හැමවෙලාවෙම ෆ්‍රෑන්ක්ලින් හිටියේ තනියෙන්.එයා යාළුවන්ට කොච්චර කැමති උනත් ඒ කාටවත්ම ඔහුගේ ගෙදර එන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.

ඇත්තම කතාව නම්, ෆ්‍රෑන්ක්ලින් හුඟක් අපහසුතාවයට පත් වෙලයි හිටියේ. ඔහු ගේ පවුලේ උදවිය හැමෝම හරිම කම්මැලියි. හැමදේම බොහොම අපිළිවෙලට තියගත්තෙ.කොච්චර කම්මැළිද, අපිළිවෙලද කියනවා නම්, ඒගොල්ලො කවදාවත් මූණ හෝදලා, නාලා පිරිසිදු වුණේ නෑ. ගේ දොර අතු පතු ගාලා පිරිසිදු කළේ නෑ. කෑම කෑ බඳුන් හෝදලා පිරිසිදු කළේ නෑ. නිදාගන්න ඇඳ ඇතිරිලි දමලා පිළිවෙලට සකස් කළේ නෑ. කොටින්ම ඒ ගොල්ලො නෑවේ අවුරුද්දකට එක සැරයක් විතරයි. ඒකත් නොකරම බැරි වුනහම!

ගේ හැම තැනම වාගේ හැඩි කරලා තිබුණේ. සමහර වෙලාවට ඒ අහල පහල වැඩ කරන එක පවා තවත් කරදර රැසක් ඇතිකරනවා. ෆ්‍රෑන්ක්ලින් හැමවෙලාවෙම මොකක් හරි සෙල්ලම් බඩුවක් පැටලිලා ලිස්සලා වැටෙනවා. මොකද ගෙදර උදවිය සෙල්ලම් කිරිල්ල අහවර උනාට පස්සෙ ඒවා නියමිත තැන තියන්න පුරුදු වෙලා හිටියෙ නැති හින්දා.ඒ විතරක් නෙමෙයි, ගෙදර අයට නිතර ලෙඩ හැදෙන්ටත්, නිතර තුවල සිදු වෙන්ටත් පටන් ගත්තා. ඒත්, ෆ්‍රෑන්ක්ලින් ගේ අම්මයි තාත්තයි ඒ ගැන ඒ තරම් සැලකිල්ලක් දැක්වුවෙ නෑ. ඒ ගොල්ලන්ගේ කාලයෙන් වැඩි කොටසක් ගත වුණේ නිදාගන්ට.

හැම උදේකම, පාසල් යන්ට හැමෝටම කලින් අවදි වෙන්නෙ ෆ්‍රෑන්ක්ලින්. ඔහුගේ සහෝදරයෝ පරක්කුවෙනකල් හොඳහැටි නිදාගන්නවා. ඊට පස්සෙ අන්තිම මිනිත්තුවේ අවදිවෙලා දඩි බිඩියෙ සූදානම් වෙලා ෆ්රෑකන්ක්ලින් ගෙ පස්සෙන් ඉස්කෝලෙට යනව හරියට පිරිසිදු වෙන්නෙත් නැතිව. උදේට කෑම කන්නෙත් නැතිව.

ඉස්කෝලෙට ගියාම ගුරුතුමී කරන්නෙ ෆ්‍රෑන්ක්ලින්ගෙ මල්ලිලාව අනිත් ළමයින් ගෙන් වෙන් කරලා ඉන්දවන එක. මොකද ඒගොල්ලො හිතාගන්න බැරි තරම් අපිරිසිදුයි. ඌරෙකුට උනත් අහලට ළං වෙන්න බැරි තරම් ගඳයි. ෆ්‍රෑන්ක්ලින් හැමවෙලාවෙම හිතුවා එයාගේ මල්ලිලා ඩිංගක්වත් වෙනස් වෙනව නම් හොඳයි නේද කියලා. ඒත් ඒගොල්ලො ඒක ගණන් ගත්තෙ නෑ.

ඔන්න එක දවසක් හැම ඌරු පැංචෙකුට චිත්‍රයක් බැගින් අඳින්ට වුණා. ඒගොල්ලො කැමති ඕනෑම දෙයක් චිත්‍රයට නගන්ට එගොල්ලන්ට ඉඩ දීලයි තිබුණේ. ඉතිං පුංචි ෆ්‍රෑන්ක්ලින් තීරණය කළා බොහොම ලස්සන දේදුන්නක් අඳින්ට.
හැමෝම චිත්‍ර ඇඳලා ඉවර වුණා. ඒත් හැබෑම ලස්සන චිත්‍රය ඇඳලා තිබුණෙ නම් ෆ්‍රෑන්ක්ලින්.ගුරුතුමී ඒක හැම ළමයෙකුටම පෙනෙන විදියට ඔසවලා පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි ඒකට පලමු තැන ලැබුනු නිසා ලස්සනම ලස්සන පීත්ත පටියකුත් ඇලෙවුවා!


ෆ්‍රෑන්ක්ලින්ට මේ වගේ දේවල් ඒ හැටි පුරුදු නැති නිසා එයා ලැජ්ජාවෙන් ඇඹරුණා ඩිංගක්.

"ඒක ඒ හැටි හොඳ චිත්‍රයක් නෙමෙයි!" එයා අහිංසක විදියට කිවුවා.ඒත් එයා ඇත්තටම හුඟාක් සතුටු වුණා මේ දිනුම ගැන.

"අම්මයි තාත්තයි මොනවා කියාවිද?" ෆ්‍රෑන්ක්ලින් චිත්‍රය අරගෙන ගෙදර යන ගමන් හිතුවා.

ෆ්‍රෑන්ක්ලින් ගේ දිනුම ගැන ගෙදර හැමෝම බොහොම සතුටට පත් වුණා. ඒ ගැන ෆ්‍රෑන්ක්ලින් උන්නෙ සතුටෙන්.

"මේ බලන්න! අපේ පවුලෙත් ඉන්නව අපූරු චිත්‍රශිල්පියෙක්!" ෆ්‍රෑන්ක්ලින්ගෙ තාත්තා බොහොම ආඩම්බරයෙන් කිවුවා.

"මේක තමයි මං දැකපු ලස්සනම දේදුන්න!" අම්මාත් කිවුවා.

" මේක ආං අර බිත්ත්යේ එල්ලමු" තාත්තා කියා සිටියා.

"මං දන්නෙ නෑ තාත්තේ...." ෆ්‍රෑන්ක්ලින් ලැජ්ජාවෙන් කිවුවා.

" ලැජ්ජා වෙන්න එපා පුතේ, හැමෝටම පෙනෙන විදියට මේක එල්ලන්න හොඳම තැන එතැන " යි තාත්තා කිව්වා.

"මේ බිත්තිය ටිකක් පිරිසිදු උනා නම් චිත්‍ර ය හරි අපූරුවට පෙනෙයි නේද?" පින්තූරය බිත්තියේ එල්ලලා ඉවර වුනාට පස්සෙ, ඩිංගක් ඈතට ගිහින් චිත්‍රය දෙස බැලූ ෆ්‍රෑන්ක්ලින් කිවුවා.

"ඔවු ඔයා හරි. අපි ඒක පිරිසිදු කරලා දමමු"

එහෙම කියලා තාත්තා බිත්තියෙ තිබුණු කුණු පැල්ලම් සේරෝම හොඳට සබන් ගාලා අතුල්ලලා වතුරෙන් හෝදලා දෑම්ම.

"මේ බලන්න! මෙන්න තියෙනව බිත්ති පින්තාරුවක් කුණු වලට යට වෙලා!"

"කොච්චර ලස්සන පින්තාරු මෝස්තරය්ක්ද?" ඔන්න අම්මත් කතාවට එක් වුණා.

"ස්තුතියි තාත්තේ, බිත්තිය පිරිසිදු කළාට. දැන් තමයි පින්තූරය හැබෑටම ලස්සන!" වැඩේ අහවර උනාම ෆ්‍රෑන්ක්ලින් තාත්තාට කිවුවා.

" මේ වගේ අපූරු චිත්‍රයක් එල්ලන්න ඒ වගේම අපූරු තැනක් ඕනෙමයි!දැන් බිත්තිය නම් හොඳටෝම පිරිසිදුයි. ඒත් බිම ඔක්කොම අපිරිසිදුයි. හැඩි වෙලා. මේ පරණ පිදුරු වලට මොනවා හරි කරන්න ඕනෑ අපි"

"අහා, ඒක මං කරන්නම්" ඔන්න ෆ්‍රෑන්ක්ලින්ගේ සීයා ඉදිරිපත් වුනා ඒ වැඩේට.

"පහුගිය අවුරුදු පනහටම මට මේ පරන පිදුරු අයින් කරන්න ඕනෙ වුණා, දැන් නම් ඒව අයින් කරන්න පටන් ගන්න තරම් හොඳ හේතුවක් තියෙනව!"

ඊළඟට සීයා පරණ පිදුරු සේරෝම අයින් කරල හැම තැනටම අලුත් පිදුරු ඈතිරුවා.

වැඩ සියල්ල අහවර උනාට පස්සෙ හැමෝම සතුටු වුණා තෑගි දිනූ චිත්‍ර පිරිසිදු වටපිටාවත් එක්ක බොහොම ලස්සනට පෙනෙන බව ගෙදර උදවිය හැමෝම පිළිගත්තා.

"ඒත් මේ තිර රෙදි!" ඔන්න එකපාරටම් ෆ්‍රෑන්ක්ලින් ගේ අම්මා මතක් කළා.

"අපිට ඒව පිරිසිදු කරන්න ඩිංගක්වත් මතක් වුණේ නෑනේ. මං දැන්මම ඒවාත් සෝදලා දමන්නම්"

එහෙම කියූ අම්මා තිර රෙදි ඔක්කොම ගලවාගෙන ගිහින් ඉක්මනින් බේසමට දැම්ම සෝදන්නට . ඒවා සෝදන්ට පිරිසිදු කරන්ට හුඟක් සබනුයි වතුරයි ඕනෙ වුණා.ඒ සබන් වලින් බොහොම ලස්සන පෙණ කැටිති කැටිති නැගිලා ඒවා බේසමේ හැම පැත්තෙන්ම ගිලිහෙන්ට පටන් ගත්තා. ඒක කොච්චර ලස්සනද කියනවා නම් ගෙදර දවිය හැමෝටම ඒකට පැනලා නාන්ට හිතුනා. ඒගොල්ලෝ එදා මුලු දවල් වරුවම ගත කලා බේසමේ බැහැලා නාන්ට. සෙල්ලම් කරමින්, හිනා වෙවී, බොහොම සතුටින්.

ෆ්‍රෑන්ක්ලින්ට එයාගේ පවුලේ උදවිය ගැන දැන් බොහොම සතුටුයි.ඉතිං එයා කළේ එයාගේ ඉස්කෝලේ යාලුවන් කිහිප දෙනෙකුට එයාගේ ගෙදර එන්න කියලා ආරාධනා කල එකයි. ෆ්‍රෑන්ක්ලින්ගේ අම්මා හදාපු රසම රස විස්කෝතු රස බලන්ටත්, තාත්තා හාර්මොනිකාව වාදනය කරමින් සින්දු කියනවා අහන්ටත් හැමෝටම එදා පුලුවන් වුනා.

සීයත් හුඟක් අමාරුවෙන් උනත් ෆ්‍රෑන්ක්ලින් ලා එක්ක සෙල්ලම් කරන්න එකතු වුණා. සතුටු සාදයෙන් පස්සෙ යාළුවෝ හැමෝම ෆ්‍රෑන්ක්ලින්ට කිවුවේ එයාගෙ පවුල තමයි හොඳම පවුල කියලා! ඉතිං ෆ්‍රෑන්ක්ලින්ටත් ඒකට එකඟ නොවී ඉන්න බැරිවුණා.

තව හොඳට චිත්‍ර ඉගෙන ගන්ට ඕනැයි කිලා අම්මයි තාත්තයි ෆ්‍රෑන්ක්ලින්ට කිවුවා. චිත්‍ර පන්ති යන්ටත් වුනා. ඒ වගේම ෆ්‍රෑන්ක්ලින් බොහොම ලස්සන චිත්‍ර තව තවත් ඇන්දා.එදා ඉඳලා ෆ්‍රෑන්ක්ලින් ගේ ගෙදර උදවිය බොහොම පිරිසිදුව පිළිවෙලට හිටියා.

ඒත් ඉඳහිට පවුලේ ඔක්කෝම එකතු වෙලා මඩ වලකට බැහැලා හොඳහැටි මඩ නාන්ටත් අමතක කළේ නෑ. ෆ්‍රෑන්ක්ලිනුත් එහෙමයි!

පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails