ඔන්න එකෝමත් එක කාලෙක ඈත රටක මහල්ලෙකුයි මැහැල්ලකුයි ජීවත් වුණා. දවසක්ද මහල්ලා මැහැල්ලට කතා කරලා කිව්වා,

"අනේ හාමිනේ, බොහොම බඩගිනියි මට. බනිස් ගෙඩියක් පුළුස්සලා දෙන්න" කියලා.


ඉතින් මැහැල්ල පිටි භාජනේ පතුල පිහදාලා ඒකෙ තිබුණු අන්තිම පිටි ටික අරගෙන, ඒක ගුලි කරලා පුංචි රවුම් හැඩයේ බනිස් ගෙඩියක් හදලා, ඒක ගිණි උඳුනට දමලා පිළිස්සුවා. ඊට පස්සෙ, බනිස් ගෙඩිය නිවෙන්නට කියලා ජනේලෙ අයිනෙන් තැබුවා.

පුංචි රවුම් බනිස් ගෙඩිය ජනේල කවුළුව ලඟ හුඟ වෙලාවක් නිවි නිවී ඉඳලා එක පාරටම පෙරළීගෙන පෙරලීගෙන යන්න පටන් ගත්තා. ජනේල කවුලුවෙන් පහලට පෙරලුණු බනිස් ගෙඩිය ඉස්සෙල්ලාම බංකුවටත්, බංකුවෙන් බිමටත් බිම දිගේ ගිහින් දොර ළඟටත් පෙරලීගෙන ගියා. එතැනින්, ගෙයි එළිපත්තටත්, එළිපත්තෙත් ඉස්තෝප්පුවටත්, ඉස්තෝප්පුවෙන් ගෙයි මිදුලටත්, ගෙයි මිදුලෙන් කඩුල්ල ලඟටත්, කඩුල්ලෙන් පාරටත් පෙරලීගෙන පෙරලීගෙන ගියා. ඉතිං ඔන්න ඔහොම පුංචි රවුම් බනිස් ගෙඩිය නොනැවතීම ඉදිරියට පෙරළීගෙන පෙරළීගෙන ගියා.



බනිස් ගෙඩිය පෙරළීගෙන පෙරළීගෙන යද්දි ඉස්සෙල්ලාම මුණගැහුනෙ හා හාමිව.


"ඒයි, පුංචි රවුම් බනිස් ගෙඩිය, ඔහොම ඩිංගක් නැවතියන්. මට හොඳටෝම බඩගිනියි. මං උඹව ගිලින්නයි හදන්නෙ" හා හාමි කිව්වා.

"අනේ, මගෙ හොඳ හා හාමියේ ඊට කලින් මට සිංදුවක් කියන්ට ඉඩ දෙන්න " පුංචි රවුම් බනිස් ගෙඩිය ඉල්ලා හිටිය.

"හා හොඳයි"

ඉතින් බනිස් ගෙඩිය මෙන්න මෙහෙම ගායනා කරන්න පටන්ගත්තා.



“පිටි පෙට්ටිය සූරාලා
පතුල හොඳට පිහදාලා
ගිණි උඳුනේ පුච්චාලා
හැදුවේ මං මහන්සියෙන්
හොඳට නිවෙන්නට කියලා
කවුළුව ලඟ උන්නේ මං
මැහැල්ලගෙන් පැන ආවා
මහල්ලාගෙන් පැන ආවා
හාවාගෙන් පැන යන්නෙමි
මේ මොහොතෙ මං!”


එහෙම කියලා ඔන්න ආයෙමත් පුංචි රවුම් බනිස් ගෙඩිය පෙරලෙන්නට පටන් ගත්තා.

ඔහොම පෙරළීගෙන යද්දි, ඊලඟට මුණගැහුණෙ වෘකරාළහාමිව.


"ඒයි, පුංචි රවුම් බනිස් ගෙඩිය, ඔහොම නැවතියන්. මා දැන් උඹව ගිලින්නයි හදන්නෙ" වෘකයා කිව්වා.

"අනේ, අළු වෘක රාළහාමියේ, මාව ගිලින්නට පළමුවෙන් සින්දුවක් කියන්න ඉඩ දෙනවද?"

ඔන්න එහෙම කියලා ආයෙත් අර සින්දුව කියන්ට පටන් ගත්තා මෙන්න මෙහෙම,



“පිටි පෙට්ටිය සූරාලා
පතුල හොඳට පිහදාලා
ගිණි උඳුනේ පුච්චාලා
හැදුවේ මං මහන්සියෙන්
හොඳට නිවෙන්නට කියලා
කවුළුව ලඟ උන්නේ මං
මැහැල්ලගෙන් පැන ආවා
මහල්ලාගෙන් පැන ආවා
හාවාගෙන් පැන ආවා
වෘකයගෙන් පැන යන්නෙමි
මේ මොහොතෙ මං!”


එහෙම කියලා ඔන්න ආයෙමත් පුංචි රවුම් බනිස් ගෙඩිය පෙරලෙන්නට පටන් ගත්තා.

වෘකයාගෙන් බේරිලා ආයෙත් ඔහොම පෙරලීගෙන පෙරලීගෙන යද්දි මුනගැහුණෙ වලස් පැංචෙක්.


"ඒයි, පුංචි රවුම් බනිස් ගෙඩිය ඔහොම නැවතියන්! බොහොම බඩගිනියි, මං දැං උඹව ගිලින්නයි යන්නේ" වලස් පැංචා කිව්වා.
“අනේ, අපොයි ඔබටත් බෑ !
පිටි පෙට්ටිය සූරාලා
පතුල හොඳට පිහදාලා
ගිණි උඳුනේ පුච්චාලා
හැදුවේ මං මහන්සියෙන්
හොඳට නිවෙන්නට කියලා
කවුළුව ලඟ උන්නේ මං
මැහැල්ලගෙන් පැන ආවා
මහල්ලාගෙන් පැන ආවා
හාවාගෙන් පැන ආවා
වෘකයගෙන් පැන ආවා
වලහාගෙන් පැන යන්නෙමි
මේ මොහොතෙ මං!”


එහෙම කියලා ඔන්න ආයෙමත් පුංචි රවුම් බනිස් ගෙඩිය පෙරලෙන්නට පටන් ගත්තා.



ඔහොම යද්දි ඊළඟට මුණගැහුනේ නරි හාමිනේව,

"අහා, කොහොමද පුංච් රවුම් බනිස් ගෙඩිය? ඔයා කොයිතරම් රවුම්ද? පැණිපාටද? ලස්සනද?" නරිහාමිනේ කිව්වා.

නරි හාමිනේගේ කතාවෙන් සතුටට පත් වුණු පුංචි රවුම් බනිස් ගෙඩිය නැවතිලා ආයෙමත් අර සිංදුව කියන්ට පටන් ගත්තා ඔන්න.

“පිටි පෙට්ටිය සූරාලා
පතුල හොඳට පිහදාලා
ගිණි උඳුනේ පුච්චාලා
හැදුවේ මං මහන්සියෙන්
හොඳට නිවෙන්නට කියලා
කවුළුව ලඟ උන්නේ මං
මැහැල්ලගෙන් පැන ආවා
මහල්ලාගෙන් පැන ආවා
හාවාගෙන් පැන ආවා
වෘකයගෙන් පැන ආවා
වලහාගෙනුත් පැන ආවා
නරියාගෙන් පැන යන්නෙමි
මේ මොහොතෙ මං!”

ඔන්න එහෙම කියලා පුංචි රවුම් බනිස් ගෙඩිය ආයෙමත් පෙරළෙන්නට සූදානම් වුණා.

"කොයිතරම් මිහිරි සිංදුවක්ද! අනේ, ඒක මට හොඳහැටි ඇහුණේ නෑ, උඹට පුළුවන්ද මගෙ නහය ලඟට ඇවිත් සිංදුව කියන්ට?" නරි හාමිනේ බනිස් ගෙඩියෙන් ඉල්ලා හිටියා.

නරිහාමිනේ ගේ නහය උඩට පැන්න පුංචි රවුම් බනිස් ගෙඩිය ඔන්න ආයෙමත් සිංදුව කිව්වා.

"ස්තුතියි, ඒක හැබෑම ලස්සන සිංදුවක් නොවැ!.අනේ, පුංචි රවුම් බනිස් ගෙඩිය, අන්තිම සැරෙට මගේ දිව උඩ වාඩිවෙලා ඒ සිංදුව කියාපන්" නරි හාමිනේ ඉල්ලා සිටියා පුංචි රවුම් බනිස් ගෙඩියෙන්.

ඉතිං පුංචි රවුම් බනිස් ගෙඩිය නරිහාමිනේගේ දිව උඩට පැන්නා. නරිහාමිනේ බනිස් ගෙඩිය එක කටට ගිල්ලා. ඉතින් එදා තමයි හැමෝම පුංචි රවුම් බනිස් ගෙඩිය පෙරලෙනවා දැක්ක අන්තිම දවස.

රුසියානු ජනකතාවක් ඇසුරිනි.
ඇන්දේ: වී. කුර්ෂෙව්ස්කි
සිංහලට නැගුවේ- ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails