සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට

බකමූණෝ පියාඹතී
අනෙක් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී

මගෙ සුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නෙ පිණි බින්දුත්
හදමු එකක් ඒ වාගේ

හඳ හාමී අප දිහාව
එබී බලයි පා හිනාව
සිහිල් සුළං දැල් විඳිනට
දොරට යන්ට හොඳ වෙලාව

අහසේ තරු මල් පිරිලා
පොළොවේ සුදු මල් පිපිලා
මගුල් ගෙවල් දෙකක් වගෙයි
මේ දෙපළම හැඩ ගැහිලා

එස්. මහින්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails