ඔන්න අද අපි මේ කතා කරන්නට යන්නෙ ආහාරයට ගන්නා හැබෑ කැකිරි ගැන නම් නෙමෙයි. ඇත්තටම කැකිරි කිවුවට මේගොල්ලො මුහුදු ජීවි විශේෂයක්. පෙනුමෙන් හා හැඩයෙන් කැකිරි ගෙඩියක ස්වරූපයක් තියෙන නිසා තමයි “මූදු කැකිරි” කියල කියන්නෙ. මූදු කැකිරි කියන මේ සමුදුරු ජීවි විශේෂය අයත් වෙන්නෙ එකිනොඩර්මාටා කියන වංශයටයි. මේ වංශයට අයත් අනෙකුත් සතුන් වෙන්නෙ මූදු ඉකිරි, බංගුර තාරකා සහ පසැඟිල්ලන්.

දැනට ලෝකයේ මූදු කැකිරි විශේෂ 1250 ක් පමණ හඳුනා ගැනීමට සමත් වෙලා තියෙනවා. මූදු කැකිරි සමුදුරු වාසීන් වන අතර බොහෝ විට ඔවුන් ජීවත් වෙන්නෙ මූදු පත්ලට සමීපව. එහෙමත් නැතිනම් අඩක් පතුල තුල ගිලී සිටිනවා. නොගැඹුරු ස්ථාන වල ඔවුන්ගේ වර්ධන වේගය ඉතා අඩු බවත් උපරිම වර්ධන වේගයක් පෙන්නුම් කරන්නෙ ගැඹුරු මූදු පතුලේ දී බවත් සමුදුරු ජීවි විශේෂඥයෝ පවසනවා. මොවුන්ගේ ආහාර වෙන්නෙ මූදු ජලයෙ ඇති ක්ෂුද්‍ර අංශු, ඇල්ගේ වර්ග සහ කුඩා ජලජ ජීවින්. මේ සතුන්ගෙ මුඛය වටා පිහිටන නාල පාද 8 ත් 10 ත් අතර ගණනකින් තමයි මේ කාර්යය කෙරෙන්නෙ. ආහාරයට ගන්නා දේවල් ඉතාමත් කුඩා අංශු බවට පත් කරන්නත් මේවා උපකාර වෙනවා.

බෝවීම සිදුවෙන්නෙ බිත්තර මගින්. බොහෝ කැකිරි විශේෂ බිත්තර බාහිර පරිසරයට මුදා හරිනවා වුනත් ඇතැම් කැකිරි විශේෂ ශරීර අභ්‍යන්තරයේ ඇති කුඩා පැසක් තුල බිත්තර රඳවාගෙන සිටිනවා. බිත්තරයෙන් බිහිවන කීටයා ජීවන චක්‍රයක අවස්ථා ගණනාවකින් පසුව වැඩුණු කැකිරි සතුන් බවට පත් වෙනවා.


මූදු කැකිරින් එකිනෙකා සමග සන්නිවේදන කාර්යය සිදුකරන්නෙ ජලය හරහා යැවෙන හොර්මෝන සංඥා මගින්. මෙම සතුන්ගේ ශරීර බිත්තිය සමන්විත වෙන්නෙ කොලැජන් තන්තුමය පටක වලින්. ඒවා අවශ්‍ය පමණට ඉහිල් කරන්නත් දැඩි කරන්නත් පුළුවන්.


මේ නම්‍යශීලි බව නිසාම ඉතා කුඩා සිදුරු හරහා වුනත් ගමන් කිරීම ඉතා පහසු කාර්යයක්. අනතුරකදී ශරීරය මගින් ඇලෙන සුළු කෙඳි වැනි ස්‍රාවයක් පිට කිරීමෙන් උපායශීලිව සතුන්ගෙන් ආරක්ෂාවෙන්නට ත් ඔවුන්ට පුළුවන්.


මේ වන විට ඇතැම් ආසියානු රටවල් මේ අපූරු මූදු කැකිරි සතුන් ආහාර සඳහා මෙන්ම ඖෂධ සඳහාත් යොදා ගන්නට පෙලඹී සිටිනවා. එයින් ඉදිරියෙන්ම සිටින්නෙ චීනය බව ඔබ දන්නවාද?

නීල්යා කාරියවසම්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails