"ඔන්න මම බිත්තරය බිඳගෙන එළියට ආවා". කුකුළු පැටියා බිත්තරෙන් එළියට ඔලුව දමාගෙන වටපිට බැලුවා.

"මොකද මේ තරම් එළිය වැටිලා තියෙන්නේ?" ඌ ඇසුවා. කුකුළු පැටියා වටපිට බලා උඩ බැලුවා. ඉරු රැස් හන්දා ඌට ඇස් දෙක පියාගන්ට සිදු වුණා. "මම දැන් දන්නවා! ඉර තමා මෙහෙම එළිය දෙන්නේ. ඉරත් මම වගේම කහ පාටයි. වෙනස මම බිම ඉන්නවා, ඉර උඩ ඉන්නවා. නුඹ මට ඉස්සෙල්ලා බිත්තරය බිඳගෙන ඉහළ නැග්ගාද?" කුකුළු පැටියා ඉර දිහා බලා ඇසුවා.


ඉර කුකුළු පැටියාට උත්තර නොදී හිනා වුණා. එතකොට ඉර අව්ව තවත් වැඩි වුණා. කුකුළු පැටියා බිත්තරයෙන් එළියට විත් පුංචි කකුල් වලින් තණ බිස්සට දුව ගියා.

තරමක් ඈත දුඹුරු පාට පුංචි ලී ගෙයක් තියෙනවා ඌ දැක්කා. ගේ ඇතුලේ කවුදෝ හුස්ම ගන්නවා. කුකුළු පැටියා ගෙට් හොටෙන් තට්ටු කලා.

"මේ ගෙදර ඉන්නේ කවුද?"

කිසිවෙක් උත්තර දුන්නේ නෑ.

ගෙයි ඇතුලේ කවුදෝ කතා කරනවා වගෙ ඇහුණා. ඊට පස්සෙ ගේ ඇතුලේ සිට ලොකු ඔළුවක් එළියට දැමු සතෙක් කතා කළා.

"නුඹ කවුද?" කුකුළු පැටියා ඇසුවා.

ලොකු ඔළුවක් ඇති සතා නිදිමතෙන් වගේ කතා කලා.

"මේ ගෙයි අයිතිකාරයා මම තමයි."

කුකුළු පැටියා පුදුම වුණා.

"අයිතිකාරයා? ගෙදර?"

"ඔව්" බලු පැටියා කිව්වා.

බලු කූඩුව අයිතිකාර බලු පැටිය දිහා බලා කුකුළු පැටියා මෙහෙම කිව්වා.

"එන්න මා සමග සෙල්ලම් කරන්න"

"නුඹ ළඟ මොනව හරි තියෙනවද?" බලු පැටියා ඇහුවා.

"නැහැ" කුකුළු පැටියා කණගාටුවෙන් කිව්වා.

"අපොයි, එහෙනම් නුඹ එක්ක සෙල්ලම් කරන්න මට බැහැ" බලු පැටියා කීවා.


"බැරි මොකද? බැරි මොකද? මේ බලන්න මට හොඳට උඩ පනින්න පුළුවනි" කියලා කුකුළු පැටියා කීවා. ඌ දෙතුන් වරක් උඩ පැන්නා.

බලු පැටියා ඈනුමක් ඇරලා බලු කූඩුවට රිංගුවා.

කුකුළු පැටියාට මතක් වුණා;

"ඔන්න බලන්න, මගෙ ලඟ තියෙන සෙල්ලම් බඩුව!" කුකුළු පැටියා බිත්තර කටුව පෙන්නුවා.

බලු පැටියා අකමැත්තෙන් කූඩුවෙන් එළියට ආවා.

"හරි සෙල්ලම් බඩුවක් තමයි! නුඹේ බිත්ත්ට කටුව මං එක පහරින් පොඩි කර දමනවා! එක පහරයි! දැක්කද?" බලු පැටියා පා පහරක් ගහලා බිත්තර කටුව පොඩි කළා.

කුකුළු පැටියාට හොඳටම දුක හිතුණා.

"මා ළඟ... මා ළඟ.."

වටේටම බොහෝ දේ තිබුණා. නිල් පාට පිට්ටනි. ලස්සන සමනලයෝ, වතුර වලවල්. ඒ වතුර වලවල් වලට ඉරු එළිය වැටී තිබෙනවා.

"මගේ ළඟ තවත් සෙල්ලම් බඩුවත් තියෙනවා." කුකුළු පැටියා ඉර පෙන්නලා කිව්වා.

බලු පැටියා හිනාවුණා.

"හා!හා!ඉර! ඉර කාටවත් අයිති නැහැ!"

"අයිති නැතිද?"

"නැහැ"

බලු කූඩුව කාගෙද?"

"මගේ!"

"නුඹගෙද?"

"මගේ!"

ඉර කාගෙද?"

"කාගෙවත් නොවේ!"

"කාගෙවත් නොවේ නම්.. ඉර කාටවත් අයිති නැතිනම්, මම අරගන්නම්!

කුකුළු පැටියා මෙහෙම කියලා ඉරු රැස් වැටී තියෙන වතුර වළක් ලඟට ගියා.

"නැවතියන්, කුකුළු පැටියා!" බලු පැටියා කෑ ගැසුවා.

" මම නුඹට මගේ කූඩුවෙන් බාගයක් දෙන්නම්. නුඹ ඉර අරගන්ට එපා. හොඳද?"

"නුඹේ බලු කූඩුවෙන් බාගයක් මට මොකටද? මට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?" කුකුළු පැටියා ඇහුවා.

"ප්‍රයෝජනය කුමක්ද? මෙන්න මේකයි. කූඩුවෙන් බාගයක් නුඹේ. නුඹ මම වගේම අයිතිකාරයෙක්!"

"හොඳයි" කුකුළු පැටියා කැමති වුණා.


බලු පැටියා කියතක් හොයාගෙන ඇවිත් කූඩුව දෙකට කැපුවා. ලී කුඩුවලින් පුසුඹක් පැතිර ගියා. කූඩුව දෙකට වෙන්වුණා. ලී කුඩු මැද වාඩි වුනු බලු පැටියා බොහොම සතුටු වුණා. උගේ දිවේත් ලී කුඩු ටිකක් තිබුණා. කුකුළු පැටියා ඇවිත් බල්ලාගේ දිවට කටින් පිම්බා. ලී කුඩු සුළඟට වීසිවෙලා දෙදෙනාටම කිඹුහුන් ගියා.

"ඔන්න කූඩුව දෙකට කැපුවා. දෙදෙනාටම ඉන්ට පුළුවනි" බලු පැටියා කීවා.


බලු පැටියාට අයිති කෑල්ලෙ බලු පැටියාත්, කුකුළු පැටියාට අයිති කෑල්ලෙ කුකුළු පැටියාත් හිටියා. බලු පැටියා ඔළුව හොලවලා බොහොම සතුටින් මෙහෙම කීවා.

"අපි හොඳ වැඩක් කළා නෙවද?"

"ඔව්" කුකුලු පැටියා උත්තර දුන්නා. ඌට හීතල දැනුනු හන්දා ඌ කූඩුවේ මුල්ලකට වෙලා උණුහුම් වෙන්ට පටන් ගත්තා. එහෙත් ඌට කොහොමටවත් උනුහුම් වෙන්ට බැහැ.

ඉර වළාකුලකට මුවා වෙලා නොපෙනී ගියා. හැම දෙයක්ම කළු ගැහිලා අවලස්සන වුනා. සීත හුලං හමා ගියා. වැස්ස වහින්ට පටන් ගත්තා.

"කුකුළු පැටියො!" බලු පැටියා කතා කළා.

"මොකද?" කුකුළු පැටියා හීන් හඬින් ඇහුවා.

"නුඹ වරෙන් මගේ ගෙදරට, මම එන්නම් නුඹේ ගෙදරට"

"ඉස්සෙල්ල එන්නෙ කවුද?"

"කුකුළු පැටියා මගේ ගෙදරට එන්න"

"හොඳයි"

කුකුලු පැටියා බලු පැටියා ළඟට ගියා. බලු පැටියා ළඟත් සීතලයි. උණුහුම් වෙන්ට බැහැ. බලු පැටියා ළඟට තුරුළු වුණු කුකුළු පැටියා කළු පාට වතුර වල දිහා බැලුවා. බලු පැටියාට හොඳටම් සීතල නිසා ඌ ඉක්කා ගහන්ට පටන් ගත්තා.

"නුඹ දන්නවද, මට හොඳ වැඩක් කල්පනා වුනා" කුකුලු පැටියා කීවා.

"මොකද්ද?"

"අපි දෙදෙනාම ආයෙමත් මේ කූඩුව එකට එක් කරමු. අපි දෙන්නම එකම කූඩුවේ වාසය කරමු. කුකුළු පැටියයි බලු පැටියයි යාළු වෙලා ඉඳිමු"


දෙදෙනාම බොහොම සතුටු වෙලා හිනා වෙන්ට පටන් ගත්තා.

වළාකුළ පාවෙලා ගියාට පස්සෙ ඉර බිම බැලුවා. පුංචි බලු කූඩුවේ ඉඳගෙන බලු පැටියයි, කුකුළු පැටියයි බලන සැටි ඉර දැක්කා. ඉර වටේට පායලා බටහිරින් බැහැලා ගියා.

"අද ඉර බැහැලා ගියාට ගෙට ආයෙමත් පායාවි. ඔව්. ඉර හැමදාම පායනවා. දැන් ඉර අපි දෙදෙනාටම අයිතියි" කියලා බලු පැටවා කීවා.

දෙදෙනාම බොහොම සතුටු වුණා.

-යූරි අවෙරින්කොව්-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails