කොරියාවේ හක් සොන්දේ පෙදෙසේ කිල්චූ නගරයේ මීට අවුරුදු බොහෝ ගණනකට ඉස්සෙල්ලා කොටි දඩයම් කරන පොහොසතුන්ගේ සංගමයක් තිබුණා. එක දුප්පත් තරුණයෙක් මේ සංගමයේ සාමාජිකත්වය ලබාගන්ට බොහොම උත්සහ ගත්තා.

"නුඹ කොහාට රිංගන්ට හදනවද? නුඹම දන්නවා නුඹ දුප්පත් මිනිහකු බව. දුප්පත් මිනිහෙක් මිනිහකු නොවෙයි. යන දිහාවෙක පලයන්". ඒ සංගමයේ සභාපති තරුණයාව පන්නා ගත්තා.

ඒ වුණාට ඒ තරුණයා කොටි දඩයමට කියාපු වානේ හෙල්ලක් සූදානම් කැරැගත්තා. ඒ හෙල්ල අනෙක් දඩයම් කරුවන්ගේ හෙල්ල වලට වඩා අගෙයි කියන්ට පුළුවනි.

ඔන්න ඉතින් දවසක් දා කොටි දඩයමට සංගමයේ සාමාජිකයෝ පිටත් වුණා. මේ තරුණයත් කොටි දඩයමට ගියා.

පොහොසත් දඩයක්කාරයෝ කාලා, බීලා ප්‍රීති වුණා. දුප්පතා දිහා බැලුවේ වත් නැහැ. ඔහු ආයෙමත් ඔවුන් ලඟට ආපු හැටියෙම ඔවුන් එයාව එළවා දැම්මේ අපහාස කරලා.

"එහෙනම් නුඹලා මෙතැන බීගෙන නටපල්ලා. මම තනියම යනවා කොටි දඩයමට" තරුණයා කිව්වා.

"නුඹට ඕන නම් කොටියෝ නුඹව මරලා කාලා දමන්න, නුඹ පලයන් පිස්සා" එහෙම කිව්වේ අර පොහොසත් දඩයක්කරයින්ය.

"කොටියෙකුගෙන් මැරුම් කන එක හොඳා. නුඹලාගේ අපහාස විඳිනවාට වැඩිය"

එහෙම කියලා ඔහු කැලෑව මැදට ගියා. ඔන්න එතන හිටියා මහ විසාල කොටියෙක්. කොටියා පූසෙකු වගේ මේ තරුණය සමග සෙල්ලම් කරන්ට පටන් ගත්තා. කොටියා වරෙක ඔහු ලඟටත් තවත් වරෙක ඔහුගෙන් ඈතටත් පැනලා සෙල්ලම් කළා. ඊටපස්සේ කොටියා හතරගාතෙන් බිම වැතිර දුප්පත් තරුණයා දෙස බලමින් වලිගය වනන්ට පටන් ගත්තා.

කොටියා මේ විදියට සෙල්ලම් කළේ තරුණ දඩයක්කාරයා නින්දා කරමින් කොටියාට කෑ ගහන තුරු විතරයි.

"ඔන්න තොපට මගෙන් හෙල්ල පහරක්!" කියලා දඩයක්කාරය හෙල්ල කොටියා දෙසට වීසිකළේ ඌව මරාදමන්ටයි.

එවිට වහාම කොටියා දඩයක්කාරයා දෙසට පැනලා හෙල්ලය දත් වලින් අල්ලා ගත්තා. දඩයක්කාරයා බොහොම ලොකු ශක්තියකින් ඒ හෙල්ලය දිගුකොට උගේ උරට ඇන්නා. කොටියා මැරිලා බිම වැටුණා.

ඒ කොටියා නොවෙයි, කොටි දෙන. ඇගේ මහ හඬ අහලා ඇයට උදව් කිරීමට පිරිමි කොටියා ආවා.

කොටියා මාරයකු වගේ එක පිම්මට දඩයක්කාරයා දෙසට කඩා පැන්නා.

ඒ වන විට කොටි දෙනගේ උගුරට ඇනපු හෙල්ලය අරගෙන දඩයක්කාරයා කොටියාගේ උගුරටත් ඇනලා ඌව මරා දැම්මා.
මැරිච්ච කොටියන්ගේ මළ කුණු ඔහු පඳුරු අස්සට ගෙන ගොස් හැංගුවා. උන්ගේ වලිග විතරක් පාරේ දැම්මා.

ඔන්න තින් ඉන්පසු තරුණ දඩයක්කාරයා ගියා කාලා බීලා සතුටු වෙවී ඉන්න පොහොසත් දඩයක්කාරයින් ලඟට.

"ආ, මොකද මහ ගොඩක් කොටින්ව දඩයම් කළාද?"

"මට කොටියන් දෙදෙනෙකු හමුවුණා. උන්ව දඩයක් කිරීමට බැරිවුනු හන්දා මම ඔහේලාගෙන් උදව් ඉල්ලන්ට ආවා." තරුණයා කියාපි.

"ආ ඒක වෙනම කාරනයක්. හොඳයි අපට පාර පෙන්නාපිය"

පොහොසත් දඩයක්කාරයෝ තරුණයාට විහිලු කලා. උපහාස කලා.

"නුඹ මොකද තනියම මැරෙන්න බය වුණාද? අපව හොයාගෙන ආවේ..."

"නිහඬව යමු. කොටියෝ මේ ලඟ" තරුණයා කීවා.

පොහොසත්තු නිහඬ වුණා. දැන් ඉතින් නඩේ ලොක්කා දුප්පත් තරුණයා.

"ඔන්න කොටියෙඔ!" කියලා තරුණයා කොටි වලිග පෙන්නුවා. එවිට පොහොසත් දඩයක්කාරයන් එකවර කෑගැහුවේ මහ හඬින්:

"මෙන්න මගේ හෙල්ල පහර!"

නමුත් මැරිච්ච සතුන් හෙළවුණේ වත් නැත.

දුප්පත් තරුණයා එතකොට මෙහෙම කියාපි:

"මේ කොටියන් දෙදෙනා මගේ හෙල්ල පහරින් මැරිලා, ඉතින් නුඹලාට තියෙන්නේ උන්ව නගරයට ඇදගෙන යන එක විතරයි"

නිකොලායි ගාරින්
අනුවාදය - දැදිගම වී. රුද්‍රිගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails