බිත්තරෙන් එළියට ආපු දවස්වල ඉඳලම පැඞී ගොඩක් ආසාවෙන් හිටියෙ ඉස්කෝලෙ යන්න. පැඞීයි එයාගෙ යාළුවො දෙන්නා පීප් සහ ක්‍රෝස්, එයාලට වඩා වැඩිමහළු තාරාවෝ ඉස්කෝලෙට යන විදිහ හැමදාම බලන් ඉන්නෙත් හරිම ආසාවෙන්. ඉතින් පැඞීටත් ඕනැ කොහොමහරි ඉක්මණට ලොකු වෙන්න. එයාටම කියල ඉස්කෝලෙ ගෙනියන්න මල්ලක් අයිති කරගන්න. ඒ දවස් එනකල් පැඞී බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව.

දවසක් පැඞී එයාගෙ අම්මට විස්කෝතු වගයක් හදන්න උදව් කරපු දවසෙ, පැඞීට හාදුවක් දුන්න අම්මා පැඞීට සුබ ආරංචියක් කීවා.

"පැඞී දැන් ඔයා ලොකු ළමයෙක්.. ඒක නිසා හෙට ඉඳලා ඔයා ඉස්කෝලෙ යනවා.."

ඒ වචන ඇහුණ පැඞීට ගොඩක් ආඩම්බර හිතුණා.


"එතකොට මටත් එහෙනම් ලස්සන මල්ලක් හම්බවෙනවද අම්මා? ඇත්තටම ලස්සන, ලස්සනම ලස්සන ගොඩක් ලස්සන මල්ලක්...."

"නැතුව.. ඇත්තටම ලස්සන පොත්මල්ලක් ඔයාටත් හම්බවෙනවා.." අම්මා උත්තර දුන්නා.

එදා රෑ අම්මගෙ සිනිඳු පිහාටු තුරුල්ලෙ නිදාගන්න ගිය පැඞී, ඉස්සෙල්ලාම ඉස්කෝලෙ යන දවස කොහොම වෙයිද කියලා දිගින් දිගටම හිතන්න පටන් ගත්තා. ආසාවටද බයටද මන්ද පැඞීගේ හිත ‘ඩග් ඩග්’ ගාලා ගැහෙන්න පටන් ගත්තා.

‘ගොඩක් ලොකු තාරාවෙක් වුණාම මට ඉස්කෝලෙ යන්න පුළුවන්. ’ ඉස්කෝලෙ යන දවස එනකල් නොඉවසිල්ලෙන් හිටිය පැඞීට, අම්මට තව තවත් තුරුළු වෙද්දි හිතුණා.

‘සිඟිති පිහාටු ඉස්කෝලෙ’ ට යන හැම තාර පැටියෙක්ටම අද ටිකක් කලබල දවසක්. පැඞීගේ අලුත් මල්ල අත්තටු වල එල්ලන ගමන් අම්මා කීවා.


"පැඞී.. අද ඔයා ඉස්සෙල්ලාම ඉස්කෝලෙට යන දවස.. ඒ කියන්නෙ අද ඔයා ජීවිතේ ගොඩක් ලොකු අඩියක්, ඉස්සරහට තියන්න යන්නෙ.."

ඒත් ලොකු අඩියක් තියා පොඩි අඩියක්වත් තියාගන්න බැරුව පැඞී, හිටිය තැනම ගල් ගැහුණා වගේ බිම බලාගෙන ඉන්නවා.

"බයවෙන්න කිසිම දෙයක් නෑ.. අද දවස දන්නෙම නැතුව ඉක්මණින් ගෙවිල යයි.." එගොඩට ගොඩවෙන්න වතුර උඩින් යන්න දාලා තිබුණ ගල් උඩින් යද්දි, පැඞීව හිමින් සීරුවෙ ටිකක් ඉස්සරහට තල්ලු කරන ගමන් අම්මා කීවා.

ඉස්කෝලෙට ගිය පැඞී ගහක අත්තක එයාගෙ අලුත් මල්ල එල්ලනකොට හොඳට හුරු පුරුදු දෙයක් දැක්කා.

ඒ තමයි අම්මගෙ පිහාටුවක්.. සුදු අම්මගේ සුදුම සුදු සිනිඳු පිහාටුවක්.

අම්මා එයාගෙ පිහාටුවක් හිතා මතාම පැඞීගෙ මල්ලට දැම්මෙ, අම්මා හැමදාම ඉන්නෙ පැඞී ළඟම බව පෙන්නන්න.

පිහාටුව දැක්ක පැඞීට එදා දවස ගත කරන්න ඕනෙ දිරිය ලැබුණා. තවත් තාර පැටියෙක් ඉඳගෙන හිටිය, ලොකු ඕලු කොළයක් උඩට ගිය පැඞී එතැන වාඩිවුණා.


"ලස්සන පිහාටුවක්.." පැඞීගෙ අතේ තිබුණ සුදු පිහාටුව දැක්ක ඒ තාර පැටියා පැඞීට කීවා.

එක එක වර්ගයේ පුංචි පුංචි වැඩවල යෙදිල හිටිය නිසා, පැඞී දන්නෙම නැතුව උදේ වරුව ගෙවිල ගියා.

පුංචි කුරුමිණියන්ගෙ වෙනස්කම් හොයන්න තමයි පැඞීටයි යාළුවන්ටයි ඉස්සෙල්ලාම ලැබුණෙ. ඊට පස්සෙ තිබුණෙ දළඹුවෝ ගණන් කරන්න. ගුරුතුමිය අත්තටු වලින් අත්පුඩියක් ගහල හැමෝටම දවල්ට කන්න කතා කරද්දි, කට්ටියම හිටියෙ ඕලු කොළයෙන් ඕලු කොළයක් උඩට පනින්න පුරුදු වෙමින්.


පැඞී හැමදාම දවල්ට කෑවෙ අම්මා එක්ක. ඒත් දැන් අම්මා ළඟ නැති නිසා පැඞීට ටිකක් විතර දුක හිතුණා.

කෑම එළියට ගන්න පොත්මල්ල ඇරපු පැඞී දැක්කා අම්මා, රසම රස පාන්පෙති වගේම තව විස්කෝතු හතරකුත් දාලා තියෙනවා. එකක් පැඞීට, තව එකක් පීප්ට, තවත් එකක් ක්‍රෝස්ට සහ අනෙක් විස්කෝතුව පැඞීගෙ අලුත්ම යාළුවාට.

දවල් කෑමෙන් පස්සෙ හැමෝටම තිබුණෙ ටිකක් නිදාගන්න. පැඞී ආයෙමත් මල්ල ඇතුළ බැලුවා අම්මා බැරි වෙලාවක්වත් පැඞීගේ ආසම පොරවන රෙද්ද දාලද කියලා. හොඳ වෙලාවට අම්මා ඒකත් ඇතුළට දාලා තිබුණා.


නින්දෙන් පස්සෙ හැම තාරාවෙක්ටම කරන්න තිබුණෙ තම තමන්ගෙ අම්මට හරි තාත්තට හරි මොනව හරි හදන්න.

කකුල් අඩි සලකුණු තියල ඇඳපු චිත‍්‍රයක්. එහෙමත් නැත්නම් පුංචි ඬේසි මල් වලින් හදපු මල් මාලයක්. නැත්නම් හැඩ වැඩ දාලා සරසපු කෝටුවක්.

ගෙදර යන වෙලාව ආවම පැඞී බොහොම පරිස්සමින් අම්මා වෙනුවෙන් සරසපු කෝටුව එයාගේ මල්ලෙ දාගත්තා. ඊටපස්සෙ ගල් උඩින් පැනලා ගොඩක් සන්තෝසෙන් ගෙදර දිව්වා. ගෙදරට ළං වෙනකොට පැඞී දැක්කා එයාව ආදරෙන් බදාගන්න අම්මා මග බලාගෙන ඉන්න විදිහ.

එදා රෑ නිදාගන්න ගිය පැඞී ඉස්සෙල්ලාම ඉස්කෝලෙ දවස ගතකරපු හැටි ගැන හිතුවා. පැඞීගේ හිත එතකොටත් ‘ඩග් ඩග් - ඩග් ඩග්’ ගාලා ගැහෙන්න පටන්ගත්තා. හැබැයි ඒ හෙට ආයෙත් ඉස්කෝලෙට යන්න තියෙන නොඉවසිල්ලට මිසක්, බයට නම් නෙවෙයි.

පින්තූර: ලේන් මාර්ලෝ

ඇම්බර් ස්ටුවර්ට්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


මැඩියො ඔක්කොම විනෝද වෙමින් පොකුණෙ පීනනවා. ඔක්කොම කීවට ඉතින් ඔක්කොම නම් නෙමෙයි. එකම එක මැඩියෙක් විතරක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. එයාගෙ නම කොබුස්. කොබුස් එයාගෙ යාළුවන්ට වඩා ගොඩක් වෙනස්. විනෝද වෙන්න පුළුවන් උපරිමයෙන් විනෝද වෙමින් යාළු මැඩියො සෙල්ලම් කරත්, කොබුස් කිසිම ගාණක් නෑ වගේ පැත්තකට වෙලා ඉන්නවා.

"කොබුස් ඔයත් එන්න.. ඇවිත් වතුරට පනින්න.... මේ වතුර හරිම සනීපයි.."

යාළුවෝ කොච්චර අඬගැහුවත් කොබුස් ඇහුණෙ නෑ වගේ ඉන්නවා.

‘ඔයාලට ඕනෙ නම් ඔයාලා පීනගන්න.. මට පීනන්න ඕනෙ නෑ. ’ කොබුස් තනියම හිතනවා.

"හරි ඉතින් ඔයාට එපා නම් අපිට මොකෝ.. කිසිම කතාවක් නැති කොබුස්ව රිස්සුවේ නැති යාළුවෙක් දෙන්නෙක් එහෙම කියාගෙන පීනගෙන අහකට යනවා."

කොබුස් ඒත් සද්දයක් බද්දයක් නැතුව තණකොළ බිස්සට වෙලා බලාගත්ත අත බලාගෙන ඉන්නවා.


"බයගුල්ලා බයගුල්ලා
කොබුස් කොබුස් බයගුල්ලා"

එතකොට යාළුවො කොබුස්ට කෑගගහා විහිළු කරනවා.

‘මම බය නෑ.. ’ කොබුස්ට එහෙම කියන්න ඕනෑ වුණත් යාළුවෝ ඒ වෙනකොටත් ගොඩක් දුර පීනලා. ‘මම කිසිම දේකට බය නෑ.. වතුරට විතරයි ටිකක් බය.. ’ එහෙම හිතන කොබුස් ඊළඟට බලාගෙන් ඉන්නෙ වතුර දිහාව.

කොබුස් දන්නවා එයා එයාගේ යාළු මැඩියන් වගේ නෙමෙයි කියලා. යාළුවෝ ආසයි හැමතිස්සෙම පීනන්න. ඒත් කොබුස් ඒ අයට වඩා අරුම පුදුම මැඩියෙක්. කොබුස් ඩිංගිත්තක්වත් කැමති නෑ පීනන්න.

පොකුණෙ වතුර හරිම අපිරිසිදුයි. ඒ විතරක් නෙමෙයි මඩ වලින් පිරිලා. මැරුණ ගස්වල ගඳත් හරි හරියට හමනවා. මඩ වතුර හරිම සීතලත් එක්ක. ඉතින් කොබුස්ට පීනන්න ටිකක්වත් හිතෙන්නෙ නෑ. කොටින්ම වතුර පෙන්නන්න බෑ.

අනෙක් මැඩියන් විහිළු තහළු කරමින් අනවශ්‍ය සෙල්ලම් කරනවා. එක මැඩියෙක්ගෙ ඔළුව තව දෙතුන් දෙනෙක් එකතුවෙලා වතුරෙ ඔබනවා. ඒ ඔබන ගමන් තව මැඩියෙක්, ඔළුව එබිල තියෙන මැඩියගෙ කකුල් වලින් අල්ලන් ඉන්නවා. එහෙමත් නැත්නම් කරට උඩින් පනිනවා. ඒක නිසා දියබුං සෙල්ලම් කරමින් පීනන්න කොබුස් කැමති නෑ. කොටින්ම පීනනවා කියන වචනෙ අහන්නවත් කොබුස් කැමති නෑ. වතුරෙ නොගිලී ඉන්න කකුල් හොලවනව ඇරෙන්න පීනනව කියන වචනෙට නම් කොබුස්ව ළං කරන්නත් බෑ.

පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න තමයි කොබුස් ගොඩක්ම කැමති. ඒ ඉන්න ගමන් මැස්සෙක් දෙන්නෙක් අල්ලගෙන කන්නත් කොබුස් අමතක කරන්නෙ නෑ හැබැයි.


ඔන්න එකපාරටම වහින්න පටන්ගත්තා. හැංඟෙන්න පුළුවන් කොළයක් හොයන්න කොබුස් ඉක්මණට වටපිට බලනවා. තෙමෙන්න තියෙන අකමැත්ත නිසා, වැහි වතුරටත් කොබුස් ඒ හැටි කැමැත්තක් නෑ.

’ටික් ටික්’

වැහි බිංඳු කොබුස්ගෙ කොළ කුඩයට වැටෙනවා.

"සනීපයි නේද වැස්ස.. ?"

කටහඬ කාගෙද බලන්න කුතුහලයෙන් උඩ බැලුව කොබුස්ගෙ ඇහැ උඩට ලොකුම ලොකු වතුර බිංඳුවක් වැටුණා.

පිහාටු ගස ගසා අත්තක් උඩ හිටියෙ වයසක වැහිලිහිණියෙක්. වැහිලිහිණියා කොබුස්ට ඇහැක් ගැහුවා.

"මම ඇත්ත කියන්නෙ ළමයා.. මෙහෙම වැස්සෙ ඉන්න මේ ළමයා වාසනා කරල තියෙනවා.."

කොබුස්ට ඒ වචන රිස්සුවේ නෑ. කොබුස් වැහිලිහිණියා දිහා බැලුවෙ, ‘ඔහේ මාව විහිළුවට ගත්තදැයි.. ’ අහන්න වගේ.

හැම හේමන්තයකදීම වැහිලිහිණියා අනෙක් වැහිලිහිණියන් සමග දිගම දිග නිවාඩුවකට දකුණට පියාසර කරනවා. සීත සිසිරයත් එහෙම ගත කරන වැහිලිහිණියා වසන්ත කාලයේදි ආපහු එනවා.

"ආයෙමත් මෙහාට ආවට මට සතුටුයි. කොච්චර දුර පියාඹගෙනත් එන්න කියලද...." එහෙම කීව වැහිලිහිණියා මූණට වතුර වැටෙන්න, මූණ අහස දිහාට දික් කරා. "හරිම සනීපයි මේ වතුර.... හරිම සනීපයි"

"මම නම් වතුරට බයයි.." කොබුස් කීවා.

"වතුරට බය වෙන්න කොහෙත්ම ඕනෙ නෑ.." වැහිලිහිණියා උත්තර දුන්නා. "අනික ඔයා ගෙම්බෙක් නේද? නැත්නම් මට වැරදිලා ද...."

"ගෙම්බෙක් නම් තමයි ඉතින්.." කොබුස්, වචනයෙන් වචනය ඇද ඇද උත්තර දුන්නා. කොබුස්ට හිතා ගන්න බෑ ඇයි වැහිලිහිණියා මේ තරම් වතුරට කැමති කියලා.


"අපේ රටේ ඉර පායනව පායනව පායනව ඉවරයක්ම නෑ.." වැහිලිහිණියා දිග කතාවකට මුල පිරුවා. "හැමතිස්සෙම පායන ඉරක් එක්ක ජීවත් වෙන එක එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයි.. කියල නිම කරන්න බැරි තරම් රස්නෙයි එතකොට. ඊටත් හැම තැනම රස්නෙට වේලිලා.. එහෙමත් වෙලාවකට තමයි අපට හෙවණක් ලැබෙන්නෙ.. ආසාවටවත් කොහෙවත් කොළ පාටක් පේන්න නෑ.. සමහරක් වෙලාවට වතුර ඇබිත්තක් හොයන්න මුළු දවසම මට පියාඹන්න වෙනවා.. ඒ ගැන හිතනකොටත් මට නම් කලන්තෙට වගේ.... දැක්ක නේද වෙනස.. ?"

වැහිලිහිණියාගේ වචන කොබුස්ට චිත‍්‍රයක් වගේ මැවෙන්න පටන් ගත්තා. හැමතැනම වේලිච්ච වැලි. ගස්කොළන් තියා එක කොළයක් පේනතෙක් මානයක නෑ. වතුර බිංඳුවක් නෑ. රස්නෙ, ඉවසන්න බැරිතරමට රස්නෙ. කොබුස්ටත් රස්නෙ දැනෙන්න පටන්ගත්තා.

"ඒ රටේ කී දෙනෙක් හැමදේම තියෙන මේ ගෙඹිලන්තයේ, නවතින්න එන්න ආසාවෙන් ඉන්නවද කියල ඔයා දන්නවද.. ?" වැහිලිහිණියා කොබුස්ගෙන් ඇහුවා.

"ඔච්චරටම රස්නෙ නම් ඉතින්, එහෙම හිතෙන එක අහන්නත් දෙයක්ද...." කොබුස් උත්තර දුන්නා.

වැස්ස නතර වුණා. වළාකුළු අස්සෙ හැංඟිලා හිටිය ඉර ආයෙත් එළියට ආවා. වැහිලිහිණියාගේ කතාව ඇහුව වෙලේ කොබුස්ට දැණුන රස්නෙ තවමත් එහෙම්මමයි. ඒ හන්ද කොබුස් ඇඟේ වතුර ගෑවෙන්නෙ නැති විදිහට පොකුණට නැමිලා වතුර බොන්න පටන් ගත්තා. වැහිලිහිණියාගේ කතාව ඇහුව වෙලේ ඉඳන්, කොබුස්ට වතුරට තිබ්බ බය නම් දැන් ටිකක් විතර මග ඇරිලා. කොබුස්ට පොකුණට බැහැල හොඳට පීනන්න හිතයි. ඒත් තවම බය චුට්ටත් විතර ඉතුරු වෙලා තියෙන නිසා, හිත අදි මදි කරනව.

කොබුස් තව එක අඩියක් පොකුණට ළං වුණා.


"අන්න හරි.. අන්න හරි.... බලන්න තියෙන වතුර ගොඩ.. වතුරට බැහැල හිතේ හැටියට දියබුං සෙල්ලම් කරන්න.." කීව වැහිලිහිණියා, කොබුස් හිතුවෙවත් නැති වෙලාවක කොබුස්ව පොකුණට තල්ලු කළා.

සමබරතාව ගිලිහුණ කොබුස් තණකොළගොල්ලෙන් ලිස්සලා ගිහින් පොකුණට වැටුණා. පුංචි පුංචි ජලජ පැලෑටි ගොඩක් තිබුණ බොර වතුරෙ ගිලෙන්නෙ නැතුව ඉන්න කොබුස්, එයා දන්න සියලුම සටන් ක‍්‍රම දැම්මා. ඒත් කොබුස්ගෙ ඔළුව වතුර උඩට මතුවෙනවා. ආයෙත් යට යනවා. ආයෙත් උඩට එනවා. ආයෙත් යට යනවා. කොබුස් බොහොම අමාරුවෙන් වතුරට පාත්වෙලා තිබුණ පන්ගසක අත්තක් අල්ල ගත්තා. උගුරෙ හිරවෙලා තිබුණ වතුර බොහොම අමාරුවෙන් පිට කරල කහින්න පටන්ගත්තා.

වැහිලිහිණියා පැත්තක ඉඳල කොබුස්ව නරඹනවා. "මට ඔයා ගැන ඊරිසියයි ළමයො.. ඔයාට වගේම මටත් පීනන්න පුළුවන් වුණා නම් කියල හිතෙනවා.. ඒත් ඉතින් මම තාරාවෙක්යැ.."


පන්ගසේ අත්ත අල්ලන් ඉන්න ගමන්ම, කොබුස් පිටිපස්සෙ කකුල් හොලව හොලව තාමත් දිය යටට යන්නෙ නැතිව ඉන්න උත්සහ කරනවා. හැබැයි අත්ත අත ඇරියත් දැන්නම් කොබුස්ට ටිකක් විතර වතුරෙ නොගිලී ඉන්න පුළුවන්.. පිටිපස්සෙ කකුල් වගේම ඉස්සරහ කකුල් දෙකත් හොලවන්න ගත්තම කොබුස්ට පුළුවන් ටික ටික ඉස්සරහට පීනන්නත්.

"කොහොමද වතුර.. ?" හිමින් සීරුවෙ ඉස්සරහට පීනන කොබුස්ගෙන් වැහිලිහිණියා ඇහුවා.

"හරිම සනීපයි.." පීනන ගමන්ම කොබුස් උත්තර දුන්නා.

"මං හිතුව.. මං හිතුව.." කොබුස් වතුරෙ විනෝද වෙන හැටි ආසාවෙන් නරඹමින් වැහිලිහිණිය උත්තර දුන්නා.

[පින්තූර: Mario Boon]

පීතර් ෆන් අවුද්හඋස්දන්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


බැලුම ඉහළ නැංග සැටිත්, මහ පොළොවෙන් ඒක කොයිතරම් ඉහළ නැංගාද යන්න ගැනත් අපේ නිර්භය මගීන්ට දැනුණේ වත් නැහැ. විනාඩියකට පසුව ඒ ගොල්ල බැලුමට සවිකරලා තියෙන කූඩුවේ සිට බිම බලන විට, මිතුරන් අත් වනමින්, තොප්පි උඩ වීසි කරන සැටි ඔවුනට පෙනුණා. බිම හිටිය කුරුමිට්ටෝ ඔවුනට ජය පතා කෑ ගැසුවා.

"නැවත හමුවන තුරු ආයූබෝවන්!" දක්සපාල සහ ඔහුගේ මිතුරන් බිම හිටිය අයට කිව්වා.

ගුවනට නැගපු කට්ටිය බැලුම් කූඩුවේ ඉඳගෙන තොප්පි වනලා සුබ පැතුවා. අමතක පැංචා හිසට අත තිබ්බේ එයාගේ තොප්පිය අරගෙන වනා සුබ පතන්නට. හිසේ තොප්පිය නැති බව අමතක පැංචාට මතක් වුණේ ඒ වෙලාවේදී.

"සෝයුරනි! බැලුම නවත්වාපල්ලා!" අමතකයා කෑ ගැහුවා. " මට අමතක වෙලා තොප්පිය ගෙදර තියලා ඇවිත්."

"ඔයා හැමදාම මොකක් හරි අමතක කරනවා!" දොඩවන්නා කියාපි.

"දැන් ඉතින් බැලුම නවත්වන්න බැහැ. හුළං නිවෙන තුරු බැලුම ඉහළ නගිනවා. ඊට පස්සෙ තමයි බිමට පාත් වෙන්නේ" දක්සපාල විස්තර කළා.

"හරි වැඩක් නෙව, තොප්පිය නැතුව මට ගුවනේ ගමන් කරන්ට කියනවද?" අමතක පැංචා ඇහුවේ හිතේ අමාරුවෙන්.

"ඔයාගේ තොප්පිය ඔයා ඇඳ යට තිබිලා හොයා ගත්තා නේද?" බොත්තම් පුංචා ප්‍රශ්න කළා.

"හොයා ගත්ත එක ඇත්ත තමයි. මට ඒ තොප්පිය දැම්මාම ඔළුවේ රශ්නයක් ඇති වුන හන්දා මම ඒක මේසය උඩ තිබ්බා. අන්තිම මොහොතේදී අමතක වුණා."

"ඔයා හැමදාම අන්තිම මොහොතේ දී මොනවා හරි අමතක කරනවා" දොඩවන්නා කිවුවා.


"සෝයුරනි, බිම බලාපල්ලා! අපි අපේ ගේ පොඩිත්ත බිම තියලා ඉගිලෙනවා!" එහෙම කියුවේ වැඩ බැරි දාස.

හැමදෙනාම හිනා වුනා. දොඩවන්නා දිගටම දොඩවන්නට වුණා.

"ඔයා කල්පනා කලේ අපේ ගෙයත් අපිත් එක්ක පියාඹයි කියලද?"

"මම එහෙම කල්පනා කලේ නැහැ!" වැඩ බැරි දාස කතා කළේ අමනාපයෙන්." මට පෙනුනා අපේ ගේ බිම තියෙන හැටි. ඉතින් මම ඒ ගැන කිව්වා. අපි හැමදාම ගෙදර ජීවත් වුණා. දැන් පියාසර කරනවා."

"ඔව්. අපි පියාසර කරනවා. කොහාට හරි යනවා!" දොඩවන්නා දෙඩෙව්වා.

"ඔයා දොඩවන්නා නිසා හැමදාම දොඩවනවා. ගුවනට නැගලත් දෙඩවීම නවත්වන්නේ නැහැ."

"ඔයා මගේ දෙඩවීමට අකමැති නම් යන අහක යන්න!"

"මම කොහේ යන්නද?"

"ඔය කතා නවත්වපල්ලා! ගුවනේ පාවෙද්දිත් නුඹලා කරන විවාද වල තේරුම මොකක්ද?"

ගුවන් බැලුම තවත් ඉහළ නැංගා. කුසුම් පුර අත්ලේ තියෙන පුංචි නගරයක් වගේ පෙනුණා. ගෙවල් බොහොම පුංචියි. නගරයේ ඉන්න කුරුමිට්ටන්ව හඳුනා ගන්නවත් බෑ. හුළං පාරට බැලුම ගහගෙන ගියා. දැන් නගරය ඈතින් පෙනුණා.

දක්ස පාල සාක්කුවෙන් මාලිමා යන්ත්‍රයක් අරගෙන බැලුවා. ඒකේ කටුව උතුර දිසාව පෙන්වනවා. මේ දිසා දර්ශක යන්ත්‍රයෙන් ආපහු යන මග හොයාගන්ට පුළුවනි. ඒ නිසා තමයි දක්ස පාල මේ යන්තර ගෙන ගියේ.

"හුළං පාර හමන්නේ උතුරු දිසාවට. අපට ආපහු එන කොට දකුණු දිසාවට එන්නට ඕන." දක්ස පාල විස්තර කළා.

දැන් ගුවන් බැලුම බොහොම ඉහළට නැංගා. නගර පවා ඇහැට පෙනෙන්නේ නෑ. කුඹුරු මැදින් ගලා බසින් කැකිරි ගංගාව පුංචි දිය පාරක් වගේ පේනවා. වතු වල තියෙන ගස් පෙනුනේ ගිනි කූරු වගෙයි.

හිටි හැටියේම බොත්තම් පුංචා දැක්කා පුංචි කළු ලපයක්. ඒ ලපය ගුවන් බැලුම පසු පසින් දුවනවා වගේ ඉක්මණින් එන්නට පටන් ගත්තා.

"සෝයුරනි! අර බලාපල්ලා අපේ පසුපසින් දුවගෙන එන්නේ මොකක්ද?" බොත්තම් පුංචා කෑ ගසා ඇසුවා.

හැමදෙනාම කළු ලපය දෙස බලන්නට වුනා.

"බලන්න, ගඟට ඉහළින් පා වෙනවා!" අමතක පැංචා කෑ ගැසුවා.

"අන්න, අර ලපය මොකක්ද? බලාපල්ලා ගස් වලටත් උඩින් පැනගෙන එන හැටි!" කඩිනම් රාළ කිව්වා.

ගුවන් බැලුම කැලෑවට උඩින් පියාසර කරනවා. කලු ලපය ගස් මුදු වලට ඉහළින් එනවා. පුංචි දොස්තර කණ්ණාඩි කුට්ටම ඇහේ ලාගෙන ලපය දිහා බැලුවා. ඒත් එයාට ලපය හඳුනා ගන්ට බැරි වුණා.

"මම දන්නවා!" කියලා වැඩ බැරි දාස එකපාරටම කෑ ගැසුවා. "නුඹලාට ඉස්සෙල්ලා මම තේරුම් ගත්තා! ඒ තමයි අපේ බුල්කා බලු පැටියා. අපට ඒ පැටියා ගෙනෙන්නට අමතක වුණා නෙව. ඉතින් දැන් ඔය බුල්කා අපේ පසුපසින් දුවලා එනවා ඇති."

"ඔයා කියන්නේ මොනවාද? බලු පැටියාව මම ගෙනාවා. ඌ අපේ බංකුව යට ඉන්නවා." දඩයම් සේන කිවුවා.

"ඔය ලපය මොකක්ද? සමහරවිට අපේ දක්සපාල ඒක දන්නවා ඇති නේද?" අනේ - අපොයි ඇහුවා.

දක්ස පාල මාලිමා යන්ත්‍රය සාක්කුවේ දමා ගෙන බිම බැලුවා.

"ඒ ලපය තමයි අපේ හෙවණැල්ල!" ඔහු සිනා සුණා.

"ඇත්තටම ඒ අපේ හෙවණැල්ලද?" වැඩ බැරිදාස පුදුම වුණා. "විස්තර කරන්න."

"බොහොම ලෙහෙසියි. ඔය ලපය අපේ ගුවන් බැලුමේ හෙවනැල්ල. අපි හුළං පාරට ඉගිලෙනවා. ඉතින් අපේ හෙවනැල්ලත් අපේ පස්සෙන් එනවා." දක්සපාල කියුවා.

ගුවනේ පාවෙන කුරුමිට්ටෝ බොහෝ වෙලාවක් යනතුරු ලපය දිහා බලාගෙන හිටියා. ලපය කුඩා වීමට පටන්ගෙන අවසානයේදී එය අතුරුදහන් වුණා.

"හෙවණැල්ල කොහේ ගියාද?" හැමදෙනාම කලබල වුණා.

"අපි බොහොම ඉහළට නැංග නිසා අපට හෙවණැල්ල පෙනෙන්නේ නැහැ." දක්ස පාල විස්තර කළා.

"හරිම වැඩක් තමයි! අපි මෙතැන ඉන්නවා. අපේ හෙවනැල්ලවත් අපට පෙනෙන්නේ නැහැ." දොඩවන්නා දොඩවන්නට වුණා.

"ඔන්න ඔයා ආයෙමත් දොඩවන්න පටන් ගත්තා. ඔයාගෙන් ගෙන් අපට සැනසිල්ලක් නැහැ නෙව." එහෙම කියුවේ වැඩ බැරි දාස.

"සැනසිල්ල, සැනසිල්ල!" දොඩවන්නා විහිළු කළා.

"ගුවන් බැලුමකින් ගුවනේ පාවෙද්දී, මොන සැනසීමක්ද? සැනසීමෙන් ඉන්නට නම් ගෙදරට වෙලා ඉන්න!"

"ඔයා යන්න ගෙදර!"

"මට සැනසීමක් ඕන නැහැ!"

"ආයෙමත් වාද කරනවද? නුඹලා බස්සවන්න මට සිද්ද වෙනවා." දක්සපාල අවවාද කළා.

දොඩවන්නා සහ වැඩ බැරිදාස බයවෙලා වාද කිරීම නැවැත්වුවා.

මේ වෙනකොට ගුවන් බැලුම දුමාරයකට නැතිනම් මීදුමකට අහුවුණා. බිම බැලුවාම මහ පොළොව පෙනෙන්නේ නෑ. බිම සුදු පාටට පේනවා.

"මේ මොනවාද? මේ දුම ආවේ කොහේ ඉඳලාද?" හැමෝම කෑ ගැසුවා.

"මේ දුම නොවෙයි වළාකුළු. අපි දැන් වළාකුළු ඇතුළට වැදිලා. වලාකුළක් එක්ක පියාඹනවා." දක්සපාල කරුණු විස්තර කළා.

"ඔයා ඒ කතාව කියන්නේ හිතින් ගොතලා. වළාකුළු හරියට කැඳ වගේ දියාරුව තියෙන්නට ඕන. මේක මීදුමක්." වැඩ බැරිදාස එයාගේ අදහසට විරුද්ධ වෙලා කියුවා.

"වලාකුල හැදිලා තියෙන්නේ මොනවා වලින්ද?" දක්ස පාල ප්‍රශ්න කළා.

"වලාකුළු හැදෙන්නේ මීදුමෙන්. මහ පොළවේ ඉඳලා බලනකොට අපට වලාකුළු ඝනව පේනවා."

එම විස්තරය විශ්වාස නොකළ වැඩ බැරි දාස මෙහෙම කියාපි:

"සෝවුරනි! එයාගේ කතාව අහන්න එපා! එයා හිතින් හිතලා, ගොතලා කියනවා. එයා බොහෝ දේ දන්නවා කියලා අපට පෙන්වන්න හදනවා. නමුත් එයා කිසිම දෙයක් දන්නේ නෑ. වලකුළු හැදෙන්නේ මීදුමෙන් කිව්වාට මට විශ්වාස කරන්නේ නැහැ! වලාකුළු හැදෙන්නේ කැඳ වලින්. හරියට මම කැඳ බීලා නැතුවා වගෙයි!"

ඉක්මනින්ම බැලුම තවත් ඉහළ නැංගා. දැන් එය පාවෙන්නේ වලාකුළු වලටත් උඩින්.

වැඩ බැරි දාස කූඩයේ ඉඳලා බිම බැළුවා. ඔහුට පෙනුණේ මහ පොළොව වසා සිටින වලාකුළු විතරයි.

"අනේ අම්මේ! ආකාසේ බිම! අපි පියාඹන්නේ දෙපා උඩ දමගෙන. හිස බිමට හරවා ගෙන!"

"දෙපා උඩ දමාගෙන වෙන්නේ කොහොමද?" අනික් අය විමතියට පත් වුනා.

"ඔන්න බලාපල්ලා. අපේ දෙපාවලට ආකාසේ වලාකුළු ගෑවෙනවා. ඉතින් අපි පියාඹන්නේ ඔළු බිම දමාගෙන."

"අපි දැන් වලාකුලුවලට උඩින් යනවා. අපේ ගුවන් බැලුම බොහොම උඩට නැගලා තියෙනවා. ඒ නිසා වලාකුළු අපට යටින් දැන් පාවෙන්නේ." දක්සපාල විස්තර කළා.

නමුත් වැඩ බැරියා එය විශ්වාස කළේ නෑ. ඔහු බංකුව උඩ වාඩි වෙලා දෑතින්ම තොප්පිය අල්ලාගෙන හිටියා. එයා දෙපා උඩ දමාගෙන, ඔළුව බිමට හරවාගෙන හිටිනවා කියලා විශ්වාස කල හන්දා තොප්පිය එහෙම දෑතින් අල්ලාගෙන සිටියා. සුළං පහරක් විසින් ගුවනේ බැලුම ඇදගෙන ගියා. ඉක්මණින්ම බැලුම පාත්වෙන්ට පටන් ගත් සැටි ඔවුන්ට පෙනුණා.

"අපි පහළට පාවෙන්නේ මොකද?" කූඩුවේ වාඩිවෙලා හිටිය ළමයි ඇසුවා.

"බැලුමේ තියෙන හුළං නිවිලා." දක්සපාල විස්තර කළා.

" දැන් ඉතින් අපි බිමට පාත්වෙනවා නේද?" කඩිනම් රාළ ඇසුවා.

"අපි වැලි මිටි කූඩයට දාගත්තේ මොකටද?" දක්සපාල ප්‍රශ්න කලා.

"අපි පහළට යනකොට වැලි ගෝනි හිස් කරන්න ඕනෑ."

අනේ- අපොයි වැලි මිටියක් අරගෙන එක පාරටම බිමට වීසි කළා.


"ඔයා මොනවා කළාද?" දක්ස පාල කෑ ගැසුවා. " එකපාරටම වැලි ගෝනි වීසි කරන්න එපා. කාගෙවත් ඔළුවකට වැදුනොත්."

"සමහරවිට නොවැදෙන්න පුළුවනි." අනේ- අපොයි කියුවා.

"සමහර විට්ටයා - හැබෑ මොට්ටයා!" දක්සපාල එයාට පොඩි විහිළුවක් කළා. " ගෝනියෙන් වැලි බිමට වීසි කරන්න ඕනෑ."

"එහෙනම් මම වැලි ඉහින්නම්." නො බය දාස කිව්වා.

එයා වැලි මිටියක් ලිහලා වැලි කූඩය ඇතුලට දැම්මා.

" අපොයි නුඹලා හැබෑ නුවණක්කාරයෝ!" දක්ස පාල එහෙම කියලා හිස වැනුවා. "වැලි ගෝනියේ තිබුණත්, කූඩයේ තිබුණත් වෙනසක් නෑ නෙව ද?" ඒ නිසා බැලුමේ බර අඩුවෙන්නේ නෑ."

"බයවෙන්න එපා. මම වැලි ටික බිමට වීසි කරන්නම්." නොබය දාස වැලි මිටක් බැගින් අතින් අරගෙන බිමට වීසි කළා.

"පරෙස්සමින්!" අන්ද- මන්ද කෑ ගැසුවා. ඔයා මගේ ඇස් දෙකට වැලි දමාවි.

"බයවෙන්න එපා. මම ඇස්වලට වැලි ගහන්නේ නැහැ." එහෙම කියන ගමන්ම ඔහු ගේ ඇස් වලට වැලි දැම්මා.

හැමදෙනාම නොබය දාසට බැන්නා. අනේ- අපොයි පිහියක් අරගෙන කූඩයේ අඩිය හිල් කරලා ලොකු සිදුරක් ඇති කළා. එහෙම කළේ වැලි බිමට ඉහිරවන්නට. දක්ස පාල මේක දැකලා කෑ ගැහැවුවා.

"නැවතියන්! නුඹ මොනවා කරනවාද? නුඹ හන්දා අපේ කූඩය කැඩිලා අප බිමට වැටේවි."

"සමහර විට නොවැටෙන්නට පුළුවනි" එහෙම කිවුවේ අනේ - අපොයි.

"නුඹලා දෙන්නම නිතරම කියන්නේ වචන දෙකක් විතරයි. "සමහර විට", "බයවෙන්න එපා" කියලා විතරයි!" දක්සපාල එහෙම කියලා පිහිය උදුරා ගත්තා.

කූඩයේ තිබුණු වැලි බිමට වීසි කළා. බර අඩු වුණාම බැලුම ආයෙමත් ඉහළ නැංගා. ළමයින් බොහොම සන්තෝස වෙලා වට පිට බලන්නට වුණා. ගුවන් බැලුම උඩ යන හන්දා සියල්ලෝම සතුටු වුණා. දොඩවන්නා විතරක් දොඩවන්න පටන් ගත්තා.

"මොකක්ද මේකේ තේරුම! වරක් ඉහළ යනවා! තව වරක් පහළ බහිනවා! ඔහොමත් ඉගිලෙනවාද?"


තවත් මොනවා කියන්න ඕනද කියා නොදැන ඔහු බොත්තම් පුංචා දිහා බැලුවා. ඒ වෙලාවේ දී බොත්තම් පුංචා සීනි කැටයක් හපමින් හිටියා.

"ඔයා හපන්නේ මොනවාද?"

"මගේ සාක්කුවේ සීනි කැටයක් තිබුණා. ඉතින් මම ඒක අරගෙන හපන්නට පටන් ගත්තා."

"හරි වේලාවට නොවැ හපන්නේ. බිම බැහැලා, පසුව හපන්න බැරියැ."

"මම මොකටද අමතර බරක් ගෙනියන්නේ? මම සීනි කැටය කෑවාම බර අඩුවෙනවා. එතකොට බැළුම තවත් උඩට නගීවි."

"හපන්න! ඔය හැපිල්ල නිසා මොනවා වෙනවද කියලා බලන්න බැරියැ." දොඩවන්නා ආයෙත් මුණු- මුණු ගෑවා.

නිකොලායි නෝසව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 
Related Posts with Thumbnails