වැඩ බැරි දාස මොකක් හරි වැඩක් බාර ගත්තොත් අනික් ළමයින් වගේ නොවේ. ඒක කන පිටට තමයි කරන්නේ. එයාට වචනයක් එක පාරට කියවන්ට බැහැ. අකුරු දෙක තුන වෙන් කරලා තමයි කියවන්නේ. ලියන්නේ පොල් ගෙඩි තරම් ලොකු අකුරු. වැඩ බැරි දාසගේ ඔළුව පුස්සක් කියලා බොහෝ දෙනෙක් කිව්ව. ඒ කතාව හරි නැහැ. එයාගේ ඔළුව පුස්සක් නම්, එයා කල්පනා කරන්නේ කොහොමද? සත්තකින්ම එයා ගේ කල්පනා ශක්තිය බොහොම දුර්වලයි. ඒ වුනාට එයා සපත්තු දෙක ඔළුවේ දමා ගන්නෙ නැතුව දෙපයේ දාගත්තා. ඉතිං එහෙම කරන්ට කල්පනා ශක්තිය තියෙන්ට ඕන.

වැඩ බැරි දාස මෝඩ ළමයෙක් නොවෙයි. එයා බොහොම කැමතියි මොනවා හරි ඉගෙන ගන්ට. නමුත් එයා කැමති නැහැ මහන්සි වීමට. ඔනෑම දෙයක් එක පාරටම ඉගෙන ගන්ට එයාට වුවමනා කළා. කොච්චර නුවණ තියෙන දක්ෂ ළමයෙකුට වුනත්, කිසිම දෙයක් එකවර ඉගෙන ගැනීමට බැහැ.

පුංචි ළමයි, සිඟිත්තෝ සංගීතයට බොහොම කැමතියි. කුසල් බොහොම දක්ෂ සංගීත කාරයෙක්. එයා ලඟ සංගීත භාණ්ඩ ගොඩක් තියෙනවා. එයා නිතර, නිතර ඒ සංගීත භාණ්ඩ වාදනය කරනවා. මිනිස්සු ඔහුගේ සංගීත වාදනය අහලා ඔහුට ප්රකශංසා කළා. මේ නිසා වැඩ බැරි දාස කුසල්ට ඉරිසියා කළා. එයා කුසල්ට මෙහෙම කියුවා:

"මම කැමතියි සංගීත කාරයෙක් වෙන්ට. මටත් උගන්වන්න."

"ඔයා කැමති මොනවටද?"

"ඉගෙන ගන්ට වැඩියෙන්ම ලෙහෙසි සංගීත භාණ්ඩයට."

"එහෙනම් බැලලයිකාව."

"මෙහෙ දෙන්න. මම බැලලයිකාව වාදනය පුරුදු වෙන්නම්"

කුසල් ඔහුට බැලලයිකාව දුන්නා. වැඩ බැරි දාස එහි තත් කීපයක් හඞ නංවා මෙහෙම කියුවා:

"මේ බැලලයිකාවේ හඬ බොහොම මදි. මට වැඩිය සද්ද තියෙන සංගීත භාණ්ඩයක් ඕනෑ."

කුසල් ඔහුට වීණාවක් දුන්නා. වැඩ බැරිදාස උපවීණය අතට අරගෙන වීණාවේ තත් මදින්ට වුණා.

"අපෝ, මීට වඩා සද්දෙ තියෙන සංගීත භාණ්ඩයක් නැද්ද?"

"බෑන්ඩ් නළාව තියෙනවා." කුසල් කියුවා.

"එහෙනම් මට දෙන්න. මම නළාව පිඹින්නම්."

ඊළඟට කුසල් මහා විශාල තඹවන් නළාවක් වැඩ බැරි දාසට දුන්නා. ඔහු නළාව පිම්බා විතරයි, එයින් මහා හඬක් පිටවුණා.

ඔන්න ඉතාම හොඳ සංගීත භාණ්ඩය. බොහොම සද්දේ තියෙනවා." එහෙම කියුවේ වැඩ බැරි දාස.
"ඉතින් ඔයාට ආසයි නම් ඉගෙන ගන්න!" කුසල් කිව්වා.

"මම ඉගෙන ගන්නෙ මොකටද? මට වාදනය කරන්ට පුළුවනි." වැඩ බැරි දාස පිළිතුරු දුන්නා.
"ඔයාට වාදනය කරන්ට තවම බැහැ. ඉගෙන ගන්ට ඕනෑ."

"අපොයි, මට පුළුවනි!" වැඩ බැරි දාස එහෙම කියලා මහ හඬින් නළාව පිම්බා.

"පම් -පම්-පම්! පුම්-පුම්-පුම්!"

"ඔයා නිකම් නළාව පිඹිනවා විතරයි. වාදනය කරන්නේ නැහැ."

"වාදනය කරන්නේ නැතිද? හොඳට වාදනය කරනවා. හොඳ සද්දෙට වාදනය කරනවා." එහෙම කියුවේ වැඩ බැරි දාසයි.

"සද්ද කිරීම නොවෙයි හපන්කම. ලස්සනට වාදනය කිරීමයි," කුසල් විතර කළා.

"ඉතින් මම ලස්සනට වාදනය කරනවා නේන්නම්."

"කොහෙත්ම ලස්සන නැහැ. ඔයාට සංගීත වාදනයට දක්සතාවයත් නැති බව මට පේනවා," කිසල් කියුවා.

"වාදනය දන්නෙ නැත්තේ නුඹයි! නුඹ මට ඉරිසියා කරන නිසා එහෙම කියනවා. නුඹ කැමතියි නුඹේ වාදනය විතරක් අහලා නුඹට විතරක් හොඳ කියනවට" වැඩ බැරි දාසට තරහා ගිහිල්ලා එයා කුසල්ට බැන්නා.

"ඔයා කැමති නම් ඔනෑ තරම් නළාව පිඹින්ට.ඉගෙන ගන්ට ඕන නැතිනම්, ඒක ඔයාගෙ වැඩක්, මිනිස්සු ඔයාගේ හොඳ කියනවට මම කැමතියි." කුසල් කලබල නොවී කියුවා.

"ඔව් මම වාදනය කරනවා!" වැඩ බැරි දාස ආඩම්බරයෙන් උත්තර දුන්නා.


ඉතින් එයා නළාව පිඹින්ට පටන් ගත්තා. එයා වාදනය කරන හැටි ඉගෙන ගත්තේ නැති හන්දා නළාවෙන් කනට බොහොම අමිහිරි ශබ්ද පිටවුණා. එක වෙලාවකට නළාව ගොරවනවා, තවත් වෙලාවකට නහයෙන් අඳනවා. නැතිනම් ඌරකු වගේ ගොර ගොර ගානවා. කුසල්ට මේ කරදරය අහගෙන ඉන්ට බැරි නිසා ඔහු කබාය ඇඟ ලාගෙන, ටයි පටිය වෙනුවට රෝස පාට පීත්ත පටිය කරේ බැඳගෙන යාළුවන් හමුවීමට ගියා.

හවස ළමයින් ඔක්කෝමල්ලා එක්කහු වුනාම වැඩ බැරි දාස නළාව පිඹින්ට පටන් ගත්තා.

"බුම්-බුම්-බුම්!... පුම්-පුම්-පුම්!...."

"මේ සද්දෙ මොකක්ද?" ළමයි ඇහුවා.

"සද්දයක් නොවෙයි. මම වාදනය කරනවා," වැඩ බැරි දාස පිළිතුරු දුන්නා.

"ඕක කන්දොස්කිරියාවක්! නවත්වනව! අපේ කන් අඩි රිදෙන්ට අරගෙන" දක්ස පාල කියුවා.

"එහෙම රිදෙන්නේ නුඹලා මගේ සංගීතයට පුරුදු නැති හින්දා. පුරුදු වුනාම වේදනාව නැතිව යාවි."
"ඔය කන්දොස් කිරියාව උහුලගෙන ඉන්ට මට බැහැ."

වැඩ බැරි දාස ළමයින්ගේ අසතුට ගණන් ගන්නේ නැතුව දිගටම නළාව පිම්බා:

"බුම්-බුම්-බුම්!...පුම්-පුම්!.."

"ඔය පිස්සු වැඩේ නවත්වනවා! එහෙම බැරිනම් නළාවත් අරගෙන කරුණාකරලා යන්න!" ළමයි සියළුදෙනාම වැඩ බැරි දාසට කියුවා.

"මම කොහේ යන්ටද?"

"පාළු පිට්ටනියට ගිහිල්ලා පිඹින්න."

"මගේ වාදනය අහන්න එතැන ළමයින් නැහැ."

"ඔයාගේ කන්දොස්කිරියාව අහන්ටම ඕනෑද?"

"සත්තකින්ම අහන්ට කවුරුහරි ඉන්ට ඕනෑ." වැඩ බැරි දාස කියුවා.

"එහෙනම් මහ පාරට ගිහිල්ලා පිඹින්න. මහ පාරෙ යන මිනිස්සු අහවි."

වැඩ බැරි දාස මහ පාරට ගිහිල්ලා ගෙයක ජනේලය ලඟ හිටගෙන නළාව පිම්බා. කරදර නොකර වෙනින් තැනකට යන්ටයි කියලා වැඩ බැරිදාසට ඒ ගෙදර මිනිස්සු කියුවා. එතකොට එයා ඊළඟ ගෙදර අසලට ගිහිල්ලා නළාව පිම්බා. ඒ ගෙදර මිනිස්සුත් වැඩ බැරි දාසව පන්න ගත්තා. ඒ වර එයා තුන්වැනි ගෙදර ලඟටත් ගිහිල්ලා නළාව පිම්බා. ඒ ගෙදර මිනිස්සුත් එයාව එළවා දැම්මා. එවිට වැඩ බැරි දාසට කේන්ති ගිහිල්ලා තවත් හයියෙන් නළාව පිඹින්ට පටන් ගත්තා. ඉතින් මේක මහා ලොකු කරදරයක්. ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු මහ පාරට ඇවිල්ලා නළාව පිඹින කරදරකාරයාව ඈතට පන්නා දැම්මා. වැඩ බැරි දාස නළාවත් අරගෙන පණ බේරා ගෙන දුවලා ගියා.

ඔන්න ඉතින් එදා ඉඳලා වැඩ බැරිදාස නළාව පිඹීම අතහැරලා දැම්මා.

"මේ ගොල්ලන්ට මගේ සංගීත වාදනය තෙරුම් ගන්ට බැහැ. මේ මෝඩ මිනිස්සු එතරම් තවම දියුණු වෙලා නැහැ. දියුණු වුනාම මගෙන් ඉල්ලා හිටීවී වාදනය කරන්ටයි කියලා. එතකොට පමාවෙලා. මම මීට පස්සේ නළාව වාදනය කරන්නේ නැහැ.


- අනුවාදය : දැදිගම වී රුද්රිගූ -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
රිවි මිණි රැස් කිරණ බලා
උදය කුමරි සිනහා වෙලා
දවසට මුල පුරණ කුරුලු
ගායකයන් අවදි වෙලා

සමනළ බිඟු කැළ එනු දැක
කලබල වී හනික හනික
හිරුට හොරා උදා කුමරි
පැණිබර මල් පුබුදු කරයි

දෙගුරුන්ගේ ආදර බස
අසමින් දූ දරු සිසු රැස
අවදි උණෝ මේ අලුයම
පාසල් යන්නටය කියා

පාට පාට කොළ දළු මල්
ගස් වැල් වල හැඩ කරලා
ලස්සන ලෝකයක් හදන
උදා කුමරි කරුණාවයි

හුරතල් කිරි කැටි දරුවන්
මව් ඇකයෙන් අවදි කළා
චූටි මුවෙන් කිරි බොන තුරු
උදා කුමරි ළඟ හිටියා

කුසීත කම නැති කරවා
නිකමුන් හට ඔවදන් දී
නිසිමග යැවිමට දිරි දෙන
උදා කුමරි ඉටු දෙවියා

නිහිළුවේ, ආර්.කේ.ඒ.පියදාස මාමා

"මල් කැකුළු" - 1996 මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
මගෙ පොඩි යාළු - නෙළමුද ඕලු
ගඟට යමූ - ඔරු පදිමූ
මල් නෙළමූ - කවි කියමූ//

හඳ වැටිලා - වතුරේ - බොඳ වෙනවා - මිතුරේ
තරු ඉහිලා - අඳුරේ - හිනැහෙනවා - ඉවුරේ
කිරල ගොමූ - වෙත වැදෙමූ
ගෙඩි කඩමූ - ගොඩට යමූ..

පිණි වැහැලා - මුතු සේ - මල මුදුනේ - දිලිසේ
මා වවුලෝ - රහසේ - ඉගිලෙනවා - අහසේ
කිරල ගොමූ - වෙත වැදෙමූ
ගෙඩි කඩමූ - ගොඩට යමූ..

පදඃ සුනිල් ආරියරත්න මාමා
සංගීතයඃ සරත් වික්‍රම මාමා


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
කොක් කොක් කොකො කොක්
කුක් කුකු කුකු කුක්
කුක් කුක් කුකු කුක්
කොක් කොකො කොකො කොක්

කුකුළු හාමි අවදි වෙලා
ඉර දෙවියෝ මග එනවලු
කපුටු හාමි අවදි වෙලා
බඩගින්නේ ඉන්න බැහැලු

කොක් කොක්...

ටිං ටිං ටිටි ටිං
ටිරි ටිරි ටිරි ටිං
කිකි කී කිකි කී
කී කී කිකි කී

ඔරලෝසුව අවදි වෙලා
වෑන් එකත් මග එනවලු
අපි සේරම අවදි වෙලා
මූණ සෝද ගමුකො යාලු

පී පී පිපි පී
පොපො පෝ පොපො පෝ
පොපො පොප් පොපො පොප්
පොපො පෝ පොපො පෝ

වෑන් එකත් අවදි වෙලා
අපේ ගෙදර ළඟට ඇවිත්
ඉස්කෝලේ අවදි වුනොත්
ගේට්ටුවත් වහයි යාලු

ඩං ඩං ඩඩ ඩං
ඩිං ඩිං ඩිඩි ඩිං
ටං ටං ටට ටං
ටට ටට ටට ඩං

ඉස්කෝලේ අවදිවෙන්න
කලින් මෙන්න අපි ආවා
ඉස්කෝලේ තාමත් නිදි
අපි ආවේ ඇහැරවන්න.


- කේ.කේ. සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

මදුරුවා හරිම පුංචි සතෙක්. ඒ වුණාට එයා අපට කරන කරදර නම් නිමක් නෑ!.

එහෙම නේද?

ඔව්. හැබැයි පොඩිත්තනේ, අද මා මෙහිදී කියන්නේ මදුරුවන්ගෙන් අපට වන හිරිහැර ගැන නම් නොවෙයි; මදුරුවන් සිටිය හැකි තැන්, උන් බිත්තර දමනා තැන් පිරිසිදු කරලා මදුරුවන් බෝ වීම වළක්වන හැටි ගැනත් නොවෙයි. හොඳද?

එහෙනම්...?

පොඩිත්තන් දන්නවාද, මදුරුරාල අපට විදින්නට පටන් ගත්තේ කවදා ඉඳලාද කියලා? නැහැ නොවැ.

දවසක් අපේ පොඩිත්තෙක් ඇසුවා, මදුරුරාලගෙන් ඔය ගැන.

මෙන්න දෙදෙනාගේ කතාබහ.

ඉතින්, අපි ගයමු තාලයට, දෙබස.

බබා:-

පුංචි මදුරු යාළු - එන්න එපා යාළු
ආව වුණත් යාළු - අනින්නෙපා යාළු
පුංචි අපට යාළු - බොහොම රිදේ යාළු
ඉතින් අනේ යාළු - අනින්නෙ ඇයි යාළු

මදුරුරාල:-

පුංචි බබෝ මං දන්නව, මේක නරක වැඩක් කියා
ඒ වුණාට මේ පුරුද්ද අත්හරින්න බැරිව ගියා
ඒ කාලේ රජෙකු වගේ මාත් තුටු සිතින් සිටියා
වැඩි තණ්හාවකට ගොසින් මට වුණු විපතක සැටියා

බබා:-

වැඩේ වැරදි බව තේරේ ඒත් නොයයි හරි පාරේ
උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද කුද නෑරේ


මදුරුරාල :-

ඉස්සර කාලේ කාටත් මං ඇන්නේ නැතිය කියා
මහ කැලයේ ගම්මානේ කවුරුත් හිතැතිව සිටියා
මේ අතරේ දවසක් වන දෙවියන් කැලයට වැඩියා
ඒ ආවේ මොකද කියා දන්නවාද බබෝ ඔයා

බබා:-

කරදරයක් ලෙඩක් දුකක් වුණු තැන පිහිටට එන්නේ
වන දෙවියන් තමයි කැලේ අම්ම අප්ප වගෙ ඉන්නේ
අණවින, කොඩිවින, හෝ-වහ, ඇස්වහ හැම දුර ලන්නේ
වන දෙවියන් තමයි කැලේ රැකුමට කවදත් ඉන්නේ

මදුරුරාල :-

ඒ වුණාට මෙදා සැරේ ආවේ නම් වෙන වැඩකට
කැලේ හැමෝටම වාගේ පුංචි තෑග්ගක් දෙන්නට
කුරුල්ලන්ට නම් ලැබුණේ පිහාටුමයි පාට පාට
බිම් කරුවල පාත් වෙලා මං එතනට ළං වෙනකොට

බබා:-

යන්නෙ අපායකට වුණත් කල් ඇතිවයි යා යුත්තේ
කලින් පැමිණි අයටයි කොතැනත් ගරු සැලකිලි ඇත්තේ

මදුරුරාල:-

දෙවියන් අපෙ කෝප වුණත් මගේ පමාවට බැනලා
තෑගි මල්ල දිගහැරියා, "කමක් නෑ ඉතිං" කියලා
අනේ අපොයි පොඩි කටුවකි, තිබුණේ මුල්ලක ඇනිලා
දෙයියො ගෙනා තෑගි බෝග ඔක්කොම දැන් ඉවර වෙලා

බබා:-

කටුව අරන් යනව මිසක් වෙන මොනවා කරන්නදෝ
ඒත් අහිංසක නුඹටත් කටුවක පලයක් ඇතිදෝ

මදුරුරාල:-

"කටුවක් විතරක් මොකටද මිටියක් නැත්නම්!" හිතලා
මිටියක් ඉල්ලා හිටියා දෙවි පාමුල වැඳවැටිලා
"පමා වුණා මදිවට දුන් දේත් මදිද " බැණ වැදිලා
"තව දොඩවනවද" ඇහුවා දෙවියන් හොඳටම කිපිලා


දෙවියෝ:-

"මදුරුරාල, කටුව අරන් ආපු අතක් බලා ගන්න
මඟදී මිටියක් ලැබේවි හොඳට මතක තියා ගන්න

මදුරුරාල:-

"අනේ එහෙම උණොත් යසයි, පිනුත් සිද්ධවෙයි" කියලා
තෑගි කටුව අතට අරන් නහය යටින් සවි කරලා
"කටින් කරපු කටයුතු දැන් මෙයින් කරන්නම්" කියලා
"යන්නම්" කීවා මා දෙවියන් පාමුල වැඳවැටිලා

ඔය අතරේ මුණ ගැහුණේ - අලි නයිදේ මේ අස්සේ
"කටු පොඩියේ වැඩකිඩ දැන් - අලි ලොක්කට පෙන්නන්නම්



මදුරුරාල:-

අලිපිට උඩ කටුව තියා පුංචි තල්ලුවකි දුන්නේ
තඩි හොඞ වැල ඉහළ ගිහින් ටික ටික පහලට එන්නේ
එය කටුවට මිටි පාරකි, දැන්නම් නෑ වර දින්නේ
වන දෙවියක් කී දෙය දැන් දැන් මගෙ සිහියට එන්නේ

මදුරුරාල:-

එදා පටන් මගෙ කටුවට "මිටියක්" නෑ වරදින්නේ

බබා:-

දැන දැන පහනට පනිනා පළඟැටියත් නුඹ වැන්නේ

දුටුව නේද පොඩිත්තනේ, තමන්ට ඕනෑ නැති දේවල් ගැළපෙන්නේ නැති දේවල් ගැන ආසා හිතාලා මදුරුරාල අනතුරට පත් වන හැටි!

එච්චරද? නෑ. මදුරුරාලගේ කතාව අහපු පොඩිත්තන් වේලාවට වැඩ පල කරන්නත් පුරුදු වෙනවා. ඇයි? ඇයි, මදුරුරාල කලින්ම පරක්කු නොවී එතැනට ගියානම් මීට වඩා හොඳ තෑග්ගක් ලබා ගන්නවා නොවැ.

ඒ වාගෙමයි, අප නරක ගති- සිරිත්වලින් වළකින්නට උත්සාහ කරන්නත් ඕනෑ!

ඉතින් දැන- දැන වැරදි නොකරන, නරක පුරුදු අත් හරින පොඩිත්තන් අර මදුරුරාල වාගේ විපතට පත් වන්නේ නෑ! වේලාව නොවරදවා වැඩ කරන ඈයො හොඳ දේම හිමි කරගන්නව.

පොඩිත්තන්ට පුළුවනි මේ කවි -කතාව යහළු යෙහෙළියන් එක්ක තාලයට හඞ නගාලා ගයන්න; නංගිලා මල්ලිලාට කියාදෙන්න.

ඉතින් පොඩිත්තනේ, පොඩිත්තන්ට ආයුබෝවන්!

- ලිව්වේ ජයත් පියදසුන් මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
පෝයදාට පියාඹලා
රන් තරුවක් ගෙනල්ලා
ඒක මුට්ටියක දමාලා
නෑඹිලියෙන් වසාලා...//
සුදු රෙද්දක් ඔතා
ලා
ලනු පොටකින් ගැටේලා
දුමේ තැනක් බලාලා
හංගාලා තියාලා...//

කවුරුත් ළං නොවන්නේ
තරුව පැනල නොයන්නේ...//
මාත් හොරෙන් බලන්නේ
ටික දවසක් තියෙන්නේ...//

පෝයදාට පියාඹලා
රන් තරුවක් ගෙනල්ලා
ඒක මුට්ටියක දමාලා
නෑඹිලියෙන් වසාලා...//
සුදු රෙද්දක් ඔතා
ලා
ලනු පොටකින් ගැටේලා
දුමේ තැනක් බලාලා
හංගාලා තියාලා.......//


සුළඟ සැරෙන් හමාලා
ගෙදර පහන් නිවීලා....//
ගිය දවසට රෑ වෙලා
තරුව ගනිමි සොයාලා.... //

ලිව්වේ - කරුණාරත්න අබේසේකර මාමා
සංගීතය සැපයුවේ - තිලකසිරි ප්‍රනාන්දු මාමා

ගීතය ගායනා කලේ - ඉන්ද්‍රාණී මානෙල් උපසේන නැන්දා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
නිල් අහසින් දේදුන්නක්
වැවට වැටීලා
අර බලන්න යාළුවනේ
දේදුන්නේ පාට හතම
වැවේ දියවෙලා

අපි එකමුතු වී
දෝතින් වැව් වතුර ගෙනල්ලා
ගස්වැල්ව
මුලට දාමු
පමා නොවීලා
මතුදාක පිපෙයි
පාට පාට මල් අපි හින්දා

හිරු කුමාරයා
වැව් වතුරේ ලස්සන දැකලා
එය ලොවටම බෙදා දෙන්න
අහසට ගත්තා
සුන්දර වෙයි ඒ වැස්සෙන්
ලොව අදට වඩා

ලිව්වේ අමිල තේනුවර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post

අකුරු මහිමය

පොරණ පඬින් කළ පත පොත
නුවණ ලැබෙයි කියැවුව හොත
නො දැන අකුරු කියවනු නැත
අකුරු තමා නැණ ගෙන  දෙත

නුවණ ලබා දෙන       දෙවියෝ
අකුරු ය ඉන් නො වනු   වියෝ
එ අකුරු මැනැවින්    සෙවියෝ
වෙති රට සලකන       කිවියෝ

නිවැරැදි හඬ නගා          කියව
හොඳ හැඩයට අකුරු      ලියව
ගී ද මිහිරි හඬින්            ගයව
ගිය ගිය තැන සැප       සපයව

පුරුදු නොකළ හොත්   දිනැ දින
නිසි පල නො ලැබෙයි   අකුරින
ආදරයෙන් බැතින්          එයින
අකුරු පුරුදු කරනු         නිතින


පළමුව ඔබගේ           සැලැකිලි
ලැබුණොත් අකුරට  නො පැකිලි
දෙවනු ව අකුරේ         සැලැකිලි
ලැබේ ය දුක් වී           වැලැකිලි



අකුරු ඔබට අහර           සොයා
ඔබ නම රට පුරා              කියා
මෙ ලොව එ ලොව සැප   සපයා
ජය දෙයි සැම තැන ම        සියා

කුමරුන් කුමරියන්          අමර
වැ නිය අකුරු ඔබ         පිරිවර
මුල දී නොගතොත්      තර කර
නො ලැබේ මතු කල      අවසර


උදයෙ ම නින්දෙන්   නැගෙන්නැ
පිරිසිදු වී තැනෙක           ඉන්නැ
අකුරට බුහුමන්           කරන්නැ
නුවණ වඩින දොර       හරින්නැ

ඉතින් ඇතැ යි පසු  නො බසිනු
නැවත නැවත පුරුදු        කරනු
බුරුලක් වෑයමට     නො දෙනු
බැරි ම තැනක් අසා       උගනු

පෙර කල ඔබ වැනි     දරුවෝ
ඉගෙන අකුරු මරු    මැරුවෝ
අලසව එ අකුරු       වැරුවෝ
නම ගම සමඟින්       දිරුවෝ

ළමා කලය අකුරට        හුරු
යන්නට එය නිකම් නො හරු
සොඳට පිහිට වෙති   ගුරුවරු
වන්නට බල උන් හට     ගුරු

ඉපිද මෙ ලොව කිම         වෙසෙසක්
නො කොට මළොත් නොවිඳ   සැපක්
වෙසෙසින් කරනට             කිසිවක්
අකුරිනි ලැබෙතොත්            පිහිටක්

ලොවට උපන්නේ පුත               ඔබ
යම් කිසිවක් පිණිස යැ                සුබ
එ සිදු කරන්නට ඉඩ                 ලැබ
ගත හැකි අකුරිනි සිත                තබ

ගුරු දෙ ගුරුන් ඈ හැය ‍          දෙන
ලවා දැන් ම හොඳ යැ           කියන
බස කියවා නොගත          හොතින
විපත පෙනේ මතුවට   මතුවට එන

අකුරට දැන් වන්න                 දාස
අකුරු පසු වැ වේ යැ               දාස
සිදු වෙයි ඔබ හැම                අදාස
පැමිණෙයි සැප දාස                දාස

මුනිදාස කුමාරතුංග
-අකුරු සැහැල්ල, 64-78 කවි මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අහස බලව්!
එහෙන් මෙහෙන්
නො එක් පාට
කොඩි ඇදිලා

පොළොව බලව්!
එහෙන් මෙහෙන්
නො එක් පාට
මල් ඉහිලා


අහසෙ පොළොවෙ
එහෙන් මෙහෙන්
නො එක් පාට
එළි වැටිලා

මේ උදයයි
මහ පුදුමයි
නැඟෙනහිරින්
හිරු නැඟිලා

-ආනන්ද රාජකරුණා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
රුඩෝල්ෆ් කියලා පුංචි හාවෙක් හිටියා. මේ හා පැටියා හරිම ආසයි එයාගේ නැන්දගෙ ගෙදර යන්න. ඒ මොකද නැන්දගෙ ගෙදර මේ පුංචි හා පැටියට, එයාගෙම කියල කාමරයක් තියෙනවා. එයාටම වෙන්වුණ ඇඳක් තියෙනවා. සෙල්ලම් බඩු තියෙනවා. හා පැටිය හරි ආසයි ඒ සෙල්ලම් බඩු එයාගෙ විතරක් කරගන්න.

ඒත් මේ සැරේ නැන්දගෙ ගෙදර ගිය හා පැටියට පාළුවක් දැනුණා. එයාගේ අයියල, අක්කල, නංගිල, මල්ලිලා නැති නිසා තනිකමක් දැනුණා. තනිකම කොච්චර ලොකුවට දැනුණද කියනව නම් රුඩොල්ෆ්ට නින්ද ගියෙත් නෑ.

ඒක නිසා හා පැටියා එයාගෙ නැන්දගෙන් මෙහෙම ඇහුවා....

“අද රෑ මම වෙන කොහේ හරි නිදා ගන්නද නැන්දෙ ?”

“කොහෙද ?” .... නැන්දත් හා පැටියගෙන් ඇහුවා.

“හොඳ යාළුවෙක්ගෙ ගෙදර”

“රුඩෝල්ෆ් ට හිතෙනව නම්, යාළුවෙක් ගාව හොඳට නිදාගන්න පුළුවන් කියලා, එහෙම කරන්න”. නැන්දා හා පැටියට අවසර දුන්නා.

ඉතින් ඔන්න හා පැටියා එයාගෙ මිතුරු ලේන් පැටියෙක්ගෙ ගෙදර ගිහින් මෙහෙම ඇහුවා....
“අද මට මෙහෙ නිදාගන්න පුළුවන්ද ?”

“මොකෝ බැරි. එන්න එන්න ඇතුළට එන්න.” ලේන් පැටියා ගොඩක් ආසාවෙන්, හා පැටියව පිළිගත්තා.

එදා රෑ තනියම නිදාගන්න නොලැබුණ සතුටෙන්, ලේන් පැටියගේ ඇඳේම හා පැටියත් නිදාගත්තා.

ක්..රා..ක්.... ක්රා..ක් .... ක්..රාක්

ටික වෙලාවක් ගියාට පස්සෙ හා පැටියට සද්දයක් ඇහුණා. ඒත් තද නිදිමත නිසා, හා පැටියට එහෙම්මම ආයෙත් නින්ද ගියා.

ආයෙත් ටික වෙලාවකට පස්සෙ....

ක්රාක්.... ක්රාක් .... ක්රාක්

“මොකද්ද ඒ සද්දෙ” කියාගෙන හා පැටියා ආයෙත් ඇහැරිලා, ඇඳේ ඉඳගත්තා.

හා පැටියගේ කටහඬ ඇහුණ ලේන් පැටියා මෙහෙම කීවා....

“මම මේ ඕක්ගෙඩි වගයක් හපනවා. රෑට හැම වෙලේම මට බඩගින්නක් එනවා. ඒ වෙලාවට මට මොනව හරි කන්න ඕනි”.

“ඔයා මට කරපු ආගන්තුක සත්කාර වලට ගොඩක් ස්තූතියි. ඒත් මේ සද්දෙ මැද මට නිදාගන්න බෑ” කියල කියපු හා පැටියා, ඊළගට ගියේ එයාගේ මිතුරු උරුලෑවෙක්ගෙ ගෙදර.

“යාළුවේ අද මට මෙහෙ නිදාගන්න පුළුවන්ද ?” .... හා පැටියා උරුලෑවගෙනුත් ඇහුවා.

“ඔව් ඔව් .... සියපාරක් ඔව්. කවදාවත් කවුරුවත් මගෙත් එක්ක නිදා ගන්න අහල නෑ....” යි කීව උරුලෑවා, හා පැටියව ඇදගෙනම ගේ ඇතුළට ගිහින්, ඇඳට වැටුණා.

ඒත් වැඩිවෙලාවක් යන්න කලින් දැනුණ දුගඳක් නිසා ඇහැරුණ හා පැටියා, ඇඳේ කෙළවරටම ගිහින් මෙහෙම ඇහුවා....

“මොකද්ද ඒ ගඳ ?”

“මම හිතන්නෙ ගඳ එන්නෙ මං ගාවින්.. මට හොඳටම අමතක වුණා මගේ කාමරයේ තව එක්කෙනෙක් ඉන්නවා කියලා. මම බය හිතෙන හීනයක් දැක්කා. ඒ වෙලාවෙ මගේ ගඳ හොඳටම විහිදෙන්න ඇති ”... කියලා උරුලෑවා කීවා.

“ඔයා මට කරපු ආගන්තුක සත්කාර වලට ගොඩක් ස්තූතියි. ඒත් මේ ගඳත් එක්ක මට නිදාගන්න බෑ” කියල කියපු හා පැටියා, ඊළගට ගියේ එයාගේ මිතුරු ඉත්තෑවගෙ ගෙදර.

”අනේ යාළුවේ මට අද රෑ මෙහෙ නිදා ගන්න පුළුවන්ද ?”

“නැතුව නැතුව, ඔයාට පුළුවන් මගේ ඇඳේම නිදා ගන්න. මම නිදාගන්නම් බිම” කියල ඉත්තෑවා කීවා.

“හුරේ” .... හා පැටියා සන්තෝසෙන් ඉත්තෑවගේ ඇඳේ පෙරළුනා.

ඒත් ටික වෙලාවකට පස්සෙ....

“ඌ...යි....ඌ...යි....ඌයි”

හා පැටියා වේදනාවෙන් කෑ ගහලා .... ”මොනවද මේ ඇඳේ තියෙන්නෙ” කියලා ඇහුවා.

“ඒ මගේ ඉත්තෑකූරුනේ. සමහර වෙලාවට මගේ ඉත්තෑකූරු ඇඳේදි ගැලවෙනවනෙ” .... ඉත්තෑවා උත්තර දුන්නා.

“ඔයා මට කරපු ආගන්තුක සත්කාර වලට ගොඩක් ස්තූතියි. ඒත් මේ ඉත්තෑකූරුත් එක්ක මට නිදාගන්න බෑ” කියල, හා පැටියා එහෙනුත් යන්න ගියා.

ඊට පස්සෙ හා පැටියා ආවෙ එයාගේ මිතුරු වලස්පැටියගෙ ගෙදර.

“මට අද මෙහෙ නිදාගන්න පුළුවන්ද?”

“ඔව් ඔව්.... ඔයාගෙ ගෙදර වගේම මෙහෙ ඉන්න පුළුවන්.” වලස් පැටියත් කීවා.

හා පැටියා හිටියේ ගොඩක් මහන්සියෙන්. ඒක නිසා ගේ ඇතුළට ඇවිත් බිම පෙරළුනා විතරයි හොඳටම නින්ද ගියා.

ඒත් ටික වෙලාවකට පස්සෙ ඇහුණ ගෙරවිලි හඬක් නිසා, හා පැටියා ගැස්සිලා ඇහැරුණා.

“අයියෝ අහස ගොරවනව වගේ” කියලයි හා පැටියට හිතුණෙ.

ඒත් ගොරවන්නෙ අහස නෙමෙයි, වලස් පැටියා බව හා පැටියට ඉක්මණින් තේරුම් ගියා.

“මේ ගෙරවිල්ල නිසා මට නිදා ගන්න බෑ” යි හිතුව හා පැටියා, ඊළගට ගියේ එයාගේ යාළු බකමූණගෙ ගෙදර.

“අද රෑ මට මෙහෙ නිදා ගන්න පුළුවන්ද ?”

“ඔයාට මෙහෙ නිදාගන්නම ඕනි නම්, මොකෝ බැරි.... එන්න ඇතුළට.” බකමූණා එයාගෙ යාළුවව ගේ ඇතුළට ගත්තා.

හා පැටියා හිටියේ ගොඩක් මහන්සියෙන් නිසා එයාට හරි ඉක්මණින් නින්ද ගියා.

ටික වෙලාවකට පස්සෙ එළියක් පත්තු වෙලා තියෙනවා නිදාගෙන හිටිය හා පැටියගෙ ඇස් වලට දැනුණ නිසා, එයා ආයෙමත් ඇහැරුණා.

“යාළුවේ ඔය එළිය නිවන්නකෝ” .... හා පැටියා බකමූණට කීවා.

“අනේ ඒකනම් කොහොමටවත් කරන්න බෑ. රෑට තමයි මම පොත් පත් කියවන්නෙ. ඒක නිසයි මම මට හිතුන දේම කරන්නෙ” කියලා, බකමූණා හා පැටියට උත්තර දුන්නා.

“එහෙමනම් ඔයාට හිතෙන විදිහට කියන්නකො යාළුවේ, මට අද රෑ නිදා ගන්න පුළුවන් තැනක්.”

“ආ.... ඒකට උත්තරේ හරිම ලේසියි නේ.... යන්න ගිහින් ඔයාගෙ ඇඳේම නිදා ගන්න”.... බකමූණා උත්තර දුන්නා.

බකමූණා කියපු දේ ඇහුව හා පැටියා, ගොඩක් නිදිමතෙන් ගොඩක් මහන්සියෙන් එයාගෙ නැන්දගෙ ගෙදර යන්න ගියා.

හා පැටියට එයාගෙ ඇඳ දැක්කම ගොඩක් සන්තෝස හිතුණා. ඒක නිසා දුවගෙන ගිහින් එයාගෙ ඇඳට පැන්නා.

ඊට පස්සෙ .... ”අම්මෝ දැනෙන සනීපෙ කියලා අත් කකුල් දිග ඇරියා.”

“හපන සද්ද නෑ, කිසිම ගඳක් නෑ, ඉත්තෑකූරුත් නෑ, කවුරුත් ගොරවන්නෙත් නෑ, කිසිම එළියකුත් නෑ, මම විතරයි.... මම විතරයි මගේ ඇඳේ.... දැන්නම් මට හොඳට නිදා ගන්න පුළුවන්” කීව හා පැටියා රෙද්ද පොරවගෙන හොඳට නිදා ගත්තා.







”කැරල් රොත්” ගේ “ලිට්ල් බනීස් ස්ලීප්ලස් නයිට්” කතාවේ පරිවර්තනය කි.

සිතුවම් : ෆලරි කෝර්බචෙෆ්

පරිවර්තනය : මුතු පබා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට


බකමූණෝ පියාඹතී
අනිත් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී


මගෙ හුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නෙ පිනි බින්දුත්
හදමු එකක් ඒ වාගේ

හඳහාමි අප දිහාව
එබී බලයි පා හිනාව
සිසිල් සුළං දැල් විඳින්ට
දොරට යන්ට හොඳ වෙලාව
අහසේ තරු වැල් පිරිලා
පොළොවේ සුදු මල් පිපිලා
මඟුල් ගෙවල් දෙකක් වගෙයි
මේ දෙපළම හැඩ ගැහිලා

-ඇස්. මහින්ද හිමි-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
රන් පිඟාන ලෙස වටකුරු
දිලිහි දිලිහි තිබෙන අපුරු

හඳ හාමියෙ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ!

එම පිඟාන මැද හිඳින්නෙ
හාවෙකි, කිරි පැණිද කන්නෙ

හඳ හාමියෙ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ!

අමාවකයි නුඹ නැතිදා
අටවක නැමි පනාවදා

හඳ හාමියෙ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ!

පසළොස්වක පිඟාන දා
නුඹට මගේ දෝත ඉඳා

හඳ හාමියෙ ! හඳහාමියෙ !
කිරිත් පැණිත් දියෝ ! දියෝ!


- ආනන්ද රාජකරුණා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

පුංචි ගෑණු ළමයා මේසය ලඟ වාඩි වී පින්තූර අඳිනවා. වයිරන් පුසා පුටු ඇන්දට පැනලා ඇය අඳින දිහා බලාගෙන ඉන්ට උනා.

"මොනවද ඔයා කරන්නේ?" පූසා ඇහුවා (ඔබ දන්නවනෙ පූසෝ විපරම්කාරී බව).

"මම උඹට ගෙයක් අඳිනවා" පුංචි ගෑණු ළමයා කීවා.

"බලන්න, මේ වහල, මේ දුම් කවුළුව, මේ තමා දොර."

"ඉතින් මං මොනවද කරන්නෙ?"

"උඹට පුළුවන් බත් උයන්න."

පුංචි ගෑණු ළමයා දුම් කවුළුවෙන් දුම් පිටවෙනවා ඇන්දා.

"ඉතින් කෝ ජනේල?" පූසා ඇහුවා. "ඔයා දන්නවනේ, පූසා හැම තිස්සෙම ජනේලවලින් පැනලා යන බව."

"මෙන්න තියෙනවා- එකයි, දෙකයි, තුනයි, හතරයි." ඈ ඇන්දා කුඩා ජනේල හතරක්.

"ඉතින් මට ඇවිදින්න තැනක් හෙම තියෙනවද?"

"මෙන්න තියෙනවා!"

පුංචි ගෑණු ළමයා ඇන්දා ගේ වටේට වැටක්. "ඒක උයන" ඈ කීවා. පූසා ඉව කරා.

"අපෝ, ඒක උයනක්ය?" ඌ කීවා. "ඒකෙ මොකුත් නෑ නේ!"

"පොඩියක් ඉඳින් පූසෝ" පුංචි ගෑණු ළමයා කීවා.

"මෙන්න උඹට මල් පාත්තියක් තියෙනවා, ඔන්න ඇපලුත් එක්ක ඇපල් ගහක්. තව එළවළු කොටුවක්. ඒකෙ කැරටුයි ගෝවයි තියෙනවා."

"ගෝවා!" නහය හකුළමින් පූසා කීවා.

"ඉතින් මම කොහෙන්ද මාළු අල්ලන්නේ?"

"මෙන්න තියෙනවා."

පුංචි ගෑණු ළමයා පොකුණක් ඇන්දා. පස්සෙ පොකුණෙ මාළු පීනනවා ඇන්දා.

"ඒක අපූරුයි...ඉතින් කුරුල්ලො හෙම නැද්ද?" පූසා විපරම්කාරිව ඇහුවා. "මම කුරුල්ලන්ට ආදරෙයි."

"ආ..ඔව්, මෙන්න කුකුළෙකුයි, කිකිළියෙකුයි. මෙන්න පාත්තයෙක්. තව කුකුල් පැටව් තුන් දෙනෙක්."

පූසා තොල ලෙව කාලා පුරු පුරු ගෑවා. පස්සෙ හීන් හඞකින් අහනවා මෙහෙම.

"ඉතින් ගෙදර මීයො හෙම නැද්ද?"

"අපෝ! නෑ, මීයෝ ඕනෙ නෑ ගෙදරට!"

"ඉතින් කවුද ගේ බලා කියා ගන්නේ?"
"උඹට මුරකාරයෙක් ඕන කරනවා."

පුංචි ගෑණු ළමයා පොඩි ගෙයකුයි බල්ලෙකුයි ඇන්දා.

"මෙන්න උඹේ මුරකාරයා. එයාගෙ නම රෝවර්."

නමුත් පුංචි ගෑණු ළමයා බල්ල අඳිනකොට පූසා වල්ගය නැටෙව්වා. උගේ මයිල් කෙලින් හිටියා.

"මම ඔයගේ ගෙට පොඩියක් වත් කැමති නෑ. මම ඒකෙ ඉන්න කැමති නෑ" පූසා කීවා. එහෙම කියල ඌ කේන්තියෙන් යන්න ගියා.

ඌ දඟකාර පූසෙක් නේද?

-වී. සුතේයෙව් -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

විස්කම්

සමනළයෙක් ඇවිදින්
තණකොළයක් සමඟින්
පුංචි කතාවක වාගේ
සීතල පිණි වැස්සේ

තණපත් හැඩ කරලා
කව්දෝ කවි ලියලා
තාලයකුත් රැඳිලා
ගැයුමට පද බැඳිලා

රෑ අහසට පායා
සඳ සාවී ගයනා
තරු රංචුත් එබිලා
සමනළයා දැකලා

පුංචි දරුවො පිපෙනා
මල් මෙන් ලොව සරසා
මේ විස්කම් කරනා
කව්දැයි පැණ නැගෙනා

ලොව ලස්සන කරනා
හැඩ රුව ගුණ වරුණා
සොඳුරුයි පිරි සොබනා
සොබා දමයි දිනනා..

-තුෂාරි ප්‍රියංගිකා නැන්දා-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අයිස්ක්‍රීම් කඳු උඩින් බලන් අර
අන්න බලන් සඳ පායනවා
කඳු මුදුනේ අර චෙරි ගෙඩි කන්නට
සූටික්කෝ අර පියඹනවා
ඉල්ල ඉල්ල අර අයිස්ක්‍රීම් තව
වලස් පැටවු හිම පොරකනවා
ඇස්කිමෝ සීයෙක් හැන්දක් අරගෙන
අයිස්ක්‍රීම් බෙද බෙද දෙනවා
අයිස්ක්‍රීම් හැදු ඉග්ලු ගෙවල් වල
ඇතුළේ ඇයි උණුසුම් සීයේ
මෙච්චර සීතල අයිස්ක්‍රීම් ඇයි
උෂ්ණයි කියන්නෙ ඇයි සීයේ
ඉග්ලු ගෙවල් වල අයිස් ගඩොල් බැඳි
බදාම අයිස් ද අපෙ සීයේ
මෙච්චර රස මේ අයිස්ක්‍රීම් වල
ඉතිහාසේ කොහෙන්දො සීයේ
රෝමය ගිනිගෙන වැටෙද්දි නීරෝ
අයිස්ක්‍රීම් කෑවලු ළමයෝ
චීන මාමලා ඊටත් කලිංලු
අයිස්ක්‍රීම් කෑවේ ළමයෝ
රාවණා සීයා හෝර්ටන් තැන්නෙදි
හිම කිරමක් කෑවා ළමයෝ
කියන්න හිතුණත් මම නෑ කියන්නේ
දන්නැති දේවල් හෙම ළමයෝ

කේ.කේ. සමන් කුමාර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

එකොමත් එක ගෙයක් ලඟ දර ගොඩක් තිබුණා. කිකිළියක් ඔය දර ගොඩේ හැප්පුණා.දර කෑලි හැමතැනම විසිරුණු හින්දා මහා ශබ්දයක් ඇති වුණා.

කිකිළිය බය වෙලා ගෙවත්ත පුරා දුවමින් කෙකර ගාන්ට පටන් ගත්තා.

"අහස කඩා වැටුණා! අහස කඩා වැටුණා! අහස කඩා වැටුණා! " කියලා කිකිළිය කඉ ගැහුවා.

අහස කඩා වැටුණා! කුකුළා ඇහුවා.

"මම දැක්කා, මට ඇහුණා!" කිකිළිය කිව්වා.

කුකුළා කිකිළියගේ කතාව විශ්වාස කළා. දෙදෙනාම බයවෙලා කැළයට දිව්වා.

මේ ගොල්ලන්ට හාවෙකු මුණ ගැසුණා.

"අහස කඩා වැටුණා!අහස කඩා වැටුණා!" කිකිළිය කිව්වා.

"නුඹට කිව්වේ කවුද?" හාවා ඇසුවා.

"මම දැක්කා, මට ඇහුණා!" කිකිළිය කිව්වා.
මේ දෙදෙනාට හාවත් එකතු වුණා. තුන්දෙනාම දුවන්ට පටන් ගත්තා. මේ ගොල්ලන්ට අතර මගදි වෘකයකු මුණ ගැසුණා.

"අහස කඩා වැටුණා!අහස කඩා වැටුණා!" කිකිළිය කිව්වා.

"නුඹට කිව්වේ කවුද?" වෘකයා ඇසුවා.

"මම දැක්කා, මට ඇහුණා!" කිකිළිය කිව්වා.

වෘකයත් මේ තුන්බ්දෙනා එක්ක එකතු වෙලා දුවන්ට පටන් ගත්තා. හතර දෙනාම දුවලා දුවලා ගිහින් තණ පිටියකට ආවා. එතැනදි මේ ගොල්ලන්ට හිවලෙකු මුණ ගැසුණා.

"හිවල් හාමි! හිවල් හාමි අහස කඩා වැටුණා!" කිකිළිය කිව්වා.

"නුඹට කිව්වේ කවුද?" හිවලා ඇසුවා.

"මම දැක්කා, මට ඇහුණා!"

දුවන්නන් පස්සෙ හිවලත් දුවන්නට පටන් ගත්තා.
පස් දෙනාම ඔහොම දුවලා දුවලා ගිහින් ගැඹුරු වලකට වැටුණා.

ඔය වල ඇතුලේ දවසක් හිටියා. දවස් දෙකක් හිටියා. දවස් තුනක්ම හිටියා. ඉස්සෙල්ලාම වෘකයාට තද බඩගින්නක් දැනුණා.

"හිවල් හාමි අපේ නම් හඞ නගා කියපන්. අහන්ට අප්‍රිය ඇති එක්කෙනාව කා දමමු" කියලා වෘකයා යෝජනා කළා.

"හිවලා හරි හොඳ නම" හිවලා කිව්වා.

"වෘක හාමිගේ නම හොඳයි. හාවගෙ නමත් හොඳයි. කුකුළගෙ නමත් හොඳයි. කිකිළිගෙ නම අහන්ටත් අප්‍රියයි!"

වෘකයයි හිවලයි එකතු වෙලා කිකිළිව මරාගෙන කෑවා.

හිවලා වැඩිය කෑවෙ නෑ. බොකු, බඩවැල්, ඇට කටු ආදිය උගේ බඩ යට හංගා ගත්තා.

වෘකයාට ඉක්මනින්ම බඩගිනි දැනුණා.

"හිවල් හාමි, ආයෙමත් අපේ නම් හඞ ගා කියපන්. අහන්ට අප්‍රිය නම ඇති සතාව මරාගෙන කමු" වෘකයා කිව්වා.

"හිවලා හරි හොඳ නම" හිවලා කිව්වා.

"වෘකයගෙ නම හොඳයි. හාවගේ නමත් හොඳයි. කුකුළගෙ නම හොඳ නැහැ. අහන්ටත් අප්‍රියයි".

වෘකයයි හිවලයි එකතු වෙලා කුකුලාව මරාගෙන කෑවා.

මේ වරත් හිවලා වැඩිය කුකුළු මස් කෑවෙ නෑ. හිවලා කුකුළු බොකු බඩ වැල් ආදිය තමන්ගේ බඩ යට හංගා ගත්තා.

කෑදර වෘකයාට ආයෙමත් බඩගිනි දැනුනා.

"හිවල් හාමි ආයෙමත් පාරක් අපේ නම් හඞ නගා කියාපන්. අහන්ට අප්‍රිය නම ඇති සතාව මරාගෙන කමු!" වෘකයා කිව්වා.

"හිවලගෙ නම හොඳයි " හිවලා කිව්වා.

"වෘකයගෙ නම හොඳයි. හාවගේ නම හොඳ නැහැ. අහන්ටත් අප්‍රියයි"

වෘකයයි හිවලයි එකතු වෙලා හාවා මරාගෙන කෑවා.

දැන් ඉතින් වල ඇතුලෙ ඉතිරි වෙලා ඉන්නේ හිවලයි වෘකයයි විතරයි. වෘකයාට ආයෙමත් බඩගිනි දැනුණා. හිවලා තම්න්ගේ බඩ යට හංගා ගත්ත මස් කෑලි, කටු කෑලි ටික ටික වෘකයාට හොරෙන් අරගෙන හෙමින් හෙමින් හපන්නට පටන් ගත්තා.

හිවලා මස් කටු හපන සද්දෙ වෘකයාට ඇහුනා.

"හිවල් හාමි නුඹ මොනවද හපන්නේ?" කියල වෘකයා ඇහුවා.

"මම මගේ බඩ බොකුවැල් හපනවා යාළුවා. වෙන මොනවා කරන්ටද?" හිවලා කිව්වා.

"අන්න යස වැඩේ! හිවල් හාමි වගේ මාත් කරන්නම්""කියලා වෘකයා හිතා ගත්තා.

වෘකයා තමන්ගේ බඩ හපා කෑවා. එතකොට උගේ බඩ පැලී බඩවැල් එලියට ආවා.

හිවලාටත් ඕන කරලා තිබුණෙ ඔය ටික තමා. වලෙන් ගොඩ එන්ට උමගක් හාරාගෙන හිවලා ගොඩ ආවා. තමන්ගේ කපටිකම් තමන්ගේ පැටවුන්ටත් උගන්වන්ට හිවලා ඔවුන් සොයා ගියා.

පරිවර්තනය - දැදිගම වී රුද්‍රිගු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails