1. විලීගේ චාරිකාව

අම්මයි තාත්තයි ජෙනී යි හෙන්රියි හිටියේ දොඩම් මල් වීදියේ අංක 03 ගෙදර. හෙන්රි ගේ වයස අවුරුදු අටයි. එයාට හිටියා හුරතල් මී පැටියෙක්. මී පැටියා හිටියේ හෙන්රි ගෙ නිදන කාමරෙ තිබුණු පුංචි කූඩුවක. ජෙනීට වයස අවුරුදු පහයි. ජෙනීට හුරතලෙක් හිටියේ නෑ. ඒත් එයා කැමති වුණා එයාට ත් පුංචි මී පැටියෙක් වත් හිටිය නම් කියලා.

විලී පදිංචි වෙලා හිටියෙත් දොඩම් මල් වීදියේ අංක 03 ගෙදරමයි. එයාගෙ ගෙදරට ඇතුලු වෙන දොරටුව කුස්සියේ බිත්තියෙ හදපු පුංචි ගුලක්. පිටිපස්සෙ දොර තිබුණේ ගබඩා කාමරේට.විලීටයි එයාගේ පවුලෙ අයටයි පදිංචියට ඉතාම සුදුසු තැන එතන. මොකද කෑමට රසවත් දේවල් හුඟක් එතන තිබුණු නිසා.

විලී හිටියේ තනියෙන් නං නෙමෙයි. අම්මයි තාත්තයි නංගිලායි මල්ලිලායි එක්කයි. එයාට නංගිලා මල්ලිලා ගොඩාක් හිටියා. ගණනින් මෙච්චරයි කියලා විලීට කවදාවත් කියන්න බැරි තරමට. සමහර දවස් වලට එයා හිතුවා නව දෙනයි කියලා. තවත් සමහර දවසක දහ දෙනයි කියලා. විලීට කවදාවක් හොඳට ගණින්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඉලක්කම් එකතු කිරීමටත් එයා හොඳටෝම දුර්වලයි. හැබැයි කන්න නම් විලී තරම් දක්ෂ කෙනෙක් කොහෙවත් හිටියේ නෑ.

විලී මහතයි. මහතයි කියන්නෙ හුඟක් මහතයි.ඒ නිසා එයාව හරියටම පෙනුනෙ පුළුං වලින් හදාපු බෝලයක් වගෙයි.

"පුංචි මීයෙක් මේ තරම් බංඩියට ඉන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි" විලීගේ තාත්තා කිව්වා.

"මොකක් ?" ඔන්න විලී ඇහුවා. මොකද ඒ වෙලාවෙත් විලී රසම රස විස්කෝතු කුඩු ගැන හීනයක් දකිමින් හිටියේ.

" ඔයා මහත වැඩියි. පරිස්සම් වුණේ නැත්තං හෙම ඔන්න දවසක තේරෙයි කොහේ හරි තැනක හිරවෙච්ච වෙලාවක" විලීගේ අම්මා කිව්වා.

හැම උදේකම පුංචි මී පැටවුන්ට ඉගෙන ගන්ට දේවල් තිබුණා. එක දවසක් තාත්තා හිතුවා මී පුංචලාට ඉලක්කම් එකතු කරන විදිය කියා දෙන්න.

"හා , දැන් හැමෝම ඇවිත් ඉඳගන්න. අද අපි ඉගෙන ගන්න යන්නෙ ඉලක්කම් එකතු කරන විදිය ගැන" තාත්තා කිව්වා.

"මොකක්?" ඔන්න පුරුදු විදියට විලී ඇහුවා. මොකද ඒ වෙලාවෙ එයා සීතලම සීතල රසම රස අයිස් පලමක් හීනෙන් දැක දැක හිටියේ.

"එකතු කිරීම" අම්මා කිව්වා.

මී පැංචලා සේරෝම හොඳ දරුවො වගේ එක පෙළට වාඩි වෙලා ගණන් ලියන්නත් එකතු කරන්නත් පටන් ගත්තා. හැබැයි එක්කෙනෙක් හැර. ඒ තමයි විලී. පින්තූර එක එක විලීගේ ඔලුව ඇතුලෙ පාවෙන්න පටන් ගත්තා.

ඉඟුරු විස්කෝතු 2 යි +චොකලට් විස්කෝතු 3 යි + චොකලට් කුකීස් 7 යි+..... විලීට සිහිය නැතිවෙන්න වගේ ආවා.

"මට බඩගිනියි වගේ" ඔන්න ඉතිං විලී හිතුවා.

ඊටපස්සෙ විලී එයාගේ පැන්සලයි කොළයයි බිමින් තියලා හෙමින් සැරේ කාටත් නොදැනීම පිටිපස්සෙ දොරෙන් පිට වුණා.

ඊලඟට……….
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails