ලොව අරුම පුදුම හැකියාවන් ඇති අය ගැන අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ඉතින් ඔන්න අද අපි මේ කියන්නට යන්නෙ තමන්ගේ හම ඇදෙන තරම හින්දා ගිනස් වාර්තාවක් පිහිටවූ අපූරු හාදයෙක් ගැන. ඔහු ‘ගැරී ටර්නර්’. ඔහු ගිනස් වාර්තාව තැබුවේ 1999 ඔක්තෝබර් 29 වෙනිදා. ඒ තමන්ගේ උදරයේ හම සෙ.මී. 15.8 ක් තරම් වූ දුරක් ඇදීමෙන්.

"මං කුඩා කාලෙදි, ඒ කියන්නෙ මට වයස අවු. 4ක් 5 ක් වෙද්දි මගේ දෙමව්පියෝ දැනගෙන හිටියා මට තියෙන්නෙ අසාමාන්‍ය සමක් බව. මගේ යාළුවෝ පවා පුරුදු වෙලා හිටියා දුවගෙන ඇවිත් මගේ සම අදින්න." ඔන්න එහෙමයි ගැරී එයාගෙ මේ විස්මිත සම ගැන කියන්නෙ. වෛද්‍යවරුන් කියන හැටියට නම් ඇත්තෙන්ම මෙය රෝගි තත්වයක්. ඔහුගේ සම සහ ශරීර අභ්‍යන්තර අවයව සහ බන්ධනි හා පෑහෙන්න ඕනෙකරන සම්බන්ධිත පටක වර්ධනයේ අක්‍රමිකතාවක් හේතු කොට ගෙන තමයි ඔහුට මේ රබර් සම හිමි වෙලා තියෙන්නෙ. මේ සම කොතරම් සුවිශේෂි ද කියනව නම් කොතරම් ප්‍රමාණයක් ඇදීමෙන් පසු වුවත් එකම රැල්ලක් හෝ නැම්මක් ඇති නොවන පරිදි යථා තත්වයට පත් වීමට හැකියාව තියෙනවා. ඔහුගේ මේ විස්මය ජනක හැකියාව නිසාම, ඔහු සුලබව ඇති වෙන අස්ථි සන්ධි පැනීම් සහ කොන්දෙ අමාරු වලින් පෙළෙනවා.

ගැරී කියන හැටියට නම් මුලින් ඔහු මේ සන්දර්ශන සියල්ලක්ම පාහේ හුදු විනෝදය පිණිස පමණක් කල බවයි. එහෙත් කල් ගත වෙද්දි ශරීර සුවතාවයේ දුෂ්කරතා නිසා ඔහු සිය රැකියාව වූ ඉදිකිරීම කටයුතු අත හැරල පූර්ණ කාලීන සංදර්ශකයෙක් බවට පත් වුණාලු. ඒ වගේම ඔහු කැමතිම අංගය ඔහුගේ ගෙලෙහි සම ඇද ඉන් කට වසා ගැනීම බවත් පවසනවා. වෛද්‍ය වරු කියන්නෙ නම් කල් ගත වෙද්දි ගැරී ගේ හම තව තව ලිහිල් සහ නම්‍යශීලි වන බවයි.ඉතින් ඔහුගේ මේ අපූරු සම්පත භාවිතයෙන් ඇදහිය නොහැකි තරමේ විස්මය ජනක ඉදිරිපත් කිරීම් තව තවත් කරන්නටයි ගැරී නම් බලාපොරොත්තු වෙන්නෙ.

සඳුන් රාජකරුණා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails