පුංචි ගෑණු ළමයා මේසය ලඟ වාඩි වී පින්තූර අඳිනවා. වයිරන් පුසා පුටු ඇන්දට පැනලා ඇය අඳින දිහා බලාගෙන ඉන්ට උනා.

"මොනවද ඔයා කරන්නේ?" පූසා ඇහුවා (ඔබ දන්නවනෙ පූසෝ විපරම්කාරී බව).

"මම උඹට ගෙයක් අඳිනවා" පුංචි ගෑණු ළමයා කීවා.

"බලන්න, මේ වහල, මේ දුම් කවුළුව, මේ තමා දොර."

"ඉතින් මං මොනවද කරන්නෙ?"

"උඹට පුළුවන් බත් උයන්න."

පුංචි ගෑණු ළමයා දුම් කවුළුවෙන් දුම් පිටවෙනවා ඇන්දා.

"ඉතින් කෝ ජනේල?" පූසා ඇහුවා. "ඔයා දන්නවනේ, පූසා හැම තිස්සෙම ජනේලවලින් පැනලා යන බව."

"මෙන්න තියෙනවා- එකයි, දෙකයි, තුනයි, හතරයි." ඈ ඇන්දා කුඩා ජනේල හතරක්.

"ඉතින් මට ඇවිදින්න තැනක් හෙම තියෙනවද?"

"මෙන්න තියෙනවා!"

පුංචි ගෑණු ළමයා ඇන්දා ගේ වටේට වැටක්. "ඒක උයන" ඈ කීවා. පූසා ඉව කරා.

"අපෝ, ඒක උයනක්ය?" ඌ කීවා. "ඒකෙ මොකුත් නෑ නේ!"

"පොඩියක් ඉඳින් පූසෝ" පුංචි ගෑණු ළමයා කීවා.

"මෙන්න උඹට මල් පාත්තියක් තියෙනවා, ඔන්න ඇපලුත් එක්ක ඇපල් ගහක්. තව එළවළු කොටුවක්. ඒකෙ කැරටුයි ගෝවයි තියෙනවා."

"ගෝවා!" නහය හකුළමින් පූසා කීවා.

"ඉතින් මම කොහෙන්ද මාළු අල්ලන්නේ?"

"මෙන්න තියෙනවා."

පුංචි ගෑණු ළමයා පොකුණක් ඇන්දා. පස්සෙ පොකුණෙ මාළු පීනනවා ඇන්දා.

"ඒක අපූරුයි...ඉතින් කුරුල්ලො හෙම නැද්ද?" පූසා විපරම්කාරිව ඇහුවා. "මම කුරුල්ලන්ට ආදරෙයි."

"ආ..ඔව්, මෙන්න කුකුළෙකුයි, කිකිළියෙකුයි. මෙන්න පාත්තයෙක්. තව කුකුල් පැටව් තුන් දෙනෙක්."

පූසා තොල ලෙව කාලා පුරු පුරු ගෑවා. පස්සෙ හීන් හඞකින් අහනවා මෙහෙම.

"ඉතින් ගෙදර මීයො හෙම නැද්ද?"

"අපෝ! නෑ, මීයෝ ඕනෙ නෑ ගෙදරට!"

"ඉතින් කවුද ගේ බලා කියා ගන්නේ?"
"උඹට මුරකාරයෙක් ඕන කරනවා."

පුංචි ගෑණු ළමයා පොඩි ගෙයකුයි බල්ලෙකුයි ඇන්දා.

"මෙන්න උඹේ මුරකාරයා. එයාගෙ නම රෝවර්."

නමුත් පුංචි ගෑණු ළමයා බල්ල අඳිනකොට පූසා වල්ගය නැටෙව්වා. උගේ මයිල් කෙලින් හිටියා.

"මම ඔයගේ ගෙට පොඩියක් වත් කැමති නෑ. මම ඒකෙ ඉන්න කැමති නෑ" පූසා කීවා. එහෙම කියල ඌ කේන්තියෙන් යන්න ගියා.

ඌ දඟකාර පූසෙක් නේද?

-වී. සුතේයෙව් -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails