බැම්බි කියන්නෙ පුංචි මුවෙක්. එයාගේ යාළුවෝ තමයි තම්පර් සහ ෆ්ලවර්. තම්පර් කියන්නෙ රෝසපාට නහයක් තියෙන පුංචි හාවෙක්. ෆ්ලවර් කියන්නෙ පුංචි උරුලෑවෙක්. මේ කාටූන් චිත්‍රපටයේ විශේෂත්වය තමයි මේ කතන්දරය දිගහැරෙන්නෙ සෘතුවෙන් සෘතුවට. බැම්බි, තම්පර් සහ ෆ්ල්වර් කියන මේ පුංචි යාළුවො තුන්දෙනාගෙ කුඩා කාලයෙ ඉඳන් ඒගොල්ලො වැඩිහිටියො බවට පත් වෙනකල් මේ කතාව ලියවිලා තියෙන්නෙ ආදරය සහ යාළුකම ගැන අපූරු පාඩම් කියාදෙමින්. ඒ විතරක්ම නෙමෙයි-

-මේ යාළුවො තුන්දෙනාගෙ ඉවරයක් නැති දඟකාරකම් වලින් හොඳහැටි හිනාවෙන්නත් පුළුවන්. සතුටුවෙන්නත් පුළුවන්.

බැම්බි ඉපදුනාම මුළු කැළෑවම සතුටින් පිරිලා ඉතිරිලා යනවා. පුංචි බැම්බිට හැමවෙලාවෙම ඉගෙන ගන්න උදවු කරන්නෙ එයාගෙ දඟකාර යළුවා තම්පර්. දවසක් අම්මා බැම්බිව ලස්සනම ලස්සන තණබිමකට එක්කගෙන යනවා, එතනදි තමයි බැම්බිට එයාගේ පුංචි මුව මිතුරිය ඉස්සෙල්ලාම මුණගැහෙන්නෙ. එයාගෙ නම ෆෝලින්. ඔන්න ඔහොමයි ෆෝලින් සහ බැම්බිගෙ යාළුකම ඇරඹෙන්නෙ.

සීත කාලය උදා වුනාම සත්තුන්ට කෑම හොයාගන්න හුඟක් අමාරුයි. දවසක් අම්මයි බැම්බියි නැවුම් තණකොල වැවුනු කුඩා බිම් කඩක තණ කොළ කකා ඉන්නවා. ඒ වෙලාවෙ ඈතින් දඩයක්කාරයන් ඉන්න බව දැන ගන්න අම්ම බැම්බිට දුවන්න කියනවා. ඒත් එතකොටම දඩයක්කාරයෙකුගෙ වෙඩි පහරකින් අම්මා මිය යනවා. බැම්බි බේරෙනවා. ඊට පස්සෙ බැම්බිට ජීවිතය ගැන කියා දෙන්නෙ බැම්බිගෙ තාත්තා. එයා තමයි මුවරැළේ නායකයා. ඔහොම කාලය ගෙවිලා ගිහින් ආයෙත් වසන්ත කාලය උදාවෙනවා. ඔන්න ඒ වෙද්දි බැම්බි, තම්පර් සහ ෆ්ලවර් කියන මේ යාලුවො තුන්දෙනා බොහොම තරුණ වැඩිහිටි සතුන්. ඉතින් ඒ වසන්ත කාලෙදි තම්පර්ටත්, ෆ්ලවර්ටත් ඒගොල්ලන්ගෙ සහකාරියෝ මුණගැහෙනවා. බැම්බි එයාගෙ සහකාරිය විදියට එයාගේ පුංචි කාලෙ මිතුරිය ෆෝලින්ව තෝරා ගන්නවා. ඔන්න දැන් ඒ හැමෝම ආදරේ කරන්න පටන් අරන්. මුළු වනන්තරේම සතුටින්.




ඔය අතරෙ වනන්තරේ ට වැදුණු දඩයක්කාරයන්ගෙ ගිණි මැලයකින් ඇති වුණු ගින්නක් මුළු කැලය පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. බැම්බි ඇහැරෙන්නෙ නහයට දැනුනු දුම් ගඳ නිසා. ඔන්න එතකොට බැම්බිට තාත්ත උපදෙස් දෙනවා දඩයක්කාරයෝ ලඟ ඉන්නා නිසා ඉක්මනින් ඔවුන්ගෙන් බේරිලා පලා යන්නට. බැම්බි ඉස්සෙල්ලම දුවන්නෙ ෆෝලින්ව හොයන්න. ඒ අතරෙ දඩබල්ලෝ රැලකට කොටුවුණු ෆෝලින් පණ බේරා ගන්න කඳු මුදුනට නගිනවා. අන්තිමේදි දඩබල්ලන්ගෙන් ෆෝලින්ව බේරාගන්නෙ බැම්බි. ෆෝලින් බේරිලා දුවනවා. ඒ අතරෙ දඩයක් කාරයෙකුගෙ වෙඩි පහරින් බැම්බි තුවාල වෙනවා. ගිණි ගන්න කැලැවෙන් බැම්බිව බේරාගෙන එන්න උදවු වෙන්නෙ බැම්බිගෙ තාත්තා. අන්තිමේදි ගඟ මැද තියෙන කුඩා දූපතක දී ආයෙත් බැම්බිත් ෆෝලිනුත් මුණගැහෙනවා.

චිත්‍රපටය අවසන් වෙන්නෙ ෆෝලින් සහ එයාගේ පුංචි මුව පැටවු දෙන්න පිලිගන්න වනන්තරේ ඉන්න අනෙක් යාළුවෝ එකතුවෙන තැනින්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සෙ මුව රැලේ නායකයා වෙන්නෙ බැම්බි.




මේ අපූරු කාටූන් චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගම 1942 දි තමා හැදුවේ. ඕස්ට්‍රේලියානු ලේඛක Felix Salten ලිවුව 'Bambi, A Life in the Woods' කියන පොත තමා බැම්බි චිත්‍රපටයෙදි එයාලා යොදා ගත්තේ. අදටත් ලෝකයේ හැදුනු ද්විමාන සජීවීකරණ චිත්‍රපට අතර බැම්බි ඉදිරියෙන්ම සිටිනවා.

රුවන්මලී

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails