හූඟක් ඉස්සර කාලේ බොහෝම ඈත එපිට රටක එක මහ රජ කෙනෙක් ජීවත් වුනා. මේ මහ රජතුමා ලෝකයේ ඇති අන් හැම දෙයටම වැඩියෙන් අගය කළේ අලුත් ඇඳුම් ඇඳීමටයි.

තමන්ගේ යටත් වැසියන්ටත් වැඩියෙන්, තමන්ගේ හමුදා සෙබළුන්ටත් වැඩියෙන්, පවුලේ උදවියටත් වැඩියෙන් තමන් අඳින ලස්සන අලුත් ඇඳුම් ගැන මේ මහරජතුමා පුදුම සැලකිල්ලක් දැක්වූවා.

නොබෝ දිනකින්ම තම රාජධානියේ මහා උත්සවයක් පැවැත්වෙන බව දැනුම් දී තිබුණා. ඉතින් මේ උත්සවයේ පෙරහැරට අඳින අලුත් ඇඳුම ගැන විතරයි මේ මහරජතුමා කල්පනා කලේ.

මෙතෙක් මසා ඇති ඉස්තරම් වූත්, බෙහෙවින් අලංකාරවූත් ඇඳුම සොයා එය ඇඳගෙන උත්සවයට සහභාගි වියයුතු යයි මහරජතුමා තීරණය කළා. එබඳු ඇඳුමක් වෙනුවෙන් ඕනෑම ප්රඑමාණයක මුදලක් වියදම් කිරීමට වුවත් තමන් කැමති බව මහ රජතුමා පල කළා. තවත් වටිනා වස්තු සම්භාරයක් වුවත් දීමට කැමති බව කියා සිටියා.

එම දේශයේ සිටි සෑම ඇඳුම් මසන්නෙක්ම මහරජ තුමාගේ මාලිගාවට පැමිණ පෙළ ගැසී සිටියේ මෙම කාර්යයට තමන්ව තෝරා ගනීවිය යන අදහසින්. ඉතින් ඇඳුම් මසන්නෝ පෙළ ගැසී මහරජතුමා හමිවීමට ගියා. එසේ හමුවී තමන් විසින් ගෙන එන ලද නොයෙකුත් වර්ගයේ ඇඳුම් මෝස්තර හා රෙදිපිළි වර්ග මහරජතුමාට පෙන්නුවා. ඒ ඇඳුම් මහන්නත් ලඟ විල්ලුද පටපිලි සහ රන්නූල් ආදිය තිබුණා. එහෙත් තමන් හිතන විදිහේ අලුත්ම ඇඳුමක් මසා දිය හැකි ඇඳුම් මහන්නෙකු තෝරා ගැනීමට මහරජතුමාට පුලුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා තව සතියකින් පමණ තීරණයක් ගෙන දන්වා යවන බව මහරජතුමා කියා සිටියා.

සති අන්තය ලඟාවෙත්ම රජවාසල කවටයා වෙනත් පළාතක ඇඳුම් මහන්නන් දෙදෙනෙකු කැටුව රජවාසලට පැමිණියා. විශේෂ මෝස්තරයකට අනුව අපූරු ආකාරයේ අලුත් පන්නයේ ඇඳුමක් මසාදීමට පුලුවන්කම තමන්ට ඇති බව ඒ ආගන්තුක ඇඳුම් මසන්නන් දෙදෙනා මහරජතුමාට කියා සිටියා.

සැබැවින්ම ඒ මිනිසුන් දෙදෙනා සැබෑ ඇඳුම් මහන්නන් නොවේ. ඒ මිනිසුන් දෙදෙනා වංචාකාරයෝ. ඔවුන්ට වුවමනා කලේ මහරජතුමා රවටා රන් රිදී සහ වෙනත් වස්තු සම්භාරයක් ඩැහැගෙන යාමටයි. ඉතින් ලෝකයේ අසමාන වර්ගයේ රෙදිපිලි ගෙන අලංකාර ඇඳුම් කට්ටලයක් මසා දෙන බවට ඒ මිනිසුන් දෙදෙනා පොරොන්දුවුනා. ඒ ඇඳුම කොතරම් අපූරු ඇඳුමක්ද කිවහොත් එහි කිසියම් විජ්ජා බලයක් ඇතැයි ද ඇඳුම් මහන්නන් දෙදෙනා දන්වා සිටියා. ඒ විජ්ජා බලයෙන් යුතු ඇඳුම් පෙනෙන්නේ හොඳින් වැඩ කටයුතු කරන නුවණක්කාර මිනිසුන්ට පමණක් බවත් ඔවුන් දෙදෙනා මහරජතුමාට කියාසිටියා.

මහරජතුමා සිය දියණියන් ඇමතිවරුන් දෙදෙනෙකුත් සමගම ඇඳුම් මසන්නන් සිටිය කාමරයට ගමන් කලා. වංචාකාර මිනිසුන් දෙදෙනා හිස් නූල් කටින රෝදයක් කරකවමින් සිටියා. ඇමතිවරුන් දෙදෙනාට කිසිම ඇඳුමක් පෙනුනේ නැහැ. එහෙත් තමන් මෝඩයන් යයි හැඟවීමට අකමැති වූ ඇමතිවරු මෙහෙම කිව්වා.

"අහා, කොච්චර ලස්සන ඇඳුමක්ද?"

මහරජතුමාත් කිසිම ඇඳුමක් දුටුවේ නැහැ. එහෙත් දුටු කෙනෙකු සේ මෙහෙම කිව්වා.

"ෂා, හරිම අපූරු ඇඳුමක් නොවැ, මට නම් මේ අලුත් ඇඳුම මහල ඉවර වෙනතුරු ඉවසිල්ලක් නැහැ."

අර ඇඳුම් මහන්නන් දෙදෙනා විජ්ජා බලයක් ඇතැයි කියූ පුදුම ඇඳුමක් මහන බව බොරුවට මවා පෑවා. දින පතාම වාගේ ඔවුන්ට මහරජතුමාගේ රන් රිදී හා තෑගි බෝග වැඩි වැඩියෙන් ලැබුණා.දිනපතාම මහරජතුමාත්, මැති ඇමතිවරුත් මෙම ඇඳුම් මහන්නන් දෙදෙනා බොරුවට ඇඳුම් මහන තැනට පැමිණ බලාගෙන සිටියා. ඒ කිසිම කෙනෙකුට විජ්ජා බලයෙන් යුතු පුදුම ඇඳුම පෙනුනේ නැහැ. එහෙත් ඒ බව කීවොත් තමන් මෝඩයෙකු ලෙස සලකතැයි යන බිය නිසා, ලෝකයේ ඉස්තරම්ම ඇඳුම පිළියෙල වන බව ඒ අය මහරජතුමාට වාර්තා කලා.

රාජකීය මහා උත්සව දිනය උදා වුණා. දැන් ඉතින් අලුත් ඇඳුම මසා පිලියෙල කොට අවසන් බව ඇඳුම් මසන්නන් දෙදෙනා රජතුමාට දන්වා සිටියා. මහරජතුමා එම ඇඳුම ඇඳගැනීමට සිතා යට ඇඳුම පමණක් ඇඳගෙන ඔවුන් සිටි තැනට පැමිණ සිට ගත්තා. අර මිනිසුන් දෙදෙනාත් මහරජතුමාට අලුත් ඇඳුමක් අන්දවන බව බොරුවට මවා පෑවා. ඔවුන් දෙදෙනා මුලින්ම මහරජතුමාගේ බඳ වටා පටියක් බඳින බව මවා පෑවා. ඉන්පසු උරිස්ස පැත්තට අත යවා අත් කොට කබායක් අන්දවන බව පෙන්නුම් කලා. ඊටත් පසුව ඔවුන් දෙදෙනා මඳක් අඩිය පස්සට ගෙන,

"අහා බලන්න දැන් කොච්චර අපූරු ඇඳුමක්ද මහරජතුමා ඇඳගෙන ඉන්නෙ." යි කීවා. එය අසා සිටි මහරජතුමාගේ ඇමතිවරු උස් හඬින් මෙහෙම කිව්වා.

"ෂහ්..කොයිතරම් අලංකාර ඇඬුමක්ද?"

"බොහොම ඉස්තරම් අලුත් ඇඳුමක්" කියූ මහරජතුමා, " හොඳයි, දැන් ඉතින් පෙරහැර පටන් ගත්තොත් හොඳයි" යි අණ දුන්නා.

මහරජතුමාගේ පවුලේ උදවියත් මැති ඇමතිවරුත් පෙරහැරේ ගමන් කිරීමට පෙළගැසුණා.

මහරජතුමා සිය අශ්වයා පිට නගිනවාත් සමගම, අර වංචාකාර මිනිසුන් දෙදෙනා සහ කවටයා රන් රිදී සහ වෙනත් වස්තු පොදි බැඳගත්තා. ඉන්පසුව හැකිතරම් වේගයෙන් නගර මැදින් පැන ගිහින් රාජධානියෙන් පිට වුණා.

නගරයේ දහස් ගනන් මිනිසුන් එක් රොක් වී පෙරහැර බලා සිටියා. වීදි දෙපස ගොඩනැගිලි අලංකාර ලෙස කොඩිවැල් වලින් සරසා තිබුණා. කඩ සාප්පු හා පාසල් සියල්ල වසා දමා තිබුණේ එදින කොයිකාටත් මහ රජතුමා පෙරහැරේ ගමන් ගන්නා හැටි බලාගැනීම සඳහායි.

මහරජතුමා ඉතා ආඩම්බර ලීලාවෙන් අශ්වයා පිටට නැග හිනාවෙමින්, ජනයාට අතවනමින් ගමන් කළා. මහරජතුමා අලුත් ඇඳුමක් ඇඳසිටි බවක් කිසිම කෙනෙකුට පෙනුනේ නැහැ.එහෙත් හැම දෙනාටම වුවමනා කළේ තමන් රජතුමා හමුවේ නුවණක්කාර අය බව පෙන්වීමයි. ඒ නිසා රජතුමා අලංකාර ඇඳුමක් ඇඳ සිටින බව හැම කෙනෙකුම වාගේ කියා සිටියා.

මේ අතර රැස්ව හුන් පිරිස අතරින් එක් කුඩා ළමයෙක් ඉදිරියට පැන්නා.

"අය්යෝ, මහ රජ්ජුරුවෝ ඇඳගෙන ඉන්නේ යට ඇඳුමක් විතරයි. කිසිම අලුත් ඇඳුමක් ඇඳලා නැහැ."

කුඩා පිරිමි ළමයා හඬ නැගුවා.

"මේ ළමයා කියන දේ කවුරුත් ගනන් ගන්ට එපා" යි ළමයාගේ තාත්තා කීවා. එහෙත් කුඩා පිරිමි ළමයා කී දේ හුඟ දෙනෙකුට ඇහුනා. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ඇති තතු හෙලි කලා.ඒ පුද්ගලයා තවත් කෙනෙකුට එයම කීවා. අන්තිමට හැමකෙනෙක්ම පිලිගත්තා මහරජතුමා කිසිම අලුත් ඇඳුමක් ඇඳගෙන නොසිටින විත්තිය.
කුඩා පිරිමි ළමයා කෑ ගසා කියූ දේ මහ රජ්ජුරුවන්ටද ඇහුණා.

ඒ ළමයා කියූ දේ ඇත්ත බව මහ රජ්ජුරුවන්ට ද වැටහුනා.

ලෝකයේ ඇති ඉතාමත්ම වැදගත් දේ අලුත් ඇඳුම් පමණක් නොවන බවත් තමන්ගේ මෝඩකම හා හිස්කම නිසා තමන් සන්තකව තිබූ වටිනා රන් රිදී ඇතුළු වස්තු සම්භාරය නැති වුනු බවත් එතැන් පටන් මහරජතුමා වටහා ගත්තා.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරඟන කතා එක්කොට සුනන්ද මහේන්ද්‍ර අනුවාදය කල "කෝකිලාව සහ වෙනත් කතා" ඇසුරිනි.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails