සෙව්වන්දිගෙ වැහි බිංදුව

සරත් කාලෙ දවසක
ඒ කියන‍්නෙ මල් පිපෙන කාලෙ අග
සීත කලාපෙ රටවල ගස්වල කොළ
කහ පාට වෙලා රතු පාට වෙලා
නටු වලින් ගිලිහිලා
සුළං රැළි වල දැවටිලා
තාලෙට නට නටා
පුංචි ළමයි වාගෙ
උඩ පැන පැන
පාවෙලා යන කාලෙ

හෙමීට හෙමීට
කම්මැලිකමේ ගාට ගාට ආපු
මහ විසාල වලාකුලක
අග හරියෙ කෙළවරේ
දියවෙච්ච පුළුන් රොදක් වගේ
විසිරිච්ච ඇඟිල්ලක එල්ලිලා
පුංචිම පුංචි වැහි බින්දුවක්
‍‍ඔංචිලි පැද පැද හිටිය...

වලාකුල චුට්ටෙන් චුට්ට
අහස හරහට යද්දි
ඈත ඉරේ ඉඳල
අකමැත්තෙන් වගෙ ගැලවිල ආපු
සුදුම සුදු‍
ලොකුත් නැති
පොඩිත් නැති
ඒත් මහා කඩිනමකින්
දුවගෙන ආපු
එළිය රළක්...
වැහි බින්දුවෙ හැප්පුනා...

දන්නවද වෙච්ච දේ...
දන්නවද...?

ඒ සුදුම සුදු
එළිය රළ බෙදුනා
පාට පාට වලට...!
පාට හතකට...
චුට්ටං දේ දුන්නකට ...!
කහ පාට, කොළ පාට,
නිල් පාට, නිල් දම් පාට, දම් පාට
පාට හතකට....!

ආකාසෙ පුරාම විහිදිලා
මහ විසාල පාට පාට පාලමක් වගේ
එල්ලිලා තියෙන දේ දුනු හැදෙන්නෙත්
එහෙමම තමයි.

වලාකුළු අගිසි වල
විසිරිච්ච ඇඟිලි වල එල්ලීගෙන
ඔංචිලි පදින පුංචි වැහි බිංදු වල
හැප්පෙන ඉර එළිය රැලි
පාට පාට වලට
පාට හතකට

රතු පාටට, තැඹිලි පාටට,
කහ පාටට, කොළ පාටට,
නිල් පාටට, නිල් දම් පාටට, දම් පාටට
බෙදිලා විසිරිලා පැතිරිලා...‍

ඔංචිලි සෙල්ලං ඉවර වෙලා
වැහි බිංදු විසිරුනාම
දේ දුන්නෙත් ඉතින් පාට ඇකිලිලා හැංගෙනවා
හරියට පාට පාට ඇඳුම් ඇඳගෙන
මිදුල පුරා දුව පනින පොඩි අය
හවසට ගෙදර ගියා වගෙ තමයි.

ඉතින්...
‍ඔංචිලි පැද්ද වැහි බිංදුවෙ
අර දුවගෙන දුවගෙන ආපු
කලබල එළිය රළ හැප්පිලා හැදිච්ච
මේ චුට්ටි දේ දුන්න
ගිලිහිලා ගිහින්
පහළට... පහළට... පහළට ගිහින්...
ටික ටික දැනෙන සීතල නිසා
පෙති පොරවගෙන ඇකිලිලා හිටිය
සෙව්වන්දි‍ෙග මූණෙ තැවරිලා
නතර වුනා...
පාට හතම...!
රතු පාට, තැඹිලි පාට,
කහ පාට, කොළ පාට,
නිල් පාට, නිල් දම් පාට, දම් පාට

සීතලට මල් වල
පාට අඩුවෙලා
මැකිල බොඳවෙලා
යන කාලෙ...

පාට පාට පාට හතක්
අරන් දුවගෙන ආපු
චුට්ටි දේදුන්න දැකලා...


සෙව්වන්දී හිනැහුනා
පෙති විහිදල හිනැහුනා
සිනා සුවඳ විහිදිලා
ඈත ඈත පියඹලා
වලාකුලේ ගෑවිලා
වලාකුලම සුවඳ වුනා

දන්නවද...

මල් වල සුවඳ දැනෙන්නෙ
මල් හිනැහෙන කොට...
සතුටින් හිනැහෙන කොට...
සුවඳ කියන්නෙ
මල් කතා කරන විදිහ තමයි
මල් සතුටින් අපට කතා කරද්දි තමයි
අපට දැනෙන්නෙ මල් සුවඳ...
ඉතින් සෙව්වන්දිගෙ
සුවඳ සුවඳ සතුටු සුවඳ දැනුණු...
වැහි බිංදුව හිනැහුනා
ඔන්චිල්ලේ පැද්දුනා
ඒ පැත්තට මේ පැත්තට
පැද්දි පැද්දි හිනාවෙවී
තව හයියෙන් තව හයියෙන්
හිනාවෙවී පැද්දිලා
අහස දිගේ පාවෙලා
පුංචි පුංචි වැහි බින්දුව
හීන් සැරේ හෙමින් සැරේ
පරෙස්සමට පරෙස්සමට
පහළට පහළට ඇවිදින්
නතරවුනා සෙව්වන්දිගෙ...

.......................................

සිනිඳුම සිනිඳු
රෝසම රෝස පාට
පෙත්තක් උඩ...!


සෙව්වන්දි මොකද කළේ... දන්නව නේද?
හිනැහුණා...
තව තව හිනැහුණා
වැහි බිංදුව එක්ක හිනැහුණා...
සෙව්වන්දි හිනැහෙද්දි

මොකද වුනේ... දන්නවනෙ...?
සුවඳ විහිදුනා....
ඈතට ඈතට යනකල්
දිගට දිගට විහිදුනා.... සෙව්වන්දිගෙ සුවඳ....!

ඔන්න ඉතින් සුළඟ නටන්න ගත්තා
උඩ පනින්න සුලි කරකැවෙන්න
පිනුම් ගහන්න දඟලන්න ගත්තා
ගස්වල අතු අස්සෙන්
හයියෙන් හයියෙන් රිංගගෙන ගිහින්
හූස් හෝස් ගාලා සද්ද කරන්න ගත්තා
කහපාට වෙලා
අතු වලින් ගැලවිලා
ගස් යට දිගාවෙලා
ඇස් පියාන හිටපු පුංචි කොළ
එහෙ මෙහෙ විසි කරල ඇහැරවල
අඬවන්න පටන් ගත්තා

සුළ‍ෙඟ දඟකාරකම වැඩි වැඩි වෙලා
එයා ගිහින් ගසුත් හොල්ලන්න පටන් ගත්තා
කහ පාට
රතු පාට
ලා කහ පාට
ගින්දර පාට
රතුම රතු පාට
පාට පාටට
කොළ එල්ලගෙන
ආඩම්බරෙන් හිටපු මේපල් ගස්
හොලවලා හොලවලා හොලවලා
පාට පාට කොළ ගලවලා
වීසිකරන්න පටන් ගත්තා
සයිප්‍රස් ගසුත් හෙල්ලුවා
හයියෙන් හෙල්ලුවා
හුඟක් හයියෙන් හෙල්ලුවා
ඒත් ඒවායෙ හීනි කූරු කූරු
කොළ පාට කොළ
ගැලවුනේ නෑ එහෙමම තිබුනා
ඒවයෙ කොළ හැමදාම

හැමදාම හැමදාම
කොළම කොළ පාටයි
සීතලට හුළඟට බෑ ... ඒ කොළවල පාට මකන්න...!

ඉතින් මේ විදිහට දඟම දඟ සුළඟ
දඟම දඟ විදිහට
දඟල දඟල දඟ කර කර
මේපල් ගස්වල කොළ ගලවලා
හැමතැනම විසි කරලා හැඩිකරලා
සයිප්‍රස් ගස් හොලවලා හොලවලා
නරකම නරක දඟයෙක් වගේ
දඟල දඟල දඟ කර කර ගිහින්...
අනේ සෙව්වන්දිවත් හෙලෙව්වා...
හෙමීට හෙමීට ‍පැද්දි පැද්දි
එහෙට මෙහෙට පැද්දි පැද්දි හිටි සෙව්වන්දිව
හයියෙන් මහ හයියෙන්
හයියෙන්ම හයියෙන්
හෙලෙව්වා සුළඟ
සෙව්වන්දි පෙති අකුල ගත්තා
තද කරගත්තා
හිනාව නැවතුනා
සුවඳ නැවතුනා
එයාට බය හිතුණා
දුක හිතුනා...

ඇයි....
ඇයි දන්නවද...?

එයාට බය හිතුණා
එයාට දුක හිතුනා
සුළඟ ඇවිත් හොල්ලන කොට
එහෙට මෙහෙට පද්දන කොට
මහ හයියෙන් ඒ පැත්තට ආයෙ ඇවිත් මේ පැත්තට
තල්ලු කරල හොල්ලන කොට
අර පුංචිම පුංචි වැහි බින්දුව
වීසි වෙලා යයි කියලා
වීසි වෙලා වීසි වෙලා ගිහින්
ඈතට ඈතට වීසිවෙලා....
බිමට වැටෙයි, වැලි උඩට වැටෙයි, පස් උඩට වැටෙයි කියලා...!
එහෙම උනොත් වැහි බිංදුව
වැලි අස්සෙ පස් අස්සෙ හැංගිලා... හැංගිලාම යයි
ආයෙ දකින්න බැරි වෙන්නම
හැංගිලා යයි කියලා
සෙව්වන්දිට දුක හිතුණා
හුඟක් දුක හිතුණා
සෙව්වන්දි පෙති තද කරගෙන
තදින්ම තද කරගෙන
වැහි බිංදුව තුරුළු කරගෙන
තුරුළු කරගෙන හිටිය

සුළඟ නවත්තන්නෙ නැතුවම නැටුවා
උඩ පැන්න දැඟළුවා
ගස් හෙලෙව්වා
සෙව්වන්දිවත්
හයියෙන්
එහාටයි....
මෙහාටයි....
තල්ලු කළා...

සුළඟ ගිහින් මේ පැත්තෙන්
මහ හයියෙන් දුවන් එද්දි
අර පැත්තට තල්ලු වුනා
සෙව්වන්දිව තල්ලු වුනා
සුළඟ ගිහින් අර පැත්තෙන්
මහ හයියෙන් දුවන් එද්දි
මේ පැත්තට තල්ලු වුනා
සෙව්වන්දිව තල්ලු වුනා
එහෙට මෙහෙට
ඒ පැත්තට මේ පැත්තට
මේ පැත්තට ඒ පැත්තට
හැම පැත්තටම හෙල්ලුවත්
සෙව්වන්දි
පෙති තද... කරගෙන
වැහි බිංදුව තුරුළු කරගෙන
ඇස් වහගෙන හිටියා.

සුළඟ දඟලද්දි
දඟලන සුළ‍‍ෙඟ හැප්පිලා තල්ලුවෙලා
වලාකුළු තල්ලු වෙලා ගියා
ඒ පැත්තට තල්ලු වුනා
මේ පැත්තට තල්ලු වුනා

තල්ලු වෙලා තල්ලු වෙලා
අහස පුරා ඒ පැත්තට මේ පැත්තට
දුවලා දුවලා දුවලා දුවලා
වලාකුළු ටිකින් ටික ටිකින් ටික
උණුසුම් වුනා
උණුසුම් වෙලා, උණුසුම් වෙලා
ඒ උණුසුම විදුලි පුළිඟු වෙලා
පිපිරෙන්න ගත්තා


විදුලි එළිය රිදී පාට නූල් වගේ

අහස පුරාවට විහිදුනා
දිලිසෙන රිදී පාට මකුළු දැල් වගේ
අහස පුරාවට දිලිසුණා
ඒ රිදී නූල් ඇදිල ඇදිල බිඳුනෙ
මහා හයියෙන් කෑ ගහලා
මහා හයියෙන් ගොරවලා
අහල තියෙනව නේද
විදුලි එළිය දිලිසිලා
එක පාරටම මහා... හයියෙන්
පිපිරෙන සද්දෙ...

සෙව්වන්දි
පෙති තද... කරගෙන
වැහි බිංදුව තුරුළු කරගෙන
ඇස් වහගෙන හිටිය
ඇස් වහගෙන හිටිය...
රෝස පෙති අස්සෙන්
බිංදු බිංදු විදුලි එළිය රිංගලා ඇවිත්
රෝසම රෝස පාටට
වැහි බිංදුවට වැටිල දිලිසුනා
අර අපි ඇස් වහගෙන ඉද්දිතද එළියක් වැටුනම
රෝසම රෝස ප‍ාටට පේන්නෙ....
අපේ ඇඟිල්ල
විදුලි පන්දමේ එළියට අල්ලපුවම
ලාවට රතු පාටට එළිය පේන්නෙ...
හරියටම අන්න ඒ වගේ...

රෝසම රෝස පාට එළිය වැටිලා
සෙව්වන්දිගෙ පෙති අතරෙ
වැහි බිංදුව දිලිසුනා...
ලස්සණම ලස්සණ රෝස පාටට
සෙව්වන්දිගෙ රෝස පාටටත් ව‍ඩා
රෝස පාටට දිලිසුණා
බය හිතුණත්... දුක හිතුණත්

සෙව්වන්දි යාන්තමට හිනැහුණා...
සෙව්වන්දි හිනැහුණාම...
සුවඳ ගලන්න ගත්ත.

ඒත්...
ඒ සුවඳ කොහේවත් ගියේ නෑ
සෙව්වන්දිගෙ පෙති අතරෙම රැඳුන
සෙව්වන්දිගෙ පෙති අස්සෙ
හීන් හිනා සුවඳ පිරිල ඉතිරුණා
වැහි බින්දුව
ඒ සුවඳින් පිරිල ගියා
වැහි බින්දුවත්
යාන්තමට හිනැහුණා
සෙව්වන්දිගෙ සුවඳ හිනා‍වත් එක්ක
හැමතැනම සුවඳ වෙලා
වැහි බින්දුවත් සුවඳ... සුවඳම වෙලා
සුවඳ පැන් පොදක් වෙලා...

සුළඟ තවත් හයියෙන්
තල්ලු කලා වලාකුළු
ලොකු ලොකු වලාකුළු තල්ලුවෙලා ගිහින්
මහ හයියෙන් එකට හැප්පුනා
වලාකුළු වල හැංගිලා හිටපු වැහි බිංදු
විසිවෙලා ගිලිහිලා වැටෙන්න පටන් ගත්තා
ඒ වැහි බිංදු බිමට වැටෙන්න කලින්
සුළං හොරා ඈත ඈත උතුරටම ගිහින්
තල්ලු කරගෙන තල්ලු කරගෙන ආව
මහා සීතල සුළං
සීතලම සීතල සුළං
ඈත ඈත ඈතම උතුරෙ ඉඳන්...

සීතල, සීතල, සීතලම සුළං
වැදුනම මොකද වුනේ
අර වලාකුළු වලින් ගිලිහිලා වැටුනු
වැහි බිංදු වලට...
ඒව සීතල වෙලා
සීතල සීතලම වෙලා
සුදුම සුදු පාට හිම කැරලි වුනා...

හිම හැදෙන්නෙ එහෙම තමයි...
පුංචි පුංචි වැහි බිංදු...
සීතලම සීතල සුළඟ වැදිල
සීතලම සීතල වෙලා
සීත‍ලෙන් මිදිල තමයි
සුදුම සුදු පාට හිම හැදෙන්නෙ...

ඉතින්...
සුදුපාට හිම කැරලි
පාවි පාවි බිමට වැටුනා
නවතින්නෙ නැතුව වැටුනා
දඟල දඟල උඩපනින සුළඟෙ
හිම කැරලි පිනුම් ගහමින් කැරකුනා
සුළං හොරා ඒව හැම තැනම පා කරල විසිරුවා
හැම තැනම වැහුණ
සුළඟට යන්න පුළුවන් හැමතැනම
සුදු පාටින්... සුදුම සුදු පාටින්
සුදු පාට සීතල හිම සළුවකින්
හරියටම ‍
සුදුම සුදු රෙද්දකින් වැහුව වගෙ වැහුණ...!


මේපල් ගස් වල කොළ හැළුනු අත් වල
හිම පොකුරු එල්ලුනා
සයිප්‍රස් ගස් වල කොළ පාට හීන් කොළ අස්සෙ
හිම කැරලි හැංගුනා
හැම තැනම සුදු පාටයි
සුදුම සුදු පාටයි
කොළ පාටට හිනා වෙවී ඉඳලා‍
සීතලට කහ පාට වුනු තණ කොළ
සුදුම සුදු හිම යට හැංගිලා හිම රෙද්දකින් පෙරවිලා නිදි

ගඟේ වතුර සීතල වෙලා
සීතලම සීතල අයිස් තට්ටුවක් වුණා
ඒත් ඒ අයිස් තට්ටුවට යටින්
ගඟ ගලාගෙන ගියා
දන්නවද...
කොච්චර සීත උණත්
මතුපිට සේරම අයිස් වුණත්

ගඟ ගලනවා ඒ අයිස් වලට යටින්
මොකටද....? පුංචි මාළු පැටවුන්ට පීනන්න...

ඉතින් සෙව්වන්දි...?

සෙව්වන්දිගෙ වැහුණු පෙති උඩටත්
හිම කැරලි වැටුණ
සෙව්වන්දි සීතලෙන් වෙවුලල ගියා
හිම ටික ටික වැඩිවෙලා වැඩිවෙලා
සෙව්වන්දි හිම වලින් වැහිල ගියා...
සුදු පාට රෙද්දක් පෙරෙව්ව වගේ වැහුණ

සීතල තවත් වැඩිවුනා...
හෙමින් හෙමින්
සෙව්වන්දිත් සීතල වුනා
ඒත් සෙව්වන්දි අමාරුවෙන්
යාන්තමින් හිනාවුණා
වැහි බිංදුවත් එක්ක
පෙති අතරෙ තුරුළු වෙලා හිටි
වැහි බිංදුවටත් සීතල දැනෙන්න ගත්තා
හෙමින් හෙමින් හෙමින් හෙමින්...
වැහි බිංදුව සීතල වෙලා
සීතල සීතලම වෙලා
පුංචි අයිස් බිංදුවක් වුණා
සෙව්වන්දි‍ගෙ ඇස් චුට්ට චුට්ට පියවෙන්න ගත්ත....
සීතල වැඩිවෙලා වැඩිවෙලා ගියා
අන්තිමේ සෙව්වන්දි
පුංචි අයිස් කැටෙත් තුරුළු කරගෙන
දිගම දිගම දිගම දිග නින්දකට ගියා...
ඒත් ඒ පුංචි අයිස් කැටේ ඇතුලෙ
දියවෙලා එකතු වෙලා මිදිල තිබුණා
තවමත්... සෙව්වන්දිගෙ හිනා සුවඳ...

පෙති තද කරගෙන...
වැහි බිංදුව තුරුළු කරගෙන
හිනැහෙන කොට විහිදිලා
පෙති අස්සෙම හැංගිලා
වැහි බිංදුවෙ දියවෙලා
සුවඳ සුවඳ සුවඳම සුවඳට
වැහි බිංදුව සුවඳ කරපු
සෙව්වන්දිගෙ හිනා සුවඳ...

දවස් ගාණක් සුළං හොරා
ඈත ඈත ඈතම උතුරට ගිහින්
තල්ලු කරගෙන තල්ලු කරගෙන
සීතලම සීතල සුළඟ අරන් ආව
සීතලම සීතල සුළං අරන්
මහ හයියෙන් දුවන් ඇවිත්

වලාකුළු හප්පල
වැහි බිංදු වට්ටල
ඒව සීතල කරල
සීතලම සීතල කරල
හිම කැරලි හදල
බිමට දැම්ම...
හැම පැත්තටම පිඹල
විසුරුවල දැම්ම...!

සමහර දවසට
වැලිකැට වැලිකැට වැලිකැට
වාගේ
කුඩු කුඩු හිම කුඩු හදලා ‍එව්වා

සමහර දවසට
විසිරෙන පැතිරෙන පුළුන්ම වාගේ
දැල් දැල් හිම දැල්
හදලා එව්වා

සමහර දවසට
මල් මල් මල් මල් මල් මල්
වාගේ
හිනැහෙන හිම මල්
හදලා එව්වා

සමහර දවසට
තෙතටම තෙත තෙත තෙත හිම
අරගෙන
ගුලි ගුලි හිම ගුලි
හදලා එව්වා

සමහර දවසට
ලස්සණ ලස්සණ ලස්සණ
හිම පෙති
පාවෙන හිමපෙති
හදලා එව්වා

සමහර දවසට
ගල්කැට ගල්කැට ගල්කැට වාගේ
හිම කැට හිම කැට
හදලා එව්වා....

ඔය ඔය විදිහට....
සමහර දවසට පුංචි මී මැස්සො වගෙ
රූං රූං කියාගෙන
දුවගෙන යන සුළඟ එක්ක
කඩිමුඩියෙ ඉගිල්ලිලා ... යන හිම
සමහර දවසට මල් පෙති වගේ
තැප්පි තැප්පි ඕනැවට එපාවට
පැද්දි පැද්දි යන සුළ‍ඟෙ
පා වෙවී පා වෙවී පාවෙලා.... යන හිම

සමහර දවසට සාළුවක් වගේ
දිය ඇල්ලක විසිරෙන මීදුම වගේ
ගලාගෙන වැක්කෙරෙන හිම....
මේ හිම සේරම එකතු වෙලා... එකතු වෙලා....

හිම කඳු කඳු, උස කඳු, මිටි කඳු, තැන තැන එකතු වුණා.
සෙව්වන්දියි සෙව්වන්දිගෙ
පෙති අස්සෙ තුරුළු වෙච්ච වැහි බිංදුවයි
හිම කන්දකින් වැහිල ගියා
ඒ හිම කන්ද උඩ
පුංචි ළමයි සෙල්ලම් කලා
බර කබායවල් ඇඳල
සීතල නොදැනෙන්න
ඒ ගොල්ලො හිම කන්ද දිගේ රූටල ගියා
හිම බෝල හදල වීසි කලා
එක් එක් කෙනාගෙ ඇඟට
හිම ගුලි එකතු කරල
රූප ඇඹුව...


මේ සේරම වෙද්දි
සෙව්වන්දි හිම කන්ද යට හිරවෙලා හිටිය
එයා ආයෙත් හිනා වුනේ නැහැ
පියා ගත්ත පෙති අතර උණුසුම නැතිම වෙලා
වැහි බිංදුව සීතලම සීතල අයිස් බිංදුවක්ම වෙලා
හිම කන්ද යට
සෙව්වන්දිගෙ පෙති අතර තුරුළු වෙලා
සෙව්වන්දියි අයිස් බිංදුවක් වුණු වැහි බිංදුවයි දිගම දිග නින්දක...

‍ඔන්න ඉතින් උතුරු පැත්තෙ සීතල සුළං ඉවර වුණා
සුළං හොරා දකුණු පැත්තෙන් උණුහුම් සුළං තල්ලු කරා
ටික ටික ටික ටික සීතල අඩුවෙවී අඩුවෙවී ගියා...
සීතල අඩු‍වුනා කියන්නෙ...
ආයෙත් ‍
ටික ටික ටික ටික
උණුසුම දැනෙන්න ගත්ත...!

ටික ටික ටික ටික
උණුසුම වැඩිවෙද්දි
සුදුපාට හිම හෙමින් හෙමින්
දියවෙලා බිංදු බිංදු බිංදු බිංදු ගලාගෙන ගියා...
හිම දියවුනාම හැදෙන්නෙ මොනවද... වැහි බිංදු...!

වැහි බිඳු බිඳු එක් වෙලා
පොඩි පොඩි දිය ඇළි වෙලා
ඒ දිය ඇළි එක්වෙලා
පොඩි පොඩි ඇළදොළ වෙලා
ඇල‍ දොල දිය එක් වෙලා
ලොකු ගංගාවක් වෙලා
දුවගෙන දුවගෙන ගියා

මිදුල් පුරා... එහෙන් මෙහෙන්
ගස් අස්සෙන්... පාර දිගේ
තැන තැන මඩ වල වල් හද හද
දුවගෙන දුවගෙන ගියා

හිම යට නිදියන් හිටි‍ ‍කොළ
අවදි වෙලා උඩට ඇවිත්
දිය ඇලි වල පාවෙලා
ඇළ දොළ වල පාවෙලා
ගංගාවේ පාවුණා

ඈතට ඈතට ඈතට
හෙමිහිට හෙමිහිට හෙමිහිට
හිම දියවුණු වැහි බිඳු වල
ඇහැරුණු කොළ පාවුණා

‍තව තව උණුසුම් උනා
තවත් තවත් දියවෙලා දියවෙලා හිම කන්ද
දිගටම දිගටම දියවෙලා
ගලාගෙන ගිහින්
චුට්ටංම චුට්ටි හිම කැටියක් වුනා...

ඉතිං සෙව්වන්දි....?

හිම දියවෙලා වැහි බිංදු වෙලා
දුවපු දියපාරෙ කහපාට කොළ එක්ක
යාන්තං රෝස පාට සෙව්වන්දිගෙ පෙතිත් පාවුණා....
සමහර රෝස පෙති කහ පාට කොළ උඩ
සමහර රෝස පෙති රතු පාට කොළ අගිසි වල
සමහර රෝස පෙති තනියෙන්ම....
සමහර රෝස පෙති එකට එකට තුරුළු වෙලා...


පුංචි දිය ඇළි දිගේ
ඇළ දොළ දිගේ
ගංගාව දිගේ
ඒ රෝස පාට
රෝස පෙති පාවෙද්දි...
ආයෙත් විහිදුනා...
සෙව්වන්දිගෙ සුවඳ...

ඇයි...?

මතකද?

සෙව්වන්දිගෙ පෙති අස්සෙ
තුරුළු වෙලා සෙව්වන්දිගෙ හිනාවෙ
සුවඳ එකතු කරගත්ත වැහි බිංදුව....?

අයිස් බිංදුවක් ‍වෙලා සෙව්වන්දි එක්ක
සුළං හොරා ගෙනත් දාපු හිම යට
යට වෙලා හිටිය
සුවඳ වැහි බිංදුව...!

ඉතින් හිම බිංදු දියවෙන කොට
වැහි බිංදුවත් දියවුණා...
වැහි බිංදුව දියවුණාම...
ඒකෙ රැඳිල තිබුණු සුවඳ...
ඒ සුවඳත් දියවුණා...
ආයෙත් ආයෙත් විහිදුනා... හැම තැනම විසිරුණා
හැම තැනම හැමතැනම...

ඒ සුවඳ දැනුන හැම කෙනාටම දැනුන...
මොකක්ද...?
සෙව්වන්දිගෙ...
හිනාව... සතුටු හිනාව...
දන්නවනෙ..
මල් කතා කරන්නෙ සුවඳ විහිදලනෙ...

ඉතින්.. අදටත්
සීත කලාපෙ රටවල
සීත කාලෙ ඉවර වෙලා
හිම දියවෙලා යද්දි
හැම කෙනාම
කිසිම හේතුවක් නැතුව
හිනැහෙනවා...
දකින දකින අය එක්ක හිනාවෙනවා
දන්න අය නොදන්න අය
එදාම දැක්ක අය ඔය කා එක්කත් හිනාවෙනවා
සතුටින් හිනාවෙනවා...
දියවෙන හිම වතුර ගලායන පාරවල් දිගේ
තනියෙන් ඇවිදින කොට උනත්
සතුටු හිනාවල් හිනැහෙනවා...

දන්නව නේද ඇයි කියලා...?



ලිව්වේඃ රන්සිරිමල් මාමා


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ලිව්වේ තුෂාරි ප්‍රියංගිකා නැන්දා
ඇන්දේ නාමලී දන්වත්ත නැන්දා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
අර බලන්න!
ඈ ඉඳගෙන ඉන්නා හැටි
ඇගෙ දිදුලන නිල් වරලස
පීරා හැඩ කරනා හැටි

අර බලන්න!
රිදී පාට රැලිති නැගී
වැළි වෙරළේ බිඳෙනා හැටි

අපූරුවට ඈ හිඳගෙන
හඳ වාගේ ලා පාටට
හඳ වාගෙම හරි එලියට
ඇගෙ දිදුලන නිල් වරලස
පීරා හැඩ කරනා හැටි

මේ අහන්න! ගයනා හැටි
ඇහුණ ද ඇහුනද ඔබටත්?

රිදී පාට වතුර උඩින්
හැන්දෑ හුළඟේ පාවෙන
පාවි පාවී ඇසෙනා
ඇගේ මිහිරිතම ගීතය

නපුරු සැඩ රළ වගෙයි
මගේ පොඩි හිත බිඳියි
එන්න මා වෙත!
එන්න මා වෙත!
ඈ ගයයි ඈ ගයයි
යා යුතුය මා ද දැන්
යා යුතුය ඈ වෙතට!

ඩොරති වයිට්ෆීල්ඩ් ලියූ "කැරිබියන් සුළඟ" කවි පොතෙන්
පරිවර්තනය -ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 

බෙල්ලත් දික්විද ඇඟ අත හැරලා....!

ජිරාෆ් නයිදේ
ජිරාෆ් නයිදේ
ඔළුව උස්සලා බලන්න අයියෝ
පොල් ගහක් වගේ උසට උසේ
හැඩට හැඩේ යන ගමන අගේ
ඒත් ඉතිං මට දුකකි හිතේ
කතා කරන්නකො මොකද වදේ

කාටත් වැඩියෙන් උඩින්ම ඉන්නේ
කවුරුත් කරනා දේ දැක ගන්නේ
ඒ දැකලත් ඔබ නිහඬව ඉන්නේ
කතා නොකර බෝ දේ ගිලගන්නේ

අසරණ සතුන් වෙත ඇස් දල්වා
නිතරම ඒ ගැන සෝදිසි කරලා
බෙල්ලත් දික්විද ඇඟ අත හැරලා
මුල්ලක සිටියත් ඔබ ගුලි ගැහිලා

ඔබේ යහළුවන් කොයිබද සොයන්න
උන් හා එක්වී මතු රොද බැඳෙන්න
ඔබව නිහඬ කළ අය හට කියන්න
කැලේ රජා යයි මස් තව බුදින්න

ලිවුවේ - වීරයා මාමා

මෙන්න
ජිරාෆ් බබෙක් ගැන ලස්සන වීඩියෝවක්-


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 

මූදු සිප්පි

සිප්පියේ සිප්පියේ මෙහි එන්න
මහ මූද ගැන කියන ගීයකුත් ගෙන එන්න
මහ මූදෙ රැළි ගැනත් කොරල් දූපත් ගැනත්
නිදහසේ පියාඹන මූදු ලිහිණින් ගැනත්

ගැඹුරු මූදෙ ඉන්න ලොකු තල්මසුන් ගැනත්
සිනිඳු කුඹ ගස් බැන්ද මූදේ යන නැව් ගැනත්
වරල් වලිගය රිදී දිය කිඳුරියන් ගැනත්
මහ මූද ගැන කියන ගීයකුත් මට අරන්

ඩොරති වයිට්ෆීල්ඩ් ලියූ "කැරිබියන් සුළඟ" කවි පොතෙන්
පරිවර්තනය -ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 



ඉරහාමී බයවෙලා
වලාකුලක ගුලි වෙලා
වලාකුලම බර වෙලා
වතුර බිංදු ඇහැරිලා

හුළඟ මෙන්න සැර වෙලා
ගහ කොළ වැල් අඹරලා
හමන සද්දෙ වැඩි වෙලා
කුරුළු රංචු හැංගිලා

වැහි පොද මහ වැහි වෙලා
මල් වල පෙති විසිරිලා
සමණල තටු දිය වෙලා
වතුර ගලයි බොර වෙලා

පුංචි පැටව් එක් වෙලා
කඩදහි ඔරු අලවලා
පා කරනවා හැඩ බලා
මූණෙ හිනා ඉතිරිලා




ලිව්වේ :වසිලිස්සා
චිත්‍ර ඇන්දේ : නම නොකියූ සුරංගනාවි මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
එකොමත් එක රටක වෘකයෙකුයි හිවලෙකුයි කැලෑවක හිටියා. වෘකයාට කොළ අතු වලින් හදා ගත්තු ගෙයක් තිබුණා. හිවලා වාසය කළේ හිම වලින් හදාපු ගෙයක. ඉතින් ඔහොම ඉන්න කොට වසන්ත කාලය ආවා. ඉර අව්වට හිම දියවෙලා ගියා. හිවලා වෘකයා ලඟට ඇවිත් රෑට නවතින්න අවසර ඉල්ලුවා.

" අනේ රාළහාමි ගෙට වැදිලා උණුහුම් වෙන්ට මට අවසර දෙන්න"

"මගේ ගේ බොහොම පුංචියි. මටවත් හැරෙන්ට ඉඩ නෑ. ඉතින් නුඹට කොහොමද ඉඩ දෙන්නෙ" කියලා වෘකයා ඇහුවා.

හිවලාට ගෙට ඇතුළු වෙන්ට වෘකයා අවසර දුන්නේ නෑ.

හිවලා දෙවැනි දවසෙත් ආවා. තුන්වෙනි දවසෙත් ආවා. ඔහොම හැමදාම වෘකයා ලඟට ඇවිත් අවසර ඉල්ලන්ට පටන් ගත්තා.

"එළිපත්තට හරි ගොඩ වෙන්න අවසර දෙන්න රාළහාමි!"

වෘකයාට දුක හිතිලා හිවලාට ගෙට ඇතුළු වීමට අවසර දුන්නා. පළමුවැනි දවසෙ රෑ හිවලා එළිපත්තෙ නිදා ගත්තා. දෙවැනි දවසෙදි හේ ඇතුලටම ආ හිවලා තුවැනි දවසේ දී ගිනි තපින ලිපේ පඩිය උඩට වෙලා උණුහුමට නිදා ගෙන රඉට තනියම කතා කරන්ට පටන් ගත්තා.

වෘකයාට හිවලාගේ කතාව ඇහුණා.

"හිවල් හාමි නුඹ ලඟ කවුද ඉන්නේ?"

"මා ලඟ කවුරුත් නෑ රාළහාමි" කියලා කිවලා කිව්වා.

ආපහු ද්දෙනාම නිදාගන්ට සැරසුණා. හිවලා කකුලෙන් දුම් බටයට තට්ටු කලා.

"ටුක්! ටුක්! ටුක්! ටුක්! ටුක්! ටුක්!"

වෘකයාට ඇහැරුණා.

"හිවල් හාමි ගිහින් අහපන් කවුද දොරට තට්ටු කරන්නෙ කියල?" වෘකයා කිව්වා.

හිවලා නැගිලටා ඉස්තෝප්පු කාමරේට ගියා. එතැනින් ගබඩා කාමරයට රිංගුවා. මේ කාමරේ තමා වෘකයා කෑම බීම ගබඩා කරලා තියෙන්නෙ. දී කිරියි, වෙඞරුයි හොයාගෙන හිවලා තලු මර මරා කන්ට පටන් ගත්තා.

"වෘකයාගේ දී කිරියි, වෙඞරුයි හරිම රසයි" කිය කියා හිවලා කෑවා.

හිවලා දී කිරියි, වෙඞරුයිසේරම කාලා, භාජනත් ලෙව කෑවා.ගබඩාව හැමතැනම පිටි විසි කරලා හිවලා ලිප උඩට නැගලා තොල කට ලෙවකන්ට පටන් ගත්තා.

"හිවල් හාමි නුඹ කා එක්කද දොර ලඟ හිටගෙන කතා කලේ?" කියලා වෘකයා ඇහුවා.

"මාව අඞගහගෙන යන්ට කට්ටියක් ආවා. ලොකු මගුල් ගෙදරක්. එහෙ බොහොම ජයට කෑම බීම ඇතුව මගුල් කෑමක්. මට බැහැ කියලා කිව්වා"

වෘකයා හිවලාගේ කතාව විශ්වාස කලා.

"මම දර කඩාගෙන එන්නම්. ලිප ගිනි මොළවන්නම්. නුඹ ගබඩා කාමරේට ගිහින් දී කිරියි, වෙඞරුයි, පාන් පිටියි හොයාගෙන වරෙන්. අපි උදේට කෑම ටිකක් හදමු" කියලා වෘකයා කිව්වා.

හිවලා ගබඩා කාමරේට ගිහින් ආපහු හැරිලා ඇවිත් කියනවා:

"අනේ රාළහාමි මම වයසට ගිහින්. ඇස් පෙනීම දුර්වලයි. කිසි දෙයක් හොයා ගන්ට බැහැ. රාළහාමි ගිහින් බලන්ඩ."

වෘකයා ගබඩා කාමරයට ගිහිල්ලා රාක්ක උඩත් බැලුවා. යටත් බැලුවා, දී කිරිත් නෑ. වෙඞරුත් නෑ. වෘකයා හිවලාගෙන් මෙහෙම ඇහුවා.

"මගෙ දී කිරියි, වෙඞරුයි, පිටියි ඉහිරවලා දැම්මේ නුඹ නෙවද?"

"මගේ ඇස් පේන්නේ නැහැ. මම හරිම අවසනාවන්තයෙක්. දී කිරියි වෙඞරුයි මම දැක්කෙ නෑ. පිටි ඉහිරුවෙත් නෑ.!"

මෝඩ වෘකයා කපටි හිවලාව විශ්වාස කලා. ඌට ගෙදර නැවතීමට වෘකයා ඉඩ දුන්නා.

අවුරුද්දක් ගෙවී ගියා. හිවලා වෘකයාගේ ගෙදර අතහැර ගියේ නෑ.

හිවලා වෘකයාගේ ගෙදර ස්ථිර පදිංචිකාරයෙක් වුණේ ඔය විදිහට.

රුසියානු ජන කතාවක් ඇසුරිනි.
පරිවර්තනය - දැදිගම වී රුද්‍රිගු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

පුංචි උනත් නාවන්නට බැහැනෙ බේසමේ
කන්න ගියත් කන්න දෙන්න බැහැනෙ පිඟානෙ

නාවන්නට බේසම් නෑ
කන්න දෙන්න පිඟනුත් නෑ

ඉතිං කොහොම නිදියන්නද ඇඳක යාලුවේ
ඔළුව කොහොම තියන්නදෝ කොට්ටෙ යාලුවේ

නිදාගන්න ඇඳනුත් නෑ
ඔළුව තියන කොට්ටත් නෑ

ඉතින් කොහොම ගෙනියන්නද ගෙදර යාලුවේ
අපේ ගෙදර පඩි පේළිය කොහොම නගින්නේ

මට යන්නට දෙන්නෙත් නෑ
හොඞවැල අහකට ගන් නෑ

මටත් ඉතින් සත්තු වත්තෙ ඉන්නයි වෙන්නේ
සත්තු වත්තෙ ඉස්කෝලෙට යන්නයි වෙන්නේ


-ලිවුවේ කේ.කේ. සමන් කුමාර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
හැරීපොටර්.......

හැරීපොටර්....... හැරීපොටර්
පොටක් පාදලා දෙනවද හැරීපොටර්

මම කොස්ස අරන් ආවේ
කොස්සෙන්ම ගහන කාලේ
මට ඉගිල්ලෙන්න ඕනේ
කෝ කියා දෙන්න රහසේ

පාඩම් කරන්න ඕනේ
උත්තර ලියන්න ඕනේ
මේ හැම දෙයක්ම වාගේ
සෙල්ලම් කරන්න ඕනේ

අනිත් ළමයි වාගේ
මට තරගයක් නෑනේ
දෙමාපියන් බොහොසේ
අපිව තරහ කරල වාගේ

අඩිකෝදු කඩු වලින්
පැන්සල් තුවක්කුවෙන්
මල් වන් ළමා වියක්
සරසයි දෙමාපියන්

මට නටන්න පුළුවන්
ඒත් පොළව ඇදයි නම්
මේ එක යායක් නම්
අපි එක පොකුරක මල්

හැරීපොටර්......හැරීපොටර්
මේ යන්තර ටික මෙල්ල කරන
මන්තරයක් දෙනවද මට
හැරීපොටර්.........!

ලිව්වේ- වීරයා මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 


දරු සෙනෙහස හද පිරි අම්මා
මඳනළ ගැයු ගීතය අම්මා
කිරි සයුරෙ රළ පෙළ අම්මා
බෝසත් ගුණයෙන් නැත නිම්මා..

ළදළු පුරා කව් පිරු අම්මා
සඳ එළියේ සිසිලයි අම්මා
කඳුළු නෙතග සැනසුම අම්මා
අහසකි ආදරෙ නැත නිම්මා..

මල් පිපුණේ නුඹ හින්දයි අම්මේ
කිරි ගොයමේ සුවඳ නුඹයි අම්මේ
වන වදුලේ නීල පැහැය අම්මේ
මුළු ලෝකෙම උපත නුඹයි අම්මේ..

ලිව්වේ -තුෂාරි ප්‍රියංගිකා නැන්දා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
හැමවෙලාවෙම ෆ්‍රෑන්ක්ලින් හිටියේ තනියෙන්.එයා යාළුවන්ට කොච්චර කැමති උනත් ඒ කාටවත්ම ඔහුගේ ගෙදර එන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.

ඇත්තම කතාව නම්, ෆ්‍රෑන්ක්ලින් හුඟක් අපහසුතාවයට පත් වෙලයි හිටියේ. ඔහු ගේ පවුලේ උදවිය හැමෝම හරිම කම්මැලියි. හැමදේම බොහොම අපිළිවෙලට තියගත්තෙ.කොච්චර කම්මැළිද, අපිළිවෙලද කියනවා නම්, ඒගොල්ලො කවදාවත් මූණ හෝදලා, නාලා පිරිසිදු වුණේ නෑ. ගේ දොර අතු පතු ගාලා පිරිසිදු කළේ නෑ. කෑම කෑ බඳුන් හෝදලා පිරිසිදු කළේ නෑ. නිදාගන්න ඇඳ ඇතිරිලි දමලා පිළිවෙලට සකස් කළේ නෑ. කොටින්ම ඒ ගොල්ලො නෑවේ අවුරුද්දකට එක සැරයක් විතරයි. ඒකත් නොකරම බැරි වුනහම!

ගේ හැම තැනම වාගේ හැඩි කරලා තිබුණේ. සමහර වෙලාවට ඒ අහල පහල වැඩ කරන එක පවා තවත් කරදර රැසක් ඇතිකරනවා. ෆ්‍රෑන්ක්ලින් හැමවෙලාවෙම මොකක් හරි සෙල්ලම් බඩුවක් පැටලිලා ලිස්සලා වැටෙනවා. මොකද ගෙදර උදවිය සෙල්ලම් කිරිල්ල අහවර උනාට පස්සෙ ඒවා නියමිත තැන තියන්න පුරුදු වෙලා හිටියෙ නැති හින්දා.ඒ විතරක් නෙමෙයි, ගෙදර අයට නිතර ලෙඩ හැදෙන්ටත්, නිතර තුවල සිදු වෙන්ටත් පටන් ගත්තා. ඒත්, ෆ්‍රෑන්ක්ලින් ගේ අම්මයි තාත්තයි ඒ ගැන ඒ තරම් සැලකිල්ලක් දැක්වුවෙ නෑ. ඒ ගොල්ලන්ගේ කාලයෙන් වැඩි කොටසක් ගත වුණේ නිදාගන්ට.

හැම උදේකම, පාසල් යන්ට හැමෝටම කලින් අවදි වෙන්නෙ ෆ්‍රෑන්ක්ලින්. ඔහුගේ සහෝදරයෝ පරක්කුවෙනකල් හොඳහැටි නිදාගන්නවා. ඊට පස්සෙ අන්තිම මිනිත්තුවේ අවදිවෙලා දඩි බිඩියෙ සූදානම් වෙලා ෆ්රෑකන්ක්ලින් ගෙ පස්සෙන් ඉස්කෝලෙට යනව හරියට පිරිසිදු වෙන්නෙත් නැතිව. උදේට කෑම කන්නෙත් නැතිව.

ඉස්කෝලෙට ගියාම ගුරුතුමී කරන්නෙ ෆ්‍රෑන්ක්ලින්ගෙ මල්ලිලාව අනිත් ළමයින් ගෙන් වෙන් කරලා ඉන්දවන එක. මොකද ඒගොල්ලො හිතාගන්න බැරි තරම් අපිරිසිදුයි. ඌරෙකුට උනත් අහලට ළං වෙන්න බැරි තරම් ගඳයි. ෆ්‍රෑන්ක්ලින් හැමවෙලාවෙම හිතුවා එයාගේ මල්ලිලා ඩිංගක්වත් වෙනස් වෙනව නම් හොඳයි නේද කියලා. ඒත් ඒගොල්ලො ඒක ගණන් ගත්තෙ නෑ.

ඔන්න එක දවසක් හැම ඌරු පැංචෙකුට චිත්‍රයක් බැගින් අඳින්ට වුණා. ඒගොල්ලො කැමති ඕනෑම දෙයක් චිත්‍රයට නගන්ට එගොල්ලන්ට ඉඩ දීලයි තිබුණේ. ඉතිං පුංචි ෆ්‍රෑන්ක්ලින් තීරණය කළා බොහොම ලස්සන දේදුන්නක් අඳින්ට.
හැමෝම චිත්‍ර ඇඳලා ඉවර වුණා. ඒත් හැබෑම ලස්සන චිත්‍රය ඇඳලා තිබුණෙ නම් ෆ්‍රෑන්ක්ලින්.ගුරුතුමී ඒක හැම ළමයෙකුටම පෙනෙන විදියට ඔසවලා පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි ඒකට පලමු තැන ලැබුනු නිසා ලස්සනම ලස්සන පීත්ත පටියකුත් ඇලෙවුවා!


ෆ්‍රෑන්ක්ලින්ට මේ වගේ දේවල් ඒ හැටි පුරුදු නැති නිසා එයා ලැජ්ජාවෙන් ඇඹරුණා ඩිංගක්.

"ඒක ඒ හැටි හොඳ චිත්‍රයක් නෙමෙයි!" එයා අහිංසක විදියට කිවුවා.ඒත් එයා ඇත්තටම හුඟාක් සතුටු වුණා මේ දිනුම ගැන.

"අම්මයි තාත්තයි මොනවා කියාවිද?" ෆ්‍රෑන්ක්ලින් චිත්‍රය අරගෙන ගෙදර යන ගමන් හිතුවා.

ෆ්‍රෑන්ක්ලින් ගේ දිනුම ගැන ගෙදර හැමෝම බොහොම සතුටට පත් වුණා. ඒ ගැන ෆ්‍රෑන්ක්ලින් උන්නෙ සතුටෙන්.

"මේ බලන්න! අපේ පවුලෙත් ඉන්නව අපූරු චිත්‍රශිල්පියෙක්!" ෆ්‍රෑන්ක්ලින්ගෙ තාත්තා බොහොම ආඩම්බරයෙන් කිවුවා.

"මේක තමයි මං දැකපු ලස්සනම දේදුන්න!" අම්මාත් කිවුවා.

" මේක ආං අර බිත්ත්යේ එල්ලමු" තාත්තා කියා සිටියා.

"මං දන්නෙ නෑ තාත්තේ...." ෆ්‍රෑන්ක්ලින් ලැජ්ජාවෙන් කිවුවා.

" ලැජ්ජා වෙන්න එපා පුතේ, හැමෝටම පෙනෙන විදියට මේක එල්ලන්න හොඳම තැන එතැන " යි තාත්තා කිව්වා.

"මේ බිත්තිය ටිකක් පිරිසිදු උනා නම් චිත්‍ර ය හරි අපූරුවට පෙනෙයි නේද?" පින්තූරය බිත්තියේ එල්ලලා ඉවර වුනාට පස්සෙ, ඩිංගක් ඈතට ගිහින් චිත්‍රය දෙස බැලූ ෆ්‍රෑන්ක්ලින් කිවුවා.

"ඔවු ඔයා හරි. අපි ඒක පිරිසිදු කරලා දමමු"

එහෙම කියලා තාත්තා බිත්තියෙ තිබුණු කුණු පැල්ලම් සේරෝම හොඳට සබන් ගාලා අතුල්ලලා වතුරෙන් හෝදලා දෑම්ම.

"මේ බලන්න! මෙන්න තියෙනව බිත්ති පින්තාරුවක් කුණු වලට යට වෙලා!"

"කොච්චර ලස්සන පින්තාරු මෝස්තරය්ක්ද?" ඔන්න අම්මත් කතාවට එක් වුණා.

"ස්තුතියි තාත්තේ, බිත්තිය පිරිසිදු කළාට. දැන් තමයි පින්තූරය හැබෑටම ලස්සන!" වැඩේ අහවර උනාම ෆ්‍රෑන්ක්ලින් තාත්තාට කිවුවා.

" මේ වගේ අපූරු චිත්‍රයක් එල්ලන්න ඒ වගේම අපූරු තැනක් ඕනෙමයි!දැන් බිත්තිය නම් හොඳටෝම පිරිසිදුයි. ඒත් බිම ඔක්කොම අපිරිසිදුයි. හැඩි වෙලා. මේ පරණ පිදුරු වලට මොනවා හරි කරන්න ඕනෑ අපි"

"අහා, ඒක මං කරන්නම්" ඔන්න ෆ්‍රෑන්ක්ලින්ගේ සීයා ඉදිරිපත් වුනා ඒ වැඩේට.

"පහුගිය අවුරුදු පනහටම මට මේ පරන පිදුරු අයින් කරන්න ඕනෙ වුණා, දැන් නම් ඒව අයින් කරන්න පටන් ගන්න තරම් හොඳ හේතුවක් තියෙනව!"

ඊළඟට සීයා පරණ පිදුරු සේරෝම අයින් කරල හැම තැනටම අලුත් පිදුරු ඈතිරුවා.

වැඩ සියල්ල අහවර උනාට පස්සෙ හැමෝම සතුටු වුණා තෑගි දිනූ චිත්‍ර පිරිසිදු වටපිටාවත් එක්ක බොහොම ලස්සනට පෙනෙන බව ගෙදර උදවිය හැමෝම පිළිගත්තා.

"ඒත් මේ තිර රෙදි!" ඔන්න එකපාරටම් ෆ්‍රෑන්ක්ලින් ගේ අම්මා මතක් කළා.

"අපිට ඒව පිරිසිදු කරන්න ඩිංගක්වත් මතක් වුණේ නෑනේ. මං දැන්මම ඒවාත් සෝදලා දමන්නම්"

එහෙම කියූ අම්මා තිර රෙදි ඔක්කොම ගලවාගෙන ගිහින් ඉක්මනින් බේසමට දැම්ම සෝදන්නට . ඒවා සෝදන්ට පිරිසිදු කරන්ට හුඟක් සබනුයි වතුරයි ඕනෙ වුණා.ඒ සබන් වලින් බොහොම ලස්සන පෙණ කැටිති කැටිති නැගිලා ඒවා බේසමේ හැම පැත්තෙන්ම ගිලිහෙන්ට පටන් ගත්තා. ඒක කොච්චර ලස්සනද කියනවා නම් ගෙදර දවිය හැමෝටම ඒකට පැනලා නාන්ට හිතුනා. ඒගොල්ලෝ එදා මුලු දවල් වරුවම ගත කලා බේසමේ බැහැලා නාන්ට. සෙල්ලම් කරමින්, හිනා වෙවී, බොහොම සතුටින්.

ෆ්‍රෑන්ක්ලින්ට එයාගේ පවුලේ උදවිය ගැන දැන් බොහොම සතුටුයි.ඉතිං එයා කළේ එයාගේ ඉස්කෝලේ යාලුවන් කිහිප දෙනෙකුට එයාගේ ගෙදර එන්න කියලා ආරාධනා කල එකයි. ෆ්‍රෑන්ක්ලින්ගේ අම්මා හදාපු රසම රස විස්කෝතු රස බලන්ටත්, තාත්තා හාර්මොනිකාව වාදනය කරමින් සින්දු කියනවා අහන්ටත් හැමෝටම එදා පුලුවන් වුනා.

සීයත් හුඟක් අමාරුවෙන් උනත් ෆ්‍රෑන්ක්ලින් ලා එක්ක සෙල්ලම් කරන්න එකතු වුණා. සතුටු සාදයෙන් පස්සෙ යාළුවෝ හැමෝම ෆ්‍රෑන්ක්ලින්ට කිවුවේ එයාගෙ පවුල තමයි හොඳම පවුල කියලා! ඉතිං ෆ්‍රෑන්ක්ලින්ටත් ඒකට එකඟ නොවී ඉන්න බැරිවුණා.

තව හොඳට චිත්‍ර ඉගෙන ගන්ට ඕනැයි කිලා අම්මයි තාත්තයි ෆ්‍රෑන්ක්ලින්ට කිවුවා. චිත්‍ර පන්ති යන්ටත් වුනා. ඒ වගේම ෆ්‍රෑන්ක්ලින් බොහොම ලස්සන චිත්‍ර තව තවත් ඇන්දා.එදා ඉඳලා ෆ්‍රෑන්ක්ලින් ගේ ගෙදර උදවිය බොහොම පිරිසිදුව පිළිවෙලට හිටියා.

ඒත් ඉඳහිට පවුලේ ඔක්කෝම එකතු වෙලා මඩ වලකට බැහැලා හොඳහැටි මඩ නාන්ටත් අමතක කළේ නෑ. ෆ්‍රෑන්ක්ලිනුත් එහෙමයි!

පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ලිව්වේ තුෂාරි ප්‍රියංගිකා නැන්දා
ඇන්දේ නාමලී දන්වත්ත නැන්දා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
මං සුවඳ මලක්

ඔන්න එකෝමත් එක කාලෙක කඳුකර පෙදෙසක අපූරු නිම්නයක් තිබුණා. නිම්නයක් කිවුවෙ මහ විසාල කඳු ගැට දෙකක් එකට මුණ ගැහෙන තැනක්.එතැනට හැමෝම කිවුවේ "සුරඟන නිම්නය" කියලා. ඒ සුරංගනා ලෝකයක් තරමටම එතැන ලස්සන හන්දා. නිම්නය දිගේ පහලට පහලට වංගු වලින් වක ගැහි ගැහි ගලන ගඟක් තිබුණා. ගඟේ වතුර හිමිදිරියේ දි ලා නිල් පාටයි. ඈත කඳු මුදුන් වලට මුවාවෙලා ඉර ඇවිත් එබෙනකොට ගඟට කොයි තරම් නම් සතුටක් දැනෙනවද කිවුවොත් එයා කරන්නේ නිල් පාට මකලා දාල ඉක්මනින්ම ඉර එළියේ රිදී පාට ඇඳගන්න එක. ඊටපස්සෙ හෙමින් මුමුණ මුමුණ සතුටින් පහළට ගලාගෙන යන එක.

ගඟේ ගීතය බොහොම මිහිරියි. අහන ඕනෑම කෙනෙක් ගෙ හිත සතුටින් පිරෙනවා. ඉතිං හැමදාම ගලන ගඟ කියන සින්දු අහන්න පුංචි මල් දහස් ගණනක් අහල පහළ කඳු ගැටිති වල පිපෙන්ට පටන් ගත්තා.
කඳු මුදුනෙත්..බෑවුමෙත්...පහළ තණ බිමෙත්..ඉවුර ළඟත්..හැමතැනම..හැම තැනම..

ඒ මල් නිකම්ම පිපුණේ නෑ.පාට පාටිනුයි පිපුණේ. අපූරු හැඩයන් වලිනුයි පිපුණේ. ලොකු පොඩි තරමට පිපුනේ. සමහර මල් පුනීලයක් වගේ..සමහර මල්..රවුම්...වටකුරුයි...සමහරක් සමණල්ලු වගෙයි... තවත් සමහරක් සීනු වගෙයි... සමහරක් පිඟානක් වගෙයි, පැතලියි...තවත් සමහරක් හීනි නලයක් වගෙයි..

රිදී ගඟ ගලාගෙන යන රිද්මයට මල් හුලඟේ නැටුවා, ඔලු ගෙඩි දෙපසට සොලවමින්. කොච්චර නැටුවත් මල් වලට කවදාවත් මහන්සි දැනුනේ නෑ.

මේ ලස්සන ගං ඉවුරේ ඈත තැනක, ගඟේ ඉවුර අද්දරම පාසි බැඳුණු තැනක මලක් පිපිලා තිබුනා. තනිවම. ඒ මල සුදුපාටයි. පුංචියි. ලස්සන හැඩයක් වත් පාටක් වත් එයාට නෑ කියල එයා දකින කෙනෙක් කියන්ට පුලුවනි. ඒත් හුඟක් සුවඳයි.

හැමදාම රිදී කිරන පෙරන්නට ඉර එබෙනවාත් එක්කම ඒ මල ඇහැරුණා. රෑ කාලයේ ඇවිදින් සීතලෙන් එයාව ගුලිකරගෙන උන්නු පිණි කැට පොරෝනාව අයින් කරලා ඉරේ උණුසුම විඳගන්නට එයා ඔක්කොම පෙති දිග හරිනවා. එතකොට හීනියට රැස් කෙඳි එක එක ඇවිත් හෙමින් එයාගේ මල්පෙති සිපගන්නවා. ඉතිං පුංචි මල සතුටින් හිනා වෙනවා.

දහවල උදා උනාම ඉර කඳු ගැටිති ඉහලින් ඇවිත් බලන් ඉන්නවා, "සුරඟන නිම්නයේ" ලස්සන. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ. තව තව බලන්නටමයි ඕනෑ වෙන්නෙ. ඒතරම් ලස්සනයි. කියල නිම කරන්න බැරි තරම් ලස්සනයි.ඉර මුදුනට ආවම රැස් කෙඳි ඩිංගක් සැර වැඩියි.පුංචි මල් වලට ඒක අමාරුයි. ඔන්න එතකොටම ඈත කොහෙදෝ තැනක ඉඳන් හුළඟක් ඇවිදින් හමා ගෙන යනවා. ගඟට උඩින්, මල් ගොමු වල හැපි හැපි, මල් නටව නටව,කඳු වළල්ල වටේ දුවමින් රිද්මයට කැරකෙනවා.දහවලේ ඇවිත් මල්පෙති කිති කවන, තාලයට මල් එක්ක නටන හුළඟ තියෙන තාක් කල් පුංචි මලට පාලුවක් දැනුනෙම නෑ.එයා උන්නේ බොහොම සතුටින්.

රෑ කාලය ආවම හැමදේම කළුවරේ නොපෙනී යනවා. තරු කැට එක දෙක ඉහළ අහසින් එබී බලන්ට පටන් ගන්නවා.ගඟ දිය රැළි නග නගා තරු එළියේ නැලවිලි සින්දුවක් කියනවා, නොනවත්වාම. මහන්සියක් නැතුවම.ඔන්න එතකොටම පිණි බිංදු එක දෙක අහසින් පහළට රූටලා ඇවිත් පුංචි මලට පොරෝනාවක් වෙනවා. ඉතිං මල සීතල පිනි පොරෝනාවට ගුලි වෙලා සතුටින් නින්දට යනවා.

ඔහොම කාලය ගෙවී ගෙන ගෙවී ගෙන ගියා. පුංචි මල ඒ හැමදවසකම බොහොම සතුටින් උන්නා. එයා හිතුවා එයා තමයි මුලු ලෝකෙන්ම වඩාත් සතුටින් ඉන්නෙ කියලා. එහෙම හිතෙන හිතෙන වාරයක් ගානේ හුළඟේ නැලවෙවී තව තවත් නටන්ට පටන් ගත්තා.

ඔන්න දවසක් එයා දැක්කා "සුරඟන නිම්නය" හැඩ කරන්ට සමණල් රංචු රංචු ඇවිත් ඉන්නා හැටි.උන් එක එක පාටයි. හරියටම දේදුන්නක් පායලා වගේ.ඒත් එක්කම ඈට ඇහුණා "ගුමු ගුමු" හඞක්. ඈ වටපිට බැලුවා.ඔන්න එතකොටයි ඈ දැක්කෙ කහයි කලුයි ඇඳුම් ඇන්ද මී මැසි රංචු රංචු පෙළින් පෙළට නිම්නයට එන හැටි. ඈ පුදුමයෙන් බලන් හිටියා.

ඔන්න දැන් ඒ හැම සමනලයෙකුම, හැම මී මැස්සෙකුම නිම්නයෙ පිපුණු හැම මලකට ඉගිලි ඉගිලි සින්දු කියනවා. නටනවා. සතුටු වෙනවා. ඉතිං පුංචි මලත් බලාගෙන උන්නා. මී මැස්සන් සමනලයින් ඈ බලන්ට එයි කියලා. ඒත් කවුරුවත් ඈ අසලට ආවේ නැහැ. කාටවත් ඈ පෙනුනේ නෑ.
මලට දුක හිතුනා.


"අද නැතත් හෙට එයි ඒගොල්ලො" පුංචි මල එයාට මුමුණා ගත්තා.

රැය ගෙවුණා. දහවල උදා වුනා.ඔහොම කාලය ටිකෙන් ටික ගෙවී ගෙන ගෙවී ගෙන ගියා. ඒත් එක මී මැස්සෙක්වත් සමනලයෙක් වත් ආවෙ නෑ.

මලට දුක හිතුනා.කොච්චර ඈට දුක හිතුනද කියනවා නම් ඇගේ ලා රෝස පාට මල්පෙති කම්මුල් කඳුලු වලින් පෙඟිලා මැලවිලා යනතුරුම ඈ ඇඩුවා. දින ගණනක් ඇඩුවා.අඞලා අඞලා පිනි පො රෝනාවට ගුලි වෙලා නින්දට ගියා.

ඔන්න මේක බලන් උන්න පුංචි සුරංගනාවියක් හෙමින් පහළට ආවා.එයාට මල ගැන හුඟක් දුක හිතුනා. ඉතිං සුරංගනාවිය ඇවිත් පුංචි මලට ආදරෙන් කතා කලා. කතා කරලා මෙහෙම කිවුවා.

" කණගාටු වෙන්නෙපා. ඔයා බොහොම සුවඳ මලක්. හුළඟ කොච්චර කැමතිද ඒ මිහිරි සුවඳ අරගෙන නිම්නය වටේ ඇවිදින්න. ඔයාගේ සුවඳින් අනෙක් හැමෝවම සතුටින් තියන්න පුලුවන් දවසක් ඒවි. පාට පරදන්න සුවඳට පුලුවනි!"

එහෙම කියලා සුරංගනාවිය නොපෙනී ගියා. මල් පොඩිත්ත හිතන්නට පටන් ගත්තා.

"ඔවු මං සුවඳ මලක්. පුංචි උනාට මට පුලුවනි ඒ සුවඳින් අනිත් අය සතුටු කරන්න..!" ඈ හිතුවා.

ඉතිං ඈ තව තවත් සුවඳවත් වුණා.


ලිවුවේ - රුවන්මලී නැන්දා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

පාන්තිර හොරෝ මොකදැයි පාන්තිර හොරෝ
පාන්තිර කන්නෙ මොකටද පාන්තිර හොරෝ
පාන්තිර බඩේ හිරවෙයි පාන්තිර හොරෝ
පාන්තිර බඩේ ඇවිලෙයි පාන්තිර හොරෝ

බඩගින්නට කේජු කාලා මදිවුණිද හොරෝ
බඩගින්නට ගල් ගිලලා හරියයිද හොරෝ
ගින්න නිවෙන්නේ කවද්ද පාන්තිර හොරෝ
පාන්තිර බඩේ ගින්නට ගිනි ගනියි හොරෝ

අඟුරු වගේ කලු මොකදෝ පාන්තිර හොරෝ
සුදු වෙන්නට පෙරුම් පුරන පාන්තිර හොරෝ
සුදු වේවිද ඔය ගින්නට පාන්තිර හොරෝ
අඟුරු කොහොම සුදු වෙන්නද පාන්තිර හොරෝ

සුදු විතරක් ලස්සන යැයි කීවේ කවුරුන්දෝ
කලු උනාම කැතයි කියලා කීවේ කවුරුන්දෝ
කලු නැත්තං කාක් කාක් සුදක් කොහෙන්දෝ
සුදුයි කලුයි එක වගේම ලස්සනයි හොරෝ

ලිවුවේ කේ.කේ. සමන් කුමාර මාමා


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 

එකොමත් එක කාලෙක පුංචි මී පැටියෙක් හිටියා. එයා දවසක් ගමනක් යන්න පිටත් වුණා. මී පැංචාගේ ආච්චි අම්මා එයාට මගදි කන්න කියලා කැවුම් ටිකකුත් හදලා දුන්නා. ඊට පස්සෙ ආච්චි අම්මා දොරකඩට යනකම් මී පැංචත් එක්ක ගිහින් එයාගේ ගමනට ආශිර්වාද කළා.

මී පැංචා හිමිදිරි පාන්දර ගමනට පිටත් වෙලා ගියායින් පස්සෙ ආයිමත් ගෙදර ආවේ හොඳටෝම හැන්දෑ වෙලා.

"ආච්චි අම්මේ..." මී පැංචා කෑ ගහගෙන ගෙට ගොඩ වුණ ගමන් අත් දෙක ඔසවාගෙන මෙහෙම කිවුවා.

" මට තමයි මේ කැලේටම ඉන්න ශක්තිමත්ම, දක්ෂම, නිර්භීතම එක්කෙනා."

"පුතා කොහොමද එහෙම කියන්නෙ" ආච්ච් අම්මා ඇහැවුවා.

"ආච්චි අම්මේ මම ඇවිදලා..ඇවිදලා ගිහින් මුහුදක් ලඟ නතර වුණා. ඒක ගොඩාක් ලොකු මුහුදක්.ඒ මුහුදේ ගොඩාක් ඉහළට රැල්ල ගහනවා. ඒත් මම චුට්ටක්වත් බය වුණේ නැහැ. මං රැල්ලට උඩින් පැනලා පිහිනලා එගොඩ වුණා.

"හා..හා..මම දන්නවා ඔය කියන මුහුද" ආච්චි අම්මා යන්තමින් සිනා සී කිවුව.

" ඔය කියන මුහුද පිණි මුවෝ දුවපු අඩි පාරක්. ඒ අඩි පාරේ වතුර පිරුණාම පුතාට ඒක මුහුදක් වගේ පේන්න ඇති""

මී පැංචා ආයිමත් කතාව පටන් ගත්තා.

"ඉතිං ආච්චි අම්මේ.. මම තව ටික දුරක් ගියා. ඔහොම යනකොට යනකොට මහ ලොකු කන්දක් හමුවුනා. අයියෝ..ඒක නම් හරිම ලොකු කන්දක් ආච්චි අම්මේ. ඒ කන්ද උඩ තිබුණු ගස් වළාකුළු වල ගෑවෙන තරම් උසයි."

"පුතා ඔය කියන කන්ද ගැනත් මම හොඳට දන්නවා""

ආච්චි අම්මා සිනා සෙමින් කිව්වා.

"පුතා ඔය කියන කන්ද මඩ කඩිත්තක් ලඟ වැවිලා තියෙන තණ පඳුරක්.

මී පැංචා එයාගේ ඊලඟ හපන්කම ගැනත් කියාගෙන ගියා.


"ආච්චි අම්මේ...මං ඉතිං ඔහොම යනකොට වලසුන් දෙදෙනෙකුත් මුණ ගැහුණා. එක වලහෙක් සුදු පාටයි. අනෙකා දුඹුරු පාටයි. උන්දෙන්න නපුරු විදියට රංඩු කරගත්තා. මම උන්දෙන්නා මැදට පැනලා දෙන්නා දෙපැත්තට කරලා රංඩුව බේරුවා."


"වලස්සු දෙන්නෙක්. ඒ කවුද දන්නවාද පුතේ. එක්කෙනෙක් සුදු සමණලයෙක්. අනෙකා මී මැස්සෙක්."

එහෙම කියලා ආච්චි අම්මා මහ හයියෙන් හිනා වුනා.

"මයෙ පුතේ ඔයා හුඟක් පුංචි හන්දා වතුර පිරිච්ච අඩි පාර ඔයාට මුහුදක් වගේ විශාලයි. තණ පඳුර කන්දක් වගේ ලොකුයි. සමණලයයි මී මැස්සයි ඔයාට පෙනුණේ වලසුන් දෙන්නෙක් වගෙයි. හොඳයි කොහොම උනත් ඔයාගේ හැටියට ඔයා ඒ එකකින්වත් බය වුණේ නැති හන්දා ඔයා නිර්හීත ළමයෙක්. ඒ විතරක් නෙමෙයි මේ මුළු කැලේටම ඉන්න දක්ෂම ළමයා ඔයයි."

රුසියානු ජනකතාවක් ඇසුරිනි
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
රන් පාටින් දිලිසෙනා
සඳ පුංචගෙ එළියෙනා
රංචු රංචු තරු ගෙනා
කවි මල් පොකුරකි සිනා

රෑ අහසේ ගනඳුර
දුරු කරලන පෙරඹර
වාගේ හරි මනහර
පුංචි පැටව් කඩිසර

අකුරු කරන හැටි අගෙයි
දඟ නොකරන පොඩි ළමයි
සමනළ රෑනට දුවයි
මල් යායක හැඩ මවයි

ගහ කොළ සෙනෙහස බෙදයි
පිනි බිඳු සිසිලස ගෙනෙයි
සියොතුන් කැළ ගී ගයයි
වන වදුලත් හරි අගෙයි

ඇළ දොළ ගං දිය කඩිතී
පිස නංවන රැළි බිඳිතී
ලොව පුබුදන මල් පොඩිතී
දු දරුවෝ සුව බෙදතී

තුෂාරි ප්‍රියංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 

මං ........!

මං රෝස මලක් වෙන්නම්
ගේ මිදුල පුරා සුවඳ දිදී - පිපිලා හිනැහෙන්නම්
මල් මදිරා ගෙන එන්නම්
කටු ඇනිලා මට රිදුනු දාට
අම්මේ ඔබ ළඟට ඇවිත්
ඉකිබිඳ බිඳ ඉන්නම්

මං වලාකුළක් වෙන්නම්
නිල් අහස පුරා සුදු පාටට - බැබළීගෙන ඉන්නම්
වැහි වතුර ගෙනත් දෙන්නම්
ගේ පුරාම කළුවර උනාම
ඉක්මනටම පහන් තරුව
ගෙදර අරන් එන්නම්

මං මහ මුහුදක් වෙන්නම්
මුළු දවස පුරා අකීකරුව - දඟල දඟල ඉන්නම්
දුර සිතිජය මම වෙන්නම්
හැන්දෑවට ඉර ගිලුනම
අම්මේ ඔබ ළඟට ඇවිත්
ළඟම නිදා ගන්නම්

ලිවුවේ - වීරයා මාමා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
සිංදු කියන කිරිල්ලි

ඔන්න එකමත් එක රටක ගඟක් අද්දර ගහක ලස්සන පුංචි කිරිල්ලියක් හි‍ටියා. ඒ කිරිල්ලිගේ නම කවුරුවත් දැනගෙන හිටියේ නෑ. හැමදාම උදේ පාන්දර රත්තරන් පාටට ඉර පායන කොට කිරිල්ලි අ‍වදි වෙලා ඉර එළිය ගැන සිංදු කිව්වා. රෑට ගඟට උඩින් හඳ පායන කොට හඳ එළිය වැටිලා රිදී පාටට බබළන ගඟ ළඟ වැලි තලාවට ඇවිත් සිංදු කිව්වා.

එක දවසක් මේ ගඟ ළඟට යුද්ධෙට ගිහින් එන සොල්දාදුවෙක් ආවා. ඔහු හිටියෙ බොහොම කණගාටුවෙන්. සොල්දාදුවා ගඟ ළඟ ඉඳගෙන තමන්‍ටම කතා කරන්න පටන් ගත්තා.

“මදෑ ඉතින් වැඩක හැටි...රට වෙනුවෙන් යුද්ධෙට ගියා. ගෙදර එනකොට දෙමව්පියෝ මැරිලා...නපුරු සහෝදරයෝ ගෙවල් දොරවල් අයිති කරගෙන මා එළියට දැම්මා.

දැන් ඉතින් මහ පාරේ මැරිලා යන්න තමයි වෙන්නේ....” ඔහු බොහොම දුකින් සුසුම් ලෑවා.

පුංචි කිරිල්ලි මේක අහගෙන හිටියා. ඇයට බොහොම දුකයි. ඇයට ඕන වුණා සොල්දාදුවාව සනසන්න. පුංචි කිරිල්ලි පහළට පියඹලා ඇවිත් සොල්දාදුවාවගේ උරහිසේ වහලා ගී කියන්න පටන් ගත්තා. හරිම පුදුමයක්.... සොල්දාදුවාවගේ දුක අඩුවෙන්න පටන් අරගෙන බොහොම සතුටින් කිරිල්ලි එක්ක ගී කියන්න පටන් ගත්තා.

පහුවදා උදේ කිරිල්ලියට ආයුබෝවන් කියලා සොල්දාදුවා නගරයට ගියා. එහෙදි රැකියාවක් හොයාගෙන බොහොම ලස්සන තරුණියක් විවාහ කර ගත්තා.

ඔහොම කාලයක් යද්දි මේ දෙන්නට හොඳ ලස්සන පුතෙක් ඉපදුණා. මේ හුරුබුහුට් දරුවට අම්මයි තාත්තයි පණ වගේ ආදරෙයි. ඔන්න ඉතින් මේ විදිහට අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා.දැන් දරුවා තරමක් ලොකුයි. දුව පැන ඇවිදිනවා. දවසක් පුතා තාත්තාගෙන් අමුතු දෙයක් ඉල්ලුවා.

“තාත්තේ, මට සිංදු කි‍යන කුරුල්ලෙක් ගෙනත් දෙන්න.”

“අනේ පුතේ, කුරුල්ලෝ ඉන්නෙ කැලේ...ඒගොල්ලො එන්නෙ නෑ අපට සිංදු කියන්න.”

සොල්දාදුවා එහෙම කිව්වත් ළමයව සනසන්න බැ. ඔහු කුරුල්ලෙක්ම ඉල්ලනවා. සොල්දාදුවාට ගී ගයන කිරිල්ලි මතක් වුණා.

“ හා හොඳයි, මම ගෙනත් දෙන්නම්” කියලා ඔහු හිස් වැසුමයි, සපත්තු දෙකයි දාගෙන පිටත් වුණා.

ගං ඉවුරට ආපු සොල්දාදුවා මුල් දවසේ වගේම දුක කියන්න පටන් ගත්තා. මේක ඇහුණු කිරිල්ලි පහළට පියඹලා ඇවිත් සොල්දාදුවාවගේ උරහිසේ වැහුවා.

“අනේ කිරිල්ලියේ, නුඹ මා එක්ක නාවොත් මගේ සුරතල් පුතා දුක් වෙලා ලෙඩ වේවි...” සොල්දාදුවා කණගාටු වෙනවා.

පුංචි කිරිල්ලිට දුක හිතුණා. ඇය කැමති වුණා සොල්දාදුවා එක්ක යන්න. ඔන්න ඉතින් සොල්දාදුවාට බොහොම සතුටුයි. දෙන්නා එක්ක තණ බිම් මැදින්, මහ කැළෑ පහුකරගෙන,අතරමගදි මුණ ගැහුණ වෘකයින්ට ආචාර කරලා ගෙදර ආවා.

පුංචි දරුවා කිරිල්ලිව දැකලා සතුටු වෙලා නටන්න පටන් ගත්තා. කිරිල්ලියත් ගී ගයනවා...ගෙදර උත්සවයක් වගේ.

එදා පටන් පුංචි කිරිල්ලිය ගී ගයනවා. එහෙම ලස්සනට කවුරුවත් කවදාවත් ගයලා නැ.

ඒ ගී හඬට සොල්දාදුවාගෙ ගෙවත්තෙ අමුතු ලස්සන මල් පිපුණා. කුරුල්ලෝ ඇවිත් වත්ත පුරා නැටුවා. පාට පාට සමණල්ලු ඇවිත් දේදුන්නක් වගේ පෑව්වා. මල් වැහි වැහැලා මල් උඩ පිණි බින්දු තිබ්බා. දරුවා කිරිල්ලියට බොහොම ආදරේ වුණා. කන්නෙත්,සෙල්ලම් කරන්නෙත්, නිදා ගන්න යන්නෙත් කිරිල්ලි එක්ක.

මේ නිසා සොල්දාදුවාගෙ බිරිඳ අමනාපයට පත් වුණා. පුතා තමන්ට ආදරේ නැතිව කිරිල්ලියට ආදරේ වීම නිසා ඇය කිරිල්ලිය එක්ක තරහ වුණා.

“මේ කිරිල්ලිය මරන්න ඕනේ.” ඇය නපුරු සිතින් කල්පනා කළා. රෑ එළි වෙනකම් ඉඳලා ඇය මේ අදහස සොල්දාදුවාට කිව්වා. සොල්දාදුවා මුලින් කෝප වෙලා ඊට පස්සෙ කණගාටු වුණා. ඔහු බිරිඳට බොහොම ආදරෙයි. කිරිල්ලියටත් ආදරෙයි.

“මරන්න බැහැ. මම ඇයව ආපහු ගිහින් දමන්නම්.” සොල්දාදුවා කිව්වාම බිරිඳ කැමති වුණා.

එදා රෑ දරුවා නින්දට ගියාම සොල්දාදුවා කිරිල්ලිය අරන් යන්න පිටත් වුණා. යන ගමන් ඔහු කණගාටු වෙනවා. සුසුම් හෙළනවා. කිරිල්ලිය ගං ඉවුරේ තියපු සොල්දාදුවා ආපහු ආවා.

පුංචි දරුවා කිරිල්ලිය ඉල්ලලා අඬා වැටුණා. මොනවා කිව්වත් පලක් වුණේ නෑ. දරුවා නොකා නොබී අඬලා ටික දිනකින් ලෙඩ වුණා. බේත් හේත් කළා. අන්තිමට නගරයෙන් ආ වෙද්දු කල්පනා කරලා, ඔළුව වනලා “ කරන්න දෙයක් නෑ” කියලා යන්න ගියා. බිරිඳත් සොල්දාදුවාත් අඬමින් වැළපෙමින් දෙවියන් යැද්දා. දරුවා කතා කළේවත් ඇස් ඇරියෙවත් නෑ.

බිරිඳ අඬ අඬා සොල්දාදුවාට මෙහෙම කිව්වා.

“මේ හැම දෙයක්ම මගේ මෝඩකම නිසයි. ඔයා ගිහින් පුංචි කිරිල්ලිය එක්කන් එන්න.”

සොල්දාදුවා දුර ගෙවලා ගිහින් ගං ඉවුරට ගිහින් හිස පාත් කරගෙන හිටියා. පුංචි දරුවා ගැන අහපු කිරිල්ලිය බොහොම කණගාටුවට පත් වෙලා ආපහු ගෙදර එන්න කැමති වුණා.

එනකොට ගෙදර බොහොම පාළුයි. දරුවා හුස්ම ගන්න හඬවත් ඇහෙන්නේ නෑ. හැම දේම නිහඬයි.

පුංචි කිරිල්ලිය දරුවාගේ ලය මත ඉඳගෙන ගී ගයන්න පටන් ගත්තා. ඒ තරම් දුක්බර ගීතයක් ලෝකයේ කිසිම මිනිහෙක්වත් කුරුල්ලෙක්වත් කවදාවත් ගයලා නෑ. ඒ ගී අහන් ඉන්න අය අඬන්න පටන් ගත්තා. කිරිල්ලිය රෑ එළි වෙනකම් ගැයුවා. මිනිස්සු අඬලා වෙහෙසට පත්වෙලා නින්දට වැටුණා.

ඉර පායන කොට දරුවා ඇස් ඇරලා “අම්මේ” කිව්වා.

ඔන්න දැන් හරිම කළබලයක්. හැමෝටම බොහොම සතුටුයි. මිනිස්සු එකිනෙනා වැළඳගෙන සතුටු වෙනවා. පුංචි දරුවාට සුව වෙලා.

සොල්දාදුවා කිරිල්ලිය දිහා බැලුවා. රෑ එළි වෙනතුරු ජීවිතයේ දුක්බරම ගීතය ගැයූ ඇය දරුවාගේ ලය මතම ලය පැලී මිය ගොස් හිටියා.

මිනිස්සු දුක් වුණා....නගරයේ වීණාකාරයො වීණා වැයීම නතර කළා. සැණකෙළි නැවතුණා.... ඉර වළාකුලක හැංගුණා... කුරුල්ලෝ ගොළු වුණා... මල් බිමබලාගෙන ඇඬුවා.....

මිනිස්සු පුංචි කිරිල්ලියව ඇගේ රන්වන් පාට ගං ඉවුරේ තැන්පත් කළා. දරුවා ඇගේ සිරුර ළඟ දණ ගසාගෙන අඬද්දී වැටුණ කඳුළු ගඟට වැටිලා ග‍ෙඟ් වතුර රිදී පාට වුණා.

කාලය ගතවුණා. පුංචි දරුවා වැඩුණු මිනිසෙකු වී කවියෙකු බවට පත් වුණා.... ඔහුට කවි ලියන්න ඕනෑ වූ විට ඒ ගං ඉවුරේ ඉඳගෙනයි ලියන්නේ...කවියාට රිද්මය දෙන්නේ පුංචි කිරිල්ලියගේ ආත්මය බවයි මිනිස්සු කියන්නේ.

අදටත් හඳ එළිය තියෙන දවසට ඒ ගං ඉවුරෙන් ලස්සන ගීතයක් ඇහෙනවා... ඒ වෙලාවට සුළඟ නවතිනවා.....වනන්තරය ගොළු වෙන‍වා......ගඟ නිහඬ වෙන‍වා....


ඒ ගීතය ඒ තරම්ම මිහිරියි...........


ලිව්වේ :වසිලිස්සා
චිත්‍ර ඇන්දේ : නම නොකියූ සුරංගනාවියක්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ලිව්වේ: තුෂාරි ප්‍රියංගිකා නැන්දා
ඇන්ඳේ : නාමලී දන්වත්ත
නැන්දා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 

පැන්ඩා බබෝ උන්ඩි වෙලා මොකද කරන්නේ
කොළ උණ කාලා නැතුවද උගුර කසන්නේ
උණ ගොබ මාලුව කොහොමද රසට උයන්නේ
පැන්ඩා අම්මා දන්නෙ නැද්ද අමුවෙන් කන්නේ


උණ ගස් සේරම කාලා කොහොමද පැන්ඩෝ
වෙසක් එකට කූඩු අපිට කොහෙන්ද පැන්ඩෝ
කූඩු හදන්නට උණ බට ඕනෑ පැන්ඩෝ
එකක් දෙකක් මග ඇරලා කන්ඩකො පැන්ඩෝ


ලිවුවේ - කේ.කේ. සමන් කුමාර මාමා

මෙන්න පැන්ඩා බබාලගෙ වැඩ!



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Labels: | | edit post
Reactions: 
පුංචි හඳහාමි උන්නෙ අඞ අඞ.

ඈ කොච්චර හයියෙන් කෑ ගහලා ඇඩුවද කියතොත්, ඒ අසලින් පා වෙලා ගිය පුළුන් වළා රොදක් ගමන නවත්වලා මෙහෙම ඇහුවා.

" හඳ හාමියේ, හඳ හාමියෙ මේ හැටි අඞන්නෙ මොකටද?" කියලා.

" මූදට උඩින් එබුනම මට මගේ මූණ පෙනෙන්නෙ නෑ" කියලා හඳහාමි උත්තර දුන්නා අඞ අඞම.

" අපොයි ඒකටද?"

" ඔයාගෙ මූණ හුඟක් මැලවිලා. ඇයි ඔයා කහපාටින් දීප්තිමත් වෙන්නෙ නැත්තෙ? අන්න එහෙම වුනොත් ඔයාට පුළුවනි මුහුණ ආයෙත් දකින්න මූදෙන්" වළා රොද කිවුවා.

ඔන්න ඒ පාර හඳ හාමි එයාගේ මූණෙ එළිය මලානික සුදුපාට මකලා දාලා දීප්තිමත් කහපාටින් සරසා ගත්තා.

ඊ ළඟට අහස උඩින් පායාගෙන ගිහින් මූදට ඉහළින් එබිලා බැලුවා.

ඒත් ඇයට ඇගේ මුහුණ දකින්න ලැබුණෙ නැහැ.ඉතිං ඔන්න ඈ ආයෙත් අඩන්ටයි වැලපෙන්ටයි පටන් ගත්තා.

ඈ කොච්චර හයියෙන් කෑ ගහලා ඇඩුවද කියතොත් වැහිපොද ගැහිල්ල නතර කල වැස්ස නැවතිලා මෙහෙම ඇහුවා.

"හඳ හාමියේ, හඳ හාමියේ අඩන්නෙ මොකටද?"

" මූදට උඩින් එබුනම මට මගේ මූණ පෙනෙන්නෙ නෑ" හඳහාමි වැළපෙමින් කියා සිටියා.

"එහෙම වෙන්නෙ ඔයා හුඟක් පොඩි හින්දයි.ඇයි ඔයා ඉක්මනින් ලොකු වෙලා රවුම් වෙන්නෙ නැත්තෙ? එතකොට ඔබට ආයෙත් පුළුවනි මුහුද ඇතුලෙන් මූණ දකින්න."

ඔන්න ඉතිං හඳ හාමි දවස් කීපයක් බලාගෙන හිටියා, එයා ඉක්මනින් ලොකු වෙන තුරු. රවුම් වෙනතුරු.

ඊ ළඟට අහස උඩින් පායාගෙන ගිහින් මූදට ඉහළින් එබිලා බැලුවා.

ඒත් මුහුද ඇතුලෙන් ඇගේ මූණ දැකගන්න ඈට බැරි වුණම, ඈ ආයෙත් අඞන්ට පටන් ගත්තා.

ඈ කොතරම් හයියෙන් ඇඩුවාද කියතොත් ඈ පසුකරගෙන යමින් සිටි ගිගිරුම් රාළත්, අකුණු හාමිනේත් ගොරවන එකයි විදුලි කොටන එකයි නවත්වලා මෙහෙම ඇහුවා.

"හඳහාමියේ, හඳ හාමියේ මොකටද මේ අඞන්නේ?"

" මූදට එබුනම මගෙ මූණ පෙනෙන්නෙ නැති හින්දා" ඈ වැලපෙමින් ම උත්තර දුන්නා.

"එහෙම වෙන්නෙ ඔයාගේ මූණෙ එළිය අඩු හින්දයි.ඇයි ඔයාගේ එළිය වැඩිකරගන්න මහන්සි නොවෙන්නෙ? එහෙම වුණොත් යස අපූරුවට මූණ පෙනෙයි මූද මැදින්."

ඔන්න ඉතිං ඈ මුහුණ වඩ වඩාත් දීප්තිමත් කරගත්තා.

ආයෙමත් අහස උඩින් පායාගෙන ගිහින් හෙමින් මූදට ඉහළින් එබිලා බැලුවා.

අනේ, ඒත් ඇගෙ මූණ දැකගන්න ඈට බැරි වුනා. ඔන්න ඈ ආයෙත් අඞන්ට පටන් ගත්තා.

ඈ කොයිතරම් හයියෙන් ඇඩුවාද කියතොත් ඈ පසුකරගෙන යමින් හුන් දේදුනු නැන්දා දේදුනු පාට ඔක්කොම රැළි කරලා වක ගැහිලා කාරුණිකව මෙහෙම ඇහුවා.

"ලස්සන පුංචි හඳහාමියේ, මේ හැටි අඞන්ට තරම් කාරණාව මොකද්ද?"

" මූදට උඩින් එබුනම මට මගේ මූණ පෙනෙන්නෙ නෑ" පුංචි හඳහාමි අඞමින්ම උත්තර දුන්නා.

"ඔයාගෙ මූණ නොපෙන්නෙ ඇයි කියලා දන්නවද?" ඔන්න දේදුනු නැන්දා පුංචි හඳහාමිගෙන් ඇහුවා.

"නෑ. මං දන්නෙ නෑ." හඳහාමි කිවුවා.

"මූද රළු හින්දා"

"ඇත්තටම?"

"ඔව්. ඇත්තටම!" දේදුනු නැන්දා කියා සිටියා.

"ඉතිං මං මොකද කරන්නෙ?"

"ඔයාට කරන්න තියෙන්නෙ මූදට අධිපති දෙවියන්ට කතා කරන එකයි. එයාට කතා කරල කියන්න මූදු රැළි නැගෙන එකයි හුළං හමන එකයි නවත්වන්ට කියලා."

"ස්තුතියි නැන්දේ"

"ඒක මං මේ දැන්ම කරන්නම්" හඳහාමි සතුටින් කෑ ගහලා කිවුවා.

වළාකුළයි, වැස්සයි, අකුණු යි, ගෙරවිල්ලයි හැමෝම පැත්තකට වෙලා බලාගෙන හිටියා. පුංචි හඳහාමි මූදට කතා කරලා මෙහෙම කිවුවා.

මහ මූදේ දෙවියනි
රැළි නගනා දෙවියනි
පෙන්නා ඔබෙ බලය අපට
කියනවාද මහ මූදට
රැළි නොනගා නිහඩ වෙන්ට
මූද උඩින් එබී බලා
මගේ මූණ දැකගන්නට
සතොසින් මට හිනැහෙන්නට

ඊලඟට, පුංචි හඳහාමි අහස උඩින් පායගෙන ගිහින් මූදට උඩින් එබිලා බැලුවා ආයෙත්.

ඔන්න එතකොට දෑක්කා ඇගේ දීප්තිමත් කහපාටින් දිලිසෙන, ලොකුම ලොකු රවුම් මූණ මූද මැදින් එයාට හිනාවෙන හැටි.

"මට මාව පෙනෙනව මූදෙන්!" අන්තිමේදී ඈ සතුටින් කෑගැහුවා.


ලිවුවේ - කැතරිනා එම්. සහ ටී. කෙම්ප් ඇන්දේ - හෝ ඉහි ඔ
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails