බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට වාසස්ථානයක් සැපයීම. ඒත් ඇතැම් සුවිශේෂි කුරුළු විශේෂයන්හි කුරුල්ලන් පවා කූඩු හදන බව ඔබ දන්නවාද? ඔන්න අද අපි කියන්නට යන්නේ ඒ ගැනයි. මේ කුරුල්ලන් හඳුන්වන්නේ "බවර්බර්ඩ්" කියලා. ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගීනියාවේ. මේ කුරුල්ලෝ කූඩු තැනීමට සහ සැරසීමට අපූරු දස්කමක් දක්වනවා.

ඒගොල්ලන්ට "බවර්බර්ඩ්" කියන නම ලැබිල තියෙන්නෙ මේ හදන අපූරු කූඩුව නිසාමයි. හැබැයි මේ "බවර්බර්ඩ්" කුරුල්ලෝ කූඩු හදන්නෙ විශේෂ හේතුවකට. ඒ තමයි කිරිල්ලියන් බොහෝ ගණනක් ආකර්ෂණය කර ගැනීම. බිත්තර දැමීම, බිත්තර රැකීම සහ පැටවුන් රැකබලා ගැනීම කරන්නේ "බවර්බර්ඩ්" කිරිල්ලිය තනිවම. බිත්තර දමන කාලය ආවම ඒ සඳහා සුදුසු තැනක කූඩුව සෑදීම කරන්නෙත් කිරිල්ලිය විසින්මයි.


ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගීනියානු උතුරු දූපත් වල පිහිටි කඩා ලඳු සහිත ප්‍රදේශ, වැසි වනාන්තර සහ වළාකුලු වනාන්තර ආශ්‍රිතව බවර්බර්ඩ් කුරුලු විශේෂ 18 පමණ ජීවත්වෙනවා.ඔවුන් එකිනෙකා වෙනස් වෙන්නෙ පාටවලින්, හැඩයෙන් සහ තරමින්. ඒ වගේම හොටයේ හැඩයන්, පිහාටු, කරමල් සහ වලිග පිහාටු වලත් විවිධත්වයක් දකින්නට පුළුවන්.


අඩි 6 ක් හෝ 7 ක් පමණ දිගින් හා පළලින් යුතු ඉතා පිරිසිදු බිම් ප්‍රදේශයක් තමයි මේ කූඩුව හදන්න ඔවුන් තෝරාගන්නේ. බොහෝ විට කූඩුවේ සැකිල්ල සාදා නිමකරන්නට සතියක පමණ කාලයක් ගත වෙනවා.මේ සැකිල්ල සමන්විත වෙන්නෙ කුඩා කෝටු කැබලි දහස් ගණනකින්.


බවර්බර්ඩ් විශේෂ අතුරින් සැටින් බවර්බර්ඩ් විශේෂයට අයත් කුරුල්ලන්ගෙ කූඩු ඉතාමත් ආකර්ෂනීය සහ අලංකාර නිර්මාණයක් විදියටයි සැලකෙන්නෙ.කූඩුව බොහොවිට කුඩා පියස්සක් සහිත ලෙනක ස්වරූපයක් නිරූපණය කරනවා. පියස්ස ඔසවා තබන්නට කෝටු කිහිපයක් භාවිතා වෙනවා කුළුණු ආකාරයෙන්.ඒ වගේම කූඩුවේ උස් වූ බිත්ති සැකසෙන්නෙ කුරුල්ලන්ගෙ ඇලෙන සුලු ඛේටයෙන් සහ පලතුරු පල්පයකින්.


කූඩුවේ සැරසිලි ලෙස භාවිත වෙන්නෙ අවට පරිසරයෙන් සොයා ගන්නා වියළි කොළ වර්ග, වර්ණවත් මල් සහ පොහොට්ටු, බෙරි වර්ග, පිහාටු, බෙලිකටු,කුරුමිනි පොතු ආදියෙන්.ඒ විතරක්ම නෙමෙයි, ප්ලාස්ටික් බෝතල මූඩි, වීදුරු කැබලි,කඩදාසි වැනි දේවල් පවා සැරසිලි ලෙස භාවිත කරන අවස්ථා දකින්න පුළුවන්. බවර්බර්ඩ් කුරුලු විශේෂය අනුව ඔවුන් සැරසිලි වලට දක්වන රුචිය වෙනස්වෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණක්.


නීල්යා කාරියවසම්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails