ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ Garmisch (ගාර්මිෂ්) නම් නගරයේදී, 1929 වසරේ නොවැ. 12 වැනිදා. එඩ්ගා එන්ඩ් සහ ලුයීස, මයිකල්ගෙ දෙමව්පියන්.

පසුකාලයේදී "මයිකල් එන්ඩ්" (Michael Ende) නමින් ඔහු ලොව පුරා ප්‍රකට වුණා. මයිකල් එන්ඩ් 1940 දී ඔහු ඉපදුණු ගමට නුදුරු මියුනිච් නගරයේ "මැක්සිමිලියම්" නම් උසස් පාසලට ඇතුලු වෙනවා. පසුව විවිධ පාසැල් කිහිපයකම අධ්‍යාපනය හදාරන අතර, 1943 විතර වෙනකොට මයිකල්, කවි සහ කෙටිකතා (කුඩා විස්තර කිරීම්) ලේඛනයට පිවිසෙනවා. මේ කාලයේ රට ඇතුළෙ යුද්ධය තිබුණු නිසා ඔවුන්ගේ නිවසත් බෝම්බ ප්‍රහාරයකට ලක් වෙනවා. 1948-1950 දක්වා කාලය Falckenberg පාසැලට ඇතුළු වෙලා මයිකල් රංගනය හදාරනවා.

වසර 1953 වන විට උසස් අධ්‍යාපනය අවසන් කර ඔහු නාට්‍යකරණයෙහි යෙදෙනවා. මාස ගණනාවක් තිස්සේ ගම්මඩු වලටත් සහභාගී වෙනවා. මයිකල් එන්ඩ් කැබරේ පිටපත් ද රචනා කරන්න පටන් ගන්නවා. පසුව 1954 සිට 1962 දක්වා කාලය තුළ දී බැවේරියා ගුවන් විදුලියෙහි සිනමා විචාරකයෙක් ලෙස සේවය කරනවා. ඔහු විසින් රචනා කරන ලද, "ජිම් ක්නොෆ් උන්ඩ් ලූකාස් ලොකොමොටීෆ්-ෆියුරර්" (eng:Jim Button and Luke the Engine Driver) නම් ළමා ග්‍රන්ථය මුද්‍රණාල 12කින්ම ප්‍රතික්‍ෂේප වෙනවා. එයින් අධෛර්යමත් නොවන මයිකල් අවසානයේදී, (1960 දී) තීනෙමන් මුද්‍රණාලය හරහා එම ග්‍රන්ථය මුද්‍රණය කරවා ගන්නවා. 1961 වසරේදී එම ග්‍රන්ථය සඳහා ජර්මන් යොවුන් සාහිත්‍ය සම්මානය ද හිමිකර ගන්නට මයිකල් එන්ඩ් සමත් වෙනවා.

1964 දී ඔහු විවාහ වෙන්නෙ Ingeborg Hoffmann සමඟ. 1970 දී ඔවුන් ඉතාලිය, රෝම නගරයෙහි Genzano ගමෙහි පදිංචියට යනවා. 1973 දී ලෝ ප්‍රසිද්ධියට පත් වූ විශ්මයාන්විත "මෝමෝ" යොවුන් නවකතාව (eng:The Grey Gentlemen/Momo) ඔහු අතින් ලියැවෙනවා. 1974 දී එම ග්‍රන්ථයත් ජර්මන් යොවුන් සාහිත්‍ය සම්මානය හිමි කර ගන්නවා.

මරිකෝ සැටෝ කියන්නේ ප්‍රකට ග්‍රන්ථ පරිවර්තිකාවක්. ඈව හඳුනා ගන්නා මයිකල් එන්ඩ්, මරිකෝ සමඟ ජපන් ජාතික Kenji Miyasawa ගෙ පොත් පරිවර්තනය කරන්නට පෙළඹෙනවා. 1977 දී ඔහු ජපානයට ගොස් ලෝ ප්‍රකට කබුකි නාට්‍ය පිළිබඳවද හැදෑරීමක් කරනවා. මයිකල්, 1978දී මාර්ක් ලෝතාර් සමඟ “මෝමෝ සහ කාලහොරු” ඔපෙරාව කරළියට ගෙන එනවා. එය චිත්‍රපටයක් ලෙසින් සිනමාවටත් නැඟෙනවා. ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් වන "මෝමෝ සහ කාලහොරු" අද වන විටත් ජර්මනිය පුරා විවිධ අවස්ථා වල වේදිකාගත වෙනවා දකින්නට පුළුවන්.

1979 දී ඔහුගේ තෙවන ග්‍රන්ථය "නොනිමි කතාව" (The Neverending Story -Translated into English: Ralph Manheim) මුද්‍රණය වෙනවා. Wolfgang Petersen විසින් සිනමාවට නඟන ලද The Neverending Story පිළිබඳව ඔහු සෑහීමකට පත්වන්නේ නැහැ. නමුත් එම ග්‍රන්ථයට "විල්හෙල්ම් හවුෆ්" සම්මානය(Wilhelm-Hauff-Preis), ජාත්‍යන්තර ජානුස් සාහිත්‍ය සම්මානය ( Internationaler Janusz-Korczak-Literaturpreis) සහ Silver Griffel සම්මාන ලැබෙනවා.

මයිකල්ගේ ජීවිත කාලය පුරා බොහෝ නිර්මාණ බිහි වෙනවා. ළමා සහ යොවුන් ග්‍රන්ථ විශාල ප්‍රමාණයකුත්, නාට්‍ය, ඔපෙරා මෙන්ම විචාර සටහන් ද ඇතුලුව ඔහු ජර්මන් සාහිත්‍ය පෝෂණය කරන්න විශාල කැප කිරීමක් කරපු පුද්ගලයෙක් නමින් ජනාදරයට පාත්‍ර වෙනවා. ඔහුගේ එම නිර්මාණ බොහොමයක් භාෂා 40කට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝකය පුරා ප්‍රචලිත වෙලා තියෙනවා.

ළමා පරපුර වෙනුවෙන් විශාල සේවයක් කළ මයිකල් එන්ඩ් 1995 අගෝස්තු 18 වනදා උදරයේ ඇති වූ පිළිකාවකින් මිය යනවා. 1998 දී මියුනිච් වල "ජාත්‍යන්තර යොවුන් පුස්තකාලය" තුළ "මයිකල් එන්ඩ්" කෞතුකාගාරය විවෘත වෙනවා. එහි දී එන්ඩ් විසින් රචිත විවිධ නිර්මාණ දැකගන්නට පුළුවන්.

තුෂාරි ප්‍රියංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails