ඇය කළ සොයාගැනීම වෛද්‍ය විද්‍යාවේ දියුණුවට මහත් බලපෑමක් කළේය. එය ඇයට කීර්තිය ගෙන ආවේය. එහෙත්, ඒ සොයාගැනීම ම ඇගේ මරණයට ද හේතු විය. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විශිෂ්ට විද්‍යාඥවරියක් වූ ඈ කවුද?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ලොව සිටින ලොකුම ගෙඹි විශේෂය ජීවත් වෙන්නෙ බටහිර අප්‍රිකාවේ. සාමාන්‍ය ව්‍යවහාරයේදි "ගොලියත් ෆ්‍රොග්" ලෙස හැඳින්වෙන්න මෙම විශාල ගෙඹි විශේෂය සත්ව විද්‍යාත්මකව නම් කරලා තියෙන්නෙ Conraua Goliath ලෙසයි. බටහිර අප්‍රිකාවෙ කැමරූන් සහ සමකාසන්න ගිනියාව නිජබිම කරගත් මෙම ගෙඹි විශේෂයේ වැඩුණු සතෙක් දිගින් සෙ.මී. 33 ක්ද, බරින් කිලෝ ග්රෑම් 3.3 ක්ද වෙනවා. ක්‍රස්ටේසියාවන්, කුඩා ගෙම්බන් සහ වෙනත් කෘමි විශේෂ ආහාර වශයෙන් ගන්නා මොවුන් ජීවත් වෙන්නෙ නොගැඹුරු වැලි පතුළක් ඇති වේගයෙන් ගලා යන ජල පහර සහිත ගංගා වලයි. මෙවැනි ගංගා වල හොඳින් ඔක්සිජනීකෘත වූ ඉතා පැහැදිලි ජලය තිබීම එයට හේතුවයි. කැමරූන් හි උතුරු ප්‍රදේශයේ සිට දකුණු දෙසට සමකාසන්න ගිනියාවේ බෙනිටෝ නදිය තෙක් කි.මී. 50 ක් වූ ප්‍රදේශය වාසස්ථානය කරගෙන තමයි මෙම ගෙඹි විශේෂයේ පැතිරීම සටහන් වෙන්නෙ. මෙම ගෙම්බන්ගේ ආයු කාලය වසර 15 ක්. මොවුන්ගේ ශ්‍රවණ සංවේදනයන් ඉතාම තියුණුයි. එහෙත් අනෙකුත් ගෙම්බන්ගේ මෙන් ඝෝෂක මඩි පිහිටා නෑ.

බටහිර අප්‍රිකානුවන්ට නම් ගොලියත් ගෙම්බන් කියන්නෙ ප්‍රණීත ආහාරයක්! ඒ විතරක් නෙමෙයි හොඳ සුරතලෙක්! වාසස්ථාන සීග්‍රයෙන් විනාශ වී යාමත්, ආහාරයක් ලෙස යොදා ගැනීමත් ලොව වටා විවිධ සත්වෝද්‍යාන වලට සහ සුරතලුන් ලෙස අපනයනය කිරිමත් මේ වන විට ඔවුන්ගේ සීග්‍ර වඳවී යෑමට හේතුවක් වෙලා තියෙනවා. එමෙන්ම මෙම ගෙඹි විශේෂය ස්වභාවික පරිසරයේ හැරෙන්නට කෘතිම පරිසරන්හිදී අභිජනනය නොකිරීමත් සැලකිය යුතු හේතුවක්. ඒ නිසාම, වඳවි යාමේ තර්ජනයට මුහුණ පා සිටින ගෙඹි විශේෂයක් ලෙස කැමරූන් රජය විසින් නම් කරනු ලැබ ඇති මොවුන් අපනයනය කළ හැක්කේ වසරකට ගෙම්බන් 300 ක් පමණක් ලෙස සීමා පනවලා තිබෙනවා.

පුබුදු ගයාන් වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


එක් කාලෙක මහලු මිනිහෙක් වාසය කළා. ඔහු කොච්චර මහලු ද කියතොත් ඔහුගේ ඇස් පේන්නේ නැහැ. අත පය වලංගු නැහැ. කෑම කන කොට අත වෙව්ලන නිසා කෑම බීම හැම තැනම දමනවා. ඇස් පේන්නේ නැති නිසා වැසිකිළියටවත් යන්න අමාරුයි. මහල්ලාගෙ පුතයි ලේලියි මහලු පියාට නියම විදිහට ඇප උපස්ථාන කළේ නැහැ. මහලු පියා නිදා ගත්තෙ ගෙයි මුල්ලෙ පැදුරකයි. ඇඳුම් සෝදා දුන්නෙ නැහැ. නාවලා පිරිසිදු කළේ නැහැ. මේ විදිහට මහල්ලා බොහොම දුක් වින්දා.

දවසක් කෑම කන අතර අත වෙව්ලන නිසා පිඟාන බිම වැටිල බිඳුණා. වතුර බොන කෝප්පයත් බිඳුණා. පුතයි ලේලියි පියාට හොඳටම බැණලා බෙලෙක් පිඟානකුයි වතුර බොන්න ටින් එකකුයි ගෙනත් දුන්නා. මහලු පියා ශෝකයෙන් ඇඩුවා මිස වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ.

මහල්ලාට පොඩි මුණුපුරෙක් හිටියා. දවසක් ඒ පොඩි දරුවා කුණුගොඩක තිබුණු පරණ බෙලෙක් පිඟානකුයි ටින් එකකුයි හොයා ගෙන හොඳට හෝදලා ගෙදර ගෙනත් තිබ්බා.

''මොනවටද පුතා මේ පරණ බෙලෙක් පිඟානයි, ටින් එකයි හෝදලා තිබ්බේ?'' කියා අම්මයි තාත්තයි ඇහැවුවා.

''මම ලොකු මිනිහෙක් වෙලා කසාද බැන්ඳට පස්සෙ තාත්තා නාකි මිනිහෙක් වෙනවා. එතකොට තාත්තට කන්න බොන්න දෙන්න මම දැන්ම ඉඳලා පිඟානකුයි, ටින් එකකුයි සූදානම් කරල තියනවා.'' කියා දරුවා කිවුවා. තාත්තගෙයි අම්මගෙයි ඇස්වල කඳුළු පිරුණා. ඔවුන් ඉක්මනට තාත්තව නාවලා, පිරිසිදු ඇඳුම් අන්ඳවලා, නිදාගන්න හොඳ ඇඳක් දීලා පියා මිය යන තෙක්ම හොඳට ඇප උපස්ථාන කළා.

ලියෝ තෝල්ස්තෝයි
පරිවර්තනය - සිරිල් සී. පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ගොඩනැගිලි ඉදිරිකිරීම් කර්මාන්තයේදි කවදත් නැතුවම බැරි දෙයක් තමයි ගඩොල් කියන්නෙ. ඒත් මේ ගඩොල් ගලටත් ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? ගඩොල් ගල් භාවිතය මුලින්ම ආරම්භ වෙලා තියෙන්නෙ නියෝලිතික යුගයෙදියි. ඒ කාලේදී බොහොම සරල ක්‍රමයක් අනුගමනය කරලා තමයි ගඩොල් සෑදිම කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ අනා ගත් මැටි හෝ මඩ සකසා ගත් අච්චුවක දමලා ඉර අව්වේ වේලෙන්නට තියලා තමයි ආදි වාසින් ගඩොල් නිර්මාණය කරගත්තෙ. සූර්ය තාපයෙන් වියලූ මඩ ගඩොල් සෑදිම සහ භාවිතය ඇරඹී ඇත්තේ මෙසපොතෙමියාවෙන්.

ඒ ක්‍රිස්තු පූර්ව 4000 කට පමණ පෙර. මැටි කර්මාන්තයේ හා තාක්ෂණයේ ක්‍රමික දියුණුවත් සමග පෝරණු උපකාරයෙන් ගඩොල් පිළිස්සීම ඇරඹිල තියෙනවා. එමගින් වඩා කල්පවතින විදියට ගඩොල් සකස් කරගන්නට පුළුවන් කම ලැබී තිබෙනවා. මුල්ම ශිෂ්ඨාචාර යුගවලට අයත් මෙසපොටේමියාවෙ සහ ඊජිප්තුවේ ගොඩනැගිලි වල මෙසේ පුළුස්සා සකසා ගත් ගඩොල් තවමත් දක්නට ලැබෙනවා. ඒවායෙහි පිටත බිත්ති පිලිස්සු ගඩොල් ඇතිරීමෙනුත් ඇතුළත බිත්ති සූර්ය තාපයෙන් වියලා ගත් ගඩොල් වලිනුත් සකසා තිබෙනු දක්නට පුළුවන්.

පුරාණ ඊජිප්තුවෙ සහ ඉන්දු නිම්න ශිෂ්ඨාචාර වාසීන් මඩ වියලා සකස් කරගත් ගඩොල් සුලබව භාවිතා කරලා තිබෙන බව බුහෙන්, මොහෙන්ජදාරෝ සහ හරප්පාහි නටබුන් වල පැහැදිව පෙනෙන්නට තිබෙනවා.

ඉන් පසු කාලයේදී රෝමානුවන්, ජර්මානුවන් සහ චීන ජාතිකයින් ගඩොල් සෑදිම සහ භාවිතය බොහෝ සෙයින් සිදු කලා. ඒ විතරක් නෙමෙයි ගඩොල් භාවිතා කරලා සුවිසල් එමෙන්ම ව්ශ්මිත ගොඩනැගිලි ඉදිකරන්නටත් පෙළඹුනා.

4 වෙනි සියවසේ ඉදිකල රෝමානු- කොන්ස්තන්තීනු බැසිලිකාව, වර්ෂ 1500 දී ජර්මනියේදී ඉදිකළ ලොව උසම ගඩොල් කුළුන සහිත ශාන්ත මාර්ටිනස් පල්ලිය, ඔර්ඩන්ස්බර්ගිහි ඉදිකර ඇති ලොව විශාලම ගඩොලින් නිම වූ රජ මාළිගය ලෙස සැළකෙන මැල්බර්ක් මාලිගය මේ විස්මිත ගඩොල් නිර්මාණ අතර තිබෙනවා. ඒ වගේම ජේතවනාරාම ස්ථූපය ලොව ඇති සුවිසල්ම ගඩොල් නිර්මාණ අතරින් එකක්.

නීල්යා කාරියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


නිල් අහස වෙන්න ආසයි මට අම්මේ
වලාකුළක ගෑවි ගෑවි කතා කරන්න

පොඩි තරු කැටයක් වෙන්න ඕනෙ අම්මේ
හඳ නැති දාටත් අම්මා ළඟ තනියට ඉන්න

ලොකු ගඟක් වෙන්න ආසයි මට අම්මේ
වන වදුලු මැදින් නගර මැදින් ගලා බහින්න

මහ මුහුද වෙන්න ආසයි මට අම්මේ
දඟ රැල්ල වෙලා පුංචි අයගෙ කකුල් තෙමන්න

තිත් මුව පැටියෙක් උනොත් එහෙම අම්මේ
මට පුළුවන් වෙයි පිම්මෙ දුවලා ඔට්ටු තියන්න

රන් සමනලයෙක් වෙන්නද මම අම්මේ
දුර පියාඹලා දේදුන්නෙන් පාට ගේන්න

හැඩ මල් යායක් වෙන්නම් මම අම්මේ
ඉරත් එක්ක අවදි වෙලා සුවඳ බෙදන්න

මම හොඳ ළමයෙක් වෙන්නම් මගෙ අම්මේ
මාව ආදරේට තුරුල් කරන් කතා කියන්න

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


විතාලික් ගේ අම්මා එයාට පුංචි කාප් මාළුවෙක් දැමූ ටැංකියක් තෑගි දුන්නා. ඇත්තටම ඌ හරිම ලස්සන පුංචි මාළුවෙක්. මුලදී විතාලික් ඒ ගැන කොයිතරම් සතුටට පත් වුණාද කිව්වොත් ඌට කෑම දැම්මෙත් ටැංකියෙ වතුර දිනපතා මාරු කළෙත් විතාලික්මයි. ඒත් කාලය ගෙවෙද්දි විතාලික්ට ඒ ගැන තිබුණු උනන්දුව-

-අඩු වෙලා යන්ට පටන් ගත්තා. කොච්චර අඩු වුණාද කියතොත්, ඌට කෑම දෙන එක පවා විතාලික්ට අමතක වුණා.

ඔන්න ඒ වගේම විතාලික්ට හිටියා මුර්ෂික් කියලා පූසෙකුත්. ඌ අළු පාට ලෝම පිරුණු, විසාල කොළ පාට ඇස් දෙකක් තියෙන එකෙක්. මුර්ෂික් ටැංකිය ඇතුලේ එහාට මෙහාට පීනන පුංචි කාප් මාලුවා දිහාවෙ බලා ඉන්ට ආස කළා.ඉතින් ඌ කලේ පැය ගණන් ටැංකිය ඉදිරියෙ ඉඳගෙන කාප් මාලුවා දිහා බලාගෙන ඉන්න එකයි.

"මුර්ෂික් දිහාවෙ ඇහැ ගහගෙන ඉන්න එක හොඳයි. නැත්තං ඔන්න ලඟදීම දවසක ඔයාගෙ මාළුවව කාලා දමන්න බැරි නෑ." ඔන්න විතාලික් ගේ අම්මා අනතුරු ඇඟෙව්වා.

"එයා එහෙම කරන්නෙ නෑ. එහෙම නොකරන්න මං බලාගන්නම්කො" ඔන්න විතාලික් කිව්වා.

දවසක් අම්මා එළියට ගිය වෙලාවේ, සෙර්යෝෂා කියන යාළුවා ආවා විතාලික්ව බලන්න."ෂා...හරිම ලස්සන කාප් මාලුවෙක්! මං ඔයාට නලාවක් දුන්නොත් මේ මාළුවව මට දෙනවද?" ඔන්න කාප් මාළුවා දැක්ක හැටියෙම එයා ඇහුවා.

"මට මොකටද නළාවක්? අපෝ, නළාවකට වඩා මාළුවා කොච්චර හොඳයිද!"

"නෑ. එහෙම නෙමෙයි. නළාව නම් පිඹින්න හරි පුළුවං. ඒත් මාළුවෙක්ගෙන් මොනව කරන්නද?"

"ඌ ටැංකියේ පීනන හැටි බලන්න පුළුවන් නෙව. නිකම්ම නිකං නලාවක් පිඹිනවට වඩා ඒක කොයිතරම් අපූරුද!"

"හරි මෝඩයෙක් තමයි!" ඔන්න සෙර්යෝෂා කිව්වා.

"ඒ විතරක් නෙමෙයි. මේ පූසට පුළුවං ඕනෙම වෙලාවක ඔයාගෙ මාළුවා ගිලලා දාන්න. එහෙම වුනොත් මාලුවත් නෑ, නලාවත් නෑ. නලාව යකඩවලින් හදලා තියෙන නිසා පූසට බෑ කොහෙත්ම ඒක කන්න "

"අම්මා ආස නෑ මං එක එක දේවල් හුවමාරු කරගන්නවට. නලාවක් ඕනෙ නම් අම්මා මට අරන් දෙයි"

"ඒත් ඔයාගේ අම්මට බෑ කවදාවත් මේ වගේ නළාවක් ඔයට අරන් දෙන්න.මොකද මේව කඩෙන් ගන්න බැරි හන්දා. මේක හමුදාකාරයෙකුගේ නලාවක්. දන්නවද, මං එළියට ගිහින් මේක පිඹින වෙලාවෙකම අනිත් අය හිතන්නෙ හමුදාකාරයෝ ඇවිත් කියල " සෙර්යෝෂා තවදුරටත් කියා හිටියා.

ඊළඟට, සෙර්යෝෂා එයාගේ සාක්කුවෙන් නලාව අරන් කන් බිහිරි වෙන තරම් සද්දෙට ඒක පිම්බා.

"අනේ, මටත් දෙන්නකො බලන්න" ඔන්න විතාලික් ඉල්ලා හිටියා.


විතාලික් නලාව අතට අරන් පිම්බා. මහ විසාල හඬකින් ඒක නාද වුනා.ඒ හඬට විතාලික්ට බොහොම ආසා හිතුණා.ඔන්න ඉතින් දැං නලාව අයිතිකරගැනීම වගේම මාළුවගෙන් වෙන්වීමෙ සාංකාවත් විතාලික් ගේ හිතට දැනුණා.

"හරි. මං ඔයාට මාළුවා දුන්නොත් ඔයා ඌව දමන්නෙ මොකටද? ඔයාට ටැංකියක් වත් නෑ නෙව"

"ඉතිං මං ඌව ජෑම් බෝතලේකට දමනවා. අපේ ගෙදර තියෙනවා ලොකු එකක් "

"හ්ම්... හරි. එහෙනම් ගන්න " අන්තිමෙදී හිත හදාගත්ත විතාලික් කිව්වා.

මාළුවා අල්ලා ගන්න එක ඒ දෙන්නට බොහොම අසීරු වුණා. මොකද මාළුවා බොහොම ලේසියෙන් අත්වලින් ලිස්සලා ගිය හින්දා.අන්තිමේදි ගේ මැද්දෙ හැමතැනම වතුර ඉහිරමින් සෙර්යෝෂාට හැකි වුණා ඌව අල්ලා ගන්ට.ඒ වෙද්දි සෙර්යෝෂා ගේ කමිස අත් වැලමිට වෙනකල්ම හොඳහැටි තෙමිලයි තිබුණේ.

"ඇල්ලුවා". සෙර්යෝෂා කෑ ගහල කිව්වා.

"ඉක්මනට ගිහින් මට වතුර වීදුරුවක් අරන් එන්න". විතාලික් කෝප්පයක් පිරෙන්න වතුර අරන් ආවා. සෙර්යෝෂා මාලුවා ඉක්මනින් වතුර කෝප්පෙට දැම්මා.ඊළඟට දෙන්නම සෙර්යෝෂා ගේ ගෙදර ගියා. ජෑම් බෝතලේ සෙර්යෝෂා කිවුව තරම් විසාල වුනෙත් නැති නිසා මාළුවට හොඳහැටි පීනන්න පුළුවන් තරම් ඉඩකඩක් ලැබුණේ නෑ.පුංචි කාප් මාළුවා බෝතලේ ඇතුළේ ඉස්සරහටත් පස්සටත් පීනන හැටි ඒ දෙන්න බලා හිටියා.සෙර්යෝෂ හිටියේ පුදුම සතුටකින්. ඒත් විතාලික් හිටියේ ඩිංගක් විතර කණගාටුවෙන්. ඒ මොකද එයාගේ මාළුවාව දුන්න නිසාත්, ඊටත් වඩා වැඩියෙන්, නලාවකට මාළුවා හුවමාරු කළා කියලා අම්මට කියන්න එයා හුඟක් බය වුණු නිසාත්.

"සමහර විට ඌ නැති එක අම්මට ඒ හැටි ගානක් නැතිවෙයි." ගෙදර යන අතරතුරේ විතාලික් හිතුවා.

"කෝ ඔයාගේ මාළුවා?" ඒත් ඔන්න විතාලික් ගෙදර ආ හැටියෙම අම්මා ඇහුවා.

මොකද්ද දෙන උත්තරේ කියලාවත් විතාලික්ට හිතා ගන්න බැරිවුණා ඔන්න.

" මුර්ෂික් කාලා වත්ද?" අම්මා ආයෙත් ඇහුවා.

"මං දන්නෑ" විතාලික් ඇහෙන නෑහෙන හඬින් උත්තර දුන්නා.

"අර බලන්න" අම්මා කිවුවා.

"ගෙදර කවුරුත් නැති වෙන තුරු ඉඳලා මාළුවව අල්ලගෙන කාලා.වතුර ඉහිරිලා තියෙන හැටි බලන්න! මහ කපටි පූසෙක්! කෝ මේකා? විගහින් හොයාගෙන එනවා ඌව මෙහාට"

" මුර්ෂික්! මුර්ෂික්!" විතාලික් ඌට කොයිතරම් අඳ ගැහුවත් ඌ පෙනෙන මානෙක වත් හිටියෙ නෑ.

"හෙමින් සැරේ ජනේලෙන් පැනලා ගිහින් වගෙයි. එළියට ගිහින් බලන්න"

ඔන්න ඉතින් විතාලික් එයාගේ කබායත් ඇඳගෙන ගෙවත්තට ගියා.

"අනේ, දැං මං මොකද කරන්නේ?" විතාලික් බොහොම කණගාටුවෙන් හිතුවා. "මං හින්දා මුර්ෂික් ට වෙන්නෙ දැන් හැංගිලා ඉන්නයි"

විතාලික් ආපහු ගෙදර ගිහින් මුර්ෂික් හොයාගන්න බරිවුණා කියලා කියන්න හිතුවා විතරයි, මෙන්න බිම්ගෙයි ඇරුණු කවුළුවකින් හිටියෙම මතුවුන මුර්ෂික් දොර පැත්තට දුවන්න පටන් ගත්තා.

"අනේ, මගෙ හොඳ පූසි පැටියෝ ගෙදර නම් යන්නෙපා ඔන්න. අම්මගෙන් හැංගිලා ඉන්න වෙයි ඔයාට දැන්" විතාලික් කිව්වා.

මුර්ෂික් පුරු පුරු ගාමින් විතාලික් ගේ දැවටි දැවටි හෙමින් ඤාව්! ඤාව්! කිවුවා.

"ඔයාට තෙරෙන්නෙ නැද්ද මං කියන දේ, මෝඩ පූස් පැටියො. දැන් කොහොමටවත් ඔයාට ගේ ඇතුලට යන්න බෑ"

ඒත් මුර්ෂික් ඇහුම්කන්දෙන පාටක් පෙනුනෙ නම් නෑ. විතාලික්ගේ කකුලෙ දැවටි දැවටි, උගේ ඔලුවෙන් හෙමින් පිරිමදිමින් මූර්ෂීක් බොහොම ආදරෙන් විතාලික් දිහාවෙ බලන් හිටියා විතාලික් දොර අරින තුරු. විතාලික් උත්සහ කළේ මූර්ෂීක් එතනින් එළවා දමන්ට. ඒත් ඒ වැඩේ හරිගියේ නැහැ. අන්තිමේදි විතාලික් එක්පාරටම දොර ඇරලා ගේ ඇතුලට ගිහින් ඉක්මනින්ම දොර වැහුවෙ මූර්ෂීක් එයාගේ පස්සෙන් එක නවත්වන්න.

"ඤාව්!" ඔන්න දොර එහා පැත්තෙ ඉඳන් මූර්ෂීක් කෑ ගහන්න පටන් ගත්තා.

"නිස්සද්ද වෙයන් මෝඩයෝ! අම්මට ඇහුනොත් හොඳහැටි ගුටි කන්න වෙයි ඔන්න" දොර පළුවෙන් එබුන විතාලික් කිව්වා.

මූර්ෂීක් අල්ලාගත්ත විතාලික් ඌව බිම්ගෙයි කවුළුවෙන් ඇතුලට දැම්මා. මූර්ෂීක් කකුල් වලින් පහුරුගාමින් බිම්ගේ ඇතුලට යන එක වළක්වන්න හැදුවා. මොකද ඌ කැමති උනේ නෑ බිම්ගේ ඇතුලෙ හිරවෙලා ඉන්න.

"යනව ඇතුලට. ගිහින් ඉන්නවා" විතාලික් කිව්වා. ඒ පාර නගුට විතරක් එළියට හිටින විදියට අන්තිමේදි මූර්ෂීක්ව කවුළුවෙන් ඇතුළට තල්ලු කරගන්න විතාලික්ට හැකි වුණා.තරහෙන් නගුට හොලවලා මූර්ෂීක් බිම් ගේ ඇතුලේ නොපෙනී ගියා. ඉතින් විතාලික්ගේ හිතට සැනසිල්ලක් දැනුණා. විතාලික් හිතුවෙ ඌ බිම්ගෙට වැදුනා කියලයි. ඒත් ඊළඟ මොහොතේ මූර්ෂීක් ආයෙත් වතාවක් කවුළුවෙන් එළියට ඔළුව දැම්මා. "කොහෙද යන්නේ මෝඩයෝ" කවුළුව අතින් අවහිර කරමින් විතාලික් කිව්වා.

"මං කිව්වනේ, මේ වෙලාවෙ උඹට ගෙදර යන්න බෑ"
"ඤාව්!" ඔන්න මූර්ෂීක් අඬන්න පටන් ගත්තා.
"අනේ ඤාව්වො,මට තෙරෙන්නෙ නෑ මොකද කරන්නෙ කියලා" ඌට හෙමින් තට්ටු කරලා විතාලික් කිව්වා.

එහෙම කියල විතාලික් වට පිට බැලුවේ කවුළුව වහලා දමන්න පුළුවන් දෙයක් අහල පහළ තියේද කියලයි. ඔන්න එතකොට එයා දැක්ක ගඩොල් කැටයක් බිම් ගේ අද්දර වැටිලා තියෙන හැටි. ගඩොල අහුල ගත්ත විතාලික් එයින් කවුළුව හරස් කළා.

"දැං නම් ඔන්න එළියට එනව බොරු. ටික වෙලාවක් ඔයා මෙහෙම ඉන්නකො. හෙට වෙද්දි අම්මට මාළුවා ගැන හැමදේම අමතක වුණාම මං ඔයාව එළියට ගන්නම්"

ආපහු ගෙදර ගිය විතාලික් අම්මට කිව්වා එයාට මූර්ෂීක් ව හොයාගන්නට බැරි වුණු බව.

"කමක් නෑ. ආවදෙන්කො එයා. මොන විදිහකිනවත් එයාට සමාවක් නම් නෑ මගෙන්" අම්මා කිවුවා.

රෑ කෑම වෙලාවෙදී විතාලික් හිටියේ බොහොම කණගාටුවෙන්. ඇත්තෙන්ම එයාට කිසිම දෙයක් කන්න තරම් වුවමනාවක් තිබුණෙ නෑ.

"මං මෙතන ඉඳගෙන හොඳට කෑම කනවා. පව් මූර්ෂික්! ඌ කළුවර බිම්ගේ ඇතුලට වෙලා ඉන්නවා ඇති"

අම්මා රෑ කෑම මේසෙන් එහා මෙහා වෙනකල් හිටිය විතාලික් එයාගේ මස් පංගුව සාක්කුවේ දමාගෙන හෙමින් ම බිම් ගේ පැත්තට දුවලා ගියා.ඊලඟට ගඩොල අහක් කරලා " මුර්ෂීක්!මුර්ෂීක්!" කියලා කතා කලා.

ඒත් මූර්ෂීක්ගෙ කිසිම සද්දයක් නෑ.කවුළුව දෙසට නැමුණු විතාලික් ඇතුල බැලුවා, ඒත් මොකුත්ම නොපෙනන තරමට ඇතුල කට්ට කළුවරයි.

"මුර්ෂීක්! මුර්ෂීක්! මගෙ පොඩි පූස් පැටියෝ. මේ බලන්න මං උඹට රසම රස මස් කෑල්ලක් ගෙනාව"

ඒත් මුර්ෂීක් එළියට ආවෙ නම් නෑ.

"එන්නෙ නැද්ද එළියට? හරි එහෙනම් ඕක ඇතුලටම වෙලා බඩගින්නෙම ඉන්න එකයි ඇත්තෙ" එහෙම කියලා විතාලික් කණගාටුවෙන් ගෙදර ගියා.

මුර්ෂීක් නැති නිසා විතාලික්ට හොඳටෝම පාළුයි.ඒ විතරක් නෙමෙයි, අම්මට බොරු කියල රවට්ටපු එක ගැන විතාලික් ගේ හිතේ තිබුණේ මහ විසාල බරක්.

අම්මා දැක්කා විතාලික් අසතුටෙන් ඉන්න හැටි.

"මං ඔයාට තව මාළුවෙක් ගෙනත් දෙන්නම් කො. දැන් සතුටෙන් ඉන්න." අම්මා කිවුවා.

"මට මාළුවෙක් ඕනෑ නෑ"

ඇත්තටම නම් විතාලික්ට ඕනෙ වුණේ අම්මට ඇත්ත කියන්නයි. ඒත් ඒ තරම් දිරියක් එයාට තිබුනේ නැති නිසා විතාලික් නිශ්ශබ්දව හිටියා.ඔන්න එතකොටම වාගේ විතාලික් ගෙ ජනේලය එපිටින් ඇහුණේ හීනියට පහුරු ගාන හඬක්.ඒත් එක්කම "ඤාව්!" ගෑමක්.විතාලික් උඩ බලද්දි දැක්කේ ජනේල් පඩිය අද්දර ඉඳගෙන ඉන්න මූර්ෂීක්ව.ඌ බිම්ගේ ඇතුලෙන් එළියට ආවේ කොහොමද?

"ආහ්...මේ ඉන්නේ හොර ගෙඩියා! මෙහාට එනවා නරකම නරක දඟ පූසා!"

එහෙම කියලා අම්මා ජනේලය ඇරියා. මූර්ෂීක් හෙමින් ගෙට ඇතුළු වුණා.අම්මා මූර්ෂීක්ව අල්ලා ගන්නට සූදානම් වෙද්දිම මූර්ෂීක් මේසය යටට රිංගා ගත්තේ හරියටම මොකක් හරි වැරැද්දක් වෙන්නට යන බව තේරුණා වගෙයි.

"අපොයි... හරිම කපටියෙක් තමයි මෙයා නම්. වැරැද්දක් කළා දන්න හින්දා තමයි මේ. විතාලික් මෙයාව අල්ලාගන්න උදව් කරන්න මට"

විතාලික් මේසය යටට බඩ ගෑවා.විතාලික්ව දැක්ක මූර්ෂීක් සෝපාව යටට දුවල ගිහින් හැංගුණා.ඒ ගැන විතාලික් සතුටු වුණා. ඒත් අම්මට උදව් කරන්නත් ඕනෑ නිසා විතාලික් මුර්ෂීක් ගෙ පස්සෙන් බඩගාගෙන ගියා. විතාලික් පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවෙ මුර්ෂීක් ට එතැනින් බේරිලා පැනගන්න ඉඩ දෙන්න ඕනෑ නිසයි. සෝපාව යටින් මතුවුණ මුර්ෂීක් දුවන්න පටන් ගත්තා. විතාලික් කාමරේ වටේටම දුවමින් මූර්ෂීක් පස්සෙ පන්නන්න පටන් ගත්තා.

"ඔය විදියට කෑ ගහන එක නවත්වන්න. ඔහොම කෑ ගහල කවදාවත්ම ඔයාට ඌව අල්ලගන්න නම් ලැබෙන්නෙ නෑ" අම්මා කිව්වා.

ජනේලෙන් එළියට පනින්න හිතාගෙන මුර්ෂීක් මාළුටැංකිය තියා තිබුනු ජනේල් පඩිය උඩට පැන්නා.ඒත් කකුල ලිස්සලා ගිහින් ඌව මාළුටැංකියට ඇදගෙන වැටුණේ හැම තැනම වතුර ඉහිරවමින්. ඊලඟ විනාඩියෙ තරහෙන් ඇඟ ගසමින් මූර්ෂීක් ගොඩට ආව. එතකොටම වාගේ අම්මා ඌව බෙල්ලෙන් අල්ලා ගත්තා.

"දැං, මං උඹට හොඳ පාඩමක් කියාදෙන්නයි යන්නෙ"

"අනේ අම්මේ.. අම්මේ! ඌට ගහන්නෙපා අම්මේ" එහෙම කියපු විතාලික් එකපාරටම අඬන්ට පටන් ගත්තා.

"ඌට අනුකම්පා කරන්න එපා. ඌ මාළුවට කොහෙත්ම අනුකම්පා කළේ නෑ නෙව"

"ඌට නෙමෙයි බනින්න ඕනේ අම්මේ"

"ආහ්.. ඌට නෙමෙයි? මාළුවා කෑවෙ කව්ද එහෙනම්?"

"ඌ නෙමෙයි අම්මේ"

"එහෙනම් කවුද?"

"මමයි"

"මොකක්? ඔයා මාළුවව කාලා දැම්මා?"

"නෑ. මං කෑවෙ නෑ. නලාවකට හුවමාරු කරා"

"මොකකට?"

"මෙන්න මේකට"

සාක්කුවෙන් නලාව එළියට ගත්තු විතාලික් ඒක අම්මා දිහාවට දිගු කළා.

"ඔයා ඔයා ගැනම බොහොම ලැජ්ජාවෙන්න ඕනෑ"

"මං එහෙම කරන්න හිතුවෙ නෑමයි. ඒත් සෙර්යෝෂා ඇහුවා මාරුකරගනිමුද කියලා. ඉතිං මං හා කිව්වා"

"මං කිව්වේ ඔයා ඇත්ත නොකියපු එක ගැන ලැජ්ජා වෙන්න ඕනෑ කියලයි. මුර්ෂීක්ට මං කොච්චර බැන්නද. තමන් කළ වැරැද්දට අනිත් අය අල්ලලා දෙන එක හොඳ දෙයක්ද?"

"මං බය වුණා අම්මා බනියි කියලා"

"ඇත්ත කතා කරන්න බය වෙන්නෙ බයගුල්ලෝ. මං මුර්ෂික්ට දඬුවම් කළා නම් ඒක කොහොමට හිටියිද?"

"ආයෙ කවදාවත්ම මං එහෙම කරන්නෙ නෑ"

"ඔව්. මං හිතනවා ඔයා එහෙම නොකරාවි කියලා. මේ වතාවෙ සමාව දෙනව. මොකද පහුවෙලා හරි ඇත්ත කියපු හින්දා"

මූර්ෂීක්ව ඔසවා ගත්ත විතාලික් ඌව ගිනි උඳුන ලඟට අරන් ගියා. ඇඟට ඇලිච්ච තෙත ලෝම නිසා මූර්ෂීක්ව පෙනුනේ පූසෙකුට වඩා හරියට ඉත්තෑවෙක් වගෙයි. සතියක් බඩගින්නෙ හිටියා වගෙ ඌ හිටියේ කෙට්ටු වෙලා. විතාලික්ට මූර්ෂික් ගැන දුක හිතුණා. සාක්කුවෙ දමාගෙන උන්නු මස් කෑල්ල එළියට ගත්ත විතාලික් ඒක පුටුව උඩින් තිබ්බා මුර්ෂීක්ට කන්න.කෑදර කමින් මස් කෑල්ල ගිලල දාපු මුර්ෂීක් පුටුවෙ දිගා වුණේ උණුසුම් වෙන්ට හිතාගෙන. ඊටපස්සෙ විතාලික්ගේ ඔඩොක්කුවට පැන්න මුර්ෂීක් බෝලයක් වගේ ගුලි වෙලා පුරු පුරු ගාන්නට පටන් ගත්තා. මුර්ෂීක්ගේ ඉවරයක් නැති පුරු පුරු ගෑම විතාලික් ව සතුටට පත් කළා.ඒක නිකම්ම නිකං පුරු පුරු ගෑමක් විතරක්ම හැර වෙන දෙයක් නොවුනු නිසා.

නිකොලායි නෝසව්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


තැනිතලාවට අළුත් දවසක් උදාවුණා...ඉර හෙමින් හෙමින් කන්ද නැගලා මීදුම පහු කරන් වලාකුළකට ගොඩ වුණා...ඉරේ රස්නෙට වලාකුළු රත් වෙලා එකතු කරන් හිටපු වැහි බිංදු පිනි බිංදු වෙලා පොළොවට වැටුණා...වලාකුළු අතරින් හෙමින් මතුවෙලා වට පිට බලන කොට අහස රත්තරන් පාට වෙලා එළිය වැටුණා. ඉරේ රැස් හීන් කිරණ වෙලා අහසෙ ඉඳන් පොළොවට එළිය ගෙනාවා. ඉර එළිය වැටෙද්දි නිදාගෙන හිටපු මල් ඇහැරිලා නිදි ගැට කැඩුවා. ගඟ අද්දර තැනිතලාවෙ පිපුණු ලස්සන කහ පාට රෝස මල-

කොළයකට ඔළුව තියාගෙන නිදාගෙන ඉඳලා ඇහැරිලා අහස දිහා බැලුවා... ඉර එළිය රස්නෙ වැඩියි...රෝස මල ආයෙත් ඇස් වහ ගත්තා. ආයෙත් හෙමින් සැරේ ඇස් ඇරලා හිනා වෙන කොට සුළඟ හෙමින් හමලා රෝස මල නැළෙව්වා. මේ රෝස මල කහම කහ පාටයි. එයාගෙ සුවඳ කඳු වළලු හතක් එහාට විහිදෙනවා. වලාකුළු වලින් එහා අහස් ගංගාවෙ පාවෙන පාරාදීසයේ ඉන්න සුරංගනාවියො රෑට ඇවිත් රෝස මල ඉඹලා සුවඳ අරන් යනවා ඒ ගොල්ලන්ගෙ සළු වලට සුවඳ කවන්න...

රෝස මල මේ තරම් සුවඳ ඇයි කියලා දන්නවද? රෝස මලට තිබුණෙ බොහොම කරුණාවන්ත හදවතක්. ඒ හදවතේ පිරුණු ආදරය තමයි සුවඳ වෙලා හැම තැනම පැතිරෙන්නෙ.. රෝස මල වෙන මල් වගේ ඉක්මණින් පරවෙලා ගියේ නෑ, දවසින් දවස ලස්සන වුණා. පැණි අරන් යන බමරුන්ටත්, පාට දීලා යන සමනලයින්ටත්, බය හිතෙන කළුවරටත් රත්තරන් පාටට හිනාවෙන ඉරටත් එක වගේ ආදරේ වුණා..පොඩි ළමයින්ට පැණි කුරුල්ලන්ට බිම් මල් වලට මිහිරි හඬින් සුබ පැතුවා. ඇයි කළබලේ පියාඹන මැස්සන්ට ? ගිරි මුදුන් වල ඉඳන් ඉඳලා හිටලා පහළට ඇවිත් අහක බලන් යන රාජාලියන්ට, කෑම හොයන් යන වළස් හාමිලට වගේම ආඩම්බරෙන් වලිග කරකවන කොටි හපුවන්ටත් බොහොම ආචාරශීලීව සුබ පැතුවා. සමහරු රෝස මලට පෙරළා සුබ පැතුවා. තව අය ආඩම්බරෙන් අහක බලන් ගියා. ඒ වුණාට රෝස මල දුක් නොවී තව තවත් හිනා වුණා. ඒ හින්දම හැමදාම අළුත් වුණා.

මේ උදෙත් රෝස මල හැමෝ එක්කම හිමිදිරියෙ ලස්සන විඳිමින් ඉන්න කොට තමයි මකුළුවෙක් තමන්ගෙ දැලේ රැඳුණු පිනි වලින් මුතු මාලයක් හදාගෙන ගහකින් පහළට පහළට බැහැලා ඇවිත් ආචාර කළේ.


"සුබ උදෑසනක් රෝස මල"

රෝස මල බොහොම සතුටින් දෙපැත්තට වැනිලා මෙහෙම කියනවා.

"සුබ උදෑසනක් පුංචි මකුළුවෝ"

මකුළුවා රෝස කටු උඩින් අඩිය තියලා උඩට උඩට ගිහින් රෝස මලට ළං වෙලා පිනි මුතු මාලෙ රෝස මලට දැම්මා. වීදුරු වගේ පිනි කැට රෝස කම්මුල් උඩ රැඳිලා බොහොම අපූරුවට දිලිසුනා.

රෝස මල සතුටින් හිනා වුණා. මකුළුවාට සුබ පතලා මෙහෙම ඇහුවා. "කරුණාවන්ත පුංචි මකුළුවෝ, මමත් කැමතියි නුඹට තෑග්ගක් දෙන්න..නුඹට ඕනෑ මොනවද?”

මකුළුවා කල්පනා කරලා මෙහෙම උත්තර දෙනවා...

"ලස්සන රෝස මලේ, මගේ දැලේ ඕනෑ තරම් පිනි කැට තියෙනවා. ඒත් සුවඳ නෑ...මට නුඹේ එක රෝස පෙත්තක් දුන්නොත් මගේ ගෙදරත් සුවඳ හමාවි.”

"අපොයි ඒක සුළු දෙයක්නෙ...” රෝස මල හිනාවෙලා මල් පෙත්තක් ගලවලා මකුළුවාට දුන්නා.


මකුළුවා බොහොම සතුටින් රෝස පෙත්ත අරන් ගෙදර ගියා. රෝස පෙත්ත මකුළු දැලේ එල්ලුවම දැල වියලා තිබුණු ගහම සුවඳ වුණා. මකුළුවා බොහොම සතුටින් මකුළු දැල උඩ නැටුමක් නැටුවා. ඉර හෙමිහිට බැහැලා ගියා. රෝස මලෙන් වෙන් කරපු මල් පෙත්ත හෙමින් හෙමින් මැලවුණා. සුවඳ අඩුවුණා...ඊළඟ උදේ මල් පෙත්ත පර වෙලා ගිහින් තිබුණා. මකුළුවා බොහොම දුකෙන් රෝස මල ළඟට ගියා...කාරණය අහපු කරුණාවන්ත රෝස මල තවත් පෙත්තක් ගලවලා දුන්නා.

මේ විදිහ‍ට හැමදාම උදේට රෝස මල මකුළුවාට පෙති ගලවලා දුන්නා. දවස් ගත වෙලා ගියා. එක දවසක් ඉර පායන කොට රෝස මලේ ඉතිරි වෙල‍ා තිබුණෙ එකම එක පෙත්තයි. රෝස මල තව දුරටත් කඳු යායෙන් එහාට සුවඳ විහිදුවෙ නෑ.පෙති නැති නිසා ලස්සන තිබුණෙත් නෑ. රෝස මල පර වෙමින් තිබුණා.

පැණි කුරුල්ලෝ මේ ආරංචිය සමනලයින්ට කිව්වා.සමනලයෝ සුරංගනාවියන්ට කිව්වා... සුරංගනාවියන්ගෙ කඳුළු වලාකුළු උඩට වැටුණම වලාකුළු දියවෙලා කැලෑවට වැටුණා... එතකොට කැලේ ගස් රෝස මල ගැන දැනගත්තා. ගස් වලින් සත්තු දැන ගත්තා. හැමෝම තැනිතලාවට එකතු වුණා. කවදාවත්ම සුබ උදෑසනක් නොකියූ වලස්හාමි පවා ආවා. මකුළුවා බොහොම දුකට පත් වෙලා රෝස ගහ මුලට වෙලා ඇඬුවා. අහල පහල ගස් අතු නමාගෙන බිම බලාගෙන දුක්වුණා. රෑ බෝ වුණා..රෝස මල පරවුණා. හැමෝම කණගාටු වෙලා තමන්ගෙ ගෙවල් වලට ගියා.

තැනිතලාව නිහඬ වුණා. හඳ එළිය පැතිරෙන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ ඈත නිම්නයක ඉඳලා සමනලයෙක් පියඹලා ඇවිත් රෝස ගහේ වැහුවා. ඒ සමනලයාගේ තටු බොහොම අලංකාරයි. ලෝකේ හැම පාටම ඒ තටුවල තිබුණා. සමනලයා කහ පාට ඉල්ලගෙන තිබු‍නේ රෝස මලෙන්. මලේ ඉතිරි වෙලා තිබුණු අන්තිම පෙත්ත මත වහපු සමනලයා බොහොම දුකෙන් මෙහෙම කෙඳිරුවා.

"කරුණාවන්ත රෝස මල, කාටත් සුවඳ දුන් පාට දුන් ආදරණීය හදවත, නැවත පිබිදෙන්න ... අනේ! නැවත පිබිදෙන්න..”

මැදියම් රැය එළඹුණා. එළිය නිවලා හඳත් නින්දට ගියා.. කළුවරේ සමනලයා එකම එක කඳුළක් හෙළුවා ... ඒ කඳුළු බිංදුව රෝස මල් පෙත්ත උඩ රැඳුණා. ඉන්පස්සේ සමනලයා පියඹලා ගියා. සමනලයාගේ කඳුළු බිංදුව රෝස මල් පෙත්තටත්, මල් පෙත්තෙන් රෝස කටු වලටත්, කටු වලින් මුල් වලටත් උරා ගත්තා.


පහුවදා ඉර කන්ද නැගලා වෙනදා වගේම පෑව්වා. පොළොව දිහා බලද්දි ඉර පුදුම දෙයක් දැක්කා. පරවුණ රෝස මල ළඟ කටුවක් උඩ කහම කහ පාට රෝස පොහොට්ටුවක් මතුවෙලා. ඒ පොහොට්ටුව උඩ කඳුළු බිංදුවක් වගේ පිනි බිංදුවක් රැඳිලා. ඉර සතුටින් හිනාවුනා. ඉර හිනාවෙනවා ඇහුනු දුකෙන් හිටි සුරංගනාවියො, කුරුල්ලො, වලස් හාමිලා සමනල්ලු තැනිතලාවට දුවගෙන ආවා. සුවඳ දිදී හෙමිහිට පිපෙන්න පටන් අරන් තිබුණ රෝස පොහොට්ටුව දැක්කා. මුළු තැනිතලාවම සිනා හඬින් සංගීතයෙන් පිරුණා. බිම් මල් බොහොම අලංකාර නැටුමක් නැටුවා. බෙන වලට වෙලා වියළි පලතුරු කකා හිටපු කැලෑ හාවො එළියට ඇවිත් කණ් උස්සලා උඩ පැන්නා. මකුළුවත් දුවගෙන ආවා... හොඳටම සතුටු වුණා. හැබැයි පෙති නම් ඉල්ලන්නෙ නෑ කියලා හිතුවා ආයෙ කවදාවත්. ඒත් රෝස පොහොට්ටුව පිපුනම හැමදාම උදේට පිනි මුතු මාලෙ දාලා ලස්සන කරනවා කියලා හිතා ගත්තා.

ඉතිං ඔන්න මේ රෝස පොහොට්ටුව ඉක්මණින් පිපේවි. හැමෝටම ආචාරශීලීව හිස නමාවි. සුරංගනාවියෝ රෑට තනි රකීවි. රාජාලියො, සමනල්ලු, බත් කූරො, මැස්සො රෝස මලට සුබ පතාවි! කරුණාවන්ත රෝස මලින් හමන සුවඳ තැනිතලාවෙන් එහා කඳු වලින් ඈතට විහිදේවි. ඒ සුවඳ දැනෙන නපුරු හදවත් උනත් ආදරයෙන් ඉතිරේවි....

[ලිව්වේ- වසිලිස්සා| ඇන්දේ- නම නොදන්න සුරංගනාවි]

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


සීතල නමුත් පැහැදිලි උදෑසනක වැලන්ටිනා තම අයියා පෝලෝව අවදි කළා.

‘ඇහෙනවද? ඇහෙනවද? පෝලෝ ඔයාට ඇහෙනවද කුරුල්ලෙක් සිංඳු කියනවා....? මට ඒ කුරුල්ලව හොයන්න යන්න ඕනෑ..’

‘මොනවද ඔයා කියන්නේ වැලන්ටිනා? කුරුල්ලෙක්? කොහෙද?’ තවමත් නිදිමතෙන් හිටිය පෝලෝ ඇස් පොඩි කරමින් ඇහුවා.

‘වැලන්ටිනා.... ඒ පාර ඔයා කොහෙද යන්නෙ..?’
ගුහාවෙන් එළියට යන සිය නැගණිය දුටු පෝලෝ ඇසුවා.

‘ඇයි ඔයා ගුහාව ඇතුලෙ ඉන්නෙ නැත්තෙ? අම්මා ළඟ උණුසුමයි.. එන්න ඇතුළට’

‘ඔයත් එන්නකො එළියට..’ ගහක් උඩට නගින් ගමන් වැලන්ටිනා අයියාට කතා කළා.

‘බලාගෙන වැලන්ටිනා ඔය ගහට නගින්නේ..’ පෝලෝ කනස්සල්ලෙන් සිය නැගණියට අවවාද කළා.

ඒත් ඇහුම්කන් නොදුන් වැලන්ටිනා ගහෙන් බිමට වැටී, හිම බෝලයක් මෙන් කැරකි කැරකී පල්ලම පහළටම ඇදුණා.

පින්ග් සහ පින්ගා; පුංචි පෙන්ගුවින් දෙදෙනා වැලන්ටිනාට නැගිටින්නට උදව් කළා.

‘පෝලෝ.. අපිට උදව් කරන්නකෝ!’ පෙන්ගුවින් දෙදෙනා ඒ වෙනකොටත් එතැනට එමින් හිටිය පොලෝට කීවා.


‘ඔයා නම් හරිම නරක ළමයෙක් වැලන්ටිනා..’ පොලෝ නැගණියට දොස් පැවරුවා.

‘මට පෙන්ගුවින්ලා එක්ක සෙල්ලම් කරන්න ඕනෑ....’ වැලන්ටිනා තමාගේ ඇස් වලයි, නහය උඩයි, ඔළුවෙයි ගෑවිලා තියෙන හිම පිහදාන අයියාට කීවා.

‘ඔයා දන්නවාද පෙන්ගුවින්ලා අපිට වඩා වෙනස් කියලා..?’ වැලන්ටිනා පොලෝගෙන් ඇහුවා.. ‘එයාලා සීත කාලෙට නිදා ගන්නෙ නෑ..’


‘මම ඒක දන්නවා වැලන්ටිනා.. මම ඔයාගෙ ලොකු අයියනේ..’

‘මම යනවා මාළු අල්ලන්න..’ පින්ග් කීවා.. ‘වැලන්ටිනා ලෑස්ති නම් අපිට පුළුවන් අයිස් වල කෙළවරටම යන්න..’

‘ඔව්..ඔව්.. මමත් එනවා ඔයාලා එක්ක මාළු අල්ලන්න යන්න..’ යැයි කීව වැලන්ටිනා, අයිස් කෙළවරට ඉක්මණින් දුවන්න පටන් ගත්තා.
වැලන්ටිනාට ඕනෑ වුණේ අනෙක් අයට පෙර අයිස් කෙළවරට යන්නයි.


‘වැලන්ටිනා.... මම එනකල් ඉන්න.... ඔයා කවදාවත් අයිස් උඩ ඉඳන් මාළු අල්ලලා නැහැ..’ පෝලෝ දුවගෙන යන නැගණියට කෑගැහුවා.

‘අපි මෙතැන හිටගෙන ඉන්න එක නුවණට හුරු මදි..’ බිලීපිත්ත ලෑස්ති කරන ගමන් පින්ගා කීවා.
‘මෙතැන අයිස් ශක්තිමත් මදි නිසා කොයිවෙලේ හරි කැඩෙන්න පුළුවන්..’


‘නෑ.. නෑ.. පින්ගා.. මට මෙතැන හොඳයි.. පාට පාට මාළු ගොඩක් මට පේනවා. කෝ ඉන්න ඒ මාළුවෝ මම ඔයාලට අල්ලලා දෙන්න..’ යැයි කියා, වතුරට පාත්වුණ වැලන්ටිනාගේ කකුල් ගාවින් අයිස් කැටේ කැඞී වෙන්වුණා. වෙන්වුණ අයිස් කෑල්ල දියරැලි නිසා වේගයෙන් ඈතට ගහගෙන ගියා.

‘අනේ....! මාව තනියෙන් යවන්න එපා..’ වැලන්ටිනා බයෙන් කෑගැහුවා.

හොඳ වෙලාවට සිද්ද වුණ හැමදේම දුටු මුහුදුසිංහයෝ රංචුවක් හනික ඇවිදින්, වැලන්ටිනා උන් අයිස් කෑල්ල අල්ලගත්තා.

‘අයියෝ....! මාව ගහගෙන යනවා.. මට පීනන්නත් බෑ..’ වැලන්ටිනා හොඳටම ඇඬුවා. ‘පෝලෝ... ඔයා මට උදව් කරනවා නේද?’


වතුරට පැන්න පෝලෝ ඉක්මණින් නැගණියට ළඟට පීනුවා. ‘මට නම් තේරෙන්නෙ නෑ වැලන්ටිනා, ඔයා කොහොමද හැම වෙලේම අවුලකට කොටුවෙන්න දන්නෙ කියලා..’ ගොඩට පීනන ගමන් පෝලෝ කීවා. ‘නුසුදුසු තැන නුසුදුසු වෙලාවට ඔයා හැම වෙලේම ඉන්නවා.. ඔයා නම් හරිම දඟකාර නංගියෙක්..’

සීතල නිසාත් ගොඩක් බය වී සිටි නිසාත් වැලන්ටිනාට මෙදාපාර නම් කිසිම දෙයක් කියා ගන්නට බැරි වුණා.

‘ගොඩට ආව පෝලෝ නැගණියව තුරුල් කරගෙන අස්වැස්සුවා. පින්ග් වැලන්ටිනාව උණුසුම් කරන්න තැත් කළා.’

‘මම පොරොන්දු වෙනවා මීට පස්සෙ හොඳට ඇහුම්කන් දෙනව කියලා.. මෝඩ වැඩත් මම ටිකක් අඩුවෙන් කරන්නම්....’
වැලන්ටිනා හිමිහිට කීවා.


‘ඒක හොඳයි වැලන්ටිනා.. අපි එහෙනම් දැන් ගෙදර යමුද?’ පෝලෝ ඇසුවා. පෝලෝ සහ වැලන්ටිනා ඔවුන් වෙසෙන බිම් පෙදෙසට පැමිණි පසු, පෙන්ගුවින් දෙදෙනාගෙන් සමුගත්තා.

‘මම අම්මට කියනවා ඔයා මාව බේරගත්ත විදිහ..’ වැලන්ටිනා මිමිණුවා.

‘එපා.. අම්මට කිසිම දෙයක් කියන්න එපා.... අම්මා හොඳටම බයවෙයි.. අපි මේ සිදුවීම අපි දෙන්නා අතරෙ විතරක් තියාගමු.. එතකොට ඒක අපේ රහසක්..’ ගුහාවට ගිය පෝලෝ සද්ද කරන්න එපායි ඇඟිල්ලක් කටට තියා නංඟිට පෙන්නුවා.


තවමත් නිදාගෙන උන් අම්මා ළඟට ගිය පෝලෝ සහ වැලන්ටිනා හිමින් සීරුවේ අම්මා ළඟින්ම වැතිරුණා.

‘හොඳට නිදාගන්න වැලන්ටිනා.. ඔයා නම් හරිම දඟකාර නංගියෙක්.... ඒ වුණත් මගේ නංගියා මට හොඳයි..’ පෝලෝ රහසින් වැලන්ටිනාට කීවා.

නෝරීස් කෙරන් සහ ජීන් බැප්ටයිස්ට් බැරෝනියන් ලියූ කතන්දරයක්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


මේ පැනය ගණංකාරයන්ටයි!

ඔන්න පුංචිත්තෙක් පුංචි පෙට්ටියකට මකුළුවොයි කුරුමිණියොයි 8 දෙනෙක් එකතු කළා. එයා මේ පුංචි සත්තුන්ගෙ පාද ගැනලා බැලුවා. මකුළුවන්ගෙයි කුරුමිණියන්ගෙයි මුළු පාද සංඛ්‍යාව 54යි. ඔයාලට පුළුවන්ද කියන්න පෙට්ටියේ හිටිය මකුළුවොයි කුරුමිණියොයි ගාන වෙන වෙනම? (ඕනෙ නං පුංචි උදව්වක් කරන්නම්. මකුළුවෙකුට පාද 8කුත් කුරුමිණියෙකුට පාද 6කුත් තියනවා.)




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
පාට කියා ඇත්නම් ගතියක් මලක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක


මේ කවිය තිබෙන්නේ හරිම ලස්සන කවි කතාවක. දන්නවද මේ පොත මොකද්ද කියලා? දන්නවද ඒ පොත ලිවුව කවියා කවුද කියලා?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 
Related Posts with Thumbnails