වක්කඩ ළඟ දිය කෙළියේ

කෙකටිය මල් අතරින්නේ

නටමින් සතුටින් ඉන්නේ

මාළුවෝ අපී

ඕවිට ළඟ ගොරක ගහේ මේ

කොක් හාමියි තපස් රකින්නේ

කෙකටිය පදුරක් අස්සේ

සැඟවීලා හොරෙන් බලා

බියෙන් සැකෙන් අපි මේ ඉන්නේ

මාළුවෝ අපී යාළුවෝ අපී

සතුටින් සමගියෙන් ඉන්න

වීරයෝ අපි...

ආර්. ඒ. පී. පුලිනි තරුෂිකා

8 වසර ඩී- ගෝතමී බාලිකා විද්‍යාලය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post

"ඔන්න මම බිත්තරය බිඳගෙන එළියට ආවා". කුකුළු පැටියා බිත්තරෙන් එළියට ඔලුව දමාගෙන වටපිට බැලුවා.

"මොකද මේ තරම් එළිය වැටිලා තියෙන්නේ?" ඌ ඇසුවා. කුකුළු පැටියා වටපිට බලා උඩ බැලුවා. ඉරු රැස් හන්දා ඌට ඇස් දෙක පියාගන්ට සිදු වුණා. "මම දැන් දන්නවා! ඉර තමා මෙහෙම එළිය දෙන්නේ. ඉරත් මම වගේම කහ පාටයි. වෙනස මම බිම ඉන්නවා, ඉර උඩ ඉන්නවා. නුඹ මට ඉස්සෙල්ලා බිත්තරය බිඳගෙන ඉහළ නැග්ගාද?" කුකුළු පැටියා ඉර දිහා බලා ඇසුවා.


ඉර කුකුළු පැටියාට උත්තර නොදී හිනා වුණා. එතකොට ඉර අව්ව තවත් වැඩි වුණා. කුකුළු පැටියා බිත්තරයෙන් එළියට විත් පුංචි කකුල් වලින් තණ බිස්සට දුව ගියා.

තරමක් ඈත දුඹුරු පාට පුංචි ලී ගෙයක් තියෙනවා ඌ දැක්කා. ගේ ඇතුලේ කවුදෝ හුස්ම ගන්නවා. කුකුළු පැටියා ගෙට් හොටෙන් තට්ටු කලා.

"මේ ගෙදර ඉන්නේ කවුද?"

කිසිවෙක් උත්තර දුන්නේ නෑ.

ගෙයි ඇතුලේ කවුදෝ කතා කරනවා වගෙ ඇහුණා. ඊට පස්සෙ ගේ ඇතුලේ සිට ලොකු ඔළුවක් එළියට දැමු සතෙක් කතා කළා.

"නුඹ කවුද?" කුකුළු පැටියා ඇසුවා.

ලොකු ඔළුවක් ඇති සතා නිදිමතෙන් වගේ කතා කලා.

"මේ ගෙයි අයිතිකාරයා මම තමයි."

කුකුළු පැටියා පුදුම වුණා.

"අයිතිකාරයා? ගෙදර?"

"ඔව්" බලු පැටියා කිව්වා.

බලු කූඩුව අයිතිකාර බලු පැටිය දිහා බලා කුකුළු පැටියා මෙහෙම කිව්වා.

"එන්න මා සමග සෙල්ලම් කරන්න"

"නුඹ ළඟ මොනව හරි තියෙනවද?" බලු පැටියා ඇහුවා.

"නැහැ" කුකුළු පැටියා කණගාටුවෙන් කිව්වා.

"අපොයි, එහෙනම් නුඹ එක්ක සෙල්ලම් කරන්න මට බැහැ" බලු පැටියා කීවා.


"බැරි මොකද? බැරි මොකද? මේ බලන්න මට හොඳට උඩ පනින්න පුළුවනි" කියලා කුකුළු පැටියා කීවා. ඌ දෙතුන් වරක් උඩ පැන්නා.

බලු පැටියා ඈනුමක් ඇරලා බලු කූඩුවට රිංගුවා.

කුකුළු පැටියාට මතක් වුණා;

"ඔන්න බලන්න, මගෙ ලඟ තියෙන සෙල්ලම් බඩුව!" කුකුළු පැටියා බිත්තර කටුව පෙන්නුවා.

බලු පැටියා අකමැත්තෙන් කූඩුවෙන් එළියට ආවා.

"හරි සෙල්ලම් බඩුවක් තමයි! නුඹේ බිත්ත්ට කටුව මං එක පහරින් පොඩි කර දමනවා! එක පහරයි! දැක්කද?" බලු පැටියා පා පහරක් ගහලා බිත්තර කටුව පොඩි කළා.

කුකුළු පැටියාට හොඳටම දුක හිතුණා.

"මා ළඟ... මා ළඟ.."

වටේටම බොහෝ දේ තිබුණා. නිල් පාට පිට්ටනි. ලස්සන සමනලයෝ, වතුර වලවල්. ඒ වතුර වලවල් වලට ඉරු එළිය වැටී තිබෙනවා.

"මගේ ළඟ තවත් සෙල්ලම් බඩුවත් තියෙනවා." කුකුළු පැටියා ඉර පෙන්නලා කිව්වා.

බලු පැටියා හිනාවුණා.

"හා!හා!ඉර! ඉර කාටවත් අයිති නැහැ!"

"අයිති නැතිද?"

"නැහැ"

බලු කූඩුව කාගෙද?"

"මගේ!"

"නුඹගෙද?"

"මගේ!"

ඉර කාගෙද?"

"කාගෙවත් නොවේ!"

"කාගෙවත් නොවේ නම්.. ඉර කාටවත් අයිති නැතිනම්, මම අරගන්නම්!

කුකුළු පැටියා මෙහෙම කියලා ඉරු රැස් වැටී තියෙන වතුර වළක් ලඟට ගියා.

"නැවතියන්, කුකුළු පැටියා!" බලු පැටියා කෑ ගැසුවා.

" මම නුඹට මගේ කූඩුවෙන් බාගයක් දෙන්නම්. නුඹ ඉර අරගන්ට එපා. හොඳද?"

"නුඹේ බලු කූඩුවෙන් බාගයක් මට මොකටද? මට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?" කුකුළු පැටියා ඇහුවා.

"ප්‍රයෝජනය කුමක්ද? මෙන්න මේකයි. කූඩුවෙන් බාගයක් නුඹේ. නුඹ මම වගේම අයිතිකාරයෙක්!"

"හොඳයි" කුකුළු පැටියා කැමති වුණා.


බලු පැටියා කියතක් හොයාගෙන ඇවිත් කූඩුව දෙකට කැපුවා. ලී කුඩුවලින් පුසුඹක් පැතිර ගියා. කූඩුව දෙකට වෙන්වුණා. ලී කුඩු මැද වාඩි වුනු බලු පැටියා බොහොම සතුටු වුණා. උගේ දිවේත් ලී කුඩු ටිකක් තිබුණා. කුකුළු පැටියා ඇවිත් බල්ලාගේ දිවට කටින් පිම්බා. ලී කුඩු සුළඟට වීසිවෙලා දෙදෙනාටම කිඹුහුන් ගියා.

"ඔන්න කූඩුව දෙකට කැපුවා. දෙදෙනාටම ඉන්ට පුළුවනි" බලු පැටියා කීවා.


බලු පැටියාට අයිති කෑල්ලෙ බලු පැටියාත්, කුකුළු පැටියාට අයිති කෑල්ලෙ කුකුළු පැටියාත් හිටියා. බලු පැටියා ඔළුව හොලවලා බොහොම සතුටින් මෙහෙම කීවා.

"අපි හොඳ වැඩක් කළා නෙවද?"

"ඔව්" කුකුලු පැටියා උත්තර දුන්නා. ඌට හීතල දැනුනු හන්දා ඌ කූඩුවේ මුල්ලකට වෙලා උණුහුම් වෙන්ට පටන් ගත්තා. එහෙත් ඌට කොහොමටවත් උනුහුම් වෙන්ට බැහැ.

ඉර වළාකුලකට මුවා වෙලා නොපෙනී ගියා. හැම දෙයක්ම කළු ගැහිලා අවලස්සන වුනා. සීත හුලං හමා ගියා. වැස්ස වහින්ට පටන් ගත්තා.

"කුකුළු පැටියො!" බලු පැටියා කතා කළා.

"මොකද?" කුකුළු පැටියා හීන් හඬින් ඇහුවා.

"නුඹ වරෙන් මගේ ගෙදරට, මම එන්නම් නුඹේ ගෙදරට"

"ඉස්සෙල්ල එන්නෙ කවුද?"

"කුකුළු පැටියා මගේ ගෙදරට එන්න"

"හොඳයි"

කුකුලු පැටියා බලු පැටියා ළඟට ගියා. බලු පැටියා ළඟත් සීතලයි. උණුහුම් වෙන්ට බැහැ. බලු පැටියා ළඟට තුරුළු වුණු කුකුළු පැටියා කළු පාට වතුර වල දිහා බැලුවා. බලු පැටියාට හොඳටම් සීතල නිසා ඌ ඉක්කා ගහන්ට පටන් ගත්තා.

"නුඹ දන්නවද, මට හොඳ වැඩක් කල්පනා වුනා" කුකුලු පැටියා කීවා.

"මොකද්ද?"

"අපි දෙදෙනාම ආයෙමත් මේ කූඩුව එකට එක් කරමු. අපි දෙන්නම එකම කූඩුවේ වාසය කරමු. කුකුළු පැටියයි බලු පැටියයි යාළු වෙලා ඉඳිමු"


දෙදෙනාම බොහොම සතුටු වෙලා හිනා වෙන්ට පටන් ගත්තා.

වළාකුළ පාවෙලා ගියාට පස්සෙ ඉර බිම බැලුවා. පුංචි බලු කූඩුවේ ඉඳගෙන බලු පැටියයි, කුකුළු පැටියයි බලන සැටි ඉර දැක්කා. ඉර වටේට පායලා බටහිරින් බැහැලා ගියා.

"අද ඉර බැහැලා ගියාට ගෙට ආයෙමත් පායාවි. ඔව්. ඉර හැමදාම පායනවා. දැන් ඉර අපි දෙදෙනාටම අයිතියි" කියලා බලු පැටවා කීවා.

දෙදෙනාම බොහොම සතුටු වුණා.

-යූරි අවෙරින්කොව්-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

පැණි පෙරෙනව හරි සුවඳයි
වලස් පැටිය පැණි කනවා
පැණි වෙනුවට
කට ඇතුළට
මී මැස්සෝ රිංගනවා


පාන්දරින් නැගිටලා
බැද්ද දිගේ පැන පැන ගොස්
ස්ට්රෝදබෙරි ගෙඩි කනවා
ගෙඹි පැටවුන් තුන්දෙනා


පාන්දරින් කැලේට ගොස්
මල් නොතලා
කොළ නොකඩා
පිනි බොන්නට
ආසයි මම


පොඩි හුළඟක් හැමූ විගසින්
තනකොළ මල් සෙලවුණ විට
දඩිබිඩි ගා පැන දුවන්නෙ
දිග කන් ඇති
ලොකු ඇස් ඇති
ලස්සන පොඩි හා පැටවුන්.


කුරුමිණියෙකු වටකරගෙන
තාර පැටව් ටොකු අනිනව
කුරුමිණියා
අඬු දිගු කොට
පෙරටම යයි
සටන් බිමට.


එන්න එන්න මා ළඟට
මා දැන් ලොකු කුකුළෙක්
මගේ හොටෙන් ඇනපු ගමන්
පුංචි ඔබ කෑ ගසාවි.


වටු පැටියගෙ ඔළුව වටේ
බත් කූරෙක් කැරකෙනවා
කටට වැටෙන තුරු ඒකා
කට ඇරගෙන බලා සිටී


බිලි පිත්තක් අතින් රැගෙන
මාළු බාන්නෙක් ඇල ලඟ
දවල් බතට, කිරි හොද්දට
මාළු ටිකක් අල්ල ගන්ට
පැය ගණනක් දුක් විඳිනව


වැහි කාලෙට අපේ සෙවන
ලොකු ලොකු මේ හතු විතරයි
මොර සූරන මහ වැස්සේ
හතු යට අප ලැග ගන්නේ


පවන වගේ දුවනවා
වඳුරා වගේ පනිනවා
පුංචි පැටිය පැන පැන යයි
කුරුළු පැටව් මල් ගෙන යයි.


රුවැති, හැඩැති
අස්ස පැටව්
බෙර තාලෙට
නට නට යති.


අං එන හන්දා
අයියයි මලයයි
පොර කා ගනිති
සමනලයෝ උන් දෙන්නට
සිනාසෙති.

සිංහල අනුවාදය : ප්‍රගති ප්‍රකාශක මන්දිරය මොස්කව්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


තුරු ලතා

            තුරු         ලතා
            ලොව       පුරා
            ඇති        නිසා
            දේ       සොබා

            එම         නිසා
            දින         පතා
            රැක        බලා
            ගමු         ඉතා

           කුස          පුරා
           ගිනි         නිවා
           ගස්         සිනා
           සෙයි      බලා

           කට          පුරා
           ගුණ        වයා
           කොළ     කඩා
           ලනු         එපා

           නිති         පතා
           බත්        කකා
           ගස්          දිහා
           ඇස්    නොලා

           නොව     වහා
           සිත්     යොමා
           ලොල්     වඩා
           ගනු        මනා

          රට           පුරා
          ගස්          වවා
          නෙත්      පියා
          ගනු      සොඳා

          තුරු        ලතා
          ලොව      පුරා
          ඇති        නිසා
          දේ      සොබා


ලිව්වේ : වීරයා මාමා       
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ඔන්න එකෝමත් එක කාලෙක ඈත රටක මහල්ලෙකුයි මැහැල්ලකුයි ජීවත් වුණා. දවසක්ද මහල්ලා මැහැල්ලට කතා කරලා කිව්වා,

"අනේ හාමිනේ, බොහොම බඩගිනියි මට. බනිස් ගෙඩියක් පුළුස්සලා දෙන්න" කියලා.


ඉතින් මැහැල්ල පිටි භාජනේ පතුල පිහදාලා ඒකෙ තිබුණු අන්තිම පිටි ටික අරගෙන, ඒක ගුලි කරලා පුංචි රවුම් හැඩයේ බනිස් ගෙඩියක් හදලා, ඒක ගිණි උඳුනට දමලා පිළිස්සුවා. ඊට පස්සෙ, බනිස් ගෙඩිය නිවෙන්නට කියලා ජනේලෙ අයිනෙන් තැබුවා.

පුංචි රවුම් බනිස් ගෙඩිය ජනේල කවුළුව ලඟ හුඟ වෙලාවක් නිවි නිවී ඉඳලා එක පාරටම පෙරළීගෙන පෙරලීගෙන යන්න පටන් ගත්තා. ජනේල කවුලුවෙන් පහලට පෙරලුණු බනිස් ගෙඩිය ඉස්සෙල්ලාම බංකුවටත්, බංකුවෙන් බිමටත් බිම දිගේ ගිහින් දොර ළඟටත් පෙරලීගෙන ගියා. එතැනින්, ගෙයි එළිපත්තටත්, එළිපත්තෙත් ඉස්තෝප්පුවටත්, ඉස්තෝප්පුවෙන් ගෙයි මිදුලටත්, ගෙයි මිදුලෙන් කඩුල්ල ලඟටත්, කඩුල්ලෙන් පාරටත් පෙරලීගෙන පෙරලීගෙන ගියා. ඉතිං ඔන්න ඔහොම පුංචි රවුම් බනිස් ගෙඩිය නොනැවතීම ඉදිරියට පෙරළීගෙන පෙරළීගෙන ගියා.



බනිස් ගෙඩිය පෙරළීගෙන පෙරළීගෙන යද්දි ඉස්සෙල්ලාම මුණගැහුනෙ හා හාමිව.


"ඒයි, පුංචි රවුම් බනිස් ගෙඩිය, ඔහොම ඩිංගක් නැවතියන්. මට හොඳටෝම බඩගිනියි. මං උඹව ගිලින්නයි හදන්නෙ" හා හාමි කිව්වා.

"අනේ, මගෙ හොඳ හා හාමියේ ඊට කලින් මට සිංදුවක් කියන්ට ඉඩ දෙන්න " පුංචි රවුම් බනිස් ගෙඩිය ඉල්ලා හිටිය.

"හා හොඳයි"

ඉතින් බනිස් ගෙඩිය මෙන්න මෙහෙම ගායනා කරන්න පටන්ගත්තා.



“පිටි පෙට්ටිය සූරාලා
පතුල හොඳට පිහදාලා
ගිණි උඳුනේ පුච්චාලා
හැදුවේ මං මහන්සියෙන්
හොඳට නිවෙන්නට කියලා
කවුළුව ලඟ උන්නේ මං
මැහැල්ලගෙන් පැන ආවා
මහල්ලාගෙන් පැන ආවා
හාවාගෙන් පැන යන්නෙමි
මේ මොහොතෙ මං!”


එහෙම කියලා ඔන්න ආයෙමත් පුංචි රවුම් බනිස් ගෙඩිය පෙරලෙන්නට පටන් ගත්තා.

ඔහොම පෙරළීගෙන යද්දි, ඊලඟට මුණගැහුණෙ වෘකරාළහාමිව.


"ඒයි, පුංචි රවුම් බනිස් ගෙඩිය, ඔහොම නැවතියන්. මා දැන් උඹව ගිලින්නයි හදන්නෙ" වෘකයා කිව්වා.

"අනේ, අළු වෘක රාළහාමියේ, මාව ගිලින්නට පළමුවෙන් සින්දුවක් කියන්න ඉඩ දෙනවද?"

ඔන්න එහෙම කියලා ආයෙත් අර සින්දුව කියන්ට පටන් ගත්තා මෙන්න මෙහෙම,



“පිටි පෙට්ටිය සූරාලා
පතුල හොඳට පිහදාලා
ගිණි උඳුනේ පුච්චාලා
හැදුවේ මං මහන්සියෙන්
හොඳට නිවෙන්නට කියලා
කවුළුව ලඟ උන්නේ මං
මැහැල්ලගෙන් පැන ආවා
මහල්ලාගෙන් පැන ආවා
හාවාගෙන් පැන ආවා
වෘකයගෙන් පැන යන්නෙමි
මේ මොහොතෙ මං!”


එහෙම කියලා ඔන්න ආයෙමත් පුංචි රවුම් බනිස් ගෙඩිය පෙරලෙන්නට පටන් ගත්තා.

වෘකයාගෙන් බේරිලා ආයෙත් ඔහොම පෙරලීගෙන පෙරලීගෙන යද්දි මුනගැහුණෙ වලස් පැංචෙක්.


"ඒයි, පුංචි රවුම් බනිස් ගෙඩිය ඔහොම නැවතියන්! බොහොම බඩගිනියි, මං දැං උඹව ගිලින්නයි යන්නේ" වලස් පැංචා කිව්වා.
“අනේ, අපොයි ඔබටත් බෑ !
පිටි පෙට්ටිය සූරාලා
පතුල හොඳට පිහදාලා
ගිණි උඳුනේ පුච්චාලා
හැදුවේ මං මහන්සියෙන්
හොඳට නිවෙන්නට කියලා
කවුළුව ලඟ උන්නේ මං
මැහැල්ලගෙන් පැන ආවා
මහල්ලාගෙන් පැන ආවා
හාවාගෙන් පැන ආවා
වෘකයගෙන් පැන ආවා
වලහාගෙන් පැන යන්නෙමි
මේ මොහොතෙ මං!”


එහෙම කියලා ඔන්න ආයෙමත් පුංචි රවුම් බනිස් ගෙඩිය පෙරලෙන්නට පටන් ගත්තා.



ඔහොම යද්දි ඊළඟට මුණගැහුනේ නරි හාමිනේව,

"අහා, කොහොමද පුංච් රවුම් බනිස් ගෙඩිය? ඔයා කොයිතරම් රවුම්ද? පැණිපාටද? ලස්සනද?" නරිහාමිනේ කිව්වා.

නරි හාමිනේගේ කතාවෙන් සතුටට පත් වුණු පුංචි රවුම් බනිස් ගෙඩිය නැවතිලා ආයෙමත් අර සිංදුව කියන්ට පටන් ගත්තා ඔන්න.

“පිටි පෙට්ටිය සූරාලා
පතුල හොඳට පිහදාලා
ගිණි උඳුනේ පුච්චාලා
හැදුවේ මං මහන්සියෙන්
හොඳට නිවෙන්නට කියලා
කවුළුව ලඟ උන්නේ මං
මැහැල්ලගෙන් පැන ආවා
මහල්ලාගෙන් පැන ආවා
හාවාගෙන් පැන ආවා
වෘකයගෙන් පැන ආවා
වලහාගෙනුත් පැන ආවා
නරියාගෙන් පැන යන්නෙමි
මේ මොහොතෙ මං!”

ඔන්න එහෙම කියලා පුංචි රවුම් බනිස් ගෙඩිය ආයෙමත් පෙරළෙන්නට සූදානම් වුණා.

"කොයිතරම් මිහිරි සිංදුවක්ද! අනේ, ඒක මට හොඳහැටි ඇහුණේ නෑ, උඹට පුළුවන්ද මගෙ නහය ලඟට ඇවිත් සිංදුව කියන්ට?" නරි හාමිනේ බනිස් ගෙඩියෙන් ඉල්ලා හිටියා.

නරිහාමිනේ ගේ නහය උඩට පැන්න පුංචි රවුම් බනිස් ගෙඩිය ඔන්න ආයෙමත් සිංදුව කිව්වා.

"ස්තුතියි, ඒක හැබෑම ලස්සන සිංදුවක් නොවැ!.අනේ, පුංචි රවුම් බනිස් ගෙඩිය, අන්තිම සැරෙට මගේ දිව උඩ වාඩිවෙලා ඒ සිංදුව කියාපන්" නරි හාමිනේ ඉල්ලා සිටියා පුංචි රවුම් බනිස් ගෙඩියෙන්.

ඉතිං පුංචි රවුම් බනිස් ගෙඩිය නරිහාමිනේගේ දිව උඩට පැන්නා. නරිහාමිනේ බනිස් ගෙඩිය එක කටට ගිල්ලා. ඉතින් එදා තමයි හැමෝම පුංචි රවුම් බනිස් ගෙඩිය පෙරලෙනවා දැක්ක අන්තිම දවස.

රුසියානු ජනකතාවක් ඇසුරිනි.
ඇන්දේ: වී. කුර්ෂෙව්ස්කි
සිංහලට නැගුවේ- ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails