‘ගල්මල්’ නමින් ගැමි බසින් හඳුන්වන කොරල් [Coral] ලෙස විද්‍යාත්මකව දන්නා මුහුදු ජීව විශේෂ ලෝකයේ උණුසුම් සාගර ප්‍රදේශ සිසාරා ව්‍යාප්ත වී ඇත. ඝර්ම කලාපීය රටවල කොරල් පර බහුලය. ශ්‍රී ලංකාවේ මුහුදු තීරවල තැනින් තැන ව්‍යාප්ත වී ඇති ගල්මල් (කොරල්) උයන් ලෙසින් සැකසී ඇත්තේ සීමිත ස්ථාන කිහිපයක පමණි. ගල්මල් උයන් නිරිත දිග වෙරළේ මීට වසර ලක්ෂයකට ඉහතදී ද පැවති බවට සාක්ෂි හමු වී ඇත. නිරිත දිග වෙරළේ පිහිටි හික්කඩුව, පොල්හේන, වැලිගම,-

අකුරල, රාවණා කොටුව ආදිය අපේ රටේ ඇති ගල්මල් උයන් කිහිපයකි.

වසරකට ඩොලර් මිලියන ගණනාවක් විදේශයන්ගෙන් මෙරටට ඇද ගැනිමට මෙම සුන්දර පරිසර පද්ධති සමත්ය. මුහුදු තීරයේ ඇති සංචාරක නිකේතන, හෝටල්, කිමිදුම් ස්ථාන, කඩ සාප්පු බොහොමයක් ගල්මල් උයන් ආශ්‍රීතව පිහිටුවා ඇත. තවද එම හෝටල් අශ්‍රීතව තවත් ඩොලර් මිලියන ගණනාවක් උපයා දෙන ප්‍රවාහනය, කර්මාන්ත, වෙළදාම්, බෝට්ටු සේවා ද ඒ සමඟම බැඳී ඇත. මෙතරම් ධනයක් වාර්ෂිකව ලබාදෙන ගල්මල් උයන් ආරක්ෂා කර ගැනිම අපේ ජාතික වගකීමකි.

කොරල් පර සැදිමට දායක වන්නේ Cnidaria වංශයේ Anthozoa වර්ගයේ බුහුබාවන්ය. මොවුන් නිපදවන බහිස්‍රාවීය ද්‍රව්‍ය වන NH3 ජලයේ වූ CO2 සමඟ ප්‍රතික්‍රියා කර (NH4)2CO2 සාදයි(NH4)2CO2 ජලයේ Ca සමඟ සම්බන්ධ වී CaCO3 සාදයි. CaCO3 වලින් සැදි සැකිල්ලක ජීවි බුහුබාවා ගිලී සිටී. එක් ගල් මලක ජීවී බුහුබාවන් දස ලක්ෂ ගණනින් වෙසේ. ග්‍රාහිකාවලින් ජලයේ පාවෙන ප්ලවාංග අධිග්‍රහණය කරමින් යැපෙන කොරල් බුහුබාවා සඳහා සාමාන්‍යයෙන් 30C උෂ්ණත්වයක් ද පරිසර දූෂණයට භාජනය නොවූ ප්‍රදේශයක් ද තිබි යුතුය. නිරන්තරව සංසරණ වන මුහුදු ජලය ද, හොදින් හිරු එළිය වැටෙන තැන් ද සක්‍රිය ගල්මල් උයන් ඇති වීමට අවැසි පිටුබලය ලැබ දෙයි.

කොරල් ජනපදයක දස දහස් ගණනින් වෙසෙන මෙම බුහුබාවන් පරම්පරා ගණනාවක් තම ඇටසැකිලි එක මත එක තැම්පත්කර විශාල කොරල්පර නිර්මාණය කරයි. ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයේ දිග 2000Km පමණ වේ. එමගින් වසා ගන්නා මුහුදු ප්‍රදේශය 207000Km පමණවේ.

ලෝකයේ පවතින කොරල් පර වර්ග තුනකි. ඒවා නම් ගැට-පර, බාධක-පර හා Atholl වර්ගයේ පරයි. ගැට පරය යනු ගොඩබිමට මඳක් ඇතින් වෙරලාශ්‍රීත ජලයේ පිහිටන පරයකි. Atholl යනු වක්‍රාකාරව වැඩී යාම නිසා එහි මැද වර්ධනය වු පරයයි. මාලදිවයින් Atholl වර්ගයේ පරයකින් නිර්මාණය වි ඇත.

කොරල් පරයක් යනු අතිශය ජෛව විවිධත්වයකින් හෙබි පරිසර පද්ධතියකි. විවිධ හැඩති කොරල් ද ඒවා ඇසුරෙහි දඩබිම සකසා ගත් වෛවර්ණ මසුන් ද අනේකාකාර හැඩයෙන් යුත් සිරුරුවලින් හෙබි සතුන් ද ඊට අයත් වෙති.

අම්බලන්ගොඩ සිට දෙවුන්දර තුඩුව දක්වා මුහුදු තීරය ගතහොත්, අම්බලන්ගොඩ සිට 1Km පමණ උතුරින් ‘ගෙදවාන’ නම් ගැඹුරු දියේ ගල් පර්වතයක් වටා වැඩුණු කොරල් උයනක් දැකිය හැක. අකුරල ප්‍රදේශයේ නොගැඹුරු දියෙහිද මෑත කාලයේ හටගත් ගල්මල් උයනක් දැකිය හැක. මෙරට පිහිටි සුන්දරම ගල්මල් උයන හික්කඩුවේ වාල් දුපත් හා ගොඩබිම් අතර මුහුදු තීරයේ දක්නට ලැබේ.

පැයෙන් පැය, දිනෙන් දින තියණු ලෙස එල්ලවන විනාශකාරි ක්‍රියා නිසා ගල්මල් උයන් වේගයෙන් විනාශ වෙමින් පවතී. මෙය කොතරම් දරුණු ද යත් අද පොල්හේනේ දැකිය හැක්කේ නටබුන් වු උයනකි.



(ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය)


(හික්කඩුව කොරල් පරයේ දසුන්)


(විවිධ කොරල් ජීවී ප්‍රභේද)


කොරල් උයන්වලට මිනිස් කටයුතු තර්ජනාත්මකව එල්ල වන ක්‍රම කිහිපයක් ඇත. කොරල් කැබලි එකතු කර නිශ්චිත මිල ගණන්වලට විකිණිය හැකි නිසා එමහින් දිවි ගෙවන්නෝ නිරිත දිග වෙරලේ සුලභය. කිමිදුම්කරුවන්ගේ පාද වල හැපීම හා තෙරපීම නිසා දිනකට විනාශ වන කොරල් ප්‍රමානය අති විශාලය. මෑතක සිට සමුද්‍ර ජීවී සම්පත විනාශ කරන එක් ක්‍රමයක් වන්නේ අලංකාර මසුන් පිටරට යැවිම සදහා අල්ලා ගැනිමයි. කොරල් පර ආශ්‍රීතව ජීවත් වන මසුන් අල්ලනු ලබන්නේ කිමිදුම් කරුවන් විසිනි. කොරල් පරය මත කිමිදෙන කිමිදුම් කරු අත යකඩ උලකුත්, කුඩා දැලකුත් වේ. දඩයම්කරුගෙන් බේරිමට මත්ස්‍යයා ස්භාවික කොරල් බිලකට වැදේ. ඌ එළියට ගැනිමට කොරල් පරය හාරා දැමිය යුතුය. අවසානයේ අලංකාර මත්ස්‍යයා විසිත්ත කාමර සැරසිම සඳහා පිටරට පටවන අතර කොරල් පරය යකුන් නැටු පිටියක් බවට පත්වේ.

ගල්මල් උයන් වෙනම ආරක්ෂිත කලාප ලෙස වෙන් කොට සීමා පනවා පවත්වා ගැනිම අත්‍යාවශ්‍යය. ලංකාවේ හික්කඩුව ආශ්‍රීත ප්‍රදේශ වල මෙම ක්‍රියා මාර්ග ගෙන ඇතත් එය කෙතෙක් දුරට සාර්ථකව ක්‍රියාත්මක වේදැයි සැක සහිතය.

කොරල් පරයක් යනු සජීවී වස්තුවක් බව දන්නේ කීයෙන් කී දෙනාද? සේවා කර්මාන්ත ආශ්‍රීත අය ද මුහුදින් ආදායම් උපයන අයද මේ පිලිබඳ උනන්දු නොවුවහොත් දශක දෙක තුනකින් කොරල් පර සදහටම නැතිවී යනු නොඅනුමානය.

චාමිනී සෙව්වන්දි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails