වැඩ බැරි දාස මොකක් හරි වැඩක් බාර ගත්තොත් අනික් ළමයින් වගේ නොවේ. ඒක කන පිටට තමයි කරන්නේ. එයාට වචනයක් එක පාරට කියවන්ට බැහැ. අකුරු දෙක තුන වෙන් කරලා තමයි කියවන්නේ. ලියන්නේ පොල් ගෙඩි තරම් ලොකු අකුරු. වැඩ බැරි දාසගේ ඔළුව පුස්සක් කියලා බොහෝ දෙනෙක් කිව්ව. ඒ කතාව හරි නැහැ. එයාගේ ඔළුව පුස්සක් නම්, එයා කල්පනා කරන්නේ කොහොමද? සත්තකින්ම එයා ගේ කල්පනා ශක්තිය බොහොම දුර්වලයි. ඒ වුනාට එයා සපත්තු දෙක ඔළුවේ දමා ගන්නෙ නැතුව දෙපයේ දාගත්තා. ඉතිං එහෙම කරන්ට කල්පනා ශක්තිය තියෙන්ට ඕන.

වැඩ බැරි දාස මෝඩ ළමයෙක් නොවෙයි. එයා බොහොම කැමතියි මොනවා හරි ඉගෙන ගන්ට. නමුත් එයා කැමති නැහැ මහන්සි වීමට. ඔනෑම දෙයක් එක පාරටම ඉගෙන ගන්ට එයාට වුවමනා කළා. කොච්චර නුවණ තියෙන දක්ෂ ළමයෙකුට වුනත්, කිසිම දෙයක් එකවර ඉගෙන ගැනීමට බැහැ.

පුංචි ළමයි, සිඟිත්තෝ සංගීතයට බොහොම කැමතියි. කුසල් බොහොම දක්ෂ සංගීත කාරයෙක්. එයා ලඟ සංගීත භාණ්ඩ ගොඩක් තියෙනවා. එයා නිතර, නිතර ඒ සංගීත භාණ්ඩ වාදනය කරනවා. මිනිස්සු ඔහුගේ සංගීත වාදනය අහලා ඔහුට ප්රකශංසා කළා. මේ නිසා වැඩ බැරි දාස කුසල්ට ඉරිසියා කළා. එයා කුසල්ට මෙහෙම කියුවා:

"මම කැමතියි සංගීත කාරයෙක් වෙන්ට. මටත් උගන්වන්න."

"ඔයා කැමති මොනවටද?"

"ඉගෙන ගන්ට වැඩියෙන්ම ලෙහෙසි සංගීත භාණ්ඩයට."

"එහෙනම් බැලලයිකාව."

"මෙහෙ දෙන්න. මම බැලලයිකාව වාදනය පුරුදු වෙන්නම්"

කුසල් ඔහුට බැලලයිකාව දුන්නා. වැඩ බැරි දාස එහි තත් කීපයක් හඞ නංවා මෙහෙම කියුවා:

"මේ බැලලයිකාවේ හඬ බොහොම මදි. මට වැඩිය සද්ද තියෙන සංගීත භාණ්ඩයක් ඕනෑ."

කුසල් ඔහුට වීණාවක් දුන්නා. වැඩ බැරිදාස උපවීණය අතට අරගෙන වීණාවේ තත් මදින්ට වුණා.

"අපෝ, මීට වඩා සද්දෙ තියෙන සංගීත භාණ්ඩයක් නැද්ද?"

"බෑන්ඩ් නළාව තියෙනවා." කුසල් කියුවා.

"එහෙනම් මට දෙන්න. මම නළාව පිඹින්නම්."

ඊළඟට කුසල් මහා විශාල තඹවන් නළාවක් වැඩ බැරි දාසට දුන්නා. ඔහු නළාව පිම්බා විතරයි, එයින් මහා හඬක් පිටවුණා.

ඔන්න ඉතාම හොඳ සංගීත භාණ්ඩය. බොහොම සද්දේ තියෙනවා." එහෙම කියුවේ වැඩ බැරි දාස.
"ඉතින් ඔයාට ආසයි නම් ඉගෙන ගන්න!" කුසල් කිව්වා.

"මම ඉගෙන ගන්නෙ මොකටද? මට වාදනය කරන්ට පුළුවනි." වැඩ බැරි දාස පිළිතුරු දුන්නා.
"ඔයාට වාදනය කරන්ට තවම බැහැ. ඉගෙන ගන්ට ඕනෑ."

"අපොයි, මට පුළුවනි!" වැඩ බැරි දාස එහෙම කියලා මහ හඬින් නළාව පිම්බා.

"පම් -පම්-පම්! පුම්-පුම්-පුම්!"

"ඔයා නිකම් නළාව පිඹිනවා විතරයි. වාදනය කරන්නේ නැහැ."

"වාදනය කරන්නේ නැතිද? හොඳට වාදනය කරනවා. හොඳ සද්දෙට වාදනය කරනවා." එහෙම කියුවේ වැඩ බැරි දාසයි.

"සද්ද කිරීම නොවෙයි හපන්කම. ලස්සනට වාදනය කිරීමයි," කුසල් විතර කළා.

"ඉතින් මම ලස්සනට වාදනය කරනවා නේන්නම්."

"කොහෙත්ම ලස්සන නැහැ. ඔයාට සංගීත වාදනයට දක්සතාවයත් නැති බව මට පේනවා," කිසල් කියුවා.

"වාදනය දන්නෙ නැත්තේ නුඹයි! නුඹ මට ඉරිසියා කරන නිසා එහෙම කියනවා. නුඹ කැමතියි නුඹේ වාදනය විතරක් අහලා නුඹට විතරක් හොඳ කියනවට" වැඩ බැරි දාසට තරහා ගිහිල්ලා එයා කුසල්ට බැන්නා.

"ඔයා කැමති නම් ඔනෑ තරම් නළාව පිඹින්ට.ඉගෙන ගන්ට ඕන නැතිනම්, ඒක ඔයාගෙ වැඩක්, මිනිස්සු ඔයාගේ හොඳ කියනවට මම කැමතියි." කුසල් කලබල නොවී කියුවා.

"ඔව් මම වාදනය කරනවා!" වැඩ බැරි දාස ආඩම්බරයෙන් උත්තර දුන්නා.


ඉතින් එයා නළාව පිඹින්ට පටන් ගත්තා. එයා වාදනය කරන හැටි ඉගෙන ගත්තේ නැති හන්දා නළාවෙන් කනට බොහොම අමිහිරි ශබ්ද පිටවුණා. එක වෙලාවකට නළාව ගොරවනවා, තවත් වෙලාවකට නහයෙන් අඳනවා. නැතිනම් ඌරකු වගේ ගොර ගොර ගානවා. කුසල්ට මේ කරදරය අහගෙන ඉන්ට බැරි නිසා ඔහු කබාය ඇඟ ලාගෙන, ටයි පටිය වෙනුවට රෝස පාට පීත්ත පටිය කරේ බැඳගෙන යාළුවන් හමුවීමට ගියා.

හවස ළමයින් ඔක්කෝමල්ලා එක්කහු වුනාම වැඩ බැරි දාස නළාව පිඹින්ට පටන් ගත්තා.

"බුම්-බුම්-බුම්!... පුම්-පුම්-පුම්!...."

"මේ සද්දෙ මොකක්ද?" ළමයි ඇහුවා.

"සද්දයක් නොවෙයි. මම වාදනය කරනවා," වැඩ බැරි දාස පිළිතුරු දුන්නා.

"ඕක කන්දොස්කිරියාවක්! නවත්වනව! අපේ කන් අඩි රිදෙන්ට අරගෙන" දක්ස පාල කියුවා.

"එහෙම රිදෙන්නේ නුඹලා මගේ සංගීතයට පුරුදු නැති හින්දා. පුරුදු වුනාම වේදනාව නැතිව යාවි."
"ඔය කන්දොස් කිරියාව උහුලගෙන ඉන්ට මට බැහැ."

වැඩ බැරි දාස ළමයින්ගේ අසතුට ගණන් ගන්නේ නැතුව දිගටම නළාව පිම්බා:

"බුම්-බුම්-බුම්!...පුම්-පුම්!.."

"ඔය පිස්සු වැඩේ නවත්වනවා! එහෙම බැරිනම් නළාවත් අරගෙන කරුණාකරලා යන්න!" ළමයි සියළුදෙනාම වැඩ බැරි දාසට කියුවා.

"මම කොහේ යන්ටද?"

"පාළු පිට්ටනියට ගිහිල්ලා පිඹින්න."

"මගේ වාදනය අහන්න එතැන ළමයින් නැහැ."

"ඔයාගේ කන්දොස්කිරියාව අහන්ටම ඕනෑද?"

"සත්තකින්ම අහන්ට කවුරුහරි ඉන්ට ඕනෑ." වැඩ බැරි දාස කියුවා.

"එහෙනම් මහ පාරට ගිහිල්ලා පිඹින්න. මහ පාරෙ යන මිනිස්සු අහවි."

වැඩ බැරි දාස මහ පාරට ගිහිල්ලා ගෙයක ජනේලය ලඟ හිටගෙන නළාව පිම්බා. කරදර නොකර වෙනින් තැනකට යන්ටයි කියලා වැඩ බැරිදාසට ඒ ගෙදර මිනිස්සු කියුවා. එතකොට එයා ඊළඟ ගෙදර අසලට ගිහිල්ලා නළාව පිම්බා. ඒ ගෙදර මිනිස්සුත් වැඩ බැරි දාසව පන්න ගත්තා. ඒ වර එයා තුන්වැනි ගෙදර ලඟටත් ගිහිල්ලා නළාව පිම්බා. ඒ ගෙදර මිනිස්සුත් එයාව එළවා දැම්මා. එවිට වැඩ බැරි දාසට කේන්ති ගිහිල්ලා තවත් හයියෙන් නළාව පිඹින්ට පටන් ගත්තා. ඉතින් මේක මහා ලොකු කරදරයක්. ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු මහ පාරට ඇවිල්ලා නළාව පිඹින කරදරකාරයාව ඈතට පන්නා දැම්මා. වැඩ බැරි දාස නළාවත් අරගෙන පණ බේරා ගෙන දුවලා ගියා.

ඔන්න ඉතින් එදා ඉඳලා වැඩ බැරිදාස නළාව පිඹීම අතහැරලා දැම්මා.

"මේ ගොල්ලන්ට මගේ සංගීත වාදනය තෙරුම් ගන්ට බැහැ. මේ මෝඩ මිනිස්සු එතරම් තවම දියුණු වෙලා නැහැ. දියුණු වුනාම මගෙන් ඉල්ලා හිටීවී වාදනය කරන්ටයි කියලා. එතකොට පමාවෙලා. මම මීට පස්සේ නළාව වාදනය කරන්නේ නැහැ.


- අනුවාදය : දැදිගම වී රුද්රිගූ -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails