ටිකිරි ටිකිරි ටිකිරිලියා
කළෙත් අරන් ලිඳට ගියා
ලිඳ වටකර කබරගොයා
ටිකිරි දැකල පැනල ගියා

කළේ දියෙන් පිරීගියා
පිරුණු කළේ ඉහළ ගියා
ටිකිරි උකුල නෙරා ගියා
කළේ උකුල උඩට ගියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා....

අතක් කළේ වටා ගියා
අතක් පහළ වැටී ගියා
මූණ බිමට නැමී ගියා
පයක් ඉදිරි බලා ගියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා....

ටිකිරි දෙවැට දිගේ ගියා
වැටේ මලක් ඉහට ගියා
ඉහේ මලක් පිපී ගියා
ටිකිරි හැඩට පෙනී ගියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා....

මලට ඇහැක් ඇදී ගියා
ඇහැට ඇහැක් ගැටී ගියා
මුතු දෙපලක් පෙනී ගියා
ටිකිරි හනික ගෙදර ගියා

ටිකිරි ටිකිරි ටිකිරිලියා....

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි
ටිකිරි ටිකිරි ටිකිරිමලී

කළේ දියෙන් ටිකිරි ටිකිරි
පිරීගියා ටිකිරි ටිකිරි
ටිකිරි උකුළ ටිකිරි ටිකිරි
නෙරා ගියා ටිකිරි ටිකිරි

ටිකිරි ටිකිරි ටිකිරිලියා....

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි
ටිකිරි ටිකිරි ටිකිරිමලී

අතක් කළේ ටිකිරි ටිකිරි
වටා ගියා ටිකිරි ටිකිරි
මූණ බිමට ටිකිරි ටිකිරි
නැමී ගියා ටිකිරි ටිකිරි
පයක් ඉදිරි ටිකිරි ටිකිරි
බලා ගියා ටිකිරි ටිකිරි

ටිකිරි ටිකිරි ටිකිරිලියා....

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි
ටිකිරි ටිකිරි ටිකිරිමලී

ටිකිරි ටිකිරි ටිකිරිලියා....

සිංදුව අහන්න

මියැසිය- සුනිල් සාන්ත
ගායනය- සුනිල් සාන්ත සමග පිරිස


සුනිල් සාන්ත

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


දවසක්දා අම්මා ප්ලම් ගෙඩි කීපයක් ගෙනාවා. දවල් බතෙන් පස්සෙ ළමයින්ට ප්ලම් ගෙඩි බෙදා දීමටයි අම්මා ලෑස්ති වුණේ. වාන්යා කිසිම දවසක ප්ලම් ගෙඩි කාලා නැහැ. ඔහු ප්ලම් ගෙඩි අරගෙන ඒවා සිඹින්ට පටන් ගත්තා. ප්ලම් ගෙඩි වල පුසුඹ බලන්ට ඔහු බොහොම සතුටු වුණා. ඒවායේ රස බලන්ට ඔහු බොහොම ආශා කළා. හැම තිස්සෙම ප්ලම් ගෙඩි ළඟින් ඔහු එහා මෙහා ගියා. කෑම කාමරෑයි කිසිවෙක් හිටියෙ නැති වෙලාවකදී, වාන්යා හොරෙන්ම ප්ලම් ගෙඩියක් අරගෙන කටේ දමා ගෙන කෑවා. දවල් කෑමට ඉස්සෙල්ලා ප්ලම් ගෙඩියක් අඩු වෙලා තියෙන හැටි අම්මා දැක්කා.අම්මා මේ ගැන තාත්තාට කීවා.

දවල් කෑමට වාඩි වෙලා තාත්තා ළමයින්ට කතා කරලා මෙහෙම කිව්වා. "ළමයිනේ ප්ලම් ගෙඩියක් කෑවෙ කවුද?" "අපි කෑවේ නැහැ." කියලා ළමයි හැමදෙනාම පිළිතුරු දුන්නා.

"මම කෑවේ නැහැ" කියලා වාන්යා කියන කොට ඔහුගේ මුහුණ ජම්බු ගෙඩියක් වගේ රතු වුණා.

"නුඹලා කෑවේ නැතිනම් බොහොම හොඳා. නමුත් කාරණය එය නොවෙයි. ප්ලම් ගෙඩි ඇතුලෙ ඇට තියෙනවා. ඒවා කන හැටි නොදන්න ළමයි ඇට ගිලිනවා. බැරිවෙලාවත් ඇටයක් ගිලුණොත් පහුවදාට ඒ ළමයා මැරිලා යාවි. මම බයවෙන්නෙ ඔය හන්දා" කියලා තාත්තා ළමයින්ට කීවා.

වාන්යාගේ මුහුණ සුදුමැලි වුණා. "නෑ, මම ප්ලම් ඇටය ජනේලයෙන් එළියට වීසි කළා" වාන්යා තාත්තාට කිවුවා.

එතකොට හැමදෙනාම හිනා වුණා. වාන්යා විතරක් ඇඬුවා.

[උපුටනය- ලියෝ තෝල්ස්තෝයි ළමා කතා| ප්‍රකාශනය -ප්‍රෝග්‍රසිව් පබිලිෂින් හවුස්]

ලියෝ තෝල්ස්තෝයි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ලොව අරුම පුදුම හැකියාවන් ඇති අය ගැන අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ඉතින් ඔන්න අද අපි මේ කියන්නට යන්නෙ තමන්ගේ හම ඇදෙන තරම හින්දා ගිනස් වාර්තාවක් පිහිටවූ අපූරු හාදයෙක් ගැන. ඔහු ‘ගැරී ටර්නර්’. ඔහු ගිනස් වාර්තාව තැබුවේ 1999 ඔක්තෝබර් 29 වෙනිදා. ඒ තමන්ගේ උදරයේ හම සෙ.මී. 15.8 ක් තරම් වූ දුරක් ඇදීමෙන්.

"මං කුඩා කාලෙදි, ඒ කියන්නෙ මට වයස අවු. 4ක් 5 ක් වෙද්දි මගේ දෙමව්පියෝ දැනගෙන හිටියා මට තියෙන්නෙ අසාමාන්‍ය සමක් බව. මගේ යාළුවෝ පවා පුරුදු වෙලා හිටියා දුවගෙන ඇවිත් මගේ සම අදින්න." ඔන්න එහෙමයි ගැරී එයාගෙ මේ විස්මිත සම ගැන කියන්නෙ. වෛද්‍යවරුන් කියන හැටියට නම් ඇත්තෙන්ම මෙය රෝගි තත්වයක්. ඔහුගේ සම සහ ශරීර අභ්‍යන්තර අවයව සහ බන්ධනි හා පෑහෙන්න ඕනෙකරන සම්බන්ධිත පටක වර්ධනයේ අක්‍රමිකතාවක් හේතු කොට ගෙන තමයි ඔහුට මේ රබර් සම හිමි වෙලා තියෙන්නෙ. මේ සම කොතරම් සුවිශේෂි ද කියනව නම් කොතරම් ප්‍රමාණයක් ඇදීමෙන් පසු වුවත් එකම රැල්ලක් හෝ නැම්මක් ඇති නොවන පරිදි යථා තත්වයට පත් වීමට හැකියාව තියෙනවා. ඔහුගේ මේ විස්මය ජනක හැකියාව නිසාම, ඔහු සුලබව ඇති වෙන අස්ථි සන්ධි පැනීම් සහ කොන්දෙ අමාරු වලින් පෙළෙනවා.

ගැරී කියන හැටියට නම් මුලින් ඔහු මේ සන්දර්ශන සියල්ලක්ම පාහේ හුදු විනෝදය පිණිස පමණක් කල බවයි. එහෙත් කල් ගත වෙද්දි ශරීර සුවතාවයේ දුෂ්කරතා නිසා ඔහු සිය රැකියාව වූ ඉදිකිරීම කටයුතු අත හැරල පූර්ණ කාලීන සංදර්ශකයෙක් බවට පත් වුණාලු. ඒ වගේම ඔහු කැමතිම අංගය ඔහුගේ ගෙලෙහි සම ඇද ඉන් කට වසා ගැනීම බවත් පවසනවා. වෛද්‍ය වරු කියන්නෙ නම් කල් ගත වෙද්දි ගැරී ගේ හම තව තව ලිහිල් සහ නම්‍යශීලි වන බවයි.ඉතින් ඔහුගේ මේ අපූරු සම්පත භාවිතයෙන් ඇදහිය නොහැකි තරමේ විස්මය ජනක ඉදිරිපත් කිරීම් තව තවත් කරන්නටයි ගැරී නම් බලාපොරොත්තු වෙන්නෙ.

සඳුන් රාජකරුණා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


හුඟක් පොඩ්ඩෝ හිතාගෙන ඉන්නෙ ගණිතය කියන්නේ හරිම කරදරයක් කියලා. ඒත්, ගණිතය කියන්නේ හිතා ගන්නත් බැරි තරමට අපූරු මැජික් එකක්! මේ මැජික් වල රහ වැටුනොත් නම් පොඩ්ඩො ගණිතය එක්ක මීට වඩා හුඟාක් යාළු වෙයි. ඔන්න ඉතිං අපි ගණිත මැජික් දැන ගන්නත් එක්කලා ඔයාලා කවුරුත් දන්න කියන යාළුවෙක් එක්ක කතාබහ කළා. ඒ තමා Mr. Nine! මේ ඒ රසවත් කතාබහෙන් කොටස් කීපයක්.

අපි: Mr. Nine, ඇත්තටම ගොඩක් අය කියනවා ඔයා හරි නපුරුයි කියලා....

අපිට මුලින්ම කියන්නකෝ මේ කතාව ඇත්තක්ද කියලා....

Mr. Nine: හපොයි පිස්සුද? ඔය කතාව මහම මහ බොරුවක්නේ.
මගේ චරිතය ඝාතනය කරන්න හදපු එකක්. මට කරන්ඩ පුළුවං අපූරු වැඩ ගැන දන්නව නම් කිසිම කෙනෙක් ඔය වගේ දෙයක් කියනවා තියා හිතන්නෙවත් නෑ .

අපි: මොනවද අප්පේ ඔය කියන අපූරු වැඩ?

Mr. Nine: හා..... එහෙනං..... ලේසි එකකින් පටන් ගන්නම්කෝ... ඕනෙ ඉලක්කමකින් මාව වැඩි කරන්න. උත්තරයේ ඉලක්කම් එකතුකලාම ඒ එන උත්තරෙත් නවය.

අපි: ආං.. කෝ.. බලමු....
9x11=99
9+9=18
කෝ ඉතිං උත්තරේ දහ අටනේ?

Mr. Nine: හරි දැං දහ අටෙ ඉලක්කම් දෙක එක්තු කරන්නකො...

අපි: 1+8=9
ෂා ඔව්මයි... ඉන්න තව ඒවා බලමු....

9x25=225
2+2+5=9

9x22=198
1+9+8=18
1+8=9

ඒකනං හරිම මැජික්...!

Mr. Nine: ඕක මොන මැජික්ද මෙන්න තවත් වැඩක්... සංඛ්‍යාවක් ලියන්න.

අපි: ම්........853..

Mr. Nine: රායිට් දැං ඒක අග ඉඳන් මුලට ලියන්න

අපි: 358 යි නේ.....

Mr. Nine: දැන් වැඩි ගානේන් අඩු ගාන අඩු කරන්න

අපි: 853 -358 නේ? ම්.... උත්තරය 495....

Mr. Nine: දැං ඔය ඉලක්කම 9න් ඉතුරු නැතුව බෙදෙනවා....

අපි: ඔහ් හොඳටම ෂුවර්ද...?

Mr. Nine: ඉර හඳ වගේ

අපි: ම්..... බලමු 495 / 9 = 55
ඇත්ත නේන්නම්..
බලමු තව එකක්....
ම්... 5912 - 2195 = 3717...
ඒක 9 බෙදෙනවද බලමු...
3717 / 9 = 413
දෙයියනේ හරි පුදුමයි....

Mr. Nine: මේකත් බලන්න..... ඔන්න මේකනං රාජකීය වැඩක්....

987654321 x 09 = 08888888889
987654321 x 18 = 17777777778
987654321 x 27 = 26666666667
987654321 x 36 = 35555555556
987654321 x 45 = 44444444445
987654321 x 54 = 53333333334
987654321 x 63 = 62222222223
987654321 x 72 = 71111111112
987654321 x 81 = 80000000001

නවයෙ ඉඳං අවරෝහණ ක්‍රමයට ඉලක්කම් නවය පෙළට ලිවුවහම එන ඉලක්කම තමා 987654321..... ඕං ඒ යෝදයව මගේ ගුණාකරවලින් වැඩි කරගෙන ගිහිල්ලා තමා ඔය තියෙන්නේ. පේනවා නේද වැඩේ?

හැමතිස්සෙම උත්තරේට එන ඉලක්කමේ මුලයි අගයි අංක දෙකෙන් පෙන්නන්නේ අර ගුණකරපු ඉලක්කමමයි. දැක්කා නේ? ඒදෙක අතර තියෙන්නෙත් ඉලක්කම් නවයයි.... ඒ මැද තියන ඉලක්කම් වලත් අපූරු සංඛ්‍යා රටාවක් හොඳට බැලුවොත් ඔයාලට පෙනේවි.

අපි: ඔහ්... Mr. Nine, අපට වතුර ටිකක් දෙනවද?

Mr. Nine: (තමාටම) මැජික් දැකලා උගුර කට වේලිලා ඇති.

චාමිනී සෙව්වන්දි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


එක් සිසුවෙක් සිය ගුරුතුමා ළඟට ගොස් "ගුරුතුමනි..., ගොඩක් කතා කිරීමෙන් හොඳක් සිද්ද වෙනවද?" යැයි ඇසුවේය.

සිය සිසුවා දෙස බැලූ ගුරුතුමා, "මැඩියෝ, දිවා රෑ හඬ නගනවා. නමුත් කවුරුත් උන්ට අවදානය යොමු කරන්නේ නැහැ. ඒත් බලන්න උදේ පාන්දර හඬලන කුකුළා දිහා.. දවසේ වැදගත් මොහොතක ඇහෙන උගේ හඬ නිසා සියලූම දෙනා අවදි වෙනවා.. වැඩියෙන් කතා කිරීමට වඩා වැදගත් වෙන්නෙ, සුදුසු දේ සුදුසු වෙලාවට පමණක් පැවසීමයි...", සිය සිසුවාට තේරුම් බේරුම් කර දුන්නේය.

(ජන කතාවක් ඇසුරිනි.)
පරිවර්තනය - මුතු පබා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ක්‍රි.ව. 79 අගෝස්තු 24 වන දිනය ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සටහන් වූ දිනයක්. ඒ කුමක්ද?


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ජෝර්ජියාවෙන් ලැබෙන වාර්තාවකට අනුව මිහිමත වෙසෙන වයස්ගතම පුද්ගලයා ජෝර්ජියානු ඈත කඳුකර පළාතේ - සෂිරෙ හි ජීවත් වන බව හෙළි වේ. ඇයගේ වයස මෙ වන විට අවුරුදු 130 කි. නමින් ඇන්තිසා ක්විචාවා නම් වන ඈ 1880 ජූලි 8 වනදා උපත ලද බවත් දැනට බටහිර ජෝර්ජියාවෙ 40 වියැති සිය මුණුබුරෙකු හා කඳුකර පළාතක වෙසෙන බවත් වාර්තා වෙනවා.

ඇගේ වයස සනාථ කල හැකි උප්පැන්න සහතිකයක් මේ වන විට ඈ සතුව නැහැ. එහෙත් ඒ බව තහවුරු කල හැකි සෝවියට් යුගයේ ලියවිල්ලක් ඈ සතුව තිබෙනවා. ඇයට එක් පුතෙකුත්, මුණුබුරන් දස දෙනෙකුත්, මී මුණුබුරන් දොළොස්දෙනෙකු සහ මී- මී මුණුබුරන් සය දෙනෙක් සිටිනවා.

සිය 130 වෙනි වසර සම්පූර්ණ කල ක්විචාවා තවමත් යහපත් සිහි කල්පනාවෙන් යුතු අතර ඇගේ ප්‍රියතම විනෝදාංශයක් වූ ගෙතුම් කලාවේ තවමත් යෙදී සිටින්නේ යැයි ඇගේ අසල්වාසීන් මෙන්ම ඇගේ පවුලේ අය ප්‍රකාශ කරනවා. ඇවිදීමේදී සහ දිගු වේලාවක් ඇඳෙහි වැතිර සිටීමේදි යම් යම් දුෂ්කරතාවන් තිබුණත්, කිසිවෙකුගේ උදව් උපකාරයකින් තොරවම ගෙවත්තෙ ඇවිදීම තවමත් ඇයට තනිව කළ හැකිය.

ඉතින් ඇයගේ මේ විස්මිත උපන්දිනය සමරමින් පසුගිය ජූලි 8 වෙනිදා ඇගේ නිවසේ උපන්දින සාදයක් පැවැත් වුණා. ජෝර්ජියානු ජන සංගීතයෙන් මෙ උත්සවය හැඩ ගැන් වුණු අතර සම්ප්‍රදායික ආහාර වට්ටෝරු අනුව සැකසුනු කෝන් කැඳ සහ කුළු බඩු සහ පැලෑටි විශේෂ යොදා සැකසූ කුකුළු මස් ව්‍යංජනයකින් පැමිණ සිටි සියළු දෙනාට සංග්‍රහ කරන්නත් ඇගේ මුණුබුරු මිනිබිරියෝ අමතක කළේ නෑ.

සුමුදු තිවංක ගමගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


පුංචා හිටියේ ඔංචිලි පැද පැද. "පුංචෝ... පුංචෝ.. මගෙ පොඩි කොල්ලෝ" ඔන්න ආත්තම්මා පුංචව හොයනවා.
කතාකරන විදියෙන් පුංචා දැනගත්තා අත්තම්මාට මොකක් හරි වැඩක් කරවගන්න ඕනෙ වෙලා කියලා.

"ආතම්මේ, මං මිදුලේ" පුංචා උත්තර දුන්නා.

"අනේ, මගෙ හොඳ කොල්ලා වගේ ගිහිං ගුණේ සීයගෙ කොරටුවෙන් බුලත් කොළ දහයක් විතර ඉල්ලං වරෙං මයෙ පුතේ" ඔන්න අත්තම්මා වැඩේ පැවරුවා පුංචට.
"හ්ම්... හරි" එහෙම කියලා පුංචා කෙලින්ම දුවල ගියේ කන්ද පල්ලෙහාට. ඒ කියන්නෙ ගුණේ සීයගෙ ගෙදරට.

පුංචා යද්දි, මිදුලේ අඹ ගහ පාමුල ඉඳගෙන ගුණේ සීය මොකද්දෝ ලොකු වැඩක්. ළං වෙලා බලද්දි ගුණේ සීයා ඊයම් පාට පෙට්ටියක් අතෙ තියාගෙන මොන මොනවදො කරනවා.

"සීයේ, මේ මොකද්ද මේ?"

"පරණ රෑඩියො එකක් නෙ පුංචො, අවුරුදු පහළොවක් විතර පරණයි මයෙ හිතේ"

"ඉතිං මේක වැඩ කරනවද තාම?"

"ඔව්, ඔව්... නැතුව ..නැතුව"

"ඉතිං සීයේ රෙදි කෑල්ලක් අතේ තියන්ද රේඩියෝව අහන්නෙ??"

"නෑ.. නෑ..පුංචෝ. මේං මේකට හොඳහැටි දූවිලි අල්ලලා. මං මේ ඒක පිරිසිදු කොරන්ටයි ලෑස්ති වුණේ. ඉතිං පුංච මොකද මේ පැත්තේ?"

"ආතම්ම කිවුව කොරටුවෙන් බුලත් කොළ දහයක් විතර ගෙනෙන්ටයි කියලා"

"ආහ්, ඩිංගක් හිටු, මං කඩාගෙන එන්නං"

"හරි සීය කොළ කඩාගෙන එන්නකො එහෙනං. මං මේක පිරිසිදු කරන්නං සීයා එනකල්"

"අන්න ඒක නම් හොඳ වැඩක් පුංචෝ. ඕං හොඳට වැඩේ කෙරෙන්නට ඕනෑ එහෙනං ඈහ්.."

ගුණේ සීයා කොරටුව පැත්තට ගියා. පුංචා වැඩේ පටන් ගත්තා.

"අම්මෝ,හැබෑටම මේකෙ තියෙන කුණු..!! ගුණේ සීයටනම් හුඟ වෙලාවක් යයි අද මේක ඉවරකරන්න"

ඉස්කුරුප්පුව ළඟ තිබුණු නිසා ඇණ මුරිච්චි ගලවා ගන්න එක පුංචට බොහොම ලේසි වුණා.

ඉතිං ඊළඟට පුංචා දුවලා ගියේ පොඩි ලිඳට. එතනින් වතුර බාල්දියකුත් ඇදගත්තා අමාරුවෙන්. ගේ පිටිපස්සෙ ඇවිදලා පරණ බුරුසු කෑල්ලකුත් හොයා ගත්තා. ඊට පස්සෙ රේඩියොවේ කෑලි ඔක්කොම එක එක ගලවලා බුරුසුවෙන් මැදලා හොඳට හේදුවා. හෝදලා වේලෙන්න තිබ්බා. දැං වැඩේ ඉවරයි ඔන්න.

එතකොටම වාගේ ගුණේ සීයත් ආවා කොරටුවේ ඉඳලා.

"මයෙ පුතා වැඩේ අහවර ද?" ගුණේ සීය ඇහුවා පුංචගෙන්.

"ඔන්න සීයේ, දැන් සීයට වැඩේ ලේසියි. කුණු දූවිලි බිංදුවක් වත් නෑ. ආං බලන්න අර තියෙන්නෙ හොඳට දිලිසි දිලිසී…..හෙහ් …..හෙහ්" පුංචා කිවුවා.

ගුණේ සීයට බොහොම සතුටුයි.

"බොහොම පිං පුංචෝ උදව්වට!"

"ආපෝ..ඒක ඒ හැටි දෙයක් නෙමෙයි සීයේ..පිං මොකටද? ඕං එහෙනම් මං යනව" එහෙම කියලා පුංචා බුලත් ටිකත් අරගෙන පියාඹලා ගියා.

" මතක ඇතුව කෑලි ටික හොඳට වේලුණාම තිබුණු විදියටම හයිකරගන්න... සීයේ" ගෙදර යන්න කන්ද නගින අතරෙ පුංචා ආයෙත් හැරිලා ගුණේ සීයට කිවුවා.

" කෑ..කෑ.. කෑලි හයි කරන්න? හපොයි දෙයියනේ....."

කලබල වුණු ගුණේ සීයා දිව්වා අඹගහ පාමුලට.

අන්තිමේදි වතුර බාල්දියයි බුරුසුවයි,ගලවපු රේඩියොවෙ පොඩි පොඩි කෑලි ටිකයි දැක්කම තමයි පුංචාගේ පිරිසිදු කිරීමේ තරම ගුණේ සීයට හොඳ හැටි තේරුණේ.

සිත්තම- රුවන්මලී

ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


මෙවර තේරවිලි දෙකක්. කවියෙන්ම තෝරන්නට හැකි නම් අගෙයි.

1. එනවා නේනවා තෝරා කියන් මට
ලුංඩි කඩේ කද තෝරා කියන් මට
පංච නෙලුම් මල තෝරා කියන් මට
ලුංඩි පුරුෂයා තෝරා කියන් මට

2. නැත සැවුලා කවදාවත් අඬලන්නේ
කොට වකලා කටු ආඳයි ගස්සන්නේ
පතල මුලා බිජු ලාලයි ලොකු වෙන්නේ
ඒ බිජු කන්න මම ආසාවෙන් ඉන්නේ


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක් ලෙස කුට්ටම් පොකුණ හඳුන්වන්නට පුළුවන්. කුට්ටම් පොකුන පූජනීය ස්ථානයක් නොවුණත් වන්දනාකරුවන් විසින් මහත් භක්ත්‍යාදරයෙන් නරඹන ස්ථාන වලින් එකක්. අනුරාධපුරයේ අභයගිරි විහාරයට නුදුරු ස්ථානයක පිහිටුවා ඇති මේ කුට්ටම් පොකුණ තනා තිබෙන්නෙ අභයගිරි වාසි භික්ෂූන්ගේ ස්නානය සඳහා යි. එකම පවුරකින් වටවුණු දැකුම්කළු-

-පොකුණු දෙකකින් මෙය සමන්විත වීම නිසාම මෙයට කුට්ටම් පොකුණ ලෙස නම ලැබී තිබෙනවා. මේ පොකුණු දෙක, එකක් අඩි 51ක බැගින් වූ සමාන පළලින් යුක්තයි. එසේ වුණත් එක් පොකුණක් තරමින් විශාල වන අතරම අනෙක තරමින් කුඩා පොකුණක්. ලොකු පොකුන 132 ක් දිගින් යුතු වන අතර පොඩි පොකුණ දිගින් අඩි 92 ක් වෙනවා. ඉවුරු බැමි නිමවා තියෙන්නෙ ගල්වරි පැන්නීමෙන් බැමි මාලා 3 ක් සහිතව. පොකුණේ කට පිහිටා තිබෙන්නේ පොළෝ මට්ටමින් අඩි 3 ක් පමණ පහළට වන්නටයි. ලොකු පොකුණෙ මධ්‍ය ගැඹුර අඩි 17 කුත් අඟල් 9 ක්. කුඩා පොකුණේ ගැඹුර අඩි 14ක්. එසේම ලොකු පොකුණට බැසිය හැකි වන පරිදි අලංකාර සෝපානමාලා හෙවත් පඩිපේලි තුනක් නිර්මාණය කරල තියෙනවා. කුඩා පොකුණට පඩි පේළි දෙකක් බැසීමෙන් ඇතුළු විය හැකියි.

මෙම පඩි පේලි පළලින් අඩි 5 බැගින් වන අතර පැන්නීම් සහිත මාලා තුනකින් යුතුයි. අපූරු ලියකම් සහිත ඉතා අලංකාර කෝරවන්ගල් භාවිතාකොට ඒවා නිමවා ඇති බව අපට දකින්නට පුළුවන්. පොකුණු වේදිකාවේ සිට පොකුණු පතුල දක්වා දිවෙන කැටයම් රහිත පඩි පේලියක්ද, සෑම පඩි පේළියකම දෙපස කුඩා කුලුණු දෙක බැගින් දැකගන්න තිබෙනවා. කුට්ටම් පොකුණට අපූර්වත්වයක් එක් කරමින් ඒ කුළුණු මුදුනෙහි විශාල පුන්කලස බැගින් ඇති අතර, මේ පුන්කලස් දරා සිටින්නෙ නෙළුම් මල් කැටයමකින්. මෙම පුන්කලස් කිසිදු කැටයමකින් තොරව නිමවා ඇතිමුත් පුන් කලස් මුදුන් නෙළුම් කොළ සහ නෙළුම් පෙති වලින් කැටයම් කර තිබේ.


කුට්ටම් පොකුණ ප්‍රතිසංස්කරණයට පෙර


පොකුණු යුග්මය එකිනෙක සම්බන්ධ වෙන පරිදි පොකුණු වල යටින් පිහිටි කානුවක් දැකිය හැකියි. කුඩා පොකුණේ මෙම කානුව හරහා ලොකු පොකුණ වෙත ජලය ලබා දීම කෙරෙනවා. එසේම කුඩා පොකුණේ උතුරු කෙළවරේ අඩි 6කින් යුතු කුඩා වතුර කෙමියක් ද දකින්නට පුළුවන්. මේ කෙමියේ මාර්ගයෙන් වෙනත් ස්ථානයක සිට පොකුණට ජලය සපයාගෙන ඇති බව කියවෙයි. එසේ පොකුණට පිටින් එන ජලයේ වැලි මඩ ආදිය එකතු වී ගලා එනු පිණිස අඩි 4 ක සමචතුරස්‍රාකාර කුඩා බිසෝ කොටුවක් පවා දකින්නට පුළුවන්. එසේම පොකුණු වල එකතුවන ජලය කුඩා පොකුණේ ඇති ඇල මාර්ගයක් ඔස්සේ හිස්කල හැකිය.

මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ එහි ඇති පඩි පේළි මත හිඳගෙන බඳුන්වලින් ජලය ගෙන ස්නානය කල හැකි පරිදි පොකුණු වල ඉවුරු තනා තිබීමයි.

කුට්ටම් පොකුණ අවට භූමිය පොළොව මට්ටමින් අඩි 3 ක් පමණ උස් වූ ප්‍රාකාරයකින් සමන්විතයි. එය සීමා පවුර ලෙස නම් කර ඇත. එහි බටහිර පැත්තේ පඩි පේළි තුනක්ද නැගෙනහිර පැත්තේ පඩිපේළිය බැගින්ද තනවා තිබෙයි.

ජලය ලබා ගැනීමටත් ජලය පිට කිරිමටත් පැරණි කලා කරුවා සතු වූ ස්වභාවධර්මය පිළිබඳ මනා දැණුමත්, වාස්තු විද්‍යාවේ නිපුණත්වයත් විදහා දක්වනා මාහැඟි දායදයක් ලෙස කුට්ටම් පොකුණ අදටත් අපට දැකගත හැකියි.

නීල්යා කාරියවසම්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


පිනවන දුටු දන සෑම
ගඟ ලඟ පිහිටි කදීම
තුරුපෙල අවට සැදීම
යුත් සෙවනැල්

ගන මේ කැලෙව් දිලීම
විහඟුන් මත රැව්දීම
සුළඟින් පත් ලෙලදීම
ඇති හැමකල්

යන එන දන සැමගේම
එහි ඉඳ නිවී සැනසීම
දස දිග අතු විහිදීම
තිබෙන විසල්

දෙනිපිටියට ඉතාම
වටිනා මහ නුග දුම
බලයකි එහි සිත් පේම
නිලඹර දුල්

සැමවර දන මන නන්ද
පලබර පුලුපු උයන්ද
තෙක වතු කුඹුරුවලින්ද
සැදි දෙපසේ

පෙම කරවන නිතියෙන්ද
සල්පිල් සහ ගෙවලින්ද
එහි සරණා මැතියෙන්ද
සැණ කෙලි සේ

කවියර බඩු සිතියන්ද
දැනගත් සිපි ඇදුරන්ද
සැදි දෙනිපිටිය නමින්ද
යුත් පියසේ

නුගතුර තුනු රුසිරෙන්ද
පලකර සක් දෙවියන්ද
පරසතු රුක විලසින්ද
නිබඳ දිසේ

ගජමන් නෝනා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


කාලා පළතුරක්
පසට දැමුවොත් ඇටයක්
වැටුනු පසු වැස්සක්
හිමින් මතුවේ සිඟිති ගොබයක්

පස තුලට ඇදෙනා
ටිකිරි මුලකින් නා
රස අහර උරනා
ලපටි පැලයක් කෙමෙන් නැගෙනා

පැමිණි විට නිසි කල
වදුලේ පිපෙයි නෙක මල
ඒ හා වැඩෙන පල
පුරයි ලෝ වැසි සතුන්ගේ දොල

කැපුමට එන තමන්
දැව වැද්දන්ට කුළුනින්
''පොරෝ මිට'' සමගින්
සෙවණ දෙන සුදනෝ වෙතිද අන්

පස ජලය වාතය
සතුන් හා සෙසු ජීවය
පවතිනු උගහටය
ගසින් තොර නම් සොබා දිනිතිය

ගහකොල සම්පතකි
ලොවම රකිනා දෙවියෙකි
ඒ රැක්ම පිය සකී
ඔබම ඔබ දිවි රැක ගැනීමකි

[මහේෂ් ප්‍රසන්න රත්නායක. 7 වසර.
උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කරපු 'පුබුදු' සඟරාවෙන්.]

මහේෂ් ප්‍රසන්න රත්නායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට වාසස්ථානයක් සැපයීම. ඒත් ඇතැම් සුවිශේෂි කුරුළු විශේෂයන්හි කුරුල්ලන් පවා කූඩු හදන බව ඔබ දන්නවාද? ඔන්න අද අපි කියන්නට යන්නේ ඒ ගැනයි. මේ කුරුල්ලන් හඳුන්වන්නේ "බවර්බර්ඩ්" කියලා. ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගීනියාවේ. මේ කුරුල්ලෝ කූඩු තැනීමට සහ සැරසීමට අපූරු දස්කමක් දක්වනවා.

ඒගොල්ලන්ට "බවර්බර්ඩ්" කියන නම ලැබිල තියෙන්නෙ මේ හදන අපූරු කූඩුව නිසාමයි. හැබැයි මේ "බවර්බර්ඩ්" කුරුල්ලෝ කූඩු හදන්නෙ විශේෂ හේතුවකට. ඒ තමයි කිරිල්ලියන් බොහෝ ගණනක් ආකර්ෂණය කර ගැනීම. බිත්තර දැමීම, බිත්තර රැකීම සහ පැටවුන් රැකබලා ගැනීම කරන්නේ "බවර්බර්ඩ්" කිරිල්ලිය තනිවම. බිත්තර දමන කාලය ආවම ඒ සඳහා සුදුසු තැනක කූඩුව සෑදීම කරන්නෙත් කිරිල්ලිය විසින්මයි.


ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගීනියානු උතුරු දූපත් වල පිහිටි කඩා ලඳු සහිත ප්‍රදේශ, වැසි වනාන්තර සහ වළාකුලු වනාන්තර ආශ්‍රිතව බවර්බර්ඩ් කුරුලු විශේෂ 18 පමණ ජීවත්වෙනවා.ඔවුන් එකිනෙකා වෙනස් වෙන්නෙ පාටවලින්, හැඩයෙන් සහ තරමින්. ඒ වගේම හොටයේ හැඩයන්, පිහාටු, කරමල් සහ වලිග පිහාටු වලත් විවිධත්වයක් දකින්නට පුළුවන්.


අඩි 6 ක් හෝ 7 ක් පමණ දිගින් හා පළලින් යුතු ඉතා පිරිසිදු බිම් ප්‍රදේශයක් තමයි මේ කූඩුව හදන්න ඔවුන් තෝරාගන්නේ. බොහෝ විට කූඩුවේ සැකිල්ල සාදා නිමකරන්නට සතියක පමණ කාලයක් ගත වෙනවා.මේ සැකිල්ල සමන්විත වෙන්නෙ කුඩා කෝටු කැබලි දහස් ගණනකින්.


බවර්බර්ඩ් විශේෂ අතුරින් සැටින් බවර්බර්ඩ් විශේෂයට අයත් කුරුල්ලන්ගෙ කූඩු ඉතාමත් ආකර්ෂනීය සහ අලංකාර නිර්මාණයක් විදියටයි සැලකෙන්නෙ.කූඩුව බොහොවිට කුඩා පියස්සක් සහිත ලෙනක ස්වරූපයක් නිරූපණය කරනවා. පියස්ස ඔසවා තබන්නට කෝටු කිහිපයක් භාවිතා වෙනවා කුළුණු ආකාරයෙන්.ඒ වගේම කූඩුවේ උස් වූ බිත්ති සැකසෙන්නෙ කුරුල්ලන්ගෙ ඇලෙන සුලු ඛේටයෙන් සහ පලතුරු පල්පයකින්.


කූඩුවේ සැරසිලි ලෙස භාවිත වෙන්නෙ අවට පරිසරයෙන් සොයා ගන්නා වියළි කොළ වර්ග, වර්ණවත් මල් සහ පොහොට්ටු, බෙරි වර්ග, පිහාටු, බෙලිකටු,කුරුමිනි පොතු ආදියෙන්.ඒ විතරක්ම නෙමෙයි, ප්ලාස්ටික් බෝතල මූඩි, වීදුරු කැබලි,කඩදාසි වැනි දේවල් පවා සැරසිලි ලෙස භාවිත කරන අවස්ථා දකින්න පුළුවන්. බවර්බර්ඩ් කුරුලු විශේෂය අනුව ඔවුන් සැරසිලි වලට දක්වන රුචිය වෙනස්වෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණක්.


නීල්යා කාරියවසම්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 
Related Posts with Thumbnails