මං සුවඳ මලක්

ඔන්න එකෝමත් එක කාලෙක කඳුකර පෙදෙසක අපූරු නිම්නයක් තිබුණා. නිම්නයක් කිවුවෙ මහ විසාල කඳු ගැට දෙකක් එකට මුණ ගැහෙන තැනක්.එතැනට හැමෝම කිවුවේ "සුරඟන නිම්නය" කියලා. ඒ සුරංගනා ලෝකයක් තරමටම එතැන ලස්සන හන්දා. නිම්නය දිගේ පහලට පහලට වංගු වලින් වක ගැහි ගැහි ගලන ගඟක් තිබුණා. ගඟේ වතුර හිමිදිරියේ දි ලා නිල් පාටයි. ඈත කඳු මුදුන් වලට මුවාවෙලා ඉර ඇවිත් එබෙනකොට ගඟට කොයි තරම් නම් සතුටක් දැනෙනවද කිවුවොත් එයා කරන්නේ නිල් පාට මකලා දාල ඉක්මනින්ම ඉර එළියේ රිදී පාට ඇඳගන්න එක. ඊටපස්සෙ හෙමින් මුමුණ මුමුණ සතුටින් පහළට ගලාගෙන යන එක.

ගඟේ ගීතය බොහොම මිහිරියි. අහන ඕනෑම කෙනෙක් ගෙ හිත සතුටින් පිරෙනවා. ඉතිං හැමදාම ගලන ගඟ කියන සින්දු අහන්න පුංචි මල් දහස් ගණනක් අහල පහළ කඳු ගැටිති වල පිපෙන්ට පටන් ගත්තා.
කඳු මුදුනෙත්..බෑවුමෙත්...පහළ තණ බිමෙත්..ඉවුර ළඟත්..හැමතැනම..හැම තැනම..

ඒ මල් නිකම්ම පිපුණේ නෑ.පාට පාටිනුයි පිපුණේ. අපූරු හැඩයන් වලිනුයි පිපුණේ. ලොකු පොඩි තරමට පිපුනේ. සමහර මල් පුනීලයක් වගේ..සමහර මල්..රවුම්...වටකුරුයි...සමහරක් සමණල්ලු වගෙයි... තවත් සමහරක් සීනු වගෙයි... සමහරක් පිඟානක් වගෙයි, පැතලියි...තවත් සමහරක් හීනි නලයක් වගෙයි..

රිදී ගඟ ගලාගෙන යන රිද්මයට මල් හුලඟේ නැටුවා, ඔලු ගෙඩි දෙපසට සොලවමින්. කොච්චර නැටුවත් මල් වලට කවදාවත් මහන්සි දැනුනේ නෑ.

මේ ලස්සන ගං ඉවුරේ ඈත තැනක, ගඟේ ඉවුර අද්දරම පාසි බැඳුණු තැනක මලක් පිපිලා තිබුනා. තනිවම. ඒ මල සුදුපාටයි. පුංචියි. ලස්සන හැඩයක් වත් පාටක් වත් එයාට නෑ කියල එයා දකින කෙනෙක් කියන්ට පුලුවනි. ඒත් හුඟක් සුවඳයි.

හැමදාම රිදී කිරන පෙරන්නට ඉර එබෙනවාත් එක්කම ඒ මල ඇහැරුණා. රෑ කාලයේ ඇවිදින් සීතලෙන් එයාව ගුලිකරගෙන උන්නු පිණි කැට පොරෝනාව අයින් කරලා ඉරේ උණුසුම විඳගන්නට එයා ඔක්කොම පෙති දිග හරිනවා. එතකොට හීනියට රැස් කෙඳි එක එක ඇවිත් හෙමින් එයාගේ මල්පෙති සිපගන්නවා. ඉතිං පුංචි මල සතුටින් හිනා වෙනවා.

දහවල උදා උනාම ඉර කඳු ගැටිති ඉහලින් ඇවිත් බලන් ඉන්නවා, "සුරඟන නිම්නයේ" ලස්සන. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ. තව තව බලන්නටමයි ඕනෑ වෙන්නෙ. ඒතරම් ලස්සනයි. කියල නිම කරන්න බැරි තරම් ලස්සනයි.ඉර මුදුනට ආවම රැස් කෙඳි ඩිංගක් සැර වැඩියි.පුංචි මල් වලට ඒක අමාරුයි. ඔන්න එතකොටම ඈත කොහෙදෝ තැනක ඉඳන් හුළඟක් ඇවිදින් හමා ගෙන යනවා. ගඟට උඩින්, මල් ගොමු වල හැපි හැපි, මල් නටව නටව,කඳු වළල්ල වටේ දුවමින් රිද්මයට කැරකෙනවා.දහවලේ ඇවිත් මල්පෙති කිති කවන, තාලයට මල් එක්ක නටන හුළඟ තියෙන තාක් කල් පුංචි මලට පාලුවක් දැනුනෙම නෑ.එයා උන්නේ බොහොම සතුටින්.

රෑ කාලය ආවම හැමදේම කළුවරේ නොපෙනී යනවා. තරු කැට එක දෙක ඉහළ අහසින් එබී බලන්ට පටන් ගන්නවා.ගඟ දිය රැළි නග නගා තරු එළියේ නැලවිලි සින්දුවක් කියනවා, නොනවත්වාම. මහන්සියක් නැතුවම.ඔන්න එතකොටම පිණි බිංදු එක දෙක අහසින් පහළට රූටලා ඇවිත් පුංචි මලට පොරෝනාවක් වෙනවා. ඉතිං මල සීතල පිනි පොරෝනාවට ගුලි වෙලා සතුටින් නින්දට යනවා.

ඔහොම කාලය ගෙවී ගෙන ගෙවී ගෙන ගියා. පුංචි මල ඒ හැමදවසකම බොහොම සතුටින් උන්නා. එයා හිතුවා එයා තමයි මුලු ලෝකෙන්ම වඩාත් සතුටින් ඉන්නෙ කියලා. එහෙම හිතෙන හිතෙන වාරයක් ගානේ හුළඟේ නැලවෙවී තව තවත් නටන්ට පටන් ගත්තා.

ඔන්න දවසක් එයා දැක්කා "සුරඟන නිම්නය" හැඩ කරන්ට සමණල් රංචු රංචු ඇවිත් ඉන්නා හැටි.උන් එක එක පාටයි. හරියටම දේදුන්නක් පායලා වගේ.ඒත් එක්කම ඈට ඇහුණා "ගුමු ගුමු" හඞක්. ඈ වටපිට බැලුවා.ඔන්න එතකොටයි ඈ දැක්කෙ කහයි කලුයි ඇඳුම් ඇන්ද මී මැසි රංචු රංචු පෙළින් පෙළට නිම්නයට එන හැටි. ඈ පුදුමයෙන් බලන් හිටියා.

ඔන්න දැන් ඒ හැම සමනලයෙකුම, හැම මී මැස්සෙකුම නිම්නයෙ පිපුණු හැම මලකට ඉගිලි ඉගිලි සින්දු කියනවා. නටනවා. සතුටු වෙනවා. ඉතිං පුංචි මලත් බලාගෙන උන්නා. මී මැස්සන් සමනලයින් ඈ බලන්ට එයි කියලා. ඒත් කවුරුවත් ඈ අසලට ආවේ නැහැ. කාටවත් ඈ පෙනුනේ නෑ.
මලට දුක හිතුනා.


"අද නැතත් හෙට එයි ඒගොල්ලො" පුංචි මල එයාට මුමුණා ගත්තා.

රැය ගෙවුණා. දහවල උදා වුනා.ඔහොම කාලය ටිකෙන් ටික ගෙවී ගෙන ගෙවී ගෙන ගියා. ඒත් එක මී මැස්සෙක්වත් සමනලයෙක් වත් ආවෙ නෑ.

මලට දුක හිතුනා.කොච්චර ඈට දුක හිතුනද කියනවා නම් ඇගේ ලා රෝස පාට මල්පෙති කම්මුල් කඳුලු වලින් පෙඟිලා මැලවිලා යනතුරුම ඈ ඇඩුවා. දින ගණනක් ඇඩුවා.අඞලා අඞලා පිනි පො රෝනාවට ගුලි වෙලා නින්දට ගියා.

ඔන්න මේක බලන් උන්න පුංචි සුරංගනාවියක් හෙමින් පහළට ආවා.එයාට මල ගැන හුඟක් දුක හිතුනා. ඉතිං සුරංගනාවිය ඇවිත් පුංචි මලට ආදරෙන් කතා කලා. කතා කරලා මෙහෙම කිවුවා.

" කණගාටු වෙන්නෙපා. ඔයා බොහොම සුවඳ මලක්. හුළඟ කොච්චර කැමතිද ඒ මිහිරි සුවඳ අරගෙන නිම්නය වටේ ඇවිදින්න. ඔයාගේ සුවඳින් අනෙක් හැමෝවම සතුටින් තියන්න පුලුවන් දවසක් ඒවි. පාට පරදන්න සුවඳට පුලුවනි!"

එහෙම කියලා සුරංගනාවිය නොපෙනී ගියා. මල් පොඩිත්ත හිතන්නට පටන් ගත්තා.

"ඔවු මං සුවඳ මලක්. පුංචි උනාට මට පුලුවනි ඒ සුවඳින් අනිත් අය සතුටු කරන්න..!" ඈ හිතුවා.

ඉතිං ඈ තව තවත් සුවඳවත් වුණා.


ලිවුවේ - රුවන්මලී නැන්දා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails