පොළවම් බානවා නම් කළ වරදකට
පිළිවන් අපට එවරද යළි නොකරනට
කිසිවක් කියා නොදෙමින් දුන් නමුත් බැට
බැරිකම් දුරුවේද බිය වී වේවැලට

නිසි දේ ඉගෙන ගන්නට මග කියා නොදී
බැටදේ නමුත් කළ කළ දේ යයි වැරදී
කෙවිටේ බෙලෙන් එනවා නම් නුවණ ඇදී
මෙ රටේ ගොනුන් පඩිඳුන් වනු ඇත ළඟදී


මේ අපූරු උපහාස කවිය, පොඩිත්තෙකුට වේවැලෙන් තලා දඬුවම් කරන ගුරුවරයෙකු දැක ලියූවකි. කවිය ලිවුවේ කවුද?



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා; "දණ ගහපල්ලා! ආචාර කරපල්ලා!"

සුදුපාට ඇතෙකු එන හැටි ගල් වඩුවා දැක්කා. ඇතා පිට වාඩි වී හිටියා රජ කෙනෙක්. ගල් වඩුවා දණ ගසා රජතුමාට ආචාර කළා. ඔහු මෙහෙම සිතුවා.

"රජතුමාට මාව පෙනෙන්නෙ වත් නැහැ, එහෙනම්, මම නමස්කාර කරන්නේ ඇතාට වෙන්න ඕනේ. ඇතා බොහොම වැදගත් සතෙක්.ඇතාත් මට වඩා හොඳට ජීවත් වෙනවා. මටත් ඇතෙකු වෙන්නට ඇත්නම් කොතරම් හොඳද" කියලා ගල් වඩුවා හිතුවා. එහෙම හිතුවා විතරයි ගල් වඩුවා එකවරම ඇතකු වුණා.

ඇතා බවට පත්වුණු ගල් වඩුවාගේ පිට උඩ රජා වාඩිවෙලා තේ බොනවා. රජ්ජුරුවන්ගේ උණු තේ කෝප්පයෙන් උණු තේ ටිකක් ඇතාගේ පිටට වැටුණා. උගේ පිට රිදුණා. "මීට වැඩිය හොඳයි රජ කෙනෙකු වෙනවානම්" කියලා ගල්වඩු ඇතා සිතුවා. එහෙම සිතුවා විතරයි, ගල් වඩු ඇතා රජ කෙනෙකු බවට පත් වුණා.

ඔන්න දැන් ගල් වඩු රජතුමා සුදු ඇතා පිට නැගිලා යනවා. රජතුමා උණු තේ බීලා සතුටු වුණා. සතුට අසතුටට හැරුණා. බොහොම සැරට ඉඅර පායන්නට පටන් වුණා. රජතුමාට ඇස් අරින්නවත් බැහැ. කඳුළු ගලන්නට වුණා. ඉර අව්ව එතරම් සැරයි. " ඉර මටත් වඩා බල සම්පන්නයි. මා කැමතියි ඉර වෙන්ට" රජා සිතුවා.


සිතුවා විතරයි ගල් වඩු රජා එක පාරටම ඉර බවට පත් වුණා. එදා සිට මේ අලුත් ඉර පායන්නට පටන් ගත්තා. ඉර අව්ව නිසා මහ පොළොව ගිනි රත් වුණා. අහසේ වළාකුළු ඇති වෙලා, වැහි වළාවක් හැදුණා. මේ වැහි වලාකුල නිසා ඉර අව්ව මහ පොළොවට පායන්නෙ නැහැ. ඉර තරහ වෙලා මෙහෙම සිතුවා. " මා කැමතියි වැහි වලාකුලක් වෙන්ට!" සිතුවා විතරයි ගල් වඩු ඉර එක වරම වැහි වළාකුලක් වුණා. දැන් ඉතින් කුණාටුවට අසු වෙච්ච වැහි වළාව අහස හැම තැනම දුවනවා. " හරි වැඩක් නෙව, මාව හැම තැනම එළවන්නෙ කවුද? කුණාටුව තමයි! මා කැමතියි කුණාටුවක් වෙන්නට!"

සිතුවා විතරයි, ගල්වඩු වැහි වලාව කුණාටුවක් වෙලා ඉවරයි. කුණාටුව වේගයෙන් හමන්නට වුණා. ගස්, වැල්, ගෙවල්වල වහලවල් කැඩිලා බිම වැටුණා. බොහොම සැර කුණාටුවක්! මේ කුණාටුව ලොකු ගල් කන්දක හැප්පිලා බිඳුණා. "ගල් කන්ද මටත් වඩා බල සම්පන්නයි. මං කැමතියි ගල් කන්දක් වෙන්නට" එතකොටම වාගේ කුණාටුව ගල් කන්දක් වුණා.

කඳු මුදුන වලාකුළු වලටත් වඩා උසයි. කඳු පා මුල ඉන්න මිනිසුන් බොහොම පුංචියි. මහ විසාල කන්ද මිනිසුන් කරන වැඩ ගැන සැලකුවේ නැහැ. හයිය අත් දෙකක් ඇති මිනිහෙක් ලොකු ගල් කටුවක් අරගෙන එන හැටි ගල් කන්ද දැක්කේ නැහැ. මිනිහා ගල් කටුවෙන් කන්දට ඇන්නා.

"මිනිහා තමා අනිත් හැමදේටම වඩා බල සම්පන්න." ගල් කන්ද වේදනාවෙන් කෑගහන අතර සිතුවා. " මා කැමතියි මිනිහකු වෙන්නට!" ඔන එතකොට ගල් කන්ද එකවරම මිනිහකු වුණා. ගල්වඩු ගල් කන්ද නැවත ගල් වඩුවකු වෙලා ගල් කඩන්නට පටන් ගත්තා.

අසුන් පිට නැග ගත්තු රාජ සේවකයෝ කෑ ගහන්නට වුණා. "රජතුමා වඩිනවා. දණ ගහපියව්! නමස්කාර කරව්!" ඇතකු, රජකු, වැහිවලාවක්, කුණාටුවක්, ගල් කන්දක් බවට පත් වෙලා ආයෙමත් ගල්වඩුවකු වුණු මිනිහා මෙහෙම සිතුවා; "දණ ගහන්නේ නැහැ!" ඔහු දණ ගැසුවේ නැහැ. ඔහු දණ ගැස්සවීමට පුළුවන් බලවතෙක් ලෝකයේ නැහැ. මිනිහා යටත් වන්නේ පිටින් ඇති බලයක් නිසා නොවෙයි. තමාගේම බියසුළු, නිවට කම් හන්දා.

[තජික් කතාවක් ඇසුරින් පිළියෙල කරන ලද්දකි.]

ඇන්දේ| විනකූරොව් සහ ෂ්වාර්ට්ස්මාන්

ආර්. කුෂ්නේරෝවිච්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


"හෑන්ඩ් ෆිශ්" ලෙස හඳුන්වන මෙම මත්ස්‍ය විශේෂය ජීවත් වෙන්නෙ දකුණු ඕස්ට්ට්‍රේලියාව සහ තස්මේනියාව නිජබිම කරගෙනයි. ඕස්ට්ට්‍රේලියාවට ආවේණික ජීවින් ලයිස්තුගත කළහොත් එහි ප්‍රමුඛතම ස්ථානය ගන්නේ මේ අත් සහිත සුවිශේෂි මත්ස්‍යන්. හෑන්ඩ් ෆිෂ් සමුදුරු වාසි මත්ස්‍ය විශේෂයක්. ජීවත් වෙන්නෙ මූදූ පතුළට සමීපයෙන් නොගැඹුරු ස්ථානවල.

මොවුන් ප්‍රමාණයෙන් කුඩා වන අතර දිගින් සෙ.මී 15 ක් පමණ වෙනවා. ශරීරය වැසී තිබෙන්නෙ දන්තාකාර කොරපොතුවලින්. බැලූ බැල්මට මෙම මසුන් අන් මසුන්ට වඩා වෙනස්. එහෙම වෙන්නෙ මොවුන්ගේ විකරණය වූ වරල් අත් වල හැඩයෙන් යුතුයි. ඒ නිසා පිහිනීමට වඩා මොවුන් වැඩි රුචිකත්වයක් දක්වන්නේ සෙමින් මූදු පතුලෙහි ඇවිද යාමටයි.පෘෂ්ඨීය වරල මුව කෙළවර තෙක් වැඩීමෙන් කිරුලක් ලෙසයි දිස්වෙන්නෙ.

මූදු පතුළට සමීපයෙන් සංචරණය කරමින් පණුවන් සහ ක්‍රස්ටේසියාවන් ආහාරයට ගනියි. පතුළට සමීපව නොගැඹුරු ස්ථාන වාසස්ථාන වල ජීවත් වන බැවින් අනෙක් සතුන්ට ගොදුරු වීමෙ ඉඩකඩ සුලබයි. එමනිසා අනෙකුත් විලෝපීන් ගෙන් ආරක්ෂා වීම පිණිස ඉතා විෂ ග්‍රන්ථි සහිතවූ සමක් මෙම මත්ස්‍යන් විශේෂය සතු වෙනවා. ඉතා ස්වල්ප ප්‍රමාණයක් බිත්තර හෙළයි. එබැවින් බෝවීමේ සීග්‍රතාව ඉතා පහල අගයක පවතියි. එනිසාම වඳවී යාමේ තර්ජනයට දැඩි ලෙස මුහුන පා සිටින මත්ස්‍ය විශේෂකි.

දැනට විශේෂ 14 ක් හඳුනාගෙන ඇති නමුත් නාමකරණයට ලක් කර ඇත්තේ ඉන් විශේෂ 9ක් පමණයි. මෙම මසුන්ගේ විරල ස්වභාවය නිසාම ඔවුන් අධ්‍යනය තරමක් අපහසු කටයුතුත්තක්.

නීල්යා කාරියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි

කුමරිය ඇතු පිට එනවා
වළාකුළු ද කළු වෙනවා
වැහි කුමරිය හිනැහෙනවා
විදුලි එළිය විහිදෙනවා

වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි

වැහිලිහිණියෝ රැල් බැඳලා
පිණුම් ගසති උඩ පැනලා
වැහි කුමරිගෙ හිනා කටයි
වැහි බිඳු අතු රිකිලි නටයි

වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි

සිංදුව අහන්න

මියැසිය- අමරදේව
ගායනය- අමරදේව ඇතුලු පිරිස


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


ළමයා : ලේනෝ මගෙ යාළුවේ මේ දත අරගෙන
අලුත් දතක් දෙනවද මට ඒ දත වෙනුවට

ලේනා: හිතුමතේට පැණිරස කා දත් නොමදින කොට
ඔය දේ වෙන බව නම් මං කිව්ව ඔයාට

ළමයා: සීනී බෝල අරගෙන මුදලාලි මාමගෙන්
තනියෙන්මයි කෑවේ මං හරි ආසාවෙන්

ලේනා: ඔයා සීනි බෝල කද්දි ගහමුල තනියෙන්
මං කෑවේ රස පළතුරු මිතුරන් සමගින්

ළමයා: සමාවෙන්න යාළු එදා කළ වරදට මං
ඔයාගෙ දත් හයිය වුණේ කොහොමද ඔතරම්

ලේනා: සීනි බෝල ටොපි චොකලට් නොකා අද ඉඳන්
රස පලතුරු බෙදන් කන්න හෙට අලුත් දතෙන්

අමිල තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


අපි අසන දකින දෙයින් යම් තීරණවලට එළඹෙමු. එහෙත් අප අසන දකින දෙය, සෑම විටම ඇත්ත නොවේ. ඒ මත තීරණ ගැනීමේ දී, අප බොහෝ විට හාස්‍යයට ද ලක් වෙයි. දිනක් එක් විදේශිකයෙක් දේශාටනය සඳහා ලංකාවට පැමිණියේය. ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකි. ලංකාවේ ගම් නියම් ගම්වල ඇවිදීමට ඔහු බොහෝ ඇල්මක් දැක්වීය. දිනක් ඔහු දකුණු පළාතේ කුඹුරු ගොවිතැන් කරනු බැලීමට ගියේය. මී හරකුන් බානක කරෙහි-

වියගසක් ගැට ගසා ඇත. එහි බැඳ ඇති නගුලෙන් ඔවුහු කුඹුරු සී සාති. ගොවියා අත කෙවිටකි. ඔවුහු ඕසෙ නගමින්, අඬහැර පාමින්, ගොනුන් දක්කති. ඇසූ දෙයින් සුද්දා මවිතයට පත් විය.
"ජැක්... පීටර්..... මැක්"

සුද්දා අනුරාධපුරය නැරඹීමට ගියේය. එහි ගොවියෝ ද ගවයන්ට අඬහැර පාන්නේ එකම හඬිනි.
"ජැක්... පීටර්..... මැක්"

මේ තම රටෙහි වැදගත් මිනිසුන්ට භාවිතා කරන නම් තුනකි. තම රටෙහි මිනිසුන්ට භාවිතා කරන නම් වලින් ලංකාවෙහි ගොන්නුන්ට අමතන්නේ ඇයි දැයි ඔහුට පුදුමයකි. ඔහු පා තැබූ සෑම ප්‍රදේශයකම ගවයන් අමතන්නේ එසේය.
"ජැක්... පීටර්..... මැක්"

ඔහු උගත් ලේඛකයෙකි. තම රටට ගිය ඔහු, ලංකාව ගැන පොතක් ලීවේය. එහි ඔහු මෙසේ ලීවේය.

"ලංකාවේ මිනිස්සු ගවයන්ගෙන් කුඹුරු සී සාති. කෙවිටකින් පහර දෙමින් නම් කියා කෑ ගසති. එවිට ඔවුන් ගවයන් අමතන්නේ අප රටෙහි වැදගත් මිනිසුන්ගේ නම් කියමිනි. ජැක්... පීටර්..... මැක්"

අප ගොවියන් ගොවි භාෂාවෙන් ගවයන් දක්කන්නේ "ජහ්... පිට... මහ්" යනුවෙනි.
සුද්දා එය තේරුම් ගත්තේ වැරදි ආකාරයටය.

-ජැක් පීටර් මැක් (පිරුළු කතන්දර)| හේමචන්ද්‍ර සූරියආරච්චි| 2005
කෘතිය පිළිබඳ විමසීම්- 33 226 3644


හේමචන්ද්‍ර සූරියආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


සියළුම තාත්තලා අතරින් ඉතාම හොඳ තාත්තා මගේ තාත්තාය. ඒ ගැන නම් කිසිම සැකයක් ඇත්තේ නැත. මගේ තාත්තා තරම් හොඳ තාත්තා කෙනෙකු වෙන කිසිම පුතෙකුට ලැබී නැත. ඔබ මගේ තාත්තා හොඳින් හඳුන්නනේ නැතිද? එසේ නම් ඔබට ඔහු විහිළුවට අකැමැති සැඩ පරුෂ අයකුය කියා සිතෙනවාට සැකයක් නැත. එහෙත් ඇත්තටම ඔහු එසේ නොවේ. මගේ තාත්තා විනෝද කාමී අහිංසක තාත්තා කෙනෙකි. බැලූ බැල්මට නම් පෙනෙන්නෙ සැඩ පරුෂ කෙනෙකු බවයි. එසේ සිතෙන්නට හේතුව මගේ තාත්තා දෙතොලින් සිනාසෙන කෙනෙකු නොවීමයි.

මගේ තාත්තා සිනා සැලුවේ දෙනෙතිනි. මගේ තාත්තාට තිබුණේ අපූරු නිල් කැට දෙකක් වන් දෙනෙතකි. ඔහුගේ සිතෙහි සතුටක් ඇති විට ඒ දෙනෙත රැයක දැල්වුණු ගින්නක් ලෙසින් සුන්දරව දිලිසේ. එවිට ඔබ ඒ දෙනෙත දෙස විමසිල්ලෙන් බැලිය යුතුය. ඒ දෙනෙත් මැද ඇවිලෙන රත් පැහැති සිනා දල්ල එවිට ඔබගේ නෙත ගැටෙනවා ඇති.

එහෙත් එවිට වත් ඔහුගේ දෙතොල් සෙලවෙන්නේ නැත. මගේ තාත්තා දෙනෙතින් සිනාසෙන්නෙකු වීම ගැන එකල මම උද්දාමයට පත් වූයෙමි. තාත්තා සිනාසුණේ දෙනෙතින් නිසා ඔහු මා සමග මූනිච්චාවට සිනා නැගුවේ නැත. හදවත සිනාසෙන්නේ නැති විටක ඇස්වලින් සිනාසෙන්නට කිසිවෙකුට හැකියාවක් නැත. මුවින් සිනාසීම මීට වෙනස්ය. කැමති ඕනෑම විටෙක දෙතොල් පලල් කර මුවට සිනාවක් නගා ගන්නට ඔබට පුළුවන. ඒ නිසා නියම සිනා මුවත් සමඟ දෙඇසක් සිනාසෙන බව ඔබ මතක තබා ගත යුතුය. ඒ නිසා ම අඔබට කියමි, යමෙකු ඔබ සමඟ මුවින් සිනාසෙන විට ඔබ ඔහුගේ දෙනෙත දෙස බලන්න. මුව සමඟ දෙනෙත ද සිනාසෙන්නෙ නැති නම් එය සිනාවක් නොව මවා පෑමකි.

මගේ තාත්තා උගතෙක් නොවේ. ඔහු සිය ජීවිත කාලයට පොත් විස්සක් වත් කියවා තිබුණා යයි මම නොසිතමි. එහෙත් ඔහු තරම් හොඳ කතන්දර කාරයෙකු ලොව කිසිම තැනක සිටියේ නැථ. සෑම රාත්රිඔයකදීම නින්දට යාමට පෙර ඔහු මට කතන්දරයක් කියා දුන්නේය. ඔහු ගෙතූ සමහර කතාවක් කොටස් කීපයක් වශයෙන් රාත්රීට කීපයක් පුරාම නොකඩවා දිගහැරුණේය.

එවැනි එක කතාවක් රාත්‍රීන් පහළොවක් පුරා ගලා ගියේය. ඒ කතාව ගෙතුණේ මිතුරු යෝධයා නමැති අරුම පුදුම මිනිසෙකු වටාය.

මිතුරු යෝධයා සාමාන්‍ය මිනිසකු මෙන් තුන් ගුණයක් උස මහතින් යුතුය. ඔහුගේ අතක් විල්බැරොවක් තරමට මහතය. මිතුරු යෝධයා ජීවත් වූයේ ගුහාවකය. ඒ ගුහාව පිහිටා තිබුණේ අපේ තවලම් නිවස අසලම යම් තැනක පොළොව අභ්‍යන්තරයේය. මිතුරු යෝධයා එළියට පැමිණියේ රාත්රීය කාලයේදී පමණි. ඔහුගේ නිවසද අපේ නිවස වැනිම තවලම් නිවසකි. එහි විශාල කර්මාන්ත ශාලාවක් තිබුණේය. ඒ කම්හලේදී ඔහු අරුම පුදුම මැජික් කුඩු වර්ග දහස් ගණනක් නිෂ්පාදනය කළේය.

සමහරක් දිනෙක මගේ තාත්තා මට කතන්දර කියා දුන්නේ තාලයකට පාද තබමින් තවලමේ ඒ මේ අත ගමන් කරමිනි. එසේ ඇවිදින අතරවාරයේ ඔහු සිය දෑස් සහ අතැඟිලි ඒ මේ අතට විහිදුවමින් ඔහු කතන්දර කීවේය. එහෙත් ඔහු වැඩිපුරම කළේ මගේ ඇඳ කෙළවරේ මා අසලින් වාඩි වී හිඳගෙන ඉතා මෘදු හඬකින් කතන්දර කීමය.

"මිතුරු යෝධයා එයාගේ මැජික් කුඩු හදන්නේ පුංචි ළමයි නින්දෙදී දකින හීන වලින්" තාත්තා කීවේය.

"ඒ කොහොමද තාත්තේ හීන වලින් කුඩු හදන්නේ"

"හීන කියන්නේ පුතේ මහ අමුතු ජාතියක්. රෑට හීන වලාකුළු වගේ අහසේ පාවෙලා නිදන් ඉන්න මිනිසුන් හොයාගෙන යනවා."

"ඔයා හීන එහෙම පාවෙලා යනවා දැකලා තියෙනවද?"

"මම තියා කවුරුවත් දැකලා නෑ"

"එහෙමනම් මිතුරු යෝධයා ඒ හීන අල්ලන්නේ කොහොමද?"

"අන්න ඒක තමයි පුතේ වැදගත්ම දේ. හීන අහසේ පියාඹන කොට මී මැස්සෝ අහසේ පියාඹන කොට වගේ ගුමු ගුමු සද්දයක් නැගෙනවා.ඒත් ඒ සද්දෙ නැගෙන්නෙ බොහොම හෙමින් නිසා අපිට ඒ සද්දෙ ඇහෙන්නෙ නෑ.ඒත් මිතුරු යෝධයාට ඒ සද්දෙ ඇහෙනවා. අපිට ඇහෙන්නෙ නැති පුංචිම පුංචි සද්ද පවා එයාට ඇහෙනවා."

තාත්තා කතන්දර කියන විට ඔහුගේ මුහුණේ තිබුණු පෙනුමට මම බොහෝ සෙයින් ආශා කළෙමි.ඔහු කතන්දර කියනා විට ඔහුගේ මුහුණ ඉතා පැහැපත් වූ අතර අවට සිදුවන කිසිදු දෙයක් පිළිබඳ හැඟීමක් එවිට ඔහුට තිබුනේ නැත.

"ඔයා දන්නවද?" තාත්තා මගෙන් ඇසුවේය. "මකුළුවෙක් මල් පෙත්තක ඇවිදින හඬ පවා මිතුරු යෝධයාට ඇහෙනවා. පොළොව දිගේ පේළියට ඇවිදින කූඹි මුහුණට මුහුණ තිය තියා කියන රහස් පවා මිතුරු යෝධයාට ඇහෙනවා. ගස් කපන අය පොරොවෙන් ගස් වලට කොටද්දී ඒ ගස් වේදනාවෙන් කෙඳිරිගාන හඬ පවා මිතුරු යෝධයාට ඇහෙනවා. අපට ඇහෙන්නැති ඒ වගේ සද්ද තව කොච්චරක් නම් මේ ලෝකේ තියෙනවද? ඒ සද්ද හැම එකක්ම මිතුරු යෝධයාට බොහොම හොඳට ඇහෙනවා."

"මිතුරු යෝධයා හීන අල්ලාගෙන මොකද කරන්නේ?"

"එයා ඒ හීන බෝතල් වලට දමලා තද කරලා මූඩි වහනවා. තාත්තා කීවේය. "එයාගේ ගුහාවේ හීන පුරවපු බෝතල් දහස් ගණනක් ගොඩ ගහලා තියෙනවා."

"එයා හොඳ හීනයි නපුරු හීනයි දෙකම අල්ලා ගන්නවද?" මම තාත්තාගෙන් ඇසුවෙමි.

"දෙජාතියම අල්ලනවා. ඒත් කුඩු හදන්න ගන්නේ හොඳ හීන විතරයි." තාත්තා කීවේය.

"එතකොට නරක හීන වලට මොකද කරන්නේ?"

"එයා ඒ හීන පුපුරවනවනවා."

මම මගේ තාත්තාට ආදරය කළ තරම වචනයෙන් විස්තර කරන්නට මට හැකියාව නැත. තාත්තා මගේ ඇඳ අසල වාඩි වී සිටිද්දී මම හෙමින් සීරුවේ ඔහුගේ අත ළඟට මගේ අත දිගු කරමි. එවිට ඔහු සිය දිගු ඇඟිලි වලින් මගේ අත්ල තරයේ අල්ලා ගනී.

"ඉතිං යෝධ මාමා එයා හදන හීන කුඩු වලට මොනව්ද කරන්නේ?" මම ඇසුවෙමි.

"නිස්කලංක රාත්‍රීන්වලදී" මගේ තාත්තා කතාවට මුලපිරුවේ එසේය. "එයා බොහොම හෙමිහිට ගම්වලට වැදිලා දරුවන් නිදා ඉන්නා ගෙවල් සොයාගෙන යනවා. එයා බොහොම උසයිනේ. ඒ නිසා තට්ටු දෙක තුනක් උස ගෙවල් වල ජනේල්වලින් වුණත් එබිලා බලන්න එයාට පුළුවන්. පුංචි ළමයෙක් නිදා ඉන්න කාමරයක් හමුවුණු ගමන් ඔන්න එයා එයාගේ පෙට්ටිය අරිනවා.

"පෙට්ටිය?" මම ප්‍රශ්න කළෙමි.

"මට කියන්න අමතක වුණානේ. මිතුරු යෝධයා එද්දි පෙට්ටියකුයි, දුම් බටයකුයි අරන් එන්නේ. ඒ දුම් බටය ලයිට් කණුවක් තරම් උසයි. අර පෙට්ටිය ඇතුලේ තමයි මැජික් කුඩු තියෙන්නෙ."

"ඊළඟට එයා පෙට්ටිය ඇරලා නියමිත කුඩු වර්ගය තෝරා ගන්නවා. ඒ කුඩු ටිකක් දුම් බටයට දමනවා.බටය කාමරයෙන් ඇතුළට දමලා පූපුහ් කියලා අර කුඩු ටික කාමරය ඇතුළට පිඹිනවා. කාමරය ඇතුලේ කුඩු විසිරිලා ළමයා හුස්ම ගත්දී ඒව ළමයගේ ඇඟට ඇතුළු වෙනවා.

"ඊට පස්සෙ"

"ඊට පස්සෙ ඒ ළමයාට හරි අපූරු ලස්සන සිහින පෙනෙන්නට පටන් ගන්නවා. මැජික් කුඩු හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ළමයා සිහිනයෙන් දකින දේ සැබවින්ම සිද්ද වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ළමයා ඉන්නේ ඇඳ උඩ නිදාගෙන නෙමෙයි. එයා හීනෙන් දකින හැම තැනම අවදියෙන්. මම කියන දේ ඔයාට තේරෙනවද? එයා දකින හීනය හීනයක් නෙමෙයි. හැබැහින්ම වෙන දෙයක් බවට පත් වෙනවා. හීනය සැබෑ ජීවිතය බවට පත් වෙනවා. දැන් රෑ වුණා. ඉතිරි හරිය හෙට කියන්නම්. සුබ රාත්රිතයක් මම නිදා ගන්නවා."

මට හාදුවක් දුන් තාත්තා කුඩා පැරෆින් ලාම්පුව නිවී යන තුරු එහි තිරය පහත් කරයි. අඳුරු කාමරය පුරා රතු පැහැති ආලෝකය පතුරුවමින් ඇවිලෙන ගිනි උඳුන අසලින් ඈඳි ගනී.

"තාත්තේ" මම තාත්තාට කතා කළෙමි.

"ඇයි පුතේ?"

"ඔයා මිතුරු යෝධයා දැකලා තියෙනවද?"

"එක වතාවක්. එකම එක වතාවක් මම එයාව දැකලා තියෙනවා." තාත්තා කීවේය.

"ඒ කොහෙදීද?"

"මම තවලම පිටිපස්සෙ වාඩිවෙලා හිටියා." තාත්තා කීවේය. "එදා රෑ බොහොම හොඳට හඳ පායලා තිබුණා. එහෙම ඉඳිත්දී මට ඉබේටම වාගේ උඩ බැලුණා. ඔන්න එතකොටම වාගේ යෝධ හෙවණැල්ලක් වගේ මිනිහෙක් කඳු මුදුන් දිගේ දුවගෙන ගියා මට පෙනුණා. එයා කඩිමුඩියේ දුවගෙන ගියා. එයාගේ ලෝගුව වළාකුලක් වගේ එයා පස්සෙන් දිගට දිගේ ඉගිලිලා ගියා. එයාගේ එක අතක ලොකු පෙට්ටිය. අනික් අතේ දුම් පයිප්පය. එයා තණ බිම අද්දර වල් රෝස යාය ළඟට ආවා. අඩියට දෙකට තණ බිම හරහා ගිහිං ඇසිපිය ගහන පමාවෙන් අතුරුදන් වුණා.

"ඉතිං ඔයාට බය හිතුනෙ නැද්ද?"

"අපෝ නැහැ! මම එයාව දැකගන්න ආසවෙනුයි හිටියේ" තාත්තා කීවේය. "මට පුංචි තැතිගැන්මක් දැනුනා, ඒත් බය හිතුණේ නෑ. දැන් ඉතින් නිදා ගන්න. ඔයාට සුබ රාත්‍රියක් වේවා!"

-[රෝල් ඩාල් ගේ "ඩැනී"]["තාත්තයි මමයි"]
සිත්තම- රුවන්මලී

රෝල් ඩාල්
පරිවර්තනය - අනුර කේ එදිරිසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


එකමත් එක කාලෙක මුහුදු වෙරළක් අයිනේ පුංචි සිප්පි කටුවක් වැටිලා තිබුණා. මේ සිප්පි කටුව කොච්චර ලස්සනද කිව්වොත් හරියට මුහුදේ හැම පාටක්ම එකතු වෙලා හැදුණා වගෙයි. මිනිස්සු ගොඩක් වෙරළට ආවා...විනෝද වුණා...යන්න ගියා..හැබැයි කවුරුවත් මේ සිප්පි කටුව දැක්කෙ නෑ. හැමෝම ආවෙ තම තමන්ගේ වැඩ වලට.., විවේක ගන්න, විනෝද වෙන්න, චිත්‍ර අඳින්න, කවි ලියන්න, සෙල්ලම් කරන්න, තනියෙන් ඉන්න...මේ වගේ දේවල් කරලා ඒගොල්ලෝ යන්න ගියා.

එදා හැන්දෑවෙ මේ වෙරළට ආවා පුංචි පිරිමි ළමයෙක්. එයාගෙ නම පැංචා. පැංචා හරි පුංචියි.

හැබැයි බොහොම නුවණැත්තා. පැංචාට තිබුණේ දිළිසෙන ඇස් දෙකක්. ජීවත් වුණේ අම්මා එක්ක. දුප්පත් අම්මා පැංචාට කන්න දෙන්න බොහොම වෙහෙස වුණා. මේ දෙන්නා හිටියෙ පුංචි ලෑලි ගෙදරක. ගෙදර බිත්ති වැහිලා තිබුණෙ පැංචාගේ අපූරු චිත්‍ර වලින්. ඒවායේ හිටියේ ලස්සන මාළු, මුහුදු පැළෑටි, මුහුදු රැළි, ගල් මල්, දිය කිඳුරියෝ, බෙල්ලෝ...මේ වගේ ලස්සන අය. පැංචා නිදා ගන්න ගියාම මේවා දිහා බලනවා. චිත්‍ර එක්ක කතා කරනවා. ගෙදරට ඈතින් රළ ගහන සද්දෙ ඇහෙන කොට පැංචා හිතා ගන්නවා තමන් ඉන්නෙ මුහුදු පතුලෙ කියලා. එහෙම හිතාගෙන නින්දට වැටෙන පැංචගේ මූණෙ හැමදාම ලස්සන හිනාවක් ඇ‍ඳෙනවා. අම්මා හිතන්නෙ පැංචට හීනෙන් සුරංගනාවියෝ කතා කරනවා කියලා.

ඉතිං එදා හොඳට නිදාගෙන නැගිටලා අම්මටත් උදව් පදව් වෙලා හැන්දෑවෙ පැංචා වෙරළෙ සෙල්ලම් කර කර හිටියා. පැංචා වැල්ලෙ දුවනවා..වෙරළට කණ තියලා මුහුදේ සද්දෙ අහනවා..ගල් මල් හොයනවා...රැල්ල එක්ක සෙල්ලම් කරනවා. එතකොට තමයි පැංචා දැක්කෙ වෙරළෙ වැටිලා ඉන්න අර ලස්සන සිප්පි කටුව. කොච්චර සිප්පි කටු ඇහිඳලා තිබුණත් මේ තරම් ලස්සන එකක් පැංචා ළඟ නෑ. පැංචා බොහොම ආසාවෙන් ඒක ඇහිඳ ගත්තා. සතුට ඉහ වහ ගිහින් සෙල්ලමත් නවත්තලා ගෙදර දිව්වා. අම්මට මේ අලංකාර සිප්පි කටුව පෙන්නලා පැංචා අපූරු නැටුමකුත් නැටුවා.

ඔන්න ඉර කහ පාට වෙලා, තැඹිලි පාට වෙලා , රතු පාට වෙලා මුහුදෙ හැංගිලා ගියා. පැංචා අම්මා හදලා දුන්න රොටිය කාලා ඇඳට ගියා නිදා ගන්න. අද පැංචට බිත්තියේ චිත්‍ර එක්ක කතා කරන්න අමතක වෙලා. පැංචා සිප්පි කටුව දිහා බලනවා..ඒකට කණ තියලා මූහුදේ සද්දේ අහනවා. මේ විදිහට පැංචාට ඉබේම නින්ද ගියා. නිදන් ඉන්න පැංචාගේ මූණට බිත්තියෙ ලෑලි අතරින් හඳ එළිය වැටිලා... සිප්පි කටුවත් හඳ එලියට දිලිසෙනවා. හදිසියේ කට හඬක් ඇහිලා පැංචාට ඇහැරුණා. පැංචා වට පිට බැලුවා. අම්මා නම් නිදි..මේ මහ රෑ වෙන කවුරු කතා කරන්නද..පැංචා ආයි ඇස් වහ ගත්තා. ටික වෙලාවක් ගත වුණා. මෙන්න ආයෙත් ඒ කට හඬ ඇහෙනවා. පැංචා ඇස් ඇරලා හොඳින් වට පිට බැලුවා. එතකොටයි පැංචා දැක්කේ...සිප්පි කටුව කතා කරනවා.


“නුඹ මිනිහෙක් වගේ කතා කරන්නෙ කෙහොමද?” පැංචා පුදුම වෙලා අහනවා.

“මුහුද යට ඉන්න අපි හැමෝටම කතා කරන්න පුළුවන්..හොඳ ළමයෝ, නුඹ මොකද මාව මෙහෙට ගෙනාවෙ?” සිප්පි කටුව උත්තර දුන්නා.

“නුඹ බොහොම ලස්සනයි නෙව...ඒ නිසයි ගෙනාවෙ. නුඹට බඩගිනිද?“ පැංචා අහනවා.

“මට බඩගිනියි.ඒත් මට කෑම තියෙන්නෙ මුහුදේ. හොඳ ළමයෝ, මට උදව්වක් කරපන්”

“ලස්සන සිප්පි කටුවේ, මොකක්ද මම කරන්න ඕනෙ?”

“මාව ආපහු මුහුදට ගිහින් දාපන්” සිප්පි කටුව බොහොම දුකෙන් කිව්වා.

“දැන් මහ රෑනේ. හොඳටම කළුවරයි. අනෙක මම ඇයි නුඹව මූහුදට දමන්නේ? නුඹට මා එක්ක මෙහෙ ඉන්න බැරි මොකද? මම නුඹව බාල්දියක දමලා හැමදාම අළුත් මුහුදු වතුර ගෙනත් දමන්නම්.” පැංචා නුවණැති විසඳුමක් දුන්නා.

“පොඩි ළමයෝ, නුඹ හරිම අපූරු දරුවෙක්. ඒ වුණාට මට මෙහේ නවතින්න හැටියක් නෑ. මගේ යාළුවෝ ඉන්නෙ මුහුද යට. ඒගොල්ලො නැතිව මාව පාළුවෙ මැරිලා යාවි. අනෙක මෙහෙ නැවතුණොත් මට පැවරුණු රාජකාරි කරන්නෙ කවුද? “

“එහෙමද? මොනවද එතකොට නුඹට පැවරිලා තියෙන රාජකාරි?” පැංචා බැරෑරුම් විදිහට ඇහුවා.

“මට තමයි පැවරිලා තියෙන්නේ රෑට මුහුද ලස්සන කරන්න එලිය දෙන ආලෝක මාළුවො ගැන බලන්න. තව... ආලෝක පැළෑටි, දිළිසෙන ගල් මල් ...මේ හැමෝම රෑට එළිය බෙදනවද කියලා බලන්නේ මම. නැත්නම් අපේ ලෝකෙ කළුවරේ.“ සිප්පි කටුව විස්තර කළා.

“මොනවා? අපි දන්නෙ රෑට මුහුද යට කළුවරයි කියලා නෙව. අපි...ඒ කිව්වෙ මිනිස්සු..එහෙමයි හිතන් ඉන්නෙ.”

“හොඳ ළමයෝ, ඒ මිනිස්සුන්ට පේන කොටස. ආලෝකය තියෙන ගැඹුරු ‍සාගර පතුලට මිනිස්සුන්ට එන්න බෑ. ඒක බොහොම අපූරු ලස්සන ලෝකයක්. අපි එළිය ගන්නෙ ඉරෙන් සහ හඳෙන්. ඉතිං අපි නිතර මුහුද මතු පිටට ඇවිත් ඉරෙන් එළිය අරන් යනවා. සමහර මාළු රෑට ඇවිත් හඳ එළිය අරන් යනවා. “
පැංචා පුදුමයෙන් කට ඇරන් අහන් ඉන්නවා.

“හොඳයි, මම නුඹව මුහුදට දමන්නම්.. ඒත් මම කොහොමද දැන ගන්නේ නුඹ කියන්නේ ඇත්ත ද කියලා?“ පැංචා අහනවා.

සිප්පි කටුව කල්පනා කළා.
“හරි, නුඹ හොඳ ළමයෙක් නෙව. මට කරන්න යන උදව්ව වෙනුවෙන් මම නුඹව අපේ ලෝකෙට එක්කගෙන යන්නම්”

“අපොයි!අපේ අම්මා මාව අඬ අඬා හොයාවි හෙට උදේට. “ පැංචා ගමන යන්න ආස වුණත් අදිමදි කළා.

“අනේ පොඩ්ඩෝ, එහෙම වෙන්නෙ නෑ. අපේ ලෝකේ රැයවල් තුනක් මෙහේ එක රැයයි. නුඹට එහේ දවස් තුනක් ගත කරලා හෙට උදේම මෙහෙ එන්න පුළුවන්.”

“ ඒ වුණත් මම මාළුවෙක් නෙවෙයි. මම කොහොමද මුහුද යට හුස්ම ගන්නෙ?” නුවණැති පැංචා ඇහුවා.

“නුඹ ඒ ගැන බය වෙන්න එපා. මම නුඹ ගැන බලා ගන්නම්.” සිප්පි කටුව සහතික වුණා.

“හොඳයි” පැංචා කැමති වුණා.

පැංචා සිප්පි කටුව අරන් පරිස්සමින් කලිසම් සාක්කුවෙ දා ගත්තා. අම්මට හොරෙන් පොල් අතු දොර ඇරගෙන එළියට ආවා. අහස කළුවරයි. හැම තැනම අඳුරුයි. පැංචා සිප්පි කටුව සාක්කුවෙන් එළියට ගත්තම ඒක එළිය විහිදවන්න පටන් ගත්තා. පැංචා ඒ එළියෙන් වෙරළට ගියා.

රැල්ල ඇවිත්වෙනදා වගේම පැංචාගේ කකුල් තෙමුවා. ඔන්න එතකොට සිප්පි කටුව කතා කළා.
“හොඳ ළමයෝ, දැන් නුඹ මාව අතේ ගුලි කරගෙන ඇස් පියා ගෙන මුහුද දිහාවට ඇවිදින්න ඕනෙ. නැවත ඇස් අරින්නෙ මම කතා කළාමයි. තේරුණාද?”

“ඔව්” පැංචා ඔළුව වැනුවා.
ඔළුව වනලා කියපු විදිහටම කළා. එතකොටම හරි අපූරු දෙයක් සිද්ධ වුණා. මුහුදු වෙරළ, කළුවර හැමදේම වෙනස් වෙලා පැංචව කොහේටද ඇදිලා යනවා. ඇස් අරින්න බැරි වුණත් පැංචට දැණුනා සීතල උණුසුම් දියවැල් අතරින් තමන්ව ඇදිලා යන හැටි. මෙහෙම ටිකක් වෙලා යද්දි පැංචට වෙනසක් දැනුණා.

“ඔන්න, දැන් පුළුවනි ඇස් අරින්න. “ පැංචට සිප්පි කටුව කතා කරන හඬ ඇහුණා.

පැංචා ඇස් ඇරියා.

හරි පුදුමයක්! සිප්පි කටුව බොහොම ලස්සන මුතු බෙල්ලෙක් වෙලා පැංචා දිහා බලන් ඉන්නවා. පැංචා වටේට එක එක මාළු පීනනවා. ඒ මාළුන්ගෙන් එක එක පාට එළි විහිදෙනවා. මුහුදු පැළෑටි වල කියන්න බැරි තරම් අලංකාර මල් පිපිලා. එක පැත්තකින් මුතු ඇට වලින් හදපු මාළිගාවක්. ඒ මාළිගාවේ දොරකොඩ පාට පාට ගල් මල් වලින් සරසලා. පැංචා පුදුම වෙලා බලන් ඉන්නවා. පැංචාගෙ කටත් ඇරිලා.

“පොඩ්ඩෝ, අපි දැන් යමු මාළිගාවට. නුඹ තමා අපේ අමුත්තා. “සිප්පි කටුව වෙලා හිටපු මුතු බෙල්ලා කතා කළා.

පැංචා මුතු බෙල්ලා එක්ක මාළිගාවට ඇතුල් වුණා. ඒ මාළිගාව කොච්චර ලස්සනද කියනවා නම් පැංචාට නිදා ගන්න කලින් අම්මා කියලා දෙන සුරංගනා කතාවලවත් ඒ වගේ ලස්සනක් තිබුණෙ නෑ. ඒකෙ කුළුණු හැදිලා තිබුණෙ පාට පාට විශාල ගල් මල් වලින්. බිත්ති වල පාට හැම නිතරම වෙනස් වුණා. නිල් පාටින් රෝස පාටට...රෝස පාටින් දම් පාටට...ඉඳ ගන්න තිබුණෙ සිප්පි කටු සහ මුහුදු පැළෑටි වලින් හදපු ආසන. දොරටු සරසලා තිබුණේ එළිය විහිදෙන පුංචි බූවල්ලන්ගෙන්. මාළිගාව පුරාම එක එක ප්‍රමාණයේ මාළු පිනමින් හිටියා. ඒගොල්ලන් මිනිස්සු වගේ කතා කරා. ඩොල්ෆින් මාළුවෙක් පීනගෙන ඇවිත් මිතුරු ලීලාවෙන් පැංචාට අතට අත දුන්නා. රන්වන් මාළුවෝ තමයි මාළිගාවෙ සංග්‍රහ කටයුතු කළේ. මාළිගාවෙ කෙළවරක බොහොම සුන්දර දිය කිඳුරියන් පිරිසක් ගී කිව්වා. පැංචා ඒ ගීත වලින් කොච්චර වශී වුණාද කියනවා නම් සංග්‍රහ ලැබිලා බොමින් හිටිය මිහිරි පානය කමිසෙ හලා ගත්තා. ඔන්න එතකොටම අස්සයෙකුගෙ පෙනුම තියෙන මාළුවෙක් පීනගෙන ඇවිල්ලා පැංචාව පිටේ තියා ගත්තා. ඒ මාළුවා ට තමයි භාරවෙලා තියෙන්නේ පැංචාව මුහුදු ලෝකෙ සිරි නරඹන්න එක්කන් යන්න.


මේ අමුතු ලෝකේ නායකයෙක් වත් රජෙක් වත් හිටියෙ නෑ. හැම කෙනාම තමන්ට අයිති කාරිය දැනන් හිටියා. කවුරුවත් අණ නොකරම ඒගොල්ලො තමන්ගෙ රාජකාරිය කළා. ඒ වගේම මේගොල්ලෝ බොහොම සමගියි. තල්මසුන් මෝරුන් පවා පුංදි බූවල්ලන්, හාල් මැස්සන් වගේ මාළු එක්ක සෙල්ලම් කළා, සාද පැවැත්වුවා.එකට කෑම කෑවා.

එදා රෑ පැංචා නිදා ගත්තේ උණුසුම් දිය රැල්ලක පැද්දෙමින්. කොට්ටෙට තියලා තිබුණෙ ජෙලි මාළුවෙක්. එදා රෑ පැංචා අපූරු හීන ගොඩක් දැක්කා. ඉන් එකක ඔහු මාළුවෙක් වෙලා මුහුදු ලෝකය ලස්සන කරන්න උදව් කරමින් හිටියා.

පහුවදා අවදි වෙන කොට පැංචාව බලන්න අළුත් යාළුවො ගොඩක් ඇවිත්. හාල් මැස්සන් රෑනක්, බූවලු පැටව් දෙන්නෙක්, ලොකු මෝරෙක්, තල්මස් පොඩ්ඩෙක්, කකුළුවෙක්, මහළු කැස්බෑවෙක් එහෙමත් ඒ අතර හිටියා. ඒ අය කෑම බීම ගොඩක් ගෙනත්. ඒවා පැංචා මනුස්ස ලෝකෙදි අහලවත් දැකලවත් , කාලාවත් තිබුණ දේවල් නොවෙයි. බඩට ඇති තරම් කාපු පැංචා මේ අළුත් යාළුවො එක්ක මුහුදු ලෝකෙ සිරි නරඹන්න ගියා. ඉතිං ඒ ගමනෙදි දැකපු දේවල් විස්තර කරන්න අවුරුදු සීයක්වත් යයි. ඒ ගමන් ඒ තරම් පුදුම දේවල් වලින් පිරිලා. මේ විදිහට දවස් දෙකක් ගෙවුණා. තුන්වෙනි දවසේ සුදු පාට ඩොල්ෆින් කෙනෙක් ඇවිත් පැංචාට ආරාධනාවක් කළා.


“පුංචි ළමයෝ, නුඹ තමයි අපේ ලෝකෙට එන්න වාසනාවන්ත වුණු මුල්ම මිනිස් අමුත්තා. අපි කැමතියි නුඹට අපේ ලෝකේ විශේෂම ස්ථානයක් පෙන්වන්න. “
පැංචා බොහොම කැමති වෙලා ඩොල්ෆින්ගේ පිටට නැග්ගා. ඩොල්ෆින් කටින් වතුර එහෙම විදලා මුහුදු පතුලෙ කෙළවරටම ගියා. එතන තිබුණා උමගක්. ඩොල්ෆින් ඒක ඇතුළෙන් හෙමිහිට පීනුවා. උමග කෙළවරට ළං වෙනකොට බොහොම මිහිරි ඒත් මන්දගාමී සංගීතයක් ඇහුණා...හරියට ඈත ලෝකෙකින් ඇහෙනවා වගේ. ටිකෙන් ටික ඒ සංගීත හඬ ළං වුණා. ඊළඟට පැංචා දැක්කෙ සුදු පාට අමුතු තැනක්. ඒක විශාල තැනි තලාවක්...හැම තැනම සුදු පාට ආලෝකයකින් වැහිලා. තැන තැන ලොකු පොඩි මාළු ඇටසැකිලි තිබුණා. ඒවා විවිධ ආලෝක වළළු වලින් සරසලා.

“මේ තමයි අපේ සුසාන භූමිය..අපි මැරුණම ‍එන්නෙ මෙතනට” සුදු ඩොල්ෆින් හෙමිහිට කිව්වා.

පැංචා බොහොම ගෞරවයෙන් මිනිස් ලෝකෙදි දැකලා තිබුණ විදිහට හිස නමලා මාළු ඇටසැකිලි වලට ආචාර කළා.

“මරණය කියන්නෙ ගරු කළ යුතු දෙයක්” පැංචා බොහොම දැනමුතු විදිහට පොතකින් කියවලා තිබුණු දෙයක් කිව්වා.

තුන්වෙනි දවස ඒ විදිහට අවසාන වුණා. ටික වෙලාවකින් පැංචාගේ යාළු මුතු බෙල්ලා පෙනී හිටියා.

“හොඳ ළමයෝ, දැන් නුඹට යන්න වෙලාව හරි. නැත්නම් නුඹට එළි වෙන්න කලින් යා ගන්න බැරි වේවි. “

අපොයි! පැංචා අන්දමන්ද වුණා. පැංචාට කොහොමටවත් මතක් වුණේ නෑ යන්න ඕනේ විත්තියක්. ඒත් නොගිහින් කොහොමද? අම්මා කණගාටු වේවි. පැංචා කණගාටුවෙන් වුණත් යාළු මාළුවන්ට බූවල්ලන්ට දිය කිඳුරියන්ට බෙල්ලන්ට පුළු පුළුවන් විදිහට ආයුබෝවන් කිව්වා. සමහරු පැංචට තෑගි දෙන්න මුතු ඇට, සිප්පි කටු, මාළු දත් ගෙනත් තිබුණා.

මුතු බෙල්ලා ආපහු සිප්පි කටුවක් වෙලා පැංචාගේ අතට පැන්නා. පැංචා ඇස් වහ ගත්තා. උණුසුම් සීතල දියවැල් වේගයෙන් පහුවෙන හැටි පැංචාගේ ඇඟට දැණුනා.

“ඔන්න අපි ආවා.”
ඇස් ඇරපු පැංචා දුටුවේ තමන් මුහුදු වෙරළේ හිටගෙන ඉන්නවා.

“හොඳ ළමයෝ, දැන් අපි කණගාටුවෙන් වුණත් සමු ගනිමු. නමුත් එක් දෙයක්.. මුහුදු පතුලේ ලෝකය නුඹ සමග හැමදාම මිතුරුයි. නුඹට කරදරයක් වුණු ඕනෑම විටෙක හවසට මේ වෙරළට ඇවිත් කතා කරපන්. නුඹට මා හමුවේවි. එතෙක් මම නුඹට තෑග්ගක් දෙනවා. අද නොවෙයි හෙට රෑට නුඹේ ගෙදර බිත්තිය දෙස බලාපන්.”


සිප්පි කටුව එහෙම කියලා ආචාර කරලා මුහුදු රැළි අතරේ අතුරුදහන් වුණා. පැංචා බොහොම දුකෙන් අඳුරේම ගෙදර ගියා. හෙමින් සැරේ ඇඳට නැගලා නිදා ගත්තා.
උදෑසනින්ම අම්මා පැංචාව අවදි කළා. අවදි වුණ පැංචා මෙහෙම හිතනවා..

“එතකොට මම දැක්කෙ හීනයක් ද?”

අත දිග ඇරලා බලපු පැංචා දැක්කෙ මුහුදු ලෝකෙන් තෑගි ලැබුණු මුතු ඇට. පැංචාට වැටහුණා ඒ හීනයක් නොවන බව. එදා රෑ වෙනකල් පැංචා හිටියේ ඉවසිල්ලක් නැතුව.පැංචා රෑට කෑවයින් නොකෑවයින් ඇඳට පැනලා මුහුදු චිත්‍ර ඇඳපු ලෑලි බිත්තිය දිහා බලාගෙන හිටියා. ඔහොම ඉන්කොට පැංචට නිදිමත වෙනවා. පැංචා මූණෙ වතුර ගානවා. ඇස් පිහාටු වලින් අදිනවා, ඇහැරිලා ඉන්න. අන්තිමට මැදියම් රැය එළඹුණා. මෙන්න බිත්තිය පණ ඇවිත් වගේ හෙළවෙනවා. ටිකකින් පැංචට පේනවා මුහුදු පතුල. ඒකෙ රැළි නැගෙනවා...මාළු පීනනවා..දිය මල් සෙලවෙනවා..අඳුනන මාළු ඇවිත් පැංචට කතා කරනවා.පැංචා මුලින් පුදුම වෙලා ඉන් පස්සේ සතුටු වුණා. යාළු මාළුවන් සමග කතා කරන්න පටන් ගත්තා.


පහුවදා උදේ බිත්තිය පරණ පුරුදු විදිහට තිබුණා. සායම් ගැලවුණු චිත්‍රත් ඔහේ තිබුණා. ඒත් ඉන් පස්සේ හැමදාම රෑට බිත්තියට පණ ආවා.

කාලය ගත වුණා. මුතු ඇට විකුණලා මුදල් ලැබුණ නිසා පැංචාගේ අම්මාගේ කරදර අඩු වුණා. පැංචා වෙලාවට පාසල් ගියා. සමහර දිනවල හවසට පැංචා වෙරළේ ඉඳගෙන ඉන්නවා. ඒත් පැංචා‍ගේ අතේ තිබුණු සිප්පි කටුව නම් කවුරුවත් දැක්කෙ නෑ. පැංචා බොහොම සතුටින් මුහුදු මිතුරන් සමග කාලය ගත කළා.

[ලිව්වේ- වසිලිස්සා| ඇන්දේ- නම නොදන්න සුරංගනාවි]

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 


මෙන්න තේරවිලි කවි තුනක්. හා හොඳයි තෝරමු බලන්ට....

1. අත්තේ පනත්තේ කොහොඹේ ලියක් ඇතී
ඒකිගෙ බඩේ දරු තුන් සිය හැටක් ඇතී
උන්ගෙන් එකෙක් ඉරු දෙවියන්ට දා ඇතී
මෙතුන් පදේ තේරුවොතින් නුවණ ඇතී

2. සස්සඳ ගලේ ගල පල්ලේ උපන් සතා
ඔළුව නැතුව කඳමයි සාප දුන් සතා
නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා
මෙතුන් පදේ තෝරාලා කියනු පුතා

3. රුක් අග වසන මුත් කුරුලෙක් නොවේමය
නෙත් තුන ඇති නමුත් මෙහෙසුරු නොවේමය
පොතු පිළි අඳින මුත් තවුසෙක් නොවේමය
ජලයෙන් පිරි නමුත් පොකුණක් නොවේමය




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Reactions: 
Related Posts with Thumbnails