවා. නපුරු කොසේයි එයාගේ මළිගාව ඇතුලෙ මැරුණා. දැන් නුවණක්කාර වසීලීසා හැමදාටම නිදහස්. ඉවාන් කුමාරයා ඉක්මනින් කොසේයි ගේ මාලිගාවට ගියා වසීලිසා කුමරිය බේරාගන්ට. එතැන් පටන් මේ ඉවාන් කුමාරයයි නුවණක්කාර වසීලීසායි එක්ව බෝහෝ කාලයක් සැපෙන් සතුටෙන් වාසය කළා.



තත්යානා ස්ටෝන්බර්ග් සහ ඩෝනා රිචර්ඞ්සන් එක්ව ඉංග්‍රීසි බසට නගන ලද රුසියානු සුරඟන කතාවක් වන "ද ෆ්‍රොග් ප්‍රින්සස්” හි පරිවර්තනයකි.

පරිවර්තනය ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

පසලොස්වක පෝයදාට ඔබ ඇයි රවුමට
දියවක පෝයට යනවා වාගෙයි වයසට
අටවක පෝයට වාරුව යයි හැරමිටියට
අමාවකට ඔබ යන්නේ කොහිදෝ යන්නට


රොකට් එකෙන් හඳට ගියත්
හාවා පැන දිව්වේ නෑ
පස් අරගෙන ආ මාමලා
හාවව දැකලා වත් නෑ

ඊයේ රෑ මං
රොකට් එකෙන් හඳට ගියා
කැරට් ගෝනියක් අරගෙන
හිටවන්නට ඇටත් රැගෙන
කංකුං මිටියක් අරගෙන
ගොම ගෝනියකුත් අරගෙන
ඊයෙ රෑ හීනෙන් මං
රොකට් එකෙන් හඳට ගියා

රොකට් එකෙන් හන්දට ගියත්
හාවා පැන දිවුවේ නඉ
ගියා කියපු ඒ මාමලා
පළාතෙවත් ගිහිලා නෑ

අපේ පන්සලේ මළුවට
සුදු වැලි අරගෙන හෝසෙට
එන පෝයට හාවා එයි
අපි යමු පන්සල් මළුවට


කේ.කේ. සමන් කුමාර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
1. විලීගේ චාරිකාව

අම්මයි තාත්තයි ජෙනී යි හෙන්රියි හිටියේ දොඩම් මල් වීදියේ අංක 03 ගෙදර. හෙන්රි ගේ වයස අවුරුදු අටයි. එයාට හිටියා හුරතල් මී පැටියෙක්. මී පැටියා හිටියේ හෙන්රි ගෙ නිදන කාමරෙ තිබුණු පුංචි කූඩුවක. ජෙනීට වයස අවුරුදු පහයි. ජෙනීට හුරතලෙක් හිටියේ නෑ. ඒත් එයා කැමති වුණා එයාට ත් පුංචි මී පැටියෙක් වත් හිටිය නම් කියලා.

විලී පදිංචි වෙලා හිටියෙත් දොඩම් මල් වීදියේ අංක 03 ගෙදරමයි. එයාගෙ ගෙදරට ඇතුලු වෙන දොරටුව කුස්සියේ බිත්තියෙ හදපු පුංචි ගුලක්. පිටිපස්සෙ දොර තිබුණේ ගබඩා කාමරේට.විලීටයි එයාගේ පවුලෙ අයටයි පදිංචියට ඉතාම සුදුසු තැන එතන. මොකද කෑමට රසවත් දේවල් හුඟක් එතන තිබුණු නිසා.

විලී හිටියේ තනියෙන් නං නෙමෙයි. අම්මයි තාත්තයි නංගිලායි මල්ලිලායි එක්කයි. එයාට නංගිලා මල්ලිලා ගොඩාක් හිටියා. ගණනින් මෙච්චරයි කියලා විලීට කවදාවත් කියන්න බැරි තරමට. සමහර දවස් වලට එයා හිතුවා නව දෙනයි කියලා. තවත් සමහර දවසක දහ දෙනයි කියලා. විලීට කවදාවක් හොඳට ගණින්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඉලක්කම් එකතු කිරීමටත් එයා හොඳටෝම දුර්වලයි. හැබැයි කන්න නම් විලී තරම් දක්ෂ කෙනෙක් කොහෙවත් හිටියේ නෑ.

විලී මහතයි. මහතයි කියන්නෙ හුඟක් මහතයි.ඒ නිසා එයාව හරියටම පෙනුනෙ පුළුං වලින් හදාපු බෝලයක් වගෙයි.

"පුංචි මීයෙක් මේ තරම් බංඩියට ඉන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි" විලීගේ තාත්තා කිව්වා.

"මොකක් ?" ඔන්න විලී ඇහුවා. මොකද ඒ වෙලාවෙත් විලී රසම රස විස්කෝතු කුඩු ගැන හීනයක් දකිමින් හිටියේ.

" ඔයා මහත වැඩියි. පරිස්සම් වුණේ නැත්තං හෙම ඔන්න දවසක තේරෙයි කොහේ හරි තැනක හිරවෙච්ච වෙලාවක" විලීගේ අම්මා කිව්වා.

හැම උදේකම පුංචි මී පැටවුන්ට ඉගෙන ගන්ට දේවල් තිබුණා. එක දවසක් තාත්තා හිතුවා මී පුංචලාට ඉලක්කම් එකතු කරන විදිය කියා දෙන්න.

"හා , දැන් හැමෝම ඇවිත් ඉඳගන්න. අද අපි ඉගෙන ගන්න යන්නෙ ඉලක්කම් එකතු කරන විදිය ගැන" තාත්තා කිව්වා.

"මොකක්?" ඔන්න පුරුදු විදියට විලී ඇහුවා. මොකද ඒ වෙලාවෙ එයා සීතලම සීතල රසම රස අයිස් පලමක් හීනෙන් දැක දැක හිටියේ.

"එකතු කිරීම" අම්මා කිව්වා.

මී පැංචලා සේරෝම හොඳ දරුවො වගේ එක පෙළට වාඩි වෙලා ගණන් ලියන්නත් එකතු කරන්නත් පටන් ගත්තා. හැබැයි එක්කෙනෙක් හැර. ඒ තමයි විලී. පින්තූර එක එක විලීගේ ඔලුව ඇතුලෙ පාවෙන්න පටන් ගත්තා.

ඉඟුරු විස්කෝතු 2 යි +චොකලට් විස්කෝතු 3 යි + චොකලට් කුකීස් 7 යි+..... විලීට සිහිය නැතිවෙන්න වගේ ආවා.

"මට බඩගිනියි වගේ" ඔන්න ඉතිං විලී හිතුවා.

ඊටපස්සෙ විලී එයාගේ පැන්සලයි කොළයයි බිමින් තියලා හෙමින් සැරේ කාටත් නොදැනීම පිටිපස්සෙ දොරෙන් පිට වුණා.

ඊලඟට……….
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ඇටිකිචි චොක්- කකුළු ඤරස්

ඔන්න එකෝමත් එක රටක හිටියලු රජ්ජුරු කෙනෙක්. ඉතිං මේ රජ්ජුරුවන්ට හිටියලු ලස්සන දූ කුමාරියක්. ඉතිං මේ දූ කුමාරි හරිම ආසයි ලු මල් වත්තෙ ඇවිදින්න. ඔන්න දවසක්දා මේ කුමාරි එයාගේ සේවිකාවනුත් එක්ක මල්වත්තෙ ඇවිදින්න යන ගමන් ලස්සන මලක් දැක්කා ලු. ඉතිං පුංචි කුමාරිකාවෝ හරි ආසයි නෙ මල් වලට. දූ කුමාරිත් අර ලස්සන මල ලඟට ගිහින් ඒක ඉම්බා. අනේ ! එතකොට මලේ තිබුණු එක මල් ඇටයක් ගිහින් දූ කුමාරි ගේ නහයේ හිර වුනා.

හරි වැඩේ! කුමාරිකාවට අඬන්නත් බෑ, හිනාවෙන්නත් බෑ, කතා කරන්නත් බෑ. එයා හරිම දුකෙන් අමාරුවෙන් ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන කඳුලු පුරවගෙන ඉන්නවා. රජ්ජුරුවන්ටත් හරිම දුකයි. ඔන්න රාජකීය වෙදනා ඇවිත් බෙහෙත් කළා. ම්හ්..! මල් ඇටේ එළියට ආවේ නෑ.

ඔන්න ඉතිං ඒ පාර රජ්ජුරුවෝ දන්න කියන ඔක්කොම වෙද්දු ගෙන්නවලා බෙහෙත් කරන්න නියම කළා.

ම්හ්..! මල් ඇටේ එළියට ආවේ නෑ.

හරි වැඩේ! කුමාරිකාවට අඬන්නත් බෑ, හිනාවෙන්නත් බෑ, කතා කරන්නත් බෑ. එයා හරිම දුකෙන් අමාරුවෙන් ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන කඳුලු පුරවගෙන ඉන්නවා.

ඉතිං ඔන්න රජ්ජුරුවෝ රට පුරාම අණ බෙරයක් යැවුවා දූ කුමාරිගේ නහයේ හිරවුන මල් ඇටේ අරන් දාන්න පුළුවන් කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. අණ බෙර කාරයත් රාජ පුරුෂයින් එක්ක නගර, දනවු, ගම්, නියම් ගම්, ඔලගම් පහු කරගෙන යනවා යනවා යනවා. කිසිම කෙනෙක් අණබෙරය නවත්තන්න ඉදිරිපත් වුනේ නෑ.

මේ අතරේ එක ගමක ඉන්නවා කම්මැලි ගමයෙක්. මේ ගමයා අනිත් ගමයො කුඹුරු අස්සද්දලා, බින්නැගුම් හාලා, දෙ හී හාලා, නියර බැඳලා, වැලි මඩ පෝරුගාලා, වී වපුරලා, වල් නෙලලා, මැස්සෝ එනකොට ගොයම කොකු ගාලා, වතුරබැඳලා, වක්කඩවල් රැකලා, කක්කුටු ගුල් මකලා, කලට අස්වැන්න නෙලලා, ගොයම් පාගලා, අටුවට දාලා, අග්ගස්ස දානේ දීලා එනකොටත් සෝමාරි කමට පිලේ කුදහ ගෙන ඉන්නවා. මහගෙ කාගේ හරි කුලී කුරක්කමක් කරලා ඇවිත් උයලා දෙන බත් ගිලලා පිලේ කුදහගෙන ඉන්නවා. ඒ මදිවට හැමදාම උදේට බත් හැලිය පල්ලේ තියෙන දංකුඩ මහගේටත් නොතියා කොටා බානවා.

ඉතිං ගම මහගෙත් හරි හිතේ අමාරුවෙන් ඉන්නකොට ඔන්න ඒ ගමටත් අර රජ්ජුරුවෝ යවපු අඬබෙරේ ආවා. අණ බෙරකාරයා කිව්වා රාජ කුමාරිගේ නහයේ හිරවුන මල් ඇටේ අරන් දුන්න කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. එත කොට කෙනෙක් ඇහුවා ඉදිරිපත් වෙලා බැරිවුනොත් මොකද කරන්න්නේ කියලා. අණබෙරකාරයා කිව්වා ආයේ මොකද හිස ගසා දානවා කියලා. මේක අහගෙන උන්න ගම මහගේට හිතුනා ගමයට හොඳ වැඩක් කරන්න. ඈ ගිහින් අණ බෙරේ නැවැත්තුවා. රාජපුරුෂයන්ට කිව්වා , තමන්ගෙ ගමයා හොඳ වෙදෙක්, ඕනෑම ලෙඩකට දුකකට විසාදියකට රහස් බෙහෙත් දන්නවා කියලා. අනේ! රාජ පුරුෂයොත් ගමයව අල්ලගෙන රජ ගෙදරට අරං ගියා. මේ යන ගමන් ගමයා දෙය්යන්ට කිය කියා ගියා අනේ දෙය්යනේ මේ මරණෙන් ගැලවුනොත් ආයේ නම් බත් දංකුඩ කන්නේ නෑ කියලා.

ඔහොම යනකොට යනකොට මේ කට්ටිය විලක් අයිනෙන් ගියා. විලේ උන්න ගෙම්බෙක් 'චොක්' ගාලා දියට පැන්නා.

ගමයා ඒක මතක තියා ගත්තා ‘ඇටිකිචි චොක්’ කියලා.

ඔන්න ඔහොම යනකොට යනකොට එක රාජ පුරුෂයෙකුගේ කකුලට කක්කුට්ටෙක් පෑගුණා ‘ඤරස්’ ගාලා.

ගමයා එකත් මතක තියා ගත්තා. ‘කකුළු ඤරස්’ කියලා.

ඔහොම යනකොට යනකොට හාවෙක් පඳුරකින් ඒපැත්තට පනිනවා මේ පැත්තට පනිනවා. ආයෙමත් ඒපැත්තට පනිනවා මේ පැත්තට පනිනවා.

ගමයා මේකත් මතක තියා ගත්තා ‘හාවා කළ අකල විකල’ කියලා.

ඔන්න ඔහොම රජ ගෙදරට ම ආවාම රජ්ජුරුවෝ අණ කළා ඉතා ඉකමනින් දූ කුමරියගේ නහයේ මල් ඇටේ අරන් දාන්න, බැරි වුනොත් ගමයාගේ හිස ගසා දාන්නත් අණ කළා. මදැයි කොළා, ගමයා බයේ බයේ දන්න වෙදකමකුත් නැති නිසා පොල් කෙන්දකුත් ගෙන්නගෙන දූ කුමාරිගේ නහයේ ගාලා මෙහෙම මැතිරුවා,

ඇටිකිචි චොක්- කකුළු ඤරස්
හාවා කළ අකල විකල
මේ මරණින් ගැලවුනි නම්
ආයේ නොකං බත් දංකුඩ

අර පොල් කෙන්දට නහය කිචිකැවිලා මදිවට ගමයගෙ බොරු මන්තරේට හිනා යන්න ආව නිසාත් එක පාරටම දූ කුමාරිගේ නහයේ තිබුණ මල් ඇටේ ‘හකීස්’ ගාලා හච්චිමක් එක්ක එළියට ආවා. කුමාරි බිම පෙරළි පෙරළි හිනා වුනා.

රජ්ජුරුවෝ ගමයාට ඇතෙක් බරට වස්තුව දුන්නා. ගමයා ගමට ගියායින් පස්සේ කම්මැලි නොවී කුඹුරක් බතක් කරගෙන මහගේ එක්ක සතුටින් උන්නා.

(හෂිත මාමා කිවුව කතන්දරයක්)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

කකුල් තුනේ ඉබ්බො ගොඩයි
පාර අයිනෙ රංචු ගැහෙයි
පාර දිගේ පේළියෙ යයි
පාර පුරා රේස් දුවයි

මේ ඉබ්බට කකුල් තුනයි
කකුල් තුනේ ඇඟිලි නැතෙයි
වතුර නැතුව මඩ ගාගෙන නිතරම ඉන්නේ
පෝළිමෙ බඩ ගගා තමයි විටෙකදි යන්නේ

නිදාගන්නේ නැතුව වුනත්
ඇහැරිලා දිගටම දිව්වත්
හාවො කොහෙද මේ ඉබ්බට ඉස්සර කෙරුවේ
හාවොත් එක්කලා දිව්වෙත් ඉස්සර කාලේ

පට පට ගා සද්ද කරයි
සද්දෙ වගෙම හරිම ගඳයි
පස්සෙන් දුම් දදා දුවයි
පිහාටු නැති වුණත් විටෙක කුරුල්ලා වාගේ
මිනිස්සු බඩ ඇතුළෙ දමන් රේස් දුවන්නේ
රෝද තුනයි ත්‍රීවීලර් කියලා කියන්නේ

කේ.කේ. සමන් කුමාර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
බෙන් කියන්නෙ වෙනස් කෙනෙක්. ඒ බව අනෙක් ළමෝ ද හොඳහැටි දනියි.ඔවුන් කීවේ ඔහු ඉතා විශාල බවයි. කම්මැලියෙකු බවයි.ඔහු අවලස්සන බවයි.

බෙන් පාසලේ ඉගෙන ගන්නා ළමයින්ට වඩා ප්‍රමාණයෙන් විශාල බව ඇත්තකි. ඔහු කම්මැලියෙකු බවත් ඇත්තකි. එහෙත් ඔහු ඇත්තටම අවලස්සන වූයේ නැත.

බෙන් පාසල් වත්ත වටේ දුවන්නටත් විහිළුවට මෙන් කෑගසන්නටත් හුඟක් කැමති කෙනෙක්.ඒ වගේම, ගස් නගින්නටත්, ඔහු වටේ කැරකෙන කුරුමිණියන් අල්ලා තලා පොඩි කරදමන්නටත් ඔහු හුඟක් කැමති වුණා.කකුල් දෙකෙන් දුවනවා වෙනුවට ඔහු කළේ කකුල් හතරෙන් පිට්ටනිය වටා දුවමින් පිනුම් ගැසීමයි. ඇත්තෙන්ම ඒක බෙන් ට නම් අවලස්සන වැඩක් වුණේ නෑ. මොකද එයා එහෙම සෙල්ලම් කරලා හුඟක් සතුටු වුණා.

තව බොහෝ දේවල් තිබුණා, බෙන් කරන්න කැමති වුණු. වළල්ලක් ඇතුලෙන් පනින එකත්, ඇස් වහගෙන තනි රෝදයෙ බයිසිකලය පදින එකත් ඔහු හුඟක් කැමතිම දේවල්.පුංචි මාලුවෙක් නහය උඩ සමබරව තබාගැනීමත්, කඹයක් උඩ ඇවිදයාමත් ඔහුට කළ හැකි අපූරු දේවල්.

ඒ වගේමයි නටන්ටත්. බෙන් තරම් හොඳට නටන්ට පුළුවන් කෙනෙක් හිටියේ නෑ පාසෙලේම.

ඒත් බෙන්ට හැමදාම එක එක විදියෙ ඇබැද්දි වලට මුහුණපාන්ට සිද්ද වුණා.

එයාට උදේ ට හුඟ වෙලාවක් ඇහැරිලා ඉන්න එක බොහොම අමාරු කාරියක් වුණා. විශේෂයෙන්ම, දිගම දිග සීත කාලයේදී.සමහර වෙලාවට පාසල් බසය ඔහුට මග ඇරුණා. එහෙමත් නැතිනම් හැමෝම ඉදිරියේ පන්ති කාමරයේ දී එයාගේ මේසය උඩ නින්දට වැටුණා.

ඒ නිසා එයාගේ ගුරුතුමී බෙන්ට නිතරම බනින්ට පටන් ගත්තා. නැතිනම් බෙන්ව විදුහල්පතිතුමා ළඟට යැවුවා.

බෙන් පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ විදුහල් පති තුමාගේ කාමරයට යන්න. විදුහල් පති තුමා උසයි. තද කළු පාට මහත ඇහි බැමි දෙකකුයි, හරියටම හොඳට වැවුනු පඳුරක් වාගේ උඩු රැවුළකුයි ඔහුට තිබුණා.බැලූ බැල්මට ඔහු මූදු සිංහයෙක් වගෙයි.

එයා බෙන් දිහා හොඳහැටි බලලා මෙන්න මෙහෙම අහනව.

"දන්නවද අද බෙන්ව මෙහාට එවුව කාරණාව මොකද්ද කියලා?"

"හර් ර් ර් ර් ර් ර් රුම්ප්" බෙන් බිම බලාගෙන ඔලුව වනමින් එහෙම කියනවා.

ඊළඟට විදුහල්පතිතුමා අහනව

"බෙන්ජමින්, මොකද වෙලා තියෙන්නෙ? ඇයි අනිත් හැම ළමයෙකුම වාගේ ඉන්ට බැරි?"

"හර් ර් ර් ර් ර් ර් රුම්ප්" ඔන්න එහෙම කියල බෙන් උත්තර දෙනවා. මොකද එයා කවදාවත් දැනගෙන උන්නෙ නෑ කොහොමද ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කියලා.

ඊට පස්සෙ බෙන් හුඟක් උත්සහ කළා අනිත් හැම ළමයෙකුම වාගේ වෙන්ට. ඒත් ඒකෙන් වුණේ හැමදේම හුඟක් නරක අතට හැරුණු එක.පන්තියේ ළමෝ වතුර බොන්ට පෙළ ගැහිලා ඉඳිද්දි, බෙන් පෙළට එක් වුණා වතුර බොන්ට. ඒත් ජල කරාමය ඇරපු ගමන් බෙන් වතුර බොනවා වෙනුවට සිදුවුණේ වතුර හැම තැනම ඉහිරිලා ගිය එකයි.ඒ වතුරෙන් අනෙක් ළමෝ තෙමුණු එකයි.


සමහරක් ළමෝ බෙන්ට හිනා වුනා. සමහරක් තෙමුණු ළමෝ අඩන්ට පටන් ගත්තා.කලබලේ මොකද්දැයි බලන්ට දුවගෙන ආ ගුරුතුමී කළේ ආයෙත් වතාවත් බෙන් ව විදුහල්පති තුමා ළඟට යැවූ එක.

විදුහල්පතිතුමා එයාගෙ ඝන කලු ඇහි බැම ඔසවල, ඇස් කණ්ණාඩි දෙකත් ගලවලා, එයාගෙ ඔලුව වනලා ලොකු හුස්මක් පිට කළා.

එච්චරයි!

අන්තිමේදි බැරිම තැන බෙන් අනෙක් ළමයි වගේ ඇඳුම් අඳින්ට පටන් ගත්තා. කෑම කන්ට පටන් ගත්තා. ඒත් ඒ කිසි දෙයකින් වැඩක් වුණේ නෑ.

බෙන්ට අනෙක් ළමයින් වගේ වෙන්ට බෑ. එහෙම කිරීමෙන් වුණේ ඔහු තව තවත් අසතුටට පත් වුණු එක විතරයි.බෙන් කියන්නෙ වෙනස් කෙනෙක්, හැමෝම කියනවා වගේ.

ඔන්න එක දවසක් බෙන්ට විදුහල්පති තුමා ළඟට එන්ට කියලා පණිවුඩයක් ලැබුණා.බෙන් කාර්යාලයට ඇතුළු වුනාම දැක්කා අළු පාට ඇඳුමක් ඇඳගත්තු කෙනෙක් ඉන්න බව. ඔහු බෙන් ගෙන් ප්‍රශ්න අහන්ට පටන් ගත්තා.

" බෙන් ඔයා වෙනස් කෙනෙක් කියල විශ්වාසද ඔයාට?"

"හ ර් ර් ර් රුම්ප්" බෙන් උත්තර දුන්නා.

" ඔයා මෙහෙම කරන්නෙ අනිත් අය පුදුම කරන්නද?"

"හ ර් ර් ර් රුම්ප්" බෙන් ආයෙත් උත්තර දුන්න.

ඔහු තමන්ගේ ඇස් දෙක පිහදාලා බෙන් ට මෙන්න මෙහෙම කිවුවා.

"බෙන් ඔයා අනිත් ළමයින් වගේ නොවෙන්ට තරම් කාරණයක් නෑ.මං කැමතියි ඔයා දැන් ගිහින් අනිත් ළමයි එක්ක සෙල්ලම් කරනව නම්"

"ඔයාට පුළුවන් නම් ඒගොල්ලො කරන දේවල් කරන්ට ඔයාට පුළුවනි මේ දේවල් බොහොම ලෙහෙසියෙන්ම ඉගෙන ගන්ට"

අළුපාට අඳුම් ඇඳ සිටි මිනිසා බෙන්ට කිවුවා.

බෙන් එළියට දුවලා ගියා. ඇඳුම් ඇඳගෙන දුවන එක මහ විකාරයක් වගෙයි එයාට දැනුනේ. ඒ නිසා බෙන් ඩිංගක්වත් ඒකට කැමති වුණේ නෑ.

පිට්ටනියේ උන්නු හැමෝම වගේ බොහොම විනෝදයෙන් සතුටින් කෑහසමින් උන්නෙ.සමහරක් ළමෝ ලිස්සන බෝට්ටුව පදිමින් උන්නා. ඉතිං බෙන් ලිස්සන බෝට්ටුව පදින්න ලැහැස්ති වුණා විතරයි, එයා ලිස්සලා පහලට යනවා වෙනුවට ඒකෙ හිර වුනා.

ලෝරා කියන්නෙ බෙන් ගෙ පන්තියේ එයාට එහා පැත්තෙන් ඉඳගෙන ඉන්න ගෑණු ළමයා. බෙන් දැක්කා ලෝරා ඔංචිලි පදිනවා. ඉතිං බෙන්ටත් ඕනෙ වුණා ඔංචිලි පදින්න. ඒත් බෙන් ඔංචිල්ලාවේ ඉඳගත්තා විතරයි, මෙන්න ඒක කඩාගෙන බිම වැටුණා.කොල්ලන්ගෙක් කෙනෙක් පන්තියට දුවගෙන ගියා, ගුරුතුමී එක්ක එන්ට.

"ආයෙත් ඇබැද්දියක්" බෙන් හිතුවා.ඔහුගේ ගුරුතුමී ඔහුව නැවතත් විදුහල්පතු තුමා ළඟට යවනු ඇත.විදුහල් පති තුමා බෙන් ගෙ අම්මටයි තාත්තටයි මේ ගැන කියනු ඇත. ඔහුට දඬුවම් කරනු ඇත.

ඒත් ඔහුගේ ගුරුතුමී වෙනුවට ආවෙ වෙනත් ගුරුතුමියක්. ඈ බෙන් ගේ පන්තියට යාබද හතරෙ පන්තියට උගන්වන ශෝන්බර්න් ගුරුතුමී.

"බෙන් අපේ ඔංචිල්ලාව කැඩුවා" ලෝරා පැමිනිලි කර සිටියා.

"එයා හැමවෙලාවෙම අපට කරදර ඇති කරනවා.එයාව විදුහල්පති තුමා ලඟට යවන්ට ඕනෑ. අපේ ගුරුතුමී නම් හැමවෙලාවෙම කරන්නෙ ඒකයි."

බෙන් නහය හකුළුවා ගෙන බිම බලා ගත්තා. මොකක් වුණත් ආයෙත් සැරයක් විදුහල්පතිතුමා ලඟට යන්න එයා ලැහැස්තිවෙලයි හිටියේ.එක පාරටම බෙන්ට දැනුනා මොකෙද්දෝ ඇඟ ඇතුලෙ යනවා වගේ. ඔන්න ඉතිං එයා හොඳහැටි කැරකි කැරකි කහන්ට පටන් ගත්තා.ඉස්සෙල්ලාම අත කසන්ට පටන් ගත්තා.දඟල දඟල උන්නු බෙන් ලඟට ආපු අලුත් ගුරුතුමිය බෙන් ගෙ කබායේ එල්ලිලා උන්නු කුරුමිණියෙක් අහුලා දැම්මා.

"බෙන්ජමින්, මං කියන දේ හොඳින් අහන් ඉන්ට ඕනෑ"

ඉතිං බෙන් එයාගෙ ඔලුව උස්සලා ගුරුතුමී දිහා බැලුවා. ඇඳුම් පිළිවෙළට සකසා ගත්තා. ඒත් බෙන්ට තෙරුනා එයා ඉන්නෙ ගුරුතුමීට ඇහුම්කන් දීගෙන නොවෙයි කියලා. බෙන් උත්සහ කළා ගුරුතුමී කියන දේට ඇහුම්කන් දෙන්ට. ඒත් ගුරුතුමී ඉන්න තැනට ඩිංගක් එහායින් වැට අද්දර තියෙන කොළම කොළ පාට අත්තක් රතුම රතු පාට බෙරි වලින් පිරිලා තියනවා දැක්කම ගුරුතුමීට ඇහුම්කන්දෙන්ට එයාට බැරි වුනා.එකපාරටම බෙන් කලේ බෙරි වලින් බරවුණු අත්ත එයා ලඟට ඇදගෙන ඒවා කන්ට පටන් ගත්තු එක.ඒක දැක්ක අලුත් ගුරුතුමීට හිනා ගියා. ඉතිං ඈ බෙන්ට මොකුත් නොකියාම පන්ති කාමරයට ගියා. ඈ බෙන්ට බැන්නෙත් නෑ! විදුහල්පතිතුමා ලඟට යැවුවෙත් නෑ!

එදා රෑ ගෙදර ගිය බෙන් කණ්ණාඩියක් ඉස්සරහ හිටගත්තා.බෙන් එයාගේ හකු දෙක තද කරගෙන දත් ටික පෙන්නාගෙන කණ්ණාඩියට විරිත්තන්න පටන් ගත්තා." මගේ දත් බොහොම උල්. ඒ වගේම ශක්තිමත්" බෙන් හිතුවා. ඊළඟට එයා හොඳින් බැලුවා එයාගෙ කන් දෙක දිහා. ඊටත් පස්සෙ එයාගෙ නහය දිහා.ඊලඟට මූණට වැටිලා තිබුණු කොණ්ඩය පස්සට වෙන්ට හොඳ හැටි පීරා ගත්තා.

"ඇයි අනිත් ළමයි වගෙම වෙන්න ඕනෙයි කියලා හැමෝම කියන්නෙ" බෙන් කල්පනා කලා.බෙන් අනිත් ළමයි වගෙ වෙන්න හදන හැම වෙලාවකම වෙන්නෙ මොකක් හරි ඇබැද්දියක්.එහෙම වෙන එක ගැන බෙන්ට දැනුනේ හරිම නරක දෙයක් වගෙයි.

නින්දට කලින් ඇඳුම් ගලවලා එල්ලා තැබුවා. ඊලඟට සපත්තු ගලවලා පැත්තකින් තැබුවා. දැන් බෙන්ට තව දුරටත් ඒවා ඕනෑ වෙන්නෙ නෑ.

ඊලඟ දවසෙ විවේක කාලයේදි බෙන් මාලුවෙක් ගෙනවිත් ඌව නහය උඩ සමබරව තියාගෙන හිටියා. ලෝරා යි එයාගෙ යාළුවොයි බෙන් වටෙට එකතු වෙලා මේක බලන් උන්නෙ.ඒගොල්ලො කවදාවත් කවුරුවත් එහෙම කරනවා දැකලා තිබුණේ නෑ. බෙන් ගෙ ක්‍රීඩාව ඉවර වුණායින් පස්සෙ රැස් වෙලා උන්නු ළමයි සතුටින් අත්පොළසන් දෙන්න පටන් ගත්තා.

මාළුවෝ ඉස්කෝලෙට අරගෙන ඇවිත් ඉස්කෝලෙන් බැනුම් අහන්න වුණු බව නම් ඇත්තයි. ඒත් බෙන් ඒක ඒ හැටි ගනන් ගත්තෙ නෑ. කොච්චර නරක විදියට එයාට බැනුම් අහන්ට වුණත් එයාට අනික් අය වගේ වෙන්ට බැරි බව එයා දැනගෙනයි තිබුණෙ.

බෙන් අනිත් ළමයින්ට වඩා වෙනස්. ඒක ඇත්තක්.කෙනෙක් අනිත් අයට වඩා වෙනස් වෙන එකේ ඇති වරද මොකද්ද, බෙන් එහෙම හිතුවා.

එයාට වඩා හොඳින් කල හැකි දේවල් වෙනුවෙන් කාලය මිඩංගු කරන එකෙන් අඩු තරමෙ එයාට මේ තරම් ඇබැද්දි වලට මූණ දෙන එකෙන් ඈත් වෙලා ඉන්න පුලුවන් වුණා.

අනිත් එක බෙන් දැනගෙන උන්න අනිත් කාටවත් කරන්න බැරි හුඟක් දේවල් එයාට කරන්න පුළුවන් බව. එයා දක්ෂ බව.

නහය උඩ මාළුවෙක් සමබරව තියාගෙන ඉන්න පුලුවන් කිසිම කෙනෙක් හිටියෙ නෑ. තනි රෝදයෙ බයිසිකලය පැදගෙන යන්න පුලුවන් කෙනෙක් හිටියෙත් නෑ.ඒ වගේම බෙන් තරම් හොඳට නටන්න පුළුවන් කෙනෙක් හිටියෙත් නෑ.බෙන්ගෙ අම්මටයි තාත්තටයි, එයාගෙ පන්තිභාර ගුරුතුමීටයි, විදුහල් පති තුමාටයි, අළුපාට ඇඳුම ඇඳන් ආපු කෙනාටයි නොතේරුණු බොහෝ දේවල් තිබුණා. ඒත් බෙන් එයා ගැන හැමෝටම වඩා හොඳින් දැනගෙන හිටියා.

අනිත් අය එයාව තේරුම් ගන්නෙ නැති උනාම බෙන් හුඟක් දුක් වුණා තමයි.ඒත් බෙන් හුඟක් සතුටු වුණා ආයෙත් බෙන් විදියටම ඉන්න ලැබුණු එක ගැන. ඒ හින්දා එයා හිටියෙ හරිම සතුටින්!

කතාව බැරී ලුයිස් පොලිසාර්
සිතුවම් ඩේවිඩ් ක්ලාර්ක්

පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails