Showing posts with label විලීගේ රස කතා. Show all posts
Showing posts with label විලීගේ රස කතා. Show all posts

ඔන්න ඉතින් දවසෙ වැඩ ඉවර කරලා අම්මා ගෙදර ආවා. හෙන්රි ත් ගෙදර ආවා. ජෙනි ත් ගෙදර ආවා. තාත්තාගේ සපත්තු උණුසුම් වෙන්නට කියලා අම්මා ඒවා ගිනි උඳුනට ලං කලා.

හුඟ වෙලාවක් බසයක් එනතුරු බලා හිටපු තාත්තාත් ඔන්න ගෙදර ආවා. ආ හැටියෙම තාත්තා දැක්කා ගිනි උඳුන ළඟ උණුසුම් වෙමින් තිබුනු එයාගෙ සපත්තු. ඉතින් සපත්තු දමා ගන්නයි දැන් තාත්තාගේ සූදානම. ගිනි උඳුන ළඟට ගිහින් තාත්තා දකුණු සපත්තුව දමා ගත්තා කිසි කරදරයක් නැතුවම. ඊළඟට වම් සපත්තුව. දමනවා දමනවා...ම්හු...ඇතුලට යන්නෙම නැහැ. කොතෙක් දැඟලුවත් සපත්තුව දමන්නම බෑ.


ඔන්න ඒ අතරේ අපේ පුංචි විලී හීනයක් දැක්කා. මොකද්ද දන්නවද ඒ හීනය? මහ විසාල හිපපොටේමසයෙක් විලීගේ ඇඟ උඩ ඉඳගෙන ඉන්නවා. හිපපොටේමසයාගේ බර කොච්චරද කියනවා නම් පුංචි විලී තක්කාලි ගෙඩියක් වගේ තැලීගෙන තැලීගෙන යන්න පටන් ගත්තා... බයවුණු පුංචි විලී එක පාරටම අවදි වෙලා තාත්තාගේ මාපටැඟිල්ල හපා කෑවා.

"ඌ...ඌ...යී!" තාත්තා කෑ ගැහුවා. සපත්තුව පැත්තකට විසි වුනා. එක කකුලකින් පැන පැන ගිය තාත්තා පුටු සැටියේ ඉඳගත්තා.

"හෙන්රි, ආයෙත් හෙම ඔය විසේකාර මීපැටියව එළියට දමලා තිබුනොත් මං හොඳ වැඩක් කරනවා ඔන්න... එහෙම වුනොත් තව දුරටත් ඌ මෙහෙ තියාගන්නෙ නැහැ. තේරුනාද?" තාත්ත තරහෙන් කිව්වා.

"ඒත් තාත්තේ...." බිම බලාගෙන හෙන්රි කිව්වා.

ඒ අතරෙ පණ බේරගත්තු විලී මී ගුලෙන් රිංගලා ආපහු එයාගෙ ගෙදර ගියා.

"කොහෙද හිටියෙ මෙච්චර වෙලා?" විලීගේ අම්මා ඇහුවා.

"එකතු කිරීම එක ගණනක් වත් හදලා නැහැ" විලීගේ තාත්තා පැමිණිලි කළා.

"මොකක්?" පුරුදු විදියටම විලී ඇහුවා.

"එකතු කිරීම... එතකු කිරීම" විලීගේ අම්මා ඔන්න ආයෙමත් විලීට මතක් කලා.

ඊළඟට.......
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
විලී ගියේ ගබඩා කාමරේට. විලීගේ අම්මයි තාත්තයි මී පවුලෙ අයට ගබඩා කාමරේට ඇතුලු වෙන්න පුළුවන් විදියට පුංචි ගුලක් හදලයි තිබුණෙ. හැබැයි විලී ගබඩා කාමරේට යන්න ඒ ගුල පාවිච්චි කලේ බොහොම කලාතුරකින්. මොකද එයාගේ පවුලෙ අය ඔක්කොමලා ඉන්නකොට ඒ ගුලෙන් පිට වෙන්න බොහෝ වේලාවක් ගත වෙන හින්දා හොඳහැටි කන්න බොන්න පුළුවන් වෙලාවේ පෝලිම් ගැහිලා කාලේ නාස්තිකරන්න විලී කැමති වුණේ නෑ.

ඒ නිසා විලී හිතුවා එයාටම කියලා ගුලක් හදා ගන්න. ඒක විලී ඇරෙන්න වෙන කවුරුවත්ම දැනගෙන හිටියෙ නෑ. ඒ ගුලෙන් පිට වුණාම ආයෙ මතු වුණෙ රාක්ක පේළියේ ඉහලම තට්ටුවෙන්.උඩ තට්ටුවේ තමයි හැමවෙලාවෙම රසම රස විස්කෝතු ගබඩා කරලා තිබුණේ. ඒ නිසා විලීට පුළුවන් උනා එයා ඉගෙන ගන්න ඕනේ කියලා තාත්ත කියපු හැම වෙලාවකම වාගේ රසම රස ක්‍රීම් කැකර් සහ චොකලට් තවරපු ඇඟිලි විස්කෝතු අතරට වෙලා බොහොම ප්‍රීතිමත් දහවල් කාලයන් ගණනාවක්ම ගත කරන්න.

අද නම් උඩ තට්ටුව පිරෙන්නම විස්කෝතු. එක එක ජාති.

"ගෙදර කට්ටිය සාප්පු සවාරි ගිහින් වගෙයි" විලී කිව්වා.

"අහා..මේකෙන් පුංචි කටක් කෑවොත් කොහොමද?" කස්ටර්ඩ්
ක්‍රීම් තවරපු විස්කෝතු පැකට්ටුව දැකලා විලී කිව්වා.

"ඇයි..මේකෙනුත් ඩිංගක් කන්න ඕනෙ!" හුළං විස්කෝතු පෙටිටියක් උඩට පැන්න විලී කිව්වා.

විලීට දැන් හුඟක් සතුටුයි.

"පහළ තට්ටුත් විපරම් කරලා බලන්න ඕනෑ" ඔන්න විලී තීරණය කළා.

ඔන්න එහෙම හිතලා විලී ඊලඟ තට්ටුවට බහින්න සූදානම් වෙද්දිම වාගේ පය ලිස්සලා ගිහින් පහළම තට්ටුවට ඇදගෙන වැටුණා. ඒ තට්ටුවෙ පිරිලා තිබුණෙ මකුළු දැල් වලින් පිරිච්ච එක එක විදියේ ලේබල් අලවාපු හිස්ම හිස් බෝතල් ගොඩක් විතරයි.

"මදැයි මට වුණ වැඩක්" ඔන්න විලී කියා ගත්තා එයාටම. ආයෙත් රාක්කය උඩට නගින්න බැරි තරම් එයාට මහන්සියි වාගේ.

"පුස් කාපු විස්කෝතු, වැඩක් නෑ"

එහෙම කියාපු විලී ගබඩා කාමරේ දොර යටින් රිංගලා යන්න හිතා
ගත්තා. ඔන්න ඉතිං අහල පහළ පෙනෙන මානෙක කවුරුවත් නෑ. අමාරුවෙන් දොර අස්සෙන් බඩ ගා ගත්තු විලී රසම රස විස්කෝතු කුඩු හැම තැනම ඉහිරිලා තියෙනව දැක්ක.විස්කෝතු කැබලි ඉහිරුණු පාර දිගේ ඒවා රස බලමින් ඉදිරියටම ගිය විලී අන්තිමේදී නැවතුනේ ගෙදර සාලෙන්. තාත්තා ගෙ හාන්සි පුටුව යටත් හොඳ හැටි විස්කෝතු කැබලි විසිරිලා. විලීටත් කිසිම මහන්සියක් නැතුව වාගෙ විස්කෝතු කැබලි ඔක්කොම ඉක්මනින් කාල ඉවර කලා.

විලී කොච්චර කෑවද කියනවා නම් දරාගන්න බැරි තරම් නිදිමතක් එයාට දැනුනා. ඇස් පියවෙන්න පටන් ගත්තා ඉබේම.

එතකොටම විලී දැක්ක මුල්ලක තියල තිබුනු අපූරු සපත්තු කුට්ටමක්.



ඊලඟට……….
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
1. විලීගේ චාරිකාව

අම්මයි තාත්තයි ජෙනී යි හෙන්රියි හිටියේ දොඩම් මල් වීදියේ අංක 03 ගෙදර. හෙන්රි ගේ වයස අවුරුදු අටයි. එයාට හිටියා හුරතල් මී පැටියෙක්. මී පැටියා හිටියේ හෙන්රි ගෙ නිදන කාමරෙ තිබුණු පුංචි කූඩුවක. ජෙනීට වයස අවුරුදු පහයි. ජෙනීට හුරතලෙක් හිටියේ නෑ. ඒත් එයා කැමති වුණා එයාට ත් පුංචි මී පැටියෙක් වත් හිටිය නම් කියලා.

විලී පදිංචි වෙලා හිටියෙත් දොඩම් මල් වීදියේ අංක 03 ගෙදරමයි. එයාගෙ ගෙදරට ඇතුලු වෙන දොරටුව කුස්සියේ බිත්තියෙ හදපු පුංචි ගුලක්. පිටිපස්සෙ දොර තිබුණේ ගබඩා කාමරේට.විලීටයි එයාගේ පවුලෙ අයටයි පදිංචියට ඉතාම සුදුසු තැන එතන. මොකද කෑමට රසවත් දේවල් හුඟක් එතන තිබුණු නිසා.

විලී හිටියේ තනියෙන් නං නෙමෙයි. අම්මයි තාත්තයි නංගිලායි මල්ලිලායි එක්කයි. එයාට නංගිලා මල්ලිලා ගොඩාක් හිටියා. ගණනින් මෙච්චරයි කියලා විලීට කවදාවත් කියන්න බැරි තරමට. සමහර දවස් වලට එයා හිතුවා නව දෙනයි කියලා. තවත් සමහර දවසක දහ දෙනයි කියලා. විලීට කවදාවක් හොඳට ගණින්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඉලක්කම් එකතු කිරීමටත් එයා හොඳටෝම දුර්වලයි. හැබැයි කන්න නම් විලී තරම් දක්ෂ කෙනෙක් කොහෙවත් හිටියේ නෑ.

විලී මහතයි. මහතයි කියන්නෙ හුඟක් මහතයි.ඒ නිසා එයාව හරියටම පෙනුනෙ පුළුං වලින් හදාපු බෝලයක් වගෙයි.

"පුංචි මීයෙක් මේ තරම් බංඩියට ඉන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි" විලීගේ තාත්තා කිව්වා.

"මොකක් ?" ඔන්න විලී ඇහුවා. මොකද ඒ වෙලාවෙත් විලී රසම රස විස්කෝතු කුඩු ගැන හීනයක් දකිමින් හිටියේ.

" ඔයා මහත වැඩියි. පරිස්සම් වුණේ නැත්තං හෙම ඔන්න දවසක තේරෙයි කොහේ හරි තැනක හිරවෙච්ච වෙලාවක" විලීගේ අම්මා කිව්වා.

හැම උදේකම පුංචි මී පැටවුන්ට ඉගෙන ගන්ට දේවල් තිබුණා. එක දවසක් තාත්තා හිතුවා මී පුංචලාට ඉලක්කම් එකතු කරන විදිය කියා දෙන්න.

"හා , දැන් හැමෝම ඇවිත් ඉඳගන්න. අද අපි ඉගෙන ගන්න යන්නෙ ඉලක්කම් එකතු කරන විදිය ගැන" තාත්තා කිව්වා.

"මොකක්?" ඔන්න පුරුදු විදියට විලී ඇහුවා. මොකද ඒ වෙලාවෙ එයා සීතලම සීතල රසම රස අයිස් පලමක් හීනෙන් දැක දැක හිටියේ.

"එකතු කිරීම" අම්මා කිව්වා.

මී පැංචලා සේරෝම හොඳ දරුවො වගේ එක පෙළට වාඩි වෙලා ගණන් ලියන්නත් එකතු කරන්නත් පටන් ගත්තා. හැබැයි එක්කෙනෙක් හැර. ඒ තමයි විලී. පින්තූර එක එක විලීගේ ඔලුව ඇතුලෙ පාවෙන්න පටන් ගත්තා.

ඉඟුරු විස්කෝතු 2 යි +චොකලට් විස්කෝතු 3 යි + චොකලට් කුකීස් 7 යි+..... විලීට සිහිය නැතිවෙන්න වගේ ආවා.

"මට බඩගිනියි වගේ" ඔන්න ඉතිං විලී හිතුවා.

ඊටපස්සෙ විලී එයාගේ පැන්සලයි කොළයයි බිමින් තියලා හෙමින් සැරේ කාටත් නොදැනීම පිටිපස්සෙ දොරෙන් පිට වුණා.

ඊලඟට……….
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails