හා හා පුරා 'කවි දෝසිය' පටන් ගන්න අපි තෝරා ගත්තේ, බූන්දිය හුරු පුරුදු මිතුරන්ට නිතර හමු වෙන මාමලා දෙදෙනෙකුගේ කවි. හැබැයි මේ කවි මේ මාමලා ලියලා තියෙන්නෙ, ඒ මාමලා පොඩ්ඩො වෙලා උන්න කාලෙ. උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කරපු 'පුබුදු' සඟරාවෙන්. අනික් ලොකු මාමලත් පොඩ්ඩො සන්දියේ ලිවුව දේවල් හොයලා එවුවොත් දෝසියෙන් බෙදා ගන්න පුළුවන්.

මගේ පුංචි කරත්තේ

පොඩි මාමා ඉරිද පොළෙන් මිළට ගෙනා කරත්තේ
වහල වටේ රැළි එල්ලා හරි ලස්සන කරත්තේ
රතු පාටට රෝද දෙකයි හරිම හැඩයි කරත්තේ
ගේ පුරාම හරි සද්දයි ටක ටක ටොක් කරත්තේ

පොඩි මල්ලිගෙ බලු පැටියා දාගෙන ගිය කරත්තේ
සුදු නංගිගෙ බෝනික්කා දාගෙන ගිය කරත්තේ
ලොකු අයියා තරහ ගිහින් පොළොවෙ ගහපු කරත්තේ
ටක ටක සද්දය නෑ දැන් මගේ පුංචි කරත්තේ

අනුෂ්ක තිලකරත්න
6-1
1994 පුබුදු

පාළුව

හමා එන මඳ සුළඟ
පවසන්නෙ පාළුවයි
සිලි හඩින් සැලෙන පත්
හඟවන්නෙ තනිකමයි
දිලි දිලී නිවෙන තරු
අහසෙ පාළුව මකයි
ම අත වු පන් හිඳෙන්
මගේ පාළුව මැකෙයි

චරිත් සේනාධීර
8 වසර
1994 පුබුදු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails