අයර්ස් කියන්නෙ ලෝකෙ තියන ඉපැරණිම පර්වත වලින් එකක්. මේක පිහිටලා තියෙන්නෙ නම් ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියානු ආදිවාසින් වන ඇබොරිජීන්වරුන් මේ පර්වතය හඳුන්වන්නෙ "ඌලුරු" කියලයි. ඇබොරිජීන්වරුන් ගේ විශ්වාසය අනුව එය ඔවුන්ට ඉතාමත් පූජනීය දසුනක්. මේක පිහිටලා තියෙන්නෙ සිම්ප්සන් කාන්තාරය මැද. අයර්ස් පර්වතය කියන්නෙ සියළු නිර්මාණ වල සංකේතය විදියටයි ඇබොරිජින්වරු විශ්වාස කරන්නේ.

වසර මිලියන 500කට පමණ පෙර ඕස්ට්‍රේලියාව මධ්‍යයේ පිහිටි සාගර පතුළක වැලි කන්දක් ලෙස ගොඩගැසීම හේතුවෙන් මේ පර්වතය නිර්මාණය වී තිබෙනවා. එම පර්වතය මධ්‍යයේ අඩි 1142 ක් ඉහලින් පිහිටා තිබෙන්නෙ සැතපුම් 5 ක් පමණ ප්‍රදේශක් තෙක් දිවෙන තැනිතලාවක්. වසර ගණනක් මුළුල්ලේ වැස්සෙන් සහ සුළඟින් පහර කෑම හේතුවෙන් තමයි මේ තැනිතලාව බිහිවෙලා තියෙන්නෙ. ඒ විතරක්ම නෙමෙයි, අයර්ස් පර්වතය ලෙන් බොහෝ ගණනකින් සමන්විත වෙනවා. එසේම වැහි දිය ගලාගෙන යාම හේතුවෙන් බිහි වූ කුඩා පාර්ශ්වීය ඇලි බොහො ප්‍රමාණයක් පර්වතය වටා දකින්න පුළුවන්.

අයර්ස් පර්වතය ආශ්‍රිතව වනෝද්‍යානයක් පවා පිහිටා තිබෙනවා. "ඌලුරු ජාතික වනෝද්‍යානය" ලෙස නම් කර ඇති මෙහි කුරුළු විශේෂ 150 ක් සහ ක්ෂීරපායි සත්ව විශේෂ 26 ක් ජීවත් වෙනවා. ඇබොරිජීන් පුරාවෘතයට අනුව “ඌලුරු” කියන්නෙ ඈත කාලයේ සාගරක් ව තිබූ තැනක්. ඌලුරු වෙරළාසන්නයේ සිදුවු මහා සටනකින් මුළු වෙරළම ලෙයින් තෙත් වුණේලු. ඉන් කම්පාවට පත් සාගරය ඊට විරෝධය පෑමක් ලෙස ලේ පැහැ පර්වතයක් ලෙස නැගී සිටි බවයි ඔවුන් කියන්නේ.

නීල්යා කාරියවසම්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails