එකමත් එක කැළෑවක කෙළවරට වෙන්න ගෙයක් තියෙනවා. මේ ගෙදර ජීවත් වෙන්නෙ දුඹුරු පැහැ ලොකු වලහෙකුයි, මීයො රංචුවකුයි. ගෙදර පිටුපස වත්තක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගේ ඉදිරිපස ටිකක් ලොකු බංකුවක් තියෙනවා. වලහා හරිම කැමතියි මේ බංකුවට වෙලා හිරු බැස යන අන්ඳම බලන්න.

”මේ විදිහට ජීවත් වෙන්න මම හරිම කැමතියි....” වලහා හිමිහිට කීවා. ”මට ඕනෑ කරන හැමදේම මට තියෙනවා....”

”අපිත් කැමතියි මෙහෙම ජීවත් වෙන්න.. අපිට ඕනෑ කරන හැමදේමත් අපිට තියෙනවා.. ඒ ඔක්කොටම වඩා අපිට ඔයා ඉන්නවා....” මීයෝ රංචුවත් උත්තර දුන්නා.

වසන්තය

අද හරිම ලස්සන කාලගුණයක් තියෙන්නෙ.. ඒක නිසා මට ඕනෑ අද දවසම වත්තෙ වැඩ කරන්න..” යැයි කීව වලහා, වත්තෙ විශාල බිම් පෙදෙසක් සුද්ද කරලා, බඩඉරිඟු හිටෙව්වා. ඉදිරිපස මිදුලෙ සූරියකාන්තා මල් ඇට පැළ කරා.

”අපි මොනවද කරන්න ඕනෑ ?” මීයෝ රංචුව වලහගෙන් ඇහුවා.

”ඔයාලට පුළුවන්නද කැරට් ඇටයි, බෝංචි ඇටයි හිටවන්න ?”

”හුරේ.. අපිට පුළුවන් ඒ වැඩේ මුළු දවසම වුණත් කරන්න..” මීයෝ රංචුව සන්තෝසෙන් උත්තර දුන්නා.

ඊටපස්සෙ බෝංචි ඇටයි, කැරටුයි පැළ කරපු මීයෝ ටික ඒවට වතුරත් දැම්මා.

”කවුරුත්ම අපේ කැරට් පැළ හොරකම් කරන්න එන්නෙ නැතිවෙයි කියලා අපි හිතමු. හවස ගෙදර ගිය මී රංචුව කසු කුසු ගෑවා.

එකපාරටම අඳුරු වළාකුළක් ඇවිත් මුළු අහසම වසාගත්තා.

”ලොකුම ලොකු වැස්සක් එන්නයි යන්නෙ..” වලහා කීවා.

”අම්මෝ.... ! ඔන්න අයිස් කැටත් වැටෙනවෝ....” මී රංචුව කෑගහගෙන ආයෙමත් ගේ ඇතුළට දුවගෙන ගියා..

වැස්ස පෑයුවට පස්සෙ වලහා මීයොත් සමග නැවතත් වත්තට ගියා.

”මොකක් නමුත් මෙතැන සිද්ද වෙලා තියෙනවා..” වලහා බඩඉරිඟු පාත්තිය දිහා බලාගෙන කීවා. ”කාගෙද මේ අඩි පාරවල් ?”

”ආ.... මෙන්න බලන්නකෝ.. කවුරු හරි අපේ කැරට් පාත්තියෙත් ඉඳගෙන ඉඳලා තියෙනවා....” මීයෝ රංචුව කීවා.

”අඩි පාරවල් ගිහින් තියෙන්නෙ නම් කැලෑව ඇතුළට.. කවුද මේ වැඩේ කරන්න ඇත්තෙ..” වලහා හිතන්න පටන් ගත්තා..

ගිම්හානය

”පුදුම රස්නයක්නෙ තියෙන්නෙ..” මීයෝ රංචුව දහඩිය පිසදාමින් කීවා.. ” අහස නිල්ම නිල් පාටයි.. වළාකුලක් පේනතෙක් මානයක නෑ.. ඉරේ රස්නෙට අපිව පිච්චෙනවා..”

”මම දන්නවා රස්නෙට මොනවද කරන්න ඕනෑ කියලා.. මේ වගේ වෙලාවට තමයි අපි පීනන්න ඕනැ..” වලහා මී රංචුවට කීවා.

”අන්න නියම අදහසක්.. යමු යමු.. අපි යමු වැවේ පීනන්න..” මී රංචුව ගත් කටටම කීවා..

”පීනලා ඉවරවෙලා වැල්ලෙ සෙල්ලම් කරමු.. මම මාළු අල්ලන්න බිලීපිත්තකුත් ලෑස්ති කරන්නම්.. ඊටපස්සෙ මම දුඹුරු පාට වෙනකල් අව්ව තැප තැප මාළු අල්ලනවා..” වලහා කීවා.

”දුඹුරු පාට ? මෙයා දැනටමත් දුඹුරු පාටයි නේ..” මී රංචුව එක එක්කෙනාගෙ මූණු දිහා බලාගෙන ප‍්‍රශ්න කළා.

කළු වළාකුළු පාවෙලා ඇවිත් ඉර වහගත්තා. එකපාරටම හයියෙන් ගොරවන්න පටන් ගත්තා.

”විදුලිත් කොටනවා..” වතුරෙන් එළියට ආව මී රංචුව අහස දිහා බලාගෙන කීවා.

”ඔක්කොමලා ඉක්මණට බඩු ටික එකතු කරගෙන මේ පඳුර යටට එන්න.. වැස්ස වැඩි වෙන්නයි යන්නෙ..” වලහා මීයන්ට කතා කරන ගමන්, නොතෙමෙන්නට පඳුර යටින් රෙද්දක් සවි කළා.

වැස්සෙන් බේරිලා රෙද්ද යට හිටපු වලහට සහ මී රංචුවට තේරුණා තවත් කවුදෝ අනවසරයෙන් එයාලා ළඟ ඉන්න විත්තිය.

”අනේ අනේ *බැජර්.... ඔයා මොනවද මෙතැන කරන්නෙ ?” වලහා ඇහුවා.

”හ්ම්.... විශේෂ දෙයක් නෑ..” බැජර් උත්තර දුන්නා.

හේමන්නතය

”මම අද යනවා බඩඉරිඟු ගලවන්න....” ලොකු කූඩයක් අතට ගන්න ගමන් වලහා කීවා.

”එතකොට අපි ?”

”ඔයාලට පුළුවන් බෝංචි වල සහ කැරට් වල ඵලදාව නෙලන්න..”

”අයියෝ ! මෙන්න......” මී රංචුව පුදුමයෙන් කෑ ගැහුවා. ”කවුදෝ අපේ එළවළු ගලවලා....”

”කවුරුහරි මගේ බඩඉරිඟුත් ගලවගෙන ගිහින්..” වලහත් බඩඉරිඟු පාත්තියේ එහාට මෙහාට ඇවිදින ගමන් කීවා.

”ඉන්නකො.. අපිට ඔය හොරාව අල්ලගන්න පුළුවන් වුණොත් හොඳ වැඩක් කරනවා..” මීයන්ගේ ඒ කතාවට හිණා වුණ වලහා.. ”හොඳ වෙලාවට අපිට තව එළවළු ඉතුරු වෙලා තියෙනවා” යි කීවා.

”කළු දං කඩන්නත් දැං කාලේ හරි” වලහා මතක් කළා.


”ඔයා දං කඩන්න, අපි එතකොට බිම්මල් ගලවන්නම්....” යැයි කීව මී රංචුව, කැලෑව ඇතුළට දුවගෙන ගියා. වලහත් එයාලගෙ පස්සෙන් ඇවිදගෙන ගියා.

තව තවත් පළතුරු සහ එළවළු නෙලාගෙන ගෙදර යන ගමනෙදි, වලහයි, මීයොයි දැක්කා බැජර් කම්මැලිකමෙන් ගලක් උඩ වාඩි වෙලා ඉන්න විදිහ.

 ”සීත කාලෙට ගන්න කෑම එකතු කරන්නෙ නැද්ද ඔයා..?” මී රංචුව බැජර්ගෙන් ඇහුවා.

”ආ... ඒක පස්සෙ බැරියැ..” බැජර් උත්තර දුන්නා..

”හරි පුදුමයි....” වලහා එහෙම කියාගෙන යන්න ගියා.

”අන්න පළතුරු මල්ලෙ තියෙන පළතුරු බිමට වැටෙනවා.... පළතුරු මල්ල හිල් වෙලා....” මීයෝ රංචුව වලහගෙ කරේ තිබුණ මල්ල පෙන්නලා කීවා.

”කවුද මේ වැඩේ කරන්න ඇත්තෙ ?” වලහා ඇහුවා.

වලහයි, මී රංචුවයි ගෙදර යනකොට තරමක් තදට කැළෑව පුරාවට මීදුමක් පැතිරිලා තිබුණා. ඒක නිසා ඉර සැඟවෙලයි හිටියෙ.

”මොකද්ද සද්දයක් අපේ ගෙදර පැත්තෙන් ඇහෙනවා..” මීයෝ රංචුව වලහට කීවා.

”මේ මීදුම නිසා මට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ. අඩුම තරමෙ මට මගේ කකුල් දෙකවත් පේන්නෙ නෑ.... කමක් නෑ තව ටිකකින් ආයෙමත් ඉර එළියට එයිනේ..” වලහා කීවා.

”ටික වෙලාවකට පස්සෙ මීදුම මැකිලා ආයෙමත් ඉර මතුවෙන්න පටන් ගත්තා..”

”හැමදේම හොඳට තියෙනවද ?” වලහා ඇහුවා.

නෑ.. සූරියකාන්තා මලක් අඩුයි..” මී රංචුව දුකින් වලහට උත්තර දුන්නා.

එදා රෑ හයියෙන් හුළං හමන්න පටන් ගත්තා. ගස් අඹරවමින්, අතු පවා කැඩෙන තරමට හයියෙන් හුළඟ හැමුවා. හුළෙඟ සැරට පයින් ගස් වල ගෙඩි තරගෙට බිමට වැටුණා.

”ඒ පාර හුළඟ තවත් සැර වුණා වගේ.. හොඳ වෙලාවට අපිට හොඳ ශක්තිමත් ගෙයක් තියෙන්නෙ..” රෙද්දක් යට ගුලිවෙලා හිටිය මී රංචුව කීවා.


”කාටවත් කිසිම අනතුරක් වෙලා නැතිව ඇති කියලා මම හිතනවා..” වලහා කනස්සල්ලෙන් හිතන්න පටන් ගත්තා..

සිසිරය

”ඉර නම් යන්තමින් පායලා.. හැබැයි වැවේ වතුර නම් සීතලට ගල් ගැහිලා.. දැන් අපිට පුළුවන් වතුර උඩ ලිස්සන සෙල්ලම් කරන්න....” යැයි කීව මීයො රංචුව, සෙල්ලම් කරන්න පටන් ගත්තා.

”හොඳයි.. ඔයාලා සෙල්ලම් කරනකල් දර ටිකක් හොයන්න මම කැළෑවට යනවා....” යි කියා කැළෑවට ගිය වලහා දැක්කා, ගෙයක් උඩට ගහක් කඩාගෙන වැටිලා තියෙන අන්දම.

”කවුද මේ ගෙදර ජීවත් වෙන්න ඇත්තෙ....” එතැනට ගිය වලහා එයාගෙන් ම ඇහුවා.

”මම.. මේ මගේ ගෙදර..” පැත්තක හිටපු බැජර් ගොඩක් දුකින් උත්තර දුන්නා.

”ඉතින්.. ඔයා දැන් මොකද කරන්නෙ ?” වලහා ඇහුවා.

”මුකුත් නෑ..” බැජර් අඬන ගමන් උත්තර දුන්නා.

ටික දවසකට පස්සෙ සීතල එන්න එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. හැම දෙයක්ම හිම වලින් වැහෙන්න පටන් ගත්තා.

”අනේ ! පව් බැජර්..” වලහා මිමිණුවා.

”කෑමත් නෑ, ගෙයකුත් නෑ..” මීයො උත්තර දුන්නා.

”මම යනවා බැජර්ව හොයන්න..” පුටුවෙන් නැගිට ගත්තා වලහා එකපාරටම කීවා.

”අපිත් ආවට කමක් නැද්ද.. හැබැයි ඔයාට වෙනවා අපිව වඩාගෙන යන්න..” වලහගෙ කර උඩට නගින ගමන් මීයො රංචුව කීවා.

”බැජර් ගෙදර නෑ වගේ....” වට පිට බලන ගමන් වලහා කීවා.

අපි එයාගෙ අඩි පාරවල් දිගේ ගිහින් එයාව හොයා ගමු....” මීයෝ වලහට කීවා..

කෑලෑව අයිනේ තිබුණ අඩි පාරවල් දිගේ ආව වලහා, ඇවිත් නතර වුණේ දුඹුරු පාට පුංචි ගෙයක් ළඟ.

”ඒත් මේ අපේ ගෙදරනේ..” වලහගෙ කරෙන් බහින ගමන් මී රංචුව කියන්න පටන් ගත්තා.

සීතලට වෙව්ල වෙව්ලා එළියෙ තියෙන බංකුවේ ඉඳගෙන හිටිය බැජර්, ”මට පුළුවන්ද ඔයාලගෙ දෙර නවතින්න ?” කියලා වලහගෙන් ඇහුවා.

”මොකෝ බැරි.. අපේ ගෙදර ඕනෑ තරම් ඉඩ තියෙනවා..” වලහා උත්තර දෙමින් බැජර්ව සැනසුවා.

”අපේ ගෙදර ඕනෑ තරම් කෑමත් තියෙනවා..” මීයොත් කීවා.

අතේ තිබුණ කූඩයක් පෙන්නුව බැජර්, ”මේ බලන්න මමත් ඔයාලට බෝංචි, කැරට්, බිම්මල්, බඩඉරිඟු ගෙනාවා..”

”දැන් අපිට ඕනෑවටත් වැඩිය කෑම තියෙනවා..”යි කීව මී රංචුව, ගේ ඇතුළට දුවගෙන ගියා.

වලහා ඉක්මණට රෑ කෑම උයන්න පටන් ගත්තා. ඉක්මණින් ගෙදර ඇතුළ උණුසුම් වෙන්න පටන් ගත්තා. ඉතින් හැමෝගෙම හිසට වහලක් තිබුණ නිසා, එදා රෑ හැමෝම හිටියේ කියාගන්නට බැරිතරම් සන්තෝසෙන්.


කතාව : විල්හෙල්ම් ටොප්ෂ්

සිතුවම් : ඩැනියෙල් වින්ටර්හාගර්

පරිවර්තනය : මුතු පබා

______________________________________________________________________

*බැජර් - වලස් වර්ගයට අයිති කුඩා සතෙක්
.
.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ කලාව, කාසි, බීරළු රේන්ද කර්මාන්තය, මුද්‍රණ ශිල්පය, රෙපරමාදු ක්‍රිස්තියානි ධර්මය, ඕලන්ද නීතිය සහ ඕලන්ද වචන ඔවුන්ගෙන් අපට උරුම වුණු දේ අතර තිබෙනවා. අගයෙන් ඉතා ඉහල ඕලන්ද කෞතුක වස්තු රැසක් අපට නැරඹිය හැකි පරිදි එක්තැන් කොට අපූරු කෞතුකාගාරයක් පිටකොටුවේ කුමාර වීදියේ පිහිටුවා තිබෙනවා.

17 වන සියවස අග භාගයේදි ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වූ තෝමස් වෑන් රී විසින් තමන්ගේ නිල නිවස ඉදිකරගත්තේ පිටකොටුවේ කුමාර වීදියේ. ඇත්තෙන්ම අද වන විට එම නිල නිවස යනු ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයෙ ලක්ෂණ කදිමට දැකගත හැකි අපූරු කැඩපතක්. ඕලන්ද ගෘහ නිර්මාණයේ කැපී පෙනෙන අංග වූ ලිඳක් සහිත මැද මිදුල, දැවයෙන් කල සොල්දර සහ ගඩොල් අතුරා සකසන ලද ගෙබිම දැකිය හැකියි. ඒ වගේම විශාල උළුවහු සහ දොර ජනේල්, පුළුල් සහ උස් වූ බිත්ති, විශාල ඉස්තෝප්පු, අඩ රවුම් උළු සෙවිලි කල පියසි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව පිලිබිඹු කරන තවත් දේවල්. මෙය කොළඹ නගරයේ දැනට ඉතිරිව ඇති පැරණිම ගොඩ නැගිල්ල වන අතරම ඕලන්ද කෞතුකාගාරය එහිම පිහිටුවීම ඉතා සුවිශේෂියි.


මෙම නිවස මහල් දෙකකින් සමන්විතයි. කෞතුකාගාරයේ ඉහල මාලයෙහි ඉපැරණි ලියන මේස, අත් පුටු, කැබිනට් අල්මාරි ආදිය තබා ඇත. ඒවා කලාත්මක කැටයමින් පිරි ඉතා අගනා නිර්මාණ. එමෙන්ම, ඕලන්ද තෝම්බු පිටපත්, මුද්‍රණය කොට එළි දැක්වූ මුල්ම සිංහල ග්‍රන්ථයේ මුල් පිටුවේ පිටපතක්, සිංහල රජවරු සහ ඕලන්ද ආණ්ඩුකාරවරුන් අතර පැවති ලීපි ගනුදෙනු පිටපත් සහ ඕලන්දක්කාරයින් මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසින්ට පවරා දුන් ගිවිසුමේ පිටපතක් ද මෙහි ප්‍රදර්ශනයට තබා ඇති දෑ අතර තිබෙනවා.


ශ්‍රි ලංකාවට පැමිණි පලමු ඕලන්ද ජාතිකයා වූ ‘ජොරිස් වෑන් ස්පිල් බර්ජන්’ කන්ද උඩර රජු බැහැදැකීම, පෘතුගීසින්ගෙන් කොළඹ කොටුව මුදා ගැනීමට මූලික වූ ‘ජෙරාඩ් හල්ෆ්ට්’ කන්ද උඩරට රජු බැහැ දැකීම ආදි විශේෂ ඓතිහාසික සිදුවීම් මෙම කෞතුකාගාරයේ පහත මහලෙහි ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි, ඕලන්දයින් කන්ද උඩරට රජතුමාට තිළිණ දුන් සිංහාසනය දැක්වෙන ඡායාරූපයක් ද, වෙලඳාම සඳහා භාවිත කල දේශීය සහ ඕලන්ද මුදල් වර්ග ආදියත් මෙහිදි දැකගන්න පුළුවන්.

ඒ වගේම 17 සහ 18 වෙනි සියවස් වල පැවති උඩරට රාජධානියෙහි සංස්කෘතිය හා කලාව දැක්වෙන ගෘහ උපකරණ, අවි ආයුධ, රිදියෙන් සහ පබළු වලින් කල ආභරණ, මුළුතැන්ගෙයි උපකරණ, දැකුම් කළු පිගන් භාණ්ඩ ආදි කෞතුක වස්තු රැසක් ද මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.


ලන්දේසි යුගය ගැන පර්යේෂණ පවත්වන අයට මෙන්ම, ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන කොයි කාටත් මේ කෞතුකාගාරය වටිනා දැනුම් ප්‍රභවයක්. කොළඹ ආශ්‍රිතව අධ්‍යාපන චාරිකාවක නියැලෙනවා නම්, අනිවාර්යයෙන්ම මෙතැනටත් ගොඩ වී යන්නට අමතක කරන්න එපා.

(ඕලන්ද කෞතුකාගරයේ කළ සංචාරයක් සහ එමගින් නිකුත් කරන ලද විස්තර පත්‍රිකා ඇසුරිනි.)

සුමුදු තිවංක ගමගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


මේ පැනය 'ගණංකාරයන්ට'යි!

එකම හැඩයක් ඇති තඹ භාජන දෙකක් ඇත. එම භාජන වල තහඩුවේ ඝනකමද එක සමානය. එක භාජනයක් ධාරිතාව අනෙකට වඩා 8 ගුණයකින් වැඩිය. එය අනෙකට වඩා කී ගුණයක් බරද?

[වයි පෙරෙල්මාන්ගේ 'ගණිත විනෝදය'ඈසුරිනි.]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ Garmisch (ගාර්මිෂ්) නම් නගරයේදී, 1929 වසරේ නොවැ. 12 වැනිදා. එඩ්ගා එන්ඩ් සහ ලුයීස, මයිකල්ගෙ දෙමව්පියන්.

පසුකාලයේදී "මයිකල් එන්ඩ්" (Michael Ende) නමින් ඔහු ලොව පුරා ප්‍රකට වුණා. මයිකල් එන්ඩ් 1940 දී ඔහු ඉපදුණු ගමට නුදුරු මියුනිච් නගරයේ "මැක්සිමිලියම්" නම් උසස් පාසලට ඇතුලු වෙනවා. පසුව විවිධ පාසැල් කිහිපයකම අධ්‍යාපනය හදාරන අතර, 1943 විතර වෙනකොට මයිකල්, කවි සහ කෙටිකතා (කුඩා විස්තර කිරීම්) ලේඛනයට පිවිසෙනවා. මේ කාලයේ රට ඇතුළෙ යුද්ධය තිබුණු නිසා ඔවුන්ගේ නිවසත් බෝම්බ ප්‍රහාරයකට ලක් වෙනවා. 1948-1950 දක්වා කාලය Falckenberg පාසැලට ඇතුළු වෙලා මයිකල් රංගනය හදාරනවා.

වසර 1953 වන විට උසස් අධ්‍යාපනය අවසන් කර ඔහු නාට්‍යකරණයෙහි යෙදෙනවා. මාස ගණනාවක් තිස්සේ ගම්මඩු වලටත් සහභාගී වෙනවා. මයිකල් එන්ඩ් කැබරේ පිටපත් ද රචනා කරන්න පටන් ගන්නවා. පසුව 1954 සිට 1962 දක්වා කාලය තුළ දී බැවේරියා ගුවන් විදුලියෙහි සිනමා විචාරකයෙක් ලෙස සේවය කරනවා. ඔහු විසින් රචනා කරන ලද, "ජිම් ක්නොෆ් උන්ඩ් ලූකාස් ලොකොමොටීෆ්-ෆියුරර්" (eng:Jim Button and Luke the Engine Driver) නම් ළමා ග්‍රන්ථය මුද්‍රණාල 12කින්ම ප්‍රතික්‍ෂේප වෙනවා. එයින් අධෛර්යමත් නොවන මයිකල් අවසානයේදී, (1960 දී) තීනෙමන් මුද්‍රණාලය හරහා එම ග්‍රන්ථය මුද්‍රණය කරවා ගන්නවා. 1961 වසරේදී එම ග්‍රන්ථය සඳහා ජර්මන් යොවුන් සාහිත්‍ය සම්මානය ද හිමිකර ගන්නට මයිකල් එන්ඩ් සමත් වෙනවා.

1964 දී ඔහු විවාහ වෙන්නෙ Ingeborg Hoffmann සමඟ. 1970 දී ඔවුන් ඉතාලිය, රෝම නගරයෙහි Genzano ගමෙහි පදිංචියට යනවා. 1973 දී ලෝ ප්‍රසිද්ධියට පත් වූ විශ්මයාන්විත "මෝමෝ" යොවුන් නවකතාව (eng:The Grey Gentlemen/Momo) ඔහු අතින් ලියැවෙනවා. 1974 දී එම ග්‍රන්ථයත් ජර්මන් යොවුන් සාහිත්‍ය සම්මානය හිමි කර ගන්නවා.

මරිකෝ සැටෝ කියන්නේ ප්‍රකට ග්‍රන්ථ පරිවර්තිකාවක්. ඈව හඳුනා ගන්නා මයිකල් එන්ඩ්, මරිකෝ සමඟ ජපන් ජාතික Kenji Miyasawa ගෙ පොත් පරිවර්තනය කරන්නට පෙළඹෙනවා. 1977 දී ඔහු ජපානයට ගොස් ලෝ ප්‍රකට කබුකි නාට්‍ය පිළිබඳවද හැදෑරීමක් කරනවා. මයිකල්, 1978දී මාර්ක් ලෝතාර් සමඟ “මෝමෝ සහ කාලහොරු” ඔපෙරාව කරළියට ගෙන එනවා. එය චිත්‍රපටයක් ලෙසින් සිනමාවටත් නැඟෙනවා. ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් වන "මෝමෝ සහ කාලහොරු" අද වන විටත් ජර්මනිය පුරා විවිධ අවස්ථා වල වේදිකාගත වෙනවා දකින්නට පුළුවන්.

1979 දී ඔහුගේ තෙවන ග්‍රන්ථය "නොනිමි කතාව" (The Neverending Story -Translated into English: Ralph Manheim) මුද්‍රණය වෙනවා. Wolfgang Petersen විසින් සිනමාවට නඟන ලද The Neverending Story පිළිබඳව ඔහු සෑහීමකට පත්වන්නේ නැහැ. නමුත් එම ග්‍රන්ථයට "විල්හෙල්ම් හවුෆ්" සම්මානය(Wilhelm-Hauff-Preis), ජාත්‍යන්තර ජානුස් සාහිත්‍ය සම්මානය ( Internationaler Janusz-Korczak-Literaturpreis) සහ Silver Griffel සම්මාන ලැබෙනවා.

මයිකල්ගේ ජීවිත කාලය පුරා බොහෝ නිර්මාණ බිහි වෙනවා. ළමා සහ යොවුන් ග්‍රන්ථ විශාල ප්‍රමාණයකුත්, නාට්‍ය, ඔපෙරා මෙන්ම විචාර සටහන් ද ඇතුලුව ඔහු ජර්මන් සාහිත්‍ය පෝෂණය කරන්න විශාල කැප කිරීමක් කරපු පුද්ගලයෙක් නමින් ජනාදරයට පාත්‍ර වෙනවා. ඔහුගේ එම නිර්මාණ බොහොමයක් භාෂා 40කට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝකය පුරා ප්‍රචලිත වෙලා තියෙනවා.

ළමා පරපුර වෙනුවෙන් විශාල සේවයක් කළ මයිකල් එන්ඩ් 1995 අගෝස්තු 18 වනදා උදරයේ ඇති වූ පිළිකාවකින් මිය යනවා. 1998 දී මියුනිච් වල "ජාත්‍යන්තර යොවුන් පුස්තකාලය" තුළ "මයිකල් එන්ඩ්" කෞතුකාගාරය විවෘත වෙනවා. එහි දී එන්ඩ් විසින් රචිත විවිධ නිර්මාණ දැකගන්නට පුළුවන්.

තුෂාරි ප්‍රියංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ඉස්කෝලෙ දවස් ඉවර වෙලා සති අන්තය ආවා කියන්නෙ පුංචගෙ ඉහේ මලක් පිපුනා කියන එක තමයි. සෙනසුරාදා උදේම ඇහැරුණු පුංච ගියේ එයාගෙ යාළුවෝ හොයන්න. සුදු සහ මලී හිටියා වැට අයිනෙ පුංච එනකල් බලාගෙන.

"කෝ බිංදු යි ටිකිරියි... තාම ආවේ නැද්ද?" පුංච ඈත ඉඳන්ම ඇහුවා.

" ලොකු බණ්ඩෙ මාමා එක්කලා කුඹුරට ගිහින් අද?" සුදූ කිවුවා.

"කුඹුරට? මොකටද?" ඔන්න පුංචට ආයෙත් ප්‍රශ්නයක්.

"කරල් පැහිලා. කුරුල්ලො එලවන්න මොකද්ද කරනවලු එහෙ" මලීත් පැනලා උත්තර දුන්නා.

"ම්...ම්..ම්.. අපිටත් පුළුවන් අද හොඳ වැඩක් වෙනුවෙන් කාලය යොදවන්න.. නැද්ද මං කියන්නෙ!" පුංච කිවුවා.

"ඒක නම් හොඳ අදහස!" සුදූත් මලීත් අනුමත කළා ඒ කතාව.

"අපි යමු ලොකු බණ්ඩෙ මාමාට උදවු වෙන්න"

එහෙම කියලා තුන්දෙනාම පියාඹගෙන ගියා කුඹුරට.

ලොකු බණ්ඩෙ මාමා කළු පාට රෙදි පටි එල්ලාපු දිග වැලක් කුඹුර මැදින් ඇදලා. තවත් ඒ වගෙ වැල් කීපයක් තිබුණා ටිකිරි ලඟ.

"මේවා මොකටද මාමේ?" ඔන්න පුරුදු විදියට පුංචට ප්‍රශ්නයක්.

"කුරුල්ලො එලවන්න" ලොකු බණ්ඩෙ මාමා උත්තර දුන්නා.

"ආපෝ, ඔයිට වඩා හොඳම හොඳ විදියක් අපි ලඟ තියෙනවා. නැද්ද මං කියන්නෙ පුංචෝ?" ඔන්න ටිකක් වෙලා කල්පනා කරපු පුංච කියාපි.

ඒ මොකද්ද කියල හරියටම දැනගෙන හිටියේ නැති උනත් බිංදු ත් ඉතිං ඔලුව වැනුවා.

" හොඳ විදියක්? බැරිද අපටත් කියා දෙන්න" ඔන්න ලොකු බණ්ඩෙ මාම ඇහුවා.

"ආපෝ සුළු දෙයක්. ඔන්න බලන්නකො, අපිට පුලුවන් ඒක කරල පෙන්නන්න." පුංච කිවුවා.

"හරි, ඔන්න මට හැමෝම උදවු වෙන්න ඕනෑ එහෙනම්" එහෙම කියලා පුංච නියර අද්දරින් ඉඳගත්තා. යාළුවොත් බින්දු වටේට ඉඳගත්තා. මොහොතක් එක එක්කෙනාගෙ කණට කොඳුරා ගෙන එක පාරට හැමෝම ආයෙත් ගෙවල් බලා දුවන්න පටන් ගත්තා.

ලොකු බණ්ඩා මාමත් හිනා වෙවී බලන් උන්නා.

බිංදු ගෙනාව පරණ කළු කබායක් සහ කොටු සරමක්. සුදූත් මලීත් එකතු වෙලා පිදුරු මිටියක් සොයාගෙන ආවා. පුංචත් ටිකිරිත් එකතු වෙලා දිග ලී කෝටු දෙකක් ඇදගෙන ආවා.

පැන්සල් පෙට්ටියට එබුණ පුංචා සුදු හුනු කූරක් හොයා ගත්තා. ඊලඟට අඩුව වුණේ මුට්ටිය විතරයි. ඉතිං ඒක ගන්න පුංච කෙලින්ම ඉගිල්ලුණෙ ගෙදර වළං මැස්සට. මෙන්න වළං මැස්ස උඩ තියෙනවා වැඩේට කියාපු විදියේ මුට්ටියක්, කළුම කළු. මුට්ටියයි හුණු කූරයි අරගෙන ඊලඟට පුංච කෙළින්ම දිව්වෙ කුඹුරට.

ඉස්සෙල්ලාම කෝටු දෙක හරස් අතට බැඳලා, ඒකට අපූරුවට පිදුරු ගැට ගැහුවා. ඊට පස්සෙ කළු කබායයි සරමයි අන්දලා ඉනේ පටියකුත් බැන්දා. ඊළඟට සුදු හුනු කූර අතට අරන් කළුම කළු මුට්ටියෙ ඇස් දෙකකුයි කටකුයි ඇන්දා. වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සෙ මෙන්න ඉන්නව අපූරු පඹරාළ කෙනෙක්.

පස් දෙනාම එකතුවෙලා අන්තිමේදි පඹයාව කුඹුරට අරන් ගියා. ඒක දැකලා ලොකු බණ්ඩෙ මාමාට හරිම හිනා.

"මේක නම් හරි අපූරුයි දරුවනේ" ලොකු බණ්ඩෙ මාමා කිවුවා.

"ඔවු දැන් මාමට තනියකුත් නෑ, කුරුල්ලන්ට නිදහසකුත් නෑ" පඹරාළ දිහා බලන අතරතුර පුංච කිවුවා.

එදා පුංචටත් යාළුවන්ටත් හරි සතුටුයි. කුඹුරේ හැමතැනම සෙල්ලම් කරල කරල ඇඳිරි වැටෙද්දි තමයි පුංච ගෙට ගොඩ වුණේ.

ගෙදර එකම ගාල ගෝට්ටියක්.අත්තම්මා වළං මැස්ස ඔක්කොම පෙරළ පෙරළ මොකද්දෝ හොයනවා.

" මොකද්ද වෙලා තියෙන්නෙ අම්මේ?" හෙමින් අම්මා ලඟට කිට්ටු වෙච්ච පුංච ඇහුවා.

"ආතම්මා කසාය තම්බන මුට්ටිය නැහැයි කිය කියා හොයනවා...මේ"

ඒ වෙලාවෙ නම් පුංචට තරු පෙණුනා. “දෙයියනේ දැන් ඒක කුඹුර මැද, ආයෙත් ගෙනෙන්නෙ කොහොමද, ඒ මදිවට කට්ට කළුවරයි, අනිත් එක ඔලුව නැති වුනාම පඹයෙක් කෝ... පඹයා නැති උනොත් කුරුල්ලො එලවන්නෙ කවුද... ඔහෙ ඕනෙ එකක්, මං දන්නෑ වගේ ඉන්නවා.” පුංච එහෙම හිතුවා.

ඔන්න එතකොටම වාගේ ලොකු බණ්ඩෙ මාමත් කඩේ පැත්තට යන්න ආවා.

"මොකද්ද නැන්දෙ මේ ගාලගෝට්ටිය?" ලොකු බණ්ඩෙ මාමත් අහපි.

"අනේ, ළමයො මං මේ කසාය තම්බන්ටමයි කියල තියා තිවුණු මුට්ටිය බහිරයෝ ගිල්ලා වගෙ මේ තිබුනා, මේ නෑ නොවැ..." ආත්තම්මා කිවුවා.

"හහ්..හහ්...ඒක හම්බ වෙයි කියලා හිතන එක අමතක කළොත් තමයි වඩා හොඳ මයෙ හිතේ. ආං දැන් ඒක තියෙනව මයෙ කුඹුරෙ...පඹය ලඟ. ඒක ගත්තොත් හෙම පඹයා අමනාපවෙයි නොවැ. ඒත් ඉතිං පඹයා විතරක් නම් මදැයි, පඹයා හදපු උන්දැලාත් අමනාප වෙයි නොවැ "

එහෙම කියන ගමන් ලොකු බණ්ඩෙ මාමා හිනා වෙවී හොර ඇහෙන් පුංච දිහා බලලා යන්න ගියා.

අත්තම්මා ඇස් ලොකු කරගෙන පුංච දිහා බැලුවා. පුංච මොකුත් දන්නෙ නෑ වගෙ හෙමින් ගිහින් අත්තම්මට තුරුළු වුනා.

"හ්ම්... ඒකත් එහෙමයි එහෙනම්" කියමින් අත්තම්මා පුංච ව තුරුළු කරගත්තා.

සිත්තම- රුවන්මලී

ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post



මලක් නෙලාගෙනවිත් බුදු සාදුට පිදුවා
ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තෙන්
මේ මල මම නෙලා ගත්තෙ මගෙ මල් වත්තෙන්
නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ

ගිය ඉරිදා ඉස්කෝලෙ එන්න බැරි උනේ
ලොකු අම්මා එක්කලා මම නුවර ගියානේ
බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
ඉතින් තවම ඇයි හිමි මා දැක හිනැහෙන්නේ
මා දැක හිනැහෙන්නේ

අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
සමාවන්න හිමියනි බොරු නොකියමි හිතකින්
නෙලාගත්තෙ මේ මල නංගිගෙ මල් ගසකින්
නංගිගෙ මල් ගසකින්

දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසි දින නොකරනු මැනවි ළමයිනේ //


ගී පද : ?
ගීත මියැසිය : ?
ගායනය : පේෂලා මෙන්ඩිස්


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


අයර්ස් කියන්නෙ ලෝකෙ තියන ඉපැරණිම පර්වත වලින් එකක්. මේක පිහිටලා තියෙන්නෙ නම් ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියානු ආදිවාසින් වන ඇබොරිජීන්වරුන් මේ පර්වතය හඳුන්වන්නෙ "ඌලුරු" කියලයි. ඇබොරිජීන්වරුන් ගේ විශ්වාසය අනුව එය ඔවුන්ට ඉතාමත් පූජනීය දසුනක්. මේක පිහිටලා තියෙන්නෙ සිම්ප්සන් කාන්තාරය මැද. අයර්ස් පර්වතය කියන්නෙ සියළු නිර්මාණ වල සංකේතය විදියටයි ඇබොරිජින්වරු විශ්වාස කරන්නේ.

වසර මිලියන 500කට පමණ පෙර ඕස්ට්‍රේලියාව මධ්‍යයේ පිහිටි සාගර පතුළක වැලි කන්දක් ලෙස ගොඩගැසීම හේතුවෙන් මේ පර්වතය නිර්මාණය වී තිබෙනවා. එම පර්වතය මධ්‍යයේ අඩි 1142 ක් ඉහලින් පිහිටා තිබෙන්නෙ සැතපුම් 5 ක් පමණ ප්‍රදේශක් තෙක් දිවෙන තැනිතලාවක්. වසර ගණනක් මුළුල්ලේ වැස්සෙන් සහ සුළඟින් පහර කෑම හේතුවෙන් තමයි මේ තැනිතලාව බිහිවෙලා තියෙන්නෙ. ඒ විතරක්ම නෙමෙයි, අයර්ස් පර්වතය ලෙන් බොහෝ ගණනකින් සමන්විත වෙනවා. එසේම වැහි දිය ගලාගෙන යාම හේතුවෙන් බිහි වූ කුඩා පාර්ශ්වීය ඇලි බොහො ප්‍රමාණයක් පර්වතය වටා දකින්න පුළුවන්.

අයර්ස් පර්වතය ආශ්‍රිතව වනෝද්‍යානයක් පවා පිහිටා තිබෙනවා. "ඌලුරු ජාතික වනෝද්‍යානය" ලෙස නම් කර ඇති මෙහි කුරුළු විශේෂ 150 ක් සහ ක්ෂීරපායි සත්ව විශේෂ 26 ක් ජීවත් වෙනවා. ඇබොරිජීන් පුරාවෘතයට අනුව “ඌලුරු” කියන්නෙ ඈත කාලයේ සාගරක් ව තිබූ තැනක්. ඌලුරු වෙරළාසන්නයේ සිදුවු මහා සටනකින් මුළු වෙරළම ලෙයින් තෙත් වුණේලු. ඉන් කම්පාවට පත් සාගරය ඊට විරෝධය පෑමක් ලෙස ලේ පැහැ පර්වතයක් ලෙස නැගී සිටි බවයි ඔවුන් කියන්නේ.

නීල්යා කාරියවසම්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා සමග සන්නිවේදනය කරන්නෙ රහස් බසක් යොදා ගනීමෙන් බව. ඒ විතරක් නෙමෙයි බොහෝ විට මේ බස ගෙරවිල්ලක්, සියුම් කූජනයක් හෝ පොප් හඬක් කියලාත් හොයාගෙන තියෙනවා. ගැඹුරු නිහැඬියාවකින් පිරුණු සමුදුරු ලෝකය-

-මේ සොඳුරු කතාබස් වලින් පිරී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම පවසනවා. සමහරක් කතා බහ තමන්ගේ විරුද්ධ ලිංගිකයන් වෙත නිකුත් කරන ඒවා. තවත් සමහරක් අනතුරු ඇඟවීම් පිණිස වන කතා බහ. ඒ වගේම තවත් සමහරක් එකිනෙකාට යා යුතු දිශාව හඟවන කතා බහ. ඉතින් මේ කතා බහ නිසා, මාළුන් ගොදුරු කර ගන්නා විලෝපිකයන්ට පහසුවෙන් තමන්ගෙ ගොදුරු සොයා ගත හැකි වන බවත් පවසනවා.

ඒ වගේම, හැම මාළුවෙකුටම වගේ මේ ශබ්ද ඇසීම කරන්න පුළුවන් වුණත් ශබ්ද නිකුත් කිරීමේ හැකියාව නෑ. හඳුනාගත් ශබ්දවලින් 99% ක්ම මාළුන්ගේම වන බවත්, ඔවුන්ගේ මීලඟ පියවර වෙන්නෙ මේ ශබ්ද වලින් ගෙනයන පණිවුඩය කුමක් දැයි සොයාගැනීම බවත් ඔවුන් තව දුරටත් කියා සිටියා.

ඔවුන් අනුමාන කරන ආකාරයට මත්ස්‍යයෝ තමන්ගේ විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය, විලෝපිකයන් බිය ගැන්වීම, කොරල් පර වටා වූ දිශානති පැහැදිලි කිරීම වැනි කාරණා පණිවුඩ නිකුත් කිරීමට පාදක වේ යයි අනුමාන කරන හේතු අතර තිබෙනවා.

තෝරාගත් මාළුවෝ කණ්ඩායමක් විද්‍යාගාරයේ තටාකයට ඇතුල් කරලා, සතියක් වැනි කාලයක් එහි වූ අළුත් පරිසරයට අනුරූප වෙන්නට ඉඩ දීමෙන් පස්සෙ, ජල තටාකය පතුලේ සවිකල කුඩා මයික්‍රෆෝන සහ වෙනත් තාක්ෂණික උපකරණ ඇසුරින් ජල යේ චලිත ස්වභාවයෙ වෙනස් කම් නිරීක්ෂණයට ලක් කිරීමෙන් තමයි ඔවුන් මේ බව සොයාගෙන තියෙන්නෙ.


ඒ අනුව, ‘ගර්නාඩ්’ නම් විශාල හිසක් සහිත මත්ස්‍ය විශේෂය අනෙක් හැම මසුන් වර්ගයකටම වඩා වැඩියෙන් කතා බහ සිදු කරන බවත්, ඒවා ඉතා විශේෂිත ගෙරවුම් හඬවල් බවත්, දවස මුළුල්ලේම එකම අකාරයෙන් කතා බහ රටාවක් පවත්වා ගන්නා බවත් මෙහිදී ඔවුන් සොයා ගෙන තිබෙනවා.


‘කොඩ්’ මසුන් ස්වභාවයෙන් ඉතා නිහඬ මසුන් ලෙස හඳුනාගෙන ඇති නමුත්, බිත්තර දමන කාලයේදී පමණක් බොහෝ සෙයින් කතා බහ සිදුකරන බවත් නිරීක්ෂණය කොට තිබෙනවා. එහිදි ගැහැනු කොඩ් මසුන් සහ පිරිමි කොඩ් මසුන් එකම වේලාවෙදි ජලයට තම තමන්ගෙ බිත්තර නිදහස් කරමින් ඒව සංසේචනයට ඉඩ සැලසීම සඳහා මෙසේ කතා බස් කිරීම අරඹන බවයි පරීක්ෂකයෝ උපකල්පනය කරන්නෙ. ඒ වගේම බිත්තර දමන කාලය අවසන් වූ පසු ඔවුන්ගේ කතා බහ නිම වෙන බවත් තවදුරටත් ඔවුන් සඳහන් කළා.

‘ගෝල්ඩ් ෆිෂ්’ මසුන් අපූරු සවන්දෙන්නන් වන නමුත් කිසි ලෙසකින් හෝ හඬක් නිකුත් නොකරන බවත් සමීක්ෂකයෝ පැවසුවා.

[ද ටෙලිග්‍රාෆ් ඇසුරිනි.]

රුවන්මලී

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


මෙන්න පුංචි තේරවිලි කවියක්. උත්තරෙත් කවියෙන්ම ආවොත් කදිමයි!

කටු ඇති නමුත් ලෙහෙසිය ගෙඩි නෙලීමට
පල ගත්තාම අතු බරවෙයි කදීමට
හොරු කැඩුවොතින් සුවඳින් හසු වෙයි යසට
සකි දන්නවා නම් එහි නම කියන් මට


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි //

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි


 
ගී පද : එස් මහින්ද හිමි
ගීත මියැසිය : රෝහණ වීරසිංහ
ගායනය : අනූෂ නානයක්කාර සහ රෝහණ වීරසිංහ


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


ආල වඩන අනගි රත්නයෙන් සැරසෙනවා
කෝල නැතිව ආදරයට ඉස්සර වෙනවා
රාලහාමි බව මම කාටත් අඟවනවා
බාල නමුත් සබයෙදි මම සමතෙක් වෙනවා

කමකට නැති බස් කීවා නරකයි මට දැන්
සමහර දන රත්න ජාති මටත් දෙති බොලන්
හැමදේටම වැඩියෙන මම දන්නේ වෙදකන්
මෙම කාරණ නිසා මමත් සමතෙක් වද දැන්

ඔන්න ඉතින් උඹලගේ ලොකුකම මම දැක්කා
දෙන්න දෙන්න දෙ පැත්තෙ ඉඳගන මා රැක්කා
ඉන්න කලට සබයෙදි උස මහතින් බක්කා
දන්නෙ නැද්ද එහෙම නිසා සබයට ලොක්කා

පලවැල රස තුරුර සැම රසගුණ පෙන්නන්නේ
කලබලයක් දුටුවිට නුඹලා ඇකිළෙන්නේ
කොලහල අඬ දබර වලට තනියම යන්නේ
බල සොඳ සපනෙකි ලොව මා කවුරුත් දන්නේ

පොයියංගම් වෙන්ට ම වද උඹලගෙ ලොකු කම
ඇයි බං කාටත් නො පෙනෙද තිබෙන එකතුකම
කොයියම් දේ කරතත් තනියම පැත්තක් මම
දෙයියන්පල් එනිසා පට බැන්ද කෙනෙකි මම

['ජයමඟුල් සිලෝ හා අභිනව ජයමංගල ගාථා' පොතෙන්.]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ඔන්න අද අපි මේ කතා කරන්නට යන්නෙ ආහාරයට ගන්නා හැබෑ කැකිරි ගැන නම් නෙමෙයි. ඇත්තටම කැකිරි කිවුවට මේගොල්ලො මුහුදු ජීවි විශේෂයක්. පෙනුමෙන් හා හැඩයෙන් කැකිරි ගෙඩියක ස්වරූපයක් තියෙන නිසා තමයි “මූදු කැකිරි” කියල කියන්නෙ. මූදු කැකිරි කියන මේ සමුදුරු ජීවි විශේෂය අයත් වෙන්නෙ එකිනොඩර්මාටා කියන වංශයටයි. මේ වංශයට අයත් අනෙකුත් සතුන් වෙන්නෙ මූදු ඉකිරි, බංගුර තාරකා සහ පසැඟිල්ලන්.

දැනට ලෝකයේ මූදු කැකිරි විශේෂ 1250 ක් පමණ හඳුනා ගැනීමට සමත් වෙලා තියෙනවා. මූදු කැකිරි සමුදුරු වාසීන් වන අතර බොහෝ විට ඔවුන් ජීවත් වෙන්නෙ මූදු පත්ලට සමීපව. එහෙමත් නැතිනම් අඩක් පතුල තුල ගිලී සිටිනවා. නොගැඹුරු ස්ථාන වල ඔවුන්ගේ වර්ධන වේගය ඉතා අඩු බවත් උපරිම වර්ධන වේගයක් පෙන්නුම් කරන්නෙ ගැඹුරු මූදු පතුලේ දී බවත් සමුදුරු ජීවි විශේෂඥයෝ පවසනවා. මොවුන්ගේ ආහාර වෙන්නෙ මූදු ජලයෙ ඇති ක්ෂුද්‍ර අංශු, ඇල්ගේ වර්ග සහ කුඩා ජලජ ජීවින්. මේ සතුන්ගෙ මුඛය වටා පිහිටන නාල පාද 8 ත් 10 ත් අතර ගණනකින් තමයි මේ කාර්යය කෙරෙන්නෙ. ආහාරයට ගන්නා දේවල් ඉතාමත් කුඩා අංශු බවට පත් කරන්නත් මේවා උපකාර වෙනවා.

බෝවීම සිදුවෙන්නෙ බිත්තර මගින්. බොහෝ කැකිරි විශේෂ බිත්තර බාහිර පරිසරයට මුදා හරිනවා වුනත් ඇතැම් කැකිරි විශේෂ ශරීර අභ්‍යන්තරයේ ඇති කුඩා පැසක් තුල බිත්තර රඳවාගෙන සිටිනවා. බිත්තරයෙන් බිහිවන කීටයා ජීවන චක්‍රයක අවස්ථා ගණනාවකින් පසුව වැඩුණු කැකිරි සතුන් බවට පත් වෙනවා.


මූදු කැකිරින් එකිනෙකා සමග සන්නිවේදන කාර්යය සිදුකරන්නෙ ජලය හරහා යැවෙන හොර්මෝන සංඥා මගින්. මෙම සතුන්ගේ ශරීර බිත්තිය සමන්විත වෙන්නෙ කොලැජන් තන්තුමය පටක වලින්. ඒවා අවශ්‍ය පමණට ඉහිල් කරන්නත් දැඩි කරන්නත් පුළුවන්.


මේ නම්‍යශීලි බව නිසාම ඉතා කුඩා සිදුරු හරහා වුනත් ගමන් කිරීම ඉතා පහසු කාර්යයක්. අනතුරකදී ශරීරය මගින් ඇලෙන සුළු කෙඳි වැනි ස්‍රාවයක් පිට කිරීමෙන් උපායශීලිව සතුන්ගෙන් ආරක්ෂාවෙන්නට ත් ඔවුන්ට පුළුවන්.


මේ වන විට ඇතැම් ආසියානු රටවල් මේ අපූරු මූදු කැකිරි සතුන් ආහාර සඳහා මෙන්ම ඖෂධ සඳහාත් යොදා ගන්නට පෙලඹී සිටිනවා. එයින් ඉදිරියෙන්ම සිටින්නෙ චීනය බව ඔබ දන්නවාද?

නීල්යා කාරියවසම්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


බැම්බි කියන්නෙ පුංචි මුවෙක්. එයාගේ යාළුවෝ තමයි තම්පර් සහ ෆ්ලවර්. තම්පර් කියන්නෙ රෝසපාට නහයක් තියෙන පුංචි හාවෙක්. ෆ්ලවර් කියන්නෙ පුංචි උරුලෑවෙක්. මේ කාටූන් චිත්‍රපටයේ විශේෂත්වය තමයි මේ කතන්දරය දිගහැරෙන්නෙ සෘතුවෙන් සෘතුවට. බැම්බි, තම්පර් සහ ෆ්ල්වර් කියන මේ පුංචි යාළුවො තුන්දෙනාගෙ කුඩා කාලයෙ ඉඳන් ඒගොල්ලො වැඩිහිටියො බවට පත් වෙනකල් මේ කතාව ලියවිලා තියෙන්නෙ ආදරය සහ යාළුකම ගැන අපූරු පාඩම් කියාදෙමින්. ඒ විතරක්ම නෙමෙයි-

-මේ යාළුවො තුන්දෙනාගෙ ඉවරයක් නැති දඟකාරකම් වලින් හොඳහැටි හිනාවෙන්නත් පුළුවන්. සතුටුවෙන්නත් පුළුවන්.

බැම්බි ඉපදුනාම මුළු කැළෑවම සතුටින් පිරිලා ඉතිරිලා යනවා. පුංචි බැම්බිට හැමවෙලාවෙම ඉගෙන ගන්න උදවු කරන්නෙ එයාගෙ දඟකාර යළුවා තම්පර්. දවසක් අම්මා බැම්බිව ලස්සනම ලස්සන තණබිමකට එක්කගෙන යනවා, එතනදි තමයි බැම්බිට එයාගේ පුංචි මුව මිතුරිය ඉස්සෙල්ලාම මුණගැහෙන්නෙ. එයාගෙ නම ෆෝලින්. ඔන්න ඔහොමයි ෆෝලින් සහ බැම්බිගෙ යාළුකම ඇරඹෙන්නෙ.

සීත කාලය උදා වුනාම සත්තුන්ට කෑම හොයාගන්න හුඟක් අමාරුයි. දවසක් අම්මයි බැම්බියි නැවුම් තණකොල වැවුනු කුඩා බිම් කඩක තණ කොළ කකා ඉන්නවා. ඒ වෙලාවෙ ඈතින් දඩයක්කාරයන් ඉන්න බව දැන ගන්න අම්ම බැම්බිට දුවන්න කියනවා. ඒත් එතකොටම දඩයක්කාරයෙකුගෙ වෙඩි පහරකින් අම්මා මිය යනවා. බැම්බි බේරෙනවා. ඊට පස්සෙ බැම්බිට ජීවිතය ගැන කියා දෙන්නෙ බැම්බිගෙ තාත්තා. එයා තමයි මුවරැළේ නායකයා. ඔහොම කාලය ගෙවිලා ගිහින් ආයෙත් වසන්ත කාලය උදාවෙනවා. ඔන්න ඒ වෙද්දි බැම්බි, තම්පර් සහ ෆ්ලවර් කියන මේ යාලුවො තුන්දෙනා බොහොම තරුණ වැඩිහිටි සතුන්. ඉතින් ඒ වසන්ත කාලෙදි තම්පර්ටත්, ෆ්ලවර්ටත් ඒගොල්ලන්ගෙ සහකාරියෝ මුණගැහෙනවා. බැම්බි එයාගෙ සහකාරිය විදියට එයාගේ පුංචි කාලෙ මිතුරිය ෆෝලින්ව තෝරා ගන්නවා. ඔන්න දැන් ඒ හැමෝම ආදරේ කරන්න පටන් අරන්. මුළු වනන්තරේම සතුටින්.




ඔය අතරෙ වනන්තරේ ට වැදුණු දඩයක්කාරයන්ගෙ ගිණි මැලයකින් ඇති වුණු ගින්නක් මුළු කැලය පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. බැම්බි ඇහැරෙන්නෙ නහයට දැනුනු දුම් ගඳ නිසා. ඔන්න එතකොට බැම්බිට තාත්ත උපදෙස් දෙනවා දඩයක්කාරයෝ ලඟ ඉන්නා නිසා ඉක්මනින් ඔවුන්ගෙන් බේරිලා පලා යන්නට. බැම්බි ඉස්සෙල්ලම දුවන්නෙ ෆෝලින්ව හොයන්න. ඒ අතරෙ දඩබල්ලෝ රැලකට කොටුවුණු ෆෝලින් පණ බේරා ගන්න කඳු මුදුනට නගිනවා. අන්තිමේදි දඩබල්ලන්ගෙන් ෆෝලින්ව බේරාගන්නෙ බැම්බි. ෆෝලින් බේරිලා දුවනවා. ඒ අතරෙ දඩයක් කාරයෙකුගෙ වෙඩි පහරින් බැම්බි තුවාල වෙනවා. ගිණි ගන්න කැලැවෙන් බැම්බිව බේරාගෙන එන්න උදවු වෙන්නෙ බැම්බිගෙ තාත්තා. අන්තිමේදි ගඟ මැද තියෙන කුඩා දූපතක දී ආයෙත් බැම්බිත් ෆෝලිනුත් මුණගැහෙනවා.

චිත්‍රපටය අවසන් වෙන්නෙ ෆෝලින් සහ එයාගේ පුංචි මුව පැටවු දෙන්න පිලිගන්න වනන්තරේ ඉන්න අනෙක් යාළුවෝ එකතුවෙන තැනින්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සෙ මුව රැලේ නායකයා වෙන්නෙ බැම්බි.




මේ අපූරු කාටූන් චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගම 1942 දි තමා හැදුවේ. ඕස්ට්‍රේලියානු ලේඛක Felix Salten ලිවුව 'Bambi, A Life in the Woods' කියන පොත තමා බැම්බි චිත්‍රපටයෙදි එයාලා යොදා ගත්තේ. අදටත් ලෝකයේ හැදුනු ද්විමාන සජීවීකරණ චිත්‍රපට අතර බැම්බි ඉදිරියෙන්ම සිටිනවා.

රුවන්මලී

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post

මුහුද ලස්සනයි
මුහුද හරි ලොකුයි
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝව
නතර වෙන්නේ නෑ //

රැල්ල ඇදෙනවා
වැල්ලෙ වැදෙනවා
රැල්ල ඇදෙනවා
වැල්ලෙ වැදෙනවා
සමන් මොට්ටු වගේ වතුර
බිංඳු ඉහෙනවා
සමන් මොට්ටු වගේ වතුර
බිංඳු ඉහෙනවා

මුහුද ලස්සනයි
මුහුද හරි ලොකුයි
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝව
නතර වෙන්නේ නෑ


ගී පද : ?
ගීත මියැසිය : ?
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


මේ පැනය "ගණංකාරයන්ට"යි!

ඒ 1932 අවුරුද්ද. ඒ අවුරුද්දේ මගේ වයස හරියටම මං උපන්න අවුරුද්දේ අග ඉලක්කම් දෙක පෙන්නුම් කරන සංඛ්‍යාවට සමාන වුනා. මං ඒ අනුපාතය ගැන අපේ සීයට කිව්වා. පුදුමෙ කියන්නේ, එයත් එයගේ වයසට ඒ අනුපාතයම ඇති බව කිව්වා.....!

අපි දෙන්නගේ වයස කීයද? ඉපදුනේ මොන මොන අවුරුදුවලද? වෙන වෙනම කියන්න.


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


‘ගල්මල්’ නමින් ගැමි බසින් හඳුන්වන කොරල් [Coral] ලෙස විද්‍යාත්මකව දන්නා මුහුදු ජීව විශේෂ ලෝකයේ උණුසුම් සාගර ප්‍රදේශ සිසාරා ව්‍යාප්ත වී ඇත. ඝර්ම කලාපීය රටවල කොරල් පර බහුලය. ශ්‍රී ලංකාවේ මුහුදු තීරවල තැනින් තැන ව්‍යාප්ත වී ඇති ගල්මල් (කොරල්) උයන් ලෙසින් සැකසී ඇත්තේ සීමිත ස්ථාන කිහිපයක පමණි. ගල්මල් උයන් නිරිත දිග වෙරළේ මීට වසර ලක්ෂයකට ඉහතදී ද පැවති බවට සාක්ෂි හමු වී ඇත. නිරිත දිග වෙරළේ පිහිටි හික්කඩුව, පොල්හේන, වැලිගම,-

අකුරල, රාවණා කොටුව ආදිය අපේ රටේ ඇති ගල්මල් උයන් කිහිපයකි.

වසරකට ඩොලර් මිලියන ගණනාවක් විදේශයන්ගෙන් මෙරටට ඇද ගැනිමට මෙම සුන්දර පරිසර පද්ධති සමත්ය. මුහුදු තීරයේ ඇති සංචාරක නිකේතන, හෝටල්, කිමිදුම් ස්ථාන, කඩ සාප්පු බොහොමයක් ගල්මල් උයන් ආශ්‍රීතව පිහිටුවා ඇත. තවද එම හෝටල් අශ්‍රීතව තවත් ඩොලර් මිලියන ගණනාවක් උපයා දෙන ප්‍රවාහනය, කර්මාන්ත, වෙළදාම්, බෝට්ටු සේවා ද ඒ සමඟම බැඳී ඇත. මෙතරම් ධනයක් වාර්ෂිකව ලබාදෙන ගල්මල් උයන් ආරක්ෂා කර ගැනිම අපේ ජාතික වගකීමකි.

කොරල් පර සැදිමට දායක වන්නේ Cnidaria වංශයේ Anthozoa වර්ගයේ බුහුබාවන්ය. මොවුන් නිපදවන බහිස්‍රාවීය ද්‍රව්‍ය වන NH3 ජලයේ වූ CO2 සමඟ ප්‍රතික්‍රියා කර (NH4)2CO2 සාදයි(NH4)2CO2 ජලයේ Ca සමඟ සම්බන්ධ වී CaCO3 සාදයි. CaCO3 වලින් සැදි සැකිල්ලක ජීවි බුහුබාවා ගිලී සිටී. එක් ගල් මලක ජීවී බුහුබාවන් දස ලක්ෂ ගණනින් වෙසේ. ග්‍රාහිකාවලින් ජලයේ පාවෙන ප්ලවාංග අධිග්‍රහණය කරමින් යැපෙන කොරල් බුහුබාවා සඳහා සාමාන්‍යයෙන් 30C උෂ්ණත්වයක් ද පරිසර දූෂණයට භාජනය නොවූ ප්‍රදේශයක් ද තිබි යුතුය. නිරන්තරව සංසරණ වන මුහුදු ජලය ද, හොදින් හිරු එළිය වැටෙන තැන් ද සක්‍රිය ගල්මල් උයන් ඇති වීමට අවැසි පිටුබලය ලැබ දෙයි.

කොරල් ජනපදයක දස දහස් ගණනින් වෙසෙන මෙම බුහුබාවන් පරම්පරා ගණනාවක් තම ඇටසැකිලි එක මත එක තැම්පත්කර විශාල කොරල්පර නිර්මාණය කරයි. ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයේ දිග 2000Km පමණ වේ. එමගින් වසා ගන්නා මුහුදු ප්‍රදේශය 207000Km පමණවේ.

ලෝකයේ පවතින කොරල් පර වර්ග තුනකි. ඒවා නම් ගැට-පර, බාධක-පර හා Atholl වර්ගයේ පරයි. ගැට පරය යනු ගොඩබිමට මඳක් ඇතින් වෙරලාශ්‍රීත ජලයේ පිහිටන පරයකි. Atholl යනු වක්‍රාකාරව වැඩී යාම නිසා එහි මැද වර්ධනය වු පරයයි. මාලදිවයින් Atholl වර්ගයේ පරයකින් නිර්මාණය වි ඇත.

කොරල් පරයක් යනු අතිශය ජෛව විවිධත්වයකින් හෙබි පරිසර පද්ධතියකි. විවිධ හැඩති කොරල් ද ඒවා ඇසුරෙහි දඩබිම සකසා ගත් වෛවර්ණ මසුන් ද අනේකාකාර හැඩයෙන් යුත් සිරුරුවලින් හෙබි සතුන් ද ඊට අයත් වෙති.

අම්බලන්ගොඩ සිට දෙවුන්දර තුඩුව දක්වා මුහුදු තීරය ගතහොත්, අම්බලන්ගොඩ සිට 1Km පමණ උතුරින් ‘ගෙදවාන’ නම් ගැඹුරු දියේ ගල් පර්වතයක් වටා වැඩුණු කොරල් උයනක් දැකිය හැක. අකුරල ප්‍රදේශයේ නොගැඹුරු දියෙහිද මෑත කාලයේ හටගත් ගල්මල් උයනක් දැකිය හැක. මෙරට පිහිටි සුන්දරම ගල්මල් උයන හික්කඩුවේ වාල් දුපත් හා ගොඩබිම් අතර මුහුදු තීරයේ දක්නට ලැබේ.

පැයෙන් පැය, දිනෙන් දින තියණු ලෙස එල්ලවන විනාශකාරි ක්‍රියා නිසා ගල්මල් උයන් වේගයෙන් විනාශ වෙමින් පවතී. මෙය කොතරම් දරුණු ද යත් අද පොල්හේනේ දැකිය හැක්කේ නටබුන් වු උයනකි.



(ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය)


(හික්කඩුව කොරල් පරයේ දසුන්)


(විවිධ කොරල් ජීවී ප්‍රභේද)


කොරල් උයන්වලට මිනිස් කටයුතු තර්ජනාත්මකව එල්ල වන ක්‍රම කිහිපයක් ඇත. කොරල් කැබලි එකතු කර නිශ්චිත මිල ගණන්වලට විකිණිය හැකි නිසා එමහින් දිවි ගෙවන්නෝ නිරිත දිග වෙරලේ සුලභය. කිමිදුම්කරුවන්ගේ පාද වල හැපීම හා තෙරපීම නිසා දිනකට විනාශ වන කොරල් ප්‍රමානය අති විශාලය. මෑතක සිට සමුද්‍ර ජීවී සම්පත විනාශ කරන එක් ක්‍රමයක් වන්නේ අලංකාර මසුන් පිටරට යැවිම සදහා අල්ලා ගැනිමයි. කොරල් පර ආශ්‍රීතව ජීවත් වන මසුන් අල්ලනු ලබන්නේ කිමිදුම් කරුවන් විසිනි. කොරල් පරය මත කිමිදෙන කිමිදුම් කරු අත යකඩ උලකුත්, කුඩා දැලකුත් වේ. දඩයම්කරුගෙන් බේරිමට මත්ස්‍යයා ස්භාවික කොරල් බිලකට වැදේ. ඌ එළියට ගැනිමට කොරල් පරය හාරා දැමිය යුතුය. අවසානයේ අලංකාර මත්ස්‍යයා විසිත්ත කාමර සැරසිම සඳහා පිටරට පටවන අතර කොරල් පරය යකුන් නැටු පිටියක් බවට පත්වේ.

ගල්මල් උයන් වෙනම ආරක්ෂිත කලාප ලෙස වෙන් කොට සීමා පනවා පවත්වා ගැනිම අත්‍යාවශ්‍යය. ලංකාවේ හික්කඩුව ආශ්‍රීත ප්‍රදේශ වල මෙම ක්‍රියා මාර්ග ගෙන ඇතත් එය කෙතෙක් දුරට සාර්ථකව ක්‍රියාත්මක වේදැයි සැක සහිතය.

කොරල් පරයක් යනු සජීවී වස්තුවක් බව දන්නේ කීයෙන් කී දෙනාද? සේවා කර්මාන්ත ආශ්‍රීත අය ද මුහුදින් ආදායම් උපයන අයද මේ පිලිබඳ උනන්දු නොවුවහොත් දශක දෙක තුනකින් කොරල් පර සදහටම නැතිවී යනු නොඅනුමානය.

චාමිනී සෙව්වන්දි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම ඩයස්ලාදා බොහෝමය. ඩයස් අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලාය. අපේ කිව්වාම ද අය බොහෝමය. කිරිහාමිගෙ ලොකු කොලූ, මැගිලින්ගෙ හීන් එකා, අප්පු හාමිගෙ මද්දුමී ඔය ඔක්කොම අපේ අයය. ඩයස්ලා පංතියෙ ඉස්සරහින්මය. අපේ අය පිටිපස්සෙන්මය. ඩයස්ලා පංතියෙ පළමුවැනියෝය. දෙවැනියෝය, තුන්වැනියෝය. අපේ අය හැමදාම අන්තිමයෝය.

පංතියෙ ගුරුවරුද ඩයස්ලාගෙ පැත්තෙමය. ඉංග්‍රීසි ටීචර් ඩයස්ලාගෙ පැත්තෙමය.ගණිත ගුරුවරයාද ඩයස්ලාගෙ පැත්තෙමය. විෂයන් අටම ඩයස්ලාගෙ පැත්තෙමය. හාමුදුරුවන් පමණක් දෙපැත්තේමය. හාමුදුරුවෝද සමහරවිට ඩයස්ලාගෙම පැත්තේය. ඒ ඩයස්ලා ගොඩක් පින් කර ඇති බැවිනි. හාමුදුරුවෝ කියන විදිහට අපේ අය පව්කාරයෝය. හැමදාමත් පව්කාරයෝය.

ඩයස්ලා පාන්දරම පාසල් එති. ඒ කාර්, වෑන් ආදි අමුතු තාලයේ වාහන වලින්මය. වාහන වලින් බහින ඩයස්ලා ඩැඩීලාට, මමීලාට හාදු දෙති. ඩැඩීලා, මමීලා ද ඩයස්ලාට හාදු දෙති. හාදු දී බායි කියති. ඩයස්ලාද බායි කියති. ඉන්පසු ඩයස්ලා පාසලට එති. අපේ අය පාසල් එන්නේද පාන්දරින්මය. හැතැප්ම 3ක් පමණ පයින්මය. සෞඛ්‍ය ටීචර් කියන විදිහට පයින් ඇවිදීම ශරීරයට ව්‍යායාමයක්ය. ඒ නිසා අපේ අය බස් තිබුණත් පයින්ම එති. පයින් නො ආවත් ඩයස්ලාගෙ සෞඛ්‍යය හොඳය. හැමදාමත් පයින් එන අපේ සෞඛ්‍යය අන්තිම නරකය.

ඩයස්ලා අඳින්නෙ නිල්ම නිල් පාට කලිසම්ය. සුදුපාට කමිස පොඩිය. ඩයස් නංගිලා, අක්කලා අපේ අය සමග කතා නොකරති. ඩයස්ලා දාන්නෙ කළුපාට සපත්තුය. සුදුම සුදු මේස්ය. අපේ අයගෙ ඇඳුම් සරම් කෙටියය. කඩමාල්ලය. දෙපයට ගෙවුණු රබර් සෙරෙප්පු දෙකය.

ඩයස් අයියලා අක්කලා තරමක් හොඳය. ඩයස්ලාද තරමක් හොඳය. ඩයස් නංගිලා, මල්ලිලා අපට නරකය. ඒ ඩයස් නංගිලා මල්ලිලා අපේ අයට ගසන නිසාය. ඒ කෝක උනත් ඩයස්ලා සැවොම ලොකු මහත්තයාට හොඳය. අපේ අය අන්තිම නරකය. ඒත් හිටපු ගමන් අපේ අයද ලොකු මහත්තයාට හොඳය. ඒ අපේ අයගෙන් ලොකු මහත්තයාට වැඩක් කරගැනීමට උවමනා වූ විටය.

ඩයස්ලා ඉන්නෙ අපේ වත්තට එහා වත්තේය. එහා වත්තෙ කිවුවට ඩයස්ලාගෙ හා අපේ වතු මැදින් විශාල තාප්පයකි. ඒ තාප්පයෙ එහා පැත්තෙ ඩයස්ලාය. මෙහා පැත්තෙ අපේ අයය. එහා පැත්තෙ ඩයස්ලාට මෙහා පැත්තෙ අපව නොපෙනේ. ඒ තරම තාප්පය විශාලය. ඒත් සමහර දාට අපේ අය එහා පැත්තට යති. ඒ ඩයස්ලට උදවු ඕනෑ විටය. අපේ අය එහේ ගොස් පොල් කඩති. පොල් ගාති. පොල් අදිති. ඒත් කවදාවත් ඩයස්ලා අපේ පැත්තට නො එති. ඒ අපිට ඩයස්ලාගෙ උදව් ඕනෑ නැති නිසාය.

ඩයස්ලාගෙ ඩැඩීලාගෙ පරම්පරාව මහ විශාලය. ඩයස් මමීලාගෙ පරම්පරාවද එහෙමය. ඩයස් ඩැඩීලා දොස්තර වරුය. මමීලාද දොස්තරවරුය. ඩැඩීලාගෙ මල්ලිලා බාප්පලා ඉංජිනේරුවරුය. මංත්‍රිවරුය. මමීලාගෙ උදවියද ඊට දෙවෙනි නැත. මමීලාගෙ පප්පා නඩුකාරයෙකි. ලොකු උදවිය කියන විදියට බැරිස්ටර් කෙනෙකි. අපේ අයගෙ සීයල ගොයියෝය. තාත්තලා ගොයියෝය. අම්මලාද ගොයියෝය. මුළු මහත් පරම්පරාවම ගොයියෝය. මුළු දවසම ඉන්නෙ කුඹුරේය. මුළු ඇඟේම මඩය. ලොකු මහත්තය කියන විදියට මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු වූයෙ ඉස්සරය. දැන් මඩ සෝදා ගත් කල ගොයියා කිසිම දේකට සුදුසු නැත.

ඩයස්ලාගෙ ගෙදර බල්ලන් තුන් හතර දෙනෙකි. උන්ට ඇත්තෙ අමුතුම තාලයෙ නම්ය. ටාසන්, ලේසර්, ගෝල්ඩි උන්ගේ නම්ය. උන් ඩයස්ලාට හරිම කීකරුය. ඩයස්ලා උන්ව හවසට ඇවිදින්නට එක්ක යති. කුඩා ළමුන් මෙන් සුරතල් කරති. ඒ නිසා උන් කවදාවත් ඩයස්ලාට බුරන්නෙ නැත. ඒත් උන් අපේ අය දැක්ක තැන බුරති. ඒ උන්ගෙ හැටිය. උන් කන්නෙ මස්ය, මාළුය, බේකන්ය. අපේ අයටද බල්ලන් තුන් හතර දෙනෙක් වෙති. උන් අහුවෙන හැම දෙයක්ම කති. උන් කාටවත් බුරන්නෙ නැත. කවුරු හෝ උන්ට බිරුවත් උන් ගනන් නොගනිති. උන් කාටත් නැට්ට වනති. ඒ උන්ගෙ හැටිය.

ඒ කෙසේ වෙතත් ඩයස්ලාත් අපිත් මිනිසුන්මය; ඩයස්ලාගෙ බල්ලනුත් අපේ බල්ලනුත් බල්ලන්මය. අපි හා ඩයස්ලා අතර වෙනසක් නැත. නමුත් ඩයස්ලා ඩයස්ලාමය. අපි අපිමය. ඩයස්ලා තවමත් කාර්, වෑන් වලින් යති. පළවැනියෝ වෙති. කොල නිල් කලිසම් අඳිති. ඒ ඩයස්ලාගෙ හැටිය. අපේ අය තවමත් ව්‍යායාමයට පයින් යති. සරම් කෙටි අඳිති. අන්තිමයෝ වෙති. ඒ අපේ අයගේ හැටිය.

-ඉර්සුල රාජකරුණා [13 වසර ගණිත -5]
[උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කළ 'පුබුදු' සඟරාවෙන්]

ඉර්සුල රාජකරුණා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


හා හා පුරා 'කවි දෝසිය' පටන් ගන්න අපි තෝරා ගත්තේ, බූන්දිය හුරු පුරුදු මිතුරන්ට නිතර හමු වෙන මාමලා දෙදෙනෙකුගේ කවි. හැබැයි මේ කවි මේ මාමලා ලියලා තියෙන්නෙ, ඒ මාමලා පොඩ්ඩො වෙලා උන්න කාලෙ. උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කරපු 'පුබුදු' සඟරාවෙන්. අනික් ලොකු මාමලත් පොඩ්ඩො සන්දියේ ලිවුව දේවල් හොයලා එවුවොත් දෝසියෙන් බෙදා ගන්න පුළුවන්.

මගේ පුංචි කරත්තේ

පොඩි මාමා ඉරිද පොළෙන් මිළට ගෙනා කරත්තේ
වහල වටේ රැළි එල්ලා හරි ලස්සන කරත්තේ
රතු පාටට රෝද දෙකයි හරිම හැඩයි කරත්තේ
ගේ පුරාම හරි සද්දයි ටක ටක ටොක් කරත්තේ

පොඩි මල්ලිගෙ බලු පැටියා දාගෙන ගිය කරත්තේ
සුදු නංගිගෙ බෝනික්කා දාගෙන ගිය කරත්තේ
ලොකු අයියා තරහ ගිහින් පොළොවෙ ගහපු කරත්තේ
ටක ටක සද්දය නෑ දැන් මගේ පුංචි කරත්තේ

අනුෂ්ක තිලකරත්න
6-1
1994 පුබුදු

පාළුව

හමා එන මඳ සුළඟ
පවසන්නෙ පාළුවයි
සිලි හඩින් සැලෙන පත්
හඟවන්නෙ තනිකමයි
දිලි දිලී නිවෙන තරු
අහසෙ පාළුව මකයි
ම අත වු පන් හිඳෙන්
මගේ පාළුව මැකෙයි

චරිත් සේනාධීර
8 වසර
1994 පුබුදු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails