අඳුරු සළු ඉරා සඳ රැස් දහර තුරු අගින්
සිදුරු ඇති තැන් වලින් පෙරෙනවා හෙමි හෙමින්
පඳුරු මත වැටී ඒ, රිදී සුණු ගෑ ලෙසින්
සොඳුරු බව රැයෙහි ඇති මතු කරයි හැම අතින්

අහස් ගැබ පුරාවට නිවි නිවී දැල් වෙමින්
දහස් දස ගණන් තරු පොකුරු ඇත එල්ලෙමින්
දෙඇස් පිය වසනු මැන සවන් යොමු කරවමින්
රහස් ඇත අසන්නට රාත්‍රිය කොඳුරමින්

වක් පනාවක් වගෙයි සඳ අහසෙ හිනැහෙනා
එක් වරම කළු වලා කැටි තුරුල්ලට වුනා
වැක්කෙරෙන සඳ රැසින් නිහඬ ලොව නහවනා
එක් සොඳුරු රැයක් එළි කරයි හිරු නැග එනා

නුවන් මන බඳින සඳ කැළුම් විහිදන අමා
වසන් වෙයි වළා සළු රන් දියෙන් තෙම තෙමා
පවන් රැළි ඇදී යයි තුරු අගිසි පිස දමා
පහන් හිරු මොහොතකින් නැගෙයි රැය කර නිමා

(දිලංකා මෙලනි කුරේරා බප/කැල/ විහාර මහා දේවී බාලිකා විදුහලේ සිසුවියකි.)

දිලංකා මෙලනි කුරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ගෙවැටෙහි අද්දර රෝස කැකුළකට
ලංවී හෙමිහිට කිව්වෙමි රහසක්
"නොකියනු කාටත්!"
ඈට මිමිණුවෙමි

ඈ වෙත පැමිණි - පොඩි මී මැස්සි
රහස දන්නවලු
මේ මල් කුමරි රහස් රකින හැටි!
මට හොඳ පාඩම්!

හනිකට ගැස්සී පොඩි මී මැස්සි
රූං කියාගෙන ඉහළට ඉස්සී
අඹ ගහ මුදුනේ රහස කියනවලු

සද්දෙන් සර සර - සොලවා කොළ හැම
ළඟින් ඇදෙන සිහිලැල් මඳ හුළඟට
අඹ ගහ හෙමිහිට රහස මිමිණුවලු

මඳ සුළඟට පැන - සමණල පැංචිත්
"ඇත්තම ඇත්තද?!" කියලා ඇහුවලු
රහස දැනං උන් සපත්තු මල් හැම
රේණු සල සලා - ඔච්චම් කළාලු

"ඩිංගක් එන්නකො - මේ අහගන්නකො"
සතුටින් පැන ආ පැණි කිරිල්ලිටත්
සපත්තු මල් හැම රහස මිමිණුවෙලු

සතූටින් උඩ පැන - කිචි බිචි ගා ඈ
හිරු රැස් අමතා සද්දෙන් කිව්වෙලු

අනේ බලන්නකො - හරිම දුකයි මට
කාටත් රහසක් රැක ගනු බැරි හැටි
හෙමිහිට රහසක් කිව්ව නිසා මං
ගෙවැටෙහි අද්දර රෝස කැකුළකට.

["කැරිබියන් සුළඟ" කවි පොතෙන්]
ඇන්ඳේ- රුවන්මලී

ඩොරති වයිට්ෆීල්ඩ්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


කෝ මගෙ දරුවෝ අනේ
කෝ මගෙ කූඩුව අනේ
නෑ පෙනෙනට මේ තැනේ
කාට කියමි මේ වැසනේ

කොල්ලනි මගේ දරුවනුත්
අල්ලාගෙන නොකැර මෙත්
සොල්ලා හැර කූඩුවක්
දැල්ලුවෙ කිම දුක මහත්

තොප නැති වුණ හොත් තොපේ
මව හඬමින් බිම හැපේ
ඇයි නැති කෙළෙ මගෙ සැපේ
සිත මගෙ තිබු වැනි ලිපේ

මින් මතු සොඳ ළමයිනේ
වන්මට මේ දුක දැනේ
ඉන්නට අපටත් වනේ
පින් ඇති ඇරියොත් අනේ

[කුමරතුඟු කවි ගී]

කුමාරතුංග මුනිදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails