ඉතා හොඳ නමක් දිනාගෙන සිටි ෂෑන් නම් කුඩා භික්ෂුවක් චීනයේ ගමක ජීවත් වුණා. හොඳ නමක් දිනා සිටියත් මේ භික්ෂූව මානාධිකයි.

දිනක් ක්වියි ජුන්ට ඔහුගේ මානාධිකම ගැන ආරංචි වී, හොඳ පාඩමක් ඔහුට උගන්වන්නෙමියි සිතා ආරාමයට ගියා. ක්වියි ජුන්, ෂෑන් නම් භික්ෂුව ඉදිරියේ පෙනී සිටියත් ඔහුව නොදුටුවා සේ භික්ෂුව හැසිරෙන්නට වුණා.

ඒ මොහොතේ භික්ෂුව ළඟට පැමිණි ඇබිත්තයා,-

හමුදා නිළධාරියකුගේ පුතෙකු ආරාමයට පැමිණ සිටින බව භික්ෂුවට දන්වා සිටියා. ඔහු ඉදිරියට ගිය භික්ෂූව ගරු සරු ඇතිව ඔහුව පිළිගත්තා.

හමුදා නිළධාරියාගේ පුතා ආරාමයෙන් පිට වූ පසු භික්ෂූව ඉදිරියට ගිය ක්වියි ජුන්, ඔහුගේ දෙබිඩි ස්වරූපය ගැන විස්තර විමසුවා.

"ඔබවහන්සේට අර පැමිණි හමුදා නිළධාරියාගේ පුතාට ආචාර කරමින් කතා කරන්නට හැකි වුණා නම්, ඇයි මට විතරක් අහංකාරකමක් පෙන්නුවේ?" ක්වියි ජුන් ඇසුවා.

"කරුණාකරලා මාව වැරදියට තේරුම් ගන්න එපා. මට අනුව, ආචාර කිරීම යනු ආචාර නොකිරීමයි. ආචාර නොකිරීම යනු ආචාර කිරීමයි...." භික්ෂුව සැණෙකින් උත්තර දුන්නා.

ක්වියි ජුන්ට භික්ෂුවගේ පහත් පිළිතුර වැටහී භික්ෂුව අතවූ කෝටුව ගෙන ඔහුගේ තට්ටයට වැරෙන් පහරක් ගසා, "ඔබවහන්සේට අනුව, පහරදීම යනු පහර නොදීමයි.. පහර නොදීම යනු පහර දීමයි.. ඒ නිසා මට ඔබවහන්සේට පහර දෙන්නට සිදුවුණා.."යි, භික්ෂුවට පැවසුවා.

තමන් කරපු අනුවණ ක‍්‍රියාව භික්ෂුවට වහා වැටහුණා. එදායින් පසු භික්ෂුව සියලුම දෙනාට උස් පහත් බේද නොසලකා එක ලෙස සැලකුවා.

[ජන කතාවක් ඇසුරිනි.]
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


මගේ කරට මුතුමාල ගොතන්නට
මැයි ගහ මුදුනේ කැකුළු පිපේ
කණට අරුංගල් තෝඩු හදන්නට
නිල් අහසේ තරු පොකුරු පිපේ

සීතල පින්නෙන් මා රැකගන්නට
සඳරැස් සළුපිළි පොරවනවා
අව්වැසි දිනවල හෙවණ සදන්නට
දසැඟිලි මුතුකුඩ ඉහලනවා

මගේ කරට මුතුමාල ගොතන්නට....

රෑ සිහිනේ දුටු ලොවට මුවාවී
තුරුණු වියේ හිරු බැස යනවා
දුක සැප අහලා මා සනසන්නට
තනිකම මා වට දැවටෙනවා

මගේ කරට මුතුමාල ගොතන්නට....

සිංදුව අහන්න

මියැසිය- රෝහණ වීරසිංහ
ගායනය- පේෂලා මෙන්ඩිස්


කුමාරදාස සපුතන්ත‍්‍රී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


සඳ පානේ වැලි තලා
සුරකුමරියෝ මල් සලා
නටති මෙ දෙස බල බලා
ගිගිරි වළලු පයනොලා

සුර කුමරුවො පෙළ සැදී
අතින් හිසින් රඟ යෙදී
හඟවති තාලය බැඳී
වීණා බෙර නද නොදී

සඳ ද සිනිඳු රැස් කඳු
නොහෙළා බිමැ එක බඳු
වලාකඩින් පිරිසුදු
පෙරා එවයි බිඳු බිඳු

ගඟද සුළඟ සමගිනී
කතා නොකැරැ පෙරැ මෙනී
හබල් පහර ඔරුයෙනී
නිසොල්මන්වැ විඳැ ගනී

වසු පැටියෝ ගෙල පසා
මිණි වැල් සෙලැවෙන නිසා
රිසිලෙස ඇඟ නොම කසා
හිඳිති තණට ඇස වසා

සුරතල් දරු බියවෙතී
කුරුළු පැටවු නොහඬතී
නළැවිල්ලෙන් කම් නැතී
කිරිල්ලෝද සැතැපෙතී

හියුබත් දිසානායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


හාච්චියක් එක්කල දුන් විස්කිරිඤ්ඤ රස ගුලාව
කෝච්චියේ කොළඹ ගිහින් ගෙනත් දුන්නු බට නළාව
තාච්චියේ නටන කැවුමෙ කොණ්ඩය බැන්දූ කලාව
ආච්චියේ තව මතකයි නුඹේ මුවේ මල් හිනාව

පැණි පෙර පෙර පොළෙන් ගෙනත් අපට කැවු ගඩු ගුඩාව
ටොකු ඇණ ඇණ ඔලුව බැලූ හිස රිද්දන පොඩි පනාව
ඉදල අරන් මැද මිදුලේ සිත්තම් ඇන්දූ රටාව
තාම කියල ඉවරත් නෑ අන්දරේගේ රස කතාව

හඳ හාමිත් මග අරිනව වෙනද වගේ නෑ හිනාව
අපිව දාල දිවිය ලෝකේ යන්නට ආවද වෙලාව
පෝච්චියේ වතුර තාම නටන්නේ නෑ ලිප දිහාව
ආච්චියේ මළ පාළුයි අපෙ පොල් අතු බංගලාව

[2005]
ඇන්ඳේ- රුවන්මලී

කූඹියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


එක්වෙමු එක්වෙමු එක්වෙමු
අපි පුංචි යාළුවෝ
එක්වෙමු එක්වෙමු එක්වෙමු
අපි පුංචි යාළුවෝ

කොස් කොළ අරගෙන ඔටුනු හදාලා
අඟුරු වලින් ලොකු රැවුලක් ඇඳලා
වංගෙඩියෙන් සිංහාසනෙ හදලා
රජ සෙල්ලම අද හවස කරන්නට

එක්වෙමු එක්වෙමු එක්වෙමු
අපි පුංචි යාළුවෝ....

බෙලෙක්කෙ අරගෙන බෙරපද ගහලා
හිරමනයෙන් වයලීනය වයලා
සරම්පටෙන් සර්පිනාව ගහලා
සිංඳු කියාලා නැටුම් නටන්නට

එක්වෙමු එක්වෙමු එක්වෙමු
අපි පුංචි යාළුවෝ....

සිංදුව අහන්න

මියැසිය- ඔස්ටින් මුණසිංහ
ගායනය- සමූහ


සමන් අතාවුදහෙට්ටි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ඔන්න දවසක් දා පාව්ලික් කෝත්කාත් එක්ක මාළු අල්ලන්ට ගියා. ඒත් එදා ඒ දෙන්නට කිසිම වාසනාවක් තිබුණේ නෑ. මොකද එකම මාළුවෙක් වත් ඒ දෙන්නා දමපු ඇම ගිලින්න ආවෙ නැති නිසා. අන්තිමේදි ඒ දෙන්නා ගෙදර ගියා. ඒ යන අතරමග තිබුණු සමූහ ගොවිපලේ එළවළු වත්තේ වැටට උඩින් පැන ගත් පාව්ලික් සහ කෝත්කා කැකිරි ගෙඩි වලින්-

තමන්ගේ සාක්කු හොඳහැටි පුරවා ගත්තා. මේ බව දුටු මුරකරුවා එයාගේ නළාව පිම්බා. එතකොටම වාගේ පාව්ලික් සහ කෝත්කා වැටට උඩින් පැනලා දිව්වා. සමූහ ගොවිපලේ එළවලු පාත්තියෙන් කැකිරි කඩා ගත්තු නිසා කලබැගෑනියක් ඇතිවෙයි කියලා පාව්ලික් බය වුණා. ඉතින් එයා කළේ තමන් ලඟ තිබුණු ඔක්කොම කැකිරි ටික කෝත්කාට දුන්නු එකයි.

කෝත්කා බොහොම කලබලෙන් ගෙදර දුවගෙන ආවා.

"අම්මේ, මේ බලන්න. මං කැකිරි හුඟක් ගෙනාවා අම්මට දෙන්න"

කෝත්කාගේ කමිස සාක්කුව කැකිරි වලින් පිරිලා තිබුණා. ඒ වගේම කමිසය අස්සෙත්, අත් වලත් විශාල කැකිරි ගෙඩිය බැගින් තිබුණා.

"ඔයාට මේවා කොහෙන්ද කෝත්කා?" අම්මා තරහෙන් ඇහුවා.

"එළවළු වත්තෙන්"

"මොන එළවළු වත්තෙන්ද?"

"ගඟ පහළ සමූහ ගොවිපලේ එළවළු වත්තෙන්"

"කවුද ඔයාට මෙව්වා කඩන්නය කියල අවසර දුන්නෙ?"

"කවුරුත් නෑ. මං කඩා ගත්තා"

"ඒ කියන්නේ ඔයා හොරකම් කළා කියන එකද?"

"මං හොරකම් කළේ නෑ අම්මා. මං එව්වා ගත්තා විතරයි. පාව්ලික් ටිකක් කඩා ගත්තා. මමත් ටිකක් කඩා ගත්තා."

ඔන්න කෝත්කා කැකිරි ගෙඩි එක එක එළියට දමමින් එයාගෙ සාක්කු හිස් කරන්ට පටන් ගත්තා.

"සාක්කු හිස්කරන්නෙපා දැන්ම."

"ඒත් ඇයි?"

"මොකද ඔයා මේවා ආපහු ගත්තු තැනටම දමන්න ඕනෑ නිසා"

"අනේ අම්මේ, මට එව්වා ආයෙත් ගෙනියන්න බෑ. එව්වා තිබ්බේ එළවළු පාත්තියේ. මං ආයෙ ගිහින් තැබුවට ඒවා ආයෙ වැවෙන්නෙ නෑනේ."

"ඒකට කාරි නෑ. ඔයා ආපහු මෙවා තිබුණු තැනටම ගිහින් දමන්න ඕනෑ."

"මං ඒවා වීසි කරන්නම්"

"නෑ, ඒක කොහොමටත් කරන්න බෑ. මොකද ඒවා හිටෙවුවෙවත්, ඒව බලාගත්තෙ වත් ඔයා නෙමෙයි. ඒවා විසිකරල දමන්න තරම් අයිතියක් ඔයාට නෑ කෝත්කා."

ඔන්න ඉතින් කෝත්කා එතකොට අඬන්ට පටන් ගත්තා.

"එතන මහළු මුරකාරයෙක් හිටියා, එයා නලාව පිඹිද්දි අපි පැනලා ආවා"

"දැං තේරෙනවද ඔයාට, ඔයා කොච්චර නරක ළමයෙක්ද කියලා. බැරිවෙලාවත් එයා ඔයාව අල්ලගත්තා නම්?"

"එයාට අපිව අල්ල ගන්න බැරිවුණා. එයා හුඟක් මහළු කෙනෙක්"

"ඔයා ඔයා ගැන ලැජ්ජාවෙන්න ඕනෑ" අම්මා කිව්වා.

"ඒ මහළු මුරකාරය කැකිරි වලට වග කියන්න ඕනෑ. ගොවිපොළේ කැකිරි නැති වුණු වග දැනගත්තොත් බැනුම් අහන්න වෙන්නෙ එයාටයි. ඒක හොඳ දෙයක්ද කෝත්යා?"

එහෙම කියලා අම්මා ඔක්කොම කැකිරි ටික කෝත්කා ගේ සමිස සාක්කුවට ආයෙත් පිරෙව්වා. කෝත්කා මහ හයියෙන් අඬන්ට පටන් ගෙන මෙහෙම කිව්වා.

"මං යන්නෙ නෑ. මහළු උන්දැ ලඟ තුවක්කු බටයක් තිබුනා. මං ගියොත් මට වෙඩි තියයි"

" එයා එහෙම කළත් ඒක වැරදි නෑ. හොරකම් කරන පුතෙක් මට ඕනෑ නෑ."

කෝත්කා තව තවත් හයියෙන් අඬන්ට පටන් ගත්තා.

"අනේ අම්මේ, එන්න මාත් එක්ක යන්න. එළිය හරිම කළුවරයි. මට බයයි!"

"ඒ වුණාට ඔයා හොරෙන් කැකිරි කඩන්න බය වුණේ නෑ නේද?"

සාක්කුවට දැමිය නොහැකි තරමේ කැකිරි ගෙඩි දෙක කෝත්කා ගේ අතට දෙමින් අම්මා එයාව දොර දිහාට තල්ලු කළා.

"මේ කැකිරි ආපහු තිබුණු තැනට නොදමනවා නම් ඔයා ආයෙත් ගෙදර ආවෙ නැති වුණාට කමක් නෑ."

අම්මා ගේ ඇතුලට ගිහින් දොර වහලා දැම්මා.කෝත්කා හෙමින් පාර පහලට ඇවිදගෙන ගියා.

හැම තැනම තරමක් කළුවර වෙලයි තිබුණේ.

"මං මෙව්වා කාණුවට වීසි කරලා ගිහින් අම්මට කියනවා ඒවා ආපහු තිබුණු තැනටම දැම්මා කියලා" වට පිට බලන අතරතුරේ ඔන්න කෝත්කා එයාටම කියා ගත්තා." නෑ, ඒක
කොහෙත්ම හොඳ වැඩක් නෙමෙයි. අනිත් එක කවුරු හරි දැක්කොත්.ඒ විතරක් නෙමෙයි අර මහළු උන්දැට මං හින්දා කරදර විඳින්න සිදුවුනොත්." එහෙම හිත හිතා කෝත්කා බොහොම දුකෙන් පාරේ පහළට ඇවිදගෙන ගියා. එයා හිටියේ හොඳටෝම බයවෙලා. "පාව්ලික් ට නම් කිසි කරදරයක් නෑ.එයාගෙ කැකිරිත් ඔක්කොම මට දීලා එයා කිසි කරදරයක් නැතුව ගේ ඇතුලට වෙලා ඉන්නවා.එයාට කිසි බයක් නෑ" ඇවිදගෙන යන අතරතුරේ කෝත්කා හිතුවා.

අන්තිමේදි ගම අවසාන වෙන තැන තිබුණු කුඩා අඩි පාර දිගේ කුඹුර මැදින් කෝත්කා ගමන් කරන්ට පටන් ගත්තා.ඇහැට පෙනෙන තරමේ අවතාරයක් වත් නෑ. කෝත්කා කොයි තරම් බය වුණාද කිව්වොත් ගොවිපළ තෙක් ඉතිරි මුළු දුරම හයියෙන් දුවලා ගියා. ගොවිපොළට ළඟා වුණු කෝත්කා මුර කුටිය ලඟට ගිහින් අඬන්ට පටන් ගත්තා.අඬන සද්දෙ ඇහුනු මහල්ලා එළියට ආවා.

" මොකද මේ අඬන්නෙ පුංචි කොලු පැටියෝ?"

" මං කැකිරි ආපහු ගෙනාවා සීයේ"

"මොන කැකිරිද?"

"පාව්ලිකුයි මමයි අද කඩාගත්තු කැකිරි. අම්මා කිවුවා ඒවා ගත්තු තැනින්ම තියලා එන්ට කියලා."

"ආහ්... එහෙමද? එහෙනම් අද දවාලේ මං නලාව පිම්බේ උඹලා දෙන්නට නේ හැබෑට. ඒ වුණත් උඹලා කැකිරි කඩා ගත්තා එහෙනම්. හොර ගෙඩියො..!"

"පාව්ලික් ටිකක් ගත්තා. මං ටිකක් ගත්තා. ඒත් පාව්ලික් එයාගෙ ටිකත් මට දුන්නා."

"පාව්ලික් මොකක් කළත් ඒකට කාරියක් නෑ. ගොවිපොලෙන් හොරකම් කරන්ට කලින් හොඳහැටි හිතන්න තිබුනා නෙවද? මං හිතනවා උඹ ආයෙ එහෙම කරන එකක් නැතය කියලා. දැං ඉතින් ඕං ඔය කැකිරි ටික මෙහාට දීල ගෙදර පලයක් පොඩි කොලු පැටියො"

කෝත්කා තම සාක්කු සියල්ල හිස් කරමින් කැකිරි ගෙඩි ටික බිම තියන්ට පටන් ගත්තා.

"එච්චරයිද?" මහලා ඇහුවා.

"ඔව්, නෑ... නෑ... එකක් ඇරෙන්න" එහෙම කියලා කෝත්කා ආයෙත් අඬන්ට පටන් ගත්තා.

"ඉතිං කෝ ඒක?" මහල්ලා ඇහුවා.

"මං..මං… මං ඒක කෑවා සීයේ. මං එහෙම නොකරන්නයි තිබුණේ...ඒත්"

"ඔයා ඒක කෑවා. හරිද? කිසි ප්‍රශ්නයක් නෑ ඒ ගැන. මං දන්නවා නෙව"

"ඒ වුනත්... ඒ වුනත් සීයට කරදරයක් වෙයි ද මං හින්දා?"

"අහා.. මේ හැටි වදවෙන්න තරම් කාරණේ මේකයි හැබෑටම එහෙනම්?" මහල්ලා සිනාසෙන්නට පටන් ගත්තා.

"එක කැකිරි ගෙඩියක් හින්දා මං කරදරේ වැටෙන්නේ නෑ දරුවෝ. හැබැයි අර ඔක්කොම කැකිරි ගෙඩි ටික ආපහු නොගෙනාවා නම් මං වැටෙන්නෙ ලොකු කරදරේක තමයි.”

මහල්ලාට සුබ රාත්‍රියක් පැතූ කෝත්කා පාර දිගේ පහළට දුවලා ගියා. ඒත් එක පාරටම නැවතුනු කෝත් කා "සීයේ! සීයේ!" කියලා කෑ ගහන්ට පටන් ගත්තා.

"ඒ පාර මොකද?"

"මං අර කාපු කැකිරි ගෙඩියට ඒගොල්ලො කියයිද මං ඒක හොරකං කළා කියලා?"

"ඒක නම් කොහොම වෙවිද මං දන්නෑ කොලුවො?. "හොඳයි, ඒ වුණත් අපි කියමුකො ඔයා ඒක හොරකම් කළේ නැහැයි කියලා." සීයා කෝත්කාට උත්තර දුන්නා.

"ඒත්..."

"අපි කියමු මෙහෙම. මං ඔයාට ඒක තෑගි දුන්නා කියලා"

"ස්තුතියි සීයේ. සුබ රාත්‍රියක් එහෙනම්!"

"සුබ රාත්‍රියක් දරුවෝ!"

කෝත්කා තමාට ලැබුණු වටිනා දේ ගැන කොයිතරම් සතුටට පත් වුණාද කියතොත් එයා කුඹුරු මැද්දෙන් වේගයෙන් දුවගෙන ගියා.අගල් වලට ඉහළින් පනිමින් පාලම් හරහා දුවගෙන ගියා. අන්තිමේදි කෝත්කා ගමට ලං වෙද්දි හෙමින් හෙමින් පහළට ඇවිදගෙන යන්ට පටන් ගත්තා. එදා කෝත්කාට දැනුනෙ කවදාවත් නොවුනු තරමේ සතුටක්!

නිකොලායි නෝසව්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ගවයා අපට බෙහෙවින් ප්‍රයෝජනවත් සතෙක්. එමෙන්ම බොහෝ ජනශ්‍රැති වලට පාදක වූ සතෙක්. ගවයා වටා ගෙතුණු ප්‍රස්ථාව පිරුළු බොහොමයි. එයින් 5ක් කියන්න ඔබට පුළුවන්ද?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 
Related Posts with Thumbnails