ඔන්න එකෝමත් එක කාලෙක දුර ඈත රටක හිටියා සාර් රාජකෙනෙක්. එයාට හිටියා අවිවාහක පුත්තු තුන්දෙනෙක්. ඉතින් මේ සාර් රජතුමාට ඕනෑ කලා එයාගේ පුතාලා තුන්දෙනාම විවාහ වෙනවා දකින්න. ඒ හන්දා එක දවසක් මේ රජ්ජුරුවෝ එයාගේ පුතාලා තුන්දෙනාව ළඟට කැඳවලා මෙන්න මෙහෙම කිවුවා.

”නුඹලා තුන්දෙනාම මේ රජමාළිගාවෙන් එපිට තියෙන එළිමහනට ගිහින් ඊතලය බැගින් අහසට මුදාහරින්න ඕනෑ. ඉන්පස්සෙ, මේ ඊතල ඉගිල්ලිලා ගිහින් මිබ වැටුන තැන ගමේ කෙල්ලක් නුඹලා විවාහයට තෝරා ගත යුතුයි”

තමන්ගේ පිය රජතුමා කියූ විදියටම කුමාරවරු තුන්දෙනා රජමාළිගාවට එපිටින් තියන භූමියට ගිහිල්ලා තමන්ගෙ උපරිම ශක්තිය යොදවලා ඊතල තුනක් මුදා හැරියා. පළවෙනි පුතාගේ ඊතලය ගිහින් වැටුණෙ වංශක්කාරයෙකුගේ ගෙමිදුලට. වංශක්කාරයගේ දුව ඒ ඊතලය අහුලා ගත්තා. දෙවැනි පුතාගේ ඊතලය ගිහින් වැටුණේ ධනවත් වෙළෙන්දෙකුගේ මිදුලට. වෙළෙන්දාගේ දුව විගහින් ඇවිත් ඒ හීය අහුල ගත්තා. බාලම පුතා, ඉවාන් කුමාරයාගේ ඊතලය වැටුණෙ මඩ වගුරකට. එයා ඊතලය හොයාගෙන මඩ වගුරෙ ඇවිදින අතරෙ එයා දැක්කා ඊතලය කටින් ගත්ත ගෙම්බියක්. තාත්තාගේ අණට කීකරු පුතෙක් වුණු ඉවාන්කුමාරයා තාත්තා කියූ ලෙසට ගෙම්බිය හා විවාහ වුණා. ඉතින් ඔන්න ඔය විදියට කුමාරවරු තුන්දෙනා ම විවාහ වෙලා තම තමන්ගෙ මනාලියෝ මාළිගාවට එක්ක ගෙන ආවා.

ඉවාන් කුමාරයයි එයාගෙ ගෙඹි- මනාලියයි ගැන නොයෙක් කතා කියමින් කොච්චර විහිළු කලත් වැඩිමහළු කුමාරවරු දෙන්නට හති වැටූනේ නැහැ. ඒ ගැන ඉවාන් කුමාරයා උන්නෙ හැම වෙලාවෙම කණස්සල්ලෙන්. ඒ ත් ඉවාන් කුමාරයා හැම වෙලාවෙම යුතුකම් දන්න යහපත් කෙනෙක් හන්දා ගෙම්බියත් රජ කුමරියක් විදියට සලකලා එයාට හුඟක් ආදරෙන් කරුණාවෙන් සංග්‍රහ කළා. මොන දේ උනත් ඇයට කතා කරන්න පුළුවන්. ඉවාන් කුමාරයා ඒ ගැන සතුටු වුනා.

එක දවසක් සාර් රජතුමා එයා පුතුන් තිදෙනාට කතා කරලා

” හෙට උදෑසන වෙද්දි නුඹලාගේ බිරින්දෑවරු තුන්දෙනාම මට ඉතාම අලංකාර කමිසය බැගින් මසාගෙන එන්ට ඕනෑ” යි කිවුවා.

වැඩිමහල් කුමාරවරු දෙන්නා සාර් රජතුමාගේ අණ පිළිබඳව තමන්ගේ බිරින්දෑවරුන්ට කියන්ට යද්දි ඉවාන් කුමාරය් දුකෙන් යන්ට ගියා. ඉවාන් කුමාරයා දුකෙන් ඉන්න බව දැක්ක ගෙම්බිය ඔහුගෙන් ඇහුවා දුක්වෙන්නට තරම් කාරණාව මොකද්ද කියලා. එතකොට ඉවාන් කුමාරයා කිවුවා,

”හෙට උදේ වෙද්දි මගේ තාත්තා වෙනුවෙන් ලස්සනම ලස්සන කමිසයක් ඔබ මසන්නට ඕනෑ ලූ”

”අපොයි, ඒ හැටි කණගාටු වෙන්න එපා ඉවාන් කුමරුවෙනි”

”ඔබ දැන් නින්දට යා යුතුයි. රාත්‍රියට වඩා උදෑසන නුවණක්කාරයි” ගෙම්බිය පිළිතුරු දුන්නා.

මැදියම් රාත්‍රියේ මාළිගාවෙ සියල්ලන්ම නින්දට වැටුණට පස්සේ එකපාරටම ගෙම්බිය ලස්සන කුමාරිකාවක් වුණා. එයාගෙ නම නුවණක්කාර වසීලීසා. එයා තමන්ගේ අත් පොඩි දෙක එකතු කරලා අත්පුඩියක් ගහලා මෙන්න මෙහෙම කිවුවා.

”මෙහෙකරුවෙනි මෙහාට එන්න. හරියටම මගේ තාත්තාට තිබුණා වගේ ඉතාම අලංකාර කමිසක් මට මසා දෙන්න”

පහුවෙනිදා උදෑසනින්ම ඉවාන් කුමාරයා අවදි වුණේ ඉතාම ලස්සන කමිසයක් පුටුවක් උඩ තියෙනවා දකින්න. ඒ වගේම ලස්සන කමිසක් තියෙනවා දැකලා කුමාරයා හුඟක් සන්තෝස වෙලා ඒක අරගෙන විගහින් මාළිගාවට දුවලා ගියා. තම ලේලියන් විසින් මසන ලද කමිස තුනම පරීක්ෂා කරලා බැලූව රජතුමා ඉවාන් කුමාරයා ගෙනාපු කමිසය ඉතා ආදරයෙන් තෝරා ගත්තා.

දින කීපයකට පස්සේ සාර් රජතුමා ආයෙත් සැරයක් එයාගේ පුතුන් තිදෙනා කැඳවලා කිවුවා

” නුඹලාගේ බිරින්දෑවරුන්ට කියපල්ලා හෙට උදේට මට රසම රස පාන් ගෙඩිය බැගින් පුළුස්සන්ට කියලා”

කලින් සිදු වුණා වගේම සාර් රජතුමා කැමතිම විදියේ රසවත් පාන් පුළුස්සන්ට ගෙම්බියට හැකි වුණා. ඊට පස්සෙ රජතුමා ආයෙත් එයාගේ පුතාලා තුන්දෙනාට කතා කරලා කිවුවා

”හෙට මම මාළිගාවේ සාදයක් පවත්වන්ට සූදානම් කරනවා. නුඹලා සමග නුඹලාගෙ බිරින්දෑ වරු තිබෙන වටිනාම අලංකාරම ඇඳුමින් සැරසිලා සාදයට එන්ට ඕනෑ”

ගෙදර ගිය ඉවාන් කුමාරයා ගෙම්බියට මේ බව කිවුවා.

”කණගාටු වෙන්න එපා කුමරුවෙණි. ඔබ තනිව සාදයට යා යුතුයි. මා පසුව එන්නම්” යි ගෙම්බිය පිළිතුරු දුන්නා.

ඉතින් ගෙම්බිය කියපු විදියටම ඉවාන් කුමාරයා තනියෙන් සාදයට ගියා. ඒ බව දැක්ක එයා ගෙ වැඩිමහල් කුමාරයෝ දෙන්නා නොයෙක් අපහාස කතා කියමින් විහිළු කරන්ට පටන් ගත්තා.

”කෝ අර ගෙඹි නෝනා”

එක පාරටම ගිගුරුම් හඩක් බඳු ශබ්දයක් මාළිගාව වෙත ළඟා වුණා. එසැණින් ඇතුළු වෙන දොරටුව ලඟින් මතු වුනේ රන් ආලේපිත අස්ස කරත්තයක්. එකපාරටම දොර විවර වෙලා නුවණක්කාර වසීලීසා එතැන පෙනී හිටියා. අමුත්තන් සියල්ලන්ම පුදුමයට පත් කරමින් වසීලීසා කුමරිය ඉවාන් කුමාරයාගෙ අතින් අල්ලාගෙන සාදය වෙත පා නගන්ට වුණා.

රාත්‍රි සාදයේ ආහාර සඳහා සකසා තිබූ පිළිස්සු හංස මස් වලින් ස්වල්පයක් කෑ වසිලීසා ඉන් කටු කිහිපයක් ගෙන තමන්ගේ හැට්ට අත අස්සේ සඟවා ගත්තා. ඊළඟට වයින් එයිනුත් ස්වල්පයක් පමණක් පානය කල ඈ ඉතිරි වයින් සියල්ල හැට්ටයේ අනෙක් අතට වක්කරගත්තා. මේ බව දැක්ක අනෙක් කුමාරව‍රුන් ගේ බිරින්දෑ වරු වසීලීසා කළ දේම කරන්ට පටන් ගත්තා. ඔන්න ආහාර ගැනීමෙන් පසු සියල්ලෝම නටන්ට පටන් ගත්තා. ඉවාන් කුමාරයාගේ අතින් අල්ලා ගෙන නටන අතරේ වසිලීසා එයාගෙ එක් අතක් ගසා දැමුවා. ඒ එක්කම ලස්සනම ලස්සන පොකුණක් මතු වුණා. ඊලඟට එයාගෙ අනෙක් අතත් ගැසුවා. එතකොට පොකුණේ පීනන සුදුම සුදු හංසයෝ කීපදෙනෙක් මැවුණා. උත්සවයට පැමිණි සිටි සියල්ලෝත් පිය රජතුමාත් බොහෝම ප්‍රීතියට පත්වුණා නුවණක්කාර වසිලීසාගෙ හැකියාව න් දැකලා. මේක බලාගෙන හිටපු වැඩිමහල් කුමාරවරුන්ගේ බිරින්දෑවරුත් ඒ විදියටම තමන් ගේ අත් ගසා දැමුවා. පොකුණක් සහ හංසයින් මැවෙනවා වෙනුවට නටමින් සිටින බිම මත වයින් සහ මස් කටු සියල්ල විසිරී ගියා.

මේ තරම් ලස්සන නුවණක්කාර බිරිඳක් තමාට ලැබුණු එක ගැන ඉවාන් කුමාරයා හුඟක් සතුටු වුණා. හැමෝම සාදයේ ඉන්න අතරේ කුමාරයා දුවලා ගියා එයාගෙ ගෙදරට. ගිහින් ගලවලා දමලා තිබුනු ගෙඹි හම හොයාගෙන ඒ ක ගින්දරට විසී කලා පිච්චෙන්න. එතකොට ඇය හැම දාම ලස්සනට ඉඳීවි කියල ඉවාන් කුමාරයා හිතුවා. සාදය නිමා වෙලා ගෙදර ආපු වසිලීසා එයාගෙ ගෙඹි හැව සොයන්ට පටන් ගත්තා. ඒ ක ඉවාන් කුමාරයා ගින්නට විසී කල බව දැන ගත්තු වසීලීසා දුකෙන් මෙහෙම කිවුවා.

” අනේ ඉවාන් කුමරුවනි ඔබ මේ මොකද කළේ ?තව දවස් තුනක් ගත වෙන්ට ඉඩ හැරියා නම් මට සදහටම ඔබේ බිරිඳ වන්ට ඉඩ තිබුණා. ඒත් දැන් මට වෙන්නෙ අර නපුරු කොසේයි ගේ වහලියක් වෙලා ජීවත් වෙන්ට”

එතකොටම වාගේ ඈ අතුරුදන් වුණා.

ඉවාන් කුමාරයා වැලපුණා. පස්සෙ එයා තීරණය කලා කුමරියව සොයා යන්නට. එයා එහෙම යන අතරේ මහළු මිනිහෙක් එයට මුණ ගැහුණා. ඉවාන් සිදු වෙච්ච දෙයක්ම මහළු මිනිහාට කිවුවා. ඔන්න එතකොට මහළු මිනිහා මෙන්න මෙහෙම කිවුවා.

” වසිලීසා ගෙ තාත්තා තමයි එයාව අවුරුදු තුනකට ගෙම්බියක් කෙරෙවුවෙ. මොකද මේ වසිලීසා එයාගෙ තාත්තටත් වඩා හුඟක් නුවණක්කාර කෙනෙක් වුණු හන්ද. ඔබට ඇත්තටම එයාව හොයාගන්ට ඕනෑ නම් මෙන්නෙ මේ නූල් බෝලය ගන්ට. ඒක පෙරළෙන දිසාවට ඔබට යන්ට පුළුවනි. මේ බෝලය ඔබට මග කියාවි”

මහළු මිනිසාට ස්තුති කල ඉවාන් කුමාරය නූල් බෝලය පෙරළුණු දිසාවට ගමන් කරන්ට වුණා. මහ කැළේ මැදින් ගමන් කරද්දි ඉවාන්ට තදින් බඩගින්නක් දැනෙන්නට වුණාම එයා ඈතින් යන වලහෙකුට විදින්න සූදානම වුනා. එතකොටම වලහා ඉවාන් කුමාරයට බැගෑපත් වෙලා

”අනේ මට විදින්න එපා. ඉදිරියේදි ඔබට මා ප්‍රයෝජනවත් වේවි” යී කිවුවා.

වලහව අත් හැරලා කුමාරය බඩගින්නෙම කැළේ ඇතුලට ගමන් කරන්නට වුණා. ඔන්න එතකොට එයා දැක්ක හාවෙක්. ඒ පාරනම් හාවාට විදින්නෙමියි කියල කුමාරයා දුන්න අතට ගත්තු ගමන්

”අනේ මාව මරන්නෙපා. අනාගතේ දි මා ඔබට ප්‍රයෝජනවත් වේවි”යි කියලා හාවා කිවුවා.

බඩගින්නෙම කුමාරයා කැළේ ඇතුළට ඇතුලට ඇවිද ගෙන ඇවිද ගෙන ගියා. ඔන්න එයා ආයෙත් දැක්ක තාරාවෙක්. ඊතලය දුන්නට තියලා විදින්න සූදානම් වෙනකොටම තාරාව කුමාරයට බැගෑපත් වෙලා කිවුවා

” අනේ මාව මරන්න එපා. ඉදිරියේදී ඔබට මා ප්‍රයෝජනවත්වේවි”යි කියල. ඉතිං කුමාරයා තාරාවා නිදහස් කරල යන්ට ගියා.

ඔන්න ඉතින් කුමාරයා තාරාවා අත් ඇරලා මූදු වෙරලට ආවා. මූදු වෙරළෙදි එයා දැක්කා දියෙන් ගොඩට විසිවෙච්ච මාළුවෙක් දඟල දඟල ඉන්නව. ඉවාන් කුමාරයාව දැක්ක මාළුවා

”අනේ මාව අල්ලලා මූදට දමන්ට. දවසක ඔබට මා ප්‍රයෝජනවත් වේවි” යි කිවුවා.

දුක හිතුණු කුමාරයා මාළුවාව අල්ලලා මූදට වීසි කළා.

වැඩි වේලාවක් ගත වෙන්ට කලින් කුකුල් කකුල් උඩ හදාපු බබායිගා මැහැල්ලගේ කුඩා නිවසට ලඟාවෙන්ට ඉවාන්ට පුළුවන් වුණා. බබායිගා මැහැල්ල ලඟට ගිය ඉවාන් කුමාරයා සිදුවුණු හැම දෙයක්ම කියා සිටියා.

”වසිලීසා ඉන්නේ කොසේයි ලඟ. කොසේයි ව පරද්දන එක ලේසි නැහැ. එයාගේ පණ තියෙන්නෙ ඉඳිකඩු තුඩක. ඒ ඉඳිකටුව තියෙන්නෙ බිත්තරයක් ඇතුළෙ. බිත්තරේ තියෙන්නෙ තාරාවියෙක් ඇතුළේ, තාරාවි ඉන්නෙ හාවෙක් ඇතුලේ. මේ හාවා ඉන්නෙ ගල් වලින් හදාපු පෙට්ටියක, ඒ පෙට්ටිය තියෙන්නෙ උසම උස ඕක් ගහක මුදුනෙ ” කියල බබායිගා මැහැල්ල කිවුවා. ඉවාන් කුමාරයා බබායිගා මැහැල්ලට ස්තුති කරලා උසම උස ඕක් ගහ සොයන්ට පිටත් වුණා.

එයා ඇවිද ගෙන ඇවිදගෙන යනකොට දැක්කා විශාල ඕක් ගසක්, නඟින්ට බැරි තරම් උස කපන්ට නොහැකි තරම් ශක්තිමත්. එකපාරටම උදව් ලබාපු වලහා පෙනී සිටියා ඉවාන් කුමාරයා ඉදිරියේ. වලහා එක් පහරකින් ඕක් ගස බිම පෙරලන්ට සමත් වුනා. බිමට වැටුණු ගල් පෙට්ටිය බිඳිලා හාවා පැනලා දුවන්ට හදද්දිම ඉවාන් කුමාරයාගෙන් උදව් ලබාපු හාවා ඇවිත් ඌ මරා දැමුවා. හාවාගේ බඩ ඇතුලෙ උන්න තාරාවා අහසට නැගල පියාඹන්ට උනා. එතකොටම වාගේ ඉවාන් කුමාරයෙන් උදවු ලබාපු තාරාවා ඇවිත් ඌ මරා දැමුවා. උගේ බඩ ඇතුලෙ තිබුණු බිත්තර ගිලිහිලා මහ මූදට වැටුණා. කරකියාගන්ට දෙයක් නැතුව කුමාරයා මූද අයිනට වෙලා අඩ අඩා ඉන්නකොටම කුමාරයාගෙන් උදවු ලබාපු මාළුවා මූදු පතුලෙන් බිත්තරය ගෙනවිත් කුමාරයාට දුන්නා. බිත්තර විවර කල කුමාරයා ඉක්මනින්ම ඉඳිකටුව අතට අරගෙන ඒකෙ තුඩ කඩා දැමුවා. නපුරු කොසේයි එයාගේ මළිගාව ඇතුලෙ මැරුණා. දැන් නුවණක්කාර වසීලීසා හැමදාටම නිදහස්. ඉවාන් කුමාරයා ඉක්මනින් කොසේයි ගේ මාලිගාවට ගියා වසීලිසා කුමරිය බේරාගන්ට. එතැන් පටන් මේ ඉවාන් කුමාරයයි නුවණක්කාර වසීලීසායි එක්ව බෝහෝ කාලයක් සැපෙන් සතුටෙන් වාසය කළා.



තත්යානා ස්ටෝන්බර්ග් සහ ඩෝනා රිචර්ඞ්සන් එක්ව ඉංග්‍රීසි බසට නගන ලද රුසියානු සුරඟන කතාවක් වන "ද ෆ්‍රොග් ප්‍රින්සස්” හි පරිවර්තනයකි.

පරිවර්තනය ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails