බෙන් කියන්නෙ වෙනස් කෙනෙක්. ඒ බව අනෙක් ළමෝ ද හොඳහැටි දනියි.ඔවුන් කීවේ ඔහු ඉතා විශාල බවයි. කම්මැලියෙකු බවයි.ඔහු අවලස්සන බවයි.

බෙන් පාසලේ ඉගෙන ගන්නා ළමයින්ට වඩා ප්‍රමාණයෙන් විශාල බව ඇත්තකි. ඔහු කම්මැලියෙකු බවත් ඇත්තකි. එහෙත් ඔහු ඇත්තටම අවලස්සන වූයේ නැත.

බෙන් පාසල් වත්ත වටේ දුවන්නටත් විහිළුවට මෙන් කෑගසන්නටත් හුඟක් කැමති කෙනෙක්.ඒ වගේම, ගස් නගින්නටත්, ඔහු වටේ කැරකෙන කුරුමිණියන් අල්ලා තලා පොඩි කරදමන්නටත් ඔහු හුඟක් කැමති වුණා.කකුල් දෙකෙන් දුවනවා වෙනුවට ඔහු කළේ කකුල් හතරෙන් පිට්ටනිය වටා දුවමින් පිනුම් ගැසීමයි. ඇත්තෙන්ම ඒක බෙන් ට නම් අවලස්සන වැඩක් වුණේ නෑ. මොකද එයා එහෙම සෙල්ලම් කරලා හුඟක් සතුටු වුණා.

තව බොහෝ දේවල් තිබුණා, බෙන් කරන්න කැමති වුණු. වළල්ලක් ඇතුලෙන් පනින එකත්, ඇස් වහගෙන තනි රෝදයෙ බයිසිකලය පදින එකත් ඔහු හුඟක් කැමතිම දේවල්.පුංචි මාලුවෙක් නහය උඩ සමබරව තබාගැනීමත්, කඹයක් උඩ ඇවිදයාමත් ඔහුට කළ හැකි අපූරු දේවල්.

ඒ වගේමයි නටන්ටත්. බෙන් තරම් හොඳට නටන්ට පුළුවන් කෙනෙක් හිටියේ නෑ පාසෙලේම.

ඒත් බෙන්ට හැමදාම එක එක විදියෙ ඇබැද්දි වලට මුහුණපාන්ට සිද්ද වුණා.

එයාට උදේ ට හුඟ වෙලාවක් ඇහැරිලා ඉන්න එක බොහොම අමාරු කාරියක් වුණා. විශේෂයෙන්ම, දිගම දිග සීත කාලයේදී.සමහර වෙලාවට පාසල් බසය ඔහුට මග ඇරුණා. එහෙමත් නැතිනම් හැමෝම ඉදිරියේ පන්ති කාමරයේ දී එයාගේ මේසය උඩ නින්දට වැටුණා.

ඒ නිසා එයාගේ ගුරුතුමී බෙන්ට නිතරම බනින්ට පටන් ගත්තා. නැතිනම් බෙන්ව විදුහල්පතිතුමා ළඟට යැවුවා.

බෙන් පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ විදුහල් පති තුමාගේ කාමරයට යන්න. විදුහල් පති තුමා උසයි. තද කළු පාට මහත ඇහි බැමි දෙකකුයි, හරියටම හොඳට වැවුනු පඳුරක් වාගේ උඩු රැවුළකුයි ඔහුට තිබුණා.බැලූ බැල්මට ඔහු මූදු සිංහයෙක් වගෙයි.

එයා බෙන් දිහා හොඳහැටි බලලා මෙන්න මෙහෙම අහනව.

"දන්නවද අද බෙන්ව මෙහාට එවුව කාරණාව මොකද්ද කියලා?"

"හර් ර් ර් ර් ර් ර් රුම්ප්" බෙන් බිම බලාගෙන ඔලුව වනමින් එහෙම කියනවා.

ඊළඟට විදුහල්පතිතුමා අහනව

"බෙන්ජමින්, මොකද වෙලා තියෙන්නෙ? ඇයි අනිත් හැම ළමයෙකුම වාගේ ඉන්ට බැරි?"

"හර් ර් ර් ර් ර් ර් රුම්ප්" ඔන්න එහෙම කියල බෙන් උත්තර දෙනවා. මොකද එයා කවදාවත් දැනගෙන උන්නෙ නෑ කොහොමද ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කියලා.

ඊට පස්සෙ බෙන් හුඟක් උත්සහ කළා අනිත් හැම ළමයෙකුම වාගේ වෙන්ට. ඒත් ඒකෙන් වුණේ හැමදේම හුඟක් නරක අතට හැරුණු එක.පන්තියේ ළමෝ වතුර බොන්ට පෙළ ගැහිලා ඉඳිද්දි, බෙන් පෙළට එක් වුණා වතුර බොන්ට. ඒත් ජල කරාමය ඇරපු ගමන් බෙන් වතුර බොනවා වෙනුවට සිදුවුණේ වතුර හැම තැනම ඉහිරිලා ගිය එකයි.ඒ වතුරෙන් අනෙක් ළමෝ තෙමුණු එකයි.


සමහරක් ළමෝ බෙන්ට හිනා වුනා. සමහරක් තෙමුණු ළමෝ අඩන්ට පටන් ගත්තා.කලබලේ මොකද්දැයි බලන්ට දුවගෙන ආ ගුරුතුමී කළේ ආයෙත් වතාවත් බෙන් ව විදුහල්පති තුමා ළඟට යැවූ එක.

විදුහල්පතිතුමා එයාගෙ ඝන කලු ඇහි බැම ඔසවල, ඇස් කණ්ණාඩි දෙකත් ගලවලා, එයාගෙ ඔලුව වනලා ලොකු හුස්මක් පිට කළා.

එච්චරයි!

අන්තිමේදි බැරිම තැන බෙන් අනෙක් ළමයි වගේ ඇඳුම් අඳින්ට පටන් ගත්තා. කෑම කන්ට පටන් ගත්තා. ඒත් ඒ කිසි දෙයකින් වැඩක් වුණේ නෑ.

බෙන්ට අනෙක් ළමයින් වගේ වෙන්ට බෑ. එහෙම කිරීමෙන් වුණේ ඔහු තව තවත් අසතුටට පත් වුණු එක විතරයි.බෙන් කියන්නෙ වෙනස් කෙනෙක්, හැමෝම කියනවා වගේ.

ඔන්න එක දවසක් බෙන්ට විදුහල්පති තුමා ළඟට එන්ට කියලා පණිවුඩයක් ලැබුණා.බෙන් කාර්යාලයට ඇතුළු වුනාම දැක්කා අළු පාට ඇඳුමක් ඇඳගත්තු කෙනෙක් ඉන්න බව. ඔහු බෙන් ගෙන් ප්‍රශ්න අහන්ට පටන් ගත්තා.

" බෙන් ඔයා වෙනස් කෙනෙක් කියල විශ්වාසද ඔයාට?"

"හ ර් ර් ර් රුම්ප්" බෙන් උත්තර දුන්නා.

" ඔයා මෙහෙම කරන්නෙ අනිත් අය පුදුම කරන්නද?"

"හ ර් ර් ර් රුම්ප්" බෙන් ආයෙත් උත්තර දුන්න.

ඔහු තමන්ගේ ඇස් දෙක පිහදාලා බෙන් ට මෙන්න මෙහෙම කිවුවා.

"බෙන් ඔයා අනිත් ළමයින් වගේ නොවෙන්ට තරම් කාරණයක් නෑ.මං කැමතියි ඔයා දැන් ගිහින් අනිත් ළමයි එක්ක සෙල්ලම් කරනව නම්"

"ඔයාට පුළුවන් නම් ඒගොල්ලො කරන දේවල් කරන්ට ඔයාට පුළුවනි මේ දේවල් බොහොම ලෙහෙසියෙන්ම ඉගෙන ගන්ට"

අළුපාට අඳුම් ඇඳ සිටි මිනිසා බෙන්ට කිවුවා.

බෙන් එළියට දුවලා ගියා. ඇඳුම් ඇඳගෙන දුවන එක මහ විකාරයක් වගෙයි එයාට දැනුනේ. ඒ නිසා බෙන් ඩිංගක්වත් ඒකට කැමති වුණේ නෑ.

පිට්ටනියේ උන්නු හැමෝම වගේ බොහොම විනෝදයෙන් සතුටින් කෑහසමින් උන්නෙ.සමහරක් ළමෝ ලිස්සන බෝට්ටුව පදිමින් උන්නා. ඉතිං බෙන් ලිස්සන බෝට්ටුව පදින්න ලැහැස්ති වුණා විතරයි, එයා ලිස්සලා පහලට යනවා වෙනුවට ඒකෙ හිර වුනා.

ලෝරා කියන්නෙ බෙන් ගෙ පන්තියේ එයාට එහා පැත්තෙන් ඉඳගෙන ඉන්න ගෑණු ළමයා. බෙන් දැක්කා ලෝරා ඔංචිලි පදිනවා. ඉතිං බෙන්ටත් ඕනෙ වුණා ඔංචිලි පදින්න. ඒත් බෙන් ඔංචිල්ලාවේ ඉඳගත්තා විතරයි, මෙන්න ඒක කඩාගෙන බිම වැටුණා.කොල්ලන්ගෙක් කෙනෙක් පන්තියට දුවගෙන ගියා, ගුරුතුමී එක්ක එන්ට.

"ආයෙත් ඇබැද්දියක්" බෙන් හිතුවා.ඔහුගේ ගුරුතුමී ඔහුව නැවතත් විදුහල්පතු තුමා ළඟට යවනු ඇත.විදුහල් පති තුමා බෙන් ගෙ අම්මටයි තාත්තටයි මේ ගැන කියනු ඇත. ඔහුට දඬුවම් කරනු ඇත.

ඒත් ඔහුගේ ගුරුතුමී වෙනුවට ආවෙ වෙනත් ගුරුතුමියක්. ඈ බෙන් ගේ පන්තියට යාබද හතරෙ පන්තියට උගන්වන ශෝන්බර්න් ගුරුතුමී.

"බෙන් අපේ ඔංචිල්ලාව කැඩුවා" ලෝරා පැමිනිලි කර සිටියා.

"එයා හැමවෙලාවෙම අපට කරදර ඇති කරනවා.එයාව විදුහල්පති තුමා ලඟට යවන්ට ඕනෑ. අපේ ගුරුතුමී නම් හැමවෙලාවෙම කරන්නෙ ඒකයි."

බෙන් නහය හකුළුවා ගෙන බිම බලා ගත්තා. මොකක් වුණත් ආයෙත් සැරයක් විදුහල්පතිතුමා ලඟට යන්න එයා ලැහැස්තිවෙලයි හිටියේ.එක පාරටම බෙන්ට දැනුනා මොකෙද්දෝ ඇඟ ඇතුලෙ යනවා වගේ. ඔන්න ඉතිං එයා හොඳහැටි කැරකි කැරකි කහන්ට පටන් ගත්තා.ඉස්සෙල්ලාම අත කසන්ට පටන් ගත්තා.දඟල දඟල උන්නු බෙන් ලඟට ආපු අලුත් ගුරුතුමිය බෙන් ගෙ කබායේ එල්ලිලා උන්නු කුරුමිණියෙක් අහුලා දැම්මා.

"බෙන්ජමින්, මං කියන දේ හොඳින් අහන් ඉන්ට ඕනෑ"

ඉතිං බෙන් එයාගෙ ඔලුව උස්සලා ගුරුතුමී දිහා බැලුවා. ඇඳුම් පිළිවෙළට සකසා ගත්තා. ඒත් බෙන්ට තෙරුනා එයා ඉන්නෙ ගුරුතුමීට ඇහුම්කන් දීගෙන නොවෙයි කියලා. බෙන් උත්සහ කළා ගුරුතුමී කියන දේට ඇහුම්කන් දෙන්ට. ඒත් ගුරුතුමී ඉන්න තැනට ඩිංගක් එහායින් වැට අද්දර තියෙන කොළම කොළ පාට අත්තක් රතුම රතු පාට බෙරි වලින් පිරිලා තියනවා දැක්කම ගුරුතුමීට ඇහුම්කන්දෙන්ට එයාට බැරි වුනා.එකපාරටම බෙන් කලේ බෙරි වලින් බරවුණු අත්ත එයා ලඟට ඇදගෙන ඒවා කන්ට පටන් ගත්තු එක.ඒක දැක්ක අලුත් ගුරුතුමීට හිනා ගියා. ඉතිං ඈ බෙන්ට මොකුත් නොකියාම පන්ති කාමරයට ගියා. ඈ බෙන්ට බැන්නෙත් නෑ! විදුහල්පතිතුමා ලඟට යැවුවෙත් නෑ!

එදා රෑ ගෙදර ගිය බෙන් කණ්ණාඩියක් ඉස්සරහ හිටගත්තා.බෙන් එයාගේ හකු දෙක තද කරගෙන දත් ටික පෙන්නාගෙන කණ්ණාඩියට විරිත්තන්න පටන් ගත්තා." මගේ දත් බොහොම උල්. ඒ වගේම ශක්තිමත්" බෙන් හිතුවා. ඊළඟට එයා හොඳින් බැලුවා එයාගෙ කන් දෙක දිහා. ඊටත් පස්සෙ එයාගෙ නහය දිහා.ඊලඟට මූණට වැටිලා තිබුණු කොණ්ඩය පස්සට වෙන්ට හොඳ හැටි පීරා ගත්තා.

"ඇයි අනිත් ළමයි වගෙම වෙන්න ඕනෙයි කියලා හැමෝම කියන්නෙ" බෙන් කල්පනා කලා.බෙන් අනිත් ළමයි වගෙ වෙන්න හදන හැම වෙලාවකම වෙන්නෙ මොකක් හරි ඇබැද්දියක්.එහෙම වෙන එක ගැන බෙන්ට දැනුනේ හරිම නරක දෙයක් වගෙයි.

නින්දට කලින් ඇඳුම් ගලවලා එල්ලා තැබුවා. ඊලඟට සපත්තු ගලවලා පැත්තකින් තැබුවා. දැන් බෙන්ට තව දුරටත් ඒවා ඕනෑ වෙන්නෙ නෑ.

ඊලඟ දවසෙ විවේක කාලයේදි බෙන් මාලුවෙක් ගෙනවිත් ඌව නහය උඩ සමබරව තියාගෙන හිටියා. ලෝරා යි එයාගෙ යාළුවොයි බෙන් වටෙට එකතු වෙලා මේක බලන් උන්නෙ.ඒගොල්ලො කවදාවත් කවුරුවත් එහෙම කරනවා දැකලා තිබුණේ නෑ. බෙන් ගෙ ක්‍රීඩාව ඉවර වුණායින් පස්සෙ රැස් වෙලා උන්නු ළමයි සතුටින් අත්පොළසන් දෙන්න පටන් ගත්තා.

මාළුවෝ ඉස්කෝලෙට අරගෙන ඇවිත් ඉස්කෝලෙන් බැනුම් අහන්න වුණු බව නම් ඇත්තයි. ඒත් බෙන් ඒක ඒ හැටි ගනන් ගත්තෙ නෑ. කොච්චර නරක විදියට එයාට බැනුම් අහන්ට වුණත් එයාට අනික් අය වගේ වෙන්ට බැරි බව එයා දැනගෙනයි තිබුණෙ.

බෙන් අනිත් ළමයින්ට වඩා වෙනස්. ඒක ඇත්තක්.කෙනෙක් අනිත් අයට වඩා වෙනස් වෙන එකේ ඇති වරද මොකද්ද, බෙන් එහෙම හිතුවා.

එයාට වඩා හොඳින් කල හැකි දේවල් වෙනුවෙන් කාලය මිඩංගු කරන එකෙන් අඩු තරමෙ එයාට මේ තරම් ඇබැද්දි වලට මූණ දෙන එකෙන් ඈත් වෙලා ඉන්න පුලුවන් වුණා.

අනිත් එක බෙන් දැනගෙන උන්න අනිත් කාටවත් කරන්න බැරි හුඟක් දේවල් එයාට කරන්න පුළුවන් බව. එයා දක්ෂ බව.

නහය උඩ මාළුවෙක් සමබරව තියාගෙන ඉන්න පුලුවන් කිසිම කෙනෙක් හිටියෙ නෑ. තනි රෝදයෙ බයිසිකලය පැදගෙන යන්න පුලුවන් කෙනෙක් හිටියෙත් නෑ.ඒ වගේම බෙන් තරම් හොඳට නටන්න පුළුවන් කෙනෙක් හිටියෙත් නෑ.බෙන්ගෙ අම්මටයි තාත්තටයි, එයාගෙ පන්තිභාර ගුරුතුමීටයි, විදුහල් පති තුමාටයි, අළුපාට ඇඳුම ඇඳන් ආපු කෙනාටයි නොතේරුණු බොහෝ දේවල් තිබුණා. ඒත් බෙන් එයා ගැන හැමෝටම වඩා හොඳින් දැනගෙන හිටියා.

අනිත් අය එයාව තේරුම් ගන්නෙ නැති උනාම බෙන් හුඟක් දුක් වුණා තමයි.ඒත් බෙන් හුඟක් සතුටු වුණා ආයෙත් බෙන් විදියටම ඉන්න ලැබුණු එක ගැන. ඒ හින්දා එයා හිටියෙ හරිම සතුටින්!

කතාව බැරී ලුයිස් පොලිසාර්
සිතුවම් ඩේවිඩ් ක්ලාර්ක්

පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails