පුංචා හිටියේ ඔංචිලි පැද පැද. "පුංචෝ... පුංචෝ.. මගෙ පොඩි කොල්ලෝ" ඔන්න ආත්තම්මා පුංචව හොයනවා.
කතාකරන විදියෙන් පුංචා දැනගත්තා අත්තම්මාට මොකක් හරි වැඩක් කරවගන්න ඕනෙ වෙලා කියලා.
"ආතම්මේ, මං මිදුලේ" පුංචා උත්තර දුන්නා.
"අනේ, මගෙ හොඳ කොල්ලා වගේ ගිහිං ගුණේ සීයගෙ කොරටුවෙන් බුලත් කොළ දහයක් විතර ඉල්ලං වරෙං මයෙ පුතේ" ඔන්න අත්තම්මා වැඩේ පැවරුවා පුංචට.
"හ්ම්... හරි" එහෙම කියලා පුංචා කෙලින්ම දුවල ගියේ කන්ද පල්ලෙහාට. ඒ කියන්නෙ ගුණේ සීයගෙ ගෙදරට.
පුංචා යද්දි, මිදුලේ අඹ ගහ පාමුල ඉඳගෙන ගුණේ සීය මොකද්දෝ ලොකු වැඩක්. ළං වෙලා බලද්දි ගුණේ සීයා ඊයම් පාට පෙට්ටියක් අතෙ තියාගෙන මොන මොනවදො කරනවා.
"සීයේ, මේ මොකද්ද මේ?"
"පරණ රෑඩියො එකක් නෙ පුංචො, අවුරුදු පහළොවක් විතර පරණයි මයෙ හිතේ"
"ඉතිං මේක වැඩ කරනවද තාම?"
"ඔව්, ඔව්... නැතුව ..නැතුව"
"ඉතිං සීයේ රෙදි කෑල්ලක් අතේ තියන්ද රේඩියෝව අහන්නෙ??"
"නෑ.. නෑ..පුංචෝ. මේං මේකට හොඳහැටි දූවිලි අල්ලලා. මං මේ ඒක පිරිසිදු කොරන්ටයි ලෑස්ති වුණේ. ඉතිං පුංච මොකද මේ පැත්තේ?"
"ආතම්ම කිවුව කොරටුවෙන් බුලත් කොළ දහයක් විතර ගෙනෙන්ටයි කියලා"
"ආහ්, ඩිංගක් හිටු, මං කඩාගෙන එන්නං"
"හරි සීය කොළ කඩාගෙන එන්නකො එහෙනං. මං මේක පිරිසිදු කරන්නං සීයා එනකල්"
"අන්න ඒක නම් හොඳ වැඩක් පුංචෝ. ඕං හොඳට වැඩේ කෙරෙන්නට ඕනෑ එහෙනං ඈහ්.."
ගුණේ සීයා කොරටුව පැත්තට ගියා. පුංචා වැඩේ පටන් ගත්තා.
"අම්මෝ,හැබෑටම මේකෙ තියෙන කුණු..!! ගුණේ සීයටනම් හුඟ වෙලාවක් යයි අද මේක ඉවරකරන්න"
ඉස්කුරුප්පුව ළඟ තිබුණු නිසා ඇණ මුරිච්චි ගලවා ගන්න එක පුංචට බොහොම ලේසි වුණා.
ඉතිං ඊළඟට පුංචා දුවලා ගියේ පොඩි ලිඳට. එතනින් වතුර බාල්දියකුත් ඇදගත්තා අමාරුවෙන්. ගේ පිටිපස්සෙ ඇවිදලා පරණ බුරුසු කෑල්ලකුත් හොයා ගත්තා. ඊට පස්සෙ රේඩියොවේ කෑලි ඔක්කොම එක එක ගලවලා බුරුසුවෙන් මැදලා හොඳට හේදුවා. හෝදලා වේලෙන්න තිබ්බා. දැං වැඩේ ඉවරයි ඔන්න.
එතකොටම වාගේ ගුණේ සීයත් ආවා කොරටුවේ ඉඳලා.
"මයෙ පුතා වැඩේ අහවර ද?" ගුණේ සීය ඇහුවා පුංචගෙන්.
"ඔන්න සීයේ, දැන් සීයට වැඩේ ලේසියි. කුණු දූවිලි බිංදුවක් වත් නෑ. ආං බලන්න අර තියෙන්නෙ හොඳට දිලිසි දිලිසී…..හෙහ් …..හෙහ්" පුංචා කිවුවා.
ගුණේ සීයට බොහොම සතුටුයි.
"බොහොම පිං පුංචෝ උදව්වට!"
"ආපෝ..ඒක ඒ හැටි දෙයක් නෙමෙයි සීයේ..පිං මොකටද? ඕං එහෙනම් මං යනව" එහෙම කියලා පුංචා බුලත් ටිකත් අරගෙන පියාඹලා ගියා.
" මතක ඇතුව කෑලි ටික හොඳට වේලුණාම තිබුණු විදියටම හයිකරගන්න... සීයේ" ගෙදර යන්න කන්ද නගින අතරෙ පුංචා ආයෙත් හැරිලා ගුණේ සීයට කිවුවා.
" කෑ..කෑ.. කෑලි හයි කරන්න? හපොයි දෙයියනේ....."
කලබල වුණු ගුණේ සීයා දිව්වා අඹගහ පාමුලට.
අන්තිමේදි වතුර බාල්දියයි බුරුසුවයි,ගලවපු රේඩියොවෙ පොඩි පොඩි කෑලි ටිකයි දැක්කම තමයි පුංචාගේ පිරිසිදු කිරීමේ තරම ගුණේ සීයට හොඳ හැටි තේරුණේ.
සිත්තම- රුවන්මලී
ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook