මදුරුවා හරිම පුංචි සතෙක්. ඒ වුණාට එයා අපට කරන කරදර නම් නිමක් නෑ!.

එහෙම නේද?

ඔව්. හැබැයි පොඩිත්තනේ, අද මා මෙහිදී කියන්නේ මදුරුවන්ගෙන් අපට වන හිරිහැර ගැන නම් නොවෙයි; මදුරුවන් සිටිය හැකි තැන්, උන් බිත්තර දමනා තැන් පිරිසිදු කරලා මදුරුවන් බෝ වීම වළක්වන හැටි ගැනත් නොවෙයි. හොඳද?

එහෙනම්...?

පොඩිත්තන් දන්නවාද, මදුරුරාල අපට විදින්නට පටන් ගත්තේ කවදා ඉඳලාද කියලා? නැහැ නොවැ.

දවසක් අපේ පොඩිත්තෙක් ඇසුවා, මදුරුරාලගෙන් ඔය ගැන.

මෙන්න දෙදෙනාගේ කතාබහ.

ඉතින්, අපි ගයමු තාලයට, දෙබස.

බබා:-

පුංචි මදුරු යාළු - එන්න එපා යාළු
ආව වුණත් යාළු - අනින්නෙපා යාළු
පුංචි අපට යාළු - බොහොම රිදේ යාළු
ඉතින් අනේ යාළු - අනින්නෙ ඇයි යාළු

මදුරුරාල:-

පුංචි බබෝ මං දන්නව, මේක නරක වැඩක් කියා
ඒ වුණාට මේ පුරුද්ද අත්හරින්න බැරිව ගියා
ඒ කාලේ රජෙකු වගේ මාත් තුටු සිතින් සිටියා
වැඩි තණ්හාවකට ගොසින් මට වුණු විපතක සැටියා

බබා:-

වැඩේ වැරදි බව තේරේ ඒත් නොයයි හරි පාරේ
උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද කුද නෑරේ


මදුරුරාල :-

ඉස්සර කාලේ කාටත් මං ඇන්නේ නැතිය කියා
මහ කැලයේ ගම්මානේ කවුරුත් හිතැතිව සිටියා
මේ අතරේ දවසක් වන දෙවියන් කැලයට වැඩියා
ඒ ආවේ මොකද කියා දන්නවාද බබෝ ඔයා

බබා:-

කරදරයක් ලෙඩක් දුකක් වුණු තැන පිහිටට එන්නේ
වන දෙවියන් තමයි කැලේ අම්ම අප්ප වගෙ ඉන්නේ
අණවින, කොඩිවින, හෝ-වහ, ඇස්වහ හැම දුර ලන්නේ
වන දෙවියන් තමයි කැලේ රැකුමට කවදත් ඉන්නේ

මදුරුරාල :-

ඒ වුණාට මෙදා සැරේ ආවේ නම් වෙන වැඩකට
කැලේ හැමෝටම වාගේ පුංචි තෑග්ගක් දෙන්නට
කුරුල්ලන්ට නම් ලැබුණේ පිහාටුමයි පාට පාට
බිම් කරුවල පාත් වෙලා මං එතනට ළං වෙනකොට

බබා:-

යන්නෙ අපායකට වුණත් කල් ඇතිවයි යා යුත්තේ
කලින් පැමිණි අයටයි කොතැනත් ගරු සැලකිලි ඇත්තේ

මදුරුරාල:-

දෙවියන් අපෙ කෝප වුණත් මගේ පමාවට බැනලා
තෑගි මල්ල දිගහැරියා, "කමක් නෑ ඉතිං" කියලා
අනේ අපොයි පොඩි කටුවකි, තිබුණේ මුල්ලක ඇනිලා
දෙයියො ගෙනා තෑගි බෝග ඔක්කොම දැන් ඉවර වෙලා

බබා:-

කටුව අරන් යනව මිසක් වෙන මොනවා කරන්නදෝ
ඒත් අහිංසක නුඹටත් කටුවක පලයක් ඇතිදෝ

මදුරුරාල:-

"කටුවක් විතරක් මොකටද මිටියක් නැත්නම්!" හිතලා
මිටියක් ඉල්ලා හිටියා දෙවි පාමුල වැඳවැටිලා
"පමා වුණා මදිවට දුන් දේත් මදිද " බැණ වැදිලා
"තව දොඩවනවද" ඇහුවා දෙවියන් හොඳටම කිපිලා


දෙවියෝ:-

"මදුරුරාල, කටුව අරන් ආපු අතක් බලා ගන්න
මඟදී මිටියක් ලැබේවි හොඳට මතක තියා ගන්න

මදුරුරාල:-

"අනේ එහෙම උණොත් යසයි, පිනුත් සිද්ධවෙයි" කියලා
තෑගි කටුව අතට අරන් නහය යටින් සවි කරලා
"කටින් කරපු කටයුතු දැන් මෙයින් කරන්නම්" කියලා
"යන්නම්" කීවා මා දෙවියන් පාමුල වැඳවැටිලා

ඔය අතරේ මුණ ගැහුණේ - අලි නයිදේ මේ අස්සේ
"කටු පොඩියේ වැඩකිඩ දැන් - අලි ලොක්කට පෙන්නන්නම්



මදුරුරාල:-

අලිපිට උඩ කටුව තියා පුංචි තල්ලුවකි දුන්නේ
තඩි හොඞ වැල ඉහළ ගිහින් ටික ටික පහලට එන්නේ
එය කටුවට මිටි පාරකි, දැන්නම් නෑ වර දින්නේ
වන දෙවියක් කී දෙය දැන් දැන් මගෙ සිහියට එන්නේ

මදුරුරාල:-

එදා පටන් මගෙ කටුවට "මිටියක්" නෑ වරදින්නේ

බබා:-

දැන දැන පහනට පනිනා පළඟැටියත් නුඹ වැන්නේ

දුටුව නේද පොඩිත්තනේ, තමන්ට ඕනෑ නැති දේවල් ගැළපෙන්නේ නැති දේවල් ගැන ආසා හිතාලා මදුරුරාල අනතුරට පත් වන හැටි!

එච්චරද? නෑ. මදුරුරාලගේ කතාව අහපු පොඩිත්තන් වේලාවට වැඩ පල කරන්නත් පුරුදු වෙනවා. ඇයි? ඇයි, මදුරුරාල කලින්ම පරක්කු නොවී එතැනට ගියානම් මීට වඩා හොඳ තෑග්ගක් ලබා ගන්නවා නොවැ.

ඒ වාගෙමයි, අප නරක ගති- සිරිත්වලින් වළකින්නට උත්සාහ කරන්නත් ඕනෑ!

ඉතින් දැන- දැන වැරදි නොකරන, නරක පුරුදු අත් හරින පොඩිත්තන් අර මදුරුරාල වාගේ විපතට පත් වන්නේ නෑ! වේලාව නොවරදවා වැඩ කරන ඈයො හොඳ දේම හිමි කරගන්නව.

පොඩිත්තන්ට පුළුවනි මේ කවි -කතාව යහළු යෙහෙළියන් එක්ක තාලයට හඞ නගාලා ගයන්න; නංගිලා මල්ලිලාට කියාදෙන්න.

ඉතින් පොඩිත්තනේ, පොඩිත්තන්ට ආයුබෝවන්!

- ලිව්වේ ජයත් පියදසුන් මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails