මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා සමග සන්නිවේදනය කරන්නෙ රහස් බසක් යොදා ගනීමෙන් බව. ඒ විතරක් නෙමෙයි බොහෝ විට මේ බස ගෙරවිල්ලක්, සියුම් කූජනයක් හෝ පොප් හඬක් කියලාත් හොයාගෙන තියෙනවා. ගැඹුරු නිහැඬියාවකින් පිරුණු සමුදුරු ලෝකය-

-මේ සොඳුරු කතාබස් වලින් පිරී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම පවසනවා. සමහරක් කතා බහ තමන්ගේ විරුද්ධ ලිංගිකයන් වෙත නිකුත් කරන ඒවා. තවත් සමහරක් අනතුරු ඇඟවීම් පිණිස වන කතා බහ. ඒ වගේම තවත් සමහරක් එකිනෙකාට යා යුතු දිශාව හඟවන කතා බහ. ඉතින් මේ කතා බහ නිසා, මාළුන් ගොදුරු කර ගන්නා විලෝපිකයන්ට පහසුවෙන් තමන්ගෙ ගොදුරු සොයා ගත හැකි වන බවත් පවසනවා.

ඒ වගේම, හැම මාළුවෙකුටම වගේ මේ ශබ්ද ඇසීම කරන්න පුළුවන් වුණත් ශබ්ද නිකුත් කිරීමේ හැකියාව නෑ. හඳුනාගත් ශබ්දවලින් 99% ක්ම මාළුන්ගේම වන බවත්, ඔවුන්ගේ මීලඟ පියවර වෙන්නෙ මේ ශබ්ද වලින් ගෙනයන පණිවුඩය කුමක් දැයි සොයාගැනීම බවත් ඔවුන් තව දුරටත් කියා සිටියා.

ඔවුන් අනුමාන කරන ආකාරයට මත්ස්‍යයෝ තමන්ගේ විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය, විලෝපිකයන් බිය ගැන්වීම, කොරල් පර වටා වූ දිශානති පැහැදිලි කිරීම වැනි කාරණා පණිවුඩ නිකුත් කිරීමට පාදක වේ යයි අනුමාන කරන හේතු අතර තිබෙනවා.

තෝරාගත් මාළුවෝ කණ්ඩායමක් විද්‍යාගාරයේ තටාකයට ඇතුල් කරලා, සතියක් වැනි කාලයක් එහි වූ අළුත් පරිසරයට අනුරූප වෙන්නට ඉඩ දීමෙන් පස්සෙ, ජල තටාකය පතුලේ සවිකල කුඩා මයික්‍රෆෝන සහ වෙනත් තාක්ෂණික උපකරණ ඇසුරින් ජල යේ චලිත ස්වභාවයෙ වෙනස් කම් නිරීක්ෂණයට ලක් කිරීමෙන් තමයි ඔවුන් මේ බව සොයාගෙන තියෙන්නෙ.


ඒ අනුව, ‘ගර්නාඩ්’ නම් විශාල හිසක් සහිත මත්ස්‍ය විශේෂය අනෙක් හැම මසුන් වර්ගයකටම වඩා වැඩියෙන් කතා බහ සිදු කරන බවත්, ඒවා ඉතා විශේෂිත ගෙරවුම් හඬවල් බවත්, දවස මුළුල්ලේම එකම අකාරයෙන් කතා බහ රටාවක් පවත්වා ගන්නා බවත් මෙහිදී ඔවුන් සොයා ගෙන තිබෙනවා.


‘කොඩ්’ මසුන් ස්වභාවයෙන් ඉතා නිහඬ මසුන් ලෙස හඳුනාගෙන ඇති නමුත්, බිත්තර දමන කාලයේදී පමණක් බොහෝ සෙයින් කතා බහ සිදුකරන බවත් නිරීක්ෂණය කොට තිබෙනවා. එහිදි ගැහැනු කොඩ් මසුන් සහ පිරිමි කොඩ් මසුන් එකම වේලාවෙදි ජලයට තම තමන්ගෙ බිත්තර නිදහස් කරමින් ඒව සංසේචනයට ඉඩ සැලසීම සඳහා මෙසේ කතා බස් කිරීම අරඹන බවයි පරීක්ෂකයෝ උපකල්පනය කරන්නෙ. ඒ වගේම බිත්තර දමන කාලය අවසන් වූ පසු ඔවුන්ගේ කතා බහ නිම වෙන බවත් තවදුරටත් ඔවුන් සඳහන් කළා.

‘ගෝල්ඩ් ෆිෂ්’ මසුන් අපූරු සවන්දෙන්නන් වන නමුත් කිසි ලෙසකින් හෝ හඬක් නිකුත් නොකරන බවත් සමීක්ෂකයෝ පැවසුවා.

[ද ටෙලිග්‍රාෆ් ඇසුරිනි.]

රුවන්මලී

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails