කවදාහරි යනවා මං
සුදට සුදේ පුලුන් වගේ
හිම කැට වැටෙනා රටකට
දන්නවාද අනේ ඔයා
ඉර මට
දැං එපා වෙලා!


කබායකුත් ඇඟලාගෙන
ගෙල වටේට සළුවක් බැඳ
හිමෙන් මිදුනු වැවක් උඩින්
ආසයි ලිස්සා යන්නට
ඊටත් වැඩියෙන් ආසයි
හදන්න සුදු හිම මිනිහෙක්
කැරට් අලයකුත්
තියලා
නාස් පොඩිත්තක් විදියට !


සීත නිසා නිල් පැහැ වුණු
ගල් වුණු පොඩි ඇඟිලි තුඩින්
ආපහු මගෙ ගෙදර ඇවිත්
ගිණි මැලයක් ලඟින් ඉඳන්
උණුසුම් තේ කෝප්පයක
ආසයි මං රසබලන්ට!


ගිණි මැලයෙන් ඉහළ නගින
පොඩි ගිණි දළු දිහා බලන්
බටර් සුවඳ ඉහිරෙන උණු
පැණි ඉතිරෙන කැවිලි කටක
ආසයි
මං රස බලන්ට!

කවදාහරි යනවා මං
සුදට සුදේ පුලුන් වගේ
හිම කැට වැටෙනා රටකට
මුළු දවසෙම රෑ පුරාම
එපා වෙලා
ඉර දැං මට!


ඩොරති වයිට්ෆීල්ඩ් ලියූ "කැරිබියන් සුළඟ" ළමා කවි සංග්‍රහයෙනි.
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails