මව සමග ජීවත් වුණු දුප්පත් වුණත් කීකරු යහපත් පුංචි ගෑණු ළමයෙක් සිටියා. ඇයට සහ ඇගේ මවට කන්නට කිසිම දෙයක් තිබුණෙ නෑ. දවසක් මේ පුංචි ගෑණු ළමයා කැලෑවට ගිය මොහොතක, ඇයට වයසක ආච්චි කෙනෙක්ව මුණගැහුණා. පුංචි ගෑණු ළමයා දෙස සැලකිල්ලෙන් බලා සිටිය මේ ආච්ච්ට ඇගේ දුක තේරුණා. එ්ක නිසා ආච්චි ඇයට අරුම පුදුම මුට්ටියක් තෑගි කරා.
”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කීවම, මේ අරුම පුදුම මුට්ටිය තලප හදනවා.
”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කීවම, මුට්ටිය තලප සෑදීම නතර කරනවා.
පුංචි ගෑණු ළමයා මුට්ටිය අරගෙන ගෙදර ගියා. මුට්ට්ය නිසා ඇයටයි ඇගේ අම්මටයි ඉන්පසු කවමදාවත් බඩගින්නෙ ඉන්න සිද්ද වුණේ නෑ. එයාලා ගොඩක් වෙලාවට කෑවෙත් තලප.
දවසක් මේ පුංචි ගෑණු ළමයා ගෙදරින් පිට ගිය වෙලාවක, ඇගේ අම්මා ”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කියලා මුට්ටියට කීවා. මුට්ටියත් සුපුරුදු පරිදි තලප හැදුවට පස්සෙ, අම්මා එයාට ඇති වෙනකල් තලප කෑවා.
ඒත් තලප සෑදීම නතර කිරීමට කිවයුතු වචන මව දැන නොසිටිය නිසා, මුට්ටිය නොනවත්වා තලප හැදුවා. මුට්ටිය පිරිල ඉතිරිලා, කුස්සියත්, මුළු ගෙදරමත් පිරෙනකල් මුට්ටිය තලප හැදුවා. අසල් වැසියන්ගේ ගෙවලූත් පිරෙනකල් මුට්ටිය නොනවත්වා තලප හැදුවා. හරියට මුළු ලෝකයේම බඩගින්න නැති කරන්නට වගෙයි, මුට්ටිය තලප හැදුවෙ. අරුම පුදුම මුට්ටිය මුළු ගමටම හිරිහැරයක් වුණත්, මුට්ටිය තලප හදනවා නතර කරන්න කාටවත්ම බැරි වුණා.
අවසානයේ එකම එක ගෙයක් පමණක් තලප වලින් නොපිරී බේරී තියෙද්දි, පුංචි ගෑණු ළමයා ඇවිත් ”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කියලා මුට්ටියට කීවා විතරයි, මුට්ටිය තලප සෑදීම නතර කරා.
ඉතින් ඊට පස්සෙ කාට හරි නගරයට යන්න ඕනෑ වුණා නම්, පාරෙ පිරිලා තිබුණ තලප කාලා තමයි නගරයට යන්න සිද්ද වුණේ.
ග්‍රිම් සොහොයුරන්ගේ කතාවක්
පරිවර්තනය: මුතු පබා නැන්දා
පරිවර්තනය: මුතු පබා නැන්දා