මේ පැන ඔබේ විදු දැනුම විමසීමටයි.

1. රබන් ගැසීමට පෙර රබාන රත් කර ගන්නේ ඇයි?
2. ඈත දුම්රියක් එන හඬ රේල්පීලි වලට කණ තබා අසා සිටීමෙන් දැන ගත හැක. එසේ වන්නේ ඇයි?
3. අපේ සඳ මතුපිට කිසිදු ආකාරයකින් ජීවීන් බිහි වීමට කිසිදු ඉඩක් නැත්තේ ඇයි?
4. අමු පළතුරු කූඩයකට ඉදුණු පළතුරු කිහිපයක් දැමීමෙන් අමු පළතුරු ඉදීම වේගවත් වන්නේ ඇයි?


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


පුංචලාගේ ගෙදර පිළිකන්නෙ තියෙනවා සරුවට වැවිච්ච පේර ගහක්. ඒ තරම්ම වයස නැති උනත් ගහ බොහොම අපූරුවට අතු විහිදිලා සෑහෙන උසට වැවිලයි තිබුණෙ. ඒ විතරක් නම් මදැයි, වාරෙටත් අවාරෙටත් ගහ පිරෙන්න මලුත් ගෙඩිත් තියෙන මේ පේර ගහේ ගෙඩි රසයෙනුත් ඉහළයි. හැබැයි දන්න දවසෙ ඉඳන් හොඳම පේර වල රස වැඩියෙන්ම බැලුවෙ නම් පුංචම තමයි.

අහල පහල කාටත් දෙන්න ඕනෑ වුනත් කවදාවත් හොඳ ගෙඩියක් ගහෙ ඉතිරිවෙන්නෙ නෑ කියලා තාත්තා හැමදාමත් අමනාපෙන් උන්නෙ. මොකද හැම ගෙඩියක්ම හීනියට කොනිති ගහල වගෙ ලකුණු.


"මේ සත්තු එක්ක බෑ... හැම ගෙඩියම නාස්ති කරනවා"

ඉතින් මේ වාරෙ තාත්තා අපූරු යෝජනාවක් ගෙනාවා. ඒ තමයි තරමක් ලොකු වෙච්චි ගෙඩි පොලිතීන් උරයකින් වහමු කියන එක.

"පුතේ, පරිස්සමෙන් නැගලා ආං අර අත්තෙ ගෙඩියත් වහලා දන්න ඕනෑ .ගෙඩි දහයක් පහළොවක් විතර ඉතුරු කලාම ඇති. " තාත්තා කිවුවා.

"ඒ මොකටද?" පුංචා ඇහුවා.

"ගස් වල ගෙඩි හැදෙන්නෙ අපිට විතරක් කන්න නෙමෙයි. කුරුල්ලන්ටයි, ලේනුන්ටයිත් එක්ක"

" හොඳයි තාත්තේ" පුංචා කිවුවා.

ඔන්න ඉතින් පුංචා තාත්තත් එක්ක එකතු වෙල පේර ගෙඩි සෑහෙන ගනනක් වැහුවා.

දවස් ගෙවිලා ගියා.

පුදුමයකට වගේ ඒ වතාවෙත් පොලිතින් උරය ඉතුරු වෙන්න පේර ගෙඩි අතුරුදන් වෙලා තිබුනා. ඒ විතරක් නම් මදැයි ඉතිරි පේර ගෙඩි ආයෙත් කොනිති ගහලා.

"හ්ම්ම්..." බැරෑරුම් විදියට කියූ තාත්තා පුංචා දිහා බලල යන්න ගියා.

දවසක් තාත්තා වෙනදාට වඩා කලින් ගෙදර ආවා. ගෙට ගොඩ වුණා විතරයි මෙන්න "දඩස්" ගාලා සද්දයක් ඇහුණා ගෙයි පිළිකන්නෙන්. ඒත් එක්කම මොකද්දෝ බර දෙයක් පේර ගහ උඩට වැටුණා වගේ ගහ හෙලවෙන්න පටන් ගත්තා.

තාත්තත් අම්මත් දුවගෙන ආවා පිළිකන්නට. ආතයි, අත්තම්මයි ත් දුවගෙන ආවා පිළිකන්නට. දැක්ක දෙයින් හැමෝම පුදුම වුණා.

" පුංචා..?" අම්මා පුදුමයෙන් කිව්වා.

අනේ, මෙන්න පුංචා ඉන්නව පේර අත්තක එල්ලිලා, ඔලුවෙන් හිටගෙන. කලිසම ඇමිණිලා ගහේ අත්තක. තාත්තගෙ සද්දෙන් කලබල වෙච්චි පුංචා ගහෙන් බිමට පනිනකොට තමයි මේ අකරතැබ්බය වෙලා තියෙන්නෙ.

ඒ විතරක් නම් මදැයි, ඔලුවෙන් හිටවිලා ඉන්න පුංචගේ සාක්කුවෙන් "දඩ බඩස් - දඩ බඩස්" ගාලා පේර ගෙඩි එක එක බිමට වැටුණා.

"හොරා අහුවුණා එහෙනම්...ඈහ්?" අම්මා කිවුවා.

“ඔයගොල්ලො කවුරුත් නොදැන උන්නට මං හිතුවා, මේ වැඩේ කරන්නෙ සතෙක් නං නෙමෙයි කියලා. ලමයෙක්ගෙ නියපොතු පාරවල් තමයි හැම ගෙඩියකම තිබුණේ.“ තාත්තා කාට කාටත් ඇහෙන්න කිවුවා.

"ඒත් ඉතිං හැම පේර ගෙඩියක්ම කොනිති ගහන්නෙ අහවල් වුවමනාවකටද?" අත්තම්මා ඇහුවා.

"ගෙ.. ගෙ.. ගෙඩිය පැහිලද කියල බලන්නයි ආතම්මෙ.." පුංචා අමාරුවෙන් ඒ ටික කියා ගත්තා.

"හා.. හා.. හා.. නියමයි! අන්තිමේදි පේර ගහම හොරාව අල්ලලා දුන්නා එහෙනම් ඈහ්..!" ආතා හැමෝටම ඇහෙන්න හයියෙන් කිවුවා.

"මදැයි දැං ඉතිං වෙච්ච හරිය..වැරැද්දට හොඳ දඬුවම කුත් ලැබිලා තියෙන්නෙ?" තාත්තා කිවුවා.

එහෙම කියලා හැමෝම බඩ අල්ලාගෙන හිනාවෙද්දි අමාරුවෙන් වුණත් ඉතිං පුංචටත් හිනා නොවී ඉන්න බැරිවුණා.

සිත්තම- රුවන්මලී

ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ඔන්න පොඩිත්තනේ අද අපි කියන්නට යන මේ අපූරු කාටූන් චිත්‍රපටය පුංචි ඔයාලා වෙනුවෙන් හැදුවේ වෝල්ට් ඩිස්නි සමාගමයි. ඒ 2002 වසරේදියි. ලිලෝ අවුරුදු පහක් වයසැති පුංචි ගෑනු ළමයෙක්. එයා ජීවත්වෙන්නෙ හවායි දූපතේ එයාගේ අක්කත් එක්ක. හදිසි අනතුරකින් දෙමාපියන් මියගියාම පුංචි ලිලෝව බලාගන්නෙ එයාගෙ අක්කා. පුංචි ලිලෝ හුඟක් ආදරෙයි සත්තුන්ට.

ඒ අතරෙ වෙනත් ලෝකයක ඉන්න සත්වයෙක් තමයි "එක්ස්පෙරිමෙන්ට් 626"කියන්නෙ. එයා ජාන තාක්ෂණයෙන් බිහිකල බුද්ධිමත්ම ඒත් නපුරු විනාශකාරි කෙනෙක්. ඉතින් දඬුවමක් විදියට එයාව ඒ ග්‍රහලෝකයෙන් වෙනත් ග්‍රහලෝකයකට පිටමං කරනවා. ඒ වෙලාවෙදි "එක්ස්පෙරිමෙන්ට් 626" ගමන් කල යානය අනතුරකට ලක් වෙනවා. ඒ නිසා "එක්ස්පෙරිමෙන්ට් 626" වැරදීමකින්-

-පෘථිවියේ හවායි දූපතට ගොඩ බහිනවා. පුංචි බලු පැටියෙකුට සමාන රූපයක් තියෙන හින්දා තවත් අත් වැරැද්දකින් "එක්ස්පෙරිමෙන්ට් 626" සුරතල් සතුන් ඇති දැඩි කරන ස්ථානයකට ගෙන යනවා.

ඔන්න ඒ වෙලාවෙදි තමයි සුරතල් බලු පැටියෙකු සොයමින් සිටින ලිලෝට "එක්ස්පෙරිමෙන්ට් 626" දකින්න ලැබෙන්නේ. ඉතින් ලිලෝ තමන්ගේ හුරතලා විදියට තෝරගන්නෙ "එක්ස්පෙරිමෙන්ට් 626". ඇය ඔහුට දෙන නම තමයි " ස්ටිච්". ඔන්න එදා ඉඳලා "ලිලෝ" සහ " ස්ටිච්" අතර ගොඩ නැගෙන අපූරු යාළුකම සහ ඔවුන්ගේ මිත්‍රත්වයේ අපූරු සිදුවීම ගැන කියැවෙන අපූරු කාටූන් චිත්‍රපටක් මේ.




විනාශකාරි බුද්ධියක් තියෙන "ස්ටිච්" අපූරු යහපත් හිතක් තියෙන කෙනෙක් බවට පත් වෙන්නෙ "පුංචි ලිලෝ" ගේ අසීමිත ආදරය නිසා. අන්තිමේදී ස්ටිච් අනුන් ගැන හිතන බොහොම යහපත් කෙනෙකු බවට පත් වෙනවා. අපූරු ගීත ගණනාව කින් රස ගැන්වී තිබෙන මේ කාටූන් චිත්‍රපටය නරඹන පුංචි ඔයාලට හොඳ හැටි හිනාවෙන්නත් අවස්ථාව ලැබෙනවා.

පුබුදු ගයාන් වර්ණකුලසූරිය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


සත්වෝද්‍යාන වල ජීවත් වන ඔරන්-උටන් ලා ඔවුන් නැරඹීමට එන ම්නිසුන් දැකීමෙන් අසීමිතව සතුටු වන බවයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ හරියටම අපි ඔරන් -උටන්ලා දැකලා සතුටු වෙනවා වාගේමලු. කූඩුවල සිටින වානර වර්ගයේ සතුන් සියල්ලෝම පාහේ ඒ අවට සැරි සරන නරඹන්නන් දැකීමෙන් මහත් ප්‍රබෝධමත් ස්වභාවයක් පෙන්වන බව පරීක්ෂයෝ සොයා ගන්නට සමත් වෙලා තියෙනවා. ඔරන්-උටන් ලාගේ චර්‍යා රටා පිළිබඳ දිර්ඝ අධ්‍යනයන්ට අනුව කියන්නෙ, ඔරන් -උටන් සතුන් නරඹන්නන් දැකීම ඔවුන්ගේ දහවල් කාලය විනෝදයෙන් ගෙවා දැමීමෙ මගක් ලෙස-

සලකන්නට පුරුදු වී ඇති බවයි. මේ පර්යේෂණය කරලා තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී ඇති සත්වෝද්‍යානයේ ජීවත් වෙන ඔරන් උටන් ලා 5 දෙනෙක් යොදාගෙන. ඔවුන් රඳවා සිටි කූඩුවෙහි ඇති කවුළුව අඩක් සම්පූර්ණයෙන් විවෘතවත් ඉතිරි අඩ වසා ඇති ලෙසත් සකසා තිබුනා.

ඔරන් -උටන්ලාට සැඟවී සිටින්නට ඕනෑ නම් වැසුණු කවුළු අර්ධ‍යෙන් ඒ සඳහා ඉඩකඩ සපයා දී තිබුණා. එසේ නමුත් මේ ඔරන් උටන් සතුන් වැඩි ප්‍රියතාවක් දැක්වුවෙ විවෘත කවුළුව ඉදිරියේ හිඳගනිමින් නරඹන්නන් දෙසා බලා සිටීමයි. එම පරීක්ෂණයෙන් මෙල්බර්න් විශ්විද්‍යාලය රැස් කල දත්තයන්ට අනුව, වැසුනු කොටසේ ගත කල කාලය මෙන් හතර ගුණයක් ඔරන් -උටන්ලා විවෘත කවුළුව ඉදිරියේ දීර්ඝ නැරඹීම් වල යෙදී සිටි බවයි.

"පෙර අධ්‍යනයන් වලට අනුව කියා තිබුණේ නම් නරඹන්නන් සංඛ්‍යාව ඉහළ යත්ම එය මෙවැනි සතුන්ට මහත් කරදකාරි තත්වයන් බවට පත් වන බවයි. ඒත්, මේ පරීක්ෂණයට අනුව, නරඹන්නන් ගේ පැමිණීම් ඔවුන්ට කරදකාරි වුණා නම් ඔවුන් ඉතාම අඩු කාලයක් විවෘත කවුලුව අසලත් වැඩි වේලාවක් එයින් ඉවත්ව ඉන්නටත් ඉඩ තිබුණා. ඒත් ඇත්තෙන්ම මෙහි දි සිදු වුණේ ඊට ප්‍රතිවිරුද්ධ සිදුවීමක්. ඔවුන්ගේ වැඩි ආකර්ෂණය වී තිබුණේ විවෘත කවුළුවයි. ඒ නිසා ඔවුන් විවෘත කවුළුව ඉදිරියේ පෙනී සිටීමින් බොහෝ වේලාවක් එහි ගත කරන්නට යොමු වී සිටියේ නරඹන්නන්ගේ දසුන ඔරන් උටන්ලාට මහත් ආකර්ෂණීය වන බව තහවුරු කරමින්. " මේ පිළිබඳ පර්යේෂණ වල නියැලී සිටි මහාචාර්ය පෝල් හෙම්ස්වර්ත් මේ පිළිබඳ පැහැදිලි කරමින් කියා සිටියා.

[ද ටෙලිග්‍රාෆ් ඇසුරිනි.]

රුවන්මලී

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


කඩුළු වැටේ - වෙරළු ගසේ
වෙරළු ඉදී - මුකුළු කරයි
දුවගෙන එමු - ගසට නැගෙමු
අතු සොලවමු - වෙරළු නෙලමු

හෙල්ලි හෙල්ලි - බිමට වැටී
වෙරළු පිරේ - ඔඩොක්කුවේ

වැඩිය කඩන - නරක ළමයි
නොවී කෝම - ඉන්නද අපි
වෙරළු විකුට - දිවි රකිනා
අම්මා පොළේ - ඉන්න කලේ

දුක නොසිතන් - වෙරළු ගසේ
අම්මා වගෙයි -නුඹත් අපේ
ඔක්කොම ගෙඩි බිමදාලා
අතු හිස් කොට සිනා සුනේ

කූඹියා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


පොඩි විමලා
හිස නමලා
කඳුළු සලා හඬන්නේ

කවි පාඩම්
පොත පාඩම්
ඇයි එහෙනම් හඬන්නේ

ගණන් පොතේ
වැරදි නැතේ
ඇයි එහෙනම් හඬන්නේ

වැට පැටලී
ගවුම ඉරී
කඳුළු පිරී හඬන්නේ

එයම මිසක්
වෙන ගවුමක්
නැති ළමයෙක් හඬන්නේ

එකතු වෙමූ
අපි සිතමූ
කාටද මෙය කියන්නේ

[අතුරු මිතුරු- ළමා කවි සංග්‍රහය- 1979]

මොනිකා රුවන් පතිරණ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 
Related Posts with Thumbnails