5. දෙවන මරණය

සොර මුල දිනක් කිරිහාමිත් ගෙන ගෙයක් බිඳින්නට ගියෝය. සොරු ගෙයි සන්ධි බල බිඳිති. කිරිහාමි ඔවුනට බැණ වදී. " තොප වගේ නපුරු අය තවත් ලෝකේ ඇද්ද? අනේ, කොතරම් වියදම් කොට, කොතරම් අමාරුවෙන් තනාපු ගෙයක්ද? බිඳිනවා නම් ගෙදර මිනිසුන් ගෙන් අසා බින්දා නම් නරකද?"

කිරිහාමි නවතා ගත නොහී සොරෙක් අතෙහි වූ යකඩ උල ඔසවා, "කට වසාගෙන නොසිටියහොත් මෙයින් ඇණ මෙතනම මරම්..." යි තරවටු කළේය. "තොපට හොඳ නම් බිඳිවු. මේ පවු කොට මට නරකාදි යන්නට බෑ..." යි කිරිහාමි ගෙදර කුස්සියට වැදුණේය.

කිරිහාමිට එදා බොහෝම බඩගිනි වීය. එහෙයින් දුම අතගා බැලීය.එහි මුං ඇට ටිකක් තිබී ඔහුට අසුවීය. හේ එය ගෙන ඇතිලියජ ලා ලිප තබා පිම්බේය. එයින් අලු යටව තිබුණු ගිහි අඟුරු මතු වීය. ලිප වටා තිබුණු සිහින් දර කැබලි හා කොළපු කැබැල්ලක් ද එක්කොට නැවතත් පිම්බේය. එයින් ගිණි ඇවිළුණේය.

කිරිහාමි මුං ඇට ටික බදින්නට වන්නේය. ලිප ළඟ ම ඉතා නාකි ගැහැනියක් උඩට කට ඇරගෙන නිදයි. කිරිහාමි බැදෙන මුං ඇට ටිකක් පොල් කටු හැන්දෙන් ගෙන, " අනේ ආතේ... මේ මුං ඇට බැදුණා ඇද්දැයි බලන්නැයි" කියමින් ඒ ගැහැණියගේ ලොඹු කටේ ලීය. අසරණ මැහැල්ල මර හඬ දෙමින් නැගිට දිව්වාය. ගෙදර මිනිස්සු පිබිද අවුත් කිරිහාමි අල්ලා ගසෙක බැඳ අතින් පයින් පහර දෙන්නට වන්හ.

"අනේ, මා මරන්නට එපා. එක වරක් මා මැරී ආයෙත් යන්තම් පණ ගත්තේ...." යි කිරිහාමි කන්නළවු කරන්නට වීය. "තා මෙහි සොරකමට ආවාදැයි" මිනිස්සු ඔහුට තමන්ගේ අත පයේ සවියම දක්වති. "මා හොර කමට ආවේ නෑ. සොරුන් සමග තමා ආවේ. උන් ගෙය බිඳින කළ මා උන්ට කීවා, ගේ මිඳින්නට එපා" ය කියා. බිඳිතත් ගෙදර මිනිස්සුන්ගෙන් අසා බිඳින්නෙයි කීවා. උන් ඇහුවේ නෑ. ඉතින් මා කුස්සියට ගොස් බඩ ගින්නට මුං ඇට ටිකක් බැද, බැදුණා ඇද්දැයි බලන්නට මේ ආතා ගේ කටේ ටිකක් දැමුවා. ආතාට මුං ඇට සියල්ලම නුදුන්නාට දෝ මර හඬ ලෑවා..." යි කිරි හාමි සියළු තොරතුරු කීයේය.


ගෙදර මිනිස්සු ඔහුගේ කථාව අසා, සිනා සී, ඔහු ගෙදරම නවතා ගත්තෝය. හේ ද ගෙදර ඉතා කීකරුව වැඩ පල කළේය.

දිනක් පනම් අටක් දී වලන් ගෙනෙන්නට කිරි හාමි යවන ලදී. කිරි හාමි කඩයට ගොස් වලන් ඉල්වීය. කඩ කාරයා වලන් ගොඩක් පෙන්වා, "එකක් තුට්ටු දහය" යි කීයේය. කිරි හාමි කිපුණේය. "මා නුපුරුදු නිසා රවටන්නට සිතුවාද? මේ වලඳ තුට්ටු දහයක්...? හැබෑවටම මෙය තුට්ටු දහයක් දී ගන්නා අයෙක් ඇද්ද? කැමති නම් මෙය පණම් අටකට දෙනවා. මා ළඟ ඇත්තේ එපමණයි". කිරි හාමි මෙසෙ කී කල, "එහෙනම් ඇරගෙන යනවා. ඉතින් එපමණ කියන කල නොදී පුළුවන්දැයි" කී කඩකාරය පණම් අට ගෙන වලඳ දුන්නේය.

කිරිහාමි වලඳත් රැගෙන ගෙදර එන අතර මග වැස්සක් ආයේය. එයින් හේ හොඳටම තෙමුණේය. ඇඟ සීතල විය. ගෙ මිදුලට එන විට මැරෙන දවස මතක් වී, වහා හිසත් පයත් අතගා බැලීය. දෙපළක ම එක සැටි සීතලය. "මා මළා, මා මළා..." යි හඳ නගමින් කිරි හාමි එතැනම පෙරලුණේය. වලඳ කුඩුව ගියේය. ගෙදර මිනිස්සු වහා දිව ආහ.

"නැගිටින් කිරි හාමි... නැගිටින්" යි මිනිස්සු කීවෝය. "අනේ මා මළා. හාමුදුරුවන් දිවැසින් බලා කීවේ, හිසත් පයත් එක සැටි සීතල වූදා මා මැරෙන බව. අනේ ඉතින් මා කුණු වන්නට නෑර ගෙන ගොස් වළලන්න..." යි කියමින් කිරිහාමි කෙඳිරි ගෑවේය. ඇස් පියා ගත්තේය. කට තද කැරැගත්තේය. දෑත ද දෙපයද එක් කළේය. මළාක් මෙන් ම හොත්තේය.

ගෙදර මිනිස්සු බියට පැමිණියෝය. මේ මරණයට අප හසු වුණොත් ගැළැවෙන්නේ කෙසේදැයි ඔහු සිතූහ."මේ බව එළි වන්නට කලින් මොහු කැලෑවට ගෙන ගොස් දමමු" යි එකෙක් කීය. සියල්ලෝම එයට කැමැති වූහ. එහෙයින් සතර දෙනෙක් කිරිහාමි ඔසවා ගෙන ගොස් කැලෑවෙහි ලා ආවෝය.

ඊළඟට....
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails