ඉස්කෝලෙ දවස් ඉවර වෙලා සති අන්තය ආවා කියන්නෙ පුංචගෙ ඉහේ මලක් පිපුනා කියන එක තමයි. සෙනසුරාදා උදේම ඇහැරුණු පුංච ගියේ එයාගෙ යාළුවෝ හොයන්න. සුදු සහ මලී හිටියා වැට අයිනෙ පුංච එනකල් බලාගෙන.
"කෝ බිංදු යි ටිකිරියි... තාම ආවේ නැද්ද?" පුංච ඈත ඉඳන්ම ඇහුවා.
" ලොකු බණ්ඩෙ මාමා එක්කලා කුඹුරට ගිහින් අද?" සුදූ කිවුවා.
"කුඹුරට? මොකටද?" ඔන්න පුංචට ආයෙත් ප්‍රශ්නයක්.
"කරල් පැහිලා. කුරුල්ලො එලවන්න මොකද්ද කරනවලු එහෙ" මලීත් පැනලා උත්තර දුන්නා.
"ම්...ම්..ම්.. අපිටත් පුළුවන් අද හොඳ වැඩක් වෙනුවෙන් කාලය යොදවන්න.. නැද්ද මං කියන්නෙ!" පුංච කිවුවා.
"ඒක නම් හොඳ අදහස!" සුදූත් මලීත් අනුමත කළා ඒ කතාව.
"අපි යමු ලොකු බණ්ඩෙ මාමාට උදවු වෙන්න"
එහෙම කියලා තුන්දෙනාම පියාඹගෙන ගියා කුඹුරට.
ලොකු බණ්ඩෙ මාමා කළු පාට රෙදි පටි එල්ලාපු දිග වැලක් කුඹුර මැදින් ඇදලා. තවත් ඒ වගෙ වැල් කීපයක් තිබුණා ටිකිරි ලඟ.
"මේවා මොකටද මාමේ?" ඔන්න පුරුදු විදියට පුංචට ප්‍රශ්නයක්.
"කුරුල්ලො එලවන්න" ලොකු බණ්ඩෙ මාමා උත්තර දුන්නා.
"ආපෝ, ඔයිට වඩා හොඳම හොඳ විදියක් අපි ලඟ තියෙනවා. නැද්ද මං කියන්නෙ පුංචෝ?" ඔන්න ටිකක් වෙලා කල්පනා කරපු පුංච කියාපි.
ඒ මොකද්ද කියල හරියටම දැනගෙන හිටියේ නැති උනත් බිංදු ත් ඉතිං ඔලුව වැනුවා.
" හොඳ විදියක්? බැරිද අපටත් කියා දෙන්න" ඔන්න ලොකු බණ්ඩෙ මාම ඇහුවා.
"ආපෝ සුළු දෙයක්. ඔන්න බලන්නකො, අපිට පුලුවන් ඒක කරල පෙන්නන්න." පුංච කිවුවා.
"හරි, ඔන්න මට හැමෝම උදවු වෙන්න ඕනෑ එහෙනම්" එහෙම කියලා පුංච නියර අද්දරින් ඉඳගත්තා. යාළුවොත් බින්දු වටේට ඉඳගත්තා. මොහොතක් එක එක්කෙනාගෙ කණට කොඳුරා ගෙන එක පාරට හැමෝම ආයෙත් ගෙවල් බලා දුවන්න පටන් ගත්තා.
ලොකු බණ්ඩා මාමත් හිනා වෙවී බලන් උන්නා.
බිංදු ගෙනාව පරණ කළු කබායක් සහ කොටු සරමක්. සුදූත් මලීත් එකතු වෙලා පිදුරු මිටියක් සොයාගෙන ආවා. පුංචත් ටිකිරිත් එකතු වෙලා දිග ලී කෝටු දෙකක් ඇදගෙන ආවා.
පැන්සල් පෙට්ටියට එබුණ පුංචා සුදු හුනු කූරක් හොයා ගත්තා. ඊලඟට අඩුව වුණේ මුට්ටිය විතරයි. ඉතිං ඒක ගන්න පුංච කෙලින්ම ඉගිල්ලුණෙ ගෙදර වළං මැස්සට. මෙන්න වළං මැස්ස උඩ තියෙනවා වැඩේට කියාපු විදියේ මුට්ටියක්, කළුම කළු. මුට්ටියයි හුණු කූරයි අරගෙන ඊලඟට පුංච කෙළින්ම දිව්වෙ කුඹුරට.
ඉස්සෙල්ලාම කෝටු දෙක හරස් අතට බැඳලා, ඒකට අපූරුවට පිදුරු ගැට ගැහුවා. ඊට පස්සෙ කළු කබායයි සරමයි අන්දලා ඉනේ පටියකුත් බැන්දා. ඊළඟට සුදු හුනු කූර අතට අරන් කළුම කළු මුට්ටියෙ ඇස් දෙකකුයි කටකුයි ඇන්දා. වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සෙ මෙන්න ඉන්නව අපූරු පඹරාළ කෙනෙක්.
පස් දෙනාම එකතුවෙලා අන්තිමේදි පඹයාව කුඹුරට අරන් ගියා. ඒක දැකලා ලොකු බණ්ඩෙ මාමාට හරිම හිනා.
"මේක නම් හරි අපූරුයි දරුවනේ" ලොකු බණ්ඩෙ මාමා කිවුවා.
"ඔවු දැන් මාමට තනියකුත් නෑ, කුරුල්ලන්ට නිදහසකුත් නෑ" පඹරාළ දිහා බලන අතරතුර පුංච කිවුවා.
එදා පුංචටත් යාළුවන්ටත් හරි සතුටුයි. කුඹුරේ හැමතැනම සෙල්ලම් කරල කරල ඇඳිරි වැටෙද්දි තමයි පුංච ගෙට ගොඩ වුණේ.
ගෙදර එකම ගාල ගෝට්ටියක්.අත්තම්මා වළං මැස්ස ඔක්කොම පෙරළ පෙරළ මොකද්දෝ හොයනවා.
" මොකද්ද වෙලා තියෙන්නෙ අම්මේ?" හෙමින් අම්මා ලඟට කිට්ටු වෙච්ච පුංච ඇහුවා.
"ආතම්මා කසාය තම්බන මුට්ටිය නැහැයි කිය කියා හොයනවා...මේ"
ඒ වෙලාවෙ නම් පුංචට තරු පෙණුනා. “දෙයියනේ දැන් ඒක කුඹුර මැද, ආයෙත් ගෙනෙන්නෙ කොහොමද, ඒ මදිවට කට්ට කළුවරයි, අනිත් එක ඔලුව නැති වුනාම පඹයෙක් කෝ... පඹයා නැති උනොත් කුරුල්ලො එලවන්නෙ කවුද... ඔහෙ ඕනෙ එකක්, මං දන්නෑ වගේ ඉන්නවා.” පුංච එහෙම හිතුවා.
ඔන්න එතකොටම වාගේ ලොකු බණ්ඩෙ මාමත් කඩේ පැත්තට යන්න ආවා.
"මොකද්ද නැන්දෙ මේ ගාලගෝට්ටිය?" ලොකු බණ්ඩෙ මාමත් අහපි.
"අනේ, ළමයො මං මේ කසාය තම්බන්ටමයි කියල තියා තිවුණු මුට්ටිය බහිරයෝ ගිල්ලා වගෙ මේ තිබුනා, මේ නෑ නොවැ..." ආත්තම්මා කිවුවා.
"හහ්..හහ්...ඒක හම්බ වෙයි කියලා හිතන එක අමතක කළොත් තමයි වඩා හොඳ මයෙ හිතේ. ආං දැන් ඒක තියෙනව මයෙ කුඹුරෙ...පඹය ලඟ. ඒක ගත්තොත් හෙම පඹයා අමනාපවෙයි නොවැ. ඒත් ඉතිං පඹයා විතරක් නම් මදැයි, පඹයා හදපු උන්දැලාත් අමනාප වෙයි නොවැ "
එහෙම කියන ගමන් ලොකු බණ්ඩෙ මාමා හිනා වෙවී හොර ඇහෙන් පුංච දිහා බලලා යන්න ගියා.
අත්තම්මා ඇස් ලොකු කරගෙන පුංච දිහා බැලුවා. පුංච මොකුත් දන්නෙ නෑ වගෙ හෙමින් ගිහින් අත්තම්මට තුරුළු වුනා.
"හ්ම්... ඒකත් එහෙමයි එහෙනම්" කියමින් අත්තම්මා පුංච ව තුරුළු කරගත්තා.
සිත්තම- රුවන්මලී
ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook