බබූ බබා කියලා පුංචි හිවල් පැටියෙක් හිටියා. දවසක් මේ හිවල් පැටියා කම්මැලිකමෙන් එයාගේ කාමරයේ ඇඳ උඩට වෙලා ඉඳගෙන හිටියා. බබූ බබාට ලොකු තනිකමක් පාළුවක් දැණුනා.

ඔන්න එකපාරටම බබූ බබාට අදහසක් ආවා.

”දන්නවාද... මට යාළුවෙක් ඕනෑ....”
 
ඇඳෙන් බිමට පැනගත් බබූ බබා එයාටම කියා ගත්තා. ඊටපස්සෙ සමනල්ලූ අල්ලන්න යන්න හිතාගෙන, දැලකුත් අතට අරගෙන එයාගෙ අම්මා ළඟට ගියා.


”අම්මා මම යනවා යාළුවෙක් අල්ලගන්න”

”යාළුවෝ අල්ල ගන්න බැහැ. යාළුවෝ හදාගන්නයි ඕනෑ..”

අම්මා බබූ බබාට තේරුම් කරල දුන්නා. අම්මගෙ ඔවදනට කීකරු වුණ බබූ බබා දැල පැත්තකින් තියලා, යාළුවෙක්ව හදාගන්න එළියට බැස්සා.

”කොහොමද මට යාළුවෙක්ව හදාගන්න පුළුවන් ?”

බබූ බබා එයාගෙන්ම අහන ගමන් වට පිට බැලූවා. එතකොට එයා දැක්කා කෝටු කෑලි වගයක් බිම වැටිලා තියෙනවා. ඇපල් ගෙඩි දෙන තුනකුත් කඩා ගත්ත බබූ බබා, තැනින් තැන අහුල ගත්ත ඇට වර්ගත් උදව් කරගෙන යාළුවෙක්ව හදන්න පටන් ගත්තා.

බබූ බබා කෝටු කෑලි දෙකක් දෙපැත්තට විහිදෙන්න තියලා ගැට ගැහුවා. කෝටු කෑලි දෙක මැදට තව කෝටුවක් එකතු කළා. ඊට පස්සෙ මැද කෝටුවට ඇපල් ගෙඩියක් සවි කළා. ඇපල් ගෙඩියට ඇට වර්ග වලින් ඇස් දෙකකුත් දීලා, යාළුවගේ හැඩ වැඩ බැළුවා.


”ඔයා මගේ යාළුවද ?”

බබූ බබා එයා හදපු යාළුවගෙන් ඇහුවා. ඒත් යාළුවා කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

”ඔයා එනවද මා එක්ක සෙල්ලම් කරන්න ?”

බබූ බබා ආයෙමත් ඇහුවා. නමුත් උත්තර දෙනවා තියා යාළුවා හෙලවුණේවත් නෑ.

”සමහර විට මම හදපු යාළුවා ගොඩක් පුංචි ඇති.. මීට වඩා ලොකු යාළුවෙක් හැදුවනම් හරි මම..”

බබූ බබා එයාටම කියා ගත්තා. එතකොටම එයාව පහු කරන් යන හාවෙක් දැක්ක බබූ බබා හාවට කතා කරා.

”හාවෝ.... මම මේ යාළුවෙක්ව හදන්න උත්සහ කරනවා.. මම ඉස්සෙල්ලා හදපු යාළුවා පොඩි වැඩියිනේ.. ඔයාට පුළුවන්ද මට ලොකු යාළුවෙක්ව හදන්න උදව් වෙන්න ?”
 
”පුළුවන්.. පුළුවන්..” හාවා උත්තර දුන්නා.


ඉතින් ඊට පස්සෙ දෙන්නම එකතුවෙලා මහත කෝටු කෑලි, තක්කාලි, ඇට වර්ග, සහ ලොකුම ලොකු රාබු ගෙඩියකුත් හොයාගෙන ලොකු යාළුවෙක් හැදුවා.


”ඔයා අපේ යාළුවා වෙනවද ?”

දෙන්නම එයාලා හදපු යාළුවාගෙන් ඇහුවා. ඒත් යාළුවා නම් කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

”ඔයා එනවද අපිත් එක්ක සෙල්ලම් කරන්න ?”

ඒපාරත් යාළුවා උත්තරයක් දෙනවා තියා හෙල්ලූනේවත් නෑ.

”සමහර විට මේ යාළුවත් පොඩි වැඩි ඇති..”

හාවා කීවා. එතකොටම බබූ බබාටයි, හාවාටයි ඇහුණා ගහක් උඩින් හිනා හඬක් මතු වෙනවා. උඩ බලපු එයාලා දැක්කෙ, මෙච්චර වෙලා එයාල දිහාම බලං හිටපු ලේනේක්.

”හී.. හී.. හී.... ඔයාලා මොනවද මේ හදලා තියෙන්නෙ ?”

ආයෙමත් හිනාවෙන ගමන්ම ලේනා ඇහුවා.

”ඔයා හිතනවනම්, අපිට වඩා හොඳට ඔයාට යාළුවෙක්ව හදන්න පුළුවන් කියලා, එන්නකො ඇවිත් අපිට උදව් වෙන්නකො....”

බබූ බබා ලේනට කීවා.

”හොඳයි මමත් එන්නම්කො..” ලේනා උත්තර දුන්නා.
 
ඊටපස්සෙ තුන්දෙනාම එකතුවෙලා යාළුවෙක් හදන්න පටන් ගත්තා.

ලොකු වට්ටක්කා ගෙඩියක්, දර කෑලි දෙක තුනක්, ඇපල් ගෙඩි සහ රාබු ගෙඩියක උදව්වෙන් තුන්දෙනාම එකතු වෙලා ලොකුම ලොකු යාළුවෙක් හැදුවා.


”ඔයා අපේ යාළුවාද ?”

තුන්දෙනාම එකතු වෙලා හදපු යාළුවාගෙන් ඇහුවා.

”ඔයා එනවද අපිත් එක්ක සෙල්ලම් කරන්න ?”

ඒත් කිසිම උත්තරයක් හදපු යාළුවාගෙන් එයාලාට ලැබුණෙම නෑ. කළකිරුණු බබූ බබා, හාවා සහ ලේනා ලී කොටයක් උඩ වාඩි වුණා.
 
  ”කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ.. මට කවමදාවත් බැහැ යාළුවෙක් හදාගන්න.. ” බබූ බබා දුකෙන් කීවා.


ටික වෙලාවකට පස්සෙ එතැනට ආපු බබූ බබාගේ අම්මා,

”කවුද මේ අලුත් යාළුවෝ” කියලා, බබූ බබාගෙන් ඇහුවා.

”අයියෝ.... අහන්න එපා අම්මෙ.. මම කරන්න ගිය වැඩේ හරි ගියේ නෑනේ.. අපි තුන්දෙනාම එකතු වෙලා යාළුවෝ හැදුවා.. ඒත් එයාලා කැමති නෑනේ අපිත් එක්ක සෙල්ලම් කරන්න..”

”මම ඇහුවෙ ඒ යාළුවෝ ගැන නෙමෙයි.. මේ යාළුවෝ ගැන....”

අම්මා ලේනාව සහ හාවාව පෙන්නුවා. බබූ බබා, හාවා සහ ලේනා දිහා බැලුවා. එතකොට බබූ බබාට තේරුණා එයා මෙච්චර වෙලා ඉඳලා තියෙන්නේ අලුත් යාළුවෝ දෙන්නෙක් එක්ක කියලා. ඒ සන්තෝසෙට එයාලා මුළු දවසම සෙල්ලම් කරා.

ඒ විතරක් නෙමෙයි එයාලා හොඳ යාළුවෝ වෙලා හැමදාම එකමුතුව එකට හිටියා.


කතාව සහ සිතුවම්:
ඇඩම් රෙල්ෆ්

පරිවර්තනය : මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
වංගුවෙ පොඩි ගෙදර ලොකු අඹ ගහ පාමුල පුංචි කෑම මේසයක් තිබුණා. කණුවක් හිටවලා, ඒක උඩින් ලොකු ලෑල්ලක් තියලා ඇණ ගහලා තමයි මේ විශේෂ කෑම මේසය හදලා තිබුණේ. හැම උදේකම පොඩි ගෙදර සීයත් ආච්චිත් ඇවිත් කෑම තියලා යනවා. හුඟක් වෙලාවට කෑම මේසෙ සැරසෙන්නෙ පාන්, බත්, ධාන්ය වර්ග, කෙසෙල් ගෙඩි සහ ගස් ලබු වලින්.

ඒ අහල පහල තිබුණු ඇඹරැල්ලා ගස් මුදුනක පදිංචි වෙලා හිටියා ලේන් පවුලක්. ලේන් පවුලේ හැමෝම අවදි වෙනවා උදේ පාන්දරින්ම. ඊළඟට දත් මැදලා, මූණ හෝදලා, පිරිසිදු වෙනවා. ඉන්පස්සෙ හැමෝම එන්නෙ කෑම මේසෙට.


එක දවසක් හදිසියෙම උදේ පාන්දර වංගුවෙ පොඩි ගෙදර අඹ ගහෙන් ඇහුණු කුරුළු කච කචයෙන් ලේන් පොඩිත්තො ඇහැරුණා. ඒ විතරක් නෙමෙයි, ලේන් අම්මාත්, තාත්තාත් කලබල වුණා.

කරමින් හිටි වැඩ නවත්වලා හැමෝම එළියට ආවා. දුටු දෙයින් හැමදෙනාම කලබල වුණා. පොල්කිච්චයි, පොල්කිච්චියි, කොණ්ඩ කුරුල්ලයි, කොණ්ඩ කිරිල්ලියි කෑම මේසෙට ඇවිත්. හතර දෙනාම බොහොම සතුටින් කතා බහ කර කර හිනා වෙවී කෑම රස බලනවා දැක්කම, ලේන් තාත්තට තරහ ගියා. අඹ ගහ මුදුනට ඇවිත් එයා අඩිය පොළවෙ හප්පලා කුරුල්ලන්ට කතා කරලා මෙහෙම කිවුවා.


"ඔහෙලා මොකද මෙතන කරන්නෙ? මේක අපේ කෑම මේසෙ?"

" හා..හා.. හා..! කෝ? ඔහෙලගෙ කියලා නම ගහල තියෙනවද?" පොල්කිච්චා ඇහුවා.

"නම තියෙන්න ඕනෙ නෑ. බොහොම කාලයක් තිස්සෙ අපි මෙතනයි කෑම කෑවෙ!" ලේන් අම්මා කිවුවා.

"ඉතිං, ඒකට මොකද?? අද ඉඳලා අපිත් එන්නෙ මෙතනටම තමයි. තේරුණාද ඔහේට?!" කොණ්ඩ කුරුල්ලා කිවුවා.

"අපෙ පරම්පරා ගණනාවක්ම මේ වත්තෙ පදිංචි වෙලා උන්නෙ. ඒ නිසා වැඩි අයිතිය අපිටයි" ලේන් තාත්තා තරහෙන් කිවුවා.

"අපිත් පදිංචි වෙලා ඉන්නෙ දැන් මේ වත්තෙම තමයි. ඒ නිසා දැන් ඔහෙලට විතරක් නෙමෙයි, මෙතන අපිටත් අයිතියි!" කොණ්ඩ කුරුල්ලත්, කිරිල්ලීත්, පොල්කිච්චාත්, පොල්කිච්චීත් බෙරිහන් දුන්නා.

ලේන් තාත්තාට හොඳටෝම තරහ ගිහින්, කෑම මේසේ මැද්දට පැනලා පොල් කිච්චාව තල්ලු කලා. කොණ්ඩ කුරුල්ලා ලේන් තාත්තාට හොටෙන් ඇන්නා. ලේන් අම්මා දුවගෙන ඇවිත් කොණ්ඩ කුරුල්ලාගේ තටුවකින් ඇද්දා. පොල්කිච්චියි කොණ්ඩ කිරිල්ලියි එකතු වෙලා ලේන් අම්මාගෙ නැට්ටෙන් ඇද්දා. දැන් කෑම මේසේ උඩ එකම ගාලගෝට්ටියයි. රණ්ඩුවේ සද්දෙට පොඩි ගෙදර පිල උඩ හොඳහැටි නිදා උන්න බලල් රාළත් ඇහැරුණා.

"නවත්තපල්ලා ඔය කෑගැහිල්ල. ඔන්න මං නරකයි කියන්නෙපා.මාව කේන්ති නොකර පාඩුවෙ හිටපල්ලා!"

එහෙම කියලා, ඇඟමැලි කඩලා, දිව එළියට දමලා ලොකු ඈනුමක් ඇරලා බලල් රාළ ආයෙත් නින්දට වැටුණා.
පොර බැදිල්ලයි රණ්ඩු කිරිල්ලයි නිසා කෑම ඔක්කොම බිමට වැටිලා සී සී කඩ විසිරිලා ගියා. අන්තිමේදි කාටත් කෑම නෑ.

"හෙට උදෙන්ම අවදි වෙයල්ලා දරුවනේ. හැමෝටම කලින් අපි මේසෙට යමු!" ලේන් තාත්තා පැටවුන්ට කිවුවා.

"අපි බයවෙන්නෙ මොකටද? හෙට ඉර එබෙන්න කලියෙන් අපි එතනට යන්න ඕනෑ" පොල්කිච්චා කිවුවා.

"ඔව්, බලමු කවුද දිනන්නෙ කියලා!" කොණ්ඩ කුරුල්ලා කිවුවා. ඒ කියමන හරි බව හඟවමින් පොල්කිච්චීත්, කොණ්ඩ කිරිල්ලීත් ඔළුව වැනුවා.

ඒත් පහුවෙනිදාත් කුරුල්ලන්ගේත් ලේනුන්ගේත් දබර කරගැනිල්ල නිසා කෑම අහක ගියා. කාටවත් කන්න ලැබුණේ නෑ.

ඔහොම දවස් ගණනක් ගෙවිලා ගියා. රණ්ඩු කරගැනිල්ල පුරුද්දක් වුණා. ඒ නිසා කවුරුත් සතුටෙන් උන්නෙ නෑ. හැමෝම හිටියෙ කෙන්තියෙන්, තරහෙන්, දුකෙන්. ඒ හැම දේටම වැඩියෙන් බඩගින්නෙ ඉන්නත් වුණා.



ඔන්න එක දවසක්, පුරුදු විදියට උදේ පාන්දරම පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත්, ලේන් පවුලේ උදවියත් දබරයේ පැටළුණා. අහල පහළින් පියඹාගෙන ගිය කපුටෙක් මේක දැක්කා. දැකලා,

"ඔහෙලා මේ හැටි රණ්ඩු වෙන්නෙ මොනවා බෙදාගන්න බැරුවද?" කියලා ඇහුවා.

"මේක අපි හැමදාම කෑම කාපු මේසෙ. මේ ගොල්ලො ඇවිත් ඒක අයිතිකරගන්න." ලේන් තාත්තා පැමිණිලි කළා.

"ඒ වුණාට අපිත් දැන් මේ වත්තෙ පදිංචි කාරයෝ. අපටත් අයිතියක් තියෙනවා මෙතන කෑම කන්න." පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් කියා සිටියා.

"හරි ඔහෙල කැමති නම් මං මේක විසඳලා දෙන්නම්"

මොහොතක් කල්පනා කරලා කපුටු රාළ කිවුවා.

"හරි, අපි කැමතියි" සියල්ලෝම එකහඬින් කිවුවා.

"හරි එහෙනම් මෙන්න මෙහෙමයි, මට ඔහෙලා එක්ක වෙන වෙනම කතා කරන්න ඕනෑ." කපුටා කිවුවා.

"හරි, අපි කැමතියි" සියල්ලෝම එකඟ වුණා.

ඉතින් ඔන්න, කපුටා ඉස්සෙල්ලාම ලේන් පවුල එක්ක කතා කරන්න ලේන් ගෙදරට ගියා.

"හැමදාම මෙහෙම රණ්ඩු කරන හොඳ නැහැ නෙව. මට පුලුවන් මෙහෙම යෝජනාවක් කරන්න. දවසක් කෑම මේසෙ ඔහෙලට ලැබෙනවා. ඊළඟ දවස අර කුරුල්ලන්ට... ඒ විදියට දවසක් ඇර දවසක් දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට කන්න ලැබෙනවා..මොකද කියන්නෙ?"

"එහෙම කොහොමද? අපියි හැමදාම මෙතන උන්නෙ!" ලේන් තාත්තා අමනාපයෙන් කිවුවා.

"පොඩ්ඩක් හිතලා බලන්න, හැමදාම මෙහෙම රණ්ඩු වෙන එකෙන් වෙන්නෙ දෙගොල්ලොම බඩගින්නේ ඉන්න එක. කාටවත් කෑම ලැබෙන්නෙ නෑ ඒකෙන්".

බඩගින්නෙන් මූණු මැලවුණු පැටවු දෙන්නා දිහා ලේන් තාත්තා බැලුවා.

"හා, හොඳයි! මං කැමතියි" අන්තිමේදි ලේන් තාත්තා කිවුවා.

පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් මුණගැන්න ගිය කපුටා ඔන්න ඒ විදියටම කිවුවා. අන්තිමේදි ඒගොල්ලොත් කැමති වුණා.

ඒත්, කපුටා ට තිබුනේ කපටි අදහසක්. කපුටා කුරුල්ලනුත්, ලේන් පවුලත් තරහා කරවලා රවට්ටලා, කපුටු යාළුවන් හැමෝම කෑම මේසෙට එක්කගෙන ආවා. දැන් කෑම මේසය කපුටන්ගේ.

කපුටු උපායෙන් රැවටුණු කුරුල්ලන්ටත්, ලේන් පවුලටත් දිගටම බඩගින්නේ ඉන්න වුණා.

හැම දවසකම උදේ පාන්දරින් කෑම මේසෙට එන කෑදර කපුටෝ කරන්නෙ කෑම ඔක්කොම ගිලදමන එක. ලේන් පවුලෙ උදවිය කන්න එනකොට කෑම මොකුත් නෑ. මේසය හිස්. ඔන්න එතකොට අඹ ගහේ ඉහළ අත්තක ඉඳන් කපුටා මෙන්න මෙහෙම කියනවා.

"මේ වැඩේ කරන්න බෑ. අර වංචාකාර කුරුල්ලෝ උදෙන්ම ඇවිත් ඔක්කොම ගිලලා ගිහින්..! මොනවා හරි කරන්න ඕනෑ ලේන් හාමීයේ. මට දුකයි ඔහෙලා ගැන"

“ඔව්, මේක කරන්න බෑ! ඔහේ ගිහින් කියනවා අර මෝඩ කුරුල්ලන්ට මාත් එක්ක සටනට එන්නයි කියලා. හැබැයි දිනන කෙනාට තමයි මෙතන අයිතිය ලැබෙන්නෙ" ලේන් තාත්තා කෙන්තියෙන් කියලා යන්න ගියා.

ඒ විදියටම පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් කෑම මෙසේට එන දවසට කපුටො ඇවිත් ඔක්කොම කෑම හිස් කරලා යනවා.කුරුල්ලන්ට මොකුත්ම නෑ.

ඔන්න එතකොටම කපුටා අඹ ගහේ උඩ අත්තක ඉඳන් මෙහෙම කියනවා.

"මට දුකයි ඔහෙලා ගැන. අර වංචාකාර ලේන් පවුල ඇවිත් හැමදවසකම ඔක්කොම කාලාදමනවා. මෙහෙම ඉඳලා බෑ. මොකක් හරි කරන්න ඕනෑ. ඒ විතරක් නම් මදැයි, පුළුවන් නම් සටනට එන්න කියලා පුරසාරම් දෙඩෙව්වා අර අහංකාර ලේන් ලොක්කා. මං දන්නවා ඔහෙලා දිනනවා උඩින්ම සටන් කළොත් හෙම. ඒත් ඔහෙලා එහෙම කරන උදවිය නෙමෙයි නේ" ඔන්න කපුටා කිවුවා.

ඒ කතාවෙන් පොල්කිච්චාටත්, කොණ්ඩ කුරුල්ලටත් බොහොම කේන්ති ගියා.

"නෑ. අපි සටන් කරනවා, බලමු කවුද දිනන්නෙ කියලා. හැබැයි අපි දිනුවොත් කෑම මේසෙ අපේ විතරමයි..එන්න කියනවා ඔය ලේනට" පොල්කිච්චාත් කොණ්ඩ කුරුල්ලාත් කිවුවා.

ඔන්න එහෙම කියලා සටනට දිනයක්, වේලාවක්, තැනක් නියම කරගත්තා.

කොණ්ඩ කුරුල්ලෝත්, පොල්කිච්චෝත්, ලේන්නුත් සටන් කරගන්නා අතරේ, උන්ගේ මෝඩ කමට හිනාවෙවී කපුටා තමන්ගේ කපුටු යාලුවො එක්ක කෑම මෙසේ තිබුණු රසවත් කෑම ඔක්කොම ගිල දමන්ට පටන් ගත්තා.

"දැන් මේ හැමදේම අපේ! හහ්…..හහ්….හා…..!!! මෝඩ කුරුල්ලෝ! මෝඩ ලේන්නු! කොච්චර ලේසියෙන් මං උන්ව රැවැට්ටුවද? උඹලා මරා ගනිල්ලා, අපි හොඳට සප්පායම් වෙන්නම්..!!

පුංචි ලේන් පැටවු දෙන්නා මේ හැමදේම දැක්කා. කපුටා කියපු හැමදේම ඒගොල්ලො අහගෙන උන්නා. ඒ ගොල්ලො දුවලා දුවලා ගිහින්, රණ්ඩුව මැද්දට පැනලා ඉල්ලා හිටියා රණ්ඩුව නවත්වන්න කියලා. ඊට පස්සෙ, කපුටා එගොල්ලන්ව රැවැට්ටු හැටි කිවුවා.

"ඇත්ත! අපි මෙහෙම රණ්ඩු වෙන එක මෝඩ වැඩක්. අපි හැමෝටම එකතු වෙලා සමගියෙන් කෑම බෙදා ගෙන කන්න පුළුවන්. ඔක්කොම තනියෙන් අයිතිකරගන්න ගිහින් අපිට හැමදේම නැති වුණා."

"ඒක ඇත්ත, ලේන් හාමියේ! දැන් වුණත් අපි පරක්කු වැඩි නෑ. අපි එකතු වුණොත් අපිට පුළුවන් කපුටන්ව මෙතනින් පන්නලා දාන්න"

ඔන්න එදා ඉඳලා ලේන් පවුලත්, පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් එකතුවෙලා සමගියෙන් කපුටු රැල එළවන්නට උපායක් කල්පනා කළා.

රණ්ඩු දබර ඇති තැන
සතුටක් නෑ කිසි විට
සමගි වෙලා සතුටුවෙන්න
එන්න එන්න යාළුවෙන්න

ගොඩක් බදා ගනු වෙනුවට
බෙදා ගැනුම වටී අපිට
තරම කුඩා වුණත් අතට
හිතට සතුට ලැබෙයි යසට..!!

ලියා ඇන්දේ- රුවන්මලී නැන්දා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 

මුව පැටියෝ බිය නොවන්න
මේ ගෙඩියේ රස බලන්න.


කවුදැයි, කවුදැයි පොර කා ගන්නේ
ටර්නිප් ගෙඩියට පොර කා ගන්නේ


නත්තල් ගහ පොඩි වුණාට
මේ ගෙඩියත් ඇගෙ නොවේද?


මිතුරෝ හතුරන් වෙති ඉඳ හිට
එකෙක් ගොරවති, අනිකා අනින විට.



දොන් පෙදෙසේ අශ්ව පැටව්
සර්කස්වල ගසති පිනුම්.


පැටව් දෙන්න සමගි වුණොත්
තෑගි දිනා ගන්ට බැරිද.


දිය මැස්සා රූං ගාලා
යන හැටි බලයි පුදුම වෙලා.


පින්සලින්, පැන්සලින් අඳිති,
සිත්තම් ලස්සන පාට වලින්.


අයියයි නංගියි දෙන්නම පෙන්ග්වින්
යති පාසලට උදෑසනින්.


තාත්තටත් වැඩිය ලොකුයි
ඒකට මගෙ හිත සතුටියි.
ආඩම්බර තාරා පැටිය
හිස වන වන එහෙම කියයි.


උපන් දිනට සුබ පතන්න
දුන් තෑග්ග මේ බලන්න.


අනේ අපොයි, අපෙ අසරණ
කෑම ටිකත් උදුරා ගෙන.


ගොළුබෙල්ලෝ පුදුම වෙලා
බලති වටපිට ඇස් ඇරලා.


කැමති වුණත් හැංගි මුත්තන් සෙල්ලමට
පූසට බැරිය වලිගය සඟවා ගන්ට.


ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ.


නාගන්නට වතුර ටිකක්
සෙවීම නැත ලෙසි වැඩක්.


වලිගය නිසා ආඩම්බර වුණා.
ඒක දකින විට අපහට හිනා හිනා.


පුංචි අපට නැති විට ඔන්චිලි කතුරු
කොමඩු ලෙල්ලවත් පදිමුද මගෙ මිතුරු.

ලියා ඇන්දේ - ඇලික්සේයි ලාප්තියෙව්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 

ඉස්සරෝම කාලෙක නගරයට ආසන්නයේ පිහිටි ගමක් තිබුණා. මේ ගමේ ජීවත් වුණා මහළු බට කපන්නෙක්.හැම දවසකම මහල්ලා ඈත කඳු මුදුනට යනවා බට කපන්න.එහෙම කපාගෙන එන බට වලින් වට්ටි, පෙට්ටි සහ පෙනේර හදලා, ඒවා විකුණලා තමයි ජීවත් වුණේ.

ඔන්න ඉතින් දවසක්දා මහල්ලා පුරුදු විදියටම බට කපන්නට සූදානම් වුණා. එතකොට දැක්කා එක බට ගහක් පාමුලින් අමුතු එළියක් විහිදෙනවා.

"මේක නම් හරිම අපූරු බට ගහක් තමයි!"

එහෙම හිතාපු මහල්ලා බොහොම පරිස්සමෙන් ඒ බට ගහ කපලා, ඉරන්න පටන් ගත්තා.ඔහොම ඉරාගෙන යද්දි මහල්ලාව පුදුමයට පත් කරමින් පුංචි ගැහැණු ළමයෙක් බට ගහෙන් එළියට ආවා.


"කොයිතරම් හුරතල් දරුවෙක් ද?"

මහල්ලා පුංචි ගැහැණු ළමයාව ආදරෙන් වඩා ගත්තා.

"මේ නම් දෙයියො අපිට දුන්නු තෑග්ගක්!"

පුංචි ගැහැනු ලමයා ආදරෙන් තුරුළු කරගනිමින් මැහැල්ල කිව්වා. එදා ඉඳලා මහල්ලයි මැහැල්ලයි එකතු වෙලා ඈව බොහොම ආදරෙන් හදා වඩා ගත්තා.

ඊලඟ දවසෙත් මහල්ලා ගියා පුරුදු විදියට බට කපන්න. එදත් මහා පුදුමයක් වෙමින් තිබුණා.මහල්ලා කපන කපන බට ගහක් ගානේ රන් කාසි මතු වෙන්න පටන් ගත්තා. මහල්ලාට පුදුමයි. සතුටුයි. ඔන්න වැඩි කල් නොගොස්ම මහල්ලා මහා පොහොසතෙකු වුණා.

පුංචි ගැහැණු ළමයා බොහොම ඉක්මනින් ලොකු වෙලා තරුණියක් වුණා. ඈ බොහොම ලස්සනයි.බොහොම කාන්තිමත්.ඒ හින්දා කගුයා කියලා ඈට නම තැබුවා. ඈ කොයිතරම් ලස්සනද කියනවා නම් ඒ ගැන කටකතා බොහොම ඉක්මනින්ම නගරයට පැතිරුණා. ඇගේ සිරි බලන්නට නගරයෙන් බොහෝ මිනිසුන් මහල්ලාගේ නිවසට පැමිණියා.

කගුයා කුමරිය තමාට විවාහ කර දෙන්නැයි කියමින් බොහෝ තරුණයන් මහල්ලා ඉදිරියේ සිය දෑත් එක්කරමින් ඉල්ලා සිටියා.

අව්, වැසි නොතකා තරුණයන් එහි ඇදී එන්නට පටන් ගත්තා. ඒ අතරින් තරුණයන් පස් දෙනෙකු කෙසේ හෝ කගුයා සිය බිරිඳ කරගන්නෙමැයි කියා සිටියා.ඒ ගොල්ලො බොහොම පොහොසත්, වැදගත් නිළතල දරණ අය.


"කගුයා කියන්නෙ දෙයියො මට දුන්න තෑග්ගක්. ඒ නිසා කිසිකෙනෙකුට එයාව දෙන්න මං සූදානම් නෑ" මහල්ලා තරුණයන් අමතා කියා සිටියා.මහල්ලා කොතරම් කිව්වත් තරුණයො පස් දෙනා කනකට ගත්තෙ නෑ. අන්තිමේදි තමා බොහොම අසරණ බව මහල්ලා කගුයා කුමරියට කියා සිටියා. "ඔබේ නුවණ පාවිච්චි කරලා සුදුසු කෙනෙක් ඔබම තෝරාගෙන ඉක්මනින් විවාහ වෙන්න ඕනෑ" අවසානයෙදි මහල්ලා කගුයා කුමරියට කියා සිටියා.

"එහෙනම් මේ ලෝකයේ තියෙන වටිනාම දුර්ලබම දේ සොයා ගෙනෙන තැනැත්තා ගේ බිරිඳ වෙන්නෙමි"යි කගුයා කුමරිය මහල්ලාට කිව්වා. මහල්ලා ඒ බව තරුණයෝ පස් දෙනාට කිව්වා.

පළමුවෙනි කුමාරය අමතලා එයාට කිව්වා ඉන්දියාවට ගිහින් බුදුහාමුදුරුවො දන් වැළඳු ගල් පාත්තරෙ සොයා ගෙන එන්න කියලා. දෙවැනි කුමාරයාට කිව්වා "සදාතනික තාරුණ්ය්ය" කියන දූපතට ගිහින් එහි තිබෙන රන් ගසෙහි සුදු ගෙඩි වලින් පිරුණු අත්තක් ගෙනෙන්නට කියලා. තුන් වෙනි කුමාරයාට කිව්වා චීනයට ගිහින් එහි ජීවත් වෙන ගිණි මීයකුගෙ සමක් ගෙනෙන්නට කියලා. මකරකුගේ බෙල්ලෙ ඇතැයි කියන පංච වර්ණ අබරණ බහාලුම ගෙනෙන්නැයි හතරවෙනි කුමාරයාට කිව්වා. පස්වෙනි කුමාරයාට කිව්වෙ, ලිහිණි බිත්තරෙන් බිහි බිහිවුණැයි කියන දෙපියන් බෙල්ලෙකු ගෙනෙන්නටයි.ඒවා බොහොම සාමන්යර මිනිසුන්ට ලබා ගත හැක් දේවල් නොවෙයි. ඉතින් තරුණයෝ පස් දෙනා පුදුමයෙන් එකිනෙකාගේ මූණ බැලුවා.ඒවා සොයා ගෙනෙන්නට අසමත් වුවහොත් ඒ කිසි කෙනෙකුට කගුයා කුමරිය හිමි වෙන්නෙ නැති බව ඔවුන් තේරුම් ගත්තා.

ඔන්න ඉස්සෙල්ලාම පළමුවෙනි කුමාරය නගරය අතහැරලා ගියා. ඒත් ඔහු ඉන්දියාවට ගියේ නෑ. අහල පහළ හැම පන්සලක් ගානේම ඇවිදලා ඇවිදලා නිකම්ම නිකම් ගල් පාත්තරයක් හොයාගෙන කගුයා කුමරිය ළඟට අරන් ගියා.

"අන්තිමේදි මං ඒක හොයා ගත්තා. කිසිකරදරයක් නැතිවම ඉන්දියාවට ගිහින් එන්ටත් හැකි වුනා" ඔහු කීවා.

කගුයා කුමරිය පාත්තරේ දිහා බොහොම හොඳින් බැලුවා.

"මේ වගේ අපිරිසිදු ගල් පාත්තරයක් ඔබට ඔනෑම පන්සලකින් හොයා ගන්න පුළුවන්.මේක හැබෑම පාත්තරෙ නම් ඒකෙන් දීප්තිමක් ආලෝකයක් විහිදෙන්න ඕනෑ"

තමා කියූ බොරුව එළි වූ වග දැනගත්තාම පළමුවෙනි කුමාරය ලැජ්ජාවෙන් කාටත් නොකියාම හොරෙන් පැනලා යන්න ගියා.

දෙවැනි කුමාරයා "සදාතනික තාරුණ්යුයේ දුපතට" යන්නෙමියි කියා නැව් නැග්ගා. එහෙත් ඔහු කවදාවත්න දැන සිටියේ නෑ දූපත තියෙන්නෙ කොහෙද කියලා.ඒ හින්ද ඔහු ආපහු නගරයට ආවා. ඇවිත් නගරේ ඉන්න දක්ෂම රන් වැඩකරුවන්ට කතා කරලා කිව්ව හැබෑ රන් ගසේ අත්තක් වාගේම පෙනෙන විදියට රත්ර න් වලින් අත්තක් තනා දෙන්නට කියලා.ඔවුන් කොතරම් දක්ෂ රන් වැඩකරුවන් වුණත් රන් අත්ත දැක්ක හැටියෙම කගුයා කුමරිය හඳුනා ගත්තා, එය හැබෑ රන් ගසේ අත්තක් නොවන බව. ඒ විතරක් නෙමෙයි රන් වැඩකරුවන් රවටා මුදල් නොගෙවා කුමාරයා වැඩ කරවා ගත් බවත්, ඒ වියදම කුමරිය විසින් පියවා දමන්නටත් කියා රන් වැඩ කරුවන් කගුයා කුමරියට ලිපියක් ලීවා. ඒ බව දන ගත්ත දෙවැනි කුමාරයාත් ලැජ්ජාවෙන් පලා ගියා.

චීනයෙන් ආ නැවක් වරායට ගොඩ බැස්ස වූ බව දැනගත් තුන්වෙනි කුමාරයා වහාම එතැනට ගියා. ගිහින් විශාල මුදලක් ගෙවා ගිණි මීයකුගේ හමක් මිලදී ගෙන එය කගුයා කුමරිය වෙත ගෙනගියා. බොහොම හුරුබුහුටි පෙට්ටියක අසුරා තිබුණේ ලස්සන හමක්.

"ඉන්දියානු පූජකයෙක් තමයි මේක චීනයට ගෙනල්ලා තියෙන්නෙ!" කුමාරයා බොහොම ආඩම්බරයෙන් කියා සිටියා.

"එහෙනම් අපි මේක ගින්නට විසි කරලා බලමු. මේක හැබෑ ගිණි මීයකුගේ නම් කිසිම ගින්නකින් පිච්චෙන්නේ නෑ" කගුයා කුමරිය කිව්වා.

එහෙත් මී හම ගින්නෙදි පිළිස්සිලා විනාශ වෙලා ගියා. වෙළෙන්දා තමා රැවටූ බව දැනගත් කුමාරයාට බොහොම කේන්තියෙන් යන්ට ගියා.

හතර වෙනි කුමාරයා නැව් නැග්ගා මකරා හොයන්න. ඔහු පිටත් වුණා විතරයි අතර මගදී මහ විසාල කුණාටුවක අසුවුණා. නැව වේලිච්ච පරඬලාවක් ඒ අතට මේ අතට පැද්දෙන්ට ගිලෙන්ටත් පටන් ගත්තා.

"මකර රජ්ජුරුවන්ට තරහා ගිහිල්ලා, ඔහු පලිගන්න හදනවා"

කුමාරයාගේ නැවේ උන් සියල්ලෝම බොහොම බය වුණා.

"මකර රජ්ජුරුවනේ, අපට සමාවෙන්න ඔබට අනතුරක් කරන්න අපි ආව නෙමෙයි" හතරවෙනි කුමාරයා වෙව්ලන දෑත් එක්කොට වැඳ වැටෙමින් කියා සිටියා.

කුණාටුව දින තුනක් පැවතුනා. හතරවෙනි දවසෙ මුහුද සන්සුන් වුනා. කුමාරයා ආපහු නගරයට ආවා. ඒත් කගුයා කුමරිය දකින්නට ඉන් පස්සෙ කවදාවත් ගියේ නෑ.

පස් වෙනි කුමාරය ලිහිණි බිත්තරෙන් මතුවෙන දෙපියන් බෙල්ලා හොයමින් ලිහිණි කූඩු එකින් එකට ගියා. බලන බලන හැම තැනකම ලිහිණි කූඩු ඔහුට හමු වුනා. ඒත් ඒ කිස් තැනක ඔහුට දෙපියන් බෙල්ලෙකු මුණ ගැහුණේ නෑ. අන්තිමේදි ඔහුගේ මාලිගාවේ වහල පියස්සෙ තිබුණු ලිහිණි කූඩුවක් ඔහු දුටුවා. ඉණිමගක් තබා අමාරුවෙන් ඉහල නැගුණු ඔහු කූඩුවට අත දාමා බැලුවා. ඔහුගේ අතට අසුවුණා දෙපියන් බෙල්ලකු වැනි යමක්. "මට ඒක හම්බවුණා, ඉක්මනට වරෙල්ලා, කූඩුව වහාම බිමට ගනිල්ලා!" ඔහු තමන්ගේ සේවකයන්ට අණ කලා. සේවයන් එකතු වෙලා ලිහිණි කූඩුව ගෙනාවා. එහි තිබූ බෙල්ලා අතින් ගත් කුමාරය සතුටින් සහ පුදුමයෙන් සෝදිසි කලා.ඒත් ලංවෙලා බලද්දි වියළී ගිය ලිහිනි වසුරු පිඬක් බව වැටහුණෙන් ඔහු බොහොම දුකට පත් වුණා.

කගුයා කුමරිය දිනෙන් දින බොහොම ලස්සන වුනා.කාන්තිමත් වුණා. ඒ සිදුවීමෙන් වසර හතරක් ගෙවී ගොස් උදා වුණු වසන්ත කාලෙදී පුදුමයක් සිදුවෙමින් තිබුණා.

හඳ පායන හැම රෑකම ඒ දිහා බලාගෙන කගුයා කුමරිය කඳුළු වගුරුවන්ට පටන් ගත්තා.


"අඬන්ට තරම් කාරණාව මොකද්ද?" මහල්ලා සහ මැහැල්ල කුමරියගෙන් විමසා සිටියත්, උත්තරයක් නොදීම කුමරිය නිහඬ වුණා.

දවස් ගෙවිලා හඳ සම්පූර්ණයෙන්ම වටකුරු වුණා.එතකොට කගුයා කුමරිය තව තවත් අඬන්නටත් වැලපෙන්නටත් පටන් ගත්තා.

"මේ තරම් දුක් වෙන්ට තරම් කාරනාව මොකද්ද දුවේ?" මහල්ලා සහ මැහැල්ල බොහොම දුකෙන් නැවතත් ඇගෙන් ඇසුවා.

"මං ආවේ චන්ද්‍ර රාජධානියෙ ඉඳලා.හඳ වටකුරු වෙන ඊළඟ පෝය දවසෙ රෑට චන්ද්‍ර රාජධානියෙන් පිරිවර එනවා මාව එක්කගෙන යන්න" කගුයා කියන්න පටන් ගත්තා.

“ඒ වුනත්, අම්මවයි තාත්තවයි දාලා මට යන්න බෑ" කගුයා කුමරිය අඬමින් කියා සිටියා.

"කොයි ලෝකෙන් කවුරු ආවත් අපට කමක් නෑ දුවේ. ඔයාව කාටවත් ගෙනියන්න දෙන්නෙ නෑ අපි" මහල්ලයි මැහැල්ලයි කුමරිය සැනසුවා.

අන්තිමේදි මහල්ලා තමන්ගේ අධිරාජ්‍යයාගෙන් උදව් ඉල්ලා සිටියා, කගුයා කුමරිය රැක ගන්න.පෝය දවස උදා වනවාත් සමගම දුනුවායන් දෙදාහක් පැමිණ මහල්ලාගේ නිවස වටා රැකවල් බැන්දා.දුනුවායෝ සියල්ලන්ම අහස දෙසට තමන්ගෙ දුනු හී යොමු කරගෙන සීරුවෙන් බලා උන්නා. කගුයා කුමරියව ඈත කාමරයක රඳවලා අගුළු දැමුවා.මහල්ලාත් මැහැල්ලත් කුමරිය ලඟ ඇගේ ආරක්ෂාවට හිටියා. වැඩි වේලාවක් නොගොසින්ම හවස් වුණා. අහස අඳුරු වෙලා රාත්‍රිය ඉක්මනින් උදා වුණා. ඒත් එක්කම අහසේ ඈත කොනෙන් වටකුරු හඳ හෙමි හෙමින් නැගෙන්නට පටන් ගත්තා. ඒ හඳ එළියෙන් නැහැවිලා මුළු පරිසරයම ආලෝකමත් වුණා.

ඔන්න එතකොටව වාගේ විශාල වළාකුලක් හෙමින් හෙමින් පහලට ඇදෙන්නට වුණා. කුමරිය වෙනුවෙන් තැනූ දෝලාව වටකරගත් චන්ද්රමරාජධානියේ දෙවි වරු පිරිස වළාකුලේ නැගිලා පොළොව දෙසට එමින් සිටියා. දුනුවායෝ විදින්නට සූදානම් වුණත් එක දුනු වායෙකුටවත් හීයක් විදින්නට තියා සෙලවෙන්නට වත් බැරි වුණා.
චන්ද්‍ර රාජධානියේ දෙවිවරුන්ගෙ බලයෙන් ඔවුන් ගල් කොට තිබුණා. වළාකුළු රථය මහල්ලාගෙ කුඩා ගෙවත්තට ඉහළින් නැවතුණා.

"අපි ආවෙ කගුයා කුමරිය චන්ද්‍ර රාජධානිය වෙත ආපසු රැගෙන යන්නයි. මෙතෙක් කල් ඇය රැක බලා ගත්තාට ඔබට ස්තුතියි" බොහොම පැහැදිලි හඬකින් දෙවිවරු කියා සිටියා. ඒ සමගම කගුයා කුමරිය රඳවා සිටි කාමරේ දොරගුළු ඉබේ හැරුණා.

කගුයා කුමරිය මහල්ලා සහ මැහැල්ල සමග එළියට ආවා.

"අම්මේ, තාත්තේ, දැන් මා යා යුතු කාලය ඇවිත්.මාව හැමවිටම ආදරෙන් සිහිපත් කරන්න මේ ඇඳුම ඔබට උපකාර වෙයි" එහෙම කියලා ඈ මෙතෙක් හැඳ සිටි කිමොනො ව මහල්ලාටත් මැහැල්ලටත් තෑගි කළා. ඒ වෙනුවට සිනිඳු සේද සහ සැහැල්ලු පිහාටු වලින් තැනූ දිව්‍යමය ඇඳුමකින් සැරසුණා.

ඊටපස්සෙ වළාකුළට ගොඩ වෙලා ඈ වෙනුවෙන් එහි තිබූ දිව්‍යමය රථයෙ හිඳගත්තා.



"සුබ ගමන්!" මහල්ලාත් මැහැල්ලත් බොහොම දුකෙන් වුනත් කගුයා කුමරියට සුබ පැතුවා.

ඒත් එක්කම කගුයා කුමරිය රැගත් වළාකුළු රථය දීප්තියෙන් බැබළි බැබළි උන්නු වටකුරු හඳ මඬල දෙසට ඇදී ගියා.

ජපන් ජනකතාවක් ඇසුරිනි.
ජපන් බසින් සිංහලට නැගුවේ ප්‍රශංසනී පරණවිතාන.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
6. තුන්වන පණ

එඬේරෙක් හරක් රළ දක්කා ගෙන කැළෑව මැදින් යන්නට ආයේය. ඒ රැළෙහි මහ මී ගොන්නුද අං දිග මී ගොන්නුද වූහ. පැටවු ඔවුන් සමග දිව ආහ.

මළ කිරිහාමි හරක් රළ දැක්කේය. හරකුන්ගේ කුරෙහි මහතද දිගද ඔහුට හොඳහැටි පෙනුණේය. හරක් රළ ළං වන විට කිරිහාමිට තමා මළ බව මතක නොවීය. වහා නැගිට දිව ගොස් හේ එඬේරාට බැණ වදින්නට විය. "පව් කාරයා, හරකුන් දක්කන්නෙ මළවුන්ගේ ඇඟ උඩින්ද? මෙහෙම පව් කළාම යන්නෙ කොයි ලෝකෙද?"

එඬේරා පුදුම විය.

"මළ කා ගේ ඇඟ උඩින්ද මා හරකුන් දැක්කුවේ?"

"මගේ ඇඟ උඩින්"

එඬේරාට මහ සිනාවක් පහළ විය.

"හා..හා..මේ කතා කරන්නේ මැරි-ලා"

"ඔව්... හිසත් පයත් එක සැටි සීතල වුණු දා මා මැරෙන බව දිවැස් ඇති අපේ හාමුදුරුවන් කීවා. අද වැස්සට තෙමී මගේ හිසත් පයත් එක සැටි සීතල වුණා. මා මලා...."

එඬේරාට මේ මරණය හොඳින් වැටහුණේය.

"ඉතින් ඒ ගිය පණ ගෙන්නීමට ගුරුකමක් කළේ නැද්ද...?"

"අනේ නෑ..."

"පණ ගෙන්නා ගන්නටද කැමැත්ත?"

"අනේ ඔව්. අනේ ඔව්. ඔබ ගුරුකමක් දන්නවා නම් කරන්න. පණ තිබෙන තාක් මම ඔබට මෙහෙ කරනවා"

"හා, ඒ ගුරුකම අමාරු එකක් නොවෙයි. මගේ හරකුනුත් එහෙම ඉඳල හිටලා මැරෙනවා. එවිට මා උන් ගේ පණ ගෙන්වන්නෙ මෙයින්..."

මෙසේ කියා එඳේරා තමා අතෙහි තුබූ කෙවිට පෑයේය.

කිරිහාමි ගුරුකම කරවා ගන්නට කැමති වීය. එඬේරා කිරිහාමි මුණින් බිම හොවා, කෙවිට ඔසවා මෙසේ කීයේය.

"හැබැයි, පණ එන විට ටිකක් රිදෙයි. ඊට බයක් ගන්නට එපා. හොඳටම පණ ආවාම මට කියන්නට ඕනෑ."


මෙසේ කියා එඬේරා හැකි තරම් වැරෙන් පහර හත අටක් දුන්නේය. කිරිහාමි මුලදී ඇඟ අඹරවමින් වේදනා ඉවසා ගත්තේය. කෙළවර ඉවසිලි නැතිව, "පණ ආවා...." යි මහ හඬ නගමින් නැගී දුවන්නට වීය.

"ඒක තමා මා කීවේ" යි එඬේරා ගසක් මුල හීඳගෙන හති අරින්නට වූයේය. වේදනාව මදක් අඩු වූ පසු කිරිහාමි එඬේරා ළඟට අවුත් වැඳ වැටී "අනේ ඔබට පින් සිදු වේවා. යාන්තම් ඒ වාරෙත් ගිය පණ ආවා. පණ ඇති තාක් මෙහෙ කරන්නට එන්නෙමි" යි කීය. හා...ඒක කෙසේ කරන්නට බැරිදැයි කියා, එඬේරා කිරි හාමි ගේ සිත සැනසුවේය. හේ අන්තිමයේ දී "ඉතින් අපි යමු ගෙදර" යි කියා කිරි හාමි කැඳවා ගෙන ගියේය.

එඬේර බිරින්දෑ කිරිහාමි දැක ඔහු ගේ පිට පුරා සිටි ලේ දැක, හිසේ අත් තබා ගෙන, "අනේ, මේ කුමක් වුණාද.." මේ කවුදැයි" ඇසු දෑය. "හා..හා..බයක් ගන්නට එපා. මේ ළමයා කැලෑව මැද්දේ මැරී උන්නා. මා ඉතින් ගුරු කමක් කැර ලා බොහොම අමාරුවෙන් යන්තම් ගිය පණ ගෙන්නුවා. ඒ ගුරුකමට මෙහෙම වෙනවා. ඉතින් මේ ටික වෙලාවත් ගිය පණ ආවා නරකද..?"
එඬේරා මෙසේ කී කල බිරින්දෑ නොයෙක් ප්‍රශ්න අසන්නට වූයේ දෑය. "මැරුණේ කෙසේද? කළ ගුරුකම කිමෙක්ද" යන මේ ආදී ප්‍රශ්න වලට උත්ත දෙමින් කිරිහාමි තමාගේ සම්පූර්ණ ජීවිත කථාව කීයේය.

කථාව ඇසූ එඬේර බිරින්දෑට හි
නායෙන් නම් ඉඩෙක් නැත. එහෙත් උන්දෑ ගෙයින් තෙල් ගෙනවුත් කිරිහාමිගේ පිටේ ගා, ඔහුට කන බොන දෑ දුන් දෑය. කිරිහාමි ඒ ගැන නොකැමැත්තක් නොදක්වා, ගෙයි පිළ උඩට වී හොඳටම නිදා ගත්තේය.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 
Related Posts with Thumbnails