ඔන්න එකෝමත් එක කාලෙක ඈත ගමක බොහොම කාරුණවන්ත ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ජීවත් වුණා.

"හාමිනේ, මං උඩහ කැලේට යනව, දර ඩිංගක් කපාගෙන එන්ට" ඔන්න දවසක් සීයා ආච්චිට කිව්වා. එහෙම කියලා ගේ පිටිපස්සෙ තියෙන කඳු මුදුනට යන්ට පිටත් වුණා.

සීයා කැලේට ගිහින් දර කප කපා ඉන්නකොට, එකපාරටම "දඩ්ස් - බඩස්, දඩස්- බඩස්" ගාන සද්දයක් ඇහෙන්ට පටන් ගත්තා. සද්දෙ ඇහුණේ කැලේ ඇතුළෙන්.

"මොකද්ද ඒ අමුතු සද්දෙ?" ඔන්න සීයා පුදුම වුණා. මේ අමුතු සද්දෙ මොකක්දැයි බලන්ට හිතපු සීයා පඳුරු අස්සෙන් රිංග රිංගා කැලේ ඇතුලට ඇවිදගෙන ඇවිදගෙන ගියා.

සීයා ඔහොම ඇවිදගෙන ඇවිදගෙන ගිහින් එළිමහන් බිමකට ආවා. ඒක නිකම්ම නිකං එළිමහන් බිමක් නෙමෙයි. සූමෝ ක්රීගඩා පිටියක්.සූමෝ පිට්ටනිය මැද හැඩි දැඩි මහත මී පැංචෙකුයි කෙට්ටු පොඩි මී පැංචෙකුයි සූමෝ සෙල්ලම් කරනවා.

"හහ්..හහ්...හා... මේක නම් හරිම අපූරුයි!"

එහෙම කියාපු සීයා ලඟ තිබුණු ගසකට මුවා වුනා.ඇස් දෙක අල්ලෙන් හොඳ හැටි පිස දමලා මී පැටවුන්ගේ සූමෝ සටන බලන්න ලැහැස්ති වුණා.

ඔන්න කෙට්ටු මීයා ඉන්නෙ සීයගෙ ගෙදර බව එතකොට සීය අඳුනා ගත්තා. මහත මීයා ගමේ බොහොම පොහොසත් ගෙදරක ඉන්නා මීයෙක් බවත් සීයා අඳුනා ගත්තා.

"අපේ පුංචී මී පැටියෝ, තව හයියෙන් , තව හයියෙන්!"

සීයා හැංගිලා ඉඳගෙන පුංචි මීයාව දිරිමත් කළා.ඒ වුණත් සීයාගෙ ගෙදර උන්නු මී පැංචා බොහොම දුර්වල කෙනෙක්.ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ඒ වෙලාවෙ තිබුණෙ නෑ.සටනට යන හැමවෙලාවෙම මහත මී පැංචා "දඩස්- බඩස්, දඩස්-බඩස්" ගාලා කෙට්ටු මී පැංචා ව වේගයෙන් පොළොවෙ ගැහුවා.

තමන්ගෙ ගෙදර ඉන්න කෙට්ටු පොඩි මී පැංචා ගැන සීයට බොහොම දුක හිතුණා.

ඔන්න ආපහු ගෙදර ආව සීයා ආච්චිට තමන් දැක්ක හැමදේම විස්තර ඇතිව කීවා.

"මට බොහොම කණගාටුයි. ඇත්තටම මට ඇඬෙන්ට ආවා. සෙල්ලම පටන් ගත්ත හැමවෙලාවෙම "දඩස්- බඩස්" "දඩස්-බඩස්" ගාල එහාටයි මෙහාටයි වැටිලා දූව්ලි නාපු හැටි. අපි එයාට කොහොමෙන් හරි උදවු කරන්ට ඕනෑ හාමිනේ. අපිත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන උදවිය නොවැ. ඉතින් හොඳ කෑමක් බීමක් කොහෙන්ද අපට?"

එහෙම කියලා සීයා දිග සුසුමක් හෙළුවා.

"මට පුළුවං අග්ගලා හදන්ට. අපි ඒවා කවමු මී පැංචට!" ඔන්න එතකොට ආච්චි පිළිතුරු දුන්නා.

අළුත් අවුරුද්දට ගන්ට කියලා ආච්චියි සීයයි දුම් මැස්සෙ හංගපු හාල් සුද්ද කරලා, කොටලා රසම රස අග්ගලා හැදුවා.

"වැඩියෙන් කෑවොත් වැඩි වැඩියෙන් දින්නන්න පුළුවන් නොවැ " එහෙම කිය කියා ආච්චියි සීයයි දෙන්නම එකතු වෙලා ඔන්න අග්ගලා ගුලි කරන්ට පටන් ගත්තා.

ඊට පස්සෙ මී පැංචා නිතර යන එන රාක්කයක් බලලා ඒක උඩින් අග්ගලා ගුලි කීපයක් තැබුවා.

පහුවෙනිද උදේ රාක්කය උඩ තියපු අග්ගලා ගුලි ඔක්කොම අතුරුදහන් වෙලා තිබුණා.

"අහා.. මී පැටියට අද නම් හොඳ හැටි සටන්කරන්ට පුළුවන් වෙයි හාමිනේ"

එහෙම කියාපු සීයා බොහොම සතුටින් කන්ද නැගලා කැලේට යන්ට පිටත් වුණා.

සීයා ආයෙමත් දර කපනවා. එතකොටම කලින් දවසෙ ඇහුණා වගේම "දඩස්-බඩස්" "දඩස්- බඩස්" සද්දය ඇහෙන්ට පටන් ගත්තා.

"ආහ්! අදත් සූමෝ සෙල්ලම් කරනවා වගෙයි" එහෙම කියාපු සීයා හිනා වෙවී හෙමි හෙමින් කැලේ ඇතුලට ඇවිදගෙන ඇවිදගෙන ගියා.

ඔන්න මහත මී පැංචා කකුළක් ඉහළට ඔසවලා වැරෙන් පහරක් ගහලා සටන් කරන වළල්ල මැදට ආවා.

"ඔහොම නවතිනවා!" එහෙම කියාගෙන කෙට්ටු මී පැංචත් වලල්ල මැදට ආවා.

ඔන්න දෙන්නම මැද්දට පැනලා පොරයට සූදානම් වුණා.මහා පුදුමයක් සිදුවෙමින් තිබුණා. මහත මී පැංචා වෙතට පැන්න කෙට්ටු මී පැංචා ඔහුව එක පහරින් ඔසවා "දඩස් -බඩස්" "දඩස්- බඩස්" හඬින් බිම පෙරළා දමන්ට වුණා.

"අපි ආයෙත් කරමු!" පැරදුනු මහත මී පැංචා කිව්වා. එවරත් මහත මී පැංචා ඔසවා පෙරලා දමන්ට කෙට්ටු මී පැංචාට හැකි වුණා. කොතෙක් වාරයක් තරඟ කළත් අවසානයේ දිනුම හිමි වුණේ කෙට්ටු මී පැංචට.

"පුදුමයක් නොවැ! කොහෙන්ද එකපාරටම මේ හැටි ශක්තියක් ඔහේට ලැබුණේ?" මහත මී පැංචා හිස දෙපසට වනමින් විමසා සිටියා.

"මං ඊයෙ රෑ බඩ පැලෙනකල් අග්ගලා කෑවා " දුප්පත් ගොවි ගෙදර ඉන්න කෙට්ටු මී පැංචා උත්තර දුන්නා.

"ඔහේ කොයිතරම් වාසනාවන්තද? ඒකට මං ඉන්න ගෙදර ඉන්න උදවිය? මහා ලෝබ මිනිස්සු ටිකක්. මුළු ජීවිතේටම අග්ගලා ගුලියක් වත් හදලා නැතුව ඇති. අපි මෙහෙම කරමු. අද රෑට මං එන්නම් ඔහේගෙ ගෙදරට. අනේ, යාළුවේ මටත් ආසයි අග්ගලා ගුලියක රස බලන්ට" පොහොසතාගේ ගෙදර ඉන්න මී පැංචා කිව්වා.

"ඒත්, මං ඉන්න ගෙදර උදවිය බොහොම දුප්පත්. ඔහේට පුළුවන් නම් සල්ලි ටිකක් අරන් එන්න, ඒක ලොකු උදව්වක් වෙයි" කෙට්ටු මී පැංචා කියා සිටියා.

" අපොයි, ඒක සුළු දෙයක්! මං ගේන්නම්, මං ගේන්නම්. සල්ලි නම් ඕනෑ තරමක් එහෙ තියෙනවා" මහත මී පැංචා කිව්වා.

"අවුරුද්දට තව බොහොම කල් තියෙනවා නොවැ. මේ හාල් ඔක්කොගෙම අග්ගලා හදලා ඇති තරමක් කන්ට දෙමු" යි කියලා මහළු ආච්චියි සීයයි ඔන්න ඒ අතරෙ කතා වුණා.

කලින් දවසෙ වගේම හාල් හෝදලා, සුද්ද කරලා, කොටලා අග්ගලා ගුලි හදලා රාක්කෙන් තිබ්බා.

ඒ විතරක් නෙමෙයි මේ කාරුණික ආච්චි රතුම රතු රෙදි කැබල්ලකින් හදාපු පුංචි රෙදිකඩවල් දෙකකුත් තැබුවා රාක්කෙන්, මී පැංචලා දෙන්නට ඇඳගන්ට.

ඔන්න පුරුදු විදියටම උදේම අවදි වෙලා බලද්දි අග්ගලා සියල්ලම අතුරුදන් වෙලා. පුංචි රෙදිකඩවල් දෙකත් අතුරුදන් වෙලා.

"හාමිනේ, හාමිනේ මං හිතන්නෙ පොහොසත් ගෙදර මී පැංචාත් මෙහේ ඇවිත් තියෙන හැඩයි" සීයා කිව්ව.

"අද කවුරු දිනයිද කියලා මට නම් හිතාගන්නවත් බෑ. බොහොම විනෝදජනක වෙයි අද නම්. හහ්...හහ්....හා!"

පුදුමයෙන් කියූ සීයා කැලේට යන්ට සූදානම් වුණා.

ඔන්න එතකොට සීයා දැක්ක ගොවි ගෙදර මුල්ලක රන් කාසි තුනක් වැටිලා තියෙන හැටි.

"හාමිනේ, හාමිනේ, පය ඉක්මන් කරලා මෙහෙ එන්ට. පොහොසත් ගෙදර මී පැංචා අපට හැබෑම වස්තුවක් ගෙනත් තියලා, මේ බලන්ට" සතුට ඉහවහා ගිය සීයා කෑගැහුවා.

ඉතිං මේ රන් කාසි දැකලා සතුටට පත් වුණු ආච්චියි සීයයි දෙන්නම හෙමි හෙමින් කන්ද නැගලා කැලෑවට ඇතුළු වුණා, මී පැංචලාගේ සූමො සටන නරඹන්ට.

වෙනදා වගේම ඔන්න සීයා දර කපන්ට පටන් ගත්තා. ආච්චි බලා හිටියා. කැළේ ඇතුලෙන් පුරුදු විදියටම "දඩස්-බඩස්, දඩස්-බඩස්" හඬ ඇහෙන්නට පටන් ගත්තා. හැබැයි ඒ හඬ වෙනදාට වඩා බොහොම වැඩියි.

"ආං..ආං ඇහෙනව සද්දෙ.පටන් අරගෙන වගෙයි. හනිකට යමු , හනිකට යමු, වෙන්නෙ මොකදැයි බලන්ට" මහළු ආච්චි අම්මාගේ අතින් අල්ලා ගත් සීයා කැළේ ඇතුළටම ඇවිදගෙන ගියා.

එතකොට ඒගොල්ලො දැක්කා, රතු පාට පුංචි රෙදිකඩවල් ඇඳගත් මී පැංචලා දෙන්නා සූමො පිට්ටනිය මැද සෙල්ලම් කරන අපූරුව. දෙන්නම කොයි තරම් ශක්තිවන්තද කියනවා නම් කවුද දිනුම් කියලා කියන්ට බැහැ. කොයිතරම් වාරගණනක් සෙල්ලම් කළත් ඒක එහෙමම තමයි.

එදා හවස් වෙනතුරුම ආච්චියි සීයයි මී පැංචලාගේ සූමෝ සෙල්ලම් බලා හිටියේ බොහොම සතුටින්.

ඔන්න ඉතිං එදා ඉඳලා පොහොසත් ගෙදර මී පැංචා ගෙනා රන් කාසි නිසා ආච්චියි සීයයි බොහොම සැපෙන් සතුටින් කල් ගෙවුවා.



ජපන් ජනකතාවක් ඇසුරිනි
ජපන් බසින් සිංහලට නැගුවේ - ප්‍රශංසනී පරණවිතාන


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails