එකමත් එක කැළෑවක කෙළවරට වෙන්න ගෙයක් තියෙනවා. මේ ගෙදර ජීවත් වෙන්නෙ දුඹුරු පැහැ ලොකු වලහෙකුයි, මීයො රංචුවකුයි. ගෙදර පිටුපස වත්තක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගේ ඉදිරිපස ටිකක් ලොකු බංකුවක් තියෙනවා. වලහා හරිම කැමතියි මේ බංකුවට වෙලා හිරු බැස යන අන්ඳම බලන්න.
”මේ විදිහට ජීවත් වෙන්න මම හරිම කැමතියි....” වලහා හිමිහිට කීවා. ”මට ඕනෑ කරන හැමදේම මට තියෙනවා....”
”අපිත් කැමතියි මෙහෙම ජීවත් වෙන්න.. අපිට ඕනෑ කරන හැමදේමත් අපිට තියෙනවා.. ඒ ඔක්කොටම වඩා අපිට ඔයා ඉන්නවා....” මීයෝ රංචුවත් උත්තර දුන්නා.
වසන්තය
අද හරිම ලස්සන කාලගුණයක් තියෙන්නෙ.. ඒක නිසා මට ඕනෑ අද දවසම වත්තෙ වැඩ කරන්න..” යැයි කීව වලහා, වත්තෙ විශාල බිම් පෙදෙසක් සුද්ද කරලා, බඩඉරිඟු හිටෙව්වා. ඉදිරිපස මිදුලෙ සූරියකාන්තා මල් ඇට පැළ කරා.
”අපි මොනවද කරන්න ඕනෑ ?” මීයෝ රංචුව වලහගෙන් ඇහුවා.
”ඔයාලට පුළුවන්නද කැරට් ඇටයි, බෝංචි ඇටයි හිටවන්න ?”
”හුරේ.. අපිට පුළුවන් ඒ වැඩේ මුළු දවසම වුණත් කරන්න..” මීයෝ රංචුව සන්තෝසෙන් උත්තර දුන්නා.
ඊටපස්සෙ බෝංචි ඇටයි, කැරටුයි පැළ කරපු මීයෝ ටික ඒවට වතුරත් දැම්මා.
”කවුරුත්ම අපේ කැරට් පැළ හොරකම් කරන්න එන්නෙ නැතිවෙයි කියලා අපි හිතමු. හවස ගෙදර ගිය මී රංචුව කසු කුසු ගෑවා.
එකපාරටම අඳුරු වළාකුළක් ඇවිත් මුළු අහසම වසාගත්තා.
”ලොකුම ලොකු වැස්සක් එන්නයි යන්නෙ..” වලහා කීවා.
”අම්මෝ.... ! ඔන්න අයිස් කැටත් වැටෙනවෝ....” මී රංචුව කෑගහගෙන ආයෙමත් ගේ ඇතුළට දුවගෙන ගියා..
වැස්ස පෑයුවට පස්සෙ වලහා මීයොත් සමග නැවතත් වත්තට ගියා.
”මොකක් නමුත් මෙතැන සිද්ද වෙලා තියෙනවා..” වලහා බඩඉරිඟු පාත්තිය දිහා බලාගෙන කීවා. ”කාගෙද මේ අඩි පාරවල් ?”
”ආ.... මෙන්න බලන්නකෝ.. කවුරු හරි අපේ කැරට් පාත්තියෙත් ඉඳගෙන ඉඳලා තියෙනවා....” මීයෝ රංචුව කීවා.
”අඩි පාරවල් ගිහින් තියෙන්නෙ නම් කැලෑව ඇතුළට.. කවුද මේ වැඩේ කරන්න ඇත්තෙ..” වලහා හිතන්න පටන් ගත්තා..
ගිම්හානය
”පුදුම රස්නයක්නෙ තියෙන්නෙ..” මීයෝ රංචුව දහඩිය පිසදාමින් කීවා.. ” අහස නිල්ම නිල් පාටයි.. වළාකුලක් පේනතෙක් මානයක නෑ.. ඉරේ රස්නෙට අපිව පිච්චෙනවා..”
”මම දන්නවා රස්නෙට මොනවද කරන්න ඕනෑ කියලා.. මේ වගේ වෙලාවට තමයි අපි පීනන්න ඕනැ..” වලහා මී රංචුවට කීවා.
”අන්න නියම අදහසක්.. යමු යමු.. අපි යමු වැවේ පීනන්න..” මී රංචුව ගත් කටටම කීවා..
”පීනලා ඉවරවෙලා වැල්ලෙ සෙල්ලම් කරමු.. මම මාළු අල්ලන්න බිලීපිත්තකුත් ලෑස්ති කරන්නම්.. ඊටපස්සෙ මම දුඹුරු පාට වෙනකල් අව්ව තැප තැප මාළු අල්ලනවා..” වලහා කීවා.
”දුඹුරු පාට ? මෙයා දැනටමත් දුඹුරු පාටයි නේ..” මී රංචුව එක එක්කෙනාගෙ මූණු දිහා බලාගෙන ප‍්‍රශ්න කළා.
කළු වළාකුළු පාවෙලා ඇවිත් ඉර වහගත්තා. එකපාරටම හයියෙන් ගොරවන්න පටන් ගත්තා.
”විදුලිත් කොටනවා..” වතුරෙන් එළියට ආව මී රංචුව අහස දිහා බලාගෙන කීවා.
”ඔක්කොමලා ඉක්මණට බඩු ටික එකතු කරගෙන මේ පඳුර යටට එන්න.. වැස්ස වැඩි වෙන්නයි යන්නෙ..” වලහා මීයන්ට කතා කරන ගමන්, නොතෙමෙන්නට පඳුර යටින් රෙද්දක් සවි කළා.
වැස්සෙන් බේරිලා රෙද්ද යට හිටපු වලහට සහ මී රංචුවට තේරුණා තවත් කවුදෝ අනවසරයෙන් එයාලා ළඟ ඉන්න විත්තිය.
”අනේ අනේ *බැජර්.... ඔයා මොනවද මෙතැන කරන්නෙ ?” වලහා ඇහුවා.
”හ්ම්.... විශේෂ දෙයක් නෑ..” බැජර් උත්තර දුන්නා.
හේමන්නතය
”මම අද යනවා බඩඉරිඟු ගලවන්න....” ලොකු කූඩයක් අතට ගන්න ගමන් වලහා කීවා.
”එතකොට අපි ?”
”ඔයාලට පුළුවන් බෝංචි වල සහ කැරට් වල ඵලදාව නෙලන්න..”
”අයියෝ ! මෙන්න......” මී රංචුව පුදුමයෙන් කෑ ගැහුවා. ”කවුදෝ අපේ එළවළු ගලවලා....”
”කවුරුහරි මගේ බඩඉරිඟුත් ගලවගෙන ගිහින්..” වලහත් බඩඉරිඟු පාත්තියේ එහාට මෙහාට ඇවිදින ගමන් කීවා.
”ඉන්නකො.. අපිට ඔය හොරාව අල්ලගන්න පුළුවන් වුණොත් හොඳ වැඩක් කරනවා..” මීයන්ගේ ඒ කතාවට හිණා වුණ වලහා.. ”හොඳ වෙලාවට අපිට තව එළවළු ඉතුරු වෙලා තියෙනවා” යි කීවා.
”කළු දං කඩන්නත් දැං කාලේ හරි” වලහා මතක් කළා.
”ඔයා දං කඩන්න, අපි එතකොට බිම්මල් ගලවන්නම්....” යැයි කීව මී රංචුව, කැලෑව ඇතුළට දුවගෙන ගියා. වලහත් එයාලගෙ පස්සෙන් ඇවිදගෙන ගියා.
තව තවත් පළතුරු සහ එළවළු නෙලාගෙන ගෙදර යන ගමනෙදි, වලහයි, මීයොයි දැක්කා බැජර් කම්මැලිකමෙන් ගලක් උඩ වාඩි වෙලා ඉන්න විදිහ.
”සීත කාලෙට ගන්න කෑම එකතු කරන්නෙ නැද්ද ඔයා..?” මී රංචුව බැජර්ගෙන් ඇහුවා.
”ආ... ඒක පස්සෙ බැරියැ..” බැජර් උත්තර දුන්නා..
”හරි පුදුමයි....” වලහා එහෙම කියාගෙන යන්න ගියා.
”අන්න පළතුරු මල්ලෙ තියෙන පළතුරු බිමට වැටෙනවා.... පළතුරු මල්ල හිල් වෙලා....” මීයෝ රංචුව වලහගෙ කරේ තිබුණ මල්ල පෙන්නලා කීවා.
”කවුද මේ වැඩේ කරන්න ඇත්තෙ ?” වලහා ඇහුවා.
වලහයි, මී රංචුවයි ගෙදර යනකොට තරමක් තදට කැළෑව පුරාවට මීදුමක් පැතිරිලා තිබුණා. ඒක නිසා ඉර සැඟවෙලයි හිටියෙ.
”මොකද්ද සද්දයක් අපේ ගෙදර පැත්තෙන් ඇහෙනවා..” මීයෝ රංචුව වලහට කීවා.
”මේ මීදුම නිසා මට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ. අඩුම තරමෙ මට මගේ කකුල් දෙකවත් පේන්නෙ නෑ.... කමක් නෑ තව ටිකකින් ආයෙමත් ඉර එළියට එයිනේ..” වලහා කීවා.
”ටික වෙලාවකට පස්සෙ මීදුම මැකිලා ආයෙමත් ඉර මතුවෙන්න පටන් ගත්තා..”
”හැමදේම හොඳට තියෙනවද ?” වලහා ඇහුවා.
”
නෑ.. සූරියකාන්තා මලක් අඩුයි..” මී රංචුව දුකින් වලහට උත්තර දුන්නා.
එදා රෑ හයියෙන් හුළං හමන්න පටන් ගත්තා. ගස් අඹරවමින්, අතු පවා කැඩෙන තරමට හයියෙන් හුළඟ හැමුවා. හුළෙඟ සැරට පයින් ගස් වල ගෙඩි තරගෙට බිමට වැටුණා.
”ඒ පාර හුළඟ තවත් සැර වුණා වගේ.. හොඳ වෙලාවට අපිට හොඳ ශක්තිමත් ගෙයක් තියෙන්නෙ..” රෙද්දක් යට ගුලිවෙලා හිටිය මී රංචුව කීවා.
”කාටවත් කිසිම අනතුරක් වෙලා නැතිව ඇති කියලා මම හිතනවා..” වලහා කනස්සල්ලෙන් හිතන්න පටන් ගත්තා..
සිසිරය
”ඉර නම් යන්තමින් පායලා.. හැබැයි වැවේ වතුර නම් සීතලට ගල් ගැහිලා.. දැන් අපිට පුළුවන් වතුර උඩ ලිස්සන සෙල්ලම් කරන්න....” යැයි කීව මීයො රංචුව, සෙල්ලම් කරන්න පටන් ගත්තා.
”හොඳයි.. ඔයාලා සෙල්ලම් කරනකල් දර ටිකක් හොයන්න මම කැළෑවට යනවා....” යි කියා කැළෑවට ගිය වලහා දැක්කා, ගෙයක් උඩට ගහක් කඩාගෙන වැටිලා තියෙන අන්දම.
”කවුද මේ ගෙදර ජීවත් වෙන්න ඇත්තෙ....” එතැනට ගිය වලහා එයාගෙන් ම ඇහුවා.
”මම.. මේ මගේ ගෙදර..” පැත්තක හිටපු බැජර් ගොඩක් දුකින් උත්තර දුන්නා.
”ඉතින්.. ඔයා දැන් මොකද කරන්නෙ ?” වලහා ඇහුවා.
”මුකුත් නෑ..” බැජර් අඬන ගමන් උත්තර දුන්නා.
ටික දවසකට පස්සෙ සීතල එන්න එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. හැම දෙයක්ම හිම වලින් වැහෙන්න පටන් ගත්තා.
”අනේ ! පව් බැජර්..” වලහා මිමිණුවා.
”කෑමත් නෑ, ගෙයකුත් නෑ..” මීයො උත්තර දුන්නා.
”මම යනවා බැජර්ව හොයන්න..” පුටුවෙන් නැගිට ගත්තා වලහා එකපාරටම කීවා.
”අපිත් ආවට කමක් නැද්ද.. හැබැයි ඔයාට වෙනවා අපිව වඩාගෙන යන්න..” වලහගෙ කර උඩට නගින ගමන් මීයො රංචුව කීවා.
”බැජර් ගෙදර නෑ වගේ....” වට පිට බලන ගමන් වලහා කීවා.
අපි එයාගෙ අඩි පාරවල් දිගේ ගිහින් එයාව හොයා ගමු....” මීයෝ වලහට කීවා..
කෑලෑව අයිනේ තිබුණ අඩි පාරවල් දිගේ ආව වලහා, ඇවිත් නතර වුණේ දුඹුරු පාට පුංචි ගෙයක් ළඟ.
”ඒත් මේ අපේ ගෙදරනේ..” වලහගෙ කරෙන් බහින ගමන් මී රංචුව කියන්න පටන් ගත්තා.
සීතලට වෙව්ල වෙව්ලා එළියෙ තියෙන බංකුවේ ඉඳගෙන හිටිය බැජර්, ”මට පුළුවන්ද ඔයාලගෙ දෙර නවතින්න ?” කියලා වලහගෙන් ඇහුවා.
”මොකෝ බැරි.. අපේ ගෙදර ඕනෑ තරම් ඉඩ තියෙනවා..” වලහා උත්තර දෙමින් බැජර්ව සැනසුවා.
”අපේ ගෙදර ඕනෑ තරම් කෑමත් තියෙනවා..” මීයොත් කීවා.
අතේ තිබුණ කූඩයක් පෙන්නුව බැජර්, ”මේ බලන්න මමත් ඔයාලට බෝංචි, කැරට්, බිම්මල්, බඩඉරිඟු ගෙනාවා..”
”දැන් අපිට ඕනෑවටත් වැඩිය කෑම තියෙනවා..”යි කීව මී රංචුව, ගේ ඇතුළට දුවගෙන ගියා.
වලහා ඉක්මණට රෑ කෑම උයන්න පටන් ගත්තා. ඉක්මණින් ගෙදර ඇතුළ උණුසුම් වෙන්න පටන් ගත්තා. ඉතින් හැමෝගෙම හිසට වහලක් තිබුණ නිසා, එදා රෑ හැමෝම හිටියේ කියාගන්නට බැරිතරම් සන්තෝසෙන්.
කතාව : විල්හෙල්ම් ටොප්ෂ්
සිතුවම් : ඩැනියෙල් වින්ටර්හාගර්
පරිවර්තනය : මුතු පබා
______________________________________________________________________
*බැජර් - වලස් වර්ගයට අයිති කුඩා සතෙක්
.
.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
පස්ගම පන්සලේ අධිපති චෙන් යු ආන් හාමුදුරුවෝ තම ගෝලයන්ට පිරිත් කියා දෙමින් හිටියා. කෙටි චාරිකාවක් යාමට පන්සලෙන් පිටත් වන්නට ලැහැස්ති වූ චෙන් යූ ආන් හාමුදුරුවෝ සමීර සහ චන්ද්‍රාලෝක නමැති සාමණේර හිමිවරුන් අමතා මෙසේ කීවා: ''මගේ හොඳ යාළුවෙක් තව දවසකින් හෝ දෙකකින් මේ පැත්තෙන් ගමනක් යනවා. මතක් කරලා එතුමාට අමරණීය පළතුරු ගෙඩි දෙක තුනක් කඩලා දෙන්න.''
බෞද්ධ පොත් හොයන්නට තම ගෝලයන් තුන් දෙනාත් සමග බස්නාහිර දිසාව බලා වඩිමින් සිටි ශු ආන් චාං ස්ථවිරයන් වහන්සේ දීර්ඝායුෂ කන්දේ පිහිටි පස් ගම පන්සලට ළඟා වුණා. සුන්දර වට පිටාව දැක ප්‍රීතියෙන් පිනා ගිය හතර දෙනා පන්සලේ නැවතී විවේක ගන්නට තීරණය කළා.
ශු ආන් චාං පන්සලට ඇතුළු වී නායක හාමුදුරුවන් කොහිදැයි සමීර සහ චන්ද්‍රාලෝක හිමිවරුන්ගෙන් ඇසුවා.''පොඩි ගමනක් ගිහින්. ඔබවහන්සේ වැඩියාම එතුමා වෙනුවෙන් ඔබ වහන්සේ පිළිගන්න යයි එතුමා අපට කිවුවා''. ඒ දෙදෙනා සුදු ජේඩ් නමැති වටිනා ගලෙන් තැනු පිඟානක ඇතුරූ රතු සේද ලේන්සුවක් උඩ අමරණීය පළතුරු ගෙඩි දෙකක් තබා උන් වහන්සේට පූජා කළා. ඒ පළතුරු වල හැඩය චූටි බබාලා දෙදෙනකු වාගෙයි.''මේවා වළඳා මහන්සි අරිනු මැනවැ''යි දෙදෙනා ශු ආන් චාං හිමියන්ට කීවා. ශු ආන් චාං එපා කීවා. දවස් තුනක් වත් වයස නැති බබාලා මෙහෙම බිලිදීම නරක යැයි උන්වහන්සේ කීවා.

සමීර සහ චන්ද්‍ර්‍රාලෝක හිමිවරුන් මෙසේ කියා ගනිමින් ශාලාවෙන් පිට වුණා:''මේ නායක හාමුදුරුවන්ට හොඳ දෙයක් දුටුවාමත් හඳුනා ගන්ට බැහැ. අමරණීය ගහේ මල් පිපෙන්න අවුරුදු 3000 ක් යනවා. ගෙඩි හැදෙන්න තවත් අවුරුදු 3000 ක් යනවා. ගෙඩි ඉදෙන්න තවත් අවුරුදු 3000 ක් යනවා. අවුරුදු 10000 කදී හැදෙන්නෙ ගෙඩි 30ක් පමණයි. අඩු ගනනේ මේ ගෙඩිය සුවඳ විඳින්ට ලැබුණු වාසනා වන්තයෙකුට වුණක් අවුරුදු 360 ක් ජීවත්වෙන්න පුළුවන්. එතුමා වැළඳුවා නම් එතුමා අවුරුදු 47000 ක් ජීවත් වෙනවා. සමීරත් චන්ද්‍රාලෝකත් ඉක්මනින් නරක් වන්නට පුළුවන් අමරණීය පළතුරු ගෙඩිය කෑවා. සූකර පෝතක මේ කතාව අහගෙන හිටියා. ඒ නිසා දෙදෙනා ශාලාවෙන් ගිය පසු ඔහු ජනේලය වසා තිබුනු කඩදාසිය ඉරා එබී බැලුවා. පළතුරු ගෙඩියේ සුවඳ දැනී ඔහුගේ කටට කෙළ ඉනුවා. සූකර පෝතක මේ පුදුම ගෙඩිය ගැන වානර වික්‍රමට කියා හිටියා. වානර වික්‍රම කීවා ඔහු එවැනි දෙයක් ගැන දැන හිටියේ නැති බව. එවිට සූකරපෝතක වානර වික්‍රමගෙන් ඇහුවා:'' අපිත් කීපයක් කමුද?'' කියා.
එක්තරා රන්පොල්ලකින් පමණක් පළතුරු ගෙඩිය නෙලා ගැනීමට හැකි බව සූකර පෝතක කීවා. වානර වික්‍රමට කේන්ති ඇවිත් ඔහු කිසි කෙනෙකුටත් නොපෙනෙන වේශයක් මවා ගෙන සාමණේර හිමිවරුන්ගේ කාමරයට වැදුණා. මේ වෙලාවෙ සාමණේර හිමිවරු දෙදෙනා ශු ආං චාං හිමි සමග කාමරයක සතුටු සාමීචියේ යෙදී හිටියා. රන් මිටිය හොයා ගත් වානර වික්‍රම කාමරයෙන් පිටවුණා. වානර වික්‍රම පිටුපස උයනේ දොර අසලට ආවිට එය ඉබේටම ඇරුනා. උයන ඉතා ලස්සනයි. දම් පාට මල් සෑදුනු පීච් ගස් වලිනුත් කොළ පාට විලෝ ගස් වලිනුත් උයන පිරී තිබුණා. දැන් වානර වික්‍රම අමරණීය ගස සොයනවා. තුරු වදුල අස්සේ කුඩා පර්වත බැද තවත් දොරටුවක් තිබුනා. එයින් තවත් ඇතුළු උයනකට යා හැකියි. වානර වික්‍රම දොරට තට්ටු කළ විට එයත් වහා ඇරුණා. එහි ගැට සහිත මුල් ඇදුණු විශාල කොල ඇති යෝධ ගසක් තිබුණා. මේ ගස පාට ආලෝක ධාරාවන් ගෙන් බැබැළුණා. ගසේ කොළ අතර තොටිල්ලක පැද්දෙන චූටි බබෙකු වැනි ලොකු පළතුරු ගෙඩියක් වානර වික්‍රම දුටුවා.
වානර වික්‍රම මිටියෙන් එම අත්තට ගැසුවාම එම පලතුරු ගෙඩිය ගිලිහී වැටුනා. ඔහුට එය අල්ලා ගන්නට බැරි වුණා. පළතුරු ගෙඩිය බිමත් පෙනෙන්නට නැහැ. ඔහු පුදුමයට පත් වුණා. ඒ සමගම පොළෝ දෙවියා උයනට පැමිණ මෙසේ කීවා: ''අමරණීය පළතුරු වැටෙන්නේ රන්වලින් ගැසුවාම. ලී වලින් එය කුණු වෙනව. වතුර වලින් එය දිය වෙනව. ගින්දරින් එය අඟුරු වෙනවා. පස් උඩ වැටුණු විට එය දිය වෙනවා. ගින්දරින් එය අඟුරු වෙනවා. පස් උඩ වැටුණු විට එය පොළව තුළට කා වැදී නැති වී යනවා. ඔබට එය හොයන්නට බැහැ. වානර වික්‍රම නැවතත් ගස ළඟට ගොස් තවත් අමරණීය පළතුරු ගෙඩි තුනක් කඩා ඒවා තදින් අල්ලා ගත්තා.ඔහු ඒවා සූකර තක සහ ශු ආන් චාං ගේ තුන්වැනි ගෝලයා වන වාලුකා වර්ණ වෙත ගෙන ගියා. සූකර පෝතක එයින් එකක් වානර වික්‍රමගෙන් උදුරාගෙන කට ඇර එය ගිල දැම්මා. ඔහු එය සැනෙන් ගිල්ල නිසා රසයක් දැනුනේ නැහැ. එයා වානර වික්‍රමගෙන් තවත් එකක් ඉල්ලා හිටියා. වානර වික්‍රම මෙසේ කීවා: ''සූකර පෝතක ඔබ ඔය තරම් කෑදර වීම වැරදියි. ගසේ අවුරුදු 10,000 කටම හැදෙන්නේ ගෙඩි 30 යි. අප තුන්දෙනා එක බැගින් කෑවා. අපි ඒ අතින් වාසනාවන්තයි.''

වානර වික්‍රම මිටිය ගෙන සුළඟට ගසා ''ආපසු යන්න'' කියා කීවා. අතරේ සමීර සහ චන්ද්‍රාලෝක අමරණීය පළතුරු ගෙඩි සොරකම ගැන දැන ගත්තා. ඔවුන් ශු ආන් චාං ට පැමිණිලි කලත් ඔහු සොරකම ගැන දැන සිටියේ නැහැ. ශු ආන් චාං ගෝලයන්ට කථා කළා: ''අමරණීය පළතුරු ගෙඩි කෑවේ කවුරුන්ද?'' එතුමා ඇසුවා. වානර වික්‍රම ඉදිරියට ඇවිත් ගසට පහර දුන් බව පිළිගත්තා. සමීර මෙසේ කීවා:''ඔබ හතරක් හොරකම් කරල තුනයි කියනවා. ඒක මරු ගණන් කිරිල්ලක්''.

චන්ද්‍රාලෝක ශු ආන් චාංට මෙසේ කීවා: ''අප ඔබ තුමාත් ගෝලයනුත් පිළිගත්තේ මිතුරන් හැටියටයි. කවුද හිතුවේ ඔබ තුමන්ලා සොරකම් කරයි කියලා. ඔයගොල්ල හොරුන් කණ්ඩායමක්''. වානර වික්‍රමට හරි කේන්තියි. ඒත් කිසිවක් කීවේ නැහැ. ඔහු ඔහුගේ කරෙන් කෙස් ගසක් ගලවා එයට පිඹ ඔහුගෙ ශරීරය ශාලාවේ තබා ආත්මය පසු පස උයනේ තුබූ අමරණීය ගසට පියාසර කෙරෙව්වා.

වානර වික්‍රම රන් පොල්ලෙන් ගසට වැරෙන් පහර දී තරහ පිරිමසා ගත්තා. ඔහු මෙසේ කියා දිවුරන්නට වුණා:'' අර පිටිසර කොල්ලන් හරි දරදඩුයි. මා උන්ට හොඳ පාඩමක් දෙකක් උගන්වන්නම්.'' ඔහු රන් පොල්ලෙන් ගස තදින් තල්ලු කළා. ගස ඉදිරී බිම වැටුණා. වානර වික්‍රම ආපසු යන්නට හැරෙන විටම සාමණේරවරුන් දෙදෙනා ඔහු නැවැත්තුවා. සමීර මෙසේ කෑ ගැසුවා.:'' උඹට කේන්ති ඇවිල්ලා වගෙයි. මගේ නායක හාමුදුරුවන් වඩින තුරු හිටපන්, එතුමා උඹගෙන් මේකට නිසි වන්දි ගනීවී''. වානර වික්‍රම තවත් කෙස් ගස් ගලවා ඒවාට පිඹ මෙහෙම කීවා: ''වෙනස් වෙයන්!'' ඒ සමගම කමි සතුන් රංචුවක් සමීර සහ චන්ද්‍රාලෝක වටකොට ගත්තා. සාමාණේරවරුන් දෙදෙනාම ඈනුම් ඇර නින්දට ගියා: '' හොඳට නිදා ගනිල්ලා. අපි ඈතට යනතෙක්, මාසයක් ගතවනතුරු නැගිටින්න එපා'' කියා වානර වික්‍රම කීවා.

එදා හවස ශු ආන් චාං ගේ කණ්ඩායම බටහිර ප්‍රදේශය බලා පස්ගම පන්සලෙන් පිටත් වුණා. වානර වික්‍රම ඇති කළ කලබලය ගැන ශු ආන් චාං දොස් කීවා:'' නුඹ ආයෙත් එය කළොත් මා නුඹට දඩුවම් කරනවා'' කීවා.පසුදා උදේ ආපසු පන්සට පැමිණි අමරණීය ච්න් යූ ආන් ඔහුගේ ගෝලයන්ට කතා කළා. එහෙත් සමීර සහ චන්ද්‍රාලෝක දකින්නට නැහැ. ඔහු ඒ ගැන කල්පනා කළා. පසුපස උයනට ගිය එතුමා අමරණීය ගස ඉදිරී, අතු ඉති කැඩී බිඳී, කොළ මැළවී, ගෙඩි එකකුත් නැතිව තිබෙනු දැක පුදුම වුණා. ඒ සමගම එතුමට ගොරවන හඩක් ඇසුනා. චෙන් යූ ආන් සමීරගේත් චන්ද්‍රාලෝකගේත් ඇඟට මැජික් වතුර ඉස්සා, ඔවුන් දෙදෙනා පිබිදුණා. සිදු වූ දේ ඇසූ චෙන් යූ ආන් හිනා වුණා:'' වානර වික්‍රම හරි සූරයෙක්. ඔහුට මැජික් බලයකුත් තිබෙනවා. අවුරුදු 500 කට ඉස්සරත් ඔහු දෙව්ලොව කලබල ඇති කළා.'' කියා එතුමා කීවා. චෙන් යූ ආන් සහ සාමණේර දෙනම මැජික් වළාකුළු රිය වල නැගී වානර වික්‍රම හොයාගෙන ගියා. මේ අතර වන්දනාකරුවන් හතර දෙනා යෝධ නුග ගසක් යට නැවතී විවේක ගනිමින් සිටියා. ශු ආන් චාං ගස යට භාවනා කරද්දී වාලුකාවර්ණ කිරා වැටෙනවා, සූකර පෝතක ගොරව ගොරවා නිදි, වානර වික්‍රම අශ්වයාට සාත්තු කරනවා. සූකර පෝතක අළුයම පිබිදුණා. ඔහුට බඩගිනියි. ඈණුමක් ඇරියා ඔහු වළාකුළු රිය එනුදැක මෙසේ කෑගැසුවා:''අවාසනාවක මහත! ඔවුන් අප සොයා එනවා.''
''ඔබ ආවේ දීර්ඝායුෂ කන්දේ පස්ගම පන්සලේ සිටද?'' කියා චෙන් යු ආන් ප්‍රශ්න කළා. වානර වික්‍රම මගාරින්න හදන කොට ''මට අරින්න ගියොත් උඹට හරියන්නෙ නැහැ'' කියා එතුමා කිව්වා. මෙය ගණන් නොගත් වානර වික්‍රම රන් පොල්ලෙන් පහර දෙන්නට වළාකුළට ගොඩ වුනා. චෙන් යූ ආන් පහසුවෙන්ම වානර වික්‍රමගේ පහරවල් වැලැක්වූවා. එවිට සූකර පෝතකත් සටනට එක් වුණා. ශු ආන් චාං ඔවුන් සටන් කිරීම ගැන විරුද්ධ වුණා. එහෙත් වානර වික්‍රම ඔහුගේ පොල්ලෙනුත්, සූකර පෝතක ඔහුගේ දැති පොරවෙනුත් වාලුකාවර්ණ ඔහුගේ අඩ හඳක හැඩය ඇති සවලෙනුත් හරඹ කරනවා. වට කිහිපයක්ම සටන් කළ නමුත් ඔවුන් සියළු දෙනා චෙන් යු ආන් පරදන්නට අසමත් වුනා. චෙන් යූ ආන් වටේ හිටි අයගෙන් ගැලවී පිටට පැනගත්තා. එතුමා යම් දෙයක් උරා ගන්නට සමත් තමාගේ ඇඳුමේ අත හෙල්ලුවා. එවිට එයින් රන්වන් රැස් දහරාවක් පිට වී වන්දනා කාරයන් හතර දෙනා ඒ තුලට උරා ගත්තා. ඔවුන් තමාගේ ඇඳුමේ අතට ඇදගෙන එතුමා ආපසු පන්සලට ගියා.

එහි දී චෙන් යූ ආන් ඔවුන්ගේ අත පය බැඳ පහර දීමට නියම කළා. ශු ආන් චාං ට තමාගේ තරු හතේ කසයෙන් තමාම පහරදෙන බව කීවා. වරද කළේ තමා නිසා අනෙකුත් අයට පහර දීම ගැන වානර වික්‍රම විරුද්ධ වුණා: ''පළතුරු ගෙඩි සොරකම් කොට ගස විනාශ කළේ මායි. මට ගහන්න. මගේ නායක හාමුදුරුවෝ මා හොඳින් හැදුවේ නැහැ. එහෙම වුණත් දඩුවම් ලැබිය යුත්තේ මා පමණයි.'' වානර වික්‍රම ගලෙන් හැදූ සිංහ රූපයට එයාගෙ මුහුණුවර දී දඩුවම ලබන්නට කැමැත්ත දුන් බව නොදත් චෙන් යූ ආන් කට කැමති වුණා. නියම වානරයා දැන් දකින්නට බැහැ. වානර වික්‍රම දඩුවම් දෙන හැටි බලන්නට පූජාසනයට නැග්ගා. වානරයට දෙන කස පහරින් ඔහුට නොරිදීම ගැන, ඔහු තවත් ප්‍රයෝගයක් කිරීම ගැන චෙන් යූ ආන්ට කේන්තියි. නියම වානරයා හිනාවෙනවා. මේ නඩුව කියන්නට වානර වික්‍රම ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ වෙත ගෙන යන්නට චෙන් යූ ආන් තීරණය කළා. ඔහු අමරණීය ගසට වන්දිත් ඉල්ලුවා.
වානර වික්‍රම වරද පිළිගෙන නායක හාමුදුරුවන් නිදහස් කරන ලෙස චෙන් යූ ආන්ට කියනවා. පෙරදිග මුහුදේ පිහිටි පෙංලායි, පුතුවෝ සහ යිංචුයි කියන අරුම පුදුම දිවයින්වලට ගොස් ගසට පණ දෙන්නට අමතය ගෙන එන්නට වානර වික්‍රම ලෑස්තියි. චෙන් යූ ආන්ට හරිම සංතෝෂයි: ''ඔබ එය කළොත් මා ඔබ සමග මිතුරු වෙනවා'' කියා කීවා. වලාකුළකට ගොඩ වැදුණු වානර වික්‍රම මොහොතකින් පෙංලායි දිවයිනේ සුදු වලා ගුහාවට ගියා. එහි සිටි දෙවිවරුන් තිදෙනාට උපහාර දැක් වූ ඔහු ගසට පණ දීමට උදවු ඉල්ලා සිටියා. ''කණගාටුයි, ඒ ගසට ආයෙත් පන දෙන්නට අපට පුළුවන් කමක් නැහැ'' දෙවිවරුන් කීවා. වානර වික්‍රම ඔවුන්ගෙන් සමුගෙන පිටත් වුණා.
ෆාංචාං කන්දට ගිය වානර වික්‍රම පෙරදිග දිව්‍යමය අධිරාජයාගෙන් ගසට පණ දෙන බේතක් ඉල්ලුවා. '' මා ළඟ අමා බෙහෙතක් තියෙනවා'' අධිරාජයා කීවා. ''එයින් පණ දිය හැක්කේ මිනිසුන්ට පමණයි. විනාශ වී ගිය අමරණීය ගසකට ඉන් කිසිවක් කරන්න බෑ.'' වානර වික්‍රම ඊලඟට වලාකුලේ නැගිලා යිංචව් දිවයිනට ගියා. එහි සිටින දෙවි වරු නව දෙන්නටත් කිසි දෙයක් කරන්නට බැහැ. ඒ නිසා වානර වික්‍රම එතැනිනුත් අවසර ගෙන වලාවක් පතින් පිටත් වුණා.

පෙරදිග මුහුද තරණය කල වානර වික්‍රම පුතුවෝ නමැති සුරංගනා දූපතට පැමිණ වළාකුලෙන් බිමට බැස්සා. එම දිවයිනට අධිපති කරුණාවේ දෙව්දුව නෙළුම් පොකුණේ නෙළුම් මලක් උඩ වැඩ හිටියා. මුචායි සහ ලොංනු නමැති මෙහෙකාරියන් දෙදෙනා දෙව්දුවගේ දෙපසින් සිටියා. තමාගේ නායක හාමුදුර්වන් මුදා ගනු පිණිස දිව්‍යමය ගසට පන දිය හැකි බේතක් වානර වික්‍රම දෙව්දුවගෙන් ඉල්ලා හිටියා. ඉන්පසු ඔවුන්ට බද්ධ පොත් පත් සොයා යා හැකි බවත් ඔහු කීවා.
දෙව්දුව වානර වික්‍රමට බැන්නා:'' දිව්‍යමය පළතුරු ගෙඩිය ලෝකයේ ඇති අගනාම වස්තුවයි. චෙන් යූ අන්න් සියළුම දෙවිවරුන්ගේ නායකයායි. සමහර වෙලාවට මාත් ඔහුට යටත් වෙනවා. ඔබ ඔය තරම් එඩිතර වුණේ කෙසේද?'' වානර වික්‍රම ඔහු කළ වරද පිළිගත්තා, දෙව්දුව ඔහුට බෝතලයක් දී කීවා: ''මේ අමෘතයට ගසට පණ දෙන්න පුළුවන්,'' වානර වික්‍රමගේ අත්ලට ඉන් ටිකක් වත් කළ දෙව්දුව තමා පසු පස පස්ගම විහාරයට එන ලෙස ඔහුට කීවා.

එහි දී චෙන් යූ ආන් දෙව් දුව පසු පස උයනට කැඳවා ගෙන ගිය අතර වානර වික්‍රම ගසේ මුලට අමතය වත් කළා. ඒ සමගම පොළොවෙන් ඉහළට දිලිහෙන උල්පත් වතුර විසිරෙන්න පටන් ගත්තා. වතුර දේදුණු පාටින් ඈතට විසිරුණා. මල් ගසේ අතු නාවන්නට පටන් ගත්තා. අතු කොළ පාට වී දළු, මල් දමන්න පටන් ගත්තා. ගසට යළි පණ ලැබුණා. හැම දෙනාටම දැන් හරි සන්තෝෂයි. සමීරත් චන්ද්‍රාලෝකත් ගසේ වැඩි පුර ගෙඩියක් තිබී පුදුම වුණා.: '' ඔබ කීවා මා ගෙඩි හතරක් ගත් බව. මා ගත්තේ තුනයි. අනෙක පොළොවේ අතුරුදහන් වී ගියා.'' චෙන් යූ ආන් ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වුණා. හැමදෙනාටම සංග්‍රහ කරන්නට ඇති තරම් පළතුරු ගෙඩි කඩන ලෙස සමීරටත් චන්ද්‍රාලෝකටත් නියම කළා. මහා ශාලාවේ සංග්‍රහයක් පැවැතුණා. කරුණාවේ දෙව්දුව මෙසේ කීවා:'' අද අප මෙහි මුණ ගැසීම වාසනාවක්. මේ මහ උත්සවයේදී අපි චෙන් යූ ආන් සහ වානර වික්‍රම අතර ඇති වූ මිතුරු දම ගැන ප්‍රීති වෙමු.''

පස්ගම පන්සල් මිදුලේදි චෙන් යූ අන්න් සහ එතුමගේ ගෝලවරු ශු ආන් චාංට වානර වික්‍රමට සහ අනෙකුත් අයට සුබ පැතුවා. සිවුරු පොරවා ගෙන සිටි ශු ආන් චාං වානර වික්‍රම ගේ මග පෙන්වීම උඩ සූකර පෝතක සහ වාලුකාවර්ණත් පසු පසින් කැඳවා ගෙන සුදු අශ්වයා පිට නැගී බස්නාහිර දිසාව බලා යන දීර්ඝ ගමන යළිත් ආරම්භ කළා.

චිත්‍ර සහ කථාව : මෙයි යිං
අනුවාදය : ආරියවංශ පතිරාජ
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook