එකොමත් එක ගෙයක් ලඟ දර ගොඩක් තිබුණා. කිකිළියක් ඔය දර ගොඩේ හැප්පුණා.දර කෑලි හැමතැනම විසිරුණු හින්දා මහා ශබ්දයක් ඇති වුණා.

කිකිළිය බය වෙලා ගෙවත්ත පුරා දුවමින් කෙකර ගාන්ට පටන් ගත්තා.

"අහස කඩා වැටුණා! අහස කඩා වැටුණා! අහස කඩා වැටුණා! " කියලා කිකිළිය කඉ ගැහුවා.

අහස කඩා වැටුණා! කුකුළා ඇහුවා.

"මම දැක්කා, මට ඇහුණා!" කිකිළිය කිව්වා.

කුකුළා කිකිළියගේ කතාව විශ්වාස කළා. දෙදෙනාම බයවෙලා කැළයට දිව්වා.

මේ ගොල්ලන්ට හාවෙකු මුණ ගැසුණා.

"අහස කඩා වැටුණා!අහස කඩා වැටුණා!" කිකිළිය කිව්වා.

"නුඹට කිව්වේ කවුද?" හාවා ඇසුවා.

"මම දැක්කා, මට ඇහුණා!" කිකිළිය කිව්වා.
මේ දෙදෙනාට හාවත් එකතු වුණා. තුන්දෙනාම දුවන්ට පටන් ගත්තා. මේ ගොල්ලන්ට අතර මගදි වෘකයකු මුණ ගැසුණා.

"අහස කඩා වැටුණා!අහස කඩා වැටුණා!" කිකිළිය කිව්වා.

"නුඹට කිව්වේ කවුද?" වෘකයා ඇසුවා.

"මම දැක්කා, මට ඇහුණා!" කිකිළිය කිව්වා.

වෘකයත් මේ තුන්බ්දෙනා එක්ක එකතු වෙලා දුවන්ට පටන් ගත්තා. හතර දෙනාම දුවලා දුවලා ගිහින් තණ පිටියකට ආවා. එතැනදි මේ ගොල්ලන්ට හිවලෙකු මුණ ගැසුණා.

"හිවල් හාමි! හිවල් හාමි අහස කඩා වැටුණා!" කිකිළිය කිව්වා.

"නුඹට කිව්වේ කවුද?" හිවලා ඇසුවා.

"මම දැක්කා, මට ඇහුණා!"

දුවන්නන් පස්සෙ හිවලත් දුවන්නට පටන් ගත්තා.
පස් දෙනාම ඔහොම දුවලා දුවලා ගිහින් ගැඹුරු වලකට වැටුණා.

ඔය වල ඇතුලේ දවසක් හිටියා. දවස් දෙකක් හිටියා. දවස් තුනක්ම හිටියා. ඉස්සෙල්ලාම වෘකයාට තද බඩගින්නක් දැනුණා.

"හිවල් හාමි අපේ නම් හඞ නගා කියපන්. අහන්ට අප්‍රිය ඇති එක්කෙනාව කා දමමු" කියලා වෘකයා යෝජනා කළා.

"හිවලා හරි හොඳ නම" හිවලා කිව්වා.

"වෘක හාමිගේ නම හොඳයි. හාවගෙ නමත් හොඳයි. කුකුළගෙ නමත් හොඳයි. කිකිළිගෙ නම අහන්ටත් අප්‍රියයි!"

වෘකයයි හිවලයි එකතු වෙලා කිකිළිව මරාගෙන කෑවා.

හිවලා වැඩිය කෑවෙ නෑ. බොකු, බඩවැල්, ඇට කටු ආදිය උගේ බඩ යට හංගා ගත්තා.

වෘකයාට ඉක්මනින්ම බඩගිනි දැනුණා.

"හිවල් හාමි, ආයෙමත් අපේ නම් හඞ ගා කියපන්. අහන්ට අප්‍රිය නම ඇති සතාව මරාගෙන කමු" වෘකයා කිව්වා.

"හිවලා හරි හොඳ නම" හිවලා කිව්වා.

"වෘකයගෙ නම හොඳයි. හාවගේ නමත් හොඳයි. කුකුළගෙ නම හොඳ නැහැ. අහන්ටත් අප්‍රියයි".

වෘකයයි හිවලයි එකතු වෙලා කුකුලාව මරාගෙන කෑවා.

මේ වරත් හිවලා වැඩිය කුකුළු මස් කෑවෙ නෑ. හිවලා කුකුළු බොකු බඩ වැල් ආදිය තමන්ගේ බඩ යට හංගා ගත්තා.

කෑදර වෘකයාට ආයෙමත් බඩගිනි දැනුනා.

"හිවල් හාමි ආයෙමත් පාරක් අපේ නම් හඞ නගා කියාපන්. අහන්ට අප්‍රිය නම ඇති සතාව මරාගෙන කමු!" වෘකයා කිව්වා.

"හිවලගෙ නම හොඳයි " හිවලා කිව්වා.

"වෘකයගෙ නම හොඳයි. හාවගේ නම හොඳ නැහැ. අහන්ටත් අප්‍රියයි"

වෘකයයි හිවලයි එකතු වෙලා හාවා මරාගෙන කෑවා.

දැන් ඉතින් වල ඇතුලෙ ඉතිරි වෙලා ඉන්නේ හිවලයි වෘකයයි විතරයි. වෘකයාට ආයෙමත් බඩගිනි දැනුණා. හිවලා තම්න්ගේ බඩ යට හංගා ගත්ත මස් කෑලි, කටු කෑලි ටික ටික වෘකයාට හොරෙන් අරගෙන හෙමින් හෙමින් හපන්නට පටන් ගත්තා.

හිවලා මස් කටු හපන සද්දෙ වෘකයාට ඇහුනා.

"හිවල් හාමි නුඹ මොනවද හපන්නේ?" කියල වෘකයා ඇහුවා.

"මම මගේ බඩ බොකුවැල් හපනවා යාළුවා. වෙන මොනවා කරන්ටද?" හිවලා කිව්වා.

"අන්න යස වැඩේ! හිවල් හාමි වගේ මාත් කරන්නම්""කියලා වෘකයා හිතා ගත්තා.

වෘකයා තමන්ගේ බඩ හපා කෑවා. එතකොට උගේ බඩ පැලී බඩවැල් එලියට ආවා.

හිවලාටත් ඕන කරලා තිබුණෙ ඔය ටික තමා. වලෙන් ගොඩ එන්ට උමගක් හාරාගෙන හිවලා ගොඩ ආවා. තමන්ගේ කපටිකම් තමන්ගේ පැටවුන්ටත් උගන්වන්ට හිවලා ඔවුන් සොයා ගියා.

පරිවර්තනය - දැදිගම වී රුද්‍රිගු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails